Pages

Friday, May 26, 2017

අපද තේරුම් ගතයුතු මුසලු සංක්‍රමණයේ පරම සත්‍ය! ජීවිත 22 ක්‌ බිලිගත් අයිසිස්‌ ත්‍රස්‌ත ප්‍රහාරකයා මුසලු සංක්‍රමණිකයෙක්!

ජීවිත 22 ක්‌ බිලිගත් මැග්චෙස්‌ටර් ත්‍රස්‌ත ප්‍රහාරකයා 22 හැවිරිදි සල්මන් අබේදි බව බ්‍රිතාන්‍ය එම්. අයි. 6 බුද්ධි සේවාව හඳුනාගෙන ඇත.

ඔහු සති තුනකට පෙර ලිබියාවට ගොස්‌ පසුගියදා යළි මැන්චෙස්‌ටර් නගරයට පැමිණි බව විමර්ශනවලින් හෙලි වී තිබේ. අබෙදි ජිහාද් ත්‍රස්‌තයන්ට අරමුදල් එකතු කිරීමේ නිරතව ඇත. ඔහුගේ පවුලේ අය ලිබියානු ජාතිකයන් බවද අනාවරණය වී තිබේ.

මැන්චෙස්‌ටර් රඟහලේදී මරාගෙන මැරුණු බෝම්බකරු අබෙදි අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය සමඟ සබඳකම් පැවැත් වූ බවටද වාර්තා වී ඇත.

බ්‍රිතාන්‍ය එම්. අයි. බුද්ධි සේවාව පවසන්නේ බුද්ධි නිලධාරීන් කලක්‌ තිස්‌සේ අබෙදි ගැන නිරීක්‍ෂණයේ සිටි බවය.

අබෙදිගේ පියා ලිබියානු සරණාගතයෙක්‌ බවටද විමර්ශනවලදී හෙළි වී ඇත.

මැන්චෙස්‌ටර් රඟහලේ බෝම්බය ඔහු විසින්ම නිපද වූවක්‌ බවද තහවුරු වී තිබේ.

අබෙදි සිටි නිවස වටලා කළ සෝදිසි කිරීමේදී බෝම්බ නිෂ්පාදනය කරන අයුරු දැක්‌වෙන ග්‍රන්ථ හමු වී ඇත.

ඔහුගේ නිවස තුළ තිබූ පුපුරණ ද්‍රව්‍ය උපාංගයක්‌ද බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් පුපුරුවා හැර ඇත. බ්‍රිතාන්‍ය බුද්ධි සේවා බලධාරීන් දක්‌වන්නේ 2016 වසරේ සිරියාවේදී ඇමරිකානු ෙඩ්‍රාaන් ප්‍රහාරයකින් මියගිය අයිසිස්‌ ත්‍රස්‌ත නායකයකු වූ රසාංගල් නොඩ්මි සමඟ අබෙදි සබඳකම් පවත්වා ඇති බවය.

මේ අතර මැන්චෙස්‌ටර් ප්‍රදේශයේ සී. සී. ටී. වී කැමරා පද්ධති නිරීක්‍ෂණය කළ බුද්ධි නිලධාරීන් අබෙදි බෝම්බය රැගෙන රඟහලට ඇතුළු වන අයුරු එහි සටහන් වී ඇති බව සොයාගෙන ඇත.

පොලිස්‌ විමර්ශනවලදී තවදුරටත් හෙලි වී ඇත්තේ අබෙදිගේ පියා ලිබියාවේදී සටන් කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට ලිබියාවට ගොස්‌ ඇති බවයි. 

බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අංශ අබෙදිගේ සොයුරු ඉස්‌ටන්ලද අත්අඩංගුවට ගෙන ඇත. මැන්චෙස්‌ටර් රඟහලේ සිදු වු මේ විනාශකාරී සිද්ධිය ගැන බ්‍රිතාන්‍ය රැජින, පාප් වහන්සේ සහ ලෝක නායකයන් රැසක්‌ සිය ශෝකය පළ කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය පවසන්නේ ප්‍රදේශ රැසක ආරක්‍ෂාව තරකර ඇති බවයි. බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේද ඊයේ ජනතාවට අනතුරු අඟවමින් තවදුරටත් බ්‍රිතාන්‍යට ප්‍රහාර එල්ල විය හැකි බව කීවාය.

මැන්චෙස්‌ටර් රඟහලේ බෝම්බ පිපිරීමේ සිද්ධියෙන් පසු බ්‍රිතාන්‍ය බුද්ධි සේවා බලධාරීන් මුල්වරට ප්‍රකාශයක්‌ කරමින් ජිහාද් ත්‍රස්‌තයන් 3000 ක්‌ බ්‍රිතාන්‍යයේ මාර්ගවල සැරිසරන බව හෙළි කළේය.

මේ ජිහාද් ත්‍රස්‌තයන් ගැන ත්‍රස්‌ත මර්දන නිලධාරීන් නිරීක්‍ෂණය කරන බවද බුද්ධි සේවා නිලධාරීන් හෙළි කර ඇත.

එසේම බ්‍රිතාන්‍ය පුරවැසියන් 850 ක්‌ අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එකතු වීම සඳහා සිරියාවට සහ ඉරාකයට ගොස්‌ ඇති බවද වාර්තා වී තිබේ.

මේ අතර බෝම්බ පිපිරීමෙන් පසු දරු දැරියන් 12 කට අධික පිරිසක්‌ අතුරුදන් වී ඇත. තම අතුරුදන් දරුවන් සොයා මවුපියන් රෝහල් වෙත පැමිණෙන බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය කියා සිටී.

http://www.divaina.com/2017/05/25/forign01.html

Sunday, May 21, 2017

උතුරින් හමුදාව පිටව නොගියහොත් ජනතාව වීදි බසිනවා!

උතුරේ යුද, ගුවන් හා නාවික හමුදා නොසිටිය යුතු බවත් එම හමුදා වහාම පිටව යායුතු බවත් උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත. මුල්ලිවයික්‌කාල්හිදී මියගිය ද්‍රවිඩ ජනතාව සැමරීමේ උත්සවය අමතමින් ඔහු එලෙස ප්‍රකාශ කර තිබේ. 

උතුරින් හමුදාව පිටව නොගියහොත් ජනතාව වීදි බසින බවද විග්නේශ්වරන් රජයට අනතුරු අඟවමින් සඳහන් කර ඇත.

උතුරේ 150000 ක හමුදාවක්‌ සිටින බව පැවසු උතුරු මහ ඇමැතිවරයා එවන් හමුදාවක්‌ උතුරට අවශ්‍ය නැතැයි කීය. මෑතකදී උතුරට පැමිණි කැනඩාවේ ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටෝරි මෙපමණ හමුදා මුරපළවල් කුමකටදැයි තමාගෙන් විමසූ බවද විග්නේශ්වරන් වැඩිදුරටත් කීවේය.

එසේම උතුරේ මියගිය අය සිහි කිරීමට ජාතික ශෝක දිනයක්‌ ප්‍රකාශයට පත් කරන බවත් ඔහු දන්වා ඇත. මේ අතර උතුරේ 150000 ක හමුදාවක්‌ නැති බවත් ආරක්‍ෂක බලධාරීන් විග්නේශ්වරන්ගේ ප්‍රකාශය අසත්‍ය බවත් පළ කළහ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2017/05/21/news01.html

බාහිර ලෝකය ප්‍රශ්නාර්ථයක්‌ ලෙසින් දකිනු වෙනුවට ඔබ නිහඬව ඔබේ ප්‍රශ්නය විසඳාගන්න! මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

පංචඋපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළව විඥ්ඥානය ගැන සටහන් තබන මොහොතේ පිංවත් ඔබ දක්‍ෂවෙන්න අනුනගේ පංචඋපාදානස්‌කන්ධයන් ගැන නොසිතා, නොසොයා තම පංචඋපාදානස්‌කන්ධයේ ක්‍රියාකාරීත්වය ගැන දකින්න. අනුන් හරි දේ කළත්, අනුන් වැරදි දේ කළත් පිංවත් ඔබට ඇති ඵලයක්‌ නැහැ. අනුන් අවංක වුවත්, අනුන් වංක වුවත් ඔබට ඇති ඵලයක්‌ නැහැ. ඔබට අර්ථයක්‌ තිබෙන්නේ අනුන් නිසා සකස්‌වෙන ඔබේ සිතිවිලිවල අනිත්‍යභාවය දැකීමයි. බාහිර ලෝකයට, ලෝකයේ ස්‌වභාවයෙන් ඉන්නට හැරලා, භාහිර ලෝකය නිසා ඔබ තුළ සකස්‌වෙන සිතිවිලිවල අනිත්‍යභාවය පමණක්‌ දකින්න ඔබ දක්‍ෂවෙන්න. බාහිර ලෝකය ප්‍රශ්නාර්ථයක්‌ ලෙසින් දකිනු වෙනුවට ඔබ නිහඬව ඔබේ ප්‍රශ්නය විසඳාගැනීමට දක්‍ෂවෙන්න. 

පිංවත් ඔබ ලෝකයාට විවෘත වෙන්න ගියොත්, ලෝකයේ ප්‍රශ්න ඔබේ ප්‍රශ්නයක්‌ බවට පත්කොටගෙන, ඔබද ඇවිලෙන පංචඋපාදනස්‌කන්ධයක්‌ වේවි. රූපයක්‌ කෙරෙහි ඇලීම, ගැටීම, උපේක්‍ෂාවීම, හඳුනාගැනීම, හඳුනාගත්දේ ගැන සිතීම හේතුවෙන් සකස්‌වෙන විඤ්ඤාණය කථාකරන හඬ පිංවත් ඔබට සමාජයෙන් නිතරම ඇසෙනවා.

මට ඕනෑම ලෙඩක්‌ සුවපත් කරන්න පුළුවන්, මට කරන්න බැරි වැඩක්‌ නැහැ, මට වැස්‌ස නවත්වන්න පුළුවන්, මට ආණ්‌ඩු පෙරළන්න පිහිටුවන්න පුළුවන්, මම කිව්වොත් එයා ඕනෑම දෙයක්‌ කරනවා, මම තමයි එයාව ඔය තැනට ගෙනාවේ.... ආදී දැනීම් හේතුවෙන් සකස්‌වෙන මෙවැනි වචන සමාජයෙන් ඇසෙනකොට, තමාගේ හැකියාවන් පිළිබඳව සීමාවන් ඉක්‌මවා ගිය පුරසාරම් කියනකොට, මේ ඔබ දකින්නේ විඤ්ඤාණය නමැති මැදහත්කරුවාගේ සක්‌කාය දිට්‌ඨිය පෝෂණය කිරීමේ ක්‍රියාවලිය බව පිංවත් ඔබ නුවණින් තේරුම්ගත යුතුව තිබෙනවා. ජීවිතය තුළින් ධර්මය මතුකොටගත් තැනදී ජීවිතය කියන්නේ ධර්මයක්‌මයි. ජීවිතය පිරිහෙන්නේ නැහැ. ජීවිතය තුළින් අධර්මය මතුකොටගන්න තැනදී ජීවිතය කියන්නේ අධර්මයක්‌මයි. ඔබ නැවත නැවත පිරිහීමට පත්වෙනවා. 

ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්‌සේ සතර සතිපට්‌ඨාන ධර්මයන් මෝදුකොට ගනිමින් පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකින පිංවත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, අචල ශ්‍රද්ධාවක්‌ බවටත්, ශීලය ආර්ය ශීලයක්‌ බවටත් පත්කොටගෙන, උතුම් සෝවාන් ඵල අවබෝධය ලබා අනාගතය භවගමන ආත්මභව හතකට සීමාකොට ගන්නවා. ගිහි පිංවතුන්ලා මේ ඉලක්‌කය සපුරාගතහොත් ඔබට අනාගතයේ විඳින්න සිදු වන දුක ගැන බුදුරජාණන්වහන්සේ මෙහෙම උපමාවක්‌ දේශනා කරනවා. මහ පොළොවෙන් පස්‌මිටක්‌ අතට ගෙන බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කරනවා සෝවාන් ඵලයට පත්වූ පිංවතා අතීතයේ වින්දා වූ දුක්‌ මහ පොළොවේ පස්‌වලට සමාන බවත්, ඔහුට අනාගතයේ විඳින්නට ඇත්තේ අතේ තිබෙන පස්‌ ප්‍රමාණයට සමාන දුකක්‌ය කියලා. 

ඉහත උපමාවෙන් , සෝවාන් ඵලය කියන සැබෑම අර්ථය මොන තරම් ගැඹුරු, මොන තරම් තීරණාත්මක, මොනතරම් දුකින් මිදුණාවූ අර්ථයක්‌ද කියන කාරණය පිංවත් ඔබ නුවණින් තේරුම්ගත යුතු වෙනවා. වර්තමාන සමාජය මෙතරම් අර්ථවත්වූ සෝවාන් ඵල අවබෝධය සතියක වැඩසටහනකින් ලබාදෙන තරමට සැහැල්ලුවට ගෙන තිබෙනවා. භාවනා කිරීම නිසා, සිsල්පද සමාදන් වීම නිසා, දන්දීම පිංකම් සිදුකිරීම නිසා තමන් තුළ ඇතිවන සැහැල්ලුව, ප්‍රීතිය, පස්‌සද්ධිය පංච නීවරණ යටපත්වූ ස්‌වභාවය සෝවාන් ඵලය ලෙස වරදවා වටහාගත් පිංවතුන්ලා සමාජයේ සිටිනවා. මෙවැනි ස්‌වයං රැවටීම හේතුවෙන්, මේ ලැබුණා වූ උතුම් අවස්‌ථාව එම පිංවතුන්ලා අහිමිකොට ගන්නවා. සෝවාන් ඵල අවබෝධය මගේ කොට ගන්නවා. සෝවාන් ඵල අවබෝධය තුළ මම සිටිනවාය කියලා දකිනවා. මා තුළ නොවෙනස්‌ වන අවබෝධයක්‌ තිබෙනවාය කියලා දකිනවා. සෝවාන් ඵල අවබෝධය මගේ ආත්මය කොට දකිනවා. ඒ ආත්මය තුළ සෝවානඵල අවබෝධය තිබෙනවාය කියලා දකිනවා. පංචඋපාදනස්‌කන්ධය කෙරෙහි තෘෂ්ණාව හිස්‌ කරනවා වෙනුවට, තව තවත් මමත්වයේ දැඩිභාවයට පොහොර දමාගන්නවා.

මම තුළ නොවෙනස්‌ වෙන සෝවාන්ඵල අවබෝධයක්‌ තිබෙනවාය කියන දෘෂ්ටියෙන් සෝවාන්ඵල අවබෝධයට අදාළව තමන් අනුමාන කරන හැසිරීම්, කතාකිරීම්, ඇවතුම් පැවතුම් පැවැත්වීම වැනි චර්යාවන්ගෙන් තම දෘෂ්ටිය තව තවත් ශක්‌තිමත් කොට ගන්නවා. පංචඋපාදානස්‌කන්ධ ධර්මයට අදාළව රූපය, වේදනාව, සංඥාව, ෙච්තනා, විඤ්ඤාණය මාරයා හැටියට දකින්නේ නැහැ. රූපයේ බැසගෙන, විඳීම ජීවිතය කොට ගන්නවා. අතීත සංසාරයේ සම්මා සම්බුද්ධ ශාසනවල පිංවත් ඔබ සෝවාන්ඵල අවබෝධය නොලබා වංචාකාරී ධර්මයන් නිසා, වැරදි මඟපෙන්වීම නිසා තමන් සෝවාන්ඵල අවබෝධය ලැබුවාය කියලා රැවටී උතුම් සෝවාන්ඵල අවබෝධය අහිමි කොටගත් අවස්‌ථා ලක්‍ෂවාරයකට වැඩි බව ඔබ හොඳින් නුවණින් තේරුම් ගත යුතු වෙනවා. 

චිත්තානුපස්‌සනාව - 31 - ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ indrajith.media@gmail.com
http://www.divaina.com/2017/05/21/feature31.html

ගිරිහඬු සෑය බෞද්ධයන්ට අමතකද?

 අරුණළු ක්‍රමයෙන් පැතිර යමින් පැවතිණි. ත්‍රිකුණාමල වැසියන් එළඹුණු නව දිනයට සූදානම් වන ආකාරයක්‌ තවම දක්‌නට නැත්තේ නගරය පුරා ජනශූන්‍ය බවක්‌ දිස්‌වුණු බැවිනි. නැගෙනහිර පළාතේ අගනුවරට ජීවිතයේ ප්‍රථම වතාවට පිවිසි මට අතීතයේ සිද්ධි මතක්‌විය. ඒ ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ බුදු පිළිමයක්‌ තැන්පත් කළ පසු කොටි හිතවාදීහු හර්තාල් කළ අන්දමත් පිළිම වහන්සේට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයත් සිහිවිය. දැන් ඒ කොටි හර්තාල් ඉතිහාසයට එක්‌වී ඇතත් උතුරු නැගෙනහිර බුදු පිළිම විරෝධය නම් නතර වී නැත. උතුරු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් දෙමළුනි නැගිට්‌වි" නොඒසේනම් "එළුග තමිල්" යනුවෙන් උද්ඝෝෂණ පැවැත්වුවේද මේ බුදු පිළිම විරෝධය හරහා ජාතිවාදය අවුලන්නටය.

ත්‍රිකුණාමලය නගර මධ්‍යයෙන් ගමන් කළ අප කෙළින්ම ගමන් කළේ කෝනේශ්වරම් කෝවිල වෙතය. එතැනට ගියේ කෝවිල වැඳ පුදා ගැනීමට නොව නැගෙනහිර අහසෙන් හිරු මතුවනු දැකබලා ගැනීම සඳහාය. ඉර සේවය දැක ගැනීමේ මහත් උනන්දුවක්‌ පැවැතියේ අපේ ගමන් සගයකු වූ මංගල අයියාටය. මංගලත් තිවංකත් ඉර සේවය ඡායාරූපයට ගැනීමට උනන්දු වුවද මම කෝවිල් භූමියේ සක්‌මන් කරමින් සිටියෙමි. පූසාරිවරු කිහිපදෙනකු පෙරවරු 6.30 ට පැවැත්වෙන පූජාවට ලහි ලහියේ සූදානම් වෙමින් සිටියහ.

බැතිමතුන් සියල්ලන්ටම කලින් පැමිණ සිටියේ මහළු දෙමළ කතකි. ඇය පුලාසනියක්‌ විය. බැතිමතුන්ගේ සිඟමන් යෑදීම 

රැකියාවක්‌ වශයෙන් කරන්නේද යන හැඟීම ඇතිවූයේ ඇය මෙතැනට පැමිණියේද ත්‍රිරෝද රථයකින් වීම නිසාය. කවරක්‌ නමුත් භූමිය තවමත් බැතිමතුන්ගෙන් හිස්‌වූ නිසා ඇයටද රුපියල් විස්‌සක්‌ ලබාදී අපි යළි ගමන ආරම්භ කළෙමු. 

නිලාවේලි වෙරළේ නවාතැන්පළට යැමට ප්‍රථම අපේ අවශ්‍යතාවය වූයේ ගිරිහඬු සෑය වන්දනා කිරීමය. ඒ සඳහා ත්‍රිකුණාමලයේ සිට සැතපුම් විසි නවයක්‌ ගමන් කළ යුතුය. එම සැතපුම් විසිනවය ගමන් කළ විට මුහුදු වෙරළබඩ පිහිටි තිරියාය ගම්මානය හමුවේ. ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ නැගෙනහිර කඩ්ඩුකුලම්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ තිරියාය ගම පිහිටා ඇත. ත්‍රිකුණාමල පුල්මුඩේ මාර්ගයේ 27, 28 සැතපුම් කණු අතරින් හැරී තිරියාය ගමට පිවිසිය හැක.

අප තිරියායට පිවිසෙන විට එහි පැවැතියේ ජනශූන්‍ය ස්‌වභාවයකි. අප පිළිගන්නට පැමිණි අමුත්තෝ වූ කලී බලු රංචුවක්‌ පමණකි. වාහනයෙන් බැස ඉදිරියට යනවිටත් බලු රංචුව අපට මඟ පෙන්වමින් ඉදිරියට ඇදෙන්නට විය. ගිරිහඬු සෑය බෞද්ධයන්ට අමතක වී ඇත්දැයි සිතුණේ එහි තිබුණු පාළු ස්‌වභාවය නිසාය. කුඩා සාමණේර හිමිනමක්‌ තවත් පුද්ගලයකු සමඟ යම් වැඩක නිරත වෙමින් සිටින අයුරු දක්‌නට ලැබිණි. විහාර මාර්ගයේ තිබූ එකම වෙළෙඳපළද වසා දමා තිබිණි.

දහතුන්වන සියවසට අයත් පූජාවලියේ සඳහන් වන අන්දමට ලක්‌දිව නැගෙනහිර වෙරළෙහි තිරියාය නමින් හැඳින්වෙන ස්‌ථානයේ පිහිටි ස්‌ථූපය හිටුවන ලද්දේ තපස්‌සු භල්ලුක වෙළෙඳුන් දෙදෙනා විසිනි. ඔවුන් විසින් බුදුන් වහන්සේට ප්‍රථම දානය පූජා කළ අවස්‌ථාවේ උන්වහන්සේගෙන් ලැබුණු කේශ ධාතු තැන්පත් කොට මෙම ථූපය ඉදිකළ බව පූජාවලියේ කියෑවේ.

තපස්‌සු භල්ලුක විසින් නිදන් කළ කේශ ධාතුන් පිළිබඳව බෞද්ධ රටවල් කිහිපයක තරගයක්‌ පවතින බව රහසක්‌ නොවේ. බුරුම බෞද්ධයන් පිළිගන්නේ තපස්‌සු භල්ලුක විසින් ඉදිකළ චෛත්‍යය ස්‌වදගොන් චෛත්‍යය බවකි.

කවරක්‌ නමුත් තිරියාය වටදාගෙය 1951 වසරේදී කණින ලදී. එහිදී සත්වැනි අටවැනි සියවස්‌වලට අයත් සංස්‌කෘතික සෙල්ලිපියක්‌ හමුවිය. එහි සඳහන් පරිදි මෙම ස්‌ථූපයේ පෞරාණික නාමය වූයේ ගිරිකණ්‌ඩි චෛත්‍යයයි. බුදුන් වහන්සේට ප්‍රථම දානය පූජා කළ ත්‍රපෂ්‍ය සහ වල්ලික (තපස්‌සු භල්ලුක) යන වෙළෙඳුන් විසින් මෙම චෛත්‍ය කළ බව එහි සඳහන් වේ.


පඩිපෙළ් නගිමින් තිරියාය වටදාගෙයට පිවිසෙන විට මහ සයුර හොඳින් දර්ශනය වෙයි. අතීතයේ මෙහි කැණීම් සිදුකරනවිට තිරියාය වටදාගේ වටමළුව අඩි 79 ක විෂ්කම්භයකින් යුක්‌ත වී ඇත.


භූමිය පුරා බෞද්ධ කොඩිවලින් සරසා තිබුණද එහි දක්‌නට ලැබුණේ පාළු ස්‌වභාවයකි. ඒ වන්දනාවට කිසිම උවැසි උවසුවකු පැමිණ නොසිටීම නිසාය. නිරන්තරව බෞද්ධ ජනයා වැල නොකැඩී ඇදී එන ස්‌ථානයක්‌ ලෙස ගිරිහඬු සෑය හැඳින්විය නොහැකිය. නමුත් සිංහල බෞද්ධයන් මේ ස්‌ථානවලට නිරන්තරව පැමිණිය යුතුය. එය මේ ස්‌ථාන තවත් චිරාත් කාලයක්‌ ආරක්‌ෂා වීම සඳහා පැහැදිලිව බලපාන කරුණකි.

ගිරිහඬු සෑය මලින් පුදන්නට අපට මල් නොතිබුණද මහත් භක්‌තියෙන් යුතුව මේ බෞද්ධ උරුමය වන්දනාමාන කළෙමු. පැරණියෝ රුවන්වැලිසෑය මලින් වසා මලින් පිදු ආකාරයටම මේ වෙහෙරටද පුද පූජා සිදු කරන්නට ඇත. දෙවැනි පරාක්‍රමබාහු රජ විසින් විසුද්ධි මග්ගයට ලියන ලද පාලි පොතෙහිද ගිරිකණ්‌ඩ මහා විහාරය ගැන සඳහන් වේ.

පඩිපෙළ දිගේ උඩට යනවිට බිම තිබූ පොල්ලක්‌ රැගෙන ගියේ සෙල්ලමට මෙනි. එයත් රැගෙන යළි පහළට බසින විට චෛත්‍ය ආරක්‌ෂාව වෙනුවෙන් සිටින සිවිල් ආරක්‍ෂක භටයාගේ සිය අඩුම කුඩුම රැගෙන ඉහළ නගින අයුරු දක්‌නට ලැබිණි. මාදුටු ඔහු "මොකද පොල්ලක්‌ අරගෙන" යෑයි සිනහසෙමින් විමසා සිටියේය. නිකම් අරගෙන ගියා යෑයි කීවෙමි. ඔව් පොල්ලක්‌ අරගෙන යන එක හොඳයි. කැලේ ඉන්න මුවෙක්‌ උඩට යන අයට අනිනවා සමහර වෙලාවට ඌ මටත් ඇන්නා යෑයි ඔහු ප්‍රකාශ කළේය. 

අප යළි පහළට යනවිටත් බලු රංචුව එතැනම විය. මේ කණ්‌ඩායම සමඟ යළි ගමන්අරඹුවෙමු. වාහනය අසලට ගියද බලු රංචුව අප පසුපස්‌සෙන් විය. මොවුන් බඩ ගින්නේ සිටින බව අවබෝධවුවත් මේ කණ්‌ඩායමට දීමට කිසිවක්‌ අප සතු වූයේ නැත. කඩයක්‌ සොයා ගැනීමට තවත් කිලෝ මීටර් ගණනාවක්‌ යා යුතු බව එතැන සිටි අයෙක්‌ අප සමඟ පැවැසීය. ඉදින් කවරක්‌ කරන්නද? වාහනයට නැග්ගද උන් වාහනය ඇතුළටම වගේ හොම්බ දමා ඉව කරන්නට විය. බලු රංචුවට බිස්‌කට්‌ටුවක්‌වත් ලබාදීමට නොහැකිව මුසප්පු සිත් ඇතිව අපි නැවත ත්‍රිකුණාමලය බලා ගමන් ඇරඹුවෙමු. හිරු රශ්මිය අධික වීම නිසා තිරියාය මාර්ගය උණුසුමෙන් දැවෙන්නට විය.

චතුර පමුණුව 
http://www.divaina.com/2017/05/21/feature20.html

දිගාමඬුළු ඉතිහාසයේ විශිෂ්ටත්වයේ සලකුණ රජගල ව්‍යාපෘතිය නවතී..!

අපේ අතීත මුතුන් මිත්තන් කළ ඒ මහා කලා නිර්මාණ අප සියලුම දෙනා මවිතයට පත් කරයි. අදට ද මහා ආඩම්බරයෙන් කතා කරති. මේ වන විට ලොවම මවිත කරවන එවන් විශිෂ්ට නිර්මාණයක්‌ නැරඹීම සඳහා බොහෝ දෙනකු පිය නඟන්නේ අනුරාධපුරය, පොළොන්නරුව වැනි ප්‍රදේශවලටය. නමුත් ඒ වනවිට රට වටා වන වදුලට යටව ගොස්‌ තවමත් ඉතිහාසයේ අනාවරණය නොවුණ කරුණු සමඟින් එවන් උරුමයන් ඇත්තේ පස්‌ තට්‌ටු යට සැඟව ගොස්‌ය.

දිගාමඬුලු මිටියාවත ද අතීත රජ දරුවන්ගේ පහස ලබමින් සංවර්ධනය වූ පුරවරයකි. බුදුන්ගේ පා පියුමෙන් පහස ලද දීඝවාපිය සෑරදුන්ගේ අවට පූජා භූමියේ කැණිම් කටයුතු තවමත් ඇත්තේ ඉබි ගමනේය. එම නිසා අතීතයේ බොහෝ වංහුන් අදට ද ඇත්තේ සැංගීය.

මීට දශක කිහිපයකට පෙර සොයා ගත්ත ද නිසි අවධානයක්‌ යොමු නොවුණ දිගාමඬුලු ඉතිහාසයේ පුරාවිද්‍යා උරුමයන් අතරින් අගරජු වන්නේ රජගල පුදබිමය. අක්‌කර 1025 ක වපසරියකින් යුත් මෙපින්බිම ලංකාවේ විශාලතම පුරාවිද්‍යා රක්‌ෂිතය වශයෙන් සැලකේ. මෙය වන වදුළෙන් වැසී යැම නිසා නිධන් හොරුන්ගේ ග්‍රහනයට ලක්‌ව විනාශ වෙමින් පැවති ස්‌ථානයක්‌ විය. යාන්තමින් ගරා වැටුණු ස්‌ථාන කිහිපයක්‌ පමණක්‌ හෙළි පෙහෙළි කිරීම නිසා මීට වසර කිහිපයකට ඉහතදී ඉතා අඩු පිsරිසක්‌ පමණක්‌ මෙම පුදබිම නරඹන්නට පැමිණීයේය. ඒත් මෙහි දකින්නට ලැබුණේ ඉතා සීමිත පුරාවස්‌තු ප්‍රමාණයකි. 

නමුත් ලංකාවට මිහිඳු සමිඳු පැමිණී බව සඳහන් සුවිශෛෂී සෙල්ලිපිය ඇත්තේ මෙම පුදබිමේය.

යේ ඉමදිප පඨමය 
ඉඩිය අගතන 
ඉඩිය තෙරහ
මහින්ද තෙරහ තුබේ

මේ දිවයිනේ සමෘද්ධිය සඳහා වැඩම කළ ඉට්‌ඨිය තෙරුන්ගේ ද මහින්ද තෙරුන්ගේ ද ධාතු තැන්පත් කළ ථූපයයි ලෙස සෙනරත් පරණවිතාන මහතා එම සෙල්ලිපිය අර්ථ දක්‌වා තිබුණි.

මම සෙල්ලිපිය බුදු දහම ලක්‌දිවට ගෙන ඒමේ පුරාවෘත්තය තහවුරු වන සුවිශේෂීම සෙල්ලිපියකි. ඒ පමණක්‌ නොව ඒ ධාතු තැන්පත් කළ මිහිඳු සෑය ද අදට ද ඒ අතීත උරුමයේ වටිනාකම කියාපාමින් රජගල පර්වත මුදුනේ වැජඹෙමින් තිබේ.


සද්ධාතිස්‌ස රජුගේ පුත් ලඡ්ජතිස්‌ස කුමරයා විසින් මෙම පුදබිම ගොඩනැඟු බවට සාක්‌ෂි හමුව තිබේ. මහා වංශයේම පුදබිම සඳහන්ව ඇත්තේ ගිරිකුම්බල ලෙසිනි. රජගල පුරාවිද්‍යා පුදබිමේ අපේ ඉතිහාස උරුමයන් බොහෝමයක්‌ වන වදුළට යටව ගොස්‌ තිබියදී අනාවරණය වන්නට වූයේ මැතකදී සිදුකරන ලද ව්‍යාපෘතියට පින් සිදුවන්නටය. එනිසා බොහෝ දෙනකුගේ නිssසි අවධානයට ලක්‌ නොවුණ මෙම පුදබිමට 2012 වසරේ සිට නිසි අවධානය යොමු විය. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්‌ව ව්‍යාපෘතියක්‌ ආරම්භ කරන ලදී. එයට ඇමරිකානු රජයේ ආධාර මෙන්ම මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ සහ මහා භාණ්‌ඩාගාරයේ දායකත්වය ඇතිව මෙම රජගල පුරාවිද්‍යා ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කරන ලදී. 

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහචාර්ය ප්‍රශාන්ත බී. මන්ඩාවල, මහාචාර්ය පත්මසිරි කන්නංගර, මහාචාර්ය කරුණාසේන හෙට්‌ටිආරච්චි, ආචර්ය කේ. එම්. ඇලෙක්‌සැන්ඩර්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි ඇතුළු පුරාවිද්‍යා අංශයේ දස්‌කම් දැක්‌වූ විද්වතුන් පිරිසක්‌ මෙම රජගල ව්‍යාපෘතියට දායකත්වය ලබා දෙන ලදී. 

මෙම පුරාවිද්‍යා භුමියේ කැණීම් ආරම්භ වන්නට වූහ. ඒ කැණිම්වලට පසුව පුරාවිද්‍යා සංරක්‌ෂණ කටයුතු සිදුවන්නට විය. රජගල අතීත උරුමයේ දැක පැමිණෙන්නෝ මහා පුදුමයට පත් වන්නට වූහ. කැඩී බිඳී විසිරී ගිය ගල් පාත්‍රය සහ ඒ ස්‌ථානයේ තිබුණු පුරාවිද්‍යා නටබුන් කැණීම් කර නැවත සංරක්‌ෂණය කර අතීතයේ තිබූ ආකාරයට එම උරුමය දැක බලා ගන්නට හැකි වන ආකාරයෙන් නැවත ගොඩනඟන්නට වූහ. 2012 වසරේ ආරම්භ කරන ලද මෙම පුරාවිද්‍යා වැඩබිමේ වැඩකටයුතු 2015 වසරේ සිට 2020 දක්‌වා පස්‌ අවුරුදු සැලැස්‌මක්‌ ලෙස ක්‍රියාත්මක වන්නට වූහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බොහෝ කැණීම් ඉබි ගමනේ සිදු වන විට හෝ ඇතැම් ව්‍යාපෘතින් අතරමඟ නතර වන විට මෙම රජගල ව්‍යපෘතිය වේගයෙන් තම ඉලක්‌කය සපුරා ගනිමින් සිටින්නට වූහ. 

මෙම රජගල ව්‍යාපෘතියේ කළමනාකරු වශයෙන් කටයුතු කළ රත්නායක මහතා ඇතුළු 20 කට ආසන්න පර්යේෂණ නිලධාරී පිරිසක්‌ සමඟින් මෙම කැණිම්වලට සහය දැක්‌වූ අනියම් කම්කරුවන් පිරිසත් සමඟ 150 කට ආසන්න පිරිසක්‌ මෙම පුරාවිද්‍යා සංකීර්ණයේ සේවය කරන්නට වූහ. ඒ අනුව දුටුවන් මවිත වන ආකාරයේ සොයා ගැනීම් රැසක්‌ද සිදුකර ගන්නට මෙම පිරිසට හැකි විය.

ගලින් කරන ලද ඉපැරණි කුටියක්‌ මෙහිදී සොයා ගැනීමට හැකි විය. ඒ සමඟින් ඉතා වැදගත් තොරතුරු රැසක්‌ සටහන්ව තිබුණු නව ශිලා ලේඛන 08 ක්‌ සොයා ප්‍රකාශයට පත්කරන ලදී. රජගල කඳු මුදුනට යැමට තිබුණු ඉපැරණී මාර්ගයක්‌ කැණිම් කර සංරක්‌ෂණය කිරීමද ඇරඹින. මෙම කඳු මුදුනට පාගමනින් යැම ඉතා අපහසු සහ බොහෝ කාලයක්‌ ගත වන නිසා වාහනයකින් රජගල කඳු මුදුනට යා හැකි මාර්ගයක්‌ ද මෙම ව්‍යාපෘතිය යටතේ සකස්‌ කෙරුණි.

ඔවුහු කඳු මුදුනේ කැඩී බිදී ගිය වැව නැවත සකස්‌ කරන්නට වූහ. ඉතා දුර්ලභ ආකාරයේ නිර්මාණයක්‌ වන කැබලිවලට කැඩී ගොස්‌ තිබූ ගල් පාත්‍ර නැවත සකස්‌ කරමින් එම ගොඩනැඟිල්ල සංරක්‌ෂණය කර නිධන් හොරුන් හාරා පස්‌ කන්දක්‌ බවට පත් තිබූ මධ්‍ය ප්‍රමාණයේ දාගැබ් 02 ක්‌ කුඩා ස්‌ථූප 05 ක්‌ නැවතත් කැණිම් කර සංරක්‌ෂණය කරන්නට වූහ. ඒ සමඟින් දාන ශාලා ඇතුළු ගොඩනැඟිලි 

රැසක්‌ද ලෙන් ගල් උළුවස්‌ස යන ස්‌ථානය ඇතුළු පුරාවිද්‍යා ස්‌මාරකයන් රැසක්‌ සංරක්‌ෂණය කරන ලදී. 

මේ ආකාරයෙන් මෙම රජගල කැණීම් නිසා අනුරාධපුර සහ පොළොන්නරුවට නොදෙවෙනි ආකාරයේ ඉපැරණි නිර්මාණයන් රැසක්‌ මෙහි පැමිණෙන්නන්ට දැක ගන්නට ලැබුණි. මේ ආකාරයෙන් කාලයේ වැලි තලාවෙන් වැසී ගිය රජගල පුරා විද්‍යා වැඩ බිම මහා ආඩම්බරයෙන් දිගාමඬුලු මිටියාවත පුරා සිය ආධිපත්‍ය පතුරුවද්දී කිසිවෙක්‌ නොසිතු= ආකාරයෙන් නිළධාරීන්ගේ ගොබ්බ වැඩ නිසා වැඩ අතරමඟ නතර වන්නට විය.

මෙම සේවකයන්ට වැටුප් ගෙවීම් වැනි කටයුතු සිදුකරනු ලබන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙනි. නමුත් කරුමයක තරම නම් මෙම සේවය කළ නිලධාරීන් ඇතුළු පිරිසකට ජනවාරි සිට මාස 04 වැටුප් තවමත් ලබාදී නොමැත. අනියම් කම්කරුවන්ට මාර්තු මාසයේ සිට වැටුප් ගෙවා නැත. ඒ පමණක්‌ නොව මොවුනට දෙසම්බර් මාසයේ වැටුප ගෙවා ඇත්තේ දින 04 ක්‌ද අඩුවෙනි.

මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ වැඩසටහන් වලදී සේවය කරනු ලබන අනියම් සේවකයකුට රුපියල් 1200 ක්‌ දිනකට ගෙවනු ලැබූවද රජගල ව්‍යාපෘතිය යටතේ දිනකට මෙම අනියම් සේවකයකුට ගෙවනු ලැබුවේ රුපියල් 1000 කි. 2012 සිට මෙහි සේවය කරනු ලබන අනියම් සේවකයන්ට අර්ථ සාධක මුදල් ද ගෙවා නොමැත. මෙම ස්‌ථානයේ වැඩකටයුතු සඳහා මාස ගණනක සිට ඉන්ධන දීමනාව ද ලබාදී නොමැත.

තමන්ට වැටුප් සිංහල අවුරුද්දට ලබෙනු ඇතැයි මෙම සේවකයන් සියල්ලම සිටියේ මඟ බලාගෙනය. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගණකාධිවරයා මෙම සේවකයන්ට අවුරුද්දට තබා මේවනකම් නියමිත වැටුප් ගෙවන්නට කටයුතු කර නොමැත. සේවකයන් වැටුප් නොමැතිව දරු පවුල් සමඟින් අවුරුද්දට ඇඳුමක්‌ පැළඳුමක්‌ අරගන්නට බැරිව හූල්ලද්දී පුරාවිද්‍යා ලොක්‌කෝ නම් තම වැටුප සාක්‌කුවේ දමා ගෙන උජාරුවට අවුරුදු කන්නට ඇත. එපමණක්‌ ද නොව මෙම අනියම් සේවකයන්ට මාසයේ 10 වැනිදාට පෙර වැටුප් ගෙවිය යුතු වුවද එම වැටුප් ගෙවනු ලැබුවේ විවිධ දිනවලය. ඇතැම් විට වැටුප් ගෙවනු ලැබුවේ මාසයේ 25 වැනිදාටත් පසුවය.

ඒ නිසා මෙම සේවකයෝ තම වැටුප් ගෙවන ලෙස ඉල්ලා උද්ඝෝෂණද සිදුකරන්නට වූහ. නමුත් ඒවා බීරි අලින්ට වැයූ වීණාවක්‌ම වැනිම විය. ඉතා සාර්ථක ආකාරයෙන් සිදුවෙමින් පැවති රජගල පුරාවිද්‍යා වැඩ බිමේ සංරක්‌ෂණ කටයුතු අතරමග නතර වන ලදී. ඉතා අලංකාර ලෙස මතුවෙමින් ආ පුරාවිද්‍යා භූමිය නැවතත් මේවන විට වන වදුළට යට වෙමින් තිබෙන්නේය.

අවසානයේදී තම වැටුප ඉල්ලා මේ පිරිස අම්පාර මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක්‌ දැමූහ. එය පසුගියදා විභාගයට ගත් අතර මෙම සේවකයන්ගේ වැටුප් ගෙවීම පැහැර හැරි ගණකාධිකාරිවරයා ඒ පැත්ත පළාතටවත් ආවේ නැත. නමුත් පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා එහි පැමිණියේය. එහිදී මේ තොරතුරු සියල්ලම හෙළිවෙද්දී පුරාවිද්‍යා අධ්‍යක්‌ෂක ජනරාල්වරයා 18 වැනිදා වන විට වැටුප් ගෙවන්නම් යනුවෙන් කොමිසම හමුවේදී පවසා සිටින්නට විය.

මෙම රජගල ව්‍යාපෘතිය සඳහා මේ වන විට 2012 සිට 2016 දක්‌වා රුපියල් මිලියන 136 ක්‌ වැය වී තිබේ. ඉන් මිලියන 08 ක්‌ පමණ වැය වී ඇත්තේ මෙම රජගල පුරාවිද්‍යා භුමිය මිනින්දෝරු දෙපර්තමේන්තුවේ නිලධාරීන් ලවා සිතියම් ගත කිරීමටය. ඒ අනුව සෑම පුරාවිද්‍යා ස්‌ථානයක්‌ හසුවනසේ ඉතා නිවැරැදි ආකාරයෙන් සිතියම් ගත කිරීමට මිනින්දෝරු නිලධාරීන්ට මාස 03 කාලයක්‌ ගතවන්නට විය. ඒ අනුව පසුගිය කාලයේ මෙම කැණීම් කටයුතු ඉතා විධිමත් ආකාරයෙන් සිදුවන්නට විය. 

කම්කරුවන් මේ ආකාරයෙන් තම රැකියා කරන්නේ ඇඟ රුදාවට නොව බඩ වියත රැක ගන්නටය. දරු පවුල නඩත්තු කරන්නටය. ඉහළ යන ජීවන වියදම ඔස්‌සේ වැටුප ලැබුණ ද ජීවත් වීමට අපහසු කලෙක මාස කිහිපයක්‌ වැටුප් නොලැබීම තුළ මෙම සේවකයන් පත්ව සිටින්නේ අන්ත අසරණ තත්ත්වයකටය. පුරාවිද්‍යා කටයුතුවලට සහභාගිවූ පිsරිස ගමේ ගියේ මෙම ව්‍යාපෘතියට දායකත්වය ලබාදුන් මහාචාර්යවරුන්ගෙන් මුදල් ඉල්ලාගෙනය. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකයන් හිඟකම නිසා මේ ආකාරයෙන් ගෙවීම් පමාවෙනු ඇතැයි ඇතැම්හු කියති. නමුත් මාස 04ක්‌ පඩි නොදීම ගැටලු සහගතය. මේ ආකාරයේ මෙම රජගල ව්‍යාපෘතිය එක පිම්මේ 2020 දක්‌වා සිදුකළේ නම් කෙතරම් පුරාවිද්‍යා ස්‌මාරකයන් ප්‍රමාණයක්‌ සංරක්‌ෂණය කරන්නට හැකියාව ලැබේවි ද යනුවෙන් අපට මෙම කාර්ය සඳහා සහභාගි වූ පිරිස්‌ පවසා සිටිති. 

"මේ වන විට මෙම ස්‌ථානයේ කැණීම් කටයුතු විශාල ප්‍රමාණයක්‌ සිදුකර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ කඳු මුදුනේ කාර්යාල සහ ගොඩනැඟිලි, වැසිකිළි පද්ධති පවා ඉදිකර තිබෙනවා. රජගල පහළ ද පොලිස්‌ මුරපළ ගොඩනැඟිල්ලක්‌, කාර්යාලයක්‌ සහ වැසිකිළි පහසුකම් ඇති කරලා මෙම පුදබිමේ සංවර්ධන කටයුතු විශාල පිරිසක්‌ සිදුකර තිබෙනවා. ඒ නිසා මේ වන විට රජගල පැමිණි කාට වුණත් අපි මේ ස්‌ථානයට වැය කර තිබෙන මුදලට ඉතා සාධාරණයක්‌ ඉෂ්ට කර තිබෙනවා" යෑයි පේන බවද එහි සේවය කළ පිරිස පවසා සිටිති.

වසර සිය ගණනක්‌ කැලයෙන් යටවූ මෙම පුදබිමේ පුරාවිද්‍යා ස්‌මාරකයන් 700 කට අධික ප්‍රමාණයක්‌ තිබේ. එවන් ස්‌ථානයක සේවය කරන පිරිසට වැටුප් නොගෙවා මෙම ව්‍යාපෘතිය අතරමඟ නවතාලන්නට කටයුතු කරන්නේ කුමන හේතුවක්‌ නිසා දැයි සොයා බැලිය යුතුය. මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පමණක්‌ කරන්නේ නම් වැඩ සිදුවන්නේ ඉබි ගමනේය. ඒ අතර වැඩේ නොවුණත් අවසානයේදී මුදල් වියදම් ගොස්‌ තිබෙන්නට පුළුවන. ඒ නිසා රජගල ව්‍යාපෘතිය මේ වන විට නතරකර දැමීමේ පිටුපස පුරාවිද්‍යාවේ අඳුරු බලවේගයන් ඇති දැයි සොයා ගැනීම එහි ලොකු මහත්තයා සතු වගකීමකි. එසේ නම් මෙම රජගල වැඩබිම අංජ බකල් කළ පුරාවිද්‍යාවේ නිලධාරීන් පිළිබඳව නිසි තීරණයක්‌ ගත යුතුය.

මෙම ව්‍යාපෘතියේ මුල්‍ය කටයුතු නිසි පරිදි කිරීමට පුරාවිද්‍යාවට නොහැකි නම් මෙහි මූල්‍ය පාලනය කිරීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට භාර දිය හැකිය. රාජ්‍ය ආයතනයක්‌ නිසා මූල්‍ය පාලනයට අදාළ නීතිරීති අනුව ඒ කටයුතු සිදුකිරීමට අවස්‌ථාව ලබා දෙන්නේ නම් මෙවැනි ගැටලු ඇති නොවීමට ඉඩ ඇත. යම් මූල්‍ය අක්‍රමිකතාවයක්‌ වන්නේ නම් විගණනය කිරීමට ද හැකියාවක්‌ ඇත. එසේ නොමැති නම් මෙම රජගල ව්‍යාපෘතිය අතරමග නවතා දැමීමේ පාපය සිදු වීමට ඉඩ ඇත.

සුසන්ත අමරබන්දු
http://www.divaina.com/2017/05/21/feature02.html

Sunday, May 7, 2017

'මම මෙහෙම කෙනෙක්‌' කියන මනෝලෝකයේ සිරකරුවෙක්‌ නොවන්න! මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

තමන් තුළ ඇතිවන පංච උපාදානස්‌කන්ධ මාරයා සහ බාහිර පංචඋපාදානස්‌කන්ධ මාරයන් ගැන විමසීමේදී, එයටම අදාළ ධර්මයන් තමයි බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයට අදාළව දේශනා කරන දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම සඳහා, ඉන්ද්‍රිය සංවරය, වීර්යය, ප්‍රත්‍යවේක්‍ෂාව, මඟහැරයැම, දුරුකිරීම කියන මූලික කාරණා කිහිපය පිංවත් ඔබට හුඟාක්‌ උපකාර වෙනවා. ඉහත කාරණා කිහිපය කැටි කරලා තමයි, බුදුරජාණන් වහන්සේ, ස්‌වාමීන්වහන්සේලාට දේශනා කරන්නේ ආරණ්‍ය, රුක්‌ඛමූල, වනසෙනසුන්, විවේකීභාවය, හුදෙකලාභාවය ජීවිතයට එකතුකොට ගන්නය කියලා.

මෙතැනදි සිද්ධවෙන්නේ තමන් තුළ සකස්‌වෙන පංචඋපාදානස්‌කන්ධ මාරයාව, බාහිර පංචඋපාදානස්‌කන්ධ මාරයන්ගෙන් හුදෙකලා කොට තැබීමයි. මේ හුදෙකලාභාවය හේතුවෙන් විතක්‌ක අඩුවී, මුල්වටයේදී, මාරයාට පක්‍ෂව සිත සමාධිමත්කොට ගන්නවා. දෙවැනි වටයේදී මාර ධර්මයන්ම උපයෝගී කොටගෙන, මාර ධර්මයන්ට අභියෝග කරනවා. ශීලයෙන්, ආර්ය ශීලයට, සමාධියෙන් ආර්ය සමාධියට, ප්‍රඥාවෙන් ආර්ය ප්‍රඥාවට මාර්ගය යොමුකොට ගන්නවා. 

නමුත් හුදෙකලා බව සොයා යැමට නොහැකි, කාර්යබහුල ගිහිපිංවතුන්ලාට, තමන් තුළත්, අනුන් තුළත් ක්‍රියාත්මක වන්නේ පංචඋපාදානස්‌කන්ධ මාරයාය කියන කාරණය තේරුම්ගෙන සමාජ ඇසුරේදී මතුවෙන දෘෂ්ටි, විතර්ක, මඟහැර යැමට, දුරුකිරීමට ඔබ දක්‍ෂ නම්, එම මාර ධර්මයන්ගෙන් හිස්‌වෙන පිංවතුන්ගේ සිත, ගිහි ගෙදර සිටියදීම, විවේකාගාරයක්‌, හුදෙකලාවක්‌ බවට පත්කොට ගැනීමට, ගිහි පිංවතුන්ලාට හැකිවෙනවා. හුඟක්‌ ගිහි පිංවතුන්ලා, අනුන්ගේ තර්ක, විතර්ක, දෘෂ්ටි, මතවාදවලට උවමනාවෙන්ම පැටලී, තමන්ගේ සිතේ, හුදෙකලාව විනාශකොට දමා ගන්නවා. පංචඋපාදානස්‌කන්ධ ධර්මයේ අනිත්‍යභාවය පුහුණු කිරීම, එවැනි පිංවතුන්ලාට වටිනා ඔසුවක්‌ වෙනවා. 

භික්‍ෂුව කුටියේ වැඩසිටිනකොට පැමිණි සාමණේර ස්‌වාමීන්වහන්සේ නමක්‌ ප්‍රකාශ කළා, තමන් අහවල් ආරණ්‍යයේ වැඩසිටියා, එම ආරණ්‍යයේ විවේකය හුදෙකලාව මදි, එම නිසා තමන් දැන් වැඩසිටින්නේ අහවල් කැලයේ, ගමේ සිට කිලෝමීටර් හතරක්‌ පමණ ඈත ගල් කුටියක. දිනකට කිලෝමීටර් 8 ක්‌ පමණ ඇවිදින්න ඕනේ පිණ්‌ඩපාතයට. හරිම දුෂ්කරයි. පිණ්‌ඩපාතයට ගමට වැඩියහම ගමේ ළිඳකින් තමයි පැන් පහසු වෙන්නේ. සමහර දවස්‌වලට පිණ්‌ඩපාතයට වඩින්නේ නැහැ. නිරාහාරව සිටිනවා. නිතරම මාර්ගයේ අලින් මුණගැහෙනවා.... උන්වහන්සේ බොහොම කැමැත්තෙන් තමන්ගේ තොරතුරු ප්‍රකාශ කළා. එම සාමණේර ස්‌වාමීන් වහන්සේගේ කතාබහෙන් භික්‍ෂුවට තේරුම් ගියේ උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වල ස්‌වභාවයක්‌. භික්‍ෂුව එම ස්‌වාමීන්වහන්සේට අවවාද කළා. ඔබවහන්සේට පුළුවන් ඉක්‌මනට, වැඩිහිටි ස්‌වාමීන් වහන්සේලා කිහිපනමක්‌ වැඩසිටින ආරණ්‍යයක ආරණ්‍යගත වෙන්නය කියලා. වැඩිහිටි ගුරුවරයකුගේ ඇසුර ලබන්නටය කියලා. අවම වශයෙන් මාස තුනක්‌වත් එම කටයුතු කරගෙන කැලයට යන්න අවශ්‍යම නම්, ගම්මානයට උපරිම කලෝමීටර් එකක්‌ පමණ කිට්‌ටුව තිබෙන කුටියක්‌ තෝරාගන්නය කියලා. භික්‍ෂුව මෙහෙම ප්‍රකාශ කරනකොට එම සාමණේර ස්‌වාමීන් වහන්සේ කියනවා 'ඔබවහන්සේ මගේ වීර්යය, දුර්වල කරනවා නේද' කියලා. එම තරුණ ස්‌වාමීන්වහන්සේ නොසතුටු සිතින් භික්‍ෂුව වන්දනා කොට පෙරළා වැඩියා. 

මාස දෙකකට විතර පස්‌සේ භික්‍ෂුවට ආරංචිවෙනවා, මානසික රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගතවෙලාය කියලා. විඤ්ඤාණය නැමැති මැජික්‌කරුවා, රූපයන් කෙරෙහි ඇලීම්, ගැටීම්, හඳුනාගැනීම්, සිතීම් හේතුවෙන් ඇතිකොට ගන්නා 'මම මෙහෙම කෙනෙක්‌' කියන දැනීම, අපව මානසික රෝගීභාවයන්ට, උඬඟුභාවයන්ට පත්කරනවා. ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල ගිහිපිංවතුන්ලා ලබාදෙන 'ඔබවහන්සේ මෙහෙම කෙනෙක්‌' කියන දැනීම, උන්වහන්සේලාට 'මම මෙහෙම කෙනෙක්‌' කියන දෘෂ්ටිය පෝෂණය කොටගැනීමට හොඳ පිටිවහලක්‌ වෙනවා. මේ අදහස්‌ කෙම පංචඋපාදනස්‌කන්ධ මාරයින්ය කියලා හඳුනාගන්නේ නැහැ. 

තවත් අවස්‌ථාවක සාමණේර ස්‌වාමීන් වහන්සේනමක්‌ භික්‍ෂුව මුණගැසීමට පැමිණියා. උන්වහන්සේ ගොඩක්‌ කතාකරන ස්‌වාමීන්වහන්සේ නමක්‌. උන්වහන්සේ තමන් කරන භාවනා ගැන දීර්ඝ විස්‌තරයක්‌ කළා. තමන්ගේ අවබෝධයන් පිළිබඳවත් ඉඟි කිහිපයක්‌ ප්‍රකාශ කළා. අවසානයේ උන්වහන්සේ කියනවා 'මට දැන් කරන්න දෙයක්‌ නැහැ' කියලා. මට දැන් කරන්න දෙයක්‌ නැහැ කියන කාරණයෙන් උන්වහන්සේ අදහස්‌ කළේ, බොහොම ගැඹුරු අවබෝධයක්‌ පිළිබඳ ඉඟියක්‌. භික්‍ෂුවට තේරුම් ගියා මේ කතාකරන්නේ විඤ්ඤාණය නමැති මැජික්‌කරුවාමයි කියලා. භික්‍ෂුව එම සාමණේර ස්‌වාමීන් වහන්සේගෙන් ඇහුවා, ඔබවහන්සේගේ වයස කීයද කියලා. උන්වහන්සේගේ වයස අවුරුදු 30 ක්‌ පමණ වෙනවා. ඒ වෙලාවේ භික්‍ෂුව උන්වහන්සේගෙන් විමසුවා 'ඇයි ඔබවහන්සේ උපසම්පදා වෙන්නේ නැත්තේ?' කියලා. එවිට උන්වහන්සේ ප්‍රකාශ කරනවා, මගේ ශීලයේ යම් දුර්වලතාවයන් තිබෙනවා. ඒවා නිවැරදි කරගත් විගස මම උපසම්පදා වෙනවාය කියලා. බලන්න තවමත් ශීලයෙන් පරිපූර්ණභාවයටත් පත්වෙන්නේ නැතිව, තමන් ලැබූ උතුම් අවබෝධයක්‌ ගැන ඉඟිකරනවා. උපසම්පදා ශීලයට බිය නම්, කුමන මාර්ගඵල අවබෝධයක්‌ ලබාගන්නද? රූපය කෙරෙහි ඇලීම්, ගැටීම්, හඳුනාගැනීම්, සිතීම් නිසාම සකස්‌වෙන විශේෂඥ දැනීම් 'මම මෙහෙම කෙනෙක්‌' කියන මනෝලෝකවල අපිව සිරකරුවන් කරනවා. තමා තුළින් ක්‍රියාත්මක වන 'දැනීම්' විඤ්ඤාණය කියන මැජික්‌කරුවාගේ ප්‍රයෝගයක්‌ බව හඳුනා ගන්නේ නැහැ. 

පංච උපාධානස්‌කන්දය - 29 - ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2017/05/07/feature24.html

බුදුරජාණන් වහන්සේ සියලූ සතට මහ වෙදැදුරාණෝය!

ත්‍රිවිධ විෂ ධර්ම ඥාන ප්‍රතිකාරයෙන් සමනය කිරීමේදී මෙත්තා, කරුණා. මුදිතා, උපේක්‌ඛා ඉදිරිපත් වී ඇත්තේ අත්‍යවශ්‍ය ඖෂධයන් හැටියටය. සියල්ලන් දෙස මෙත් සිතින් ආදරයෙන් බැලීමට මෙත්තා ඖෂධයද, ගැටලු පැටලිලිවලට මැදි වූ පිරිස්‌ වෙත දයාව පැතිරවීමට කරුණා ඖෂධයද, සතුටින් සොම්නසින් සපිරුණු මිනිසුන් දැක සතුටුවීමට මුදිතා ඖෂධයද, ලාභ, අලාභ, සතුට, අසතුට මැදිහත්ව විඳ දරා ගැනීමට උපේක්‌ඛා ඖෂධය ද බොහෝ රෝග නිවාරණයේදී අත්‍යවශ්‍ය ඖෂධ වන්නේ ලොව සදාකාලයටමය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්තමාන සංඛ්‍යා ලේඛන අනුව ලෝකයේ රෝගී වන පිරිසගෙන් සියයට 46 ක ප්‍රතිශතයකට හා සියලු ආකාරයේ රෝගීන්ගේ මරණ සියයට 60 ක ප්‍රතිශතයකට වගකියන හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා ඇතුළු බෝ නොවන රෝග නිවාරණයේ දී මේ ප්‍රතිකාරයේ අගය බෙහෙවින් ඉහළය.

අනමස්‌මි භික්‌ඛවෙ බ්‍රාහ්මණො යාචයෝගෝ සදා පයතජාණි අන්තිම දෙහධරො අනුත්තරෝ 
හිසකෙතා සල්ලකතො
තස්‌ස මෙ තුමේහ පුත්තා ධරසා මුඛතොජතා 
ධම්මජා ධම්ම නිම්මිතා ධම්මදායාදා
නොආමිසදායාදා

මහණෙනි කැමති සේ ධර්මදානය කරන හෙයින් ඉල්ලීමට සුදුසු වූ හැම කල්හිම ධර්මදානය සඳහා පිරිසිදු කළ අත් ඇති අන්තිම සිරුරක්‌ දරණ සංසාර දුක්‌ඛ රෝගයන්ට පිලියම් කරන හෙයින් උසස්‌ වෛද්‍යවරයෙක්‌ වූ රාගාදී හුල් උපුටාලන හෙයින් ශල්‍යකර්තෘ වෛද්‍යවරයකු වූ මම් වනාහි බැහැර කළ පව් ඇති හෙයින් පරමාර්ථ බ්‍රාහ්මණයෙක්‌මි.

තොපි වනාහි ඒ මාගේ මුඛයෙන් දේශිත ධර්මයෙන් උපන් හෙයින් ධර්මජ වූ ධර්මයෙන්ම නිම්මිත වූ ධර්මය දායාද කොට ඇති ආමිසය දායාද කොට නැති ඖරස පුත්‍රයෝ වහු.

මේ වසර දෙදහස්‌ පන්සිය පනස්‌ තුනකට පෙර බුදුරජාණන් වහන්සේ කළ දේශනාවක්‌ චතුෂ්ක නිපාතයේ බ්‍රාහ්මණ සුත්‍රයේ සඳහන්ව ඇති ආකාරයය. ඉන් පැහැදිලි වන්නේ උන්වහන්සේ සසර දුක්‌ රෝග ප්‍රතිකාරයෙහි යෙදුණු වෛද්‍යවරයෙක්‌ම පමණක්‌ නොව ලෝභ, ද්වේෂ, මෝහ ආදී උල් කටු ගලවා දැමීමෙහි යෙදුණු ශල්‍ය වෛද්‍යවරයෙක්‌ද වන බවය.

ශල්‍ය කර්මයකට ලක ලැහැස්‌ති වීමේදී වෛද්‍යවරයාටද ඒ සඳහා සමීපව උපකාර කරන සීමිත කාර්ය මණ්‌ඩලයට ද පැවරෙන පූර්ව කටයුත්තක්‌ වන්නේ ක්‍රමාණුකූලව දෙඅත් හොඳින් පිරිසිදු කර ගැනීමය. අදාළ ගාථාවේ පිරිසිදු කළ අත් ඇති ලෙස වන සටහනින් සිහියට නැඟෙන්නේ වැලමිටේ සිට අතැඟිලි දක්‌වා පිළිගත් ක්‍රමයකට සිදුවන මේ පිරිසිදු කර ගැනීමේ වැදගත් කාර්යයයි.

කායික මානසික ව්‍යාධීන් සුවපත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ ධර්මයෙහි පැහැදිලිව දැකිය හැක්‌කේ මනස ඉලක්‌ක කොට ගත් ප්‍රවේශයකි. ඒ අනුව රෝග නිවාරණයේදී විය යුතු වැදගත්ම කාර්යය ලෙස ලෝභ, ද්වේෂ, මෝහ යන ත්‍රිවිධ විස සමනය සඳහා පූර්ව ආරක්‌ෂිත ප්‍රතිකාරය වී ඇත්තේ ධර්ම ඥානයය. එහිදී හෙළි කොට දක්‌වා ඇත්තේ සිත හා කය එකිනෙක මත රඳා පවතින හෙයින් මනසේ සෞඛ්‍ය තත්ත්වය අනුව සිරුරේ සෞඛ්‍යයද, සිරුරේ සෞඛ්‍ය තත්ත්වය අනුව මනසේ සෞඛ්‍යයද වෙනසට ලක්‌වන බවය.

අදාළ ත්‍රිවිධ විෂ ධර්ම ඥාන ප්‍රතිකාරයෙන් සමනය කිරීමේදී මෙත්තා, කරුණා. මුදිතා, උපේක්‌ඛා ඉදිරිපත් වී ඇත්තේ අත්‍යවශ්‍ය ඖෂධයන් හැටියටය. සියල්ලන් දෙස මෙත් සිතින් ආදරයෙන් බැලීමට මෙත්තා ඖෂධයද, ගැටලු පැටලිලිවලට මැදි වූ පිරිස්‌ වෙත දයාව පැතිරවීමට කරුණා ඖෂධයද, සතුටින් සොම්නසින් සපිරුණු මිනිසුන් දැක සතුටුවීමට මුදිතා ඖෂධයද, ලාභ, අලාභ, සතුට, අසතුට මැදිහත්ව විඳ දරා ගැනීමට උපේක්‌ඛා ඖෂධය ද බොහෝ රෝග නිවාරණයේදී අත්‍යවශ්‍ය ඖෂධ වන්නේ ලොව සදාකාලයටමය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්තමාන සංඛ්‍යා ලේඛන අනුව ලෝකයේ රෝගී වන පිරිසගෙන් සියයට 46 ක ප්‍රතිශතයකට හා සියලු ආකාරයේ රෝගීන්ගේ මරණ සියයට 60 ක ප්‍රතිශතයකට වගකියන හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා ඇතුළු බෝ නොවන රෝග නිවාරණයේ දී මේ ප්‍රතිකාරයේ අගය බෙහෙවින් ඉහළය.

අද ලොව ප්‍රචලිතව පවතින බටහිර වෛද්‍ය විද්‍යාවේ කළ එළි බැසීමට පසුබිම සැකසෙන්නේ ක්‍රිස්‌තු පූර්ව 460 හා 370 අතර වකවානුවේදීය. ඒ එම වෛද්‍ය ක්‍රමයේ නිර්මාතෘ හිපොක්‍රටීස්‌ වෛද්‍යවරයාගේ උපත හා විපත අතර කාල පරාසය පරිසරය, ජලය, ආහාර හා චර්යාවන් රෝග සඳහා හේතුකාරක වන බව හිපොක්‍රටීස්‌ වෛද්‍යවරයාගේ අදහස විය. විෂබීජ නිසා රෝග ඇති වන බවට වන මතය බටහිර වෛද්‍ය විද්‍යාවට එක්‌ වූයේ ප්‍රැකැස්‌ටෝරියස්‌ නම් ඉතාලි ජාතික වෛද්‍යවරයා පියවි ඇසට නොපෙනන විෂබීජ රෝග ආසාදන ඇති කරන බවට පහළොස්‌ වන සියවසේදී පැහැදිලි කිරීමත් එවැනි විෂබීජ අතර පවතින බැක්‌ටීරියා ලුවි පාස්‌චර් විසින් 1860 දී සොයා ගැනීමත් අනුවය. රෝග ඇති වීමට විවිධ සාධක එකතුවක්‌ හේතු වන බවට මතයක්‌ බටහිර වෛද්‍ය විද්‍යාවේදී ගොඬනැඟෙන්නේ තවත් කාලයකදීය. සමාජ, ආර්ථික, ජානමය හෙවත් පාරම්පරික, පරිසරය, සහ මානසික සාධක රෝග හට ගැනීම සඳහා බලපවත්වන බවත් මිනිසුන්ගේ ජීවන රටාවන්, චර්යාවන් මේ සියලු දේ හා දැඩිව බැඳී පවතින බවත් එහිදී පිළිගැනෙන්නේ ඒ අනුවය.

රෝග හේතුකාරක පිළිබඳව බටහිර වෛද්‍ය විද්‍යාව එලෙස පිළිගන්නා සත්‍යය බුදුරාජාණන් වහන්සේගේ දේශනාවන්ගෙන් හෙළි වී ඇත්තේ තවත් සියවස්‌ ගණනාවකට ඉහතදීය. මිනිස්‌ සිරුරේ සාමාන්‍ය ස්‌වභාවික ක්‍රියාකාරිත්වය පඨවි, ආපෝ, වායෝ හා තේජෝ හෙවත් පෘථිවිය, ජලය, වාතය හා ගින්න යන සිව් වැදැරුම් කොටස්‌ අතර වන සමතුලිතතාවය මත රඳාපවතින බව බෞද්ධ ධර්මයේ සටහන් වන්නේද ඒ අනුවය. එහිදී දක්‌වා ඇත්තේ අදාළ සමතුලිතතාවය බිඳෙන විට සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය ගැටලුවට ලක්‌වීමෙන් රෝග ඇති වන හෙයින් රෝග සුව වන්නට මේ සමතුලිතතාවය නැවත පිහිටුවාලිය යුතු බවය.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට අනුව වෛද්‍යවරයකුට අනුගමනය කළ යුතු සිව් පියවර ලෙස දැක්‌වෙන්නේ රෝගයට හේතුව සොයා ගැනීම, රෝගය පිළිබඳ වටහා ගැනීම, රෝග සුව වීම සඳහා ප්‍රතිකාර සැපයීම සහ නැවත මතු වන්නට ඉඩක්‌ නොතබා රෝගය සුව කිරීමය. බුදු දහමේ මූලික හරය වන චතුරාර්ය සත්‍යයට මේ ක්‍රියාවලිය අනුරූපය. රෝගය දුක්‌ඛ සත්‍යයෙන්ද, නිදානය හෙවත් තෘෂ්ණාව, අවිද්‍යාව සමුදය සත්‍යයෙන්ද, ප්‍රතිකාරය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්ද , ප්‍රතිකාරයේ ඵලය වන ආරෝග්‍යය නිර්වාණයෙන්ද සටහන් වන්නේ ඒ අනුවය.

අංගුත්තර නිකායේ සඳහන් රෝග වර්ගීකරණයේදී පැහැදිලිව දක්‌වා ඇත්තේ ද පුද්ගලයාට වැළඳෙන රෝග කායික හා මානසික ලෙස දෙයාකාර වන බවය. ගිරිමානන්ද සූත්‍රය කායික රෝග සම්බන්ධව විස්‌තර ඇතුළත් විවිධ සූත්‍ර දේශනාවන් අතර ප්‍රධානය.

....චක්‌ඛු රෝගෝ, සෝත රෝගෝ, ඝාත රෝගෝ, ජිව්හා රෝගෝ, කාය රෝගෝ, සීර්ස රෝගෝ, කණ්‌ණ රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාස්‍රො, පිනාසෝ, සිහෝ, ජරෝ, කුච්ජි රෝගෝ, මුච්ඡා, පක්‌ඛන්දිකා, සූලා, විසුචරිකා, කුට්‌ඨං, ගණ්‌ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්‌ඩු, කච්ජු, රඛසා, විතච්ජිකා, ලෝහිත පිත්තං මධුමේහෝ, ආසා, පිළිකා භගන්දළා .....

.........සිත්ත සමුට්‌ඨානා ආබාධා, සෙම්හ සමූට්‌ඨානා ආබාධා, වාත සමූට්‌ඨානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතු පරිනාමාණා ආබාධා, ඕපත්තමිතා ආබාධා, කම්ම විපාතජා ආබාධා, සීතං උණ්‌හං ජිඝච්ඡා පිපාසා උච්චාරෝ, පස්‌සාවෝති ඉති ඉමස්‌මි, කායේ ආදිනවානු පස්‌සී විහරති ......

මේ ගිරිමානන්ද තෙරුන්ගේ ආබාධයට පිළියම් සොයනු පිණිස ආනන්ද තෙරුන් කළ විමසීමේදී බුදුරජාණන් වහන්සේ විසින් කළ පැහැදිලි කිරීම ගිරිමානන්ද සූත්‍රයෙහි සටහන් වන ආකාරයයි.

ආනන්දයෙනි, මේ සස්‌නෙහි මහණවලට ගියේ වේවයි, රුක්‌මූලට ගියේ වේවයි, ශුන්‍යාගාරයට ගියේ වේවයි, මෙසේ සලකන්නේය. බොහෝ දුක්‌ ඇති මේ කාය බොහෝ ආදීනව ඇත්තේය. මෙසේ මේ කයෙහි විවිධ ආබාධයෝ උපදනාහ.....

මේ අදාළ පැහැදිළි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ප්‍රවිශ්ඨයයි.

මෙලෙස දක්‌වා ඇති රෝග ලැයිස්‌තුවට අද බටහිර වෛද්‍ය විද්‍යාවේ විස්‌තරාත්මක සඳහන් වන සියලු රෝග ඇතුළත්ය. අක්‌ෂි, ශ්‍රවණ, මුඛ, ආදී රෝගද, ඇදුම, පීනස, අතීසාරය, ලාදුරු, දිලීර රෝග, දියවැඩියාව, අර්ශස්‌, පිළිකා, උණ හා ගැස්‌ට්‍රයිටිස්‌ ලෙස අපට හුරු පුරුදු ආමාශයික රෝග තත්ත්වයන්ද පමණක්‌ නොව, සිතින් උපදින ආබාධ, වාතයෙන් උපදින ආබාධ, විෂම පරිහරණයෙන් හෙවත් වැරදි හැසිරීමෙන් උපදින ආබාධ, උපක්‍රමයෙන් උපදින ආබාධ හා කර්ම විපාකයෙන් උපදින ආබාධ ද එලෙස සටහන් වන රෝග අතරින් කිහිපයකි. මේ රෝග වර්ගීකරණය මඟින් පැහැදිලි වන්නේ පුද්ගල සමාජ සහ පරිසර සාධක කෙරෙහි වන පාලනය රෝග නිවාරණයේ දී අත්‍යවශ්‍ය බවය.

සෞඛ්‍ය ආරක්‌ෂණය හා රෝග නිවාරණය පිළිබඳ විස්‌තරාත්මක කරුණු මහාවග්ග පාලියේ සහ චුල්ලවග්ග පාලියේ සඳහන් ය. සීතලෙන්, උණුසුමෙන්, මැසි මදුරුවන්ගෙන්, කෘමීන්ගෙන් ආරක්‌ෂාවට වන සිවුරු පාරිභෝගය, පාරිසරික තත්ත්වයන්ගෙන් හා සතුන්ගෙන් ආරක්‌ෂාවට පිළිපැදිය යුතු පිළිවෙත්, දැහැටි වැළඳීම ආදී මුඛ සෞඛ්‍ය 

සුරැකීමට විය යුතු දේ, නිරෝගී බව සඳහා වන ව්‍යායාම පමණක්‌ නොව ගිලානෝපස්‌ථානයෙහිදී ක්‍රියා කළ යුතු ආකාරය ද එලෙස බෞද්ධ ධර්මයට ඇතුළත්ව ඇත්තේ කෙදිනටත් ගැළපෙන ආකාරයටය. විශාලා මහනුවර වැසියන් ප්‍රණීත ආහාර පානයෙන් භික්‌ෂූන් වහන්සේලාට සංග්‍රහ කිරීම සහ මේ සංග්‍රහ පිළිගෙන ව්‍යායාමයෙන් තොරව සිටීමෙන් උන්වහන්සේලා ආබාධයට ලක්‌ වූ අවස්‌ථාවේදී බුදුරජාණන් වහන්සේ අනුශාසනා කොට ඇත්තේ, ව්‍යායාම ලෙස සක්‌මනයෙහි යෙදීමට හුරු පුරුදු විය යුතු බවය.

බටහිර වෛද්‍ය විද්‍යාවේදී රෝග නිවාරණය සඳහා පරිසර හා සමාජ සාධක පාලනය කෙරෙහි අවධානය යොමු වන්නේ ක්‍රිස්‌තු වර්ෂ 1880 හා 1920 අතර කාලයේදීය. සෞඛ්‍ය සෞඛ්‍ය ප්‍රවර්ධනය හෙවත් සිය සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමේ හැකියාව ජනතාවට ලබාදීමේ සංකල්පය විසිවන සියවස ආරම්භයේ දී ඉදිරිපත් වන්නේ එහි තව ඉදිරි පියවරක්‌ හැටියටය. සෞඛ්‍යමත් වටපිටාවක්‌ ගොඩනඟා ගැනීම සහ සෞඛ්‍යමත් ආකල්ප කුසලතා වර්ධනය එහිදී සැලකිලිමත් වන මූලික කාර්යයන්ය.

ලෝ වැසියන්ගේ මනසද, සිරුරද, සුවපත්ව පවත්වා ගැනීමට අද වෛද්‍ය විද්‍යාවේදී භාවිතා වන සියලු දේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මයෙහි සටහන්ව ඇත්තේ වර්තමාන ජීවිතයට සීමා වන අයුරින් පමණක්‌ම නොවේ. වර්තමානය අනාගතය ඇතුළු සංසාරය සුවපත් වීමට අදාළ සියලු ප්‍රතිකාර විධි එහි ඇතුළත්ය. එහෙයින්ම සියලු සතට සුවසෙත සැලසූ මහ වෙදැදුරාණෝ බුදුරජාණන් වහන්සේමය.

වෛද්‍ය ශාන්ත හෙට්‌ටිආරච්චි
http://www.divaina.com/2017/05/07/feature19.html

ජාත්‍යන්තර වෙසක්‌ මෙහෙ සමරද්දී රජරට පන්සල් වේලෙන්නේ මෙහෙමයි... රාජමහා විහාර 29ක්‌ පාළුවී ගිහින්!

පසුගිය එල්. ටී. ටී. ත්‍රස්‌ත සටනේදී බපරපතළම හානිය සිදු වූයේ සම්බුද්ධ ශාසනයටය. විශේෂයෙන් උතුරුමැද පළාතේ උතුරට යාව පිහිටි ප්‍රදේශවල පැවැති වෙහෙර විහාර පන්සල් පෞරාණික ආගමික සංකේත විනාශ කර දැමීමේ කුමන්ත්‍රණය ඔවුන්ගේ සටනේ එක්‌ ප්‍රධාන අරමුණක්‌ විය. චෝල මාඝ, එළාර ආක්‍රමණවලදී මෙන්ම ප්‍රභාකරන් ආක්‍රමණයේදී ද සම්බුද්ධ ශාසනය උතුරෙන් නැගෙනහිරින් පමණක්‌ නොව උතුරු මැදින්ද අතුගා දැමීම ඔවුන්ගේ කුරිරු අරමුණ විය.

ප්‍රභාකරන්ගේ මෙම ආගම් විරෝධී සැහැසිකම නිසා උතුරුමැද ප්‍රත්‍යන්ත ප්‍රදේශවල පිහිටි වෙහෙර විහාර පන්සල් විනාශවී ගිය අතර ඒවායේ වැඩ විසූ භික්‍ෂූන් වහන්සේද එම ස්‌ථාන හැරදමා පණ බේරාගෙන ආරක්‍ෂිත ස්‌ථානවලට ගියහ. මේ අනුව එම විහාර පන්සල් පාළු විය. එල්. ටී. ටී. ත්‍රස්‌ත සටනින් හානි වූ ස්‌ථාන පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළේ එක්‌ ප්‍රධාන අංගයක්‌ වී ඇත්තේ උතුරුමැද පළාතේ පාළුවී ගිය වෙහෙර විහාර පන්සල් යළි සජීවීකරණයට පත්කිරීමය.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ උතුරු මධ්‍යම දිශාවේ අධිකරණ සංඝනායක මාවත වැවේ ගුණානන්ද හිමියෝ මෙසේ පැවසූහ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තයන් විසින් විනාශ කරන ලද උතුරු මැද පළාතේ වෙහෙර විහාර අතර තවමත් රාජමහා විහාරස්‌ථාන 29 ක්‌ පාළුවී තිබෙනවා. මේවායේ සංඝරත්නය නෑ. මේ විහාරස්‌ථාන යළි ගොඩනැඟීමේ අත්‍යවශ්‍ය පියවර වන්නේ බණදහම් පුරුදු පුහුණු කළ සංඝරත්නය බණදහම් පුරුදු පුහුණු කිරීම කාලීන අවශ්‍යතාවයක්‌.

ආනන්ද මහ පිරිවෙණේ ආරම්භය ගැන කරුණු හෙළි කළ පරිවේණාධ්‍යක්‍ෂ ජයන්තිපුර ආනන්ද හිමියෝ මෙසේද පැවසූහ.

උතුරුමැද පළාතේ සංඝරත්නයේ හිඟය පිරිමහන්නට අපි මේ පිරිවෙණ පටන් ගත්තා. මේ වන විට කුඩා සාමණේරයන් වහන්සේ 45 නමක්‌ මෙහි නැවතී බණදහම් පුරුදු පුහුණු වෙනවා. පහසුකම් නෑ. නේවාසිකාගාරය පොල්අතු මඩුවක්‌ සමහර පන්තිකාමර පොල්අතු මඩු ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ බොහොම අපහසුවෙන් තමයි රැඳී ඉන්නෙ. මේ අයට වහාම ඉඩකඩ ඇති නේවාසිකාගාරයක්‌ ඉදිකළ යුතුව තිබෙනවා.

කැලෑසියඹලෑවේ ආනන්ද මහ පිරිවෙණේ පරිවේණාධිපති ශාස්‌ත්‍රපති පණ්‌ඩිත කැලෑ සියඹළාවේ නන්දහිමි කරුණු දක්‌වමින් මෙසේ පැවසූහ.

පිරිවෙණේ දැන උගත් ගුරුමණ්‌ඩලය 19 ක්‌ විතර ඉන්නවා. ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ 45 නමක්‌ ඉගෙන ගන්නවා. ඊට අමතරව පැවිදි බව අපේක්‍ෂා වෙන් තවත් දරුවන් 12 ක්‌ 15 ක්‌ ඉන්නවා. අපි මුහුණ දී සිටින ලොකුම ගැටලුව තමයි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේට නේවාසික පහසුකම් සැලසීම. දැනට ඉන්නේ පොල්අතු මඩුවල නේවාසිකාගාරයක්‌ හදන්න ඊයේ පෙරේදා මුල්ගල් තිබ්බා. මේ ශිෂ්‍ය භිsක්‌ෂුන් වහන්සේට නේවාසික පහසුකම් සලසා දෙන්න ඉක්‌මණින් මේ ගොඩනැඟිල්ල හදාගන්න පින්වතුන්ගේ ආධාර උපකාර ප්‍රාර්ථනා කරනවා. පරිවේනාධිපති ශාස්‌ත්‍රපති පණ්‌ඩිත කැලෑසියඹලෑවේ නන්ද හිමි

කැලෑසියඹලෑව මහ පිරිවෙන - එප්පාවල, උන්වහන්සේගේ ලිපිනයයි.

එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2017/05/07/feature33.html

කණ්‌ටක දාගැබ ඉතිහාසය මෙහෙමයි !

ලංකාවාසී බෞද්ධ ජනයාට මිහින්තලය වැදගත් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස හා දේවානම්පියතිස්‌ස මහ රජතුමා ඇතුළු දෙපිරිස හමු වූ ඓතිහාසික භූමිය වීම නිසාම නොවේ. වංස කතාවේ ෙච්තියගිරිය, සෑගිරිය ලෙස හැඳින්වූ මිහින්තලය නම් වූ ශේෂ කඳු පන්තිය ආශ්‍රිතව ගොඩනැගුණු අති විශාල බෞද්ධ ආරාමය ලක්‌දිව බුදු සසුන ස්‌ථාපිත වීම කෙරේ බලපෑ ප්‍රධාන මධ්‍යස්‌ථානයක්‌ වීම යන කාරණාව හේතුවෙන් ලංකාවාසී බෞද්ධ ජනයාගේ නොමඳ පූජනීයත්වයට පත්වූහ.

ඓතිහාසික මිහින්තලා මහ සෑය, අම්භස්‌ථල දාගැබ, කණ්‌ටක දාගැබ ප්‍රධාන කොට ඇති අති විශාල දාගැබ් ප්‍රමාණය මෙන්ම බෝධිඝර, දාන ශාලා, ආරාමික ගොඩනැඟිලි, ආරෝග්‍ය ශාලා හා අනෙකුත් ආරාමික නටබුන් අතීත ෙච්තියගිරියේ සුවිශේෂත්වය හා දියුණුව අද දක්‌වාම නිහඬව කියාපායි. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසිවන සියවසේ මුල් අවධියේ සිටම මිහින්තලය ආරාමික නටබුන් කෙරේ දැක්‌ වූ උනන්දුව කැපී පෙනේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ධූරයට පත් කීර්තිමත් පුරාවිද්‍යාඥයා වූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් මිහින්තලයේ නටබුන් පරීක්‌ෂා කිරීමට විශේෂ උනන්දුවකින් කටයුතු කළේය.

පරණවිතාන ශූරීන් විසින් මිහින්තලයේ කණ්‌ටක දාගැබේ සිදු කළ පර්යේෂණ ඇසුරින් මෙතැන් සිට මෙම ලිපිය දිගහැරණුයේ ගාල්ල පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩ විතාන මහතා සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරිණි.

මෙම දාගැබ සොයා ගන්නා විට එහි උඩ කොටස්‌ කඩා වැටී පස්‌ කන්දක්‌ සේ තිබී ඇත. 1934 ට පෙර වාර්තාවල දාගැබ හඳුන්වා තිබුණේ 'කිරිබඩපව්ව' නමිනි. නමුත් මෙම දාගැබේ නියම නම කණ්‌ටක දාගැබයි. දාගැබට වයඔ දිගින් පිහිටි ශිලා ලේඛනයක මෙම නම සඳහන්ව ඇත. 

දාගැබේ කැණීම් කටයුතු 1934 දෙසැම්බර් මාසයේ දී ආරම්භ කර ඇති අතර එම කාර්ය 1935 ජුනි මස අවසානය දක්‌වා සිදුකර ඇත. කැණීම් ආරම්භ කිරීමට පෙර දාගැබක කිසිදු සලකුණක්‌ පෙනෙන්නට නොතිබූ බව පරණවිතාන මහතා පවසයි. මෙය මහ ගස්‌ වැවුණු කඳු ගැටයක්‌ ලෙස දිස්‌ විය. 

කණ්‌ටක දාගැබ කවුරුන් විසින් ඉදිකරන ලද්දක්‌ දැයි සඳහනක්‌ නැත. නමුත් ක්‍රිස්‌තු පූර්ව 119- 109 රජ කළ සද්ධාතිස්‌ස රජුගේ පුත් ල-ජතිස්‌ස රජු මෙම දාගැබට 'ගල් කඤ්චුකයක්‌' තැනවූ බව මහාවංසයේ සඳහන් වේ. ඒ අනුව මුල් දාගැබ ල-ජතිස්‌සට පෙර සිටි රජ කෙනෙක්‌ ඉදිකරන්නට ඇත. ඒ අනුව දාගැබ සද්ධාතිස්‌ස රජුගේ හෝ දුටුගැමුණු රජුගේ නිර්මාණයක්‌ විය යුතුය. දුටුගැමුණුට පෙර එළාර රජු රජ වී සිටි බැවින් ඔහුගේ කාලයේ දී මිහින්තලයට අනුග්‍රහයක්‌ නොලැබෙන්නට ඇත. එහෙත් මහාවංසය පවසන ආකාරයට මිහින්තලා මහ සෑයට එළාර රජුගේ රථයෙන් සිදු වූ හානියට පිළියම් වශයෙන් එම දාගැබේ විනාශ වූ කොටස නැවත පිළිසකර කිරීම ගැන පුවතක්‌ සඳහන් වේ. දේවානම්පියතිස්‌ස රජුගේ සොහොයුරු උත්තිය රජුගේ කාලය හැරෙන්නට එළාර රජුට පෙර සිටි සෙසු සොහොයුරන්ගේ කෙටි පාලන කාලවලදී මෙවන් අනුග්‍රහයක්‌ මිහින්තලයට ලැබුණ බවට සාක්‌ෂි නැත. එහෙත් උත්තිය රජු මිහිඳු රජුගේ භෂ්මාවශේෂ තැන්පත් කර සෑගිරියේ මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල දාගැබ් ඉඳිකළ බව මහාවංසය සඳහන් කරයි. (මහාවංසය 20 පරිච්ඡේදය 46 ගාථාව) එහෙත් මිහින්තලයෙන් මිහිඳු සෑය ලෙස මිහිඳු මහ රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ඉදි කළ දාගැබක්‌ හඳුනාගෙන ඇති බැවින් කණ්‌ටක දාගැබ උත්තිය රජුගේ කෘතියක්‌ විය නොහැකිය. 

දේවානම්පියතිස්‌ස රජතුමා මිහින්තලයේ කණ්‌ටක දාගැබ අවට අට සැට ලෙන් කරවා මිහිඳු මහ රහතන් වහන්සේට පූජා කළ විස්‌තරයක්‌ මහාවංසයේ සඳහන් වුවත් කණ්‌ටක දාගැබ එතුමා කළ බවට සඳහනක්‌ නැහැ. එසේ නම් නිසැක වශයෙන්ම කණ්‌ටක දාගැබ දුටුගැමුණු රජුගේ හෝ සද්ධාතිස්‌ස රජුගේ කාර්යයක්‌ විය යුතුයි බුද්ධි නාගොඩ විතාන මහතා කියන්නේය.

පරණවිතාන මහතා කණ්‌ටක දාගැබේ කළ කැණීම් කටයුතු අතිශය අසීරු කටයුත්තක්‌. අද මෙන් හෙළි පෙහෙළි නොවූ ගන වනාන්තරයේ වෙසෙමින් ඉතා අඩු පහසුකම් යටතේ කළ පර්යේෂණ කටයුතු බෙහෙවින් අගය කළ යුතුයි දාගැබ මත තිබූ දැවැන්ත ගස්‌ ඉවත් කොට සළපතල මළුව මතුකර ගැනීම සඳහා මතුපිට සිට අඩි 30 ක්‌ පමණ ගැඹුරට කැණීම් කටයුතු සිදු කිරීමට එතුමාට සිදු වුණා. කැණීම් කර ඉවත් කරන ලද පස්‌ වෙනත් නටබුන් යට නොවනසේ දාගැබට දකුණින් හා උතුරින් වූ කඳු බෑවුම්වලට බහාලූ බව එතුමාගේ වාර්තාවේ සඳහන් වෙනවා. සුන්බුන් ඉවත් කළ පසු දාගැබ ගර්භයේ පහළ කොටසුත් මළුවට සම්බන්ධ කොට එකමත එක ඉඳිකර තිබූ පේසා වළලු තුනත් සිව් දිශාවේ වූ වාහල්කඩ (ආයක) හතරක්‌ මතුකරගත හැකි වුණා. දිවයිනේ වෙනත් කිසිදු දාගැබකින් ආරක්‌ෂා වී නොතිබූ ආකාරයෙන් මෙම දාගැබේ වාහල්කඩ දෙකක්‌ හා පේසා වළලු තුනක්‌ ආරක්‌ෂා වී තිබූ බව පරණවිතාන මහතා සඳහන් කරනවා. දාගැබ මතුකර ගන්නා විට එහි උස අඩි 40 ක්‌ පමණ ශේෂව තිබූ අතර වට ප්‍රමාණය අඩි 425 ක්‌ වී යෑයි සඳහන් වෙන බව බුද්ධි නාගොඩ විතාන මහතා පවසන්නේ පරණවිතාන ශූරීන් විසින් කළ පර්යේෂණයේ දුෂ්කර බව පවසමිණි. 

පේසා වළලුවල මුහුණත සමහර කොටස්‌ හුණු ගලින් බැඳ තිබී ඇත. ඉහළම පේසාව, ගල් ඇතිරූ මළුවේ සිට අඩි දහයකුත් අඟල් නවයක්‌ උසින් පිහිටා ඇත. ඉහළම පේසාව මතින් ගර්භය ආරම්භ වේ. ගර්භයේ ද යට කොටස්‌ එනම් ඉහළම පේසාව මට්‌ටමේ දී මුහුණතට හුණුගල් අල්ලා ඉඳිකොට තිබූ බව පරණවිතාන මහතා තම වාර්තාවේ සඳහන් කරයි. මුළු දාගැබට පසු කාලයේ දී ගඩොල් කඤ්චුකයක්‌ එකතු කිරීමෙන් විශාල කර ඇතැයි පරණවිතාන මහතා විශ්වාස කළේය. එසේම මෙම දාගැබට ල-ජතිස්‌ස රජු ගල් කඤ්චුකයක්‌ ඉදි කළේ යෑයි මහාවංශයේ වන සඳහන මතුකරන පරණවිතානයන් එසේ ඉදිකරන ලද ගල් කඤ්චුකය මෙය විය හැකි බවට අනුමාන කරයි. පරණවිතානයන්ගේ සියුම් කැණීම් කටයුතුවලදී දාගැබේ ගර්භයෙන් හා පේසා වළලු මුහුණතෙන් මතුකරගත් හුණු බදාම කොටස්‌ ආරක්‌ෂා කර ගැනීම සඳහා ද කටයුතු සිදු කර ඇත.

පරණවිතානයන්ගේ කැණීම් කටයුතුවලදී මතුකරගත් දාගැබේ වාහල්කඩ හතර ගැන විශේෂයෙන් එතුමාගේ වාර්තාවේ සඳහන් කර ඇත. ඒ ගැන බුද්ධි නාගොඩ විතාන මහතා මෙසේ කීවේය.

දකුණු හා නැඟෙනහිර වාහල්කඩ ඉතා හොඳින් ආරක්‌ෂා වී තිබුණ වාහල්කඩ දෙකයි. උතුරු වාහල්කඩ මදක්‌ විනාශ වී තිබුණත් එය නැවත ප්‍රතිසංස්‌කරණය කළ හැකි මට්‌ටමක වූ බව එතුමා සඳහන් කර තියෙනවා. නමුත් බස්‌නාහිර වාහල්කඩ නැවත අලුත්වැඩියා කළ නොහැකි තරමට කැඩී බිඳී ගොස්‌ තිබූ බව එතුමාගේ වාර්තාවල සඳහන් වෙනවා. කණ්‌ටක චෛත්‍යයේ විශේෂත්වය වන්නේ දැනට ඉතිරි වී ඇති හොඳම වාහල්කඩක්‌ මෙහි තිබීමයි. ඒ ගැන පරණවිතානයන් සඳහන් කරන්නේ මෙසේය. -කණ්‌ටක චෛත්‍යයේ වාහල්කඩ විචිත්‍ර කැටයමින් යුක්‌තය. බිත්ති හිස පිහිටි ඉහළම ලීස්‌තරයට යටින් ඇත්තේ ගණ රූ පෙළකි. ඊට යටින් ඇත්තේ හංස රූ පෙළකි. ගල් ඇල්ලූ කොටසට ඉහළින් ඇති ගඩොල් බැම්මේ බොකු තනා ඇත. හැම බොක්‌කකම දෙපස බිත්ති කණු දෙකකි. හුනෙන් හෝ ඇසුරුම් මැට්‌ටෙන් හෝ තැනූ දේවතා පිළිමයක්‌ හැම බොක්‌කකම තිබී ඇති බව පෙනේ ඒ පිළිම සමහරක කොටස්‌ තවම දැකිය හැකිය. අසල සුන්බුන් මැද තිබී සම්බවුණු සමහර පිළිම හිස්‌ අතර අත්කම් හැටියට බොහෝ වටිනාකමින් යුතු ඇඹුම් මැටි පිළිම හිස්‌ දෙකක්‌ ද විය. ඒ පිළිම ද මුළු වාහල්කඩද පෙර විවිධ වර්ණයෙන් සායම් කර තිබී ඇති බව පෙනේ. අදත් තැනින් තැන ඒ සායම් ලකුණු දක්‌නට ඇත.

කණ්‌ටක දාගැබේ වාහල්කඩෙන් හමුවන ඉහත කී ගණ රූප සිත් ඇදගන්නා සුලුය. එහි නිරූපනය වන වාමනයන්ගෙන් සමහරු සංගීත භාණ්‌ඩ වාදනය කරති. එකෙක්‌ නාගයෙකු සමඟ ක්‍රීඩා කරයි. තවෙකෙක්‌ හිසින් සිටියි. ඔවුහු විවිධ ඉරියව් දක්‌වති. සමහර වාමනයන්ට සත්ව හිස්‌ ඇත. ඒ අතර අශ්ව, වල් ඌරු, වානර ආදී හිස්‌ සහිත වාමනයන් මෙම වාහල්කඩ ගණ රූප අතර සිටින බව පරණවිතාන මහතා පවසයි. මෙම ගණ රූප පේළිය මැද දක්‌නට ලැබෙන එක්‌ දළයක්‌ කැඩී ගිය ඇත් හිසකින් යුත් ගණ රූපයක්‌ කෙරේ පරණවිතානයන්ගේ නිරීක්‌ෂණ යොමු විය. මෙහි දක්‌නට ලැබෙන ඇත් හිසක්‌ සහිත ගණ රුව වෙත දෙපසින් විවිධ දෑ අතින් ගත් ගණ රූප පෙළක්‌ වෙයි. මෙම කැටයම සැළකිල්ලට ගත් පරණවිතානයන් එය ගණ දෙවියන්ගේ කැටයමක්‌ යෑයි හඳුනා ගත්තේය. 

අපගේ පෞරාණික නටබුන්වලට වන නිදන් හොරුන්ගේ තර්ජන අතීතයේ ද අඩුවක්‌ නැතිව තිබූ බව පරණවිතාන මහතා කියයි. කණ්‌ටක දාගැබද නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්‌ වී ඇත. නිදන් හොරුන් හෑරූ වළට යටවී තිබී ගලින් තැනූ කරඬු විශාල සංඛ්‍යාවක්‌ පරණවිතාන මහතාගේ පර්යේෂණවලදී සොයාගනු ලැබීය. එම කරඬු දාගැබ් ආකාරයෙන් නිමවා තිබූ බවත් ඒවායේ ශ්‍රද්ධාවන්තයන් පූජා කළ නොයෙක්‌ වස්‌තුවූ බවත් පරණවිතාන මහතා තම වාර්තාවේ සඳහන් කරයි. 

කණ්‌ටක චෛත්‍යයෙන් පාදාගත් ඉතා වටිනා වාහල්කඩ කිහිපය ආරක්‌ෂාකර ගැනීම සඳහා පරණවිතාන මහතා ඉතා උනන්දුවෙන් කටයුතු කළේය. වාහල්කඩේ පහළ කොටස්‌ ගලින් නිර්මාණය කර ඇතත් උඩ කොටස නිර්මාණය කර තිබුණේ ගඩොලෙනි. බොහොමයක්‌ දාගැබ්වල වාහල්කඩේ ඉහළ ගඩොල් ඉදිකිරීම් සියල්ල විනාශ වී ගොස්‌ ඇති හෙයින් කණ්‌ටක දාගැබේ වාහල්කඩෙන් උඩ කොටස පිළිබඳව ලැබෙන සාක්‌ෂි ඉතා වැදගත් ලෙස පරණවිතාන මහතා සැලකීය. කැණීමෙන් පසුව ඇදහැලෙන පළමු වර්ෂාවෙන්ම ඇදවැටෙන බවට අනුමාන කළ වාහල්කඩේ උඩ කොටසේ ගඩොල් බැමි ආරක්‌ෂා කිරීමට එතුමා පොල්අතු වහලයක්‌ කඩිනමින් ඉඳි කළේය.

වඩා හොඳින් ආරක්‌ෂා වී තිබූ නැඟෙනහිර වාහල්කඩේ සංරක්‌ෂණ කටයුතු එතුමා පළමුව ආරම්භ කරනු ලැබීය. ගඩොල් අතරට ඇදී ගොස්‌ තිබූ විවිධ ගස්‌වැල්වල මුල් ඉතා පරිස්‌සමින් උදුරා දමා හිස්‌ කුස්‌තූරවලට බදාම කවා බුරුල් වූ ගඩොල් නැවත ශක්‌තිමත් කර ඇත. එසේම වෙනත් ක්‍රමවලින් අලුත්වැඩියා කළ නොහැකි කොටස්‌ ගලවා පරණ ද්‍රව්‍යම හැකි තරම් දුරට පාවිච්චි කර නැවත බැඳීම සිදුකර ආරක්‌ෂා කිරීමට කටයුතු කර ඇත. එසේම මැද තිබූ බුරුල් වූ ගඩොල් හා බුරුල් වූ පස්‌ ඉවත් කර ඒවාට කොන්ක්‍රීට්‌ යොදා නැවත ශක්‌තිමත් කරන ලද්දේ පිටතට නොපෙනෙන ආකාරයෙන් යෑයි පරණවිතාන මහතා තම වාර්තාවේ සඳහන් කර ඇත. තවද වාහල්කඩ සංරක්‌ෂණය කිරීමේ දී නොයෙක්‌ රටා කපා තිබූ බදාම කැබලි ද බැම්මේ බොකුවල තබා තිබුණු අලංකාර ඇඹුම් මැටි පිළිම කැබලි ද නැවත ඒ ඒ නියමිත ස්‌ථානවලම තබා සිමෙන්තියෙන් සවිකර ඇත. මේ සඳහා යොදාගත් අලුත් බදාමය පැරණි බදාමයට ගැළපෙන පරිදි පාට කරනු ලැබූ බවද එතුමා වැඩි දුරටත් සඳහන් කරයි.

වාහල්කඩ දෙපස වූ කැටයම් කණු පුපුරා තිබූ හෙයින් සුන්බුන් ඉවත් කළ පසු වර්ෂා කාලයේ දී ඇදවැටේ යෑයි සැක කළ පරණවිතානයන් එම කණු නැවත ශක්‌මත් කිරීමට කටයුතු කළේය. එම කණුවල අභ්‍යන්තරයට වානේ කූරු ගිල්වා ඒවා ශක්‌තිමත් කළේ පිටතට නොපෙනෙන අන්දමටය. පුරාණයේ එම කණු මත තිබූ ඇත් රූප කැටයම් බිම වැටී තිබී එතුමාට කැණීම් කටයුතුවලදී හමුවී තිබුණි. පෙර කී කණුව ශක්‌තිමත් කළ පරණවිතානයන් බිම වැටී තිබූ ඇත් රූප පෙර තිබූ පරිදිම කණුවෙහි මුදුනෙහි සවි කළේය. වාහල්කඩ ඉදිරිපස තබූ ගලින් නෙළුE පූජාසනය නිදන් හොරුන්ගේ කුරිරු පහර දීමට හසුව විනාශ වී තිබූ බව එතුමා සඳහන් කරයි. පසුව එම පූජාසනය හා එයට සම්බන්ධ සියලු ගල් කැබලි එක්‌කර පුරාණයේ තිබූ අයුරින්ම නැවත ස්‌ථාපිත කළේ යෑයි පරණවිතාන මහතා තම වාර්තාවේ සඳහන් කළේය. මේ ආකාරයෙන් නැඟෙනහිර වාහල්කඩට කළ සංරක්‌ෂණ ප්‍රතිකර්ම සියල්ලම අනෙක්‌ වාහල්කඩවලටද කිරීමට එතුමා අතපසු නොකළේය. එහෙත් උතුරු වාහල්කඩ සංරක්‌ෂණයේ දී මහත් වෙහෙසක්‌ දැරීමට සිදු වූයේ එය බෙහෙවින් විනාශ වී දුර්වල වී තිබූ නිසා බව එතුමා කියයි. මේ හේතුව නිසා එම වාහල්කඩ අංක යොදා ගලවා නැවත සවිකිරීමට එතුමාට සිදුවිය. මෙය ඉතා ප්‍රවේශමෙන් හා සැලකිල්ලෙන් කළ යුතු කාර්යයක්‌ වූයේ වාහල්කඩ ඉඳිකර තිබූ හුණුගල් කොටස්‌ බෙහෙවින් දිරා ගොස්‌ තිබූ නිසා යෑයි එතුමා සඳහන් කළේය. 

පරණවිතාන මහතා 1934 දී ආරම්භ කළ කැණීම් හා සංරක්‌ෂණ කටයුතු 1936 පමණ වන විට අවසන් කොට තිබුණා. මිහින්තලා කණ්‌ටක දාගැබ කැණීම් කොට සංරක්‌ෂණය කිරීමේ කාර්ය සඳහා එතුමා ගත් උත්සාහය මෙම වාර්තාවලින් මනාව පැහැදිලි වෙනවා. පරණවිතාන මහතා සිදු කළ විශිෂ්ට කැණීම හා සංරක්‌ෂණ කටයුතු අතර මිහින්තලා කණ්‌ටක චෛත්‍ය කැණීම් හා සංරක්‌ෂණ කටයුතු ද සුවිශේෂ කාර්යයක්‌ බව බුද්ධි නාගොඩ විතාන මහතා සඳහන් කළේය.

පරණවිතානයන් මිහින්තලේ කණ්‌ටක දාගැබේ කළ පුරාවිද්‍යා පර්යේෂණ

ලලිත් චාමින්ද
http://www.divaina.com/2017/05/07/feature03.html

මහනුවරම එළිය කරන අස්‌ගිරි චෛත්‍යරාජයාණෝ...

'බුදුරදුන්ගේ සුළුමව් වූ ප්‍රජාපතිගෝතමිය පිරිනිවන් පෑමෙන් පසු ඕ තොමෝගේ ශාරීරික ධාතුන් වහන්සේලා නිධන් කොට තබන්නට පූජනීය වන්දනීය ස්‌ථානයක්‌ තැනිය යුතුය........ යන උදාර ෙච්තනාව මල්පල ගැන්විය යුත්තේ කෙසේද'... යන්න භික්‌ෂූන් වහන්සේලා බුදුන් වහන්සේගෙන් විමසන කල්හි, .......... ඊට පිළිතුරු දුන් බුදුන්වහන්සේ, හැරමිටියක්‌ ගෙන සිටුවා පාත්‍රය මුනින් අත නවා පෙන්වා 'මෙපරිද්දෙන් සුදුසු පරිදි පහන් සිත් උපදනා අයුරින් තනන්නට කටයුතු කිරීම මැනවැයි' වදාළහ.

ඒ අනුව සිළුමිණ සෑයක්‌ තැනීමේ කර්තව්‍ය ආරම්භ විණැයි බෞද්ධ ඉතිහාස පොත් පත් කරුණු සනාථ කරන්නේය. එය තවදුරටත් පසක්‌ කරමින් බුදුන්වහන්සේ දෙසූ මහා පරිනිබ්බාන සූත්‍රයේ අන්තර්ගත වන්නේ, නිවන් ගියද ඕ තොමෝ රමණීය මණ්‌ඩපයක වැඩසිටින්නීය. රැස්‌ පතුරාලමින් ගුණ සුවඳ විහිදන්නීය. ආදී ලෙසිනි. ඒ සෑයක්‌ හෙවත් චෛත්‍යයක උපතය. එතැන් පටන් රහතන් වහන්සේලාගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම පිණිස ද එම ධාතුන් වහන්සේලා වන්දනා මාන කොට බුදුදහම රැකගැනීම පිණිස ද චෛත්‍ය වන්දනා කිරීම සිදු කෙරිණි. 

මෙසිරිලක්‌ දෙරණේ චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක්‌ ස්‌ථාපිත කිරීමේ මුල් අඩිතාලම යෙදූයේ තපස්‌සුභල්ලුකයන් විසිනි. බුදුන් වහන්සේගේ කේෂධාතු නිදන් කොට තැනූ ගිරිහඬු සෑයට පසුව සුමන සමන් දෙවියන් විසින් මහියංගන චෛත්‍ය ද අතීත ශ්‍රී විභූතිය අදටත් විද්‍යාමාන කරයි.. ස්‌ථූප වංස කතාවට අනුව ලංකාවේ ඉදිකළ පළමු දාගැබ ථූපාරාමයය. එතැන් සිට මෙතෙක්‌ ඉදිවූ චෛත්‍යයන් සංඛ්‍යාත්මකව ලක්‌ෂය ද ඉක්‌මවා ඇත්තේය.

බුදුන්වහන්සේගේ මුදුන් මල්කඩ හෙවත් ජීවමාන බුදුන් වහන්සේ වැඩසිටිනා බවට ලොව ප්‍රකට කන්ද උඩරට මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩසිටින දළදා මාළිගාව හා ඒ ඇසුරෙහි මේ ශතකයන් පහ හය පුරාවටම චෛත්‍යරාජයාණන් වහන්සේ නමක වැඩසිටින බවක්‌ දක්‌නා නොලැබිණි. දැනට සත් වසරකට පෙර එවැන්නක්‌ පිළිබඳව සිත් පහළ වූ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්‌ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්‌ගිරි මහ විහාරයීය මහපිරිවෙන් පරිවේණාධිපති ශාස්‌ත්‍රපති පණ්‌ඩිත නාරම්පනාවේ ආනන්ද හිමියෝ ගිහි භාරකාරිත්වය ද එක්‌කාසු කොට චෛත්‍යයක්‌ ඉදිකිරීමේ භාරදූර කාර්යය ආරම්භ කළහ. එය නොසිතූ නොවිරූ පරිද්දෙන් සෙංකඩගල පුරවරය පුරාවිද්‍යමාන වන පරිද්දෙන් බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිකරමින් කඳු මුදුනක වැජඹෙන සිරිය ඕනෑම පුද්ගලයකුට දැකගත හැකි වන්නේය. මේතාක්‌ මහනුවරට පැමිණෙන උදවියට මෛත්‍රී සිත් පහල කරගනු වස්‌ ඈත තියා දැකගත හැකි වූයේ, බහිරවකන්ද මත වැඩසිටිනා බුදුන් වහන්සේගේ පිළිමය පමණකි. ලෝක උරුම නගරයට ප්‍රවිශ්ඨ වන මේ මොහොත මෙත් සිත් පහළ කරගනිමින්, දුර තියාම මේ අප පා නගන්නේ බුදුන් වහන්සේගේ නිර්මල පිවිතුරු ඇල්ම බැල්ම ස්‌පර්ශය හිමිවන ලෝ පතල අවසන් රාජධානිය පැවැති බිමටය යන හැඟීම ජනිත කරවන්නට මේ මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ දසුනද රුකුලක්‌ වන්නේය. 

මේ මහා කර්තව්‍යයට යෝධ ශක්‌තියක්‌ වූයේ නාරම්පනාවේ ආනන්ද හිමියෝය. උන්වහන්සේ මෙසේ පවසති..

'මේ පින් බිම අස්‌ගිරි මහා විහාරයේ මහපිරිවෙන පිහිටි බිමයි. 1958 වසරේ ඇරඹි අස්‌ගිරි මහ පිරිවෙන සර්ව සම්පූර්ණ පිරිවෙනක අසිරි මවන්නට මට වුවමනා වුණා. මේ සඳහා උපදෙස්‌ අනුශාසනා සියල්ල ලබා දුන්නේ අපවත් වී වදාළ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී ධම්මදස්‌සි රතනපාල බුද්ධරක්‌ත මහ නාහිමියෝයි.

මට මහා වුවමනාවක්‌ ආවා චෛත්‍යයක්‌ හදලා කොත් පලඳලා පෙර කල කෙරුණු සියලුම චාරිත්‍ර වාරිත්‍ර කරලා වන්දනීය තැනක්‌ බිහි කරන්න. මේ අදහස මම කිව්වාම... මේ අහල පහල ඉන්න මේ විහාරස්‌ථානවලට ලැදි කුලතුංග අම්මා ඇවිත් මිට මොලවලා මගේ අතේ මුදලක්‌ තියලා කිව්වා 'ඔබ වහන්සේ හිතපු විදිහටම චෛත්‍ය හදන්න පුළුවන් ශක්‌තිය ධෛර්යය ලැබෙන්න ඕනෑ. මං මැරෙන්න කලින් මටත් චෛත්‍ය වැඳ පුදා ගන්න හැකි වෙන්න ඕනෑ' කියලා. ඇත්තෙන්ම ඒවගේම හැමෝගෙම උදව් ඇතිව මේ චෛත්‍යයේ වැඩ නිම කරන්න අපට හැකි වුණා. අපි හිතුවාටත් වඩා හොඳට වැඩ කරන්න අපේ අස්‌ගිරි මහා විහාර පරිවේනස්‌ථ චෛත්‍ය වර්ධන කමිටුව උනන්දු වුණා. මේ කමිටුවේ, මගේ අනුශාසකත්වයෙන්, ගිහි අනුශාසකවරුත් ඉන්නවා. හිටපු ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව දියවඩන නිලමේ නිලංග දෑල, මහා දිසාපතිතුමා, නාගරික කොමසාරිස්‌ චන්දන තෙන්නකෝන්, ඉන්ද්‍රd ටේ්‍රඩර්ස්‌ අධිපති ඉන්ද්‍ර කුමාර ද සිල්වා, කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විඡේසේන යන මහත්වරු නිතරම මේ කටයුතු සිදුවන්නේ කොහොමද අඩුපාඩු මොනවාද හොයලා බැලුවා. මේ අය විතරක්‌ නෙවෙයි, කමිටුවෙ සභාපති විශේෂඥ වෛද්‍ය දේශබන්දු කපිල ගුණවර්ධන ලේකම් ලයනල් ගුණතිලක, භාණ්‌ඩාගාරික ඩබ්ලිව්. එම්. ශ්‍රියානන්ද, තාක්‌ෂණික උපදෙස්‌ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය රංජිත් දිසානායක, පුවත්පත් අලෙවි නියෝජිත ජයකොඩි, දමිත නානායක්‌කාර, ඒ. එස්‌. රණවීර, තිස්‌ස කරුණාරත්න, වෝල්ටර් වේරපිටිය, සුනීතා වීරසේකර, යූ. කේ. විඡේසිරි, ඩබ්ලිව්. එම්. තිලකරත්න බණ්‌ඩාර යන කමිටු සාමාජිකයෝ මේ කටයුතු සඳහා දිව රෑ නොබලා වෙහෙස වුණා. ඒ අය මට මහා ශක්‌තියක්‌ වුණා. මගේ අදහස මල් ඵල ගැන්වුණේ ඒ අය නිසා. තවත් බොහෝ දෙනා පැමිණ මගෙන් අඩුපාඩු විමසා උදව් කළා. මේ හැම දෙනාටම මහා පිනක්‌ අත්පත් වෙනවා ....'

චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු ඇරඹුණේ 2010 වසරේ නොවැම්බර් මස 7 වැනිදාය. උස අඩි පනස්‌ පහක්‌ වන චෛත්‍යයේ දාගැබ තුළ සිව් දිශාවට මුහුණලා තැන්පත් කරන දර්ශනීය සමාධි පිළිමවහන්සේලා හතරනමක්‌ වැඩ සිටින බුද්ධ මන්දිරයක්‌ ද වෙයි. අෂ්ටාශ්‍ර සිව් මහල් ගොඩනැඟිල්ලේ උස අඩි හතළිස්‌ හතකි. 

පාත මහල ඇතුළත අනුරාධපුර යුගයේ සිට මේ දක්‌වා පිරිවෙන් ඉතිහාසය පිළිබඳ සියලු තොරතුරු හා කෞතුක වස්‌තු ඇතුළත් කෞතුකාගාරයකින් සමන්විත වෙයි. පිරිවෙන් අධ්‍යාපනය එදා සිට මෙදා දක්‌වා විකාශය වූ අයුරු කාට හෝ අධ්‍යනය කළ යුතු වේ නම් මෙහිදී ඊට අවැසි පසුබිම නීති සකසා ඇත්තේය. 

දෙවැනි මහල කාලීනය. එහි ගිහි පැවිදි සියලු පිංවතුන් සඳහා චිත්ත විවේකාගාරයකි. තුන්තිස්‌පැයෙහිම විවෘත තබන මෙහි පැමිණ භාවනා යෝගිව සිට සිත නිවා ගැනීමේ අවස්‌ථාව සලසා ඇත්තේ කාලීන අවශ්‍යතාවක්‌ පිරිමසන පරිද්දෙනි. මෙම භාවනායෝගි ව සිටිය හැකි බිම්කඩ වර්ග අඩි දෙදහස්‌ පන්සියයක ඉඩකඩකින් යුක්‌තය. පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්‌වාමින් වහන්සේලාට ප්‍රායෝගිකව භාවනාවේ යෙදීමටත්, ඒ පිළිබඳ ගැඹුරින් අධ්‍යනය කරන්නටත් අවැසි පසුබිම මෙහි නිති සකසා ඇත්තේය. කර්මස්‌ථාන, ජීවිතයේ අවස්‌ථා දහය බිත්ති මත සිතුවම් කොට ජීවිතාවබෝධය සමඟ භාවනාවේ යෙදිය යුතු අන්දම අවබෝධ කර දෙන්නට හැකි උපරිම උත්සාහය ගෙන ඇති බව කිව මනාය. 

තෙවැනි මහල චෛත්‍ය රාජයාණෝය. සතර දිශාවෙන් ගර්භයට ප්‍රවිෂ්ඨ විය හැකි වෙයි. අප මෙයට පෙර අත්විඳ ඇති කළුතර බෝධිය සිහියට නඟාගත හැකිය. වෙනසක්‌ දැකිය හැක්‌කේ මෙම ගර්භය අභ්‍යන්තරයේ සිතුවම් ඔස්‌සේ අපගේ මනස බුද්ධිය වඩ වඩාත් බුදු දහමට අතීතයට බොදු ඉතිහාසයට ගමන් කිරීමට හැකි පරිසරය උදාකරමින් දක්‌වා ඇති සිතුවම් ගොන්නය. මුදුනත වියන් චිත්‍රයකි. ධාතුන් වහන්සේලා වැඩ සිටියදී අනිවාර්යයෙන් තිබිය යුතු සදේව නමස්‌කාරය විචිත්‍රවත් ලෙස සිතුවමට නඟා ඇත්තේය. බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්‌ථා සිතුවමට නඟා ඇත්තේ, මනස ඒකාග්‍ර කරවීමේ උපක්‍රමයක්‌ පරිද්දෙනි. මිහිදු හිමියන් වැඩම වූ කල සිට අස්‌ගිරි පිරිවෙන් ඇරඹුම දක්‌වා කාල පරිච්ඡේදය ද සිතුවම් කොට අතීත ආවර්ජනයක්‌ දක්‌වා ඇත්තේ බුද්ධිය අවදි කිරීම පිණිසය. ගර්භයේ ශබ්දය පරිපාලනය සඳහා නිමවා ඇති ලී කැටයම් යළිත් මහනුවර යුගයේ කැටයම් සිහියට නඟාලීමට අවැසි පරිසරය සකසයි. දළදා සමිඳුන් අභියස ඇති මණ්‌ඩපයේ කැටයම් නිමැවූ කැටයම් ශිල්පී සචින්ත විසින්ම මෙහි කැටයම් නිමැවීම ද සුවිශේෂීය. ගර්භයේ පතුලෙහි ඇත්තේ, අඩි හතක්‌ උස අඩි දහයක්‌ විශ්කම්භය සහිත නෙළුම් මල් ආසනයක වඩා හිඳවූ ලී කැටයම් කරඬුවකි. වසන්ත කොඩිතුවක්‌කු නම් වූ පිංවත් දායක මහතකුගේ මැදිහත් වීමෙන් ඉදිකොට ඇති මෙම ලී කරඬුව තුළ තැන්පත් කොට ඇත්තේ ධාතුන් වහන්සේලාය.

අතීතයේ පිරිවෙන ලෙස සලකනු ලැබූයේ භික්‌ෂූන් වහන්සේලා වැඩසිටින ස්‌ථානයය. ඉන්දියාවේ නාලන්දා, වික්‍රම ශීලා, ජගද්දලා, ඕදන්තපූරි වැනි භික්‌ෂු විශ්වවිද්‍යාල ක්‍රම ක්‍රමයෙන් විකාශනය වෙමින් භික්‌ෂූන් වහන්සේලාට බොදු අධ්‍යාපනය ලැබීම පිණිස අධ්‍යාපන ආයතන බිහි කළ යුතු බවට එකල මතයක්‌ පැතිර ගියේය. ඒ අනුව මුලින් සිදු වූයේ පන්සල් ආශ්‍රිතව අධ්‍යාපන ආයතන බිහිවීමය. එය ශ්‍රී ලංකාද්වීපය තුළ සාක්‌ෂාත් කර ගත හැකි වූයේ, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ නාහිමිපාණන් වහන්සේගේ පරිශ්‍රමයේ ඵලයක්‌ ලෙසය. සුනේත්‍රාදේවි පිරිවෙන, අභයරාජ පිරිවෙන ආදී පිරිවෙන් අධ්‍යයන ආයතන බිහිවීම එහි ප්‍රතිඵලය. 1958 වසරේ මහනුවර අස්‌ගිරිය පිරිවෙන ආරම්භ කොට ඇත්තේය. එහි ක්‍රමික විකාශනය අනුව පසුකාලීනව ශ්‍යාමෝපාලි මහානිකායේ, අස්‌ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය අපවත් වී වදාළ හාල්යාලේ ශ්‍රී සුමනතිස්‌සාභිධාන නාහිමියෝගේ ඇවෑමෙන් අස්‌ගිරි පිරිවෙන නාරම්පනාවේ ආනන්ද හිමියෝ වෙත පවරා ඇත්තාහ. 

පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙන් අධ්‍යාපනය ලද නාරම්පනාවේ ආනන්ද හිමියෝ, කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධර භික්‌ෂුවකි. පශ්චාත් උපාධි ලබමින් දිනෙන් දින තව තවත් නව අධ්‍යාපන ක්‍රමවේදයන් උගැනීමට උත්සාහ ගන්නා උන්වහන්සේ වසර 1998 සිට අස්‌ගිරි පිරිවෙන දියුණු කිරීමේ කාර්යයේ නිතර වූහ. එහි ප්‍රතිඵල ලෙස මේ වන විට උසස්‌ පෙළ ප්‍රාචීන ප්‍රතිඵල ඉහළ අගයකට ගෙනැවිත් ඇති බවට සාක්‌ෂි ඇත. මෙම පිරිවෙනහි මේ වන විට භික්‌ෂු නේවාසිකාගාරයක්‌ ද දැවැන්ත ලෙස ඉදිකොට ඇත්තේය. උන්වහන්සේගේ ඒකායන පරමාර්ථය දැනුම බුද්ධිය සහිත මනා චර්යාවක්‌ සහ යහපැවැත්මක්‌ සහිත සඟ පරපුරක්‌ බිහිකරමින් බුදුන්වහන්සේගේ ධර්මය නීති නිවැරදි ලෙස පතුරුවාලීමය. ඊට අවැසි නිවැරදි පසුබිමය උන්වහන්සේ මේ තනන්නේ. එහි විශේෂත්වය අස්‌ගිරි පිරිවෙන ඇසුරෙහි තනා ඇති නව චෛත්‍ය රාජයාණන් වහන්සේ පාමුල තනා ඇති චිත්ත විවේකාගාරය හෙවත් භාවනා ආශ්‍රමය නව තාක්‌ෂණික ක්‍රමවේදයන්ට අනුව කර්මස්‌ථාන භාවනා ක්‍රමවේද අන්‍යයන්ට හිරිහැරයක්‌ නොවන පරිදි අසමින් අවබෝධ කරගත හැකි අයුරින් නිමැවීමය. මේ ඔස්‌සේ ඕනෑම මෙලෝ මිනිසකුට මෙහි පැමිණ ධර්මය අවබෝධ කර ගැනීමටත්, භාවනාව ප්‍රගුණ කොට තම චිත්ත චෛතසිකය ඒකාග්‍ර කර ගැනීමටත් ඉඩකඩ සලසා ඇත්තේය. 

මෙම නව නිමැවුම සහිත චෛත්‍ය රාජයාණන් වහන්සේ ජනසතු කරන්නේ මැයි මස අටවැනි දින වන හෙට දිනය. ඒ අස්‌ගිරි විඡේසුන්දරාරාම මහා විහාරද්වයාධිපති හා බදුලු මුතියංගන රජමහා විහාරාධිපති අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරථනාභිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්‌ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක ස්‌වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතිනි. 

මෙසේ බොදු වන්දනීය පුදබිමක්‌ ජනසතු කිරීමේදී සතර දේවාල ඇල්ම බැල්ම දේවාශිර්වාද ශාසනාරක්‌ෂක දෙවි දේවතාවන් වහන්සේලා වැඩම කරවීම , ධර්ම පාඨ ඔස්‌සේ බුද්ධ අනුහස්‌ ලබා ගැනීම හේවිසි හඬ ඔස්‌සේ, දෙව්ලොවට ආරාධනය දොරකඩ අස්‌න කියවා ආශිර්වාද ආදී අනේක විධ සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර කළ යුතු වෙයි. ඒ සඳහා කිසිදු අඩුවක්‌ පාඩුවක්‌ නැති වන්නට නාරම්පනාවේ ආනන්ද හිමියෝ සති පිරිත් කියවා චාරිත්‍රානුකූලව තල්ගොබ කපා තල්පත් ලියවා පිරිත් 

සඡ්Cධානයෙන් ආශිර්වාද කරවා නැති වී යන සියලු සම්ප්‍රදායන් රැකගැනුමට කටයුතු යොදා තිබූහ. දඹදෙණි විහාරාධිකාරී පාහින්ගමුවේ සුමංගල හිමියෝ ඇතුළු සසුන්ගම විචිත්‍ර පිරිත් දේශකයාණන් වහන්සේලා වැඩමවා පිරිත් කියවා ආශිර්වාද කොට මෙම බොදු වන්දනීය ස්‌ථානය දැහැමිව චිරාත් කාලයක්‌ වැජඹේවා යන්න ප්‍රාර්ථනා කළහ. මනුස්‌සකම් පිරිහෙමින් පවතින යුගයක අවශ්‍යතාවය අතීත සම්ප්‍රදායන් රැක ගැනුමය. ඉන් ලැබෙන පිං මහිම ඔස්‌සේ වන දියුණුව සපථ කිරීමය. මෙවන් පිං කටයුතු ඊට සුදුසු තෝතැන්නකි.

මෙම පිංබිම සැබැවින්ම ආකල්පමය වෙනසක්‌ වෙත ජනයා රැගෙන යන දෝලාවක්‌ බදුය. වත්මන සිදුවිය යුත්තේ ද එයමය. බුදුන් වහන්සේගේ තෙමගුල සිහිකරනු වස්‌ යෙදෙන වෙසක්‌ මංගල්‍යය වෙනුවෙන් උන්වහන්සේට ගෞරව පිණිසම පිදෙන මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ පිංකම ලෝ දනන් වෙත යහපතක්‌ම ඇති කරත්වා.......

සමන්තී වීරසේකර
http://www.divaina.com/2017/05/07/feature35.html

ත්‍රස්‌ත ක්‍රියා කළොත් සියලු දේපළ රාජසන්තකයි!

ත්‍රස්‌තවාදී ක්‍රියා සඳහා වරදකරුවන් වන අයට 20 වසරකට නොවැඩි සිරදඬුවමක්‌ සහ දඩයක්‌ මෙන්ම ඔවුන්ගේ සියලු දේපළ රාජසන්තක කිරීමේ නීති රජයේ නවත්‍රස්‌ත මර්දන පනතින් ප්‍රකාශයට පත් කර ඇත.එසේම ඓතිහාසික හා පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්‌ථාන විනාශ කිරීමද ත්‍රස්‌ත මර්දන පනත යටතේ වරදක්‌ වේ.

මෙම නීති පැරැණි ත්‍රස්‌ත මර්දන පනතට ඇතුළත් වී නොතිබුණි.


මේ හැර ශ්‍රී ලංකාවේ ස්‌වෛරී භාවයට හානියක්‌ සිදු කිරීමට උත්සාහ කිරීම සහ ක්‍රියා කිරීමද වරදක්‌ වේ.


මෙම වගන්තිය නව ත්‍රස්‌ත මර්දන පනතට ඇතුළත්වීම නිසා ද්‍රවිඩ සන්ධානය දැඩි කලබලයට පත්වී ඊට එරෙහිවී ඇත.

උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් සහ ද්‍රවිඩ සන්ධානයද ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාවේ ස්‌වෛරී භාවයට අභියෝගයක්‌ කර තිබුණි. පිටු 74 කින් සමන්විත නව ත්‍රස්‌ත නීති රීති යටතේ රාජ්‍ය රහස්‌ හෙළි කිරීමද දඬුවම් ලැබිය හැකි වරදක්‌ බවට දන්වා ඇත. ගුවනේද මුහුදේද සිදුකරන ත්‍රස්‌ත ක්‍රියා එලෙස වරදවල් වේ.

මෙම නව ත්‍රස්‌ත මර්දන පනත යටතේ ත්‍රස්‌තවාදී ක්‍රියා විමර්ශනය කිරීම සඳහා පොලිස්‌පති විසින් විශේෂිත වූ ත්‍රස්‌ත මර්දන ඒජන්සියක්‌ ස්‌ථාපිත කළ යුතු අතර ඊට විශේෂ පරීක්‍ෂණ කණ්‌ඩායම් ඇතුළත් කළ යුතුවේ.

මෙයට අමතරව ත්‍රස්‌ත ක්‍රියා පිළිබඳව අත්අඩංගුවට ගනු ලැබූවන් ගැන මෙරට මානව හිමිකම් කොමිසම වෙත වහාම දැන්විය යුතුය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2017/05/07/news02.html

Pic Source

මාණික්‌කමඩු - මුසළු දේශපාලකයන් හා නිලධාරීන් වළකන, මුසලු ජනව්‍යාප්තියට යටවන, රජුන් පිදූ මුසලුවන් කොල්ලකන දීඝවාපියේ බොදු උරුමය... අශ්රොෆ් ඩෝසර් කළ දීඝවාපි විනාශයේ දෙවන කොටස...


දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌කය සිංහල, දෙමළ, සහ මුස්‌ලිම් ජනතාව එක්‌ව වාසය කරන ප්‍රදේශයකි. මෙම පුරවරයේ බොහෝ දෙනකු සුහදතාවයෙන් කල් ගෙවති. බුදුරදුන්ගේ පාපියුමෙහි පහස ලද දීඝවාපිය පුද බිමද ඇත්තේ මෙහිය. එපමණක්‌ නොව මෙම මිටියාවත පුරාවටම ගව්වෙන් ගව්ව වන ලැහැබ්වලට සැඟව ගොස්‌ තිබියදී අපට හමුවන්නේ අතීත ශ්‍රී විභුතියේ නටබුන්ය.

එදා කොහුකුඹුරේ රේවත හිමිපාණන් වනගතව තිබෙන විට දීඝවාපි දාගැබ නැවතත් සොයා ගන්නට මහත් පරිශ්‍රමයක්‌ දරන්නට වූවේය. එසේ නොවුණි නම් මේ වන විටත් මෙම දීඝවාපිය සෑ රදුනුත් බිමට සමතලා වෙන්නටත් ඉඩ තිබුණි.

මේ ආකාරයට වසර ගණනාවක සිට නැඟෙනහිර පළාතේ පුරා වස්‌තු දිනෙන් දින අන්තවාදීන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශ වෙමින් තිබේ. දීඝවාපිය සෑ රදුන් වටා පරිවාර දාගැබ් කිහිපයක්‌ තිබුණි. ඉන් එකක්‌ මීට වසර ගණනකට පෙරදී අෂ්රප් ඇමැතිවරයා සිටි සමයේ ඩෝසර් කර විනාශ කරන්නට විය. තවත් පරිවාර චෛත්‍යයක්‌ පෝද්දිවල චන්දානන්ද හිමියන් මෑතකදී සංවර්ධනය කර දැකුම්කළු ස්‌ථානයක්‌ බවට පත් කරවන්නට විය. 

එරගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ තිබෙන පුරාවිද්‍යා ස්‌ථාන 21 අතරින් මාණික්‌කමඩු ප්‍රදේශයේ පිහිටා ඇති දීඝවාපි පරිවාර දාගැබ ඒවායින් එකකි. මේ වන විටත් ඒවා බොහොමයක්‌ අන්තවාදීන් විනාශ කර අලුත් ඉතිහාසයක්‌ මවමින් තිබේ. වරිපතන්ෙච්න මංසන්ධිය පසු කර දීඝවාපිය පුදබිමට යන මාර්ගයේ කිලෝමීටරයක්‌ පමණ ගිය කල්හි වම්පස දැකුම්කළු මනරම් ගල්තලාවක මෙම මාණික්‌කමඩුව ඉපැරණි පුදබිම පිහිටා ඇත. 

මෙම පර්වතය මුදුනේ ඉපැරණි දාගැබක්‌ තිබෙන අතර එය නිධන් හොරුන් විසින් නිධන් හාරා විනාශ කර තිබේ. මෙම ගල්තලාවේ වසර සිය දහස්‌ ගණනක තිබුණු අපේ උරුමයන් අදට ද ඒ සැහැසිකම් විඳගෙන විරාජමානව සිටින්නේ අනාගත පරපුරට මේ උරුමය දැක බලා ගන්නට ඉඩ දෙමිනි. මේ ස්‌ථානයේ තවත් පුරා වස්‌තු රැසක්‌ ඉතිරිවී තිබේ.

කවදත් අපේකම වෙනුවෙන් පෙනී සිටින අම්පාර විද්‍යානන්ද පරිවේනාධිපති, අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති කිරිඳිවැල සෝමරතන නාහිමියන් මෙම පුදබිම වෙත ගොස්‌ මේ පිළිබඳව සොයා බලන්නට විය. අතීතයේ සතර දෙසට දහම් ගුණ බෙදා දුන් මෙම පිංබිමට සිදුව තිබෙන දේ දුටුවිට උන්වහන්සේ මහත් සංවේගයට පත් වූහ. එම නිසා නැවතත් මෙම ස්‌ථානයේ පුද බිමක්‌ ගොඩනඟන්න සිතා ගන්නට විය.

මාස 09 ක්‌ තිස්‌සේ මෙම ස්‌ථානයේ විහාරස්‌ථානයක්‌ ගොඩනඟන්නට අවශ්‍ය අවසර ගන්නට සෝමරතන හිමියන් සහ මෙම ස්‌ථානය භාරව සිටින ශාස්‌ත්‍රපති අඹගහපිටියේ සීලරතන හිමියන් ඇතුළු හිමිවරුන් මහත් වෙහෙසක්‌ දරා කටයුතු කරන්නට විය. ජනාධිපතිවරයාගේ සිට අගමැති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු කොමසාරිස්‌, ඉඩම් කොමසාරිස්‌ ඇතුළු වගකිව යුතු නිලධාරීන්ගේ අවශ්‍ය අනුමැතිය මෙම ස්‌ථානයේ ආවාස ගෙයක්‌ ඉදිකිරීමට ලැබෙන්නට විය. 

පුරාවිද්‍යා ව්‍යාපෘති අධ්‍යක්‌ෂක, සහකාර දිස්‌ත්‍රික්‌ ලේකම්, එරගම ප්‍රාදේශීය ලේකම් නසීර් මහතා ඇතුළු වගකිව යුතු නිලධාරි පිරිසක්‌ පුරාවිද්‍යා පේරන කලාපයක්‌ වශයෙන් හඳුන්වන මෙම මාණික්‌කමඩු පර්වතය පාමුල ආවාස ගෙයක්‌ හදන්නට අදාළ සීමාව එම ස්‌ථානයට පැමිණ පෙන්වා දෙන්නට වුහ.

මේ සඳහා අම්පාරේ සිටින දේශපාලකයන්ගේ ආශීර්වාදය මැද දිසාපතිවරයාගේ වාචික අවසරයක්‌ මත මෙම මාණික්‌කමඩුව පුදබිමේ ගල් පර්වතය පාමුල ආවාස ගෙයක්‌ හදන්නට බිම සකස්‌ කර වැඩ පටන් ගන්නට පසුගිය 18 දින කටයුතු කරන්නට විය. මොහොතක්‌ ගතවෙද්දී ඒ අවට එරගම ප්‍රදේශයේ හතළිහක පනහක පිරිසක්‌ මුස්‌ලිම් නීතිඥයෙක්‌ ද සමඟ පැමිණ විරෝධය පාන්නට වූහ. නැඟෙනහිර පළාත් සභාවේ ජාතික කොංග්‍රස්‌ මන්ත්‍රී හාරිස්‌ සම්සුඩීන් මහතා ද පැමිණුනි. මෙතන අපේ කෙනෙක්‌ගේ ඉඩමක්‌. ඒ නිසා මෙතන කොහොමද පන්සලක්‌ හදන්නේ ඔවුන් පවසන්නට විය.

මෙතෙන අපි අලුතින් හදන පන්සලක්‌ නොවෙයි රජ කාලේ ඉඳන් තිබුණ පන්සලක්‌ සීලරතන හිමියන් ඇතුළු සඟරුවන එම අවස්‌ථාවේ පවසා සිටින්නට වූහ. 

නමුත් ඒ අවස්‌ථාවේ උණුසුම් තත්ත්වයක්‌ ඇතිවන්නට විය. සහකාර පොලිස්‌ අධිකාරි රණගල මහතාට සීලරතන හිමියන් මෙම ස්‌ථානයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සියලු ලිපි ලේඛන පෙන්වන්නට විය. එම ලිපි ගොනුවේ විහාරස්‌ථානයක්‌ ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සකස්‌ කර දෙන ලෙස ජනාධිපතිවරයාගේ සිට අදාළ ආයතනවලින් ලබාදුන් ලිපි රැසක්‌ තිබුණි. නමුත් විහාරස්‌ථානය සෑදීමට අදාළ භූමිය වෙන්කර බලපත්‍රයක්‌ ලබාදී නැතැයි එවිට තවත් ගැටලුවක්‌ මතුවුණි. අපිට බලපත්‍රයක්‌ දුන්නේ නැහැ. නමුත් අපිට අදාළ නිලධාරින් මෙතෙන්ට ඇවිල්ලා මේ අවාස ගෙය හදන සීමාව පෙන්නුවා. මහ දිසාපතිවරයා මෙතන පුදබිම හදන්න කීවා. ඒකයි අපි වැඩ පටන් ගත්තේ යනුවෙන් සීලරතන හිමියන් එම අවස්‌ථාවේ පවසා සිටින්නට වූවේය. 

ගැටලුව විසඳන්නට ඒ අවස්‌ථාවේ එරගම ප්‍රාදේශීය ලේකම් එම ස්‌ථානයට කැඳවන්නට උත්සාහ කළත් ඔහු එම ස්‌ථානයට ඒමෙන් වැළකී සිටින්නට විය. අම්පාරේ මහ දිසාපතිවරයත් ගැටුම විසඳන්නට නොපැමිණුනි. පොලිසිය මෙම ගැටලුව උසාවිය වෙත යොමු කරන බව පැවසීමෙන් පසුව විරෝධතාකරුවන් පිටත්ව යන්නට විය.

මේ සිදුවීම සිදුව පසු දින සෝමරතන නාහිමි සහ තවත් හිමිවරු පිරිසක්‌ සමඟ මෙම ස්‌ථානයේ නැවතත් වැඩ ආරම්භ කරන්නට වූහ. ඒ අවස්‌ථාවේ මුස්‌ලිම් ජනයාගේ විරෝධතාවයක්‌ ඇතිවන්නට වූහ. එම අවස්‌ථාවේ අම්පාර නියෝජ්‍ය පොලිස්‌පති නුවන් වෙදසිංහ මහතා දින 05 ක්‌ තුළ මෙම ගැටලුවට විසඳුමක්‌ ලබා දෙන ලෙස පවසා සිද්ධිය පාලනය කරන්නට වූවේය. ඒ අනුව නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ මැදිහත්වීමෙන් ඊට මොහොතකට පසුව අම්පාර දිසාපති කාර්යාලයේදී අතිරේක දිසාපතිවරයා සහ සෝමරතන හිමියන් ඇතුළු හිමිවරුන් සහ පළාත් සභා මන්ත්‍රී වීරසිංහ යන මහත්වරුන් නියෝජ්‍ය පොලිස්‌පති නුවන් වෙදසිංහ සහ අම්පාර දිසාව භාර පොලිස්‌ අධිකාරි සාමන්ත විඡේසේකර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක්‌ පවත්වන ලදී.

ඒ අවස්‌ථාවේ උතුරු නැඟෙනහිර පිරිවෙන් අධ්‍යක්‌ෂක ශාස්‌ත්‍රපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නාහිමියන් මෙසේ පවසා සිටියේය.

මේ අපි අලුතින් ආරම්භ කරන පන්සලක්‌ නොවෙයි. මේවා සද්ධාතිස්‌ස දුටුගැමුණු රජතුමාගේ කාලයේ ඉදිකරපුවා. හැත්තෑව දශකයෙත් මෙම ස්‌ථානයේ හිමිවරු වැඩ වාසය කළා. අවට සිංහල පවුල් හැට හැත්තෑවක්‌ වාසය කළා. යුද්ධයට කලින් මෙතන තංගල්ලේ ඥානාලෝක හිමි වැඩ සිටියා. යුද්ධය නිසා උන්වහන්සේට මෙතනින් පිටත් වෙලා යන්න සිදු වුණා. එයට උන් වහන්සේ දැඩි සිත් තැවුලෙන් හිටියේ. ඒ දැඩි මානසික පීඩනයෙන් සිටි ඒ හාමුරුවෝ පාර මාරුවෙන්න යද්දී වාහනයක හැප්පිලා අපවත් වුණා.

මෙම ස්‌ථානය පිළිබඳව දිගින් දිගටම අපි සාකච්ජාවට කිහිපයක්‌ පැවත්වුවා. අදාළ නිසි අවසරය ජනාධිපතිවරයාගේ ඉඳන් ගත්තා. මෙම ස්‌ථානය ආසන්නයේ මුස්‌ලිම් අය තමන්ගේ යෑයි පවසන ඉඩමට ඇත්තේ ව්‍යාජ බලපත්‍ර. මේ ආකාරයෙන් පුරාවිද්‍යා භුමිවලට බලපත්‍ර ලබා ගන්නේ. කොහොමද, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් බලපත්‍ර නිකුත් කරන්නේ. මේ අය හොරාට බලපත්‍ර හදන එක ගැන කවුද පරීක්‌ෂා කරන්නේ. ඒත් මෙතන ඉඩමක්‌ තියෙනවා කියපු අයට විකල්ප ඉඩමක්‌ දෙන බව ඉඩම් කොමසාරිස්‌වරයා පැවසුවා. එහෙම තියෙද්දී මේ අය කොහොමද මේ විදිහට අපේ තිබිච්ච පන්සලක ආවාස ගෙයක්‌ හදන ඒක නතර කරන්න කටයුතු කරන්නේ. නැඟෙනහිර පළාතේ ඉඩම්වලට මෙම ප්‍රදේශවල ඉඩම්වලට හොර බලපත්‍ර ඔප්පු තිරප්පු හදන එක ජයටම සිදු වෙනවා. ඒ නිසා ඒ ගැන පරීක්‍ෂා කරන්න කොමිසමක්‌ පත් කරන්න කියලා ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ ඔක්‌කෝම අවුල් කළේ ඔබතුමයි දිසාපතිතුමයි. මාස 09 ක්‌ වෙනකම් ඔබතුමාලා මොනවද කළේ. දිසාපතිතුමා යවන ලිපියට එරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මාස 09 ක්‌ වෙනකම් පිළිතුරක්‌ නැහැ. අපට මේක විසඳලා දුන්නේ නැත්නම් අපි මොන බාධක ආවත් හිරේ ගියත් මෙම ස්‌ථානයේ විහාරස්‌ථානයක්‌ හදනවා. ඔබතුමාලා වැඩ කරන්නේ නැති නිසා තමයි අපිට ජනාධිපතිතුමා දක්‌වා යන්න වුණේ. ජනාධිපතිතුමාගේ නියෝගයටත් ඔබතුමාලා පිටුපාලා. අපිට මෙහෙම නම් අසරණ ජනතාවගේ ගැටලු කොහොම විසඳනවා ඇත්ද යෑයි සෝමරතන හිමියන් අතිරේක දිසාපතිවරයා වෙත දැඩිව පවසා සිටියේය.

මෙම ඉඩම වෙන්කර පන්සලක්‌ සාදා ගැනීමට නැඟෙනහිර ඉඩම් කොමසාරිස්‌වරයාගේ සහය අවශ්‍ය විය. ඒ අවස්‌ථාවේදී අම්පාර නියෝජ්‍ය පොලිස්‌පති නුවන් වෙදසිංහ මහතා පළාත් ඉඩම් කොමසාරිස්‌වරයා ඒ අවස්‌ථාවේම දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් 25 වැනි දින මේ පිළිබඳව සාකච්ජා කිරීමට කටයුතු යොදන්නට විය.

මේ තත්ත්වය මත නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ උත්සාහයෙන් 25 වැනිදා උදෑසන අම්පාර දිසාපති කාර්යාලයේදී මේ පිළිබඳව සාකච්ජාවක්‌ පැවත්විණි. මෙම අවස්‌ථාවට සෝමරතන නාහිමියන් විදේශගතව සිටින නිසා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ සිහල රාවය වැනි සංවිධාන වල හිමිවරුන් කිහිප දෙනෙකු ද අඹගහපිටියේ සීලරතන හිමියන් සමඟින් එක්‌ව සිටියහ. ඒ අවස්‌ථාවට දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායන සහ පළාත් සභා මන්ත්‍රී වීරසිංහ යන මහත්වරුන් ද සහභාගි වූහ.

මේ වන විටත් අම්පාර දිසාපතිවරයා ගතයුතු නිසි පියවර නොගැනීම නිසා බේරුවලට වඩා භයානක තත්ත්වයක්‌ නිර්මාණය වෙමින් තිබෙන බව ආරක්‌ෂක අංශ නිලධාරීන් අවබෝධ කරගෙන සිටියහ. අවසානයේදී දිසාපතිවරයාට නිසි තීන්දුව ගන්නට සිදුවිණි. මාස ගණනක්‌ ලිස්‌සා ගිය ආකාරයට ලිස්‌සා යන්නට මෙවර ඔහුට බැරිවිය. ඥානසාර හිමියන් ද දැඩි ලෙස මෙම ගැටලුව පිළිබඳව අදහස්‌ දක්‌වන්නට වූහ. ඒ අනුව මේ පුදබිම ආසන්නයේ පුරාවිද්‍යා භුමියත් තවත් අක්‌කර දෙකහමාරක භුමියකුත් 01 වැනි දින වන විට ලබා දීමට දිසාපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් කැමැත්ත පළ කරන ලදී. එසේ නොවුවහොත් 01 වැනිදා එම ස්‌ථානයේ පූජාවක්‌ පවත්වා 02 වැනිදා සිට මෙම විහාරස්‌ථානය ඉදිකරන බවද හිමිවරුන් පවසා සිටියහ.

එම ස්‌ථානයේ බලපත්‍ර තිබෙනවා යෑයි කියූ දෙදෙනා හට විකල්ප ඉඩම් ලබා දීමට ද තීරණය විය. පසුව ඥානසාර හිමි ඇතුළු පිරිස මාණික්‌කමඩු පුදබිමට පැමිණියහ.

දැන් ගැටලුව නිමාවට පත්ව ඇත. නමුත් එසේ වූයේ දින කිහිපයක්‌ පමණි. ජාතිවාදයම ඉල්ලා සිටින මුස්‌ලිම් දේශපාලකයන්ට අවශ්‍ය වූයේ මෙතන මාණික්‌කමඩුවේ පුදබිමේ පන්සලක්‌ සෑදීම වැළැක්‌වීමය. නිවීගිය ගිනිදැල් නැවත අවුලවමින් නැඟෙනහිර පළාත් සභාවේදී මහ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාණික්‌කමඩුව පුදබිම ගැන තීරණයක්‌ ගැනීමට කමිටුවක්‌ සකස්‌ කරන්නට විය. 

ඒ අනුව පළාත් සභා ලේකම් ඒ පිළිබඳව දිසාපති ඇතුළු නිලධාරීන්ට මෙම ස්‌ථානයේ පන්සලක්‌ සෑදීමට සිදුකරමින් තිබෙන මිනුම් කටයුතු නවතා දමන ලෙසට දැනුම් දී තිබුණි. නමුත් ජනාධිපතිවරයා විසින් මෙම ස්‌ථානයේ සෝමරතන හිමියන්ට ඉඩම වෙන්කර දෙන ලෙස ලිබිතව දැනුම්දී තිබියදී මේ ආකාරයෙන් පළාත් සභා ලේකම්වරයාට ඊට ඉහළින් නියෝග නිකුත් කිරීමට හැකියාවක්‌ තිබෙනවාද? අපේ පන්සල් සාදන එක ගැන තීරණය කළ යුත්තේ පුරාවස්‌තු වනසා අලුත් ඉතිහාසයක්‌ මවන්නට පිස්‌සු සෑදූ සුනඛයන්සේ කටයුතු කරන අන්තවාදී මුස්‌ලිම් දේශපාලකයන් දැයි අම්පාරේ බෞද්ධයන්ට මහා වේදනාවක්‌ ඇතිවුණි. 

මෙම සිදුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්‌ හුවා දක්‌වමින් මුස්‌ලිම් පිරිස්‌ එරගම හා අවට 28 වැනිදා පල්ලි වේලාවෙන් පසුව හර්තාලයක්‌a පැවත් වූහ. ඒ නිසා කඩ සාප්පු වසාදමමින් බොහෝ පිරිස්‌ සහය දක්‌වා තිබුණි.

එදින දහවල් අඹගහපිටියේ සීලරතන හිමි සහ සේනාපතියේ ආනන්ද හිමි ඇතුළු මහා සඟරුවනත් සමඟ ප්‍රදේශවාසීන් අම්පාර කච්ෙච්රිය ඉදිරිපිටට ගොස්‌ ගේට්‌ටුව හරස්‌ කරමින් විරෝධතාවයක නියෑළිණි. ඒ අවස්‌ථාවේදී දිසාපතිවරයා සමඟ ඇතිවූ සාකච්ජාව දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත්වූහ. මාස 09 ක්‌ යනකම් නිසි තීරණයක්‌ නොගෙන නැවතත් 10 වැනිදා දක්‌වා විසඳුමක්‌ දීම කල් දැමීම ගැන හිමිවරුන් කලකිරි දිසාපතිවරයාට මේ වැඩේ කරන්න බැරි නම් වෙන අයකුට මෙම තනතුර දී යන ලෙසට පවසා සිටින්නට වූහ. මේ අවස්‌ථාවට අම්පාරේ පක්‍ෂ විපක්‌ෂ දේශපාලකයන් කිහිප දෙනෙක්‌ද සහභාගි වුවත් අමාත්‍ය දයා ගමගේ මහතා මැදිහත්වීමක්‌ වන ආකාරය දක්‌නට නොලැබුණි. 

මේ ගැටලුව වෙනුවෙන් විරසකව සිටි මුස්‌ලිම් දේශපාලකයන් එකට එක්‌ව කටයුතු කරන්නට වූහ. රාවුෆ් හකීම් ඇමැතිවරයාද මේ වෙනුවෙන් 30 වැනිදා එරගමට පැමිණියේය. එසේ පැමිණ මුස්‌ලිම් ජනයා කුපිත වන කථාවක්‌ සිදුකර තිබුණි. 

මේ වන විට මේ සියලු අන්තවාදී මුස්‌ලිම් පිරිසට වුවමනා වී ඇත්තේ මෙම ස්‌ථානයේ පන්සලක්‌ සැදීම වැළැක්‌වීමටය.

1 වැනිදා 2 වැනිදා මාණික්‌කමඩුව පුදබිමේ පූජාවක්‌ සහ පන්සල ඉදිකිරීමට යැමෙන් ගැටලුකාරී තත්වයක්‌ ඇතිවේ යෑයි සිතු පොලිසිය විසින් අධිකරණ නියෝග ලබාගෙන තිබුණේ ගැටුමක්‌ ඇතිවීම වළක්‌වන්නටය.

මෙම විහාරස්‌ථානයේ වැඩවාසය කරන කිරිඳිවැල සෝමරතන හිමිගේ ඡේෂ්ඨ ශිෂ්‍යයකු වන ශාස්‌ත්‍රපති පුජ්‍ය අඹගහපිටියේ සීලරතන හිමි මෙසේ දිවයිනට මේ ගැටලුව පිළිsබඳ අදහස්‌ දක්‌වා සිටියේය.

මෙම ස්‌ථානයේ ආවාස ගෙය ඉදිකරන්න ජනාධිපති, අගමැතිවරයාගේ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන අමත්‍යාංශය ඉඩම් කොමසාරිස්‌වරයා ඇතුළු සියලු පාර්ශවයන් විසින් අදාළ අනුමැතිය දීලා තියෙනවා. ඕක අලුතින් හදන පන්සලක්‌ නොවෙයි. කලින් තිබ්බ පන්සලක්‌. මෙම ස්‌ථානයේ ඉඩම් අල්ල ගත්ත අය සතුව තිබෙන බලපත්‍රය ව්‍යාජ බලපත්‍රයක්‌ බවයි අපට දැනගන්න ලැබුණේ. මීට පෙර මෙම මාණික්‌කමඩුව පුද බිමට අපි එන විට ඉඩමට බලපත්‍ර තිබෙනවා කියූ අය වැටක්‌ ගසා වගා කළ ඉඩමේ ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීම ආරම්භ කළා.

ඒ අයට විරුද්ධව දමන පොලිසියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළා. මෙම අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන්. ඒ අවස්‌ථාවේ මෙම මුස්‌ලිම් ජාතිකයා මේ ඉඩම පුරාවිද්‍යා භුමියක්‌ බව නොදන්නා බවත් ඒ නිසා ඉදිරියේදී ඉවත් වන බවත් පවසා සිටියා. නමුත් පස්‌සේ ඒ අය තමන්ගේ ඉඩම කියා මෙතන ඇවිත් මිනිස්‌සුත් එක්‌ක විරෝධතාවයේ යෙදෙනවා. 

මෙතෙන්ට ඇවිත් ආවාස ගෙය හදන්න අවසර දීලා ස්‌ථානය පෙන්නුවේ අදාළ නිලධාරීන්. මෙතෙන්ට ඇවිත් ඉඩම පෙන්වපු එරගම ප්‍රාදේශීsය ලේaකම්වරයා මුස්‌ලිම් ජනයා විරෝධතාවයේ යෙදෙන විට ගෙන්වා ගැනීමට කෙතරම් උත්සාහ දැරුවද පැත්ත පළාතකටවත් ආවේ නැහැ. මේ ස්‌ථානයට අපි ආවේ අම්පාර මහ දිසාපතිවරයාගේ අනුමැතිය සහ ආශීර්වාදය ඇතිව. පස්‌සේ මේ ගැටලුව ඇතිවුනාම දිසාපතිවරයා මට කියනවා අද පන්සල හදන්න මම කීවා කියලා කියන්න එපා කියලා. අම්පාරේ මහ දිසාපතිවරයා හරියට කෙළින් තීරණයක්‌ ගන්නේ නැහැ. මඩේ හිටවපු ඉන්න වගෙයි. නිතරම එහෙට මෙහෙට වැනෙනවා. හැම වේලාවෙම ගැටලුවක්‌ පැන නැගුනාම ඒක විසඳනවා වෙනුවට ඒ ප්‍රශ්නයෙන් මගහැරලා ලිස්‌සලා යන්නයි බලන්නේ. ඒකෙන් වෙන්නේ නැති ප්‍රශ්න ඇතිවෙලා තව තවත් ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇතිවෙන එක. ඔහු කොන්ද කෙලින් තියාගෙන තිරණයක්‌ ගන්නේ නැහැ.

මාස 09 ක්‌ බොහෝ වෙහෙස මහන්සි වෙලා අපි නිසි අවසරයක්‌ රැගෙන ආවාස ගෙයි වැඩ පටන් ගත්තා. වාවිකව මෙම අම්පාරේ නිලධාරීන් බොහෝ දෙනකුගෙන් ආවාස ගෙය ඉදිකිරීමට අවසර ලැබුණා. ඇයි මේ අයට බැරි ජනාධිපතිවරයාගේ නියෝගයට ඉඩ දෙන්න. ඉදිකිරීමට පෙන්නූ ඉඩමට වෙනම බලපත්‍රයක්‌ නොමැතිකමයි දැන් ගැටලුව වෙලා තියෙන්නේ. ඇයි මේ අයට බැරි සාධාරණයක්‌ ඉටුකරලා දෙන්න. කලින් මුස්‌ලිම් මැති ඇමැතිවරුන් කීවේ බලපත්‍රයත් තියෙන අයට වෙනත් ඉඩම් කැබැල්ලක්‌ දෙන ලෙසයි. නමුත් ඒ අයට එහෙම ඉඩම් කෑල්ලක්‌ දෙන්න හදද්දී මුස්‌ලිම් දේශපාලන නායකයන් දැඩි අන්තවාදී ආකාරයට විවිධ උපක්‍රම යොදමින් පන්සල හදන්න ඉඩ නොදී සිටිනවා. 

අම්පාරේ ගොඩක්‌ නිලධාරීන් මුස්‌ලිම් දේශපාලකයන්ට බය වෙලයි ඉන්නේ. පන්සල ඉදිකිරීම වළක්‌වන්නට නැඟෙනහිර පළාතේ ඇතැම් මුස්‌ලිම් දේශපාලකයන් නිලධාරීන්ට බලපැම් කරනවා. මෙහේ ව්‍යාජ බලපත්‍ර හදනවා. කවුරුවත් ඒ ගැන සොයන්නේ බලන්නේ නැහැ. අපි මොන බාධක ආවත් දිවි හිමියෙන් මෙම විහාරස්‌ථානය ගොඩනඟනවා ගොඩනඟනවාමයි යනුවෙන් සීලරතන හිමියෝ පවසා සිටියහ.

නැඟෙනහිර පළාත් සභා මන්ත්‍රී ඩබ්.ඩී. වීරසිංහ මහතා මෙසේ කියා සිටියේය. 

මාණික්‌කමඩුව පුදබිම හදන්න අද තීරණය කරන්නේ නැඟෙනහිර මහා ඇමැතිවරයා ඇතුළු මුස්‌ලිම් නායකයින්. මෙම පළාත් සභාවේ මුස්‌ලිම් දේශපාලකයන් නීති විරෝධී ආකාරයෙන් පළාත් සභාවට යෝජනාවක්‌ ගෙනල්ලා මාණික්‌කමඩුව පුදබිම ගැන කටයුතු කරන්න කමිටුවක්‌ සකස්‌ කළා. ඒ අයට එහෙම කරන්න බැහැ. අඩුම තරමේ එහෙම යෝජනාවක්‌ කරන බව විෂය භාර ඇමැතිවරිය ආරියවතී ගලප්පත්ති මහත්මියත් දන්නේ නැහැ. පන්සල් හදන ඒක ගැන මුස්‌ලිම් දේශපාලකයන් තීරණය කරද්දී අපේ මහා නායක හාමුදුරුවරු මොනවද කරන්නේ කියලා අපිට ගැටලුවක්‌. බෞද්ධයන්ගේ උරුමයන් පිළිබඳ අවසර ගන්න වෙලා තියෙන්නේ මුස්‌ලිම් දේශපාලකයන්ගෙන්. මෙම ස්‌ථානයේ මුස්‌ලිම් ජනතාවට මාස දෙක තුනකින් බලපත්‍ර ලබා දීමට කටයුතු කරන එරගම ප්‍රාදේශීය ලේකම්වරයා වසර 30 කට ආසන්න කාලයක්‌ මාණික්‌කමඩුව පුදබිම ආසන්නයේ පදිංචිව සිටින මෙම නාගරාසාගේ ඉඩමට බලපත්‍ර දීලා නැහැ. එහෙමයි නිලධාරීන්ගේ කෙරුවාව. අම්පාරේ කොන්ඩවටාන සිංහල ගමක්‌ මැද්දේ මුස්‌ලිම් අය පදිංචි නැති තැනක මුස්‌ලිම් පල්ලියක්‌ හැදුවා. අම්පාරෙ නගරයේ පල්ලියක්‌ තියෙනවා. නමුත් සිංහල අය ඒවාට විරුද්ධ වුණේ නැහැ යෑයි විරසිංහ මන්ත්‍රීවරයා පවසා සිටියේය.

මේ වන විට තවත් මහා ජාතිවාදී කෝලහාලයක්‌ ආසන්නයට මෙම සිදුවීම ලංවෙමින් තිබේ. අම්පාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා මෙම සිදුවීම ආරාවුලක්‌ බවට පත්නොවී විසඳා ගැනීමට මහත් වෙහෙසක්‌ ගනිමින් සිටිති. නමුත් දිසාපතිවරයා ඇතුළු ඇතැම් නිලධාරීන් මේ ගැටලුව විසඳන්නට සෘජු තීරණ නොගෙන ජාතිවාදී නීතිය හමුවේ නීතිය දෙපරැන්දේ ගසාගෙන සිටිති. යහපාලන ආණ්‌ඩුවේ ලොක්‌කෝ ද එකෙක්‌ දෙන්නෙක්‌ මැරී තවත් ලේ විලක්‌ව තවත් බේරුවලක්‌ වෙනකම් සහජීවනයෙන් මෝහනයට පත්ව සිටිති සිංහල බෞද්ධයන්ට සහ පුරා වස්‌තුවලට අම්පාරෙදි අත්වන ඉරණම මෙය නම් මඩකලපුව ආදී ප්‍රදේශවලදී අත්වන ඉරණම ගැන කවර කතාද?.

සුසන්ත අමර බන්දු
http://www.divaina.com/2017/05/07/feature01.html