Pages

Monday, September 5, 2016

'වකුගඩු සටන' යුද්ධයක්‌ වන හැටි! රටක් වෙනුවෙන් හඬක් නඟනා චන්න ජයසුමනයන්ට උපහාර වේවා!


ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමනයන් විසින් රචිත 'වකුගඩු සටන'' කෘතිය අගෝස්‌තු 3 වැනි දා එළිදැක්‌විණි. චන්න ජයසුමන නම් වූ වෛද්‍යවරයා, පර්යේෂකයා සහ සමාජ ක්‍රියාකාරිකයා වකුගඩු සටන් බිමට අවතීර්ණ වී දශකයකට ආසන්න කාලයක්‌ ලබාගත් අත්දැකීම් සහ රෝගයට අදාළ විද්‍යාත්මක පැතිකඩ එම කෘතිය මගින් මනාව ඉදිරිපත් කොට ඇත. මේ රටේ නිදහස්‌ අධ්‍යාපනයට පින්සිදු වන්නට අහිංසක පොදු ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබාගෙන සමාජ හිණිමගේ ඉහළට නගිමින් තමාට අතදුන් පහළ තලයට පස්‌ස හරවන උගතුන්ට චන්න විසින් බරපතළ අභියෝගයක්‌ එල්ල කොට ඇත.

චන්න ජයසුමනයන් වකුගඩු සටන්බිමට කඩා වැදීමට පෙර වසර 10 ක පමණ කාලයක්‌ තිස්‌සේ එම සටන රෝගීන් සහ රෝගය අතර සටනක්‌ ලෙස පැවතින. යම් මට්‌ටමකට එය යම් වෛද්‍යවරු පිරිසක්‌ සහ රෝගය අතර සටනක්‌ ලෙසද දක්‌නට ලැබුණි. අද වන විට එම සටනින් 25000 කට අධික අසරණයන් පිරිසක්‌ පරාජය වී දිවි අහිමි කොට ගෙන ඇත. එසේම තවත් 75000 කට අධික පිරිසක්‌ නිරායුධව එම සටන් බිමේදී එකා බැගින් ඇද වැටෙමින් ඇත. සටන් බිමේ ඇද වැටෙන සෑම ගොවියකුම පරාජය භාර ගන්නේ තම දරු පවුලද දරිද්‍රතාවය තුළ ගිල්ලවමිනි. 

මෙම විෂම චක්‍රයට මුහුණදෙමින්, වකුගඩු රෝගීන් තනිතනිව තම රෝගය සමඟ සටන් වදින විට යම් වෛද්‍යවරු පිරිසක්‌ රෝගියා සහ සැබෑ රෝගකාරකයෙන් ව්‍යක්‌තව රෝගය සමඟ හුදකලා සටනක නියෑළුනි. හඳුනානොගත් වකුගඩු රෝගය නමැති ලේබලය යම් වෛද්‍යවරු පිරිසක්‌ විසින් සොයාගන්නේ එම හුදකලා සටනේ ප්‍රතිඵලයක්‌ ලෙසය. ඒ නිසා බොහෝ කාලයක්‌ තිස්‌සේ සටනේ සැබෑ නිර්මාතෘවරුන් හෙවත් ගොවියාගේ සැබෑ සතුරා හඳුනා ගැනීමට නොහැකි විය. චන්න ජයසුමන ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම හඳුනා නොගත් සතුරා හඳුනා ගැනීමේ සටන ආරම්භ කරන විට 'හඳුනානොගත්' වෙළඳනාමයේ අයිතිකරුවන් පළමු වටයේදීම යුද්ධ ප්‍රකාශ කළේය. මුල් වටයේදී ඔවුන් බොහෝ දෙනෙකු ඒ වන විට කරන ලද විවිධ පර්යේෂණවල ඊනියා සොයා ගැනීම් චන්න ජයසුමනලා විසින් අභියෝගයට ලක්‌කිරීම එම විරෝධයට හේතු විය. 

එහෙත් ඒ වන විට පැනනගිමින් තිබෙන තත්ත්වය දෙස අවධානයෙන් සිටි සැබෑ සතුරා හෙවත් බහුජාතික කෘෂි රසායන සමාගම් විසින් චන්න විරෝධී ඊනියා විද්වත් බල ඇනිය තම ග්‍රහණයට යටත් කර ගනු ලැබීය. ඒ සඳහා මහා විශාල මුදලක්‌ ඔවුන් වියදම් කළා යෑයි සිතිය නොහැක. බොහෝ විද්වතුන් විශේෂයෙන්ම විශ්‍රාම යාමෙන් පසුව එම සමාගම්වල රැකියා බලාපොරොත්තු වූ පිරිස්‌ තුට්‌ටු දෙකට තම ආත්මය පවාදුන් බවට බොහෝ චෝදනා එල්ල විය. යම් පිරිස්‌ එසේ විවිධ ප්‍රතිලාභ සඳහා කෘෂි රසායන සමාගම්වල න්‍යායපත්‍රයට යටත්වන විට තවත් පිරිස්‌ හුදු චන්න විරෝධී හීනමානය නිසාම එම බහුජාතක සමාගම්වල කුලීකරුවන් බවට පත්විය. පලිබෝධනාශක රෙජිස්‌ටාර්වරයා ප්‍රමුඛ ඉහළ පෙළේ කෘෂිකාර්ම නිලධාරීන් රාශියක්‌ කෘෂිරසායන සමාගම් තුරුලේ සිට චන්න ජයසුමනලාට තාක්‍ෂණික මෝටාර් ප්‍රහාර එල්ල කළහ. ඊනියා හඳුනා නොගත් වකුගඩු රෝගය කෘෂිකාර්මික වකුගඩු රෝගය බවට තහවුරු වන විට එම ප්‍රහාර තව තවත් තීව්‍ර විය. එම තත්වයට මුහුණ දීම සඳහා චන්න ජයසුමන වෛද්‍යවරයා පර්යේෂකයකුගේ භූමිකාව ඉක්‌මවා යමින් සමාජ ක්‍රියාකාරිකයකුගේ භූමිකාව අතට ගනිමින් වකුගඩු සටන යුද්ධයක්‌ බවට හැරවීය. එනම් සටන් පෙරමුණු රාශියක්‌ විවෘත කරමින් සතුරාට පහරදීමේ උපාය මාර්ගය තේරීමට චන්නලා සමත් විය. 

කෙසේ වෙතත් පොදු ජනතාවට දැන් මතු පිටින් පෙනෙන්නේ ''සටන් විරාමයක්‌'' පවතින බවය. එහෙත් සතුරා තම අවි බිම තබා නැත. ගතවන සෑම දිනකම දස දෙනා බැගින් සටනේ ගොදුරු බවට පත්වේ. එසේ සටනට ගොදුරුවන පිරිස සෑම වසර 4 කට වරක්‌ දෙගුණයක්‌ වන බව පර්යේෂකයන් විසින් ඔප්පු කොට ඇත. ඒ නිසා පළමුවෙන්ම ඊනියා ව්‍යාජ සටන් විරාමය ජයග්‍රහණයක්‌ ලෙස හුවා දැක්‌වීමට කිසිවකුට ඉඩ නොදිය යුතුය. දෙවනුව සටන් විරාමය හෙවත් කෘෂි රසායන සමාගම්වල සූක්‍ෂම නව සටන් සැලසුමට ගොදුරු නොවී සතුරා තම සටන් බිමට කැඳවීමට මහජනයා සූදානම් විය යුතුය. 

අද වන විට මිත්‍ර පාර්ශ්වය ලෙස මහජනයා වෙනුවෙන් පෙනී සිටින රජය දැනුවත්ව සහ නොදැනුවත්ව යන ආකාර දෙකටම සටන් කරන්නේ සතුරාගේ සටන් සැලසුමට අනුවය. තහනම් කළ බව කියන කෘෂිරසායන, විශේෂයෙන්ම වකුගඩු රෝගයට හේතුවන බවට තහවුරු වී ඇති රසායනික වෙළෙඳපලේ පස්‌ස දොරෙන් ඕනෑම ප්‍රමාණයක්‌ ලබාගත හැක. එකම වෙනස ඒ සඳහා ගොවියාට වැඩි මිලක්‌ ගෙවීමට සිදුවීම පමණි. ඊට අමතරව ග්ලියිෆොසේට්‌ වැනි විෂ රසායනික නාමිකව තහනම් කළද ඊට වඩා දසගුණයකින් විෂ සහිත ගලයිෆොසෙට්‌ නම් වූ නව රසායනික වලට පලිබෝධනාශක රෙජිස්‌ටාර් කාර්යාලය විසින් බලපත්‍ර ලබාදී ඇත. අද වන විට එම කර්යාලය කෘෂිරසායන සමාගම්වල රහස්‌ ලේකම් කාර්යාලයක්‌ බවට පත් වී ඇත. අනෙක්‌ පැත්තෙන් ඊනියා සටන් විරාමය ජයග්‍රහණයක්‌ ලෙස හුවා දැක්‌වීම සඳහා රජය විසින් වතුර පිරිසිදු කිරීමේ යන්ත්‍ර සහ රුධිර කාන්දු කරන යන්ත්‍ර ලබාදීමේ ප්‍රචාරක ව්‍යාපාරයක්‌ද දියත් කොට ඇත. ඒ තුළ අහිංසක රෝගීන් හෙවත් යුද්ධයේ ගොදුරු පෙන්වා ජාවාරම් කිරීමේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ජාලයක්‌ද බිහිවී ඇත. 

මෙම තත්වය වෙනස්‌ කිරීමට යම් පිරිස්‌ දැනට ඉතා සද්භාවයෙන් කරනු ලබන ''අහිංසක වැඩ'' වලින් පමණක්‌ හැකි වන්නේ නැත. තෝරාගත් සුළු භූමි ප්‍රදේශයක ඉතා දුක්‌ මහන්සියෙන් වස විස නැතිව සම්ප්‍රදායානුකූල වී ප්‍රභේද වගා කළද ඒවාට වෙළෙඳපළේ සාධාරණ මිලක්‌ ලැබෙන්නේ නැත. අවසානයේදී එම ක්‍රියාවලියද බහු ජාතික කෘෂිරසායන සමාගම් විසින් ලාභ ඉපයීමේ ව්‍යාපාරයක්‌ ලෙස තම ග්‍රහණයට නතුකර ගෙන ඇත. ඒ මගින් සමස්‌ථ කෘෂි රසායන භාවිතයේ අඩුවක්‌ හෝ සමස්‌ථයක්‌ ලෙස ස්‌වභාවික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීමක්‌ විධිමත්ව සිදුවන්නේද නැත. එසේම රෝගයට ගොදුරු වූ ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වය වෙනස්‌ කිරීම සඳහා අවම වශයෙන් දීර්ඝකාලීනව පානිය ජලය ලබාදීමේ වැඩපිළිවෙලක්‌ හෝ විධිමත්ව දියත් වී නැත. අතන මෙතන ක්‍රියාත්මක වන අවිධිමත් සහ දිර්ඝකාලීනව පවත්වාගත නොහැකි ඊනියා දේශපාලන ව්‍යාපෘතිවලින් මහජන මුදල් ගසාකෑම හැර අඩුතරමින් ආදර්ශයක්‌ ලෙස පෙන්විය හැක 'ආදර්ශ ව්‍යාපෘතියක්‌' නිර්මාණය වී නැත. 

මේ නිසා දිර්ඝකාලීනව මහා පින්තුරය වෙනස්‌ කිරීම සඳහා අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්‌කරණ සඳහා රජය සමඟ දේශපාලන සටනක්‌ ආරම්භ කිරීම වකුගඩු යුද්ධයේ එක්‌ පෙරමුණක්‌ බවට පත්කළ යුතුය. යම් මධ්‍යස්‌ථ විද්වතුන් රටට කෘෂිකාර්මික ප්‍රතිපත්තියක්‌ අවශ්‍ය බවට හඬක්‌ නැඟූ පමණින් ප්‍රශ්නය විසදෙන්නේ නැත. පවතින තත්ත්වය තුළ ඊනියා ප්‍රතිපත්ති කෘෂිරසායනික සමාගම්වල ගෝල බාලයන්ට උවමනා ආකාරයට සකස්‌ කිරීමේ වැඩි ඉඩක්‌ ඇත. ඒ නිසා ප්‍රතිපත්තිය ලේඛනගත කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ගික රාමුව සහ ඊට අදාළ අවම ප්‍රමිතීන් පිළිබඳ කථිකාව මහා සමාජය විසින් ආරම්භ කළ යුතුය. අප රටේ නිදහස්‌ සෞඛ්‍ය සේවය සහ නිදහස්‌ අධ්‍යාපනය දිවි පුදා හෝ රැකිය යුතුය යන සමාජ සම්මතයක්‌ ඇත. එහෙත් ඊට සමානව රටේ ආහාර සුරක්‍ෂිතතාව රැකීම මුල්කරගෙන දේශීය ගොවියා සහ දේශීය කෘෂිකර්මාන්තය රැකිය යුතු යෑයි සමාජ සම්මතයක්‌ ගොඩනැඟී නැත. දැන් ඊට කාලය පැමිණ ඇත. 

වගුගඩු රෝගය පමණක්‌ නොව තවත් බොහෝ සෞඛ්‍ය ගැටලු තුරන් කිරීම සඳහා අවශ්‍ය දේශීය කෘෂිකර්මාන්තය ප්‍රචලිත කළ හැක්‌කේ එම පූර්ව කොන්දේසිය ඉටුවුවහොත් පමණි. වෙනත් වචනවලින් කියන්නේනම් බටහිර රටවල් තම රටවල ආහාර නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා මීට වසර 60 කට පෙර යොදාගත් ප්‍රතිපත්ති අප පමාවී හෝ ක්‍රියාත්මක කළ යුතුය. ඒ අනුව ගොවියාට තම ආහාර නිෂ්පාදනය සඳහා සාධාරණ මිලක්‌ ලබාදීම සඳහා ආනයනික ආහාර සඳහා ලබාදෙන බදු සහන වහා අහෝසි කළ යුතුය. දකුණු කොරියාව වැනි රටවල ආනයනික ආහාර වලට බදු පනවා දේශීය කර්මාන්තය රැකගන්නා ලෙස ඉල්ලමින් ජනතාව විදි බසිති. අප රටේ සිදුවන්නේ එහි සම්පූර්ණ අනෙක්‌ පැත්ත වීම කුමන සරදමක්‌ද? අප රටට ආහාර ආනයනය කරන සමාගම්වලට බදු සහන ලබාදෙන්නේ රහසිගතවය. නමුත් අප ආවඩන බටහිර රටවල ඒවා සියල්ල විනිවිද භාවයෙන් සිදු වේ. ඒ අනුව සටනේ අවම ප්‍රමිතිය ලෙස තිරිඟු පිටි, කිරිපිටි, සිනී ඇතුළු ප්‍රධාන ආනයනික ආහාර සඳහා මිල සූත්‍ර හඳුන්වා දී දේශීය ගොවියාට සාධාරණ මිලක්‌ ලැබෙන ලෙස ඒවාට බදු පැන විය යුතු බව පිළිගත යුතුය. 

කෘෂි රසායනික වලින් තොරව ස්‌වාභාවික ගොවිතැන් ක්‍රම මගින් නිපදවන ආහාර වලට හොඳ මිලක්‌ ලැබේනම් නිෂ්පාදනය වැඩි කිරීමේ ව්‍යාජ කෙටිකාලීන ක්‍රමවේද පෙන්වා කෘෂිරසායනික ප්‍රචලිත කිරීම පහසු වන්නේ නැත. පොහොර සහනාධාරය පොහොර ලෙස ලබා නොදී ඊට අදාළ සෑම රුපියලක්‌ම ස්‌වාභාවික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීමේ කොන්දේසිය යටතේ දිරිගැන්වීමක්‌ ලෙස මුදල් වශයෙන් ලබාදිය යුතුය. ඒ සඳහා ගොවිජන බැංකුව නැවත ආරම්භ කළ යුතුය. ගොවියා සමාගම්වල වැඩවසම් ග්‍රහණයෙන් මුදාගත හැක්‌කේ එවැනි සහනදායී බැංකු ක්‍රමයක්‌ මගින් ඔවුන්ට මූල්‍ය සහන ලබාදෙන්නේ නම් පමණි. එම මූල්‍ය සහන කෘෂි රසායන අවම කිරීම සහ ස්‌වාභාවික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීම සඳහා පෙළඹවීමේ උපාංග ලෙස භාවිත කළ හැක. 

ඔවුන් තම ගොවීන්ට සහනාධාර ලබාදෙන්නේ අඩු මිලට අප වැනි රටවල ආහාර ප්‍රතාපනය කොට දේශීය කෘෂිකර්මාන්තය විනාශ කිරීම සඳහාය. දැනට විවිධ පර්යේෂණවලින් ඔප්පු වී ඇති ඇති ආකාරයට සමස්‌ථතලෝකයටම බටහිර රටවල් ලබාදෙන සහනාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 10 කට අඩු වුවත් ඔවුන්ගේ නිර්දේශ අනුව අප වැනි රටවල ක්‍රියාත්මක කරන විනාශකාරී වගාක්‍රම සහ හඳුන්වාදෙන බෝග නිසා පසට සහ පරිසරයට සිදුවන හානිය බිලියන 20 කට ඇස්‌තමේන්තු කොට ඇත. අප වැනි රටවල ප්‍රතිපත්ති සම්පාදකයින් ආහාර සුරක්‍ෂිතතාව අනතුරේ හෙළමින් අත්‍යවශ්‍ය ආහාර ආනයනය දිරිමත් කරන අතර කෙටිකාලීන වෙළෙඳ පොළ වාසිය සඳහා යම් ආහාර වර්ග අපනයනය සඳහා වගාකිරීම දිරිමත් කෙරේ. එහි එක්‌ තකතීරු අන්තයක්‌ වන්නේ එක්‌ ගමකට එක්‌ බෝගයක්‌ තේමාව යටතේ ඊනියා අපනයන ගම්මාන පිහිටුවීමය. සත්ව ආහාර සඳහා අපනයනය කිරීමට වානිජ වශයෙන් ධාන්‍ය නිෂ්පාදනය දිරිගැන්වීමද එවැනිම උදාහණයකි. ඒ සියල්ල මගින් අධික කෘෂි රසායනික භාවිතය දිරිගැන්වේ.

අප රට තිරිගු පිටි ආනයනය සඳහා රු. මිලියන 40000 ක්‌ වැය කරන විට කෙසෙල්ගෙඩි සහ අනෙකුත් පළතුරු අපනයනයෙන් උපයන්නේ රු. මිලියන 2000 කට අඩු මුදලකි. එහෙත් ඉන් ලැබෙන ප්‍රතිලාභය දේශීය පරිභෝජනය සඳහා ආහාර නිෂ්පාදනය කිරීමට වඩා ඉතා අඩු මට්‌ටමක පවතී. අනෙක්‌ පැත්තෙන් ගත්විට කුකුල් මස්‌ කිලෝග්‍රෑම් 1 ක්‌ නිපදවීම සඳහා බඩ ඉරිගු කිලෝග්‍රෑම් 4 ක්‌ අවශ්‍ය වේ. වකුගඩු රෝග කාරක ග්ලයිපෝසෙට්‌, කාබාෆියුරාන් වැනි රසායනික වැඩි වශයෙන් යොදාගන්නේ බඩ ඉරිඟු වගාව සඳහාය. එම නිසා ආහාර පරිභෝජන සංස්‌කෘතිය වෙනස්‌ කර ගැනීම මෙන්ම කුඩා පරිමාණයෙන් ගෙවතු වගාව මගින් බෝග වගාව සහ සත්ව පාලනය දිරිමත් කිරීමද වකුගඩු සටනේ ජයග්‍රහණය සඳහා අත්‍යවශ්‍ය සාධක බවට පත්වේ. අප ඓතිහාසිකව අහාර වර්ග 800 ක්‌ පමණ පරිභෝජනය කළ ජාතියකි. අද එම ප්‍රමාණය 50 දක්‌වා පමණ අඩු වී ඇත. ඒ නිසා තෝරාගත් ආහාර කිහිපයක නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අධික ලෙස කෘෂි රසායන භාවිතය දිරිමත් කිරීමට බහුජාතික කෘෂිරසායනික සමාගම්වලට හැකියාව ලැබී ඇත. 

ඊට අමතරව පවතින තත්වය වෙනස්‌ කිරීමට නම් කෘෂිරසායනික සමාගම්වල කුලීකරුවන් ලෙස රාජ්‍ය සේවය තුළ රාජකාරී කොට විශ්‍රාම යෑමෙන් පසුව එම සමාගම්වලම රැකියාවක්‌ ලබාගැනීම සඳහා ගොවියා සහ රට පාවාදෙන නිලධාරීන් යමපාලනයකට යටත්කළ යුතුය. කෘෂිරසායනික සමාගම්වල අලෙවි නියෝජිතයන් විසින් ගොවීන්ට උපදෙස්‌ දෙනක්‍රමය වෙනුවට සැබැලෙසම දේශීය කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා උපදෙස්‌ දෙන නව ව්‍යාපෘති සේවයක්‌ද රටට අවශ්‍ය වේ. එසේම පලිබෝධ නාශක පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කොට එහි ක්‍රියාකාරීත්වය මහජන අධීක්‍ෂණයට යටත්කළ යුතුය. ඒ සියල්ලටම ඉහළින් පවත්වාගතයුතු මූලික උපාය මාර්ගික පිළිගැනීමක්‌ ඇත. ඒ බේග මුල්කරගත් කෘෂිකර්මාන්තයක්‌ වෙනුවට ගොවියා සහ ආහාර සුරක්‍ෂිතතාව මුල්කරගත් කෘෂිකර්මාන්තයක්‌ දිරි ගැන්වීමයි. 

එසේම එම ක්‍රියාමාර්ගවල දිර්ඝකාලීන ප්‍රතිඵල ලැබෙන තෙක්‌ දැනට රෝගයට ගොදුරුව ඇති ජනතාවගේ සුබ සාධනය සඳහා විධිමත් ආකෘතියක්‌ යටතේ විසඳුම් ලබාදිය යුතුය. උදාහරණයක්‌ ලෙස දිර්ඝකාලීනව පවත්වාගෙන යා හැකි ආකාරයට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා බහුවිධ ක්‍රමවේද හඳුන්වාදීම ප්‍රමුඛ වේ. එසේම පොදුවේ රටට බත සපයන ගොවි ජනතාව දරිද්‍රතාවයෙන් ගලවා ගැනීම පොදු මහත් ජනතාවගේ වගකීමක්‌ බවට සමාජ සම්මතයක්‌ ඇතිකොට ඒ සඳහා රාජ්‍ය මුදල් යෙදවිය යුතුය. වකුගඩු සටන යුද්ධයක්‌ බවට පත්කොට ජයග්‍රහණයෙන් අවසන් කිරීම සඳහා ඒ සෑම සටන් පෙරමුණකම සටන් වැදිය යුතුය. එය චන්න ජයසුමනලාට තනිව කළ හැකි දෙයක්‌ නොවේ. ඔවුන් සටනේ පෙරමුණු කිහිපයක ජයග්‍රහණ අත්පත්කොට දී ඇත. දැන් සියලු දේශපාලන පක්‍ෂ සහ පොදු ජනතාව අනෙකුත් සටන්බිම්වල සටන් තම අතට ගත යුතුව ඇත. ජාතියක්‌ ලෙස අප ඊට සූදානම් නොමැත්තේනම් අවසන් ප්‍රතිඵලය වන්නේ සමස්‌ත ජාතියම ඊට ගොදුරු වීමය. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක්‌ පමණි. 

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්‌ඩාර
http://www.divaina.com/2016/09/05/feature01.html

Pic1 Source
Pic2 Source

Sunday, September 4, 2016

මල්ලෙන් එළියට ආවේ බළලකු නොව විග්නේෂ්වරන් නම් කොටියෙකි!

අද මේ පුවත්පතෙහි පළවන මුල් පුවත යම් තරමක අවුලකි. බළලකු වෙනුවට කොටියකු මල්ලෙන් එළියට පැනීමකි. යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්විමක්‌ අවශ්‍ය බව උතුරේ මහ ඇමැති සී. විග්නේෂ්වරන් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ට කී බව එහි සඳහන්ය. අපට හැඟෙන පරිදි නම් විග්නේෂ්වරන් මේ ඉල්ලන්නේ පිටරටවල සිටින විනිසුරුවන් ශ්‍රී ලංකාවට පැමිණ යුද අපරාධ සම්බන්ධයෙන් නඩු ඇසිය යුතු බවය. වසර 30 ක යුද සමයේදී හෝ යුද්ධයේ අවසන් කොටසේදී කිසියම් සාපරාධී කටයුත්තක්‌ සිදුවීද, ඒ සම්බන්ධයෙන් කරන පරීක්‍ෂණයකට විදේශික මැදිහත්විමක්‌ සම්බන්ධ කරගන්නේ නැති බව ජනාධිපතිතුමා මුල සිටම අවධාරණය කර ඇත. ඒ ප්‍රශ්නය ගැන කතා කරන්නට ගිය අවස්‌ථා කිහිපයකදීම මේ පුවත්පත ආණ්‌ඩුවේ තදබල දෝෂාරෝපණයට ද ලක්‌විය. අපට විදේශ මැදිහත්විමක්‌ අවශ්‍ය නැති බව මේ පුවත්පතේ ස්‌ථාවරයයි. එය අපගේ පමණක්‌ නොව මේ රටේ දැනට ඉතිරිව සිටින අවසන් සිංහල බෞද්ධ ස්‌වදේශික නායකයන් කිහිපදෙනාගෙන් කෙනකු වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ද ස්‌ථාවරයයි. විග්නේෂ්වරන්ගේ ඉල්ලීමට අනුව හැඟී යන්නේ ඔහු රාජ්‍ය නායකයාගේ ස්‌ථාවරය ද කඩා බිඳ දමාගෙන ඉදිරියට දුවන්නට හදන බවය. පාලනයකින් තොරව කඩා බිඳගෙන දුවන මී හරකුන් ආණ්‌ඩු මට්‌ටු කිරීම සඳහා සිංහල ගැමියා විශාල ලී කොටයක්‌ උගේ ගෙලෙහි එල්ලන්නේය. එය "රොකඩය" යනුවෙන් හඳුන්වනු ලැබේ. එවැනි දේවල් යොදා නූගත් මීහරකකු පාලනය කළාට උගත් හිටපු විනිසුරකු පාලනය කළ යුතු නැත.

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කළ එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්තුමා රට තුළ අද පවතින තත්ත්වය ගැන බෙහෙවින් සාධනීය වූ මතවාදයක සිටින බව දැනගන්නට තිබේ. කලකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ අරක කරන්න, මේක කරන්න යෑයි කියමින් වාත වූ බෑන් කී මූන් මෙවර සංචාරයේදී කිසිදු බලපෑමක්‌ කළේ නැත. එහෙත් විග්නේෂ්වරන් වැඩේ අනුභව කර ඇති බව පෙනෙන්නට තිබේ. මේ රටේ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය එකතු වී කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීම ගැන ඇතැම් දෙමළ නායකයන් දැඩි වියරුවකින් පසුවන බව විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයෙන් පෙනී යයි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය වීම (යුද සමයේදී) ගැන ජාත්‍යන්තර මට්‌ටමින් විමර්ශනයක්‌ අවශ්‍ය බව උතුරේ සිවිල් සංවිධාන සමූහය ද කියන බව අපගේ මුල් පුවතේ සඳහන්ය. මෑත කාලීන ශ්‍රී ලංකාවේ සෑහෙන ප්‍රමාණයක්‌ කා දමන ලද්දේ දේශපාලනඥයන්ය. ඉතිරිය කා දමන ලද්දේ රාජ්‍ය නොවන සංවිධානයන්ය. මේ රටට එන සෑම බලගතු විදේශිකයකුම අදහස්‌ ගන්නේ සිවිල් සමාජය ලෙස පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන කාරයන්ගෙනි. උදාහරණයන් මෙසේය. පසුගිය වසරේ ජනවාරි 8 වැනිදා ඇති වූ ආණ්‌ඩු පෙරළියෙන් පසු දින 100 ආණ්‌ඩුවක්‌ පිහිටුවන ලදී. ඒ අතර දිනෙක ඇමරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකාවට පැමිණියේය. එදින සවස ඔහු විසින් කොළඹ හෝටලයකදී දේශනයක්‌ පවත්වන ලදී. එම දේශනයෙන් පසු ඔහු හමුවීමට මාධ්‍යකරුවන් බලා සිටියද ඒ ගැන නොතැකූ කෙරී රාජ්‍ය නොවන සංවිධාන හෙවත් එන්. ජී. ඕ. කාරයන් හත් අට දෙනකු සමඟ යාබද කාමරයකට රිංගා ගත්තේය. ඉන්පසු ඔහු දේශනය පැවැති කාලය හා සමාන කාලයක්‌ එකී සිවිල් සමාජ කට්‌ටිය සමඟ සාකච්ඡා කළේය. කෙරී ආපසු ඇමරිකාවට යන්නේ ඒ කට්‌ටිය කියූ දේවලින් සිය කන් පුරවාගෙනය.

උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් කොටියකු නොවන බවත් උගත් නීතිවේදියකු බවත් අප කලකට පෙර කල්පනා කළෙමු. එහෙත් ඔහු පිළිබඳ අප කෙරෙහි වූ හැඟීම පසුගිය වකවානුව තුළ වූ සිදුවීම් නිසා ඉල්ලා අස්‌කර ගැනීමට අපට සිදුව තිබේ.

ඒ ගැන අපට ඇත්තේ කනගාටුවකි.

http://www.divaina.com/2016/09/04/editorial.html

Pic Source

බර අඩු කර ගැනීමද භාවනාවකි!

භාවනා කරන විට රන්ඩු සරුවල් නතරවේ...
ආශාවෙන් කන කෑමද ප්‍රතික්‍ෂේප කරයි...
අලස බව දුරුවේ...
භාවනා කිරීමෙන් ඔබ තවත් ශක්‌තිමත් වන්න...

බර අඩු කර ගැනීමේ නිවැරදි වැඩසටහනකදී නිසි ඉලක්‌කය තෝරා ගෙන වීර්යය වැඩීමත්, නිසි ආහාර පාලනයත්, ව්‍යායාමත් මනස සතුටෙන් තබාගැනීමත් එකවිට ක්‍රියාත්මක කිරීමෙන් ඒවා වෙන වෙනම ක්‍රියාත්මක කොට ලැබෙන ප්‍රතිඵල වල එකතුවට වඩා උසස්‌ ප්‍රතිඵලයක්‌ අනිවාර්යයෙන්ම ලැබෙයි. නිදසුනක්‌ ලෙස ආහාර පාලනය තනිව ක්‍රියාත්මක කිරීමෙන් කෙනකුට කිලෝ දෙක හමාරක බරක්‌ මසකට අඩු කර ගත හැකි යෑයි සිතමු. එසේම ඒ කෙනාට ව්‍යායාම තනිව ක්‍රියාත්මක කිරීමෙන් කිලෝ ග්‍රෑම් භාගයක බරක්‌ මසකට අඩු කර ගත හැකි යෑයි සිතමු. අදාළ කෙනා නිසි ආහාර පාලනයත් නිසි ව්‍යායාම ලබාගැනීමත් එකවිට ක්‍රියාත්මක කළහොත් ලැබිය යුතු ප්‍රතිඵලය කිලෝ ග්‍රෑම් තුනක්‌ වුවත් ඊට වඩා ඉහළ ප්‍රතිඵලයක්‌ ඔහුට ලැබෙයි . එසේ ඉතා හොඳ ප්‍රතිඵලයක්‌ ලැබෙන්නේ ආහාර පාලනය මගින් ව්‍යායාම කිරීමත් ව්‍යායාම කිරීම මගින් ආහාර පාලනයත් අන්‍යෝන්‍ය වශයෙන් ශක්‌තිමත් කෙරෙමින් ධනාත්මක චක්‍රයක්‌ සේ ක්‍රියා කරන නිසාය. එයට නිසි වීර්යය වැඩීමේ ක්‍රායාවලියත් මනස සතුටෙන් තබාගැනීමත් එක්‌ වූ විට ඊටත් ඉහළ ප්‍රතිඵලයක්‌ ලබා ගත හැකිය. එසේම එවිට එය ස්‌ථිර සහ කල් පවත්වා ගත හැකි ප්‍රතිඵලයක්‌ද වෙයි.

"භාවනා කරනවද?'' යන ප්‍රශ්නය ඇසූ විට ඔබ දෙන පිළිතුරද අපි අත්දැකීමෙන්ම දනිමු. එවිට අපට ලැබෙන්නේ මෙවැනි පිළිතුරකි. "අපේ රාජකාරිය කරන්න ගියහම, ළමයින්ගෙ වැඩ ටික කරන්න ගියහම, ගෙදර වැඩ ටික කරන්න ගියහම ඕව කරන්න අපට කෙහෙන්ද වෙලාවක්‌. අපට තියෙන වැඩ ටිකට දවසෙ පැය 24 ත් මදි.'' 

භාවනා කිරීම එසේ වෙලාව නැතැයි අත්හැර නොදමන්න. සිත ඒකාග්‍රව තබාගැනීමට ආශාවන් පාලනය කරගැනීමට භාවනාව තරම් ඔසුවක්‌ තවත් නැත. ඔබ ඕනෑම කෙනකුට භාවනා කළ හැකිය. අවම වශයෙන් ඔබ අදහන ආගමවත් එයට බාධාවක්‌ කර ගත යුතු නැත. ඕනෑම කෙනකුට අවම වේලාවකින් කළ හැකි සරල භාවනා ක්‍රමයක්‌ ඔබට පහදා දෙන්නට අප දැන් සූදානම්. 

මෙම භාවනාව පටන් ගැනීමට දවසට අවශ්‍ය වන්නේ විනාඩියක්‌ පමණයි. අප භාවනාව සඳහා පැයක්‌, පැය භාගයක්‌ හෝ පැය කාලක්‌ යෝජනා කළානම් වේලාව නෑ කියන පදනමෙන් එය අනිවාර්යයෙන්ම ප්‍රතික්‌ෂේප වනවා. එහෙත් විනාඩිය එම පදනමෙන් ඔබට ප්‍රතික්‌ෂේප කළ නොහැක්‌කේ දවසකට විනාඩි 1440 ක්‌ තරම් විශාල ප්‍රමාණයක්‌ තිබෙන බැවිණි. "මට නම් විනාඩියක්‌වත් සොයාගන්න බෑ මම නැගිට්‌ට වෙලාවෙ ඉඳන් නිදාගන්නකල්ම වැඩමයි'' කියා කියන අය ද අප අතර සිටී. කලබල නොවන්න. ඒ අයටත් අපි වේලාව සොයා දෙන්නෙමු. ඔබ සියලු දෙනාම දවසේ වැඩ නිම වී නින්දට යයි. නිදාගන්නා තැනට ගොස්‌ දිගා වූ සැනින් නින්ද යන්නේ නැත. වෙන වේලාවක්‌ සොයාගත නොහැකි අයට අන්න ඒ නින්ද යනකන් ගතවන විනාඩි කීපයෙන් එකක්‌ වෙන්කර ගෙන මෙම භාවනාව කළ හැකිය. එවිට නපුරු සිහින නොපෙනෙන සැපවත් නින්දක්‌ ඔබට ලැබෙන බවටද කිසිම සැකයක්‌ නැත. 

කුමක්‌ද මේ භාවනාව? ඔබ මුළු දවසේදීම එනම් විනාඩි 1440 දිම හුස්‌ම ගන්නවා. පිටකරනවා. හැබැයි ඒක වෙන්නෙ ඉබේටම. ඔබ දන්නෙ නෑ මොකක්‌ද වෙන්නෙ කියල. අපි වෙන්කර ගත්ත මේ විනාඩියෙදි හුස්‌ම ගන්න පිටකරන ක්‍රියාවලිය එහෙම අපට නොදැනි වෙන්ඩ ඉඩ දෙන්නේ නෑ. ඒ පිළිබඳව සිහියෙන්, සතියෙන්, කල්පනාවෙන් පසුවෙමින් මනසින් මෙනෙහි කරමින් තමයි එය සිදුවන්නට ඉඩදෙන්නේ. එය ආනාපාන සති භාවනාවයි.

මුලින්ම ඔබ ඉන්නා ඉරියව්වේ හැකි උපරිම අයුරින් සන්සුන් වන්න. මෙය ඉඳගෙන, සිටගෙන හෝ නිදාගෙන යන ඕනෑම ඉරියව්වකින් කළ හැකිය. ඔබට වදයක්‌ වේදනාවක්‌ අපහසුතාවයක්‌ ඇති කළ දේවල් මොහොතකට අමතක කරන්න. දැන් අපේ භාවනාව සඳහා ඔබ සුදානම්. 

ඔබ හුස්‌ම ගන්නා විට මෙසේ සිතන්න. ''මම දැන් සිසිල් වාතය මගේ නාස්‌ පුඩුවලින් ක්‍රමානුකූලව ඉහලට හුස්‌ම ගන්නවා. ''ඊළඟට මෙසේ සිතන්න. ''ඉහළට ගත්තු හුස්‌ම මගේ පෙනහළුවල එහෙම නැත්නම් සිරුර තුළ මම මොහොතක්‌ රඳවාගෙන සිටිනවා''. ඊළඟට මෙසේ සිතන්න ''මම රඳවාගෙන සිටි හුස්‌ම දැන් ක්‍රමානුකූලව උණුසුම් වාතය විදිහට මම මගෙ නාස්‌පුඩුවලින් පිටකර හරිනවා" මෙසේ හුස්‌ම ගන්නා ක්‍රියාවලියත් එය ඔබේ සිරුරට දැනෙන ආකාරයත් මෙනෙහි කරමින් මනසින් දකිමින් ඒ පිළිබඳව සිහියෙන් සතියෙන් පසුවෙමින් වාර 15 - 20 ඉහත විස්‌තර කළ පරිදි නැවත නැවතත් කරන්න. ඒ සඳහා විනාඩියක්‌ විනාඩි එකහමාරක්‌ වැනි කාලයක්‌ ගතවේවි. මෙම භවනාව අවසානයේ ඔබේ මනසට විශාල සැහැල්ලුවක්‌ සතුටක්‌ දැනෙනවා. එය අද කළ වේලාවට හෝ ඔබට හැකි වෙනත් වේලාවක හෙටත් කරන්න. එලෙස සතියක්‌ දවස්‌ 10 ක්‌ සති දෙකක්‌ ආදී වශයෙන් දිගටම එය ප්‍රගුණ කරන්න.

ඔබේ අභ්‍යන්තරයේ ඉතා විශාල වෙනසක්‌ ඇතිවීම නියතයි. එය ඔබ ඔප්පුකරගන්නේ කෙසේද? මෙවැනි මානසික අභ්‍යාස දවසක්‌ දෙකක්‌ කර බොහෝ දෙනා ගුණයක්‌ නොදැනෙන බැවින් අතහැර දමනවා. එබැවින් එහි ගුණය ඔබටම ඔප්පුකර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඔබටත් මටත් සෑම පෘතග්ජන පුද්ගලයෙකුටමත් කේන්ති යනවා. කේන්ති නොයන්නේ රහතන්වහන්සේලා වැනි සිත උපරිම තලයට දියුණු කරපු අයට පමණයි. නමුත් භාවනා කිරීම ආදි මානසික අභ්‍යාස වලින් අපට ඇතිවන මෙම කේන්තියාම තුනී කරගන්න පුළුවන්. අප විස්‌තර කළ පරිදි මෙම භාවනාව ඔබ සතියක්‌ දවස්‌ 10 ක්‌ සති 2 ක්‌ වැනි කාලයක්‌ දිගටම ප්‍රගුණ කර බලන්න. කේන්ති යාම ඉතාම පැහැදිලිව අඩුවෙනවා. කේන්තිය කියන්නේ වෛරය, ද්වේශය, ක්‍රෝධය මුසු ව්‍යාධිජනක මනෝභාවයක්‌. කේන්තියාම අඩුවෙනව කියන්නෙ මෛත්‍රී සහගත සිතිවිලි වැඩෙනව කියන එකයි. ඒ කියන්නෙ පැහැදිලිවම මනස දියුණු වෙලා.

මේ භාවනාව දිගටම කරගෙන යනකොට වෙනදා ඔබ රණ්‌ඩුවට ගිය කාරණයකට තවදුරටත් රණ්‌ඩු කරගන්න අවශ්‍ය වන්නේ නෑ. ඔබේ ජීවිතය බොහොම පහසු වෙනවා. අන් අය සමග ඉතාම සහයෝගයෙන් කටයුතු කිරීමට ඔබට හැකිවෙනවා. 

භාවනා කිරීම ආදි මානසික අභ්‍යාසවලින් මනස යම් මට්‌ටමකට දියුණු කර ගත් විට අපට හානිකර ආශාවන් පාලනය කරගැනීමට පුළුවන් වෙනවා. අප වැඩසටහනට අදාලව සළකා බැලුවොත් වැළකිය යුතු සියල්ලෙන් ඉතාම හොඳින් වැළකීමට හැකිවෙනවා. කළ යුතු සියල්ල ඉතාම හොඳින් කළ හැකි වෙනවා. 

දැන් අප බර වැඩි අයට තම සිත පාලනය කරගැනීමට නොහැකිව ආශාවන්ට අවනතව හානියක්‌ කරගන්නා අවස්‌ථාවක්‌ සලකා බලමු. ඔබ අප වැඩසටහන ඉගෙන ගෙන ගෙදර ගිය පසු ඔබේ ගෙදරට එන අමුත්තෙක්‌ ගැන සිතන්න. අමුත්තා විශාල ප්‍රමාණයේ අයිසිං කේක්‌ ගෙඩියක්‌ හෝ ලීටර් හතරේ අයිස්‌ක්‍රීම් බඳුනක්‌ ගෙනාවා යෑයි සිතන්න. එවිට ඔබට ඇත්තේ එම කෑම කෑමට ඇති කෑදරකමට වහල් වන සිතක්‌ නම් සිදුවන්නේ කුමක්‌ද? සිත අප වැඩසටහනේ සිට ''ජබොහ්'' ගා අයිස්‌ බඳුන තුළට හෝ අයිසිං කෙක්‌ ගෙඩියට පැනීමයි. අප ඔබට කේක්‌ අයිස්‌ ක්‍රීම් කෑමට තහනම් පැනවූවා යෑයි අප කෙරෙහි අප්‍රසාදයක්‌ද ඔබට ඇතිවිය හැකිය. නමුත් ඔබ අප ඉහතින් පෙන්වා දුන් පරිදි භාවනා ආදී මානසික අභ්‍යාසයන් සිදුකර සිත යම් මට්‌ටමකට දියුණු කරගෙන ආසාවන් පාලනය කරගත්තොත් ඒ රස අධික කෑම ඔබට ලැබුණා කියා ඒවා කන්නට ඔබට කෑදර කමක්‌ ඇතිවන්නේ නැත. 

මෙහිදී අප පිළිබඳව කියනවානම් ලෝකයේ ඇති රසවත්ම කෙක්‌ ගෙඩිය අප ඉදිරියෙන් ගෙනවිත් තිබ්බත් ලෝකයේ ඇති රසවත්ව අයිස්‌ක්‍රීම් බඳුන අප ඉදිරියෙන් ගෙනවිත් තිබ්බත් ඒවායින් ඉවසන්නට බැරිතරම් සුවඳක්‌ හැමුවත් ඒවා කන්නට තබා ඒවා දෙස බලන්නටවත් අපට නම් ආසාවක්‌ ඇතිවන්නේ නැත. ඇත්ත වශයෙන්ම ඒවා අපට දැන් පිළිකුල්ය. සමහරුන් සිතන්නේ අප පෙරේතකමින් කෙල ගිලිමින් ඒවායින් ඉතා ආයාසයෙන් වැළකෙන බවයි. නමුත් අප එය කරන්නේ සිත පාලනය කරගැනීමෙන් මිස අශාව වළක්‌වාගැනීමට දැඩි ආයාසයක්‌ යෙදීමෙන් නොවේ. එසේ සිත පාලනය කරගැනීමට නම් ඔබ අප ඉහතින් විස්‌තර කළ භාවනාකිරීම් ආදී මානසික අභ්‍යාසයන් ප්‍රගුණ කළ යුතුයි. එවිට ඔබට හානිකර ආශාවන් මැඬපවත්වා ගැනීම ඉතාම පහසු දෙයක්‌ වනවා. ඔබට ඉලක්‌කයට යාමත් ලබාගත් ප්‍රතිඵල රැකගැනීමත් ඉතාම පහසු දෙයක්‌ බවට පත් වෙනවා.

අප වැඩසටහනෙන් නිසි ප්‍රතිඵල ලබාගැනීමට නම් මානසික සතුටේ සැහැල්ලුවේ ඒකාග්‍රතාවයේ ඇති වැදගත්කම අපි මේ වන විට ඉතාම හොඳින් තේරුම් ගෙන ඇත්තෙමු. එසේම එම හොඳ තත්ත්වයට පත්වන්නේ කෙසේ දැයි කියා අපි සාකච්ඡා කළෙමු. නමුත් අද අපේ රටේ සෑම දෙනාම පාහේ සතුට විනෝදය සොයන්නේ සතුට ලැබෙන්නේම නැති දෙයකිනි. එහිදී ද අප රටේ කාන්තා පාර්ශවය ඒ සඳහා වැඩි ඇබ්බැහියක්‌ දක්‌වන බවද පෙන්වා දිය යුතුය. 

හරියට උයන්නේවත් නැතිව බාගෙට ඉදිච්චා බෙදාගෙන එසේ නැත්නම් ක්‌ෂණික කෑමවලින් හෝ ''චූන් පාන්'' වලින් පිඟන් පුරවාගෙන කළුවර වැටීගෙන එනවිට යන්නේ කුමක්‌ ඉදිරියටද? අප එය ප්‍රශ්නය නගන විටම සහභාගිත්වය දෙන පිළිතුර වන්නේ ටී වී එක ළඟට යන්නයි. ඒක ළඟින් ඉඳගෙන පැය ගාණක්‌ එක දිගට බලන්නේ මොනවාද? පිළිතුර ටෙලි නාට්‍ය යන්නයි. එසේ ටෙලිනාට්‍ය බැලීමෙන් සතුටක්‌ සැනසිල්ලක්‌ ලැබෙනවද? ටෙලි රසයට ඇබ්බැහි වූ බොහෝ දෙනා ඊට පිළිතුරු දෙන්නට මැලිය. නමුත් ඒ ගැන විවේචනාත්මකව බැලිය හැකි අය පවසන්නේ ඒ නාට්‍ය වල තියෙන ප්‍රශ්න ටික ඔලුවට දාගත්තහම තිබිච්ච සතුටත් නැතිවෙන බවයි. නූතන සමාජය ටෙලි නාට්‍ය රැල්ලට ගසාගෙන යන අවිචාරවත් සමාජයක්‌ බවට පත් වී ඇති නිසා ටෙලි නාට්‍ය බැලූ විට ලැබෙන්නේ සතුටද? දුකද? කියා අප හොඳින් විග්‍රහ කර ගත යුතුය. 

අපට සතුට ලැබීමට නම් අප නැරඹිය යුත්තේ සතුටෙන් සිටිනා කෙනෙක්‌ හෝ කණ්‌ඩායමක්‌. අප වැඩසටහනට සහභාගි වීමට පැමිණි අයගෙන් මෙහිදී අප විමසන්නේ ඔබ ආ වේලේ සිට අප මිනිස්‌සුන්ට බනිමින්, අඩි හප්පමින්, ගස්‌සමින්, තරහෙන් පුපුරමින් පසුවූවා නම් එසේත් නැත්නම් අපට ඇති මොකක්‌ හෝ දුක්‌ අඳෝනාවක්‌ කියා අඬමින් හොටු කඳුළු පෙරාගෙන පසුවූවානම් සහභාගිවන්නට පැමිණි ඔබට වැඩසටහන අතරතුරේදී අවම වශයෙන් සිනහ රැල්ලක්‌වත් පහල වෙනවාද යන්නයි. ''එහෙම කලානම් අපට වැඩසටහන එපාවෙනව. ඒත් අපි අද මේ වැඩසටහනට සහභාගි වුණේ ඉතාම සතුටෙන්.'' සහභාගිත්වයේ ප්‍රතිචාරය එබඳුය.

අප වැඩසටහන තුළදී නිතිපතා නිරීක්‌ෂණය කරන දෙයක්‌ වන්නේ එයට සහභාගීවීමේදී ඔනෑම කෙනෙකුට අවම වශයෙන් එක්‌ වතාවක්‌ වත් ප්‍රසන්න සිනා 

රැල්ලක්‌ පහල වන බවයි. ඇත්ත වශයෙන්ම සිනහව යනු සතුටේ ප්‍රකාශනය යි. මනෝ විද්‍යාඥයින් පවා පවසන්නේ සිනහවීමේදී මුහුනේ මාංශපේශි සිය ගණනක්‌ ඇතුළු මුළු සිරුරම ඉතාම සෞඛ්‍යානුකූල අන්දමින් උද්දීපනය වන බවයි. අප වැඩසටහන ගැන පැවසූ දෙයින් ඔබ තේරුම් ගත යුත්තේ අප කෙනෙත් හෝ කණ්‌ඩායමක්‌ දිහා බලා ඉන්නා විට අප තුළ ඇතිවන්නේද ඔවුන් නිරූපණය කරන මනෝභාවයන්ට අනුරූප මනෝභාවයන් බවයි. 

ටෙලි වැල බැලීමට වාඩිවන්නේ ලොකු කෑම පිඟානක්‌ බෙදාගෙනය. එය ටෙලිය දෙස බලාගෙන කටට දෙකට ගිල දමයි. එහෙත් බඩ පිරෙන්නේ නැත. මන්ද යත් සිත තිබෙන්නේ ටෙලියේ බැවිනි. එවිට නැවත නැවතත් බෙදාගෙන විත් කන්නට සිදුවෙයි. සමහරු මෙහිදී පවසන්නේ ''සර් කියන කථාව සහතික ඇත්ත. හදිස්‌සියෙ පි`ගානට උඩින් හූනෙක්‌ කැරපොත්තෙක්‌ වැටුණත් ඒකත් ගිල දානව. මොකද එච්චරටම හිත තියෙන්නෙ ටී.වි එකේ. පැය ගණනක්‌ කිසිම ශක්‌ති වැයවීමක්‌ නොකර විශාල පි`ගන් ගණනක්‌ ආහාර ගිලදැමීමෙන් සිදු වන්නේ තරබාරු බව තව තවත් වර්ධනය වීම පමණි. 

ඇයි මේ තරම් ළමයින් සහ මිනිස්‌සු ලෙඩකරවන ලෙඩකරවල අකාලයේ මරල දාන ඉතාම භයානක ආහාර පානවලට අපේ රටේ මිනිස්‌සු මෙච්චර ඇබ්බැහි වෙලා තියෙන්නෙ? එවැනි රෝගකාරක ආහාරවලට නිදසුන් කීපයක්‌ නම් කෝලා බීම ඇතුළු බෝතල් පැණි බීම, සොසේජස්‌ ආදී මස්‌ නිෂ්පාදන, කාන්තාවන්ගේ තියෙන ඇට ටිකත් දියකරන අධි කැල්සියම් කිරිපිටි ආදියයි. මේ වගේ වැරදි ආහාර පානවලට මේ රටේ මිනිස්‌සු මෙච්චර ඇබ්බැහි වෙලා තියෙන්නෙ අප වැනි වෛද්‍යවරයෙක්‌ කියලද? එහෙම නැත්නම් රටට ජාතියට යම් වගකීමක්‌ තියෙන වෙනත් කෙනෙක්‌ කියලද? පිළිතුර කිසිසේත්ම නැත යන්නයි. 

එහෙමනම් කොහොමද මේ භයානක ''සර්පයො'' ටික මිනිස්‌සුන්ගෙ හිස්‌ ගෙඩිවලට රිංගාගෙන තිබෙන්නේ. පිළිතුර වන්නේ වෙළෝද දැන්වීම්වලින් යන්නයි. යම්කිසි විකාශන කාලයක්‌ තුළ වෙළෝද දැන්වීම් විතරක්‌ පෙන්වනවා යෑයි පැවසුවොත් කිසිකෙනෙක්‌ එය බලන්නේ නැත. එබැවින් කළ යුත්තේ මෙම වෙළෝද දැන්වීම් ටික පෙන්වා ගන්නට ගැලපෙන ටෙලියක්‌ නිර්මාණය කර හැකි උපරිමයෙන් ඒ අතරට වෙළෝද දැන්වීම් කවා විකාශනය කිරීමයි. 

මොහොතක්‌ සිතන්න. අලුත් කිරිපිටි වර්ගයක්‌ හරි කේක්‌ වර්ගයක්‌ හරි අයිස්‌ක්‍රීම් වර්ගයක්‌ හරි සොසේජස්‌ වර්ගයක්‌ හරි ගැන ආකර්ෂණීය වෙළෝද දැන්වීමක්‌ හදලා නළු නිළියොයි ක්‍රිකට්‌ ගහන හාදයොයි දාල ටෙලි නාට්‍යයක්‌ අතරට වරින් වර පෙන්වනවා. ඔන්න දැන් අර අලුත් සරපයා ඔළුවට රිංගා ගන්නවා. දැන්වීම කීප සැරයක්‌ දකින අපේ රටේ මිනිස්‌සුන්ට දැන් ඉවසීමක්‌ නෑ සුපිරි වෙළෝද සැලකට ගිහිල්ල මේව ගේන කල්. ගිහිල්ල මේවයින් මලු පුරවගෙන ඇවිල්ල ඒව කාල බීල තියෙන ලෙඩ වැඩිකර ගන්නවා, නැති ලෙඩ හදාගන්නවා, ජීවිතය කොටකර ගන්නවා. එහෙම නම් දැන් අපට හොඳටම පැහැදිලියි සතුට විනෝදය පතාගෙන ටෙලිනාට්‍ය බැලුවොත් ලැබෙන්නෙ සතුට නොව දුක, ලෙඩ සහ අකල් මරණය බව.

ආහාර පාලනයත් ව්‍යායාමත් එකට එකවිට ඒකාබද්ධව කිරීමෙන් ඔබට අප වැඩසටහනෙන් කෙටිකලක්‌ තුළ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකිය. එසේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීම සඳහා අප ඉහත විස්‌තර කළ අයුරින් ඔබේ මනසද හැකි තරම් සතුටෙන් සැහැල්ලුවෙන් ඒකාග්‍රතාවයෙන් තබාගන්න. එසේම මම මට නියමිත ඉලක්‌කයට බර අඩුකර ගන්නව අඩුකර ගන්නවාමයි කියල දැඩි අදිෂ්ඨානයක්‌ හිතේ ඇතිකර ගන්න. කවුරු මොනතරම් මන්දෝත්සාහී කලත් මම ආයෙ ආපසු හැරෙන්නෙ නෑ කියලත් අදිෂ්ඨාන කරගන්න. එම අදිෂ්ඨානයන් නැවත නැවත මෙනෙහි කරන්න. ඔබේ සිතේ විර්යය ධෛර්යය හැකි තරම් වඩාගන්න. 

වීර්යය වැඩීමත් ආහාර පාලනයත් ව්‍යායාමත් මනස සතුටෙන් තබාගැනීමත් එක විට කිරීමෙන් ඉතා උසස්‌ ප්‍රතිඵල ලැබේ.

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
http://www.divaina.com/2016/09/04/feature06.html

මේ නිමේෂයද අනිත්‍යයට පත්වන ධර්මතාවක්‌ම පමණි! මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

මේ මොහොතේ භික්‍ෂුව අතීත ගිහි ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී මට තිබුණේ සප්ත බොජ්ජංගයට වඩා පංච නීවරණයට බර ජීවිතයක්‌. භික්‍ෂුවගේ මනස අතීත සිදුවීම් පිළිබඳ මතකයන් ගොඩක්‌ අවදි වෙනවා. ඒ සෑම මතකයක්‌ම අනිත්‍ය වූ ධර්මතාවක්‌. 

භික්‍ෂුව පැවිදිවෙන මොහොතේ පංචනීවරණ පහ හෝ සප්ත බොජ්ජංගයට ධර්මයන් හත කටපාඩමින් කියන්න දැනගෙන සිටියේ නැහැ. භික්‍ෂුව මේ ධර්මයන් හඳුනාගන්නේ අත්දැකීමෙන්මයි. සප්ත බොජ්ජංගයන් හඳුනා ගනිද්දී ඊට විරුද්ධ පංච නීවරණ ධර්මයන් හඳුනාගැනීමත් ධර්මතාවක්‌මයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්දච්ච කුක්‌කුච්ඡ, විචිකිච්ඡා පංච නීවරණ ධර්මයන් බැහැර කිරීම නිසා තමා තුළින් සප්ත බොජ්ජංග ධර්මයන් මෝදුවීම ධර්මතාවක්‌. නමුත් යම් ධර්මාවබෝධය ලැබූ උත්තමයෙක්‌ උතුම් අවබෝධයෙන් අනතුරුව තමාට ප්‍රමාදය පිණිස හේතුවූ පංච නීවරණ ධර්මයන් සහ තමාට අප්‍රමාදීභාවයට හේතුවූ සප්ත බොජ්ජංග ධර්මයන් දෙස ආපසු හැරී බලන විට ඔහු දකින්නේ අනිත්‍යය කියන අර්ථය පමණක්‌මයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළදී සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් වැඩීම ධර්මතාවක්‌. ඉන්ද්‍රිය ධර්මයන් පරිපූර්ණ වැඩුණුව පසු බලධර්මයන් වශයෙන් ඉහත ධර්මයන් වැඩීම ධර්මතාවයක්‌. බලධර්මයන් පරිපූර්ණ කරගත් අරිහත් උතුමන් ඉන්ද්‍රිය ධර්මයන්, බලධර්මයන් දෙස අතීතාවර්ජනයක යෙදීමේදී ඔහු දකින්නේ අනිත්‍යයි කියන අර්ථය පමණක්‌මයි.

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. ඒ ධර්මතාවත් අනිත්‍යයි. සත්ත්වයා තුළින් සකස්‌වෙන වචනවලට අදහස්‌ ප්‍රකාශ කිරීම්වලට අදාළ වචී සංස්‌කාර, ඒ කියන්නේ විචාර, විතක්‌ක, නිරතුරුවම වෙනස්‌ වන අනිත්‍ය වූ ධර්මතාවක්‌. සත්ත්වයා තුළින් සකස්‌ වෙන සිතීමට, මෙනෙහි කිරීමට අදාළ මනෝ කර්ම, ඒ කියන්නේ සංඥා ෙච්තනා නිරතුරුවම වෙනස්‌ වන ධර්මතාවක්‌. පිංවත් ඔබ දෑස්‌ පියාගෙන එම ධර්මතාවන්ගේ අනිත්‍යභාවය දකින්න. ඔබ තුළ සකස්‌ වුණ විතර්ක විචාරයන් නිසා ඒවාට අදාළව සිතන්න යැම නිසාම මොනතරම් කුසල් අකුසල් මනෝ සංස්‌කාර ඔබ තුළ සකස්‌ වෙන්න ඇතිද? පිංවත් ඔබ දිනය පුරාවට ඔබ තුළ සකස්‌ වූ කුසල් අකුසල් ෙච්තනාවන්ට සිත යොමුකර ඒවායේ අනිත්‍යභාවය නුවණින් දකින්න. 

ඇසත් බාහිර රූපයත්, විඤ්ඤාණයත් ඵස්‌සය නිසා චක්‌ඛු විඤ්ඤාණය සකස්‌ වීම ධර්මතාවක්‌. කනත්, ශබ්දයත්, විඤ්ඤාණයත් ඵස්‌සයෙන් සකස්‌වෙන සෝත විඤ්ඤාණයත් ධර්මතාවක්‌. නාසයත් ගඳ, සුවඳත් විඤ්ඤාණයත් ඵස්‌සයෙන් හටගන්නා ඝාණ විඤ්ඤාණය ධර්මතාවක්‌. දිවත්, රසයත්, විඤ්ඤාණයත් ඵස්‌සයෙන් හටගන්නා ජීව්හා විඤ්ඤාණය ධර්මතාවක්‌. ශරීරයත් පහසත් විඤ්ඤාණයත් ඵස්‌සයෙන් හටගන්නා මනෝවිඤ්ඤාණය ධර්මතාවක්‌. 

පිංවත් ඔබ අද උදේ පටන් ඔබ තුළ ඇතිවුණ ඉහත ධර්මතාවන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. ඇසෙන් කොච්චර රූප දැක්‌කද කනෙන් කොච්චර ශබ්ද ඇසුවද මනසින් කොච්චර සිතුවිලි සිතුවද මේ නිමේෂයේදී ඔබ තුළ ඉතිරිවී ඇත්තේ අනිත්‍යයි කියන ධර්මතාව විතරයි. 

මෙය සටහන් තබන භික්‍ෂුව මොහොතක්‌ දෑස්‌ පියාගෙන නුවණින් දකිනවා අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්‍ෂ ගණනක්‌ මේ ඇස්‌වලින් දැකල තිබෙනවා පටිච්චසමුප්පන්නව. අම්මල අප්‍රමාණ පිරිසකගේ පහස සෙනෙහස දර්ශනය මා ලබලා තිබෙනවා. ශක්‍ර, බ්‍රහ්ම, රජ, සිටු, දුගී, යාචක ජීවිත සංසාරයේ ලබල තියෙනවා. මේ සෑම විඳීමක්‌ම ඵස්‌ස පච්චයා වේදනා කියන ධර්මතාවක්‌ පමණක්‌මයි. ඒ ධර්මතාවයේ ස්‌වභාවය අනිත්‍යයි. ඔබගේ පෙර ජීවිතයේ මරණාසන්න මොහොතට සිත යොමුකොට, උපාදානය නිසා නැවත භවය සකස්‌ කරගත් හැටි, භවය සකස්‌වෙන මොහොතේම උපාදානය අනිත්‍යවී යන හැටි, ලැබුවාවූ උපතේ මේ මොහොත දක්‌වා සලායතනයන්ගේ සහ ඵස්‌සයේ අනිත්‍යභාවය නුවණින් දකින්න.

(චිත්තානුපස්‌සනාව -5) - ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2016/09/04/feature08.html

ආත්‍රයිටිස්‌ පුංචි ළමයින්ටත් හැදෙනවා. ඒත් සනීප කරන්න පුළුවන් - වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි

වසර 300 කට වඩා පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක්‌ වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය. 

ප්‍රශ්නය - පසුගිය සති කිහිපය තුළ ආත්‍රයිටිස්‌ රෝගය ගැන ප්‍රමාණවත් දැනුමක්‌ ඔබ පාඨකයන්ට ලබාදී තිබෙනවා. අද අප ඔබෙන් අහන්නේ කුඩා දරුවන්ට වැළඳෙන ආත්‍රයිටිස්‌ රෝගය ගැනයි.

වෛද්‍ය වික්‍රමාරච්චි - පුංචි ළමයින්ට වැළඳෙන ආත්‍රයිටිස්‌ රෝගය රක්‌තවාත ලක්‍ෂණ ඇති රුමටොයිඩ් ආත්‍රයිටිස්‌ රෝගය බව ඇතැම් වෛද්‍ය පර්යේෂකයන් කියනවා. තවත් සමහරු කියන්නේ එය රුමැටික නොවන සාමාන්‍ය ආත්‍රයිටිස්‌ තත්ත්වයක්‌ බවයි.

ප්‍රශ්නය - මේ රෝගය වැළඳෙන වයස්‌ සීමාව කුමක්‌ද? 

වෛද්‍ය වික්‍රමාරච්චි - වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට තමයි මෙය බහුල ලෙස වැළඳෙන්නේ. විශේෂයෙන් අවුරුදු 7-12 අතර ළමයින්ටත් මේ රෝගය හටගන්නවා. ඒ වාගේම වයස 15-16 අතර ළමයින් යම් ප්‍රමාණයකටත් මේ රෝගය වැළඳෙනවා. මේ රෝග තත්ත්වය ළමා වියට පමණක්‌ සීමා වන අවස්‌ථා තිබෙන අතර ළමා වියෙන් අනාගත ජීවිතයටත් යන අවස්‌ථාත් තිබෙනවා. එහෙත් වැඩිහිටියන්ට තිබෙන නිදන්ගත ආත්‍රයිටිස්‌ තත්ත්වයට වඩා මේ රෝග තත්ත්වය වෙනස්‌. මෙහි ව්‍යාධි ස්‌වරූපය, එනම් රෝගය මගින් වන හානිය රුමටොයිඩ් ආත්‍රයිටිස්‌ රෝගයට යම් තරමකට සමාන වුණත් සන්ධි කාටිලේජවලට ඒ තරමටම හානියක්‌ සිදු කරන්නේ නැහැ. බොහෝවිට ළමයින් 1000 න් එක්‌ අයකුට මේ රෝග වැළඳෙනවා.

ප්‍රශ්නය - මෙය හටගන්නේ කොහොමද?

වෛද්‍ය වික්‍රමාරච්චි - එයට බලපාන නිශ්චිත හේතුවක්‌ නැහැ. ඒත් මම නම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ වැරදි ආහාර නිසා තමයි මේ රෝගය හැදෙන්නෙ. නූතන ළමයින්ගේ දෛනික ආහාර වට්‌ටෝරුව නිරෝගී ජීවිතයකට ගැලපෙන්නෙ නැහැ. ඔවුන් උදේට කන්නෙ කට්‌ලට්‌, පේස්‌ටි්‍ර, බටර් ගාපු පාන් වැනි දෙයක්‌. දිවා ආහාරය තෙල් දමලා කරකරපු කුකුළු මස්‌ හෝ තෙම්පරාදු කළ එළවළුවලින් සමන්විතයි. රෑට කන්නෙ කොත්තු. එහෙමත් නැත්නම් පීසා. එක්‌කෝ වටේට පිටි තවරලා බැඳපු චිකන්. ශරීරය ශක්‌තිමත් කරන කිසිම පදාර්ථයක්‌ ඒ ආහාරවල නැහැ. තිබුණත් තෙල් දමා කරකිරීමෙන් ඒ ගුණය වාෂ්ප වී ගිහින්.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය වික්‍රමාරච්චි - අලසකම, කායික ක්‍රියාකාරකම් අඩු වීම සහ ආහාර අරුචිය තමයි මූලික ලක්‍ෂණය. මුල් අවස්‌ථාවේදී දරුවන් පිටතට පෙන්වන රෝග ලක්‍ෂණය වන්නේ කොර ගසමින් ගමන් කිරීමයි. ඊට පස්‌සෙ ඔවුන් නිතර නිතර රෝගී වීමට පටන් ගන්නවා. උණ වැනි රෝග ලක්‍ෂණ පෙන්වනවා. ඊළඟට අනෙක්‌ ආත්‍රයිටිස්‌ තත්ත්වයන්වලදි වගේම දණහිස, වළලුකර, මැණික්‌ කටුව සහ ඇඟිලිවල සන්ධි යනාදිය ඉදිමෙන්නට පටන් ගන්නවා. ඔය කියන තැන් වගේම කොඳුඇට පේළියේ, උරහිස, ඉඟටිය සහ හකු වැනි තැන්වල ඉදිමීම සිදු වුණත් ඒවා පෙනෙන්නේ නැහැ. මේවා සොයා ගැනීමට නම් අල්ට්‍රාසවුන්ඩ් හෝ ඵRෂ ස්‌කෑන් එකක්‌ කළ යුතුයි.

ප්‍රශ්නය - සන්ධිවල වේදනාවක්‌ හටගන්නවද?

වෛද්‍ය වික්‍රමාරච්චි - ඔව්. එය ස්‌ථිර රෝග ලක්‍ෂණයක්‌. උදේට නැගිටගන්න අමාරුයි. අතපය දිගහරින්න අමාරුයි. මේ වේදනාව දවස පුරාම ක්‍රමයෙන් වර්ධනය වෙනවා. ඊළඟට ක්‍රමයෙන් අස්‌ථි විකෘතිතා හටගැනීමට පුළුවන්. ඊළඟට සන්ධිවලට හානි වෙනවා. හැබැයි මේ කියපු හැම රෝග ලක්‍ෂණයක්‌ම හැමෝම තුළ නොතිබෙනවා විය හැකියි. එහෙත් එකක්‌ හෝ කිහිපයක්‌ හටගැනීම අනිවාර්යයි.

ප්‍රශ්නය - රෝගියාගේ දැස සම්බන්ධයෙනුත් ප්‍රශ්නකාරී තත්ත්වයන් හටගන්නා බව අප අසා තිබෙනවා.

වෛද්‍ය වික්‍රමාරච්චි - අක්‍ෂි ගෝලයේ ඉදිරිපස කොටසේ ආසාදන තත්ත්වයන් හටගන්නවා. වැඩි වශයෙන්ම ගැහැනු ළමයින්ට තමයි මේ රෝග ලක්‍ෂණය තිබෙන්නේ. පළපුරුදු අක්‍ෂි වෛද්‍යවරයකුට මෙවැනි ආසාදිත ඇසක්‌ පෙන්වපු ගමන්ම ඔහු දන්නවා මේ හැදීගෙන එන්නේ ආත්‍රයිටිස්‌ කියලා. මේක නම් ඉතා ප්‍රවේසමෙන් හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක්‌. එහෙම නොකළොත් ඇසට හානි වෙනවා.

ඊළඟ තත්ත්වය තමයි ළමයින්ගේ ශාරීරික වර්ධනය අඩුවීම. උදාහරණයක්‌ වශයෙන් ඉදිමුණ සන්ධි අසල තිබෙන අස්‌ථි කොටස්‌වලට රුධිරය සැපයෙන්නේ වැඩියෙන් ඉදිමීම නිසා රුධිර ගමනාගමනය පහසුයි. ඒ නිසා ඉදිමුන තැන් අසල තිබෙන සන්ධි වර්ධනය වේගවත් වෙනවා. එයට සාපේක්‍ෂව ගත්තම අනෙක්‌ සන්ධි ප්‍රදේශ සිහින්ව වැඩෙනවා.

ළමයින්ට වැළඳෙන ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රවේසමෙන් ප්‍රතිකාර නොකළොත් නරක ප්‍රතිඵල හටගැනීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන් ඇස ආසාදනය වීමට ප්‍රතිකාර නොකළොත් ග්ලූකොමා සහ ඇසේ සුද හටගෙන පූර්ණ අන්ධභාවය පවා ඇති වීමට ඉඩ තිබෙනවා.

ප්‍රශ්නය - මෙය සුව කළ හැකිද?

වෛද්‍ය වික්‍රමාරච්චි - අපොයි ඔව්· මෙය බෝවන රෝගයක්‌ නොවන අතර ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය බිඳවැටීම නිසා ශරීරය තුළම හටගන්නා ධඑදසපපසමබැ තත්ත්වයක්‌ ලෙස හැඳින්විය හැකි මහාහරි තෛලය සහ කසාය වර්ග කිහිපයකිනුත් සුදුසු ආහාර පාන වලිනුත් මෙය සුව කළ හැකියි. මම දන්නා තරමට මෙයට හොඳම ප්‍රතිකාර තිබෙන්නේ සිංහල වෙදකම තුළයි.

මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා 0759061771 අංකයට කතා කරන්න.

සාකච්ඡා කළේ, අශේන් රඹකොස්‌වැව
http://www.divaina.com/2016/09/04/feature02.html

මුත්‍රා ගල් නැති කරන "නීරමුල්ලිය" ප්‍රතිකාරය

වකුගඩු ගල කුඩා ස්‌ඵටික විශේෂයක්‌. මුත්‍රාවල තිබෙන බනිජ ද්‍රව්‍ය වකුගඩු හරහා ගමන් කරද්දී වකුගඩුවල තැන්පත් වී කුඩා ගල් වශයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. මෙවැනි ගල් කුඩා අවස්‌ථාවේදී අපට නොදැනී කිසි අමාරුවක්‌ නැතිව වකුගඩුවලින් නික්‌මී මුත්‍රා මාර්ගයෙන් අපේ සිරුරින් බැහැර වෙනවා. ඒත් සමහර වකුගඩු ගල් එසේ නොවී මි.මී. 3 ක පමණ ප්‍රමාණය තෙක්‌ විශාලව මුත්‍රවාහිනී නාලවලට අවහිර කරනවා. වේදනාව හට ගැනීම පටන් ගන්නේ නම් මේ අවස්‌ථාවේදීය. මේ වේදනාව විටින් විට හටගන්නා අතර විනාඩි 20 සිට 60 දක්‌වා කාලයක්‌ තුළ පවතිනවා. 


වමනය, උණ, මුත්‍රා සමඟ රුධිරය පිටවීම, මුත්‍රාවල සැරව තිබීම, මුත්‍රා කරන විට අධික වේදනාවක්‌ හට ගැනීම යනාදිය මේ රෝගයේ සෙසු රෝග ලක්‍ෂණ ලෙස පෙන්වා දෙන්න පුළුවන්. දිගින් දිගටම මුත්‍රාගල්වලින් වකුගඩු අවහිර වනවිට වකුගඩු ක්‍රියාකාරීත්වය අඩුවී රුධිරය හරි හැටි නොපෙරී රුධිර සංසරණ පද්ධතියට එකතුවීමෙන් හටගත හැකි වෙනත් ඵලවිපාකවලට මුහුණදීමට රෝගියාට සිදුවෙනවා.

ප්‍රශ්නය - පාරම්පරික සිංහල වෙදකමට අනුව මුත්‍රාගල් සෑදෙන්නේ කොහොමද?

වෛද්‍ය මුහන්දිරම් - ක්‍රම කිහිපයකට මුත්‍රාගල් සෑදෙනවා. මුලින්ම කැල්සියම් බහුල ආහාර දිගින් දිගටම ගත්තොත් එම කැල්සියම්වලින් ශරීරයට අවශෝෂණය නොවන කොටස ශරීරයේ සෙසු අභ්‍යන්තර ඉන්ද්‍රීන් තුළ තැන්පත් වෙනවා. මෙසේ කැල්සියම් තැන්පත් වන ප්‍රධාන ඉන්ද්‍රීන් තුනක්‌ තමයි වකුගඩු, මුත්‍රා බොක්‌ක සහ පිත්තාශය. තවත් වැදගත් යමක්‌ කිව යුතුයි. ශරීරයට ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි වුණොත්, මුත්‍රා බොක්‌කේ ගල් සෑදෙනවා. විශේෂයෙන්ම සත්ත්ව ප්‍රෝටීන බහුලව ශරීරගත වීම ඉහත සඳහන් ඉන්ද්‍රියයන් තුළ ගල් හටගැනීමට හේතු වෙනවා. ඒ නිසා තමයි මේ රටේ පැරැණි සිංහල වෛද්‍යවරු නිර්මාංශ ආහාර පමණක්‌ ගන්නා ලෙස උපදෙස්‌ දෙන්නේ.

අපේ පැරැන්නන් නිර්මාංශ ආහාර වේලක්‌ ගත්තා. කුරුට්‌ට සහිත බත්, පළා මැල්ලුමක්‌, ෆයිබර් හෙවත් තන්තු බහුල කොහිල වැනි එළවළුවක්‌, ශරීරයේ රුධිර සීනි තත්ත්වය එක මට්‌ටමක පවත්වාගෙන යැමට අවශ්‍ය පරිසරය ශරීරය තුළ ඇති කරන කරවිල, පිෂ්ඨය වැඩිපුර තිබෙන කොස්‌, බතල යනාදිය ඔවුන් අනුභව කළහ. ඔවුන් තම ආහාරය සඳහා යෙදුවේ ගම්මිරිස්‌ සහ කොච්චි මිරිස්‌ විතරයි. මෙයට අවුරුදු 150 කට පෙර ජීවත් වූ ගැමි ජනතාව වියළි මිරිස්‌ ගැන අහලවත් තිබුණේ නැහැ. වියළි මිරිස්‌ යටත්විජිතවාදීන් ඉන්දියාවෙන් ගෙනැල්ලා, කොළඹට පුරුදු කරලා එතැනින් රටපුරා ව්‍යාප්ත කළ ආහාරයක්‌. කොහොම වුණත් අද වන විට එළවළු සහිත නිර්මාංශ ආහාරයන්ට පමණක්‌ අපට යෑපෙන්න බැරි තත්ත්වයක්‌ හටගෙන තිබෙනවා. ඉස්‌සර තිබුණ ගැමි එළවළු දැන් නැහැ. අද බහුලව තිබෙන්නේ ගෝවා, කැරට්‌, රාබු, බීට්‌රූට්‌, නෝකෝල්, බෝංචි වැනි ඉංග්‍රීසි එළවළු විතරයි. සුදු ජාතිකයන් මෙයට අවුරුදු සිය ගණනකට පෙර නුවරඑළියට මේ එළවළු හඳුන්වා දුන්නේ ඔවුන්ට කන්න මිස අපට කන්නට නොවෙයි. ඒත් අද වන විට ඔවුන්ගේ එළවළු අපේ එළවළු බවට පත්වී තිබෙන අතර ඒ එළවළුත් කෘමි නාශක සහ රසායනික පොහොර යොදා සාදා විෂ එළවළු බවට පත්ව තිබෙනවා. කාබනික පොහොර යොදා වගා කළ (organic) එළවළු සුපර්මාර්කට්‌වල තිබුණත් සාමාන්‍ය ජනයාට ගන්න බැරි තරමට ඒවායේ මිල අධිකයි. මේ නිසා අපට මස්‌ - මාළු අනුභව කරන්නට සිදුවී තිබෙනවා. ඒවා වැඩියෙන් කන්න සිදුවී තිබෙනවා. 

ඊළඟට මුත්‍රාගල්, වකුගඩු ගල් හැදෙන්න තවත් ප්‍රධාන හේතුවක්‌ තමයි ජලය. නිරෝගී පුද්ගලයෙක්‌ අඩුම ගණනේ පැයකට වතුර වීදුරුවක්‌ වත් පානය කළ යුතුයි. හැබැයි ඒවා කිවුල රහිත, ලවණ සාන්ද්‍රණය රහිත පිරිසිදු ජලය විය යුතුයි. ඔබ පානය කරන ජලයේ ලවණ සාන්ද්‍රණය, එහෙමත් නැත්නම් කිවුල් ගතිය වැඩිනම් එම ලවණ එකතුවී මුත්‍රාගල්, වකුගඩු ගල් සෑදෙනවා.

ඒ එක්‌කම අප මුත්‍රා පිට කිරීමත් නිසි පරිදි කළ යුතුයි. සමහරු කම්මැළිකමට මුත්‍රා පිට කිරීම ප්‍රමාද කරනවා. ඔවුන්ට සෑම දෙයක්‌ම කළ හැකියි. ඒත් මුත්‍රා කිරීමට වැසිකිළියට යන්න කම්මැළියි. අප මුත්‍රා පිට නොකර ඉන්නකොට මුත්‍රාවල තිබෙන කුඩා අංශු මුත්‍රා බොක්‌ක පතුලේ තැන්පත් වෙනවා. කල්යන විට මේ අංශු කුඩා ස්‌ඵටික බවට පත්වී ක්‍රමයෙන් ඝන බවට පත්වෙනවා. ඒවා පුංචි කටු වැනි මතුපිටක්‌ සහිත ගල්. සමහර විට මේ ගල් මුත්‍රා මාර්ගයේ හිර වෙනවා. එවිට මුත්‍රා මාර්ගයේ තුනී පටක ඉරී හානියට පත්වී මුත්‍රා සමඟ රුධිරය පිට වෙනවා. මුත්‍රාගල් වකුගඩුවල රැඳෙනව. මුත්‍රා පෙරීමට අවහිරතා ඇතිවී නොපෙරුන මුත්‍රා රුධිරයට එකතුවී විශාල අවුලක්‌ හට ගන්නවා. මීට අමතරව සමහරුන්ට මුත්‍රාගල් හටගැනීම ජානමය උරුමයක්‌ව එනවා. ඒ කොයි ආකාරයෙන් හෝ මුත්‍රා ගල් හටගෙන ඒවා දියකර හැරියත්, කුඩුකර ඉවත් කළත් වරක්‌ හැදුණොත් නැවත මුත්‍රාගල් හට ගැනීමේ ප්‍රවනතාවක්‌ තිබෙනවා. ඒ නිසා වරක්‌ මුත්‍රා ගල් හැදුණු අය පරෙස්‌සම් විය යුතුමයි. 

ප්‍රශ්නය - ජලයට අමතරව සුදුසු පාන වර්ග මොනවාද?

වෛද්‍ය මුහන්දිරම් - පලතුරු යුෂ හොඳයි. ඒ කියන්නේ කඩවල තිබෙන පලතුරු බීම බෝතල් නොවෙයි. සීනි මිශ්‍ර නොකර සාදන ලා නැවුම් පළතුරු යුෂ තමයි සිරුරට සුදුසු. ඒ එක්‌කම නීරමුල්ලිය තැම්බූ වතුරත් යෝග්‍යයයි. 

ප්‍රශ්නය - මොනවද නීරමුල්ලිය කියන්නෙ? එය පානය කරන්නට සුදුසු ලෙස සාදා ගන්නේ කොහොමද?

වෛද්‍ය මුහන්දිරම් - Higrophila auriculata ඒ යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන නීරමුල්ලිය පැළය වගුරු බිම්වල සෑදෙන අතර ආසියාවට සහ අප්‍රිකාවට ආවේනික වූ ශාකයක්‌. මෙහි පස්‌ පංගුවම ආයුර්වේද ඖෂධයක්‌ ලෙසත්, පාරම්පරික සිංහල වෙදකමේ බෙහෙතක්‌ ලෙසත් යොදා ගන්නවා. මෙහි ඇටවල පොටෑසියම් ලවණ වර්ග බහුල ලෙස තිබෙනවා. මෙහි පත්‍ර සහ මුල්වල මුත්‍රා වර්ධක ඖෂධ අන්තර්ගත වෙනවා. මුත්‍ර වාහිනී පද්ධතියේ හටගන්නා රෝග එනම් මුත්‍රා අඩස්‌සිය, මුත්‍රා මාර්ගයේ ඇතිවන ගෙඩි යනාදිය සුවපත් කරන්නටත්, නීරමුල්ලිය ශාකයට පුළුවනි. එසේම ලේ මඳවීම නිසා (Animia) හටගන්නා විඩාව, කම්මැළිකම, අත්පා වේදනාව සුව කරන්නටත්, සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රත්‍යක්‌ෂ ප්‍රතිකාරයක්‌ ලෙසත්, කැස්‌ස, කහඋණ (Jaundice) යන රෝගවලටත්, ගොනෝරියා Gonorrhea නමැති සමාජ රෝගයටත්, ආත්‍රයිටීස්‌ තත්ත්වයන්ටත් ප්‍රතිකාර කිරීමේදීත් නීරමුල්ලිය පස්‌ පංගුව භාවිතා කරනවා. නීරමුල්ලිය ඕනම බෙහෙත් කඩයක තිබෙනවා. එයින් කලං 5 ක්‌ පමණ ගෙන හොඳින් සෝදා වතුර මිලිලීටර් 400 ක පමණ දමා හරි අඩක්‌ වන තුරු උණු කළ යුතුයි. ඉන්පසුව එය මඳ රස්‌නය ඇතිව හෝ සම්පූර්ණයෙන්ම නිවා පානය කළ යුතුයි. දිනකට වරක්‌ විශේෂයෙන්ම උදේ වරුවේ හිස්‌බඩ දින හතක්‌ පානය කළ විට එහි අගය රෝගියාට දැනෙන්නට පටන් ගන්නවා. ඒ අතර රෝගියා දිනකට ජලය වීදුරු 24 ක්‌ විටින් විට පානය කළ යුතුයි. නීරමුල්ලිය ප්‍රතිකාරය මාසයක්‌ එක දිගට කළ විට මුත්‍රා ගල් රෝගියාට විශාල සහනයක්‌ ලැබෙනවා.

ලබන සතියේ මුත්‍රා ගල් නැති කරන පොල් පළා මැල්ලුම

නොමිලේ විස්‌තර සඳහා 0753224360/ 071 8568209/ 0815736155 අමතන්න.
වෛද්‍ය සමන් රන්ජන් මුහන්දිරම්

සංඛනාද වෙදගෙවත්ත
http://www.divaina.com/2016/09/04/feature01.html

මහා කරුණාවේ සිරස බිඳ දැමු බාමියාන් වෙස්‌ගත් කොටි අවතාර...

මහා කාරුණිකත්වයේ එකම ප්‍රතිමූර්තිය අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ සතු වූ කාරුණිකගුණය මෙලොව පහළ වූ කිසිදු ශාස්‌තෘවරයකුට හෝ විද්වතෙකුට පහල වූ බවට සාක්‍ෂියක්‌ නොමැත. එහෙත් බුදුරජාණන් වහන්සේගේ ඒ කාරුණික ගුණයට මේ දිනවල උතුරු පළාතෙන් අකාරුණික බවක්‌ පළවෙමින් පවතී.

උතුරු පළාත් සභාව මුලින්ම සිය තර්ජනාංගුලිය ඇරඹුවේ කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්‌ථානයටය. එහි බුදුපිළිමයත්, විහාර මන්දිරයත් ඉවත් කොට එම විහාරස්‌ථානයේ වැඩ වාසය කරන ශ්‍රී තිස්‌සපුර ගුණරතන හිමියන්ට ද පිටමං වන ලෙස නියෝග කළේ උතුරු පළාත් සභාවේ දේශපාලනඥයන් ය. ඒ ප්‍රශ්නය පිළිබඳව අපි 'දිවයින' පුවත්පතෙන් ඉතා දීර්ඝ ලෙස කරුණු පෙන්වා දෙන ලද නමුත් මේ දක්‌වා ඊට ලැබී ඇති සහනයක්‌ නොමැත.

කෝකිලායි ප්‍රශ්නය හමාර වන්නටත් පෙර උතුරු පළාත් සභාව ඊළඟට ආරම්භ කළේ කිළිනොච්චිය - ඉරණමඩු හමුදා කඳවුර ආසන්නයේ ඇති බුදු මැඳුර ඉදිවන අක්‌කර හතරහමාරක භූමිය පෞද්ගලික වැසියන්ට අයත් නිසා එම බුදු පිළිමය ඉවත් කළ යුතුය යන්න උතුරු පළාත් සභාවේ දේශපාලනඥයන්ගේ මතය විය.

මේ බව කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයටත්, ඉරණමඩු බුදු පිළිමය පිහිටි පළාතටත් පැමිණෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පාරම් බාන්නට පටන් ගෙන තිබේ. ඉතා ඉක්‌මණින් ම තම පළාතේ බුදු පිළිමත්, බෞද්ධ විහාරස්‌ථානත් ඉවත් විය යුතු බවට මේ පාරම්බාන්නන් තර්ජනය කරති.

පෞද්ගලික ඉඩම්වල බුදු පිළිම ඉදි කරන බවට මේ දෙමළ දේශපාලනඥයෝ බෙරිහන් දුන්නද එම ඉඩම් සඳහා බලපත්‍ර නොමැත. සිටින්නේ නාමික අයිතිකරුවෝ පමණකි. මේ ඉඩම තමයි සුප්පයියාගේ ඉඩම. අර ඉඩම තමයි කන්දයියාගේ ඉඩම. කියමින් අයිතිවාසිකම් කියන නමුත් රජයේ කිසිදු ලේඛනයක එවැනි නම් නොමැත.

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පවසන ඊළඟ කතාව වන්නේ බෞද්ධයන් නොමැති පළාතේ බෞද්ධ විහාරස්‌ථාන ඉදිකරන්නේ කුමකට ද යන ප්‍රශ්නයයි. ඔවුන් බෞද්ධ ඉතිහාසය ගැන කරුණු නොදැන එසේ ප්‍රකාශ කළත් මේ වෙලාව ඔවුන්ට බෞද්ධ ඉතිහාසය ඉගැන්වීමට අවස්‌ථාව නොවේ.

අපිට මෙහෙම කියන්නට සිදුවන්නේ හදිසියේ ම යාපනය - මහනුවර ඒ - 9 මාර්ගයේ පිහිටි බුදු පිළිම දෙකක්‌ පසුගිය සඳුදා රාත්‍රියේදී කඩා බිඳ දැමීම නිසාය. බෞද්ධ ඉතිහාසය ගැන හෝ බුදුරජාණන් වහන්සේගේ කාරුණික ගුණය ගැන දන්නා පිරිසක්‌ නම් මේ අමන ක්‍රියාව කෙසේවත් නොකරනු ඇත.

මේ බුදුපිළිම දෙක පිහිටා තිබුණේ වවුනියාව - යාපනය මහා මාර්ගයේ කනගරායන්කුලම ප්‍රදේශයට ආසන්නයේ ය. ආරක්‍ෂක අංශ මේ පළාත්වල සිය කඳවුරු ඉදිකරගෙන සිටි අවධියේදී ඔවුන්ට වන්දනාමාන කිරීම පිණිස මේ බුදු පිළිම දෙක ස්‌ථාපිත කොට තිබිණි. ආරක්‍ෂක අංශ සාමාජිකයෝ එම පළාත් අතහැර ගිය අවස්‌ථාවේදී බුදු පිළිම කඩා බිඳ දමා යැම මහා පාපකර්මයක්‌ නිසා එම පිළිම තිබූ තැන්වල තබා ආරක්‍ෂක අංශ නිලධාරීහු සිය කඳවුරු මාරු කළහ.

යාපනය - මහනුවර ඒ - 9 මාර්ගයේ හුදෙකලා වූ මේ බුදු පිළිම දෙකට මුලින් ලැබුණු පුදසත්කාර ඒ අයුරින් ම නොලැබුණත් වරින්වර හෝ පුද සත්කාර ලැබුණි. ඒ අවට සිටියේ දෙමළ වැසියන් වුවද ඔවුන් මේ බුදු පිළිම වලට මල් පහන් පූජා කළහ. මේ මාර්ගයේ ගිය සිංහල බෞද්ධයෝ ද බොහෝ විට එම බුදුපිළිම වහන්සේලාට වන්දනාමාන කළහ. පුද සත්කාරාදිය පෑහ.

එහෙත් උතුරු පළාත තුළ බුදු පිළිම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක්‌ නිර්මාණය වීමත් සමඟම හදිසියේ ම කනගරායන් කුලමේ පිහිටි බුදු පිළිම දෙක කවර හෝ අමන රැළක්‌ කැබලි බවට පත් කළහ. එක්‌ පිළිමයක සිරස කඩා බුදු මැඳුරේම වෙනත් තැනක තබා තිබුණි. ඇතැම් විට උතුරේ සෙසු බුදු පිළිමවල ඉරණමද මෙය යෑයි කීමට කළ පූර්ව දිනුම් දීමක්‌ විය හැකිය.

විනාශ කළ බුදු පිළිම දෙකෙන් එකක්‌ අඩි තුනක්‌ උස වේ. අනෙක්‌ පිළිමය උස අඩි එකහමාරකි. සඳුදා (29) දා රාත්‍රියේ මේ බුදු පිළිම දෙක විනාශ කොට දැමුවද කිසිවකු හෝ ඒ පිළිබඳව පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමට පෙරමුණ ගත්තේ නැත. කනගරායන්කුලම පොලිසියේම නිලධාරීන් මේ පුවත වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වෙත දන්වා තිබිණි. මේ නිසාම දැන් පොලිස්‌ පරීක්‍ෂණයක්‌ සිදුවෙයි. එහෙත් විනාශ කොට දැමූ බුදු පිළිම දෙක කනගරායන්කුලමේ යළි ස්‌ථාපිත කිරීමට උතුරේ දෙමළ දේශපාලනඥයන්ගෙන් අවසරයක්‌ ලැබේද යන්න ප්‍රශ්නයකි.

මෑත කාලයේ සිට උතුරේ සිදුවන බොහෝ ගැටලු සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල තත්ත්වය ඉතාම කනගාටුදායක ය. යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට ප්‍රහාර එල්ල වූ අවස්‌ථාවේදී සිදුකළ පරීක්‍ෂණවලින් කිසිදු සාධාරණයක්‌ ඉටු නොවුණි. කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ ගුණරතන හිමියන්ට තර්ජනය කළ දෙමළ දේශපාලනඥයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවිණි. කිළිනොච්චියේ බුදු පිළිමය කැබලි බවට පත් කළ ද සිදුවන්නේ මේ ඉරණමම පමණක්‌ බව දැන් ඉතාම පැහැදිලිය.

උතුරේ බෞද්ධ සිද්ධස්‌ථානවලට මෙවැනි කෙණෙහිලිකම් සිදුවෙද්දී රටේ මහානායක හිමිවරුන් නිහඬය. බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්‌වරයා පමණක්‌ නොව මුළු බුද්ධ ශාසන අමාත්‍යාංශයම නින්දේය. නමුත් මේ සියලු දෙනාම මතකයට ගත යුතු එක්‌ කාරණයක්‌ වන්නේ අපේ රටේ ඉතිහාසය තුළ ආගමික යුද්ධයන් තිබූ බව පමණකි.

රටෙන් කොටසක්‌ කඩා ගැනීමට පැවැති යුද්ධය වසර තිහක්‌ ම පැවතුණේය. එය අවසන් වුවත් මිනිසුන්ගේ සිත් තුළ වූ මතවාදී යුද්ධය මෙතෙක්‌ අවසන් වී නොමැත. යුද්ධය හමාර විය යන්නෙන් සිදුව ඇත්තේ වෙඩි හඬවල් හා බෝම්බ පිපිරවීම් නතර වී තිබීම පමණකි. බොහෝ මිනිසුන් තුළ පැවැති ඊනියා මතවාද යුද්ධයේ වෙඩි හඬ මෙන් පහව ගොස්‌ නොමැත. උතුරේ බෞද්ධ සිද්ධස්‌ථාන ඉවත් කරන ලෙසත්, බුදු පිළිම ඉවත් කරන ලෙසත් බොල් හඬවල් නැගෙන්නේ මේ ඊනියා මතවාදීන්ගේ ක්‍රියාකාරකම් වලිනි. බුදුපිළිම කඩා බිඳ දමන්නේ ද ඊට උඩගෙඩි දෙන අමනයෝ ය.

බුදු පිළිම කඩා බිඳ දැමීම තුළින් උතුරු පළාතෙන් බුදු දහම සදහටම ඉවත් කිරීමට හැකි යෑයි යම් පාර්ශ්වයක්‌ සිතන්නේ නම් එය ඉතා අනුවණ ක්‍රියාවකි. බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ පිරිසට අත් වූ ඉරණම මෙනෙහි කර ගැනීමට හැකි නම් කිසිවෙකුත් බුදු පිළිමවලට අත නොතබනු ඇත.

උතුරේ බුදු පිළිම දෙකක්‌ විනාශ කොට දැමීම ඉතා සුළු සිද්ධියක්‌ ලෙස හුවා දැක්‌වීමට මේ රටේ විශාල පිරිසක්‌ පෙළ ගැසෙන බව නියතය. බුදුරජාණන් වහන්සේ පිළිබඳව විවිධ මතවාද පළ කරන මෙවන් රටක බුදුපිළිම සම්බන්ධයෙන් ගෞරවයක්‌ පවතින්නේ යෑයි කෙසේ සිතිය හැකිද? අපේ බෞද්ධයන්ට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගෞරවයක්‌ නොමැති තැන අන්‍ය ආගමිකයන්ගෙන් බුදු පිළිම කෙරෙහි භක්‌තියක්‌ ඇති වේ යෑයි සිතන්නට අපි මෝඩයෝ නොවිය යුතුය.

කෙසේ වෙතත් මෙවැනි සිද්ධීන් නිසා හට ගන්නා වෛරයේ කෙළවර කොතැනද යන්න ඉතාම බියකරුය. උතුරු පළාතේ බුදු පිළිම ක්‍රමයෙන් විනාශ වෙද්දී රටේ නීතිය ඊට ක්‍රියාත්මක නොවන්නේ නම් මහජනතාව නීතිය අතට ගැනීම වළක්‌වාලිය නොහැක. මහජනතාව ක්‍රියාත්මක කරනු නීතිය පොතක ඇති නීතියක්‌ නොවේ. ඊට සදාචාරයක්‌ ද නොමැත මේ නිසා රට කරවන පිරිස මෙවැනි ප්‍රශ්න ගැන මීට වඩා සිතා බැලිය යුතු වෙයි.

කනගරායන්කුලම් පොලිස්‌ වසමේ ප්‍රජා පොලිස්‌ උපදේශක කමිටු සාමාජිකයින්ගේ ඉල්ලීම පරිදි වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ මගපෙන්වීමෙන් සිංහල බළමුද්‍රව සංවිධානයේ මහලේකම් අරඹවෙල රතනසාර හිමියන් හා වව්නියාව ශාසනාරක්‍ෂක බලමණ්‌ඩලයේ සමායෝජක උළුක්‌කුලම සිරිසුමනතිස්‌ස හිමියන් ඇතුළු බෞද්ධ සැදැහැවතුන් හා කනගරායන්කුලම් කුවිසුට්‌ටිකුලම් අම්මාන් කෝවිලේ කුරුක්‌කල්තුමන් ඇතුළු ගම්වාසීන් රැසකගේ සහභාගීත්වයෙන් නව බුදු පිළිමවහන්සේ නමක්‌ පසුගිය 31වැනිදා වැඩම කර තැන්පත් කරවන ලදී.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2016/09/04/feature30.html

සබැඳි ලිපි -
[

'උතුරේ බුදු පිළිම කඩා දැමීම ගැන වහා පරීක්ෂණයක් ඕනෑ' - අස්ගිරි මහා නාහිමිhttp://denethharinna.blogspot.com/2016/09/blog-post_69.htmlඉවැන්ජලික ඊළාම් කල්ලියක්, කිලිනොච්චියේ බුද්ධ ප්‍රතිමාවක් විනාශ කරයි!http://denethharinna.blogspot.com/2016/09/blog-post.html
]

අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට මන්ත්‍රීවරුන්ට කොළේ වසා ශ්‍රී ලංකාව ගොදුරු කළ හැටි

පසුගිය දිනවල බරපතළ කතාබහට ලක්‌වූ අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත සම්මත කිරීමේ ක්‍රියාවලිය තුළ තවත් ඉතා සූක්‍ෂම ක්‍රියාවලියක්‌ සිදුවිය. ඒ බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රාඥප්තිය එම පනතට සම්බන්ධ කිරීම මගින් ඊට ව්‍යාජ ලෙස වංලගු භාවය ලබාදීමයි. එහිදී එක්‌සත් ජාතින්ගේ සංවිධානයේ පටිපාටි උල්ලංඝණය කිරීමක්‌ද සිදුව ඇති බව පෙනේ. පනතේ 27 වැනි වගන්තිය මගින් මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය පනතට සම්බන්ධකොට ඇත්තේ අතුරුදහන්වූවන් නිර්වචනය කිරීමේ මුවාවෙනි. පනත මගින් ඉදිරිපත් කෙරෙන නිර්වචන තුනෙන් එකක්‌ වන්නේ එම ප්‍රඥප්තිය මගින් දක්‌වා ඇති නිර්වචනයයෑයි පනතේ සඳහන් වේ. පනතේ එසේ සඳහන් වූවත් ප්‍රාඥප්තිය තුළ නිර්වචනයක්‌ ලබාදී නැත. ඒ අනුව සිදුවන්නේ පනත ක්‍රියාත්මක කිරීමේදී ප්‍රඥප්තිය මගින් ලබාදී ඇති මූලික මාර්ගෝපදේශ පිළිපැදීමය. 

මෙම ක්‍රියාව ඉතා කූඨ ලෙස සිදුකර ඇතිඅතර එම ප්‍රඥප්තිය විධිමත්ව වලංගු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතිය ලබාගත්තා නම් ප්‍රඥප්තිය පිළිබඳව පනතේ පුර්විකාවේ සඳහන් කළ යුතුව තිබුණි. නමුත් අණ්‌ඩුවට අවංකව සහ විවෘතව එසේ කිරීමට හැකියාවක්‌ නැත්තේ එම ප්‍රඥප්තිය වලංගු කිරීම මගින් අප රටේ රණවිරුවන් බරපතල පාවාදීමකට ලක්‌වන බැවිනි. මෙම ප්‍රඥප්තිය 1996දී එක්‌සත් ජාතින්ගේ මහා මණඩලයෙන් අනුමත වූ දා සිට ඊට අනුමැතිය පළකොට පසුව එය වලංගු කොට ඇත්තේ රටවල් 52ක්‌ පමණි. ඉන්දියාව සහ ඇමෙරිකාව එම ප්‍රඥප්තිය මේ වන තුරුත් වලංගු කොට නැත. එම රටවල් එක්‌සත් ජාතීන්ගේ විවිධ ප්‍රඥප්ති යටතේ තම රටවල හමුදා සාමාජිකයන්ගේ ආරක්‍ෂාව හෝ ජාතික ආරක්‍ෂාවට අදාල රාජ්‍ය රහස්‌ අනතුරට ලක්‌වීමට ඉඩ දෙන්නේ නැත. ඔවුන් මතුපිටින් ඉතා සාධාරණ බව පෙනෙන බොහෝ ජාත්‍යන්තර ප්‍රඥප්ති යොදාගන්නේ තෝරාගත් රටවල් ප්‍රමාණයක අභ්‍යන්තර කටයුතුවලට අගිලි ගැසීම සඳහා මඟ පාදන දේශපාලන උපාංග වශයෙනි. 

අප රටේ ව්‍යවස්‌ථාව අනුව ජනාධිපතිවරයා හෝ වෙනත් බලය පැවරූ ඇමතිවරයකු හෝ නිලධාරියකු විසින් යම් ජාත්‍යන්තර ප්‍රඥප්තියක්‌ අත්සන් කිරීම හෝ වලංගු කිරීම සිදුකළ පමණින් ඊට අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ අධිකරණය බැදී නැත. සරත් එන් ද සිල්වා අගවිනිසුරුතුමා විසින් ලබාදී ඇති නිතිපතිට එරෙහි සිංහරාස නඩු තීන්දුව අනුව අප රටේ රාජ්‍ය නායකයා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය අත්සන් කළ පමණින් එය රටේ නීතියට අනුව බලාත්මක වන්නේ නැත. ඒ සඳහා ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිය යුතු අතර එය රටේ නීති පද්ධතියට ඇතුල් කළ යුතුය. එම ප්‍රඥප්තිය රටේ නීතියට සම්බන්ධකොට නොමැති නිසා ඒ යටතේ ජිනීවා නුවර පිහිටුවා ඇති මානව හිමිකම් කමිටුව විසින් ලබාදෙන ලද තීන්දු අනුව කටයුතු කිරීමට අප රටේ අධිකරණයට බැඳීමක්‌ නැත. වර්තමාන යහපාලන ආණ්‌ඩුව විසින් ජාත්‍යන්තර බලපෑම මත අතුරුදහන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය හොර පාරෙන් ගොස්‌ රටේ නීතියට ඇතුල්කරන්නේ ඉහත සඳහන් කළ වරද නිවැරදි කිරීම සඳහා බව ඉතා හොඳින් වටහාගත හැක. 

කෙසේ වෙතත් ඉහත සඳහන්කළ ආකාරයට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය මෙන් නොව අතුරුදහන්වූවන්ගේ ප්‍රඥප්තිය මහජනයාගේ ඇස්‌ ඉදිරියේ සාධාරණිකරණය කිරීම යනු දේශපාලන වශයෙන් පහසු කාර්යයක්‌ නොවේ. එම ප්‍රඥප්තිය මතුපිටින් අතුරුදහන්වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන බව පෙන්වුවත් එහි මූලික අරමුණ අතුරුදහන්වීම් වලට වගකිවයුතු යෑයි චෝදනා එල්ලවන ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට දඩුවම් කිරීම බව මහජනයාට තේරුම්ගත හැක. 2015දී එක්‌සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට විරුද්ධව සම්මතකළ ඇමෙරිකානු යෝජනාවලියේ 4 වැනි වගන්තිය මගින් අවධාරණය කෙරෙන්නේ එම ප්‍රඥප්තියේ සඳහන් ආකාරයට කටයුතු කළ යුතු බවය. එම ප්‍රඥප්තිය පිළිබඳව පනතේ සඳහන්වී තිබියදී එහි පිටපත මන්ත්‍රීවරුන්ට ලබාදීමට ආණ්‌ඩුව ක්‍රියා නොකරන්නේ එම තත්ත්වය නිසාය. එම ප්‍රඥප්තියේ සිංහල පරිවර්ථනයක්‌ විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය හෝ පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සතුව නොමැති බව එම කාර්යාලවල වගකිව යුතු නිලධාරීන් විසිනි ප්‍රකාශ කරන්නට යෙදුනි. ඒ බව දැනගත හැකි වූයේ ප්‍රඥප්තියේ සිංහල පිටපත ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිත පිරිසක්‌ එම කාර්යාලවලින් ඉල්ලීම් කළ අවස්‌ථාවේදීය. ඒ අනුව ප්‍රඥප්තිය පිළිබඳව මහජනයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක්‌ නොව ජනාධිපතිවරයා පවා දැනුවත්වීම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් හිතා මතා වළක්‌වා ඇති බව පෙනේ. 

අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනතේ සහ ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ අන්තර්ගතය තරම්ම ඒවා සම්මත කළ ආකාරයද ඉතා භයානක වන්නේ ඒ මගින් පාර්ලිමේන්තුවට ඉතා නරක පුර්වාදර්ශයක්‌ සපයන බැවිනි. ඕනෑම ජාත්‍යන්තර ප්‍රඥප්තියකට එකඟතාවය පළ කිරීමෙන් හෙවත් ඊට අත්සන් යෙදීමෙන් පසුව එය වලංගුභාවයට පත්කිරීම සඳහා අත්සන් යෙදීමට පෙර අදාළ ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමැතකිය ලබාගත යුතුය. රටේ නීති පද්ධතියට එම ප්‍රඥප්තියේ කොන්දේසි නිර්ණායක හෝ ප්‍රමිතීන් අතුල්කළ හැක්‌කේ එසේ අනුමැතිය ලබාගැනිමෙන් පසුවය. නමුක්‌ යහපාලන ආණ්‌ඩුව එම පටිපාටිය අනුගමණය කළේ නැත. විදේශ අමාත්‍යවරයා 2015 සැප්තැම්බර් මස මානව හිමිකම් කොමසාරිස්‌වරයාට එකඟ වූ පරිදි දෙසැම්බර් මාසයේදී අතුරුදහන්වූවන් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් යෙදීමට ක්‍රියා කළේය. ඒ සඳහා ඔහු පසුගිය දෙසැම්බර් 09 වැනිදා අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබාගන්නා අතර පසුවදා එනම් 10 වැනිදා අත්සන් තැබීමට කටයුතු සැලසීය. ඒ මගින් විදේශ අමාත්‍යාංශයේ හදිසිය කොතරම්ද යන්න පැහැදිලි වේ. 

කෙසේවෙතත් ප්‍රඥප්තිය අත්සන් කිරීමෙන් පසුව එය අදාල පටිපාටියට අනුව වලංගු කිරීම සඳහා අමාත්‍ය මණ්‌ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමක්‌ සිදුවූයේ නැත. ඒ වෙනුවට ආණ්‌ඩුව කළේ එම ප්‍රඥප්තිය පනතට සම්බන්ධ කොට පනත සඳහා පමණක්‌ අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබාගැනීමය. ඒ අනුව මැයි 24 දින අමාත්‍ය මණ්‌ඩලය විසින් පනත ගැසට්‌ කිරීම සඳහා අනුමැතිය ලබාදුන් අතර එම අනුමැතිය කූඨ ලෙස යොදගනිමින් මැයි 25 දින ප්‍රඥප්තිය වලංගු කිරීමට විදේශ අමාත්‍යාංශය කටයුතු කළේය. ඒ අනුව අවසානයේදී ප්‍රඥප්තිය පනතට සම්බන්ධ කොට බලහත්කාරයෙන් ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව ප්‍රඥප්තියටද පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණා සේ සලකා ආණ්‌ඩුව කටයුතු කරන බව පෙනේ. එම තත්ත්වය ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාව උල්ලංඝණය කිරීමක්‌ පමණක්‌ නොව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ පටිපාටිද උල්ලංඝණය කිරීමකි. එය කූඨ සහ නීති විරෝධී දේශපාලන හැසිරීමකි. නමුත් එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඊට අභියෝග නොකරන බවට සැකයක්‌ නැත. පනත සම්මත වූ පසුව පනත සම්මත කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරය පිළිබඳව වචනයක්‌ හෝ කතා නොකර ඊට සුභ පැතීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් ක්‍රියාකිරීම තුළින් පැහැදිලි වන්නේ ඒ පරම සත්‍යය නොවේද?

දැන් අතුරුදහන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතට සම්බන්ධ කිරීම නිසා එම ප්‍රඥප්තියේ නිර්නායක සහ ප්‍රමිතීන්ට අනුව පනත ක්‍රියාත්මක වනු ඇත. ඒ මගින් රණවිරුවන්ට එරෙහිව පනත යොදාගන්නා ආකාරයේ භයානකකම දස ගුණයකින් වැඩිවේ. ජාත්‍යන්තර ප්‍රඥප්තිය හරහා ශ්‍රී ලංකා රජය එකඟවන කොන්දේසි අනුව ඊනියා අතුරුදහන් කිරීම්වල ප්‍රමාණය සහ ව්‍යාජ සාක්‍ෂි මගින් වර්ණ ගන්වා පෙන්වනු ලබන ඒවයේ කෘරත්වය අතිශයෝක්‌තියෙන් හුවාදැක්‌වීම මගින් ඒවා පොදුවේ මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකළ අපරාධ ලෙස නම්කළ හැක. එසේම ඒවා දැනුවත්ව සිදුකළ සාමුළ ඝාතන මෙහෙයුමක ප්‍රතිඵල ලෙසද අර්ථ දැක්‌විය හැක. එය වෙනම රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත්කිරිමේදී ඉතා වාසිදායක කොන්දේසියක්‌ බවට පත්වේ. ''පරණගම කොමිසමට'' ලැබුණු පැමිණිලි 20,000ක ප්‍රමාණය 65,000ක්‌ දක්‌වා වැඩිවනු ඇති බවට අප රටේ විදේශ අමාත්‍යාංශය අනාවැකි පළකරන්නේ එම අවශ්‍යතාව ඉටුකිරීම සඳහා නොවේද? ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 5 වැනි වගන්තිය මගින් පනවා ඇත.

ශ්‍රී ලංකා රජය විසින් මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය වලංගු කිරීම නිසා අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනතට අදාලව පමණක්‌ නොව ඊනියා අතුරුදහන්වීම්වලට අදාලව පිහිටුවනු ලබන ඕනෑම යාන්ත්‍රණයක්‌ එම ප්‍රඥප්තියේ නිර්දේශ සහ ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යාමට රජය බැදී සිටියි. ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂිය නීති යටතේ යුදඅපරාධන චෝදනා එල්ල කිරීමේදී යුද්ධයේ යථාර්ය සැලකිල්ලට ගැනේ. උදාහරණයක්‌ ලෙස රජයට විරුද්ධව යුද වැදී සිටින පාර්ශ්ව විසින් භාවිතා කරන යුද බලයට සාපේක්‍ෂ බලයක්‌ භාවිතා කිරීමට රජයට අයිතිය ඇත. නමුත් අතුරුදහන්වූවන් පිළිබඳ ප්‍රඥප්තිය යටතේ අතුරුදහන්වීම් වලට අදාලව යුද්ධයේ ස්‌භාවය නිදහසට කරුණක්‌ ලෙස සැලකිල්ලට නොගැනේ. එහි ඇති භයානකකම වන්නේ යුද පිටියේදී ක්‍රියාන්විතවලදී මරණයට පත්වූ ත්‍රස්‌තවාදීන් පවා අතුරුදහන්වූවන්ගේ ගොඩට දමා චෝදනා එල්ල කිරීමට හැකිවීමය.

මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව අතුරුදහන්වීම් පිළිබඳව චෝදනා එල්ලකළ හැක්‌කේ රජයේ පාර්ශව වලට පමණි. ඒ අනුව හෙළ උරුමය වැනි පක්‍ෂ කියන ආකාරයට හමුදා සාමාජිකයන්ගේ අතුරුදහන්වීම් පිළිබඳව සම්බන්ධන් මන්ත්‍රීවරයාට හෝ සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනුකළ නොහැක.නමුත් එම ප්‍රඥප්තියේ 6වැනි වගන්තිය අනුව ඕනෑම පරීක්‍ෂණයකදී අණදීමේ වගකීමට අදාල චෝදනා එල්ල කිරීම අනිවාර්ය වේ. ඒ මගින් අතුරුදහන්වීමකට අදාලව චෝදනා එල්ලවන ආරක්‍ෂක හමුදා සාමාජිකයකුට අදිමේ වගකීමක්‌ සහිත ඉහළ හමුදා හෝ සිවිල් නායකයකු ඊට පටලවා ගැනීමට ඉඩ සැලසේ. එහිදී අණදීමේ වගකීම තිබේනම් අතුරුදහන්වීමකට පක්‍ෂව ක්‍රියාමාර්ග ගැනීම හෝ නියෝගදීම මෙන්ම එය වැළෑක්‌වීමට ක්‍රියාමාර්ග නොගැනීම යන භූමිකා දෙකටම අදාලව ඉහළ නිලධාරීන් චුදිතයන් බවට පත්කිරීමේ ඉඩ ලැබේ. අතුරුදහන්වූවන්ගේ කාර්යාලය හෙවත් කොමිසම අනාගතයේදී පරීක්‍ෂණ කරගෙන යාමේදී අනුගමනය කළ යුතු නිර්ණායක එසේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් නිශ්චිතව පනවා ඇත. 

මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 7 වැනි වගන්තිය අනුව චෝදනා එල්ලවන රණවිරුවන්ට එරෙහිව පරිපාලන වශයෙන් දඩුවම් කිරීමට ශ්‍රී ලංකා රජය බැදී සිටියි. ඒ සඳහා පරීක්‍ෂණ අවසාන වනතුරු සිටීම අවශ්‍ය වන්නේ නැත ඒ අනුව හුදු චෝදනා එල්ල වූ පමණින් රණවිරුවන් සේවයෙන් පහ කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් රජයට බලකෙරේ. 2015 ඇමෙරිකානු යෝජනාවේ වගන්තිය මගින් එසේ පරිපාලන වශයෙන් රණවිරුවන්ට දඩුවම් කළ යුතු බව අවධාරණය කොට ඇත.ඊට අමතරව අතුරුදහන්වූවන්ගේ කොමිසම මගින් සෘජු අපරාධ හෝ සිවිල් නඩු පැවරීමක්‌ සිදු නොකරන බව සඳහන් කළත් ජාත්‍යන්තර ප්‍රඥප්තියේ කොන්දේසිවලට අනුව එම කොමිසමේ පරීක්‍ෂණ වාර්තා පදනම් කරගෙන වෙනත් ආයතන හරහා නඩු පැවරිය යුතුය. එනම් නීති පති සහ ඉදිරි කාලයේ පිහිටුවනු ලබන යුද අපරාධ අධිකරණයේ අභිචෝදනා හරහා එසේ අපරාධ නඩු ක්‍රියාමාර්ග ගත යුතුය.

මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 9 වැනි වගන්තිය අනුව ප්‍රඥප්තියේ පාර්ශ්වකරුවන් වන ඕනෑම රටකදී අප රටේදී චෝදනා එල්ලවන රණවිරුවන්ට එරෙහිව නඩු පැවරිය හැක. චෝදනා එල්ල වූ රණවිරුවකු හෝ ඔහුට අණ දුන්නා යෑයි චෝදනාවට ලක්‌වන හමුදා හෝ සිවිල් නායකයකු එම රටකට ඇතුල් වූ අවස්‌ථාවක ඔහු අත්අඩංගුවට ගෙන එම රටේ නීතියට අනුව නඩු පැවරීමේ බලය මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් ලබාදී ඇත. එසේ අප රටේ රණවිරුවකු අත්අඩංගුවට ගත් රටක්‌ රෝම ප්‍රඥප්තියට හෙවත් ජාත්‍යන්ත අපරාධ අධිකරණ ව්‍යවස්‌ථාවට අත්සන් තබා තිබේනම් අප රට එසේ අත්සන් තබා නොමැති වුවත් අදාල රණවිරුවා ජාත්‍යන්තර අධිකරණයට බැරදීමට එම රටට බලය ලැබේ. ඒ අනුව මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට බලංගුභාවය ලබාදීම මගින් කෙතරම් බරපතල ලෙස රණවිරුවන් පාවාදීමට ලක්‌වනවාද යන්න පැහැදිලිවේ. 

මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 15 වැනි වගන්තියට අනුව ඊට අත්සන් තබා ඇති රටවල්වලට යම් රටකට සහයෝගය දීමේ මුවාවෙන් එම රටේ නීතිය අනුව සිදු කෙරනවා යෑයි කියන පරීක්‍ෂණවලට මැදිහත්වීමේ බලය ලැබේ. ශ්‍රී ලංකාව වැනි එවැනි ජාත්‍යන්තර මැදිහත්වීමකට ''පැනලා දෙන'' රටකට අදාලව එම වගන්තිය මගින් මැදිහත්වීමකට විශාල ඉඩක්‌ විවෘත වේ. බොහෝ විට තාක්‍ෂණ සහාය ලබාදීමේ නාමයෙන් සහ අතුරුදන්වූවන් වෙනත් රටක ජීවත්වෙනවාද යන්න සොයා බැලීමේ නාමයෙන් මෙම මැදිහත්වීම් සාධාරණීකරණය කෙරනු ඇත. එහිදී අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත මගින් ජාත්‍යන්තර සංවිධාන වලින් මුදල් සහ තාක්‍ෂණික සහාය ලබා ගැනීම සඳහා ප්‍රතිපාදන පනවා ඇති බැවින් පනත රිලවාට ඉනිමං බදින තත්ත්වයක්‌ ඇතිවනු ඇත. 

කෙසේ වෙතත් මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය අනුව පිහිටුවනු ලබන ජාත්‍යන්තර කමිටුවට යම් රටක්‌ වගකිය යුතු වන්නේ ප්‍රඥප්තිය වංලගු කිරීමෙන් පසුව සිදුවන අතුරුදහන් කිරීම් වලට අදාලව පමණි. එහෙත් ප්‍රඥප්තියේ පොදු වගන්ති මගින් අතීතයට අදාලව සිදුකෙරෙන පරීක්‍ෂණවලට මැදිහත්වීමට ඉඩ සැලසේ. එසේ වුවත් ප්‍රඥප්තියේ අනෙකුත් පාර්ශ්වකාර රටවල් විසින් ශ්‍රී ලංකාවට අදාලව කරනු ලබන ඉල්ලීම් හෝ මැදිහත්වීම් නිසා යම් ගැටුමක්‌ ඇතිවුවහොත් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ පැමිණිලි කිරීමට මෙම ප්‍රඥප්තිය මගින් ප්‍රතිපාදන සලසා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව විසින් අතුරුදහන්වීම් පිළිබඳ සොයා බැලීම සඳහා කරනු ලබන පරීක්‍ෂණ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ට උවමනා ආකාරයට සිදු නොවේනම් ඊට මැදිහත්වීමට පමණක්‌ නොව ඊට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කිරීම මගින් ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමේ ඉඩක්‌ මෙම ප්‍රඥප්තිය මගින් විවරවේ. 

මෙම තත්ත්වය සමස්‌ථයක්‌ ලෙස ගෙන බලන විට පෙනීයන්නේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනතේ ප්‍රතිපාදන වලට වඩා බරපතල කොන්දේසි ප්‍රමාණයකට යටත්වීමට ශ්‍රී ලංකා රජයට සිදුවන බවය. එතරම් බරපතල උගුලකට ආණ්‌ඩුව විසින් පය තැබීම මගින් රණවිරුවන් ජාත්‍යන්තර ගොදුරක්‌ බවට පත්කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලූ දෙනාටම තොරතුරු සැඟවීම මගින් සහ ඔවුන් රැවටීම මගිනි. එම පහත් ක්‍රියාවට කථානායකවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සෘජුව වගකිව යුතුය. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මනසේ ඒ පිළිබඳව ඇතිවන්නේ ලැර්ඡාවක්‌ද කෝපයක්‌ද යන්න පැහැදිලි නැත. ආණ්‌ඩුවේ පාර්ශ්වකරුවන් වී සිටින මන්ත්‍රීවරුන්ට නම් ඒ පිළිබඳව කිසිදු හැඟීමක්‌ නැතිවීම පුදුමුයක්‌ නොවේ. එහෙත් ව්‍යාජ විපක්‍ෂය කෙසේවෙතත් සැබෑ විපක්‍ෂය වන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳව හෘද සාක්‌ෂියේ ප්‍රශ්නයක්‌ තිබිය යුතුය. මෙම ක්‍රියාවලිය තුළ සැබෑ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට කථානායකවරයා පිළිබඳ අඹමල් රේණුවක විශ්වාසයක්‌ ඉතිරිවී තිබිය හැකිද?එසේ ඉතිරි වී නොමැතිනම් ඔවුන්ට තවදුරටත් ඔහු කෙරෙහි විශ්වාසය තබමින් රෙදි ඇදගෙන ඔහු සභාපතීත්වය දරන ව්‍යවස්‌ථා සම්පාදක සභාවේ වාඩි වී සිටිය හැකිද? අතුරුදහන්වූවන්ගේ පනත සහ ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තිය සම්මත කිරීමේදී කථානායකවරයා හැසිරුණු ආකාරය ව්‍යවස්‌ථා සම්පාදන සභාවේදී නැවත ප්‍රතිනිර්මාණය නොවනු ඇතැයි යන සහතිකය දිය හැක්‌කේ කාටද? මහජන පරමාධිපත්‍යයේ නාමයෙන් ඔහුගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුවේ වාඩිවී සිටීම යනු වෙනම සලකා බැලිය යුතු අවාසනාවන්ත තත්ත්වයකි.

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්‌ඩාර 
http://www.divaina.com/2016/09/04/politics02.html

Pic Source

'උතුරේ බුදු පිළිම කඩා දැමීම ගැන වහා පරීක්ෂණයක් ඕනෑ' - අස්ගිරි මහා නාහිමි

කිලිනොච්චිය ප්‍රදේශයේ ඉදිකොට තිබූ බුද්ධ ප්‍රතිමා කඩා දැමීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන මෙන් අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහ නාහිමියන් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

ඒ ඊයේ (01) පස්වරුවේ උන්වහන්සේ බැහැදැකීමට අමාත්‍යවරයා ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේදීය.

එහිදී උන්වහන්සේ අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කොට සිටියේ එවැනි ක්‍රියා තුළින් රටේ සහජීවනයට බලවත් පහරක් එල්ල වන බවයි.

මේ පිළිබදව තමන්ගේ පෞද්ගලික අවධානය යොමු කොට කඩිනම් විසදුමක් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා එහිදී මහනායක හිමියන්ට දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙවැනි සිද්ධි ජාතික සමගියට මෙන්ම ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වන බව පැවසීය.
එමෙන්ම මෙවැනි සිදුවීම් යළි නොවීමට වග බලා ගත යුතු බවත් මේ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
http://sinhala.asianmirror.lk/local-news/item/24945-2016-09-02-09-15-55

සබැඳි ලිපි -
[
ඉවැන්ජලික ඊළාම් කල්ලියක්, කිලිනොච්චියේ බුද්ධ ප්‍රතිමාවක් විනාශ කරයි!http://denethharinna.blogspot.com/2016/09/blog-post.html
]

ගැමුණු රජුන්ගේ සමයේ රුවන්වැලි මහා සෑය වටා තිබූ වැලි මළුව යළි ඉදිවෙයි!

ඓතිහාසික අනුරාධපුර රත්නමාලි චෛත්‍ය රාජයාණන් වටා ඇති ඇත් පවුරට පහළින් වූ බිම්තීරුව පෙර රජ දවස වැලිමළුවක් ලෙස පැවැතියත් අද වන විට එය දක්නට නැතැයිද ඒ නිසා අංගසම්පූර්ණ වැලිමළුවක් පිහිටුවීම මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ මහවිහාර සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ආරම්භ කර ඇති බවත් රත්නමාලි චෛත්‍යරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පල්ලේගම හේමරතන නාහිමියෝ නව වැලිමළුව ඉදිකිරීමේ සැලැස්ම මෙසේ විස්තර කළහ.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන විසිපහක් (25) වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. රත්නමාලි චෛත්‍ය රාජයාගේ ප්‍රතිසංස්කරණ කටයුතු 1930 පමණ වන විට ආරම්භ වී වැඩ නිමවී දැනට වසර 80කට වැඩියි. එහිදී ඇත්පවුර නිම කළත් ඊට පහළ කොටසේ වැලිමළුව ඉදිවුණේ නැහැ.

මේ නිසා වැසි සමයට එම බිම්තීරුව ජලය පිරී මඩ වන තත්ත්වයකයි තිබුණේ. මේ නිසා බැතිමතුන් විශාල කරදරයකට මුහුණදුන්නා. මේ ගැන ඉන්ජිනේරුවරුන් පරීක්‍ෂා කර සියයට 10ක් පමණ තෙතමනය තිබුණාම ඇති බවත් ඉතිරි සියයට 90ක් ජලය එම බිම් තීරුවෙන් ඉවත් කළ යුතුයි කියලා නිර්දේශ කළා. රත්නමාලි චෛත්‍ය වටා ඇති එම බිම්තීරුව අක්කර හතකින් (7) යුක්තයි. මෙම බිම්තීරුවේ ජලය බැසයෑම කෙසේ වේදැයි අපට දැනගන්නට නැහැ. ඒ නිසා මෙවර වැසි සමය එළැඹෙන විට ස්වභාවධර්මයාගේ හැසිරීම අනුව ජලය ගලායන්නේ කෙසේදැයි පරීක්‍ෂා කරනවා. ඒ අනුව ඇත්පවුරට පහළින් ඇති ප්‍රදේශයේ ජලය බැසයෑම ස්වභාව ධර්මයට අනුව ගළපා ගැනීමයි සැලැස්ම.

ඊට අමතරව ඇත්පවුරට පහළින් ඇති බිම්තීරුවේ ඇත්පවුරේ සිට අඩි 15ක් බිමට ගල් අතුරා ප්‍රදක්‍ෂිණා පථයක් හදනවා. මෑතකදී ඉදිකළ චෛත්‍ය භූමිය වටා ඇති ගල් බැම්මේ සිට තවත් අඩි 10ක තීරුවක බිමට ගල් අල්ලනවා. එවිට මැද කොටස වැලිවලින් පුරවනවා. මේ නිසා ජනතාවට මෙම ස්ථානයේ සිට බණ භාවනා මෙන්ම සිල් සමාදන් වී වන්දනාමාන කළ හැකියි.

දැනට චෛත්‍ය වටා ඇති සලපතළ මළුව බැතිමතුන්ගේ අපරික්‍ෂාකාරීත්වය නිසා නිතරම අපිරිසුදු වෙනවා. එය වළක්වා ඊට පසු සලපතළ මළුව වන්දනාමාන කිරීමට මිස ආහාර ගැනීමට, නිදාගැනීමට දෙන්නේ නැහැ. අනෙක වියළි කාලයට අව්රශ්මිය නිසා චෛත්‍ය වටා ඇති සලපතළ මළුව උදේ 9 සිට සවස 4 දක්වා ගිනියම් වෙනවා. එවිට බැතිමතුන්ට එහි සිට වන්දනාමාන කරන්න බැහැ. මේ ගැටලුවත් වැලිමළුව යළි සෑදීමෙන් පසු විසඳෙනවා. විශේෂයෙන් චෛත්‍යයේ බටහිර පෙදෙසේ වැලිමළුව තුළ භාවනා කිරීමට සුදුසු ස්ථාන හදනවා. එසේම චෛත්‍ය වටා තැනින් තැන පිච්චමල් වවනවා. චෛත්‍ය ආශ්‍රිතව ඇති බෝධීන් වහන්සේ අවට පරිසරය බැතිමතුන්ට ආගමික වතාවත් කිරීමට සුදුසු පරිදි සකස් කරනවා. දැනට ඇති මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම අදියරෙන් අදියර සිදුකරන්නයි බලාපොරොත්තුව.

ඒ සඳහා සැදැහැවත් බෞද්ධ ජනතාවටත් දායක විය හැකියි. දැනට වැලිමළුව සැකසීමේදී පොළොවේ අඟල් අටක් (8) දක්වා වූ පස් තට්ටුව ඉවත් කරනවා. එම කාර්ය සඳහා බැතිමතුන්ට ශ්‍රමදානයෙන් දායකත්වය ලබාදීමට හැකියි. එසේ ශ්‍රම දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳ වැඩි විස්තර මහ විහාර ව්‍යාපෘති කළමනාකරු අංක 025-2055123/121 සහ 0771958200 යන දුරකතන අංක අමතා ලබාගත හැකි බවද පල්ලේගම හේමරතන නාහිමියෝ පැවැසූහ.

http://www.colombotoday.com/21795-2/

බ්‍රිතාන්‍යයේත් බුර්කාව තහනම් වල ලකුණු! 57%ක් බුර්කාව එපා කියයි.

ඇතැම් ඉස්ලාමීය කාන්තාවන් මුහුණ ආවරණය වන සේ අදිනු ලබන (බුර්කා) ඇදුම බ්‍රිතාන්‍යය තුළ තහනම් කළ යුතු බවට, ඒ සම්බන්ධයෙන් මත විමසුමකට සම්බන්ධ වූ පිරිසෙන් බහුතරයක් ප්‍රකාශ කර තිබෙනවා.

එම මත විමසුමට සහභාගී වූවන්ගෙන් 57%ක් බුර්කාව ප්‍ර‍සිද්ධ ස්ථානයන්හිදී නොඇඳිය යුතුබව පවසා තිබෙන අතර, වයස අවුරුදු 18ත් 24ත් අතර කණ්ඩායම පමණක් බුර්කාව තහනම් නොකළ යුතුය යන මතයේ සිටිනවා.

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් යුරෝපීය රටවල් රැසක් බුර්කාව තහනම් කිරීමට අවධානය යොමුකර තිබෙන අතර මේ වන විටත් ප්‍රංශය තුල බුර්කා ඇදුම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

මීට අමතරව පොදුවේ බුර්කාව තහනමට ලක් කළ සියළුම රටවල් පිලිගන්නේ යම් පුද්ගලයෙකුට තමන් ඉදිරියේ ඉන්නා පුද්ගලයාගේ අනන්ය තාවය (ගැහැණියෙක් ද පිරිමියෙක් ද) යන්න මෙන්ම පොදු ස්ථානවල සැරිසරන පුද්ගලයන් කවුදැයි යන්න දැනගැනීම සදහා සාමාජීය අතිවාසිකමක් ඇති බවයි. එමෙන් මෙම ඇදුම ඉතාම පැහැදිළි ලෙස හොර ජාවාරම්කරුවන්ට ආවරණයක් බවත්, මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන දියුණු සමාජයක් සදහා මෙම ඇදුම අනිවාර්යෙන්ම තහනම් කළ යුතු බවත් යුරෝපීය රටවල ඒකමතික පිළිගැනීමයි.

ජාතික ආරක්ෂාවට එල්ලවන තර්ජණය සම්බන්ධයෙන් සලකා බලා බුර්කා ඇදුම ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට සදහා පසුගිය දා රැස්වූ ආරක්ෂක මණ්ඩලයට උසස් නිලධාරියෙකු විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එම යෝජනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබුණා.

http://www.colombotoday.com/922326-6/

සබැඳි ලිපි -[ගෝනිබිල්ලෝ විභාගෙට ඇවිත් හොරට ලියපු හැටි විභාග පරීක්ෂකවරයෙක් හෙළි කරයි!http://denethharinna.blogspot.com/2016/08/blog-post_64.htmlප්‍රංශ පොලිසිය නීස්‌ මුහුදු වෙරළේ සිටි මුස්‌ලිම් කාන්තාවගේ බුර්කි ඇඳුම ඉවත් කරයිhttp://denethharinna.blogspot.com/2016/08/blog-post_79.htmlස්‌විස්‌ ටිසිනෝ ප්‍රාන්තය බුර්කා මුහුණු ආවරණය තහනම් කරයිhttp://denethharinna.blogspot.com/2016/08/blog-post_4.htmlබුර්කාවකින් සැරසුණු පිරිමියෙක් කටුනායකදී අත්අඩංගුවට! බුර්කාව ආරක්ෂාවට තර්ජනයක්. තහනම් කරනු!http://denethharinna.blogspot.com/2016/07/blog-post_49.htmlබ්‍රිතාන්‍යයේ පාසල්, අධිකරණ සහ දේශසීමා මුරපලවල අසල බුර්කා ආවරණය පැළඳ සිටීම තහනම්! - අගමැති අනුමත කරයි!http://denethharinna.blogspot.com/2016/01/blog-post_21.htmlඉස්‌ලාමීය මුල්ධර්මවාදයෙන් තර්ජන! ස්‌විට්‌සර්ලන්තයේ ටිසිනෝ ප්‍රාන්තය - බුර්කා තහනම්http://denethharinna.blogspot.com/2015/10/blog-post_8.html
බුර්කාවෙන් ප්‍රකට වන්නේ මූලධර්මවාදයයි! චීනයේ බුර්කාව තහනම්!http://denethharinna.blogspot.com/2015/09/blog-post_99.html
හොර බඩු බුර්කාවේ සඟවා පනින්න යද්දී කටුනායකදී මාට්ටුhttp://denethharinna.blogspot.com/2015/04/blog-post.html
ඕස්ටේ‍්‍රලියාවේ බුර්කාව තහනම් කිරීමට යෝජනාවක්http://denethharinna.blogspot.com/2014/10/blog-post_31.html
මුහුණු ආවරණ නීතිරීති දැඩි කිරීමට ප්‍රංශ රජය තීරණය කරයි. නිකාබයකින් සැරසී සිටි මුස්‌ලිම් කත ප්‍රංශ රඟහලින් නෙරපයිhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_67.htmlනිකාබය හා බුර්කාව ඡන්දපොළට තහනම්. හැඳුනුම්පතට කන් වහන්නත් බෑ - මැතිවරණ කොමසාරිස්http://denethharinna.blogspot.com/2014/07/blog-post_58.html
ඔස්ටි‍්‍රයාවෙනුත් බුර්කාව විසිවෙයි???http://denethharinna.blogspot.com/2014/07/blog-post_9671.html
යුරෝපා අධිකරණය "බුර්කා" තහනම අනුමත කරයිhttp://denethharinna.blogspot.com/2014/07/blog-post_5972.html
මුසලු ගෝනි ඇඳුම් ඇඳ කාන්තා වෙස්ගෙන බැංකුව කැඩූ කපිතාන්ට දඬුවම්http://denethharinna.blogspot.com/2014/01/blog-post_8806.html
]