Pages

Tuesday, November 26, 2013

අපේ යුතුකම් සහ වගකීම්

ධර්ම ප්‍රචාරය සඳහා යෑවූ භික්‌ෂූන් වහන්සේ හැට නමකට බුදුන් වහන්සේ දුන් පළමු වන පණිවිඩය නම් බහුජන හිතාය, බහුජන සුඛාය යන්නය. හැම දෙනකුගේම හිත සුව පිණිස ඇප කැප විය යුතුය යනු ඒ උපදේශයයි.

එම බුදු පණිවිඩය අප හැම දෙනකුගේම ජීවිතය හා බැඳී පවතී. අප කරන හැම වැඩක්‌ ම අපගේ හැම සිතුවිල්ලක්‌ම හැම දෙනකුගේම හිත සුව පිණිසම යොමු වන්නේ නම් මේ සමාජ රටාව අති සුන්දරය.

ගඟක්‌ නදියක්‌ පහළට ගලා ගෙන යන විට ඒ දෙපස වු සියලු වෘක්‌ෂයෝ සරු සාර වෙති. සමාජය ද සරුසාර වන්නේ, හිත සුව යහපතට යොමු වන්නේ මිනිස්‌ ජීවිතය සරුසාර වන විටය.

සමාජ රටාව ගොතන ගුරුවරයා, වෛද්‍යවරයා, ජ්‍යෙතිෂඥයා, කවියා, ලේඛකයා ගීත රචකයා, චිත්‍රපට නිෂ්පාදකවරයා, ටෙලි නාටක අධ්‍යක්‍ෂවරයා, ග්‍රාම සේවකයා, මන්ත්‍රීවරයා වශයෙන් මෙකී නොකී හැම දෙනකුගේම දෛනික කටයුතු හෙවත් වගකීම් භාරය මහජන හිත සුව සඳහාම ප්‍රමුඛ වන්නේ නම් අද අසන්නට දකින්නට ලැබෙන කිසිදු ඛේදනීය පුවතකට ඉඩ නැත.

බසය පදවන රියෑදුරු, තම රථයේ ගමන් කරන්නේ රාජකාරියක්‌ සඳහා යුහුසුළුව යා යුතු ගමනක්‌ බව සිතා තව තවත් මිනිසුන් බසයට නංවා ගැනීමම සිය පරමාර්ථය සේ සලකා ගමන හෙමිහිට තම සිතැඟි පරිදිම කරන්නේ නම් ඔහුගෙන් යට කී අදහස ඉටුවන්නේ නැත.

ගුරුවරයා, තමාගෙන් ශිල්ප ලබන සිසුවා අනාගතයට වැඩදායක කෙනකු කිරීමේ පරම පවිත්‍ර හැඟුම පෙරදැරිව "මේ මගේම දරුවෙකි" යන හැඟêමෙන් මුළු මහත් වගකීම ඉටු කරන්නේ නම් සමාජය අශෝභන වන්නේ නැත. කරදරයක්‌, විපතක්‌ ඉදිරියේ පවති දැයි විමසා බැලීමට තමා වෙත පැමිණෙන්නාට අස්‌ථාන බියක්‌ ඇති කොට මුදල්මය අපේක්‍ෂාව සඳහා අනියම් උපක්‍රම යොදෙන්නේ නම් එම ජ්‍යෙතිෂවේදියා වැඩ කරන්නේ මහජන හිත සුව පිණිස නොවේ.

අනූව දශකයේ දී පමණ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වූ බොහෝ චිත්‍රපට "වැඩිහිටියන්ට පමණයි" යන හනිවරය යටතේ පැවැති ඒවා විය. ඒ චිත්‍රපට එදා නැරඹූ වැඩි දෙනෙක්‌ වැඩිහිටියෝ නොවුහ. ගැටවර වියේ තරුණයෝය, බාලයෝය. මේ වන විට ගැටවරයාට වයස අවුරුදු තිහක්‌ හතළිහක්‌ වෙයි. ඒ පිරිස අද වැඩිහිටියාට පමණක්‌ වු අත්දැකීම් ක්‍රියාවට නංවති. වයසින් පරිණත නොවු දරුවාගේ ස්‌වභාවය අලුත් අත්දැකීම් සොයා යැමය. වත්මන් සමාජ අර්බුදයට එක්‌ හේතුවක්‌ එයයි. එදා එම චිත්‍රපටය සමාජයට ඉදිරිපත් කරන ලද ව්‍යාපාරිකයාගේ පරමාර්ථය මුදල් පමණි. අනාගතයට මෙසේ විය හැකියයි කල්පනා කළේ නැත. එහෙයින් එම කලාව මහජන හිත සුව පිණිස නොවේ.

ජීවත් වීම අරගලයක්‌ව ඇති හෙයින් හැම කෙනකුම මුදල් පසු පස හඹා යැම ගැන දොස්‌ කිව හැකිය. එහෙත් සමාජ දූෂණයට හේතුවන බොහෝ දේ කෙරෙන් පරිබාහිරව කටයුතු කරන්නේ නම් වැරැදි අවම කර ගත හැකිය.

ගීතයක්‌ අයහපත් අයුරින් රචනා කරන්නාත්, එයට ප්‍රතිචාර ලබා දෙන්නාත් යන දෙදෙනාම සමාජ විරෝධී ආකල්ප පෙරදැරිව ඒ කටයුත්ත කර ඇති අවස්‌ථා දක්‌නට ලැබේ. සුභාෂිතයේ හෝ ලෝකෝපකාරයේ වූ කවියක හරබරකම හෙවත් ජීවිතයට ලබා දෙන පූර්වාදර්ශය වත්මන් ගීතයක නැත. වත්මන් ගීතවල අරුත බොහෝ විට පිළුණු ආදරයක දෝංකාරයයි. ඇතැම් ජන කවියක්‌ බණ කතාවක්‌ වැනිය. ඇතැම් වත්මන් ගීතයක අරුත මඩ වතුර මෙනි.

ඇතැම් දරුවෙක්‌ සිය පියා වැඩ ඇරී සවසට ගෙදරට එන විට ඉදිරියට දුව ගොස්‌ පියාගේ ඇගේ එල්ලෙයි. තවත් දරුවෙක්‌ සිය පියා නිවසට ළං වන විට බියේ සැඟවෙයි. එහෙම වන්නේ ඇයි? ඒ දෙදෙනාම පියවරුන් වූවත් පිය පුතු සෙනෙහසේ දැවැන්ත පරතරයක්‌ ඇත. බීමත්ව නිවසට ළගාවන පියාට දරුවා කැමැති නැත. සෙනෙහස පොදි බැඳගෙන නිවසට ළඟා වන පියා දරුවාට උතුම් දර්ශනයකි.

වත්මන් තරුණ පරම්පරාවේ වැඩි දෙනකු පාවිච්චි කරන අතේ ගෙන යන දුරකථනයේ අසැබි දර්ශන වෙයි. එය අනෙක්‌ තරුණයන් අතටත් පත් වන්නේ ශීඝ්‍රයෙන් බෝ වන රෝගයක්‌ මෙනි. ඒ රහස්‌ අසැබි දර්ශන පසුබිමේ කූට ව්‍යාපාරයක්‌ ද ඇත. දුරකථනය භාර නියමුවා විදුලි සන්දේශ නියාමන කොමිසම වූවත් ඒ සංවිධානයට ද මේ රෝගයට බෙහෙත් නැත.

විලාසිතා ඉදිරිපත් කරන බොහෝ පුවත්පත් සඟරාවල අඩ නිරුවත් ඡායාරූප පළවෙයි. එය පාඨකයා බැඳ තබා ගැනීමේ උපායක්‌ වෙතත් එයින් සමාජයට සිදුවන අනර්ථය වැඩිය. බොහෝ වෙළෙඳ භාණ්‌ඩ අලෙවි කර ගැනීමේ උපාය මාර්ගය නිරුවත ඉදිරිපත් කිරීමය. ඒ සියලු ව්‍යාපාර තුළ බහුජන හිතාය, බහු ජන සුඛාය යන පණිවිඩය නැත.

"වත්තං න පරිපූරතො න සීලං පරිපූරති" යන පාඨයක්‌ බණ පොතේ වෙයි. වත් සම්පූර්ණ නොකරන්නා සිල් සම්පූර්ණ නොකරයි යනු එහි අදහසයි. ඒ වූ කලී භික්‌ෂූන් වහන්සේ උදෙසාම පැන වූ ශික්‍ෂා පදයක්‌ වූවත් ගිහි ජීවිතයේ අප හැමටම ප්‍රමුඛ වන උපදෙසකි. අද මුහුණ සෝදන්නා සේ හෙටත් මුහුණ සේදිය යුතුය. අද දත් මදින්නාක්‌ මෙන් හෙටත් දත් මැදිය යුතුය. ඇඳි වත යළි සේදිය යුතුය. ඒ පිළිවෙත අතරමගදී කැඩුණොත් ජීවිතය ශෝභන නැත. මේ දෛනික පිළිවෙත කා වෙතිනුත් විය යුතුය. අනෙක්‌ කටයුතු ද එසේය. අප හැම දිනෙකම පන්සිල් ගැනීමෙන් දිනපතා සිත පිරිසිදු කර ගත යුතු වෙයි.

සමාජය සුවදායක තැනක්‌ වීමට පන්සිල් පද රැකීම වුවත් සෑහේ. හැම දෙනම එය සුරකින්නේ නම් පොලිසියක්‌ අවශ්‍ය නැත. උසාවියක්‌ අවශ්‍ය නැත. උසාවිය මිනිසුන්ගෙන් පිරෙන්නේ වැරදි සිදුවීම් වැඩි නිසාය.

දහස්‌ ගණනක්‌ පන්සල්, පල්ලි, පාසල් හා සරසවි වෙයි. ඒ හැම තැනකින්ම කෙරෙන්නේ බහුජන හිතාය, බහු ජන සුඛාය යන අදහස ඉටුකිරීමක්‌ නම් පොලිසියට වැඩ නැති වෙයි. උසාවිය හිස්‌ වෙයි. එහෙත් දිනෙන් දිනම අපරාධ වැඩි වෙයි.

හොඳ පියෙකු වීමට, පියා නිවැරදි විය යුතුය. හොඳ ජීවිතයක්‌ සඳහා අඹු - සැමි දෙදෙනාම නිවැරදි විය යුතුය. හොඳ ගුරුවරයකු වන්නේ මනසින්, දැනුමෙන්, අපේක්‍ෂාවෙන් නිවැරදි වූ විටය.

සඳකැන් සෙලින් තැනූ ගෙය අන්තිම හැඩය. ඒ තුළ සිටින මිනිහා අන්තිම ජඩය. ඒ විවරණය අසාධාරණයෑයි කීම අමාරුය.

මිනිසුන්ගේ නහර තුළ ලෙයට වඩා දේශපාලනය ගලයි. එකිනෙකාට වෛර කිරීමේ ජඩ ගතිය මිනිස්‌ හදවත් තුළ පදිංචි වන්නේ ඒ පසුබිමේය. දේශපාලනය ද බහුජන හිත සුව පිණිසම විය යුතුය.

පංචායුධ පළඳනාවක්‌ සහිතව දරුවෙකුට මහමග යන්නට බැරිය. හොරාගේ අත එතැනට ළං වෙයි. පසුම්බිය සාක්‌කුවේ ඇතිව මගියකුට බසයක ගමන් කිරීම අමාරුය. ගැට කපන්නා එතැන වෙයි. දොර අඩවන් කර තබා ගැමියකුට එළිමහනට යන්න බැරිය. කුඩුකාරයා ගෙට රිංගයි. දොර යතුරු දමා ගෙන කෙනකුට ගෙදර සිටින්නට බැරි තරම් හොරා පොලිසිය පැමිණ දොරට තට්‌ටුකර පහසුවෙන් ගෙට ඇතුළු වෙයි. එහෙව් සමාජයක ජීවත් වීමට සිදුව ඇත. අල්ලස මොන තරම් භයානක තත්ත්වයකට පත්ව ඇද්දැයි විවරණය කරතොත් අල්ලස මුදලින් නොවෙතොත් එය ලිංගික අල්ලසක්‌ වෙයි.

රජයේ ලේඛනාගාරයට ගොස්‌ තිහේ දශකයේ හෝ එයට ආසන්න දිනෙක පුවත්පතක්‌ ඉල්ලාගෙන බලන්න. අපරාධ පිළිබඳ වාර්තා නැති තරම්ය. අල්ලස, දුරාචාරය ගැන වාර්තා නැති තරම්ය. හැම පිටුවකම ශාස්‌ත්‍රීය ලිපියක්‌, සිත සනසන කවි පෙළක්‌, කමලා ළමා සමාජය වැනි ළමයින්ගේ පිටුවක්‌ ඒ පත්තරයක වෙයි. වත්මන් පුවත්පතක්‌ පෙරළන්න. පුතා පියාට පොල්ලෙන් ගසයි. සැමියා බිරියගේ බෙල්ල මිරිකා මරයි. මව දරුවන් වඩාගෙන ළිඳට පනී. ගුරුවරයා බාලයා අපයෝජනය කරයි. චීවරධාරියා හොර නෝට්‌ටු ජාවාරමේ, අඹු සැමි යුවළක්‌ කුඩු වෙළඳාමේ වැනි වාර්තාවක්‌ හැම පිටුවකම වෙයි. එදා සමාජයත් අද සමාජයත් අතර වෙනස එමගින් තරුණයෙකුට වටහා ගත හැකිය. අදත් ජීවත්වන ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට සමාජ පිරිහීම ගැන වැඩි වේදනාවක්‌ දැනෙන්නේ එම වෙනස පැහැදිළි නිසාය.

ළමා වියේ කෙනකුගේ හදවත හෙවත් අධ්‍යාත්මය පිරිසිදු හිස්‌ කඩදාසියක්‌ මෙනි. එහි ඕනෑම වැකියක්‌ ලියන්නට හැකිය. ඕනෑම චිත්‍රයක්‌ අඳින්නට හැකිය. ඒ චිත්‍රය අඳිනු ලබන්නේ සමාජයේ වෙනත් කෙනකු විසිනි.

ඒ නිසා අවස්‌ථාවාදියෙකුට ඒ කඩදාසියේ ඕනෑම සිතුවමක්‌ කළ හැකිය. සරසවියකට ඇතුළු වන සිසුවාගේ අධ්‍යාත්මයේ, කපටි දේශපාලකයෙක්‌ විප්ලවය නැමැති චිත්‍රය අඳියි. එතැන සිට ඔහු සමාජ විරෝධි ආකල්ප ඇති සමාජ කොතැනකට හෝ වෛර කරන නරුමයෙක්‌ වෙයි.

ඉලංගරත්න ඇමැතිවරයාගේ නිවසේ ඉදිරි බිත්තියේ පැල්පතක්‌ බඳු වැඩි දියුණු නොකළ නිවසක පින්තූරයක්‌ විය. ඒ කුමක්‌දැයි දිනක්‌ මම ඇසුවෙමි. ඒ කිම් ඉල් සුං නැමැති රාජ්‍ය නායකයාගේ නිවස බව එතුමා කීය. එය මෙතැනට වැදගත් වුණේ කෙසේදැයි ඇසූ විට, එය දකින මොහොතක්‌ පාසා මගේ අමාත්‍ය අභිමානය බිඳ වැටෙනවා යි එතුමා කීය. තමාගේ නිහතමානී බව එතුමා කිල් ඉම් සුං නායකයාගේ ජීවිතයෙන් උදුරා ගත්තේය.

එක්‌තරා ද්‍රවිඩ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ලියන මේසය ළඟම වූ බිත්තියේ කොස්‌සක්‌ සහ බාල්දියක ඡායාරූපයක්‌ විය. කුතුහලය දනවන මෙම පින්තූරය ගැන මම එහි සේවය කරන්නකුගෙන් ඇසුවෙමි. ඔහු දුන් පිළිතුර මෙසේය.

අපේ දොස්‌තර මහත්තයාගේ පියා කසළ ශෝධකයෙකි. ඒ පියා තමාට ඉගැන්වූයේ ඒ වෘත්තියෙන් ලැබූ වැටුපෙනුයි. ඒ නිසා තාත්තා ගැන සිහිපත්වීම එම පින්තූරයේ අරමුණයි.

පියා ගැන නිතර නිතර සිහිපත් වීමෙන් තමාට කිසියම් නිහතමානී සිතක්‌ ඇති කර ගැනීම ඒ වෛද්‍යවරයාගේ අදහස වී ඇත.

අතීතය සිහිපත් කිරීමට හැකි නම් වැඩි දෙනෙක්‌ නිහතමානී වනු ඇත. ඉතාම පහත් මනසින් යුතු මිනිසුන් සමග ජීවත් වීමට අපට සිදු වී තිබේ. ඒ නිසා ලබන අත්දැකීම් ඔස්‌සේ දැනෙන වේදනාව ඉවසිය නොහැකි තරම්. සුනඛ පිළිවෙත් ඇති මිනිසුන්ගෙන් ඈත් වීම තරම් සතුටක්‌ තවත් නැත. දුෂ්ට අදහස්‌ ඇති මිනිසාට නයාට මෙන් විෂ දළ වූයේ නම් හෙතෙම මුළු මහත් සමාජයටම දෂ්ට කරනු ඇත. එවැනි පෙණයක්‌ නැති නිසා විෂම ඇනුම් පද කියා හෝ විෂම ආරංචි පතුරුවා සතුටු වෙයි. මිනිහා ඒ තරමටම ජඩ වන්නේ ඔහුගේ මා පියන්ගේ ජාන සමග උපත ලද නිසාය. ඒ අනුව භයානකම සතා මිනිසාය. 

ආචාර්ය පියසේන රතුවිතාන
http://www.divaina.com/2013/11/26/feature03.html

0 comments: