කොළඹ දිස්ත්‍රික්කය තුළ ජාතික පාසල් 47 ක් තිබේ. ජාතික නොවන, රජයේ පාසල් 60 කට වඩා තිබේ. පුද්ගලික පාසල් 36 ක් තිබේ. ඉස්ලාමීය පාසල් 05 ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් ඇත. ජාත්‍යන්තර පාසල් 65 ක් ඇත. මේ අනුව ළමයින්ට වඩා පාසල් ඇති බව පෙනේ. එහෙත් හැම අවුරුද්දකම 01 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගත නොහැකිව ළමයි දහස් ගණනක් නන්නත්තාරව සිටිති. එය 'සිස්ටම් එකේ' වරද ලෙස නිර්වචනය කර කට පියා ගත හැකි ය. එහෙත් ආණ්ඩුවේ ඉස්කෝලවලට අමාරුවෙන් ඇතුළු වූ අමාරුවෙන් සා/පෙළ විභාගය සමත් වී උසස් ප්‍රතිඵල ලැබ ජාතික පාසලට ඇතුළත් වීමට සුදුසුකම් ලබන ළමයාට ජාත්‍යන්තර පාසල් ළමයින් නිසා පොල්ලක් වැටේ නම් එය සිස්ටම් එකේ හෝ කස්ටම් එකේ (චාරිත්‍රයේ) වරදක් ලෙස සළකා ඉවත දැමිය නොහැක.
මේ අතර ජාත්‍යන්තර පාසල් ගැන තවත් යමක් සඳහන් කළ යුතුව තිබේ. එනම්, මේ පාසල්වලට ප්‍රමිතියක් හඳුන්වා දීමට කාටවත් උනන්දුවක් නැති බව ය. එකම එක කඩ කාමරයක් කුලියට ගෙන එයට ඩෙස් 25 ක් සහ බංකු 25 ක් දමා සමාගම ලියාපදිංචි කිරීමේ නීතිය යටතේ "අධ්‍යාපන සේවාවක්" ලෙස ලියාපදිංචි කර ජාත්‍යන්තර පාසලක් පටන්ගත හැකි ය. කඩ කාමරයක් කුලියට ගෙන මේ නීතිය යටතේම මස් කඩයක්, බේකරියක්, සිල්ලර කඩයක්, හෝටලයක් හෝ තෝසේ කඩයක් විවෘත කළ හැකි ය. ජාත්‍යන්තර පාසල්වලින් වැඩි හරියක් අද පවතින්නේ ජාතික පාසලක 'වේකන්සියක්' ඇතිවන තුරු ළමයින් යවන 'අන්තර් වාර අධ්‍යාපන අනාථාගාර ලෙස් ය. මේවායේ වාර ගාස්තු රුපියල් තිස් හතළිස් දහසේ සිට රුපියල් ලක්ෂයක් ද ඉක්මවන මට්ටමේ තිබුණ ද පහසුකම් අතින් ගමේ ගොඩේ පාසලටත් අන්ත ය. ජාත්‍යන්තර පාසල් වැඩි හරියක "නිසි ගුරුවරුන්" නැත. ඒවායේ වැටුප් ඉතා අඩු බැවින් තම ජීවිතයේ කොටසක් 'කාල් ගානු' පිණිස සුදුසුකම් ලත් ගුරුවර ගුරුවරියන් ඒවාට බැඳෙන්නේ ද නැත. පාසලේ අයිතිකරුවාට ඒ ගැන කියන්නට ගියොත් ඔහු දෙමාපියන්ට කියන්නේ පාසල වසා දමන බව ය. ජාත්‍යන්තර පාසල් නමැති 'වෙළෙඳ ශාලා' මේ රටේ විවෘත කර හතළිස් අවුරුද්දක් ළං වෙමින් පවතී. අඩුම ගණනේ දැන්වත් ක්‍රමවේදයක් හදාගතහොත් එම පනස්වන සංවත්සරයටවත් යහපත් ජාත්‍යන්තර පාසල් පද්ධතියක් ගොඩ නංවාගත හැකි ය. දැනට පවතින විදිය අනුව නම් ප්‍රයිවට් ටියුෂන් ගොස් ප්‍රයිවට් O/L හෝ A/L ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලිවීම වඩා ප්‍රයෝජනවත් ය.
http://www.divaina.com/2014/06/02/editor.html
Pic Source






0 comments:
Post a Comment