Pages

Sunday, September 4, 2016

මල්ලෙන් එළියට ආවේ බළලකු නොව විග්නේෂ්වරන් නම් කොටියෙකි!

අද මේ පුවත්පතෙහි පළවන මුල් පුවත යම් තරමක අවුලකි. බළලකු වෙනුවට කොටියකු මල්ලෙන් එළියට පැනීමකි. යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්විමක්‌ අවශ්‍ය බව උතුරේ මහ ඇමැති සී. විග්නේෂ්වරන් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ට කී බව එහි සඳහන්ය. අපට හැඟෙන පරිදි නම් විග්නේෂ්වරන් මේ ඉල්ලන්නේ පිටරටවල සිටින විනිසුරුවන් ශ්‍රී ලංකාවට පැමිණ යුද අපරාධ සම්බන්ධයෙන් නඩු ඇසිය යුතු බවය. වසර 30 ක යුද සමයේදී හෝ යුද්ධයේ අවසන් කොටසේදී කිසියම් සාපරාධී කටයුත්තක්‌ සිදුවීද, ඒ සම්බන්ධයෙන් කරන පරීක්‍ෂණයකට විදේශික මැදිහත්විමක්‌ සම්බන්ධ කරගන්නේ නැති බව ජනාධිපතිතුමා මුල සිටම අවධාරණය කර ඇත. ඒ ප්‍රශ්නය ගැන කතා කරන්නට ගිය අවස්‌ථා කිහිපයකදීම මේ පුවත්පත ආණ්‌ඩුවේ තදබල දෝෂාරෝපණයට ද ලක්‌විය. අපට විදේශ මැදිහත්විමක්‌ අවශ්‍ය නැති බව මේ පුවත්පතේ ස්‌ථාවරයයි. එය අපගේ පමණක්‌ නොව මේ රටේ දැනට ඉතිරිව සිටින අවසන් සිංහල බෞද්ධ ස්‌වදේශික නායකයන් කිහිපදෙනාගෙන් කෙනකු වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ද ස්‌ථාවරයයි. විග්නේෂ්වරන්ගේ ඉල්ලීමට අනුව හැඟී යන්නේ ඔහු රාජ්‍ය නායකයාගේ ස්‌ථාවරය ද කඩා බිඳ දමාගෙන ඉදිරියට දුවන්නට හදන බවය. පාලනයකින් තොරව කඩා බිඳගෙන දුවන මී හරකුන් ආණ්‌ඩු මට්‌ටු කිරීම සඳහා සිංහල ගැමියා විශාල ලී කොටයක්‌ උගේ ගෙලෙහි එල්ලන්නේය. එය "රොකඩය" යනුවෙන් හඳුන්වනු ලැබේ. එවැනි දේවල් යොදා නූගත් මීහරකකු පාලනය කළාට උගත් හිටපු විනිසුරකු පාලනය කළ යුතු නැත.

පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කළ එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්තුමා රට තුළ අද පවතින තත්ත්වය ගැන බෙහෙවින් සාධනීය වූ මතවාදයක සිටින බව දැනගන්නට තිබේ. කලකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ අරක කරන්න, මේක කරන්න යෑයි කියමින් වාත වූ බෑන් කී මූන් මෙවර සංචාරයේදී කිසිදු බලපෑමක්‌ කළේ නැත. එහෙත් විග්නේෂ්වරන් වැඩේ අනුභව කර ඇති බව පෙනෙන්නට තිබේ. මේ රටේ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය එකතු වී කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීම ගැන ඇතැම් දෙමළ නායකයන් දැඩි වියරුවකින් පසුවන බව විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයෙන් පෙනී යයි.

මේ අතර ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය වීම (යුද සමයේදී) ගැන ජාත්‍යන්තර මට්‌ටමින් විමර්ශනයක්‌ අවශ්‍ය බව උතුරේ සිවිල් සංවිධාන සමූහය ද කියන බව අපගේ මුල් පුවතේ සඳහන්ය. මෑත කාලීන ශ්‍රී ලංකාවේ සෑහෙන ප්‍රමාණයක්‌ කා දමන ලද්දේ දේශපාලනඥයන්ය. ඉතිරිය කා දමන ලද්දේ රාජ්‍ය නොවන සංවිධානයන්ය. මේ රටට එන සෑම බලගතු විදේශිකයකුම අදහස්‌ ගන්නේ සිවිල් සමාජය ලෙස පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන කාරයන්ගෙනි. උදාහරණයන් මෙසේය. පසුගිය වසරේ ජනවාරි 8 වැනිදා ඇති වූ ආණ්‌ඩු පෙරළියෙන් පසු දින 100 ආණ්‌ඩුවක්‌ පිහිටුවන ලදී. ඒ අතර දිනෙක ඇමරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකාවට පැමිණියේය. එදින සවස ඔහු විසින් කොළඹ හෝටලයකදී දේශනයක්‌ පවත්වන ලදී. එම දේශනයෙන් පසු ඔහු හමුවීමට මාධ්‍යකරුවන් බලා සිටියද ඒ ගැන නොතැකූ කෙරී රාජ්‍ය නොවන සංවිධාන හෙවත් එන්. ජී. ඕ. කාරයන් හත් අට දෙනකු සමඟ යාබද කාමරයකට රිංගා ගත්තේය. ඉන්පසු ඔහු දේශනය පැවැති කාලය හා සමාන කාලයක්‌ එකී සිවිල් සමාජ කට්‌ටිය සමඟ සාකච්ඡා කළේය. කෙරී ආපසු ඇමරිකාවට යන්නේ ඒ කට්‌ටිය කියූ දේවලින් සිය කන් පුරවාගෙනය.

උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් කොටියකු නොවන බවත් උගත් නීතිවේදියකු බවත් අප කලකට පෙර කල්පනා කළෙමු. එහෙත් ඔහු පිළිබඳ අප කෙරෙහි වූ හැඟීම පසුගිය වකවානුව තුළ වූ සිදුවීම් නිසා ඉල්ලා අස්‌කර ගැනීමට අපට සිදුව තිබේ.

ඒ ගැන අපට ඇත්තේ කනගාටුවකි.

http://www.divaina.com/2016/09/04/editorial.html

Pic Source

0 comments: