Pages

Monday, November 4, 2013

රටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!

ලොව පුරා මුස්‌ලිම් බැතිමත්හු හඡ්ජි උත්සවය සැමරුවේ ඉකුත් 16 වැනිදාය. හඡ්ජි උත්සවය වෙනුවෙන් අල්ලා දෙවියන් නමස්‌කාර කිරීම සඳහා අනුරාධපුරයේ සහිරා මුස්‌ලිම් මහා විද්‍යාලයේ ඉදිකර ඇති පල්ලියට පැමිණි සාම්ප්‍රදායික මුස්‌ලිම් කාන්තාවන්ට "තව්හීඩ්" නමැති අන්තවාදී කණ්‌ඩායමක්‌ බාධා කරමින් සිදුකළ කලබැගෑනිය පිළිබඳව පුවත සෑම පුවත්පතකම පළවී තිබිණි. මෙම සිද්ධියෙන් පසුව කිසිවෙක්‌ මේ ගැන සාකච්ඡා කිරීමට නොපෙළඹුණද ඇත්තෙන්ම අනුරාධපුරයේ ජරමරය ගැන විශේෂ අවධානයක්‌ යොමු කිරීම වැදගත්ය. මන්ද මෙයින් පෙනීයන්නේ සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන්ටද මේ අන්තවාදීන්ගෙන් තර්ජන එල්ලවීමට පටන්ගෙන ඇති බවයි. මේ තර්ජන අන්‍යාගමිකයන්ටත් එල්ල වුවහොත් සිදුවන්නේ කවරක්‌ද?

ශ්‍රී ලංකාවේ මුස්‌ලිම්වරු සුන්නි නිකායට අයත් මුස්‌ලිම්වරුන්ය. එහෙත් මෑතක සිට වහාබ්වාදය වේගයෙන් පැතිරෙමින් ඇත. තව්හීඩ්වරුන්ද වහාබ්වාදීන්ය. සුන්නි වහාබ්වාදයේ ප්‍රමුඛ ප්‍රතිඵලයක්‌ වන්නේ ඔසාමා බින් ලාඩන්ය. තලෙබාන්වරුන්ද තවත් ප්‍රතිඵලයකි. එවන් තත්ත්වයක්‌ තුළ අනුරාධපුරයේ මුස්‌ලිම් කාන්තාවන්ට එල්ල වූ තර්ජන ගැන නිහඬව සිටීමට නොහැකිය. වහාබ්වාදය උපත ලැබුවේ සවුදි අරාබියේදීය. එය ආගමික පුනරුද ව්‍යාපාරයක කොටසක්‌ ලෙස ආරම්භ විය. නමුත් දැන් එය ආගමික මූලධර්මවාදී ව්‍යාපාරයක්‌ බවට පත්වී ඇත. 18 වැනි ශතවර්ෂයේ පහළ වු මෙම මතවාදයේ මූලාරම්භකයා ලෙස සැලකෙන්නේ මුහමඩ් ඉබ් අඩ් අල් වහාබ් ය. අද ෂියා මුස්‌ලිම්වරු ඝාතනය කිරීමට පෙළඹෙන්නේද මේ වහාබ්වරුය.

සවුදි අරාබිය ලොව පුරා ආගමික අන්තවාදය සඳහා මුදල් ලබාදෙන බව ප්‍රකට රහසකි. ඇත්තෙන්ම වහාබ්වාදය ලොව පුරා පැතිරවීම පිණිස පසුගිය කාලය පුරා සවුදිය ඩොලර් බිලියන 87 ක්‌ වැයකර ඇත. ශ්‍රී ලංකා ආර්ථිකයේ වටිනාකමද ඩොලර් බිලියන 59 කි. එයින්ම මේ මුදල් ප්‍රමාණය කොපමණද යන්න හොඳින්ම වටහාගත හැකිය. නැගෙනහිර පළාතේ හතු පිපෙන්නාක්‌ මෙන් ඉදිවන මද්රාෂා හා මුස්‌ලිම් පල්ලිවලට මුදල් ලැබෙන්නේ සවුදියෙනි. මද්රාෂා එනම් මුස්‌ලිම් දහම් පාසල්වල ඉගැන්වෙන්නේ වහාබ්වාදය මිස සාම්ප්‍රදායික මුස්‌ලිම් ආගම නම් නොවේ. සිය ගණන් මුස්‌ලිම් නොවන පුද්ගලයින් මුස්‌ලිම් ආගමට බන්දවා ගැනීමටද සවුදිය ඩොලර් මිලියන ගණනින් වැය කරයි.

ඇත්තෙන්ම වහාබ්වරුන්ගේ මතය අනුව තමන්ගේ සම්ප්‍රදායට අයත් නොවන සියල්ලන්ම සතුරන්ය. එනිසාම අනුරාධපුරයේ සාම්ප්‍රදායික මුස්‌ලිම් කාන්තාවන්ට එරෙහිව ප්‍රහාර එල්ල විය. වහාබ්වරු 1801 හා 1802 දී ෂියාවරුන්ගේ පූජනීය පල්ලියක්‌ පිහිටි ඉරාකයේ කර්බලා නගරයට පහර දුන්හ. මහම්මත්තුමාගේ මුණුපුරකු වන හුසේන් අලිගේ සොහොන්කොත විනාශ කරමින් සිය ගණන් ඝාතනය කළහ. එය අදත් එයාකාරයෙන්ම සිදුවෙයි. ඉරාකයේ ෂියා මුස්‌ලිම්වරුන්ගේ පල්ලිවල පිපිරෙන්නේ කිලෝ සිය ගණන් බරැති බෝම්බය. ඉරාකය අරාජික රාජ්‍යයක්‌ බවට පත්ව තිබෙන්නේ සුන්නි සටන්කාමීත්වය නිසාය. මේ සුන්නිවරුන්ට බෝම්බ ගසන්නට මතවාදය සපයන්නේ කවුරුන්ද? වහාබ්වරුන්ය.

වහාබ්වාදය අතු ඉතිරි පැතිරී ලොව පුරා වේගයෙන් පැතිරෙන්නට පටන්ගත්තේ 1970 න් පසුවය. සවුදි අරාබිය සෑම වසරකම මේ ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 2-3 බැගින් වෙන් කළේය. වහාබ්වාදය පැතිරීම වෙනුවෙන් ලොව පුරා මුස්‌ලිම් පල්ලි 1500 ක්‌ අධ්‍යාපන මධ්‍යස්‌ථාන 210 ක්‌ද තවත් සියගණනක්‌ මද්රාෂාද ඉදිකර ඇති බව මාධ්‍යවේදී ඩාවුඩ් අල් ෂරීෆ් ප්‍රකාශ කරයි. මේ සියල්ල සිදුවන්නේ තෙල් සල්ලි මතය.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය සවුදි රජතුමා විසින් හෙළා දකිමින් ඔසාමා බින් ලාඩන්ව දැඩිසේ විවේචනය කළහ. නමුත් ඔසාමාට මේ ත්‍රස්‌තවාදය වෙනුවෙන් මතවාදය සැපයුනේ කොතැනින්ද? ඒ සඳහා මුදල් සැපයුනේ කොතැනින්දීද යන්න සොයා බැලිය යුතුය. පකිස්‌ථානයේ මද්රාෂාවල ලොව බොහෝ රටවල මුස්‌ලිම් තරුණයෝ ආගම උගනිති. ඒවා අද ත්‍රස්‌තවාදීන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා බවට පත්ව ඇති බව ප්‍රකට කරුණකි. එහෙත් මේවාට මුදල් සැපයෙන්නේද සැප්තැම්බර් ප්‍රහාරය හෙළා දකින සවුදි රජුගෙන්මය.

අද සිරියාවේ සිදුවන්නේ කුමක්‌ද? ජනපති බෂාර් අල් අසාද්ට එරෙහිව සිදුවන කැරැල්ල කුමක්‌ද? එය වහාබ්වාදීන්ගේ අරගලයයි. ෂියා පාලනයට එරෙහිව සටන් වදින්නට සවුදි අරාබිය සිරියානු කැරළිකරුවන්ට මුදල් පොම්ප කරයි. 2011 මාර්තුවේ ඇතිවූ කැරැල්ලෙන් මේ වන විට සිරියානුවන් ලක්‍ෂයකට අධික පිරිසක්‌ මියගොස්‌ තවත් මිලියන ගණනක්‌ අනාථ වී ඇත. වහාබ්වාදීන්ට අවශ්‍ය පරිදි තවමත් සිරියානු ජනපතිව එළවා දැමීමට හැකිවූයේ නැත. ඉරානය මේ වහාබ් අන්තවාදයට එරෙහිව කටයුතු කරයි. ඉරාකයේ දිනපතාම ෂියා මුස්‌ලිම්වරුන් සිය ගණනින් ඝාතනය වන්නේද මේ වහාබ්වාදයෙන් පෝෂණය වූ සුන්නි ත්‍රස්‌තවාදය නිසාය. අද ඉරාකය අසාර්ථක රාජ්‍යයක්‌ වී සිවිල් යුද්ධයක පැටලී ඇත. මේ ආගම් උමතුව නිසා වැඩියෙන්ම මරණයට පත්වන්නේද මුස්‌ලිම් ජාතිකයෝය. හොස්‌නි මුබාරක්‌ බලයෙන් පහකළ පසු මුස්‌ලිම් සහෝදරත්වයේ මොහොමඩ් මොර්ෂි එරට බලයට පත්විය. මුස්‌ලිම් අන්තවාදයට එරට නැඹුරුවනු දුටු හමුදාව එනම් ජෙනරාල් සිසි වහාම මොර්ෂි ජනපතිවරයා බලයෙන් පහකරනු ලැබීය. දැන් මුස්‌ලිම් සහෝදරත්වය එරට තහනම් කර ඇත. මේ සහෝදරත්වයට ආධාර සැපයුවේ කව්ද? සවුදිඅරාබිය මිස අන් රටක්‌ නොවේ. ලිබියාවද අද මුස්‌ලිම් අන්තවාදයේ ගොදුරක්‌ බවට පත්වන තැනක්‌ බවට පත්වී ඇත. අරාබි වසන්තය කෙසේ වෙතත් මේ හරහා වහාබ්වාදීන්ට සිය බලය වඩාත් තහවුරු කිරීමට හැකියාව ලැබිණි.

සමස්‌ත ලංකා තරීකතුල් මුෆ්ලීහීන් සංවිධානයේ සභාපති එම්. සී. ඒ. හමීඩ් මහතා ප්‍රකාශ කරන්නේ මෙරට තරුණ මුස්‌ලිම්වරුන්ට සවුදි අරාබියෙන් ශිෂ්‍යත්ව හා රැකියා පිරිනැමුණු බවත් විශේෂයෙන් සවුදි විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව අධ්‍යාපනය අවසන් කළ තරුණයන් මෙරටට පැමිණියේ වහාබ්වාදී න්‍යාය තම හිසේ රඳවාගෙන බවයි. මෙරට සාම්ප්‍රදායික මුස්‌ලිම්වරු සුෆීවරුය. නමුත් තව්හීඩ්වරු ඔවුන්ට එරෙහි වෙති. අනුරාධපුරයේ සිද්ධියද එවැන්නකි.

කාත්තන්කුඩිය ප්‍රදේශයේ වහාබ්වරුන් නොඑසේනම් තව්හීඩ්වරු ඉතා හොඳින් බලය පතුරුවාගෙන සිටිති. සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන්ට එරෙහිව මේ තව්හීඩ්වරු කිහිපවිටක්‌ම ප්‍රචණ්‌ඩත්වය මුදාහළහ. තරීකතුල් මුෆ්ලීහීන් සංවිධානය කාත්තන්කුඩියේදී මුස්‌ලිම්වරු සඳහා ද මානසික සහනය ලබාදීම පිණිස භාවනා මධ්‍යස්‌ථානයක්‌ පිහිටු වූ අතර එයට 1996 මැයි 29 වැනිදා වහාබ් අන්තවාදීන්ගෙන් ප්‍රහාරයක්‌ එල්ල විය. ඔවුහු මේ මධ්‍යස්‌ථානයට බෝම්බ ගසා ගිනි තැබූහ. 2004 දී ද මෙම මධ්‍යස්‌ථානය වහාබ් අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්‌විය. තරීකතූල් සංගමයට අයත් මුස්‌ලිම්වරුන්ගේ නිවාස හා දේපළ ගිනි තැබීය. 2009 දී උකුවෙල නගරයේ වසර 150 ක්‌ පැරැණි මුස්‌ලිම් පල්ලියක්‌ ගිනිතබා විනාශ කරනු ලැබුවේ තව්හීඩ්වරුන් විසිනි. 2009 දී බේරුවලදී තව්හීඩ්වරුන් හා සම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් අතර යුද්ධයක්‌ ඇතිවිය. එහිදී දෙදෙනෙක්‌ මරුමුවට පත්වූ අතර තවත් 40 ක්‌ තුවාල ලැබූහ. මේ සටනින් පසුව 132 ක්‌ අත්අඩංගුවට ගැනිණි. ආරක්‍ෂාව සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය කැඳවන්නට සිදුවිය.

ශ්‍රී ලංකාව පුරා මුස්‌ලිම්වරුන් අතර වහාබ්වාදය ශීඝ්‍රයෙන් පැතිරීම බරපතළ ප්‍රශ්නයකි. පසුගියදා ග්‍රෑන්ඩ්පාස්‌ සිංහල මුස්‌ලිම් ප්‍රශ්නය පිටුපසද වහාබ්වාදීන් සිටි බව ප්‍රකට කරුණකි. ඇත්තෙන්ම සම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් මේ අන්තවාදී කල්ලියකගේ ගොදුරු බවට පත් වුවහොත් එය සමස්‌ත රටටම ප්‍රශ්නයක්‌ වනු ඇත. අවසානයේ මේ වහාබ්වාදීන් අවි අමෝරනු ඇත්තේ බෞද්ධයින්ට එරෙහිවය.

චතුර පමුණුව
http://www.divaina.com/2013/11/03/feature21.html

සබැඳි ලිපි -
[
අනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.htmlග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_18.htmlමුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.htmlලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.htmlඅල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
]

2 comments:

Anonymous said...

තොරතුරු වලට ස්තූතියි. මට අහන්න කාරණා 2ක් තියනවා...
1. අපේ රටේ හමුදාපති මේ ළඟදී කිව්වා මේ රටේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් නෑ කියලා....මට තියෙන ප්රතශ්නය හමුදාපති මේ ගැන දන්නේ නැත්ද කියන එක යි නැත්තම් අපෙ ආරක්ෂක අංශ ඉස්ලාම් අන්තවාදය කියලා කියන්නේ ආයුධ සන්නද්ධ අන්තවාදී කල්ලි වලට විතරද කියන එක. ඒක එහෙම නම් අපේ රටේ ආරක්ෂක පද්ධතියේ අපිට මේවා ගැන වෙනම සොයාබලන ක්රලමයක් තියෙන්න ඕනි.

2. මෙතව චතුර විසින් සාම්ප්රොදායික මුස්ලිම් හා වහාබ් කියලා කොටස් දෙකක් ගැන කතා කරනවා. අපේ සමහරක් අය (බොදු බල වගේ) පහර දෙනවා නින්දා කරනවා සාම්ප්ර දායික මුස්ලිම් ජනතාවට. එතකොට මේ වහාබ් වරුන්ට සාම්ප්රුදායික ඉස්ලාමය ඉවත් කරන්න ලේසි වෙනවා නේද?

Anonymous said...

යාළුවා කරන වැඩේ නියමයි, මේ වගේ නියම කියවීමක් තියන web බොහොම අඩුයි. ඔයාල වගේ ගොඩක් පිරිස ඉන්නවා ඒ අය එකට එකතු විය යුතුයි, සිංහල මිනිහට කතා කරන්න ශක්තිමත් web අඩවියක් නිර්මාණය වියුතුයි. පුද්ගලිකකව කතා කරන්න කැමති නම් email එක්කක් දාන්න.