ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමනයන් විසින් රචිත 'වකුගඩු සටන'' කෘතිය අගෝස්‌තු 3 වැනි දා එළිදැක්‌විණි. චන්න ජයසුමන නම් වූ වෛද්‍යවරයා, පර්යේෂකයා සහ සමාජ ක්‍රියාකාරිකයා වකුගඩු සටන් බිමට අවතීර්ණ වී දශකයකට ආසන්න කාලයක් ලබාගත් අත්දැකීම් සහ රෝගයට අදාළ විද්‍යාත්මක පැතිකඩ එම කෘතිය මගින් මනාව ඉදිරිපත් කොට ඇත. මේ රටේ නිදහස් අධ්‍යාපනයට පින්සිදු වන්නට අහිංසක පොදු ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබාගෙන සමාජ හිණිමගේ ඉහළට නගිමින් තමාට අතදුන් පහළ තලයට පස්‌ස හරවන උගතුන්ට චන්න විසින් බරපතළ අභියෝගයක් එල්ල කොට ඇත.
චන්න ජයසුමනයන් වකුගඩු සටන්බිමට කඩා වැදීමට පෙර වසර 10 ක පමණ කාලයක් තිස්‌සේ එම සටන රෝගීන් සහ රෝගය අතර සටනක් ලෙස පැවතින. යම් මට්‌ටමකට එය යම් වෛද්‍යවරු පිරිසක් සහ රෝගය අතර සටනක් ලෙසද දක්‌නට ලැබුණි. අද වන විට එම සටනින් 25000 කට අධික අසරණයන් පිරිසක් පරාජය වී දිවි අහිමි කොට ගෙන ඇත. එසේම තවත් 75000 කට අධික පිරිසක් නිරායුධව එම සටන් බිමේදී එකා බැගින් ඇද වැටෙමින් ඇත. සටන් බිමේ ඇද වැටෙන සෑම ගොවියකුම පරාජය භාර ගන්නේ තම දරු පවුලද දරිද්‍රතාවය තුළ ගිල්ලවමිනි.
මෙම විෂම චක්‍රයට මුහුණදෙමින්, වකුගඩු රෝගීන් තනිතනිව තම රෝගය සමඟ සටන් වදින විට යම් වෛද්‍යවරු පිරිසක් රෝගියා සහ සැබෑ රෝගකාරකයෙන් ව්‍යක්‌තව රෝගය සමඟ හුදකලා සටනක නියෑළුනි. හඳුනානොගත් වකුගඩු රෝගය නමැති ලේබලය යම් වෛද්‍යවරු පිරිසක් විසින් සොයාගන්නේ එම හුදකලා සටනේ ප්‍රතිඵලයක් ලෙසය. ඒ නිසා බොහෝ කාලයක් තිස්‌සේ සටනේ සැබෑ නිර්මාතෘවරුන් හෙවත් ගොවියාගේ සැබෑ සතුරා හඳුනා ගැනීමට නොහැකි විය. චන්න ජයසුමන ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම හඳුනා නොගත් සතුරා හඳුනා ගැනීමේ සටන ආරම්භ කරන විට 'හඳුනානොගත්' වෙළඳනාමයේ අයිතිකරුවන් පළමු වටයේදීම යුද්ධ ප්‍රකාශ කළේය. මුල් වටයේදී ඔවුන් බොහෝ දෙනෙකු ඒ වන විට කරන ලද විවිධ පර්යේෂණවල ඊනියා සොයා ගැනීම් චන්න ජයසුමනලා විසින් අභියෝගයට ලක්‌කිරීම එම විරෝධයට හේතු විය.
එහෙත් ඒ වන විට පැනනගිමින් තිබෙන තත්ත්වය දෙස අවධානයෙන් සිටි සැබෑ සතුරා හෙවත් බහුජාතික කෘෂි රසායන සමාගම් විසින් චන්න විරෝධී ඊනියා විද්වත් බල ඇනිය තම ග්‍රහණයට යටත් කර ගනු ලැබීය. ඒ සඳහා මහා විශාල මුදලක් ඔවුන් වියදම් කළා යෑයි සිතිය නොහැක. බොහෝ විද්වතුන් විශේෂයෙන්ම විශ්‍රාම යාමෙන් පසුව එම සමාගම්වල රැකියා බලාපොරොත්තු වූ පිරිස් තුට්‌ටු දෙකට තම ආත්මය පවාදුන් බවට බොහෝ චෝදනා එල්ල විය. යම් පිරිස් එසේ විවිධ ප්‍රතිලාභ සඳහා කෘෂි රසායන සමාගම්වල න්‍යායපත්‍රයට යටත්වන විට තවත් පිරිස් හුදු චන්න විරෝධී හීනමානය නිසාම එම බහුජාතක සමාගම්වල කුලීකරුවන් බවට පත්විය. පලිබෝධනාශක රෙජිස්‌ටාර්වරයා ප්‍රමුඛ ඉහළ පෙළේ කෘෂිකාර්ම නිලධාරීන් රාශියක් කෘෂිරසායන සමාගම් තුරුලේ සිට චන්න ජයසුමනලාට තාක්‍ෂණික මෝටාර් ප්‍රහාර එල්ල කළහ. ඊනියා හඳුනා නොගත් වකුගඩු රෝගය කෘෂිකාර්මික වකුගඩු රෝගය බවට තහවුරු වන විට එම ප්‍රහාර තව තවත් තීව්‍ර විය. එම තත්වයට මුහුණ දීම සඳහා චන්න ජයසුමන වෛද්‍යවරයා පර්යේෂකයකුගේ භූමිකාව ඉක්‌මවා යමින් සමාජ ක්‍රියාකාරිකයකුගේ භූමිකාව අතට ගනිමින් වකුගඩු සටන යුද්ධයක් බවට හැරවීය. එනම් සටන් පෙරමුණු රාශියක් විවෘත කරමින් සතුරාට පහරදීමේ උපාය මාර්ගය තේරීමට චන්නලා සමත් විය.
කෙසේ වෙතත් පොදු ජනතාවට දැන් මතු පිටින් පෙනෙන්නේ ''සටන් විරාමයක්'' පවතින බවය. එහෙත් සතුරා තම අවි බිම තබා නැත. ගතවන සෑම දිනකම දස දෙනා බැගින් සටනේ ගොදුරු බවට පත්වේ. එසේ සටනට ගොදුරුවන පිරිස සෑම වසර 4 කට වරක් දෙගුණයක් වන බව පර්යේෂකයන් විසින් ඔප්පු කොට ඇත. ඒ නිසා පළමුවෙන්ම ඊනියා ව්‍යාජ සටන් විරාමය ජයග්‍රහණයක් ලෙස හුවා දැක්‌වීමට කිසිවකුට ඉඩ නොදිය යුතුය. දෙවනුව සටන් විරාමය හෙවත් කෘෂි රසායන සමාගම්වල සූක්‍ෂම නව සටන් සැලසුමට ගොදුරු නොවී සතුරා තම සටන් බිමට කැඳවීමට මහජනයා සූදානම් විය යුතුය.
අද වන විට මිත්‍ර පාර්ශ්වය ලෙස මහජනයා වෙනුවෙන් පෙනී සිටින රජය දැනුවත්ව සහ නොදැනුවත්ව යන ආකාර දෙකටම සටන් කරන්නේ සතුරාගේ සටන් සැලසුමට අනුවය. තහනම් කළ බව කියන කෘෂිරසායන, විශේෂයෙන්ම වකුගඩු රෝගයට හේතුවන බවට තහවුරු වී ඇති රසායනික වෙළෙඳපලේ පස්‌ස දොරෙන් ඕනෑම ප්‍රමාණයක් ලබාගත හැක. එකම වෙනස ඒ සඳහා ගොවියාට වැඩි මිලක් ගෙවීමට සිදුවීම පමණි. ඊට අමතරව ග්ලියිෆොසේට් වැනි විෂ රසායනික නාමිකව තහනම් කළද ඊට වඩා දසගුණයකින් විෂ සහිත ගලයිෆොසෙට් නම් වූ නව රසායනික වලට පලිබෝධනාශක රෙජිස්‌ටාර් කාර්යාලය විසින් බලපත්‍ර ලබාදී ඇත. අද වන විට එම කර්යාලය කෘෂිරසායන සමාගම්වල රහස් ලේකම් කාර්යාලයක් බවට පත් වී ඇත. අනෙක් පැත්තෙන් ඊනියා සටන් විරාමය ජයග්‍රහණයක් ලෙස හුවා දැක්‌වීම සඳහා රජය විසින් වතුර පිරිසිදු කිරීමේ යන්ත්‍ර සහ රුධිර කාන්දු කරන යන්ත්‍ර ලබාදීමේ ප්‍රචාරක ව්‍යාපාරයක්‌ද දියත් කොට ඇත. ඒ තුළ අහිංසක රෝගීන් හෙවත් යුද්ධයේ ගොදුරු පෙන්වා ජාවාරම් කිරීමේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ජාලයක්‌ද බිහිවී ඇත.
මෙම තත්වය වෙනස් කිරීමට යම් පිරිස් දැනට ඉතා සද්භාවයෙන් කරනු ලබන ''අහිංසක වැඩ'' වලින් පමණක් හැකි වන්නේ නැත. තෝරාගත් සුළු භූමි ප්‍රදේශයක ඉතා දුක් මහන්සියෙන් වස විස නැතිව සම්ප්‍රදායානුකූල වී ප්‍රභේද වගා කළද ඒවාට වෙළෙඳපළේ සාධාරණ මිලක් ලැබෙන්නේ නැත. අවසානයේදී එම ක්‍රියාවලියද බහු ජාතික කෘෂිරසායන සමාගම් විසින් ලාභ ඉපයීමේ ව්‍යාපාරයක් ලෙස තම ග්‍රහණයට නතුකර ගෙන ඇත. ඒ මගින් සමස්‌ථ කෘෂි රසායන භාවිතයේ අඩුවක් හෝ සමස්‌ථයක් ලෙස ස්‌වභාවික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීමක් විධිමත්ව සිදුවන්නේද නැත. එසේම රෝගයට ගොදුරු වූ ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වය වෙනස් කිරීම සඳහා අවම වශයෙන් දීර්ඝකාලීනව පානිය ජලය ලබාදීමේ වැඩපිළිවෙලක් හෝ විධිමත්ව දියත් වී නැත. අතන මෙතන ක්‍රියාත්මක වන අවිධිමත් සහ දිර්ඝකාලීනව පවත්වාගත නොහැකි ඊනියා දේශපාලන ව්‍යාපෘතිවලින් මහජන මුදල් ගසාකෑම හැර අඩුතරමින් ආදර්ශයක් ලෙස පෙන්විය හැක 'ආදර්ශ ව්‍යාපෘතියක්' නිර්මාණය වී නැත.
මේ නිසා දිර්ඝකාලීනව මහා පින්තුරය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්‌කරණ සඳහා රජය සමඟ දේශපාලන සටනක් ආරම්භ කිරීම වකුගඩු යුද්ධයේ එක් පෙරමුණක් බවට පත්කළ යුතුය. යම් මධ්‍යස්‌ථ විද්වතුන් රටට කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවට හඬක් නැඟූ පමණින් ප්‍රශ්නය විසදෙන්නේ නැත. පවතින තත්ත්වය තුළ ඊනියා ප්‍රතිපත්ති කෘෂිරසායනික සමාගම්වල ගෝල බාලයන්ට උවමනා ආකාරයට සකස් කිරීමේ වැඩි ඉඩක් ඇත. ඒ නිසා ප්‍රතිපත්තිය ලේඛනගත කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ගික රාමුව සහ ඊට අදාළ අවම ප්‍රමිතීන් පිළිබඳ කථිකාව මහා සමාජය විසින් ආරම්භ කළ යුතුය. අප රටේ නිදහස් සෞඛ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනය දිවි පුදා හෝ රැකිය යුතුය යන සමාජ සම්මතයක් ඇත. එහෙත් ඊට සමානව රටේ ආහාර සුරක්‍ෂිතතාව රැකීම මුල්කරගෙන දේශීය ගොවියා සහ දේශීය කෘෂිකර්මාන්තය රැකිය යුතු යෑයි සමාජ සම්මතයක් ගොඩනැඟී නැත. දැන් ඊට කාලය පැමිණ ඇත.
වගුගඩු රෝගය පමණක් නොව තවත් බොහෝ සෞඛ්‍ය ගැටලු තුරන් කිරීම සඳහා අවශ්‍ය දේශීය කෘෂිකර්මාන්තය ප්‍රචලිත කළ හැක්‌කේ එම පූර්ව කොන්දේසිය ඉටුවුවහොත් පමණි. වෙනත් වචනවලින් කියන්නේනම් බටහිර රටවල් තම රටවල ආහාර නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා මීට වසර 60 කට පෙර යොදාගත් ප්‍රතිපත්ති අප පමාවී හෝ ක්‍රියාත්මක කළ යුතුය. ඒ අනුව ගොවියාට තම ආහාර නිෂ්පාදනය සඳහා සාධාරණ මිලක් ලබාදීම සඳහා ආනයනික ආහාර සඳහා ලබාදෙන බදු සහන වහා අහෝසි කළ යුතුය. දකුණු කොරියාව වැනි රටවල ආනයනික ආහාර වලට බදු පනවා දේශීය කර්මාන්තය රැකගන්නා ලෙස ඉල්ලමින් ජනතාව විදි බසිති. අප රටේ සිදුවන්නේ එහි සම්පූර්ණ අනෙක් පැත්ත වීම කුමන සරදමක්‌ද? අප රටට ආහාර ආනයනය කරන සමාගම්වලට බදු සහන ලබාදෙන්නේ රහසිගතවය. නමුත් අප ආවඩන බටහිර රටවල ඒවා සියල්ල විනිවිද භාවයෙන් සිදු වේ. ඒ අනුව සටනේ අවම ප්‍රමිතිය ලෙස තිරිඟු පිටි, කිරිපිටි, සිනී ඇතුළු ප්‍රධාන ආනයනික ආහාර සඳහා මිල සූත්‍ර හඳුන්වා දී දේශීය ගොවියාට සාධාරණ මිලක් ලැබෙන ලෙස ඒවාට බදු පැන විය යුතු බව පිළිගත යුතුය.
කෘෂි රසායනික වලින් තොරව ස්‌වාභාවික ගොවිතැන් ක්‍රම මගින් නිපදවන ආහාර වලට හොඳ මිලක් ලැබේනම් නිෂ්පාදනය වැඩි කිරීමේ ව්‍යාජ කෙටිකාලීන ක්‍රමවේද පෙන්වා කෘෂිරසායනික ප්‍රචලිත කිරීම පහසු වන්නේ නැත. පොහොර සහනාධාරය පොහොර ලෙස ලබා නොදී ඊට අදාළ සෑම රුපියලක්‌ම ස්‌වාභාවික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීමේ කොන්දේසිය යටතේ දිරිගැන්වීමක් ලෙස මුදල් වශයෙන් ලබාදිය යුතුය. ඒ සඳහා ගොවිජන බැංකුව නැවත ආරම්භ කළ යුතුය. ගොවියා සමාගම්වල වැඩවසම් ග්‍රහණයෙන් මුදාගත හැක්‌කේ එවැනි සහනදායී බැංකු ක්‍රමයක් මගින් ඔවුන්ට මූල්‍ය සහන ලබාදෙන්නේ නම් පමණි. එම මූල්‍ය සහන කෘෂි රසායන අවම කිරීම සහ ස්‌වාභාවික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීම සඳහා පෙළඹවීමේ උපාංග ලෙස භාවිත කළ හැක.
ඔවුන් තම ගොවීන්ට සහනාධාර ලබාදෙන්නේ අඩු මිලට අප වැනි රටවල ආහාර ප්‍රතාපනය කොට දේශීය කෘෂිකර්මාන්තය විනාශ කිරීම සඳහාය. දැනට විවිධ පර්යේෂණවලින් ඔප්පු වී ඇති ඇති ආකාරයට සමස්‌ථතලෝකයටම බටහිර රටවල් ලබාදෙන සහනාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 10 කට අඩු වුවත් ඔවුන්ගේ නිර්දේශ අනුව අප වැනි රටවල ක්‍රියාත්මක කරන විනාශකාරී වගාක්‍රම සහ හඳුන්වාදෙන බෝග නිසා පසට සහ පරිසරයට සිදුවන හානිය බිලියන 20 කට ඇස්‌තමේන්තු කොට ඇත. අප වැනි රටවල ප්‍රතිපත්ති සම්පාදකයින් ආහාර සුරක්‍ෂිතතාව අනතුරේ හෙළමින් අත්‍යවශ්‍ය ආහාර ආනයනය දිරිමත් කරන අතර කෙටිකාලීන වෙළෙඳ පොළ වාසිය සඳහා යම් ආහාර වර්ග අපනයනය සඳහා වගාකිරීම දිරිමත් කෙරේ. එහි එක් තකතීරු අන්තයක් වන්නේ එක් ගමකට එක් බෝගයක් තේමාව යටතේ ඊනියා අපනයන ගම්මාන පිහිටුවීමය. සත්ව ආහාර සඳහා අපනයනය කිරීමට වානිජ වශයෙන් ධාන්‍ය නිෂ්පාදනය දිරිගැන්වීමද එවැනිම උදාහණයකි. ඒ සියල්ල මගින් අධික කෘෂි රසායනික භාවිතය දිරිගැන්වේ.
අප රට තිරිගු පිටි ආනයනය සඳහා රු. මිලියන 40000 ක් වැය කරන විට කෙසෙල්ගෙඩි සහ අනෙකුත් පළතුරු අපනයනයෙන් උපයන්නේ රු. මිලියන 2000 කට අඩු මුදලකි. එහෙත් ඉන් ලැබෙන ප්‍රතිලාභය දේශීය පරිභෝජනය සඳහා ආහාර නිෂ්පාදනය කිරීමට වඩා ඉතා අඩු මට්‌ටමක පවතී. අනෙක් පැත්තෙන් ගත්විට කුකුල් මස් කිලෝග්‍රෑම් 1 ක් නිපදවීම සඳහා බඩ ඉරිගු කිලෝග්‍රෑම් 4 ක් අවශ්‍ය වේ. වකුගඩු රෝග කාරක ග්ලයිපෝසෙට්, කාබාෆියුරාන් වැනි රසායනික වැඩි වශයෙන් යොදාගන්නේ බඩ ඉරිඟු වගාව සඳහාය. එම නිසා ආහාර පරිභෝජන සංස්‌කෘතිය වෙනස් කර ගැනීම මෙන්ම කුඩා පරිමාණයෙන් ගෙවතු වගාව මගින් බෝග වගාව සහ සත්ව පාලනය දිරිමත් කිරීමද වකුගඩු සටනේ ජයග්‍රහණය සඳහා අත්‍යවශ්‍ය සාධක බවට පත්වේ. අප ඓතිහාසිකව අහාර වර්ග 800 ක් පමණ පරිභෝජනය කළ ජාතියකි. අද එම ප්‍රමාණය 50 දක්‌වා පමණ අඩු වී ඇත. ඒ නිසා තෝරාගත් ආහාර කිහිපයක නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අධික ලෙස කෘෂි රසායන භාවිතය දිරිමත් කිරීමට බහුජාතික කෘෂිරසායනික සමාගම්වලට හැකියාව ලැබී ඇත.
ඊට අමතරව පවතින තත්වය වෙනස් කිරීමට නම් කෘෂිරසායනික සමාගම්වල කුලීකරුවන් ලෙස රාජ්‍ය සේවය තුළ රාජකාරී කොට විශ්‍රාම යෑමෙන් පසුව එම සමාගම්වලම රැකියාවක් ලබාගැනීම සඳහා ගොවියා සහ රට පාවාදෙන නිලධාරීන් යමපාලනයකට යටත්කළ යුතුය. කෘෂිරසායනික සමාගම්වල අලෙවි නියෝජිතයන් විසින් ගොවීන්ට උපදෙස් දෙනක්‍රමය වෙනුවට සැබැලෙසම දේශීය කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා උපදෙස් දෙන නව ව්‍යාපෘති සේවයක්‌ද රටට අවශ්‍ය වේ. එසේම පලිබෝධ නාශක පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කොට එහි ක්‍රියාකාරීත්වය මහජන අධීක්‍ෂණයට යටත්කළ යුතුය. ඒ සියල්ලටම ඉහළින් පවත්වාගතයුතු මූලික උපාය මාර්ගික පිළිගැනීමක් ඇත. ඒ බේග මුල්කරගත් කෘෂිකර්මාන්තයක් වෙනුවට ගොවියා සහ ආහාර සුරක්‍ෂිතතාව මුල්කරගත් කෘෂිකර්මාන්තයක් දිරි ගැන්වීමයි.
එසේම එම ක්‍රියාමාර්ගවල දිර්ඝකාලීන ප්‍රතිඵල ලැබෙන තෙක් දැනට රෝගයට ගොදුරුව ඇති ජනතාවගේ සුබ සාධනය සඳහා විධිමත් ආකෘතියක් යටතේ විසඳුම් ලබාදිය යුතුය. උදාහරණයක් ලෙස දිර්ඝකාලීනව පවත්වාගෙන යා හැකි ආකාරයට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා බහුවිධ ක්‍රමවේද හඳුන්වාදීම ප්‍රමුඛ වේ. එසේම පොදුවේ රටට බත සපයන ගොවි ජනතාව දරිද්‍රතාවයෙන් ගලවා ගැනීම පොදු මහත් ජනතාවගේ වගකීමක් බවට සමාජ සම්මතයක් ඇතිකොට ඒ සඳහා රාජ්‍ය මුදල් යෙදවිය යුතුය. වකුගඩු සටන යුද්ධයක් බවට පත්කොට ජයග්‍රහණයෙන් අවසන් කිරීම සඳහා ඒ සෑම සටන් පෙරමුණකම සටන් වැදිය යුතුය. එය චන්න ජයසුමනලාට තනිව කළ හැකි දෙයක් නොවේ. ඔවුන් සටනේ පෙරමුණු කිහිපයක ජයග්‍රහණ අත්පත්කොට දී ඇත. දැන් සියලු දේශපාලන පක්‍ෂ සහ පොදු ජනතාව අනෙකුත් සටන්බිම්වල සටන් තම අතට ගත යුතුව ඇත. ජාතියක් ලෙස අප ඊට සූදානම් නොමැත්තේනම් අවසන් ප්‍රතිඵලය වන්නේ සමස්‌ත ජාතියම ඊට ගොදුරු වීමය. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.
වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්‌ඩාර
http://www.divaina.com/2016/09/05/feature01.html
Pic1 Source
Pic2 Source
0 comments:
Post a Comment