Pages

Sunday, November 17, 2013

මහපාරේ රැක සිට මහ දවල් කොල්ලකන කතරගම දෙවියන්ගේ දේපළ

* සියලු ලිපි ලේඛන ව්‍යාජයි ඒත් නිත්‍යානුකූලයි
* කාර් සේල් කාරයන් අතේ ඉඩම් බලපත්‍ර ලෙලදෙයි
* හොර ලයිසන් හදා අනුන්ගේ ඉඩම් විකුණයි

රටක නීතියක්‌ ඇත. පුරවැසියන් ලෙස මේ ලියන මා හා කියවන ඔබත් ජීවත් වන්නේ එකී නීතිය යටතේය. එමෙන්ම ඕනෑම රටක පුරවැසියන් කුමක්‌ හෝ ආගමක්‌ අදහනු ඇත. ආගම දහමට ගරු කරන මිනිස්‌සු අපරාධ නොකර ශිෂ්ටසම්පන්නව ජීවත් වෙති. ආගම දහම නොතකන යම් අයෙක්‌ වේ නම් නීතියෙන් දඬුවම් ලැබෙන නිසා වරදේ නොයෙදී ජීවත් වෙති. එහෙත් ආගමටත්, නීතියටත් දෙකටම අවනත නොවූ කාලකණ්‌ණි රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනකු කතරගම දෙවිහාමුදුරුවන්ගේ අඩවියත් ප්‍රසිද්ධියේ කට්‌ටි කර විකිණීමේ ජාවාරමක නිරතව සිටිති. 

මේ තුච්ඡ හොරකම බලා සිටිය නොහැකි මිනිස්‌සු කීප වතාවක්‌ම අප කාර්යාලයට ද දුරකථනය ඔස්‌සේ දැනුම් දුන්හ. ඒ අනුව අපි පසුගිය දිනක මේ ඉඩම් මංකොල්ලය ගැන සොයාබැලීමට කතරගමට ගියෙමු. ඉඩම් කොල්ලය තවමත් එළිපිටම සිදුවන්නේය. වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.

කතරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉඩම් රජය සතුය. රජයේ ඉඩම් ප්‍රතිපත්තියට අනුව ඉඩම් සංවර්ධන ආඥපනත මගින් ගොඩ ඉඩම් ගොවි පන්තියේ අයට නොමිලේ ලබා දෙයි. ඒ සඳහා සුදුසුකම් ලබන්නකුගේ මාසික ආදායම රුපියල් තුන්දහස නොඉක්‌ම විය යුතුය. ධනපති පන්තියට ඉඩම් ලබා දෙනුයේ දීර්ඝ කාලීන අනූනව අවුරුදු බදු ඔප්පු යටතේය. එම බදු ඔප්පු ලබාගත් විට හිමිකරුවා රජයට වාර්ෂිකව තක්‌සේරු බද්දක්‌ ගෙවිය යුතුය. එමෙන්ම එය වසර පහකට වරක්‌ සංශෝධනය වන්නේය. එහෙත් වසර හය හතක කාලයක සිට රජය සතු ඉඩම් කොළඹ ඇතුළු වෙනත් ප්‍රදේශවල කෝටිපති ව්‍යාපාරිකයන්ට, පැන්ෂන් ගිය ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට, නිළියන්ට, නීතිඥයන්ට සහ හෝටල් අයිකරුවන්ට අත යට මුදලට විකිණීමක්‌ සිදු වේ.

ඒ අල්ලපනල්ලේ දැනට වසර තුන හතරක සිට ඉඩම් හිමිකම් පනත යටතේ ගොවීන්ට බලපත්‍ර ලබාදීම ද රජය නවතා දැමුවේය. මේ තත්ත්වය ප්‍රයෝජනයට ගත් කතරගම හොර දෙටුවන් දෙදෙනකු කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීනියන් කිහිප දෙනකු සම්බන්ධ කරගෙන ඉහත කී ධනපතියන්ගේ මාසික ආදායම රුපියල් තුන් දහසක්‌ බව කියමින් අවශ්‍ය ලේඛන සාදා ඉඩම් බලපත්‍ර රුපියල් දස ලක්‍ෂයක්‌ වැනි අත යට මුදලකට ලබා දෙති. ඒ කම්බ හොරු දෙදෙනා වන්නේ 2000 - 2004 වසරවල කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරයෙක්‌ ලෙස සිට විශ්‍රාම ගොස්‌ සිටින පුද්ගලයෙක්‌ සහ කතරගම නගර වසමේ සේවය කර දැනට කතරගම ග්‍රාම නිලධාරී වසමේ සේවය කරන ග්‍රාම සේවා නිලධාරිවරයෙකි.

ඉඩම් කොල්ලය සිදුකෙරෙන්නේ මෙසේය. කතරගමට ඉඩමක්‌ ගන්න එන අය මුලින්ම හොර ග්‍රාම සේවක නිලධාරීවරයා මුණගැසී ගනුදෙනුව කෙරෙන ආකාරය ගැන කතිකා කර ගන්නේය. එවිට ග්‍රාම සේවක නිලධාරියා 2000 වසරේ භාවිත කළ ඉඩම් ඉල්ලුම් පත්‍රයක්‌ ඒ පුද්ගලයාට ලබාදී 2000-2004 වසරේ ගොවි පන්තියේ විස්‌තර ඇතුළත් වන ආකාරයට එම ලේඛනය පුරවන්න උපදෙස්‌ දෙන්නේය. එසැනින් ක්‍රියාත්මක වන හොර ග්‍රාම සේවකයා එම ඉල්ලුම් පත්‍රයට මහ ලේකම් කාර්යාලය අතීතයේ භාවිත කළ ඉඩම් පරීක්‍ෂණ ලේඛනයට ඇතුළත් කර සම්මුඛ පරීක්‍ෂණයට පැමිණීමේ සටහන් දැමීම සඳහා එකල සේවය කළ ප්‍රාදේශීය ලේකම් වෙතට රැගෙන යන්නේය. (හොර අත්සන් යෙදීම සඳහා හිටපු ප්‍රාදේශීය ලේකම් මසකට වරක්‌ කතරගම නවාතැන් පොළකට පැමිණේ) තෙවනුව එම ඉඩම් ඉල්ලුම් පත්‍රය එවක සේවය කළ ඉඩම් නිලධාරී හෙන්රි ඩයස්‌ මහතාගේ ඉඩම් ලබා දීමේ නිර්දේශය සහිත අත්සන හොරට ගසා මුද්‍රdව තබන්නේය. සිව්වනුව එකල භාවිත කළ ඉඩම් සංවර්ධන ආඥපනතේ හිස්‌ ආකෘතියේ (මේවා කතරගම මහ ලේකම් කාර්යාලයේ සඟවා ඇත) අදාළ ඉල්ලුම්කරුගේ නම ඇතුළත් කර බලපත්‍රය අත්සන් තැබීම සඳහා කාර්යාලයේ ඉඩම් ලෙජරය නැවත හිටපු හොර ප්‍රාදේශීය ලේකම් වෙත ගෙන යන්නේය. මේ සියල්ලට මූලිකත්වය ගෙන සිදු කරගෙන යන්නේ හොර ග්‍රාමයාය.

මේ ඉඩම් මංකොල්ලයේ ආසන්නම සිදුවීම් දෙකකි. කතරගම ඉඩමක්‌ ගත් කෝටිපතියෙක්‌ පසුගිය දිනක එම ඉඩමේ හැදූ ගොඩනැඟිල්ලකට විදුලිය ගැනීමට කතරගම නගර වසමේ ග්‍රාම නිලධාරීවරයා හමු වන්නේය. ඉඩමට බලපත්‍ර නැති නිසා එම ග්‍රාම සේවක මහතා විදුලිය ලබාදීම ප්‍රතික්‌ෂේප කරන්නේය. එහෙත් දෙසතියකට පසුව ඒ කෝටිපතියා ලක්‍ෂ දහයක්‌ ගෙවා ඉඩමට හොර බලපත්‍රයක්‌ ලබාගෙන විදුලිය ලබාගත්තේය. 

දැනට තෙමසකට පසුවත් එවැනිම සිද්ධියක්‌ වාර්තා විය. කතරගම පදිංචි පුද්ගලයකු තම සිතුල්පව්ව පාරේ අක්‌කර හයේ ඉඩම රුපියල් ලක්‍ෂ හැත්තෑවකට කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුට විකුණන්නේය. ගිය මාසයේ ඒ ඉඩම කැබලි හතරකට වෙන් කර හොර බලපත්‍ර හතරක්‌ හදන්නේය. ඒ එක්‌ බලපත්‍රයක්‌ සකස්‌ කරදීමට හොර කල්ලිය රුපියල් ලක්‍ෂ පහක මුදලක්‌ අය කරගෙන තිබිණි.

ගනුදෙනුව ඉතාම සුක්‌ෂ්මව පැහැදිළිව සිදු වේ. පරීක්‍ෂණවලදී සියලු ලියකියවිලි නීත්‍යානුකූලය. ඉඩමක්‌ ලබාදීමට අදාළ ක්‍රමවේදය එකලස්‌ය. දුර්වල තැනකට ඇත්තේ අද ඉඩමක්‌ ගත් පුද්ගලයාටත් අවුරුදු දහයකට පෙර බලපත්‍ර ලැබීමත්, ඔහු කතරගම පදිංචිකාරයකු නොවීමත්, ගොවි පන්තියට අයත් නොවීමත් පමණි. එහෙත් ගැටලුවක්‌ නැත. නිත්‍යානුකූලව හෝ හොරට ගන්නා ඕනෑම ඉඩමක ගොඩනැගිලී ඉදිකිරීමට අවසර දෙන ප්‍රාදේශීය සභාවක්‌ කතරගම ඇත. හොරුන්ට හොරු නියමෙටම එකතු වී කතරගම හොරු ගුලක්‌ වී ඇති බව පෙනේ.

ත්‍රස්‌තවාදය අවසන් වීමත් සමග කතරගමට එන බැතිමතුන් ද දහස්‌ ගණනින් වැඩි වී ඇත. හම්බන්තොට වරාය, ගුවන්තොටුපළ වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සමග කතරගම ඉඩම්වල වටිනාකම ද සිය ගුණයකින් ඉහළ ගොස්‌ය. ඉඩම් මිලට ගැනීමට එන ව්‍යාපාරිකයන් අතර ඇත්තේ ද සීතල යුද්ධයකි. ඉඩම්වලට ඇති විශාල ඉල්ලුම නිසා කතරගම අවට වැව් තාවුල්ලක්‌වත්, වැව් රක්‌ෂිතයක්‌වත් දකින්නට නැති තරමට හෝටල් ඇතුළු විවිධ ගොඩනැඟිලි ඉදි වී ඇත.

එමෙන්ම බලපත්‍ර අවලංගු කර වෙනත් අයට පැවරීම නිසා කතරගම ස්‌ථිර පදිංචිකරුවන් දැඩි සේ අසරණ තත්ත්වයට පත්ව සිටිති. මෙම කූට භූමි හොරු අන්ත අසරණ පුද්ගලයන් සතු ඉඩම්වලට හොර බලපත්‍ර සාදා පිටස්‌තරයන්ට විකිණීම නිසා ඉඩම් ආරවුල්වලින් තිස්‌සමහාරාම අධිකරණයේ නඩු පිරී ගොස්‌ය.

මේ ඉඩම් කොල්ලය නිසා අසාධාරණයට ලක්‌ව සිටින බොහෝ පිරිසක්‌ අප සමග කතා කළහ. එහෙත් ඔවුන්ගේ ආත්ම ආරක්‍ෂාව පතා නම් ගම් හෙළි කිරීමට අකමැති වූහ. ඒ අතරින් කිහිප දෙනකු තම ජීවිත පවා බිල්ලට තබා ඔවුන්ට සිදුව ඇති අසාධාරණය අප ඉදිරියේ මෙසේ කියා සිටීයහ.

මේ එඩිතර කාන්තාව නිරෝෂාය. ඔවුන් ජීවත් වුණු ඉඩමට වෙච්ච දේ ගැන දැන් ඇය මෙසේ කියන්නීය...

2006 අවුරුද්දේ මගේ මහත්තයාට මීඋණ හැදිලා ගොඩක්‌ අමාරු වුණා. මහත්තයාව බේරගන්න මමයි දරුවෝ දෙන්නයි නොකරපු දෙයක්‌ නැහැ. අන්තිමට ගේයි ඉඩමයි රෝහිණී කියලා කෙනකුට උකස්‌ කළා. රංජිකා මිස්‌ තමයි අපේ ගෙදර බලපත්‍රය දෙන්න කිව්වේ. අපි බය වුණා. ඒත් රංජිකා මිස්‌ කිව්ව නිසා බලපත්‍රය දුන්නා. එදා හිස්‌ කොළ දෙකකට අපෙන් අත්සන් ගත්තා. ඊට පස්‌සේ අපි ඉඩම විකුණුවා කියලා ඒ කොළවල ලියාගෙන. පස්‌සේ රෝහිණී මේ ඉඩම උපාලි ජයන්ත කියලා අයකුට විකුණලා රුපියල් ලක්‍ෂ 10 ක්‌ අරගෙන තිබුණා. අපි සනත් ග්‍රාම සේවක මහත්තයා මුණගැහිලා අපිට වුණු අසාධාරණය කිව්වා. එයා කිව්වා දැන් ඉතිං මොනව කරන්නද කුලියටවත් යන්න කියලා. අපි පොලිසි ගියා. ඒත් වැඩක්‌ වුණේ නැහැ. ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිස මගේ බලපත්‍රය අහෝසි කරලා ඒකට උපාලිගෙන් රුපියල් ලක්‍ෂ දහයක්‌ අරගෙන තිබුණා. අද අපි ඉන්නේ කුලියට. හැම තැනටම ගිහින් කිව්වා. ඒත් වැඩක්‌ වුණේ නැහැ. හැම දේම සල්ලිවලට යටයි"

සෙල්ල කතරගම ගඩොල්වාඩිය පාරේ පදිංචිව සිටින ඇසිලින් මොහොට්‌ටි කියන කතාව...

මගේ මල්ලි කතරගම පදිංචියට ආවේ 1965 දී. මුලින්ම බලපත්‍ර හම්බ වුණේ මල්ලිට 1983 අවුරුද්දේදී. මල්ලි රිය අනතුරකට ලක්‌ වුණා. අදත් මල්ලි ඉන්නේ සිහිවිකල් ගතියෙන්. මල්ලි අවුරුදු ගානක්‌ රෝහල්වල ප්‍රතිකාර ගත්තා. ඒවට වියදම් කරන්න අපි බැංකුවේ කෙනකුට ගෙදර කුලියට දුන්නා. පස්‌සේ අපිට ලියුමක්‌ ආවා ඉඩමේ බලපත්‍රය අහෝසි කළා කියලා. අපි හදාපු ගෙවල් තවමත් තියෙනවා. සිහිමද ගතියෙන් ඉන්න මල්ලි අත්සන් කළා කියලා දැන් ලියුමකුත් පෙන්වනවා.

වසර හතළිහකටත් වැඩි කාලයක්‌ කතරගම ජීවත් වන ඩබ්. ඒ. ආරියසේන කියන කතාව...

1979 අපි කතරගමට පදිංචියට ආවේ. මට ඉඩම් අක්‌කර දෙකක්‌ තියෙනවා. එක අක්‌කරයක ගොවිතැන් කළා. අනිත් අක්‌කරයේ හරක්‌ හැදුවා. 1988 වර්ෂයේ භීෂණ කාලයේදී මට වෙඩි තිබ්බා. වසර දෙකක්‌ විතර මම ප්‍රතිකාර ගත්තා. මේ කාලයේ කොටි තර්ජනත් තිබුණා. ගොවිතැන් අලි විනාශ කළා. මගේ සහෝදරයෝ හතර දෙනෙක්‌ව මරා දැම්මා. මමත් බය වෙලා ටික කාලයක්‌ ගමෙන් අයින් වෙලා හිටියා. 2009 අවුරුද්දේ නැවත ගමට ඇවිත් ඉඩම් සුද්ධ කරලා වගා කළා. වෙහෙරගල ජලාශය හදපු නිසා මේ පැත්තේ ඉඩම් ගණන් ගියා. ඊට පස්‌සේ සනත් ග්‍රාම සේවා නිලධාරියා මගේ ඉඩම කෑලිවලට කඩලා හොර බලපත්‍ර හදලා වෙන අයට දීලා. මට යන්න තැනක්‌ නැහැ. මම කියන්නේ වසර තිස්‌ තුනක්‌ භූක්‌ති වින්ද ඉඩම මට දෙන්න කිලයි"

මේ හොර බලපත්‍ර සැදීමේ ජාවාරම ගැන කතරගම නොදන්නා කෙනකු නැත. තම ඉඩම්වලට බලපත්‍රයක්‌ නොමැතිව දුක්‌විඳින ගොවීහු සිය දහස්‌ ගානක්‌ මේ තුච්ඡ භූමි කොල්ලය ගැන ඉඩම් සම්බන්ධ බලධාරීන්ට කීප වරක්‌ම පැමිණිලි කර ඇත්තාහ. රාජ්‍ය පරිපාලනයෙන් සහ ජනාධිපති විමර්ශන ඒකකයෙන් කරන ලද විභාගයන් ද අපමණය. එහෙත් විලිලැඡ්ජාවක්‌ නැති හොරු කල්ලිය තවමත් එළිපිටම ඉඩම් කොල්ලය කරගෙන යන්නාහ. රාජ්‍ය පරිපාලනයේ ඉහළම නිලධාරීහු පවා මෙම ග්‍රාම නිලධාරියාගේ ජරාවට යට වී ඇත්තාහ.

ගිය වසරේ අල්ලස්‌ වැටලීම් අංශයෙන් ද මේ හොර ග්‍රාම සේවකයා ඇල්ලීමට පැමිණියේය. එහෙත් ඒ නිලධාරීන් එන්නට පෙර හොර ග්‍රාමයා දන්නේය. මේ ග්‍රාමයා උපයන කළු සල්ලි කන්දරාව ඔහු ආයෝජනය කර ඇත්තේ තිස්‌සමහාරාම ප්‍රදේශයේය. එයත් කර ඇත්තේ ඔහුගේ නමින් නොව වෙනත් අයගේ නම්වලිනි. ඔහු පදවන මෝටර් රථය පමණක්‌ රුපියල් ලක්‍ෂ හැටකි. එම මෝටර් රථයේ වටිනාකමින් අඩක්‌ ලබාදී ඇත්තේ බලපත්‍ර හතරක්‌ හදවාගත් ලංකාවට මෝටර් රථ ගෙන්වන ව්‍යාපාරිකයෙකි. මේ හොර ග්‍රාමයා පසුගිය දිනක තිස්‌ස මාගම්පත්තුවෙන් කුඹුරු අක්‌කර විස්‌සක්‌ මිලට ගත්තේය. ගිය වසරේ මාමණ්‌ඩියගේ නමින් කතරගම දෙටගමුව යායෙන් කුඹුරු අක්‌කර හතරක්‌ මිලට ගත්තේය. හොර ග්‍රාමයාට කතරගම පමණක්‌ ගෙවල් තුනකි. තිස්‌ස ප්‍රදේශයෙන් පසුගිය වසරේ කෝටි එකහමාරකට තවත් ඉඩමක්‌ මිලට ගත්තේය. මේ රටේ ග්‍රාම සේවක නිලධාරියකුට රජයෙන් ලැබෙන පඩියෙන් මෙච්චර කෙළියක්‌ කිරීමට නොහැකි බව ඕනෑම පොඩි එකකු දන්නේය. එහෙත් රුහුණු රටේ බලධාරීහු කතරගම විකුණගෙන කන ග්‍රාමයා ගැන නොදන්නා ගානට තොත්ත බාබාලා සේ සිටීයහ. කතරගම මහ උන්ගේ ඒ ගොළු බව තුළින් පසක්‌ වෙන්නේ හොර ග්‍රාමයා සහ පැන්ෂන් ගිය ප්‍රාදේශීය ලේකම්ගේ ඉඩම් කොල්ලය යට රටේ මහ උන් පිරිසකුත් ඉන්නා බවය. එයට හොඳම උදාහරණය වන්නේ පසුගිය දිනක හොර ග්‍රාමයාට ලැබුණු ස්‌ථාන මාරුවද අවලංගු කර කතරගමම තබාගැනීමය.

දැන් මේ ඉඩම් කොල්ලය ගැන ඔබ දැනුවත් ඇත. මේ අපට පසක්‌ කර දෙන්නේ වසර ගණනාවක්‌ නිදහසේ ජීවත් වන මිනිසුන් අහිකූණ්‌ඨිකයන් කර බලහත්කාරයෙන් උන්හිටි තැන්වලින් එළවා දමන සමාජයක තිරිසන්කමය. එහෙත් මේ තිරිසන් ඉඩම් කොල්ලය ඉදිරියේ බලධාරීන් නිහඬය. දේශපාලනයට යම්තම් හෝ ගෑවිච්ච උන් කරන හොරකම් හමුවේ නීතිය හාන්සි බව සැබෑය. එහෙත් මේ හොර කල්ලිය ක්‍රියාත්මකව සිටින්නේ කතරගම දෙවිහාමුදුරුවන් වැඩ සිටින අඩවියේය. හොරට බලපත්‍ර සාදා ව්‍යාපාරිකයන්ට විකුණන්නේ ඒ අඩවියේ ඉඩම්ය. නීතිය බල්ලට ගියද මේ අහිංසකයන්ව මඟට ඇද දමන තිරිසන් හොරුකම ඉදිරියේ කතරගම දෙවිහාමුදුරුවොත් නිහඬව සිටීම අපව තිගස්‌වන්නේය.

තව නොබෝ දිනකින් මේ ඉඩම් හොරු කතරගම පූජා භූමියත් කට්‌ටි කර ප්‍රසිද්ධියේ විකිණීමට ඉඩ තිබේ. එහෙත් හොරකම නීතිගත වී ඇති රටක, කතරගම දෙවිහාමුරුවොත් නිහඬව බලා සිටින මොහොතක අප මේ අසරණකම කාට නම් කියන්නද?

තරංග රත්නවීර
http://www.divaina.com/2013/11/17/feature15.html

0 comments: