Pages

Sunday, November 17, 2013

ආර්ථික ඉතිහාසය ජීවමාන කළ වගයි. මෙන්න සල්ලි කෞතුකාගාරය..!

කෞතුකාගාරයක ආරම්භය පිළිබඳ සඳහන් වන්නේ ග්‍රීසියේ ඇතෑන්ස්‌ නුවරින්ය. ඒ ප්ලේටෝ නැමැති දාර්ශනිකයා ජීවත්වූ කාල වකවානුවේදීය.

ශ්‍රී ලාංකිකයන් වන අපට ද කෞතුකාගාර පිළිබඳ ඇත්තේ ඊට නොදෙවැනි ඉතිහාසයකි. දේවානම්පියතිස්‌ස රජු දවසේ සංඝමිත්තා තෙරණිය විසින් ජය ශ්‍රීමහා බෝධි අංකුරය රැගෙන වැඩම කළ නැවේ කොටස්‌ අනුරාධපුර ඇතුල්නුවරදී කෞතුක භාණ්‌ඩ වශයෙන් තබා මිනිසුන්ට පෙන්වූ බව මහාවංශය කියයි. එය අපේ කෞතුකාගාර ඉතිහාසයේ ආරම්භයයි.

සියවස්‌ ගණනක්‌ ගෙවුණු අපේ ඉතිහාසයේ විටින් විට ඓතිහාසික හා සංස්‌කෘතික වටිනාකමකින් යුතු කෞතුක භාණ්‌ඩ ජනතාවට නැරඹීම සඳහා තබන ලදී. ඒ අනුව බිහිවූ කෞතුකාගාර රැසක්‌ අප රට තුළ තිබේ. එනම් ඕලන්ද කෞතුකාගාරය මහනුවර ජාතික කෞතුකාගාරය, සමුද්‍ර කෞතුකාගාරය, ජාතික ස්‌වභාවික විද්‍යා කෞතුකාගාරය, කොළඹ ජාතික කෞතුකාගාරය ආදියයි.

මෙම කෞතුකාගාර බොහොමයක්‌ ඉදි කළේ අප රට පාලනය කළ විදේශිකයන් සහ විවිධ ආයතන මගින්ය. 

අප මේ කතා කරන්නට යන්නේ එවන් ආයතනයක්‌ මගින් ආරම්භ කළ කෞතුකාගාරයක්‌ ගැනය.

මෙම නව කෞතුකාගාරය හිමිකරු ශ්‍රී ලංකා මහ බැංකුවයි. මුදලේ විකාශනය අතීතයේ සිට වර්තමානය දක්‌වා විග්‍රහ දක්‌වමින් ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය මහ බැංකුව විසින් ආරම්භ කර ඇත.

මෙම කෞතුකාගාරය ගැන සඳහන් කිරීමට මත්තෙන් එම ගොඩනැඟිල්ල ගැන ද සටහනක්‌ තැබිය යුතුය. ඒ මන්ද යත් එම ගොඩනැඟිල්ල ද ඓතිහාසික වටිනාකමකින් යුක්‌ත බැවිනි. චැතැම් වීදිය ආරම්භයේ පිහිටි මෙම ගොඩනැඟිල්ලට 1911 වසරේදී මුල්ගල තැබුණු අතර 1914 වන විට මෙහි ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කරන ලදී. ඉන්පසු එය හැඳින්වූයේ "නැෂනල් මියුචුවල්" යන නමිනි. එකල එය කොළඹ පැවැති උසම ගොඩනැඟිල්ල විය.

විටින් විට විවිධ ආයතන සතුවූ මේ ගොඩනැඟිල්ල 2011 වසරේදී ශ්‍රී ලංකා මහා බැංකුව සතුවිය. අබලන්ව තිබූ මෙම ගොඩනැඟිල්ල ඊට ආවේනික වූ ගෘහ නිර්මාණ ශිල්පියා සහ පෞරාණික අගය රැක ගනිමින් යළි ප්‍රතිසංස්‌කරණය විය. ඉන්පසු එය "සෙන්ට්‍රල් පොයින්ට්‌" යන නව නමකින් හඳුන්වන ලදී. ලංකාවේ මංමාවත්වල කොළඹ සිට දුර මනින ආරම්භක ලක්‍ෂය සේ සලකුණු ලබන හෝරා කුලුනට නුදුරින් මෙම ගොඩනැඟිල්ල පිහිටා තිබෙන හෙයින් "සෙන්ට්‍රල් පොයින්ට්‌" යන නම මෙම ගොඩනැඟිල්ලට යොදා ඇත.

ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය පිහිටා තිබෙන්නේ මෙම සුවිශේෂී ගොඩනැඟිල්ල තුළයි.

මානව ඉතිහාසයේ මුල් යුගයේ සිට මිනිසුන් අතර විවිධ ගනුදෙනු ක්‍රම පැවතිණි. එහි මුල් පියවර ලෙස භාණ්‌ඩ හුවමාරු යුගය හැඳින්විය හැකිය. ඒ සඳහා ගල් කැබැලි, සත්ත්ව ඇටකටු, හම් සහ සිප්පිකටු ආදිය භාවිත කෙරුණි. කල්යත්ම මෙය කරදරකාරී කටයුත්තක්‌ වූ නිසා මානවයා ඉන් ඔබ්බට ගොස්‌ විවිධ ලෝහ කැබැලි භාවිතාකරන ලදි. එයින් ද සෑහීමකට පත් නොවූ මානවයා ලෝහ භාවිතයෙන් විවිධ හැඩතලවලින් යුක්‌ත වූ කාසි නිපදවීමට පෙළඹුණේය. එය වැඩි දියුණුවී රන්, රිදී. ආදි වටිනා ලෝහවලින්ද කාසි නිපදවන ලදි.

ඒ අප ඉතිහාසයේ යම් කාලයක මුදල් භාවිතා කළ අයුරුය.

ඉන්පසු ගනුදෙනු පුළුල්වීමත් සමග මෙම කාසි භාවිත කිරීමට ඇති අපහසුතාවයක්‌ නිසා අඩු වියදමකින් හා පහසුවෙන් ගෙන යා හැකි අයුරින් මුදල් නිපදවීමට පෙළඹුණි. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස කඩදාසිවල මුද්‍රණය කරනු ලබන මුදල් නෝට්‌ටු මුද්‍රණය කරන ලදී. මීට අමතරව විදේශීය පාලන සමයන්හි හා විදේශීය වෙළෙ¹ම් හරහා අප රට තුළ විදේශීය මුදල් ද භාවිත කෙරුණු අතර එම නිසා විවිධ කාසි හා නෝට්‌ටු රට තුළ තිබිණි.

ඉතිහාසය දැක බලා ගැනීමට පසුගිය දිනෙක අපිත් ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය වෙත ගියෙමු. එදිනට මෙම කෞතුකාගාරය විවෘත කර දින දෙකකි. නමුත් එහි ජනතාවගෙන් නම් අඩුවක්‌ දක්‌නට නොලැබිණි.

කෞතුකාගාරයට ඇතුළු වූ පමණින්ම අප සිටින්නේ වෙනම ලොවකැයි සිතේ. භාණ්‌ඩ හුවමාරු යුගය සංකේතවත් කරමින් එහිදී ගනුදෙනු සිදුවූ අයුරු පෙන්වන මිනිස්‌ රූප ජීවමාන රූපමෙන් දිස්‌වේ.

අනුරාධපුර රාජධානියේ සිට රාජධානියෙන් රාජධානිය දක්‌වා භාවිත කළ කාසි වර්ග වෙන වෙනම විස්‌තර සහිතව එහි තිබේ. අපේ මුල්ම කාසිය වුණු රන් කහවුණු කාසියක්‌ ද මෙහි දක්‌නට ඇත. විජයබාහු රජුගේ රුව රැගත් කාසිය තවමත් එලෙසින් පවතී. අප අසා ඇති පනම, පැන්සය, සිලිම ආදි මුදල් වර්ග මෙහිදී පියවි ඇසින් බලා ගැනීමට හැකිය.

විදේශීය පාලකයන් ලංකාව තුළ භාවිත කළ සියලුම කාසි හා නෝට්‌ටු ද මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇත. විදේශීය නාවික, වෙළෙඳ මධ්‍යස්‌ථානයක්‌ ලෙස අප රට භාවිත කළ සමයන්හි භාවිත කළ විශාල කාසි එකතුවක්‌ මෙහි ඇත. එහිදී වැඩිපුර දක්‌නට ලැබෙන්නේ රෝම කාසිය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ සමරු කාසි හා මුදල් නෝට්‌ටු ආදිය මෙහිදී මහජනතාවට මිලදී ගැනීමේ හැකියාව ද තිබේ.

තවද මුදල් නෝට්‌ටු පිරිසිදුව පරිහරණය කරන්නේ කෙසේ ද, ව්‍යාජ මුදල් නෝට්‌ටු හඳුනා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව විස්‌තර මෙහිදී දැන ගත හැකිය. මානව ඉතිහාසය මුලසිට යුගයෙන් යුගය මිනිසා භාවිතා කළ හා වර්තමානයේ අප භාවිතා කරන සියලුම කාසි හා මුදල් නෝට්‌ටු පිළිබඳ අපේ මුදලේ දිගු කතාව මෙය නරඹන කාහටත් දැකගත හැකිය.

රටක ඉතිහාසය හැදැරීමේදී ඒ රටේ කලින් කල භාවිත වූ කාසි හා නෝට්‌ටුවලින් වැළලුණු ඉතිහාසයක ආර්ථික, සමාජයීය. දේශපාලන කරුණු කාරණා පිළිබඳ දැනගත හැකි කරුණු සම්භාරය සුවිශාලය. ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය නැරඹීමෙන් අපටද ඒ ගැන යම් හෝ අවබෝධයක්‌ ලබාගත හැකිය.

ගයාන් සමරසිංහ | පිංතූර - කමල් බෝගොඩ
http://www.divaina.com/2013/11/17/feature10.html

0 comments: