Pages

Showing posts with label විවිධ. Show all posts
Showing posts with label විවිධ. Show all posts

Tuesday, September 26, 2017

නැති බැරි වෙහෙර විහාර ගොඩ නංවන නව සහස්‍රකයට පෑයූ රිදී ඉර...

පෘතුගීසි සමයේ සිට පසුබෑමට, විවිධ පීඩාවන්ට භාජනය වූ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයත්, වෙහෙර විහාරස්‌ථානත්, අහිංසක බෞද්ධයනුත් මේතාක්‌ මුහුණ දෙන දැඩි දුෂ්කරතාවලින් ගලවා අභිමානවත්ව දෙපයින් සිටුවීම අරමුණු කරගත් නව ගමනක්‌, සම්භාවනීය නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයේත්, පරිත්‍යාගශීලී සැදැහැවත් ගිහි පින්වතුන්ගේත් එකතුවෙන් අතිපූජනීය ෙත්‍රෙනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් අරඹා තිබීම කාගේත් සතුටට හේතුවකි.
පුරාණයේදී රජවරුන් සිටුවරුන් වැනි දානපතියන්ගේ පරිත්‍යාගයෙන්ද, වර්තමානයේ දායක පින්වතුන්ගේ පඬුරු මුදලින් ද එක්‌රැස්‌ව යමක්‌ කමක්‌ ඇති විහාරස්‌ථාන හා දේවාල පෙරගමන්කරුවන් වී, නැති බැරි තැන්වලට හා නැති බැරි අසරණ දායක ඇත්තන් වෙත සාදර සිතින් ඔවුන්ගෙන් පිරිනැමෙන ත්‍යාගයක්‌ ලෙසින් මෙම නව ගමන හැඳින්විය හැකිය.

මෙමගින් ඇති හැකි තැන්වලින් සතුටින් එක්‌ රැස්‌කෙරෙන දේ නැති බැරි වෙහෙර විහාරස්‌ථානවලත්, සිල්මාතා ආරාම ඇතුළු සිද්ධස්‌ථානවලත්, බාහිර අතහිත නැතිවම බැරිව සිටින සිවුවනක්‌ පිරිසේත් අවශ්‍යතා වෙනුවෙන් කැපකොට, නැතිබැරි තැන්වලත්, නැති බැරි අයත් අභිමානයෙන් යුක්‌තව නගා සිටුවා ශක්‌තිමත් කිරීම ඒකායන පරමාර්ථය වේ. වෙනත් හැංගුණු න්‍යාය පත්‍රයක්‌ හෙවත් පෞද්ගලික කාරණා කිසිවක්‌ නැති මෙම නව ජවයට ජීවන හුස්‌ම ලබාදී ඇත්තේ ඇති හැකි මෙන්ම නැති බැරි යන දෙයාකාරයේම බෞද්ධ සිද්ධස්‌ථානවලට සාමාජිකත්වය විවෘත වූ "ශ්‍රී ලංකා බෞද්ධ විහාර දේවාල පදනම" මගිනි.

1998, 1999, 2000 යන වර්ෂවලදී විද්‍යාලංකාර මහා පිරිවෙනට රැස්‌ වූ සම්භාවනීය ජ්‍යෙෂ්ඨ නායක විහාරාධිපති/ භාරකාර ස්‌වාමීන් වහන්සේලාගේද, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ සහ සෙසු දේවාලවල බස්‌නායක නිලමේවරුන් ඇතුළු ගිහි භාරකාර පින්වතුන්ගේ ද කැපවීමෙන් පැවැති සාකච්ඡාවලින් පසුව 2001 වර්ෂයේදී මහවැලි කේන්ද්‍රයේදී නව ජවයකින් යුත් මෙම පෙරගමන්කරු "ශ්‍රී ලංකා බෞද්ධ විහාර දේවාල පදනම" නමින් පිහිටුවා ගන්නා ලදී. එවක බුද්ධශාසන අමාත්‍ය ධූරය හෙබ වූ ලක්‍ෂ්මන් ජයකොඩි මහතා මෙම සංවිධානය ඇරඹීමට විශාල ධෛර්යයක්‌ වූ බවද කිව යුතුය. 2007 අංක 22 දරන පනත යටතේ මෙම පදනම නීතිගත කර ඇත.

සංඝාවාසවල වහළ තහඩු කැබලිවලින් වසා, බිත්ති වෙනුවට පොලිතීන් කොළ යොදා වැසිකිළිය පොලිතීන්වලින් ආවරණය කරගෙන සිටි ඇතැම් විහාරස්‌ථානවල භික්‍ෂූන් වහන්සේලා දැකීමෙන් ඇතිවූ නව ජවය වූයේ, මෙරට ඇති හැකි විහාරස්‌ථාන හා දේවාලවල ආදායම්වලින් සතුටින් පිරිනැමෙන යම් සැළකිය යුතු ආධාර මුදලක්‌, දායක මුදලක්‌ සේ වාර්ෂිකව එක්‌රැස්‌ කර, නැති බැරි විහාරස්‌ථාන සිල්මාතා ආරාම ඇතුළු සිද්ධස්‌ථානවල අභිවෘද්ධියටත්, පොදුවේ ශාසනයේ විරස්‌ථිතිය හා අභිවෘද්ධියටත්, සසුනට දරුවන් පුදා ශාසනය පවත්වාගෙන යන්නට උරදෙන දුප්පත් දායක සමූහයාගේ අභිවෘද්ධියත් සලසන අවංකව හා කැපවීමෙන් කටයුතු කරන උතුමන්ගෙන් සැදී " ශ්‍රී ලංකා බෞද්ධ විහාර දේවාල පදනම" නම් වූ මෙම සංවිධානයයි. එවකට බෞද්ධ කටයුතු කොමසාරිස්‌ ධුරය ඉසිලූ කේ. කළුපහන මහතාගේ අප්‍රතිහත ධෛර්යයත්, ඔහුට මේ සඳහා ආධාර උපකාර කළ, එවකට බුද්ධශාසන හා ආගමික කටයුතු ලේකම් එල්. සුගුණදාස මහතාගේ උනන්දුවත් නිසා මෙම පෙරගමන්කරු බෞද්ධ සමාජයට ෙත්‍රෙනිකායෙන් නොහොත් බෞද්ධ සිද්ධස්‌ථානවලින් ලැබුණු ත්‍යාගයක්‌ම විය.

මෙම අභිමානවත් වැඩපිළිවෙළ පහත පෙනෙන කරුණු යටතේ ක්‍රියාවට නැංවේ.

Ö බෞද්ධ සිද්ධස්‌ථානවල යටිතල පහසුකම් නංවාලීම.

Ö බෞද්ධ සිද්ධස්‌ථාන වෙනුවෙන් නීති උපදේශන සේවා

Ö සාමණේර හිමිවරුන් උදෙසා අධ්‍යාපන ආධාර

Ö සිල්මාතා දහම් දැනුම නංවාලීම.

Ö ධර්ම දේශනා/ පිරිත් දේශනා ප්‍රගුණ කිරීමට සහාය

Ö සසුනට දරුවන් පිදූ ගිහි පවුල්වල සුභසාධනය

Ö ගිහි බොදු දරුවන් උදෙසා අධ්‍යාපන ආධාර

Ö අසරණ දුප්පත් වැඩිහිටියන් ස්‌වයං වෘත්තීන්ට හුරුකරවා ජීවන මං සලසාදීම.

Ö පිළිකා හා හෘදරෝගීන්ගේ ආතතිය දුරලීමට භාවනා වැඩසටහන් දියත් කිරීම.

Ö දිවි තොර කර ගැනීම් වළක්‌වාලීමට සිත් සුවපත් කරමින් ජීවන මං සැලසීම.

Ö සරසවිවල බෞද්ධ දර්ශනය උගෙන ගන්නා ආබාධිත සිසුන්ට විශේෂ දේශන ඇතුළු අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ශ්‍රී ලංකා බෞද්ධ විහාර දේවාල පදනම, සාමාජික විහාරස්‌ථානවල/ විහාරාධිපති නායක/ භාරකාර ස්‌වාමීන් වහන්සේලා සහ දේවාලවල නිලමේවරුන්/ ගිහි භාරකරුවන් විසින් මහා සභා රැස්‌වීමේදී වර්ෂ 3 කට වරක්‌ බැගින් අලුතින් පත්කර ගනු ලබන පාලක මණ්‌ඩලයකින් අපක්‍ෂපාතීව, මධ්‍යස්‌ථව හා ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කෙරේ. සාකච්ඡා මගින් ගනු ලබන තීරණ ක්‍රියාවට නංවමින් සාධාරණ හා යුක්‌තිගරුකව කටයුතු කෙරේ. පදනමේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවාසී සියලු විහාරස්‌ථාන හා දේවාලවලට විවෘතව පවතී. සියලු නිකායික හා පාර්ශ්වීය භීක්‍ෂූන් වහන්සේලාද, සිල්මාතාවන්ද සාමාජිකත්වය දරන මෙම පදනම අෙන්‍යාaන්‍ය සාමාජික උපකාරය මත දැඩි විශ්වාසය තබා සිටී. තනි තනිව එක්‌ එක්‌ අය වෙන වෙනම කටයුතු කිරීමෙන් නොව සියලු දෙනා සාමූහිකව, එක්‌වී කටයුතු කිරීමෙන් ගොඩනගා ගත හැකි ශක්‌තිය ප්‍රබලය. අර්ථාන්විත සේවයක්‌ ලබා ගැනීමට අභිමානයෙන් නැගී සිටිය හැක්‌කේ එවිටය. ඒ සඳහා මෙරට උගත් සම්භාවනීය ගරුතර භික්‍ෂූන් වහන්සේලාත්, ගිහි පින්වතුනුත් පෙරමුණ ගැනීම අපගේ ශාසනික අපේක්‍ෂාවයි.

එබැවින් ඒ සඳහා නිර්ලෝභීව පෙරට එන මෙන් ගෞරවයෙන් ඉල්ලමු. පෙර පිනින් ලත් වතුපිටි, ඉඩකඩම්, මැණික්‌ ඉල්ලම් ආදියෙන් යුත් බෞද්ධ සිද්ධස්‌ථානවලින් එසේ ලැබෙන දෙයින් යම් කොටසක්‌ මේ වෙනුවෙන් පරිත්‍යාග කරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. මේ රටේ නැති බැරි වෙහෙර විහාරස්‌ථාන සිල්මාතා ආරාම ආදියෙහි අභිවෘද්ධිය පිණිසත්, නැති බැරි අහිංසක දායකකාරකාදීන්ගේ අභිවෘද්ධිය හා සුභ සාධනය පිණිසත් පරිත්‍යාග කරමින් දායක වනු මැනවැයි පැවිදි හා ගිහි උතුමන්ගෙන් ඉල්ලමු. ඉල්ලන්නන්, යදින්නන්, පුලන්නන් ඉදිරියේ නෑසූකන්ව නොසිටින මෙන් ගෞරවයෙන් ආයාචනය කරමු. කුඩා ළමුන්, සිඟිති දරුවන්, දිළින්දන්, රෝගීන්, වයස්‌ගතවන්නන්, විනාශයට හෙවත් වෙනස්‌වීම්වලට යටත්වන්නන්, දූෂිතයන්ව, අධාර්මිකයන්ව, දුෂ්චරිතයන්හි යෙදෙමින් සිට පණුවන් ගසා නැසෙන්නන් ආදී නොයෙකුත් වේෂවලින් එන දේවදූතයන් ගැන, චුති සිත් පහළවන මරණ මංචකයේදී යමදූතයන් විසින් සිහිකරවා දී නිරයට, අපායට, තිරිසන් යෝනියට නැතහොත් ප්‍රේත ලෝකයට කැඳවා ගෙන යන්නට ඉඩ නොතබා, මෙම උතුම් මිනිස්‌ ජීවිතය පවත්නා, සිහිබුද්ධියෙන් සිටින වකවානුවේදීම එහි සාමාජිකත්වය ලබාගෙන, පරිත්‍යාග කිරීම් තුළින් මෙම උසස්‌ කැපකිරීම් අරඹන ලෙසට ආයාචනා කරමු.

බොරැල්ල ගෝතමී විහාරාධිපති, පුජ්‍ය තෙල්වත්තේ නාගිත නායක ස්‌ථවිර
http://www.divaina.com/2017/09/26/feature04.html

Pic Source

Sunday, September 3, 2017

භාෂා දෙකකින් කතා කරමු ද? දෙවැනි බසක්‌ ඉගැන්වීමට හොඳම වයස ළදරු වියයි...

දවසක්‌දා මීයෙක්‌ චීස්‌ සුවඳක්‌ ඔස්‌සේ කුස්‌සියක කෑම මේසයකට බැස්‌සේ ගෙදර පූසා ඉස්‌තෝප්පුවේ නිදාගෙන සිටි නිසාය. එහෙත් පූසෙකුට මීයෙක්‌ ඉව වැටෙන්නට වැඩි වේලා යන්නේ නැත. මීයා මේසය උඩ සිටිනු දුටු පූසා හිමින් සීරුවේ පුටුවකට නැග කෑම මේසයට අඩිය තැබූ සැණෙන් දෙවියන් සිහිවුණු මීයා බිමට පැන ගත්තේ දුවන්නට තැනක්‌ හොයමිනි. එහෙත් කරුමයට මෙන් සියලු දොර ජනෙල් වසා තිබුණෙන් හතර අතේ දිවුවත් පැන ගන්නට තැනක්‌ නොතිබුණි. අන්තිමේ මීයා බිත්ති මුල්ලකට කොටු කර ගන්නට පූසා සමත් විය. තව තත්පරයකින් මරණය උරුම බව සිතට නැඟුණු මීයාට වහාම පුංචි ගණදෙවි නුවණක්‌ පහළ විය. මීයා තමන්ට පුලුවන් උපරිම හඬින් බල්ලෙක්‌ බුරන විදියට හඬක්‌ නැඟීය. උච්චාරණය සුද්දෙක්‌ සිංහල කතා කරන්නට තැතනුවා මෙන් වුවද පූසාට එක වරම මතක්‌ වුණේ දඩෝරියා ය. මේකා නම් නිකම් මීයකු නොව දඩෝරියාගේ පර-ම්පරාවේ නපුරෙක්‌ විය යුතු යෑයි ඌට ඇසිල්ලෙකින් අදහසක්‌ ඇති විය. එවර පණ බේරා ගන්නට පැන දිවුවේ පූසා ය. මී ගුලට රිංගා ගත් මීයා -භාෂා දෙකක්‌ දැනගෙන හිටපු නිසා පණ බේරා ගත්තායි පුරසාරම් දෙඩූ වග මා මේ කතාව කියවා ගත් රීඩර්ස්‌ ඩයිජෙස්‌ට්‌ සඟරාවේ පළ වී තිබිණි. 

ඉංග්‍රීසීන් අප පාලනය කළ අවධියේ පටන්ම අප ප්‍රිය කළ දෙවැනි බස ඉංග්‍රීසිය හෙයින් එක්‌ කලෙක බොහෝ ආසියානු රටවලට වඩා අපි ඒ භාෂාව අතින් ඉදිරියෙන් සිටියෙමු. ඉංග්‍රීසි හොඳින් දත් අය නොදත් අය ඉදිරියේ ඉංග්‍රීසියෙන් කතා කළේ මහත් උජාරුවෙනි. වරක්‌ පන්සලක පින්කමක්‌ පැවති දිනයක ඉංග්‍රීසි උගත් තරුණ පිරිසක්‌ ඉංග්‍රීසි නොදත් හිමිවරුන් පිරිසක්‌ වැඩසිටි තැනක එසේ ඉංග්‍රීසියෙන් දොඩමලු වූයේ හිමිවරුනට ආඩම්බර පෙන්වමිනි. අපි මොකද දැන් කරන්නේ? පාලි සංස්‌කෘත නම් සමහර ගිහියොත් දන්නවා. මේ ගොල්ලව පුදුම කරන්න අපට භාෂාවක්‌ ඇත්නම් යෑයි සාකච්ඡා කළ උන්වහන්සේලා භාෂාවක්‌ වෙනුවට වුත්තෝදය නම් කාව්‍ය ශාස්‌ත්‍ර ග්‍රන්ථයේ එන සූත්‍ර දෙබස්‌ විදියට කතා කරමුයි ගිවිස ගත්හ. එම කෙටි සූත්‍ර පාලි දත් පමණින් කෙනෙකුට නොවැටහෙන වෘත්ත සංක්‌ෂේපන වෙති. ඒ අනුව වෘත්තවල ගණවලට එන මුල් අකුරු යොදා සැකසූ - මෝ මෝ ගෝ ගෝ වි-ජුම්මාලා, -නනමයය යුතේයං මාලිනී භෝගි සීහී, රාසමානිකා රගාලහා, වැනි කෙටි සූත්‍ර සංවාද ස්‌වරයෙන් දෙබස්‌ ලෙස යොදා ගත් උන්වහන්සේලා වෙනත් බසක්‌ කතා කරන ආකාරයක්‌ රංගනය කළහ. මේ කුමන බසක්‌ දැයි සිතා ගත නුහුණු තරුණයෝ හිමින් සීරුවේ ලිස්‌සා ගියහ. කෙසේ වුවද ඉංග්‍රීසිය වැනි අලුත් දෙවැනි බසක්‌ ඉගෙනුමේ වටිනාකම දත් අපේ හාමුදුරුවරු දැන් නම් ගිහියන්ටද වඩා හොඳින් ඉංග්‍රීසි දනිති. ඉංග්‍රීසියෙන් පතපොතද ලියති. 

ඉංග්‍රීසිය රාජ්‍ය භාෂා තත්ත්වයෙන් පහළට වැටුණු පසු හුදෙක්‌ මවුබසින් පමණක්‌ම උගනිමුයි සිතන්නට ඇතැමුන් පෙළැඹුණු හෙයින් ලොව පුරා වැඩෙන නව දැනුමේ හිමිකාරයන් වීමේ භාග්‍යය අපේ එක්‌ පරපුරකට අහිමි විය. එම අවාසිය මැනවින් හඳුනාගත් පසු දැන් අප රට කවුරුත් වැඩි වැඩියෙන් ඉංග්‍රීසිය හුරු කර ගනිති. 

ඉගෙන ගන්න නෑ ලේසී
ඉගෙන ගතොත් වෙයි වාසී
රජෙක්‌ වෙන්න ලෝ වාසී
ඉගෙන ගනින් ඉංග්‍රීසී 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සුරතින් ලියෑවී නන්දා මාලිනී සංගීතවේදිනියගේ හඬින් ගැයුණු එම ගීතය වැනි දිරි ගැන්වීම් අපේ සිසු පරපුරට ධනාත්මක පණිවුඩයක්‌ ලබා දෙයි. ඉගෙන ගන්න නෑ ලේසී යි කියන්නේ ඉංග්‍රීසි අමාරු භාෂාවක්‌ නිසා නොව හොඳ ගුරුවරුන් සොයා ගන්නට ඇති අපහසුව නිසාය. ඉගැන්වීමේදී ගුරුමුෂ්ටි තබාගන්නා අය බහුල නිසා ය.

දෙවැනි බසක්‌ ඉගෙනීමේ වටිනාකම ලංකාව වැනි පුංචි රටක වසන කවුරුත් දනිති. අපේ පාසල් සිසුනට ලෝක භාෂාවන් හදාරන්නට පහසුකම් සැලසීමේ බර දරන්නේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයයි. නූතන භාෂා අංශාධිපති ආචාර්ය තෙරිපැහැ මේධංකර හිමියන් ප්‍රමුඛ විද්වත් කථිකාචාර්ය මණ්‌ඩලයක්‌ විසින් චීන, ජපන්, කොරියන් වැනි භාෂාවන් ඉගැන්වීමේ ශිල්පක්‍රම පාසල් ගුරු භවතුනට ලබා දීමේ සත්කාර්යය වසර පුරා ඉටු කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවත්නා එම ආයතනය විසිනි. ආයතනයේ අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මියගේ නිරන්තර අධීක්‌ෂණයෙන් මෙහෙයෑවෙන එම වැඩපිළිවෙළ දැක ගැනීමේ භාග්‍යය ඉකුත් නිවාඩු සමයේ ලංකාවට පැමිණි අවස්‌ථාවේ මා වෙත උදා විය. ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවනට අතිරේකව ජාත්‍යන්තර තවත් භාෂා ලංකාවේ ශිෂ්‍යයන් අතර ප්‍රචලිත වීම කාලීන අවශ්‍යතාවකි. 

අතිරේක භාෂාවක්‌ ඉගෙන ගන්නට අප මහන්සි විය යුත්තේ ඇයි? මවුබස පමණක්‌ ඉගෙන ගත්තාම මදිද? ලංකාව වැනි පුංචි රටක උපන් අපට එය ප්‍රමාණවත් නොවන්නේ දිනෙන් දින පුළුල් වන නව දැනුමට සිංහලයෙන් පමණක්‌ හිමිකම් කියන්නට අපහසු හෙයිනි. ඥානය වර්ධනය වන සහ අලුත් පතපොත ලියවෙන වේගය තරමට පරිවර්තන කටයුතු කරන්නට බැරි බව අමුතුවෙන් කිව යුතු නැත. සාහිත්‍ය කෘතියක්‌ නම් මූලික කෘතියේ රසය දැනෙන තරම් හොඳට පරිවර්තනය කළ හැකි වන්නේ කලාතුරකින් කෙනෙකුට පමණි. එහෙයින් නව දැනුමේ හිමි කරුවකු වන්නට සහ විශ්ව සාහිත්‍යයෙහි ආස්‌වාදය විඳගන්නට නම් නවීන ලෝක භාෂාවක්‌ හදාළ යුතුමය. බහුශ්‍රැතයන් වශයෙන් පිළිගැනෙන්නේ වැඩි වැඩියෙන් කියෑවූ අයයි. භාෂා රැසක්‌ දැන ගැනීම වඩාත් වාසි දායක නමුත් අඩුම ගණනේ මවුබසට වඩා තව එක්‌ අතිරේක බසක්‌ හෝ දැනසිටීම මෙසමයෙහි අත්‍යවශ්‍ය ය.

වැඩිපුර භාෂාවක්‌ ඉගෙනීම කියවන්නාගේ ප්‍රජානන ශක්‌තිය තියුණු කරන බව මනෝවිද්‍යාඥයෝ හෙළි කරති. එක්‌ බසක්‌ පමණක්‌ දන්නහුගේ මොළයෙහි ක්‍රියාකාරිත්වය සහ ද්විභාෂිකයකුගේ මොළයෙහි ක්‍රියාකාරිත්වය ගුණාත්මකව වෙනස්‌ බව ඔවුහු පවසති. වෙනත් බසකින් සිතන්නට, තේරුම් ගන්නට සහ සම්භාෂණයෙහි යෙදෙන්නට සමත් වීමට සමගාමීව ගැටලු විසඳීම වැනි උසස්‌ චින්තන කාර්යයන්හි යෙදීමෙහි කුසලතාව වර්ධනය වෙයි. ගණිතය සහ කියෑවීම අතින් මෙන්ම වාග්මාලාවෙහි පොහොසත්කම අතින්ද ද්විභාෂිකයන් වැඩි දස්‌කම් පාන බව සම්පරීක්‌ෂණවලින් හෙළි වී ඇත.

භාෂා කිහිපයක්‌ හදාළ අයට - විශේෂයෙන් ළමයින්ට - එක්‌ බසකින් තවත් බසකට වහා මාරු වී සිතීමේ, ලිවීමේ සහ කතා කිරීමේ ශක්‌තිය වැඩෙනු සමඟම එක්‌ වර වැඩ දෙකක්‌ කරන්නට කෞශල්‍යයක්‌ද ඇති වෙතැයි පෙන්සිල්වේනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයෙහි කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත. විශේෂයෙන් වාහනයක පැදවුම් අනුකාරකයක්‌ ලෙස සැකසූ උපකරණයක්‌ -පදවන, අතරම පරස්‌පර තවත් කාර්යයක නිරතවීමෙහි ලා බහුභාෂිකයෝ වැඩි සමත්කම් දැක්‌වූහ. එක්‌ භාෂාවකට වඩා කතා කළහැකි රියෑදුරන් අතින් වැරදි සිදු වීමද අඩු බව පෙනී ගොස්‌ ඇත.

භාෂා දෙකක්‌ හෝ වැඩි ගණනක්‌ හැදෑරීමෙහිදී අතිරේක වියරණ රීති පද්ධතියක්‌ සහ නව වාග්කෝෂයක්‌ ඉගෙනීම හේතුවෙන් මවු භාෂාව වඩාත් නිර්මාණාත්මකව හා නිවැරදිව හැසිරවීමට හැකි වන බව පෙනී ගොස්‌ ඇත. දකුණු කොරියාවෙහි ඉංග්‍රීසි ගුරුවරියක්‌ ලෙස සේවය කරන ඈන් මෙරිට්‌ මහත්මිය පවසන්නේ එක්‌ භාෂාවකට වඩා හදාළ අය අන් අයට වඩා ලේඛකයන්, සන්නිවේදකයන් හා සංස්‌කාරකයන් වශයෙන් සාර්ථක වන බවයි. 

වැඩිපුර භාෂාවන් ඉගෙනීමෙහි ප්‍රතිඵලයක්‌ ලෙස අනිවාර්යයෙන්ම අපගේ මතක ශක්‌තිය වැඩිවෙයි. එමෙන්ම පරිසර නිරීක්‌ෂණය සහ අවබෝධය, උචිතානුචිත විචක්‌ෂණය මෙන්ම වැරදි හඳුනා ගැනීමෙහි හැකියාවද වර්ධනය වෙයි. ලොව දක්‌ෂතම රහස්‌ පරීක්‌ෂකයෝ බහුභාෂිකයෝය. චිකාගෝ සරසවියෙහි කළ පරීක්‌ෂණයකින් හෙළි වූ තොරතුරු අනුව බහුභාෂිකයෝ තාර්කිකව තීරණ ගැනීමේ හපන්නුය. තම තීරණ පිළිබඳ ඔවුන්ගේ විශ්වාසයද ස්‌ථාවරය. ඒකභාෂිකයන් අතර ඇල්සයිමර් සහ ඩිමෙන්ෂියා රෝග ලක්‌ෂණ විද්‍යමාන වීමෙහි වසස්‌ සාමාන්‍යය 71.4ක්‌ වූ අතර බහුභාෂිකයන් අතර එය 75.5 ක්‌ විය.

දෙවැනි බසක්‌ ඉගැන්වීමට හොඳම වයස ළදරු වියයි. ඔවුහු භාෂා දෙකක්‌ ඉතා පහසුවෙන් හුරු කර ගනිති. එය කුඩා දරුවන්ගේ මොළයෙහි වර්ධනයට ඉතා හිතකර අභ්‍යාසයකි. මේ සඳහා මාස හතේ සිට මාස 33 දක්‌වා වයසේ දරුවනට දෙමාපියන් කුඩා වියේදී කතා කරන වියරණය අතින් සංකීර්ණ නොවූ සරල බසම උපකාර කරගෙන එම සුරතල් රිද්මයානුකූල රටාවෙන්ම සැකසූ PARENTESE නමින් හඳුන්වන විශේෂ ක්‍රමයක්‌ භාවිත කර ස්‌පාඤ්ඤයේ කළ පරීක්‌ෂණයකින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබී ඇත. දෙමාපියන් ඉංග්‍රීසි කතා නොකරන පවුල්වල දරුවනට දවසට එක පැය ගණනේ සති 18 ක්‌ ක්‍රීඩාමය රටාවකින් ඉගැන්වීමෙන් මේ අති සාර්ථක ප්‍රතිඵල ලද බව විශේෂයෙන්ම සටහන් කළ යුතුය. බොහෝ දරුවන් ළදරු පාසලේදීම භාෂා දෙකක හැකියාවන් ඇති කරගන්නේ මේ අයුරෙන්ම නොවේද? මවු බස පමණක්‌ හදාරන දරුවනට වඩා දෙබසක්‌ හදාරන දරුවෝ බුද්ධිමත් වෙති. මෙහිලා අවධාරණය කළ යුතු වැදගත් දෙයක්‌ නම් ළමයිනට භාෂාවක්‌ ඉගැන්වීම විශ්වවිද්‍යාලයකදී භාෂාවක්‌ ඉගැන්වීමට වඩා බෙහෙවින් වෙනස්‌ බවයි. අධ්‍යාපන මනෝ විද්‍යාව පිළිබඳ පරිණත අවබෝධයක්‌ ඇති ගුරුවරුන් විසින් පමණක්‌ එවැනි දස්‌කමක්‌ කළ හැකිය. පාසල් පද්ධතියේ අධ්‍යාපනික ගුණාත්මක භාවය පිළිබඳ වගකීම දරන ජාතික අධ්‍යාපන ආයතනයෙහි භාෂා අධ්‍යාපන ව්‍යාපෘතිය අපගේ විශේෂ ඇගයුමට පාත්‍ර විය යුත්තේ එහෙයිනි.

මහාචාර්ය චන්දිම විඡේබණ්‌ඩාර
http://www.divaina.com/2017/09/03/feature12.html

Monday, July 10, 2017

ජනතා සෙත පිණිස ජලබිලට මිනිස්‌ කම එක්‌කළ නිළධාරියා... දුෂ්මන්ත තොටවත්ත

පැතුම් සහගත මිනිසුන් පරාජය කළ නොහැක. කෙතරම් බාධක, අභියෝග, කම්කටොළු, මැද වුවද ඔවුහු ජයග්‍රහණයේ ද්වාරය විවර කරනු ඇත.

අභියෝගයන්, අභියෝගයන් බවට පත් කර නොගත් මිනිසෙකු නිසා ඔහු රාජකාරි කරනු ලබන රාජ්‍ය ආයතනය රටට බරක්‌ නොවී පවත්වාගෙන යැමට හැකිවූවා පමණක්‌ නොව ලක්‌ෂ විසි එකකට අධික ජනතාවකගේ මුදල් පසුම්බියට සැලකියයුතු අස්‌වැසිල්ලක්‌ ගෙන ඒමට එමගින් හැකිවී ඇත.

මේ කරුණු කාරණා නිසා ඔහුව පසුගියදා ඇගයීමට ලක්‌විණි.

ඒ මානව සම්පත් කළමනාකරණ ආයතනය මගින් පවත්වනු ලැබූ 2017 වර්ෂයේ ජාතික සම්පත් නිපුණතා තිළිණ ප්‍රදානෝත්සවයේ (National HR Excellence Awards 2017) මූල්‍ය අංශය නියෝජනය කරමින් එම වසරේ හොඳම නිලධාරියට හිමි සම්මානය ඔහුට හිමිකර දෙමිනි.

මේ ජයග්‍රහණයේ උරුමකරුවා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ අතිරේක සාමාන්‍යධිකාරී (මුදල්) දුෂ්මන්ත තොටවත්ත මහතාය .

සිය නිසඟ හැකියාවට ඉහළ වටිනාකමක්‌ හිමිකර දුන් ඒ සම්මානයේ වටිනාකම තවත් තීව්‍ර කළේ වසර ගණනාවක්‌ මුළුල්ලේ මානව සම්පත් කළමනාකරණ ආයතනය මගින් පවත්වන මෙම සම්මාන උළෙලේදී එම ක්‌ෂේත්‍රය තුළිsන් රාජ්‍ය ආයතනයක නිලධාරියකු ඇගයීමට ලක්‌ වූ පළමු අවස්‌ථාව එය වීමය.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයකු වන ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ) උපාධිය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් මුල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත.

රාජ්‍ය සහ ප්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයෙහි ගිණුම් කටයුතු පිළිබඳ වසර තිස්‌පහකට වඩා අත්දැකීම් ඇති තොටවත්ත මහතා මුල්‍ය කළමනාකරණය, ආයතනික පාලනය, උපාය මාර්ග කළමනාකරණය,මහජන සම්බන්ධතා පිළිබඳ හසල පළපුරුද්දක්‌ ඇත්තෙකි.

තමන් රැකියාව කරන ආයතනයට කීර්තියක්‌ අත්කර දෙමින් වෘත්තීය ජීවිතය තුළ ඉහළ ඇගයීමකට ලක්‌වුණු තොටවත්ත මහතාගේ ජීවන මඟ තවකෙකුගේ ජයග්‍රණයට පරමාදර්ශයකි.

"මම ඉපදුනේ ගාල්ල ගෝනපීනුවල කියන ග්‍රාමයේ. මගේ පියාණන් වෘත්තියෙන් ගුරුවරයෙක්‌. මෑණියන් ගෘහණියක්‌. පියාණන්ට මුල් පත්වීම හිමිවුණේ මොනරාගල මාගන්දන මහා විද්‍යාලයට. අපි තාත්තත් සමඟ මොනරාගල යනකොට මට අවුරුදු තුනයි. පියාණන් වෘත්තියේ යෙදුන පාසලටම මම අවුරුදු තුනේ සිටම පාසල් ගියා."

තොටවත්ත මහතා මා අභිමුව අතීතයට පිය නඟමින් සිටි. අතිතාවර්ජනයේදී ඔහුගේ ඉරියව් කෙමෙන් කෙමෙන් වෙනස්‌ වුයේ ඔහු මනසින් මොනරාගල පරිසරය තුළ ගමන් කරමින් සිටින නිසා යෑයි සිතේ.

"ඒක හරිම කටුක පරිසරයක්‌.අපි හිටියේ ගුරු නිවසේ. ඉලුක්‌ සෙවිලි කළ ගොඩනැඟිල්ලකුයි තවත් එක ගොඩනැඟිල්ලකුයි විතරයි පාසලට තිබුණේ. මම ඉගෙන ගත්තේ දඹ ගහක්‌ යට. ඒ අතීතය කටුක වුණාට හරි රසවත්."

"මගේ පියාණන් වාමාංශිකයෙක්‌. එතුමන්ව දේශපාලන පලිගැනීම් වලට හසුවෙලා මාගන්දන මහා විද්‍යාලයේ ඉදන් තවත් හැතැම්ම විසිහයක්‌ එහා කෝන්ගහපිටිය කියන පාසලකට මාරු කළා. දැන් වගේ ඒ කාලේ බස්‌ නැහැනේ. පියාණන් බයිසිකලයෙන් තමයි පාසලට ගියේ. අපිට ගමට එන්න වුණා. මට ගමේ. ඒ කියන්නේ ගෝනාපීනුවල පාසලට යන්න වුණා. මම හතරවැනි වසරට එනකොට පන්තිභාර ගුරුතුමිය මගේ සිංහල පොතේ ලිව්වා ඔයා සිංහලට දුර්වලයි ඒ නිසා ආපහු හෝඩියේ සිට එන්න කියලා."

මේ සිදුවීම ජීවිතයේ පළමු හැරවුම් ලක්‌ෂ්‍යය බවට පත්කර ගැනීමට තරම් දුෂ්මන්ත තොටවත්ත නම් ලාබාල සිසුවා ඉටා ගත්තේය. එය ඔහු වචන කළේ 

"මං ගුරුතුමියත් සමඟ උරණ උනේ නෑ. පාසලට වෛර කළෙත් නෑ. මම ඉටා ගත්තා මං කවදාහරි හොඳ සිංහලෙන් වැඩ කරන්න පුළුවන් හොඳින් සිංහල ප්‍රගුණ කළ කෙනෙක්‌ වන බව. ආපසු හැරිලා බලනකොට මං දිනලා කියල දැනෙන හැඟීම විස්‌තර කරන්න බැහැ."

"ඔහොම ගිහිල්ලා උසස්‌ අධ්‍යාපනය සඳහා මම නගරයට ගියා. ඒ ගිංතොට මහා විද්‍යාලයට. මම ඒ පාසලට ඇතුළත් වෙන්න ගියේ තනියමයි. විදුහල්පතිතුමා මං දිහා හොඳින් බලලා මාව පාසලට භාර ගත්තා. විදුහල්පතිතුමාගෙන් මට හැමවිටම වාගේ විශේෂ සැලකිල්ලක්‌ හිමිවුණා. ඒ දවස්‌වල පාසලේ වතු වැඩ තිබුණා. දවසක්‌ අපිට පාසලේ වැටක්‌ බඳින්න තිබුණ. මං වැට බඳින විදිහ දැකල විදුහල්පතිතුමා මට වේවැලෙන් ගහල කිව්වේ වැට බඳිනවා නම් ඒකේ මුල් ගැටය ශක්‌තිමත්ව බඳින්න අවශ්‍ය බව. එදා තමයි මං හිතට ගත්තේ වැඩක්‌ පටන් ගන්නවා නම් මුල ශක්‌තිමත්ව හරියට පටන් ගන්න ඕන කියලා. එහෙම පටන් ගන්න හැම වැඩක්‌ම කෙලවර වෙන්නේ ජයග්‍රහණයෙන්. ඒ ආදර්ශයෙන් තමයි අවුරුදු තිස්‌ පහක රාජකාරි ජීවිතේ අසාර්ථක නොවී අරගෙන ආවේ.

ඔහුගේ කථාව සැබෑවය. ඒ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ ගිණුම් වාර්තා සාක්‌ෂි දරයි.

"මගේ රාජකාරි ජීවිතේ යම් සාර්ථකත්වයක්‌ ලැබුවා නම් ඒ සාර්ථක පිටුපස තිබෙන එක්‌ ප්‍රධාන සාධකයක්‌ තමයි ගිංතොට මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාගෙන් ලැබූ ගුරුහරුකම්. හරි දේ කරන්න කිසිවිට භය වෙන්න ඕන නැති බව මං කුඩා කල සිටම ඉගෙන ගත්ත තවත් එක දෙයක්‌."

තොටවත්ත ශිෂ්‍යයා 1978 දී උසස්‌ පෙළ විභාගයට පෙනී සිට ඉන් ඉහළින්ම සමත්ව ශ්‍රී ජයවර්ධනපුර සරසවියට ඇතුළත් විය. උසස්‌ පෙළ විභාගයෙන් පසු විශ්ව විද්‍යාල ප්‍රවේශය තෙක්‌ කාලය ඔහු අපතේ හැරියේ නැත. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචිව විභාග සමත් වී අවශ්‍ය ප්‍රායෝගික පුහුණුවද පුද්ගලික අංශයෙන් ලබා ගැනීමට ඒ කාලය තුළ ඔහු කටයුතු කළේය. විශ්ව විද්‍යාල ජීවිතය සාර්ථක කර ගත් මේ තරුණයා පුද්ගලික අංශයේ රැකියා කිහිපයකින් පසු 1984 දී මුල්ම රාජ්‍ය අංශයේ පත්වීම ලෙස වරාය නීතිගත සංස්‌ථාවේ ගණකාධිකාරීවරයෙකු ලෙස පත්වීම් ලබා ගත්තේය.

"ඉන් වසර දෙකකින් පමණ පසු කඩිනම් මහවැලි ව්‍යාපාරයේ 'සී' කලාපයේ ගණකාධිකාරීවරයෙකු ලෙස එක්‌වුණා. එහි වසර හයක්‌ පමණ සේවය කරන්න හැකි වුණා. 1990 දී තමයි මං විවාහ වුණේ. බිරිඳ වාසුලා තොටවත්ත. ඇය මුලින්ම වැඩ කළේ කොළඹ රාජ්‍ය බැංකුවක .ඒ නිසා මටත් කොළඹට එන්න වුණා. ආපහු පුද්ගලික අංශයේ කාලයක්‌ වැඩ කළා."

මේ කාලය තුළ දුෂ්මන්ත මහතා පිය පදවියෙන් පිදුම් ලැබුවේය. ඔහුට තිරුෂි තොටවත්ත සහ අක්‌මල් තොටවත්ත යන දූ පුතු දෙපළකි. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගොස්‌ 1998 වසරේදී ඔහු රාජ්‍ය අංශයේ රැකියාවක්‌ සදහා වන සම්මුඛ පරීක්‌ෂණයකට පෙනී සිටියේය.

"එහිදී තමයි ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න සහ සමන් ඒකනායක මහත්වරුන් මුණ ගැහෙන්නේ. ඔවුන් මාව ජාතික තරුණ සේවා සභාවේ මුල්‍ය අධ්‍යක්‌ෂකවරයෙකු ලෙස සේවයට බදවා ගන්නවා. දැන් ලැබී ඇති ජයග්‍රහණ වලට මංපෙත් විවර වුණේa එතනින්. එතුමන්ලා සමඟ එකතුවෙලා තුරුණු ශක්‌ති වැඩසටහන හඳුන්වා දෙන්න අපිට හැකි වුණා. දැන් සුපර් ස්‌ටාර් වගේ නෙමෙයි තුරුණු ශක්‌ති වැඩසටහන. හරිම හරවත්ව කරන්න අපිට හැකි වුණා. රූපවාහිනියේ 'අයි' නාලිකාව මේ සමඟම තමයි අපි ජනප්‍රිය කළේ. 98 වසරේ සිට 2003 වසර වෙනකම් මම ජාතික තරුණ සේවා සභාවේ වැඩ කළා. 2003 ඉඳන් 2005 වෙනකම් සමෘද්ධි අධිකාරියේ කටයුතු කළා."

එතැන් පටන් ආරම්භ වූයේ අලුත් පරිච්ඡේදයකි. 2005 වසරේ ජූලි මස පළමු වැනිදා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ලෙස සේවයට එක්‌ වූ හෙතෙම 2013 වසරේ දී අතිරේක සාමාන්‍යාධිකාරී (මුදල්) ලෙස උසස්‌ වීමක්‌ ලැබිය.

"මම මණ්‌ඩලයේ සේවයට 2005 දී එනවිට මට තේරුණා මෙහි මූල්‍ය විනය ශක්‌තිමත් නැති බව. අනවශ්‍ය නාස්‌තිකාර වියදම් බොහොම වැඩිවෙලයි තිබුණේ. අපේ තියෙන අකාර්යක්‍ෂමතාවට වන්දි ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට. ජල බිල ඉහළ දාන්න වෙන එක හේතුවක්‌ ඒක. මේ දේ නතර කරන්න මට ලොකු වුවමනාවක්‌ තිබුණා. 2004 වසරේදී විගණකාධිපති විසින් මණ්‌ඩලයේ ගිණුම් ප්‍රතික්‍ෂේප කර තිබූ වකවානුවක්‌. මෙයත් මට මහත් අභියෝගයක්‌ වුණා. මට වෙලාවකට හිතුනේ විගණකාධිපති ගිණුම් ප්‍රතික්‍ෂේප කර තිබූ තැනකට ඇයි මම වැඩට ආවේ කියලා."

අභියෝග රැසකට මුහුණදීමේ පන්නරයක්‌ සහිත මිනිසෙක්‌ වූ තොටවත්ත මහතාට ඔහු ඉදිරියේ තිබු අභියෝග එතරම් ගැටලුවක්‌ වූයේ නැත. ඒ සඳහා ඔහු කළේ අභියෝගයන්ට මුහුණදීම සදහා සැලසුම් සකස්‌ කිරීමය.

"ආයතනයේ අභ්‍යන්තර පාලන පද්ධතිය හොඳට ශක්‌තිමත් කරන්න ඕන බව මම තේරුම් ගත්තා. ඒකේදී මම ආයතනයට අයවැය පාලන ක්‍රමවේදයක්‌ හඳුන්වල දුන්නා. ඒකත් සමඟම බැදීම් ලේඛනයක්‌ සහ වැය ලෙජරයක්‌ හඳුන්වා දුන්නා. මේ නිසා අයවැයෙන් වෙන් කළ මුදල් අභිබවා මුදල් වියදම් කරන්න බැරි වුණා. මනා අයවැය පාලනයක්‌ ක්‍රමයක්‌ තුළින් වියදම් පියවගන්න අපිට හැකි වුණා."

"මම වැඩට ඇවිත් වසර දොළහක්‌ තුළම ජල බිල අපි ඉහළ දමා ඇත්තේ දෙවරක්‌ පමණක්‌ වුණේ ඒ නිසා තමයි. අපි 2010 දී ජල බිල සියයට දහයකින් අඩු කළා. ඒ නිසා අවුරුද්දට අපිට රුපියල් මිලියන 1200 ක පමණ පාඩුවක්‌ වුණා. මේ නිසා මණ්‌ඩලය අර්බුදයකට ගමන් කළා. මේ අර්බුදය වලක්‌වා ගන්න අපි ශුන්‍ය පාදක අයවැය ක්‍රමයක්‌ හඳුන්වා දුන්නා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය මෙම ක්‍රමය හඳුන්වාදුන් පසු රජයත් නිවේදනය කළා රජයේ අයවැය හදන්නේ ශුන්‍ය පාදක අයවැය ක්‍රමයට බව."

"මං මෙහිදී කළේ මගේ සැලැස්‌ම කිව්ව එකයි. මගේ නියෝජ්‍ය, අතිරේක සාමන්‍යාධිකාරිවරු, ගණකාධිකාරිවරු ඇතුළු අපේ කණ්‌ඩායමේ සියලු අයයි මෙය ක්‍රියාත්මක කළේ. ඒ නිසා මෙහි ගෞරවය ඒ සැමටයි හිමි විය යුත්තේ. තීරණ ගැනීමේ ක්‍රියාවලියට අපි සැවොම එක්‌ කර ගත්තා. මේ නිසා අපිට අහිමි වුණ ආදායම අපි ආවරණය කර ගත්තා. අපි පහුගිය වසර පහ තිස්‌සේ මණ්‌ඩලය ලාභදායි මට්‌ටමට ගෙන ආවා. 2015 දී අපි රුපියල් කෝටි 198ක ක්‍ෂුද්‍ර ලාභයක්‌ අරන් තියෙනවා."

සේවක පඩි නඩි ගෙවමින්, බෝනස්‌ මුදල් ලබා දෙමින්, භාණ්‌ඩාගාරයේ ණය ගෙවමින් සහ කොතෙකුත් වූ ගෙවීම් කරමින් මෙවන් සුවිසල් ආයතනයක්‌ පවත්වාගෙන යැම සුළුපටු නොවේ. එනමුත් ඒ අභියෝගයන්ට ඔවුහු එක කණ්‌ඩායමක්‌ සේ මුහුණ දී ජයගෙන තිබේ. මහජනතාවගේ මුදල් පසුම්බියට සහනයක්‌ වූවේ යෑයි අපි පෙරදී සඳහන් කළේ ඒ හේතුවෙන්ය. කැපවීම ජයග්‍රහණයේ රහස බවට ඔහු පසක්‌ කරගෙන තිබේ.

"අපි ගන්න තීන්දු තීරණ ගන්නේ රුපියල් ශත එක්‌කයි. මෙය අමාරු දෙයක්‌. අපට හොද පරිචයක්‌ ඇත්නම් මේ වැඩේ අමාරු නැහැ. ආතතිය නැතුව නෙමෙයි. ආතතිය මං භාර දී ඇත්තේ දුෂ්මන්ත තොටවත්ත කියන සාමාන්‍ය මිනිසටයි. ඒ ආතතිය අතිරේක සාමාන්‍යාධිකාරී මුදල් තනතුරට මං භාර දෙන්නේ නෑ. මං උපරිමයෙන් මගේ තනතුරට සාධාරණය කරලා තියෙනවා.ඒ නිසයි මෙවන් ඇගයීමක්‌ මට හිමිව ඇත්තේ. මාව මහජනතාවගේ නායකයකු ලෙස තෝරාගෙන ඇත්තේ ඒ නිසයි."

"මම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ සේවය කළේ නැත්නම් මට මේ ඇගයීම හිමි වන්නේ නෑ. මේ මගේ පුද්ගලික ජයක්‌ නෙමෙයි. මේ අපේ කණ්‌ඩායමේම ජයග්‍රහණයක්‌. මම මගේ ආයතනයට මගේ තනතුරට මා ලැබූ නිදහස්‌ අධ්‍යාපනයට සාධාරණයක්‌ කළා යෑයි හැඟීමක්‌ මට තියෙනවා. මේ සැම ජයගන්න මගේ පවුලෙන්, මණ්‌ඩලයේ රාජකාරි කළ සහ කරන සභාපතිවරු අධ්‍යක්‌ෂක මණ්‌ඩල, ඉහළ නිලධාරීන් ඇතුළු සැමගෙන් ලද සහය මහත් සේ අගය කරනවා."

කැපවීමක්‌ අධිෂ්ඨානයක්‌ සහිත වූවන් පසුපස ජයග්‍රහණ පැමිණෙනවා මිස සෑම පසුපස එය එන්නේ නැත. ජයග්‍රහණයේ මිහිර විඳින කුලකය වෙත පියනඟන් නම් කළ යුතු දෑ බොහෝය.

සිරිමන්ත රත්නසේකර, ඡායාරූප - ධර්මසේන වැලිපිටිය
http://www.divaina.com/2017/07/09/feature30.html

පිං පෙට්‌ටියෙන් පව් පෙට්‌ටගමක්‌ කරට ගැනීම... සාංඝීක දේපලවලට අතතැබීමේ පවේ මහිමය මෙන්න...

සෙනසුරා යනු දුකට අධිපති ග්‍රහයාය. එසේම කෙනකු පිස්‌සකු කරන්නට රාහුට හැකිය. එය ජ්‍යෙතිෂයේ ඇති මතය වේ. ඒ අනුව බලන කල යම් කෙනකුගේ ග්‍රහ චක්‍රයේ රාහුත් සෙනසුරුත් නීච වුවහොත් අත්වන ඉරණම ඉතාම ශෝචනීය වන්නේය.

එහිදී ඒකා කට ඇරියොත් පිස්‌සු දොඩවයි. සිහි බුද්ධිය ඇති අයටද පිස්‌සු හැදෙන තරමේ මඤ්ඤං දේම කරයි. අවසානයේ ඒ සියල්ල භූමරංගයක්‌ම වී ඒකා දුකින් දුකටම පත්වෙයි.

බුදු දහමට අනුව නම් මෙකී තත්ත්වය හැඳින්වෙන්නේ පෙර පව් පලදීම ලෙසිනි. ඇතැමුන්ගේ ග්‍රහයන් එතරම් බරපතළ ලෙස නීච වන්නේ පෙර බවයන්හිදී කළ අකුසල් අනුව බව ජොතිෂයේදී ද කියෑවේ. 

කෙසේ වෙතත් මේ සියල්ල ගෙන කල්පනා කිරීමේදී දැන් අපට පමණක්‌ නොව මුළු රටටම දැනෙමින් තිබෙන එක්‌ සත්‍යයක්‌ ඇත. ඒ වත්මන් යහපාලන ආණ්‌ඩුවේ ග්‍රහචක්‍රයද අද බරපතළ ලෙස නීච වී තිබෙන බවය. මෙහිදී වෙනසකට ඇත්තේ ආණ්‌ඩුවට අද පලදෙමින් තිබෙන්නේ පෙර අකුසල් නොව, යෝනිසෝමනසිකාරයෙන් තොරව රටත් ජනතාවත් අගාධයට ඇද දැමීමේ දිට්‌ඨධම්මවේදනීය කර්මය වීමය.

ඉකුත් 2015 වසරේ ජනවාරි 08 වැනිදා වන විට නම් යහපාලනයේ සිකුරා උච්ච වී තිබිණ. එහෙත් අද ආණ්‌ඩුව සිටින්නේ ජනතාවටත් බටකොළ කවා කියන කරන හැම කටයුත්තක්‌ පාසා තමනුත් ඉල්ලාගෙන කන තත්ත්වයකට පත්වීය. එසේ ජනවාරි 08 වැනිදා සිට මේ දක්‌වා පැමිණි ගමනේදී ආණ්‌ඩුව මේ රටත් ජනතාවත් අරබයා කළ කුජීත වැඩ සහ කියන ලද බයිලා කොතෙක්‌ වන්නේද?

රාජපක්‍ෂවරුන්ගේ රත්තරන් අස්‌වයන්, ලැම්බෝ ගිනි, ඩුබායි මාලිගා, කොල්ල කෑ මුදල් පොදි ගැන කියමින් මෙගා හොරු අල්ලන්නේ යෑයි පවසා බලයට පැමිණි යහපාලනය ජයග්‍රහණයේ උණුසුම යන්නටත් පෙර මුලින්ම රටේත් සමස්‌ත ජනතාවගේත් ආර්ථිකය වළපල්ලට යවමින් මහ බැංකුව මහ දවාලේ කොල්ල කෑම සිදු කළේ කිසිදු හිරිකිතයකින් තොරවය. 

එහි පලවිපාක මේ මොහොතේත් රටේ ජනතාව ගෙවමින් සිටින්නාහ. අද ආණ්‌ඩුව මහ බැංකු කොල්ලය පිළිබඳ විමර්ශන කරන බව සත්‍යයකි. එකී විමර්ශනවලදී ඇතැම් මොළකාර ක්‌ලීන් සූට්‌ලාගේ රෙද්ද පමණක්‌ නොව ඊට යටින් තිබෙන ඒවාද ගැලවෙමින් තිබෙන බව රටටම පෙනෙන්නට තිබෙන්නකි. එහෙත් එසේ සිදුවූ පලියට රටේ දුක්‌ විඳින ජනතාවට අත්වන සෙත කුමක්‌ද?

මෙසේ සම්මුතිවාදී පූට්‌ටුව සමඟ හොරු අල්ලන්නට පැමිණි ආණ්‌ඩුව රටේ ආර්ථීක මර්මස්‌ථානය නට්‌ටං කිරීමෙන් අනතුරුව ඊළඟට කරනු ලැබුවේ සංහිඳියාව සහ සහජීවනය යෑයි නන් දොඩවමින් රට බේරාගත් රණවිරුවා සමඟ ජාතික ආරක්‍ෂාවද පාව දෙන අයුරින් කටයුතු කිරීමය. 

ජාතියට බෝම්බ ගැසූ ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කෙරෙද්දී රට බේරාගත් රණවිරුවෝ මිනීමරුවන් කර සිරගත කරන්නට වූහ. නාවික හමුදාවේ ත්‍රිකුණාමලය බුද්ධි ප්‍රධානියා වූ කොමාණ්‌ඩර් සුමිත් රණසිංහ ඇතුළු නාවික බුද්ධි නිලධාරීන් කිහිප දෙනකු අදටත් එකී පාවා දීම හමුවේ සිරගතව සිටින්නාහ.

එසේම එල්ටීටීඊ ත්‍රස්‌තවාදයට කඩේ ගිය බව ඇතැමුන් කියන සහ පසුගිය කාලයේ රටෙන් පැන ගොස්‌ සිටි මාධ්‍යවේදී පොද්දල ජයන්ත ඇමරිකාවේ සිට පැමිණ ඉකුත් දිනවල සීඅයිඩීයට කළ පැමිණිල්ලකට අනුව මේ වන විට යුද හමුදා බුද්ධි නිලධාරීන්ට එරෙහිව තවත් දඩයමකට පිඹුරුපත් සැකසෙමින් තිබෙන බවක්‌ද කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා පොලිසියේ නව මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලෙන් ඇසෙන්නේය.

මේ අතරේ අපේකම පිළිබඳ හැඟීමක්‌ නැති වන සේ අනාගත පරපුරේ මොළ සෝදා දැමෙන පරිදි අධ්‍යාපන ක්‍රමයේ වෙනසක්‌ කිරීමටද තම ගමන ආරම්භ වී ටික කලකින්ම යහපාලනය කටයුතු කළේය. 

සංහිඳියාව සහ සහජීවනය කියමින් ගැටලුකාරී ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ වෙතටද ගමන් කරන්නට වූ ආණ්‌ඩුව පසුගිය තුන් වසරකට ආසන්න කාලයේදී කරළියට රැගෙන ආ රටට අහිතකර අණපනත්ද කිහිපයක්‌ම විය. එකී අණපනත් අතර රණවිරුවන් ජාත්‍යන්තර වශයෙන් පාවා දෙන අතුරුදන් වූවන්ගේ කාර්යාල පනතද විය. 

මෙසේ යහපාලනය දිගින් දිගටම විජාතික වුමනාවන් අනුව රටට අහිතකර මාවතක ගමන් කරන බව පෙනී යැමත් සමඟ අවසානයේ සිදු වූයේ රජයට නිසි මඟ කියා දී රටේ අනන්‍යතාව සුරක්‍ෂිත කිරීම සඳහා ජාතියේ මුරදේවතාවන් වූ මහා සඟරුවන පෙරට ඒමය.

එහෙත් මෙතෙක්‌ කළ කී හතරවරං දේ හමුවේ මේසා විපාකයකට මුහුණ දී ප්‍රතික්‍ෂේප වීමේ හිනිපෙත්තටම ළඟා වී තිබුණද යහපාලනයට තවමත් යථාර්ථය වැටහී තිබේද? එයට දිය හැකි පිළිතුර වන්නේ නැත යන්නය. ඔවුනට එය වටහා ගැනීමට වුවමනාවක්‌ද නැත. වුවමනාවක්‌ තිබුණද එසේ කිරීමටද නොහැකිය. ආණ්‌ඩුවට අද රට, ජාතිය, අපේකම සහ සිංහල බෞද්ධත්වය ඇලජික්‌ වූවාක්‌ මෙන් පෙනී සිටිනු හැර වෙන කරන්නට දෙයක්‌ද නැත.

යහපාලනයට මේ උදාවී තිබෙන්නේ වැපිරූ සියල්ලේ ඵල ලැබෙන කාලය ය. මේ මොහොතේත් යහපාලනයේ වැජඹෙන රාජිත සේනාරත්න වැනි ඇමැතීන් ඇට නැති දිව හතර අතට හරවමින් මේ පිං බිම සිංහල බෞද්ධ එකක්‌ නොවේ යෑයි කියමින් හඬ නඟා බයිලා කියන්නේද අන්න ඒ නිසාය.

හුදෙක්‌ බලලෝභීත්වය සහ කුහකකම හමුවේ විජාතික ද්‍රෝහීන්ගේ කරමතින් බලයට පැමිණි පිරිසකගෙන් ඉන් එහා දෙයක්‌ බලාපොරොත්තු වීමද විහිළුවකි. 

එහෙයින් කොතෙක්‌ ජනතා උදහසට පාත්‍ර වුවද ඔවුන් දිගින් දිගටම සර්ව ජාතික නිර් ආගමික බිමක්‌ පෙරදිග මුතු ඇටය තුළ බිහිකර එදා රොබට්‌ නොක්‌ස්‌ දුටු "සිලෝන්" හි උප්පැන්නයේ සුජාත බව අවජාතක කිරීමට ක්‍රියා කරනු මිස අන්දෙයක්‌ නම් නොකරන්නේය. 

අද ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි යන සිව් බැඳීමට අතුල් පහරක්‌ දෙමින් අපේ පන්සල්වල පිංකැටයට අත තබන්නට යහපාලනය කටයුතු කිරීම ම ඊට ඇති පැහැදිලි උදාහරණයකි. මේ වන විටත් ඓතිහාසික අලුත්ගම කන්දේ විහාරයේ පිංකැට 37 සීල් තබන්නට වත්මන් පාලකයෝ ක්‍රියාකර ඇත්තාහ.

මහා භාරකාර දෙපාර්තමේන්තුවේ විගණන කටයුතු සඳහා එකී පිංකැට සීල් තැබීම සිදු කළ බව රටේ බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා කියයි. ඔහු එසේ පවසද්දී මේ සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වන කන්දේ විහාරයේ විහාරාධිපති හිමියන් වන පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්‌ත නාහිමියන් පවසනුයේ තමන් වහන්සේ රෝගාතුරව ප්‍රතිකාර ලබා ගැනීමට ගොස්‌ ආපසු පැමිණෙද්දී විහාරස්‌ථානයේ පිංකැටවලට සීල් තැබීමට කටයුතු කර තිබුණ බවකි.

මේ අනුව මෙම සිද්ධියේදී පැහැදිලිවම පෙනී යන කරුණ වන්නේ කන්දේ විහාරයේ සාංඝික දේපලවළට ආණ්‌ඩුව බලහත්කාරයෙන් අත තබා ඇතැයි යන්නය. 

එහෙත් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස්‌ දැක්‌වූ අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා කියා සිටියේ එය බලහත්කාරයෙන් සිදුවූ අතපෙවීමක්‌ නොව විහාර දේවාලගම් පනතට අනුව රටේ පවතින නීතියට අනුව සිදු කෙරුණු ක්‍රියාවක්‌ කියාය. 

ඇමැතිවරයාට අනුව විහාර දේවාලගම් පනත යටතේ මේ අන්දමට පිංකැටවල ආදායම ගණනය කර බැංකුගත කරන විහාරස්‌ථාන 258 ලංකාවේ ඇත. එහෙත් ඇමැතිවරයා එකී සියල්ල හෙළි කළද එසේ බැංකුගත මුදලින් කරනුයේ කුමක්‌ද යන්න පවසා තිබුණේ නැත. 

කෙසේ වෙතත් කන්දේ විහාරයේ කතාව එසේ වෙද්දී අද ඩෙංගු උවදුර හමුවේ පාසල් දරුවන්ට දිග කලිසම් ඇන්දවීමට කටයුතු කර ඇති අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාද පසුගිය දිනවල ඓතිහාසික දඹුල්ල විහාරයේ ආදායම ගණන් කරගත නොහැකිව විවිධ දේ පවසමින් හතර අතේ යන ආකාරයක්‌ද දකින්නට ලැබිණ.

ඇමැතිවරයා එසේ දඹුල්ල පන්සලේ ආදායම ගණන් කරන්නට හැදුවේ එම විහාරයේ සංවර්ධනය සඳහා යෙදවීමට යෑයිද පවසමිනි. එහෙත් ඔහු එසේ කීවද එයද ආන්දොලනාත්මක සිදුවීමක්‌ බවට පත් වූයේ රටේ බෞද්ධ ජනතාව තුළ ආණ්‌ඩුව කෙරෙහි දැඩි අප්‍රසාදයක්‌ මතුකරමිනි. 

මේ පිළිබඳ පුවත් පළවන කල්හි රටේ මිනිස්‌සු කම්මුලේ අත තබා "අනේ අපොයි අබුද්ධස්‌ස කාලෙක තරම" යෑයි කියන්නටද වූහ. ඇමැති අකිල විරාඡ් කරළියට ආ මේ සිද්ධියේදී දකින්නට ලැබුණු තවත් විශේෂත්වයක්‌ වූයේ දේවාලගම් පනතක්‌ පිළිබඳව කිසිදු සඳහනක්‌ නොවීමය.

ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා කියන පරිදි කන්දේ විහාරයේ පිංකැට සීල් කිරීම සිදුවූයේ නීත්‍යනුකූල ආකාරයට වුවද දඹුල්ලේදී ඇමැති අකිල විරාඡ් කාරියවසම් සිදු කළේ තම නිල බලය යොදවා බලහත්කාරයෙන් සාංඝික දේපළවලට අත තැබීමක්‌ බව එයින් පැහැදිලි විය. 

එසේම මෙහිදී අපට මතුවන තවත් ගැටලුවක්‌ද ඇත. ඒ ඇමැති විඡේදාස කියන පරිදි රටපුරා විහාරස්‌ථාන 258 ක පිංකැට මුදල් මේ ආකාරයට ගණනය කර බැංකුගත කිරීමක්‌ සිදුවන්නේ නම් එකී ගණනය කිරීම කෙළින්ම සිදු නොකොට බෞද්ධත්වයට නිගා කරමින් කන්දේ විහාරයේ පිංකැටවලට සීල් තබන්නට පියවර ගත්තේ කුමකටද යන්නය. 

එසේ සිදු කළේ විහාරාධිපති හිමියන් හෝ අන් කෙනකු පිංකැටවල ඇති
මුදල් කීයක්‌ හරි ගෙන සඟවා ගනීවි යෑයි ලෙසින් වූ සැකයක්‌ ඇතිවූ නිසාද, නැතහොත් අදටත් ආණ්‌ඩුවේ ඇතැමුන් තලු මර මර තැන තැන කියන රාජපක්‍ෂවරු හොරකම් කළ මුදල් පොදි කන්දේ විහාරයේ පිංකැටවල සඟවා තිබෙන්නේ යෑයි ලෙසින් ඇතිවූ සැකයක්‌ නිසාදැයි දන්නේ ආණ්‌ඩුවය.

මේ රටේ ඇති ඕනැම විහාරස්‌ථානයක පිංකැටයකට මුදල් දමන්නේ භක්‌තිමත් බොදුනු ජනතාවය. ඔවුන් එසේ කරනුයේ බුදු දහමට අනුව අතහැරීම ගැන සිතමිනි. යමෙකු එසේ විහාරස්‌ථානයක ඇති පිං පිට්‌ටියකට මුදලක්‌ දැමූ කල්හි එතැන් සිට එය සාංඝීක වස්‌තුවක්‌ වේ.

අප දන්නා පරිදි නම් සාංඝීක දේපළවලට අත තැබීම යනු මහා පාපයකි. බුදුන් දවස වරක්‌ කොසොල් රජතුමන්ට රෑ නින්දේදී නිරුවතින් පැමිණෙන විරූපී පිරිසක්‌ තමන්ව බියගන්වනු සිහිනෙන් පෙනෙන්නට විය. 

මේ රජතුමාට නින්දක්‌ නොවීය. අවසානයේ ඔහු බුදු රජාණන් වහන්සේ හමුවට ගොස්‌ මේ සිහින පිළිබඳ පවසා තතු විචාලාහ. එහිදී රජු ඇමතූ බුදුහු මෙසේ සිහිනෙන් පෙනෙන්නේ එක්‌ බවයක රජුගේ ඥතීන්ව සිට මේ බවයේදී ප්‍රේතයන් බවට පත්ව සිටින පිරිසක්‌ බවත් සඳහන් කළහ.

එසේම ඔවුන් ප්‍රේතයන් වී දුගතියේ ඉපදී ඇත්තේ පෙර බවයේදී රජතුමන් දනක්‌ පිළියෙළ කරද්දී ඒ සාංඝීක දානය හොර රහසේ අනුභව කිරීමේ විපාකයක්‌ ලෙසින් බවද පෙන්වා දුන් බුදුහු දන් පූජා කොට එම ඥතීන්ට පිං පැමිණවීමෙන් සිහින කරදරයෙන් මිදිය හැකි බවද පෙන්වා දුන්හ. 

බුදු හිමියන් වදාළ පරිදි දානමානාදිය දී ඥතීන්ට පිං පැමීණවීමෙන් කොසොල් රජු එදා එකී කරදරයෙන් ගැලවී සුව නින්දක්‌ ලබන්නට වාසනාවන්ත විය. එහෙත් එදා එසේ කොසොල් රජුට සිදුවූ දේ අදට ගලපා පූර්ව අපර සන්ධි ගෙන බැලුවහොත් කුමක්‌ සිදුවනු ඇතිද?

රටටත්, ජාතියටත් උතුම් සම්බුද්ධ ශාසනයටත් වර්තමානයේ කරනු ලබන අවැඩ හමුවේ පෙර බවයක පව් කළ ඥතීන්ගේ ප්‍රේත ආත්ම නොව, මතු බවයක ප්‍රේතයකු වී ඉපදෙන තමන්ගේම ආත්මය නිරුවතින් පැමිණ තමන්වම බිය කරන අන්දම රෑ සිහිනෙන් දකින්නට යහපාලනයේ ඇතැම් උත්තමයන්ට නම් සිදුවනු නියතය.

එදාට ඔවුන්ට සිදුවන්නේ ජීවත්ව සිටියදීම දානමානාදිය ලබාදී මේ රටත් ජාතියත් සුරකින මහ සඟරුවනෙන් සමාව ඉල්ලා තමන්ගේම ප්‍රේත ආත්මයට පිංපමුණුවා ගන්නටය. අද බුදු දහමට සහ මේ පිංබිමේ බොදු උරුමයට ගරහමින් ඇට නැති දිව හතර අතට හරවා කතා කරන හා ආණ්‌ඩුවෙන් ආණ්‌ඩුවට පිල් මාරු කරමින් ජනතාවට කප්පරක්‌ කෙප්ප ඇදබාන දේශපාලනඥයන් මේ කරුණ තරයේ සිහි තබාගත යුතුය.

මන්ද බුදු දහමට අනුව මුසාවාදයෙන් බඩවඩා ගත්තෙකු කළ පව් හමුවේ ප්‍රේත ආත්මයක්‌ ලදහොත් සුගතියකට පත්වනතුරුම ඒකා ළඟින් අසූචි ගඳ ද හමන්නේය.

සමන් ගමගේ
http://www.divaina.com/2017/07/09/feature42.html

නොකර අවමානය - දැනගනු මෙයයි 'සංඝ භේදය'...

එදා කීවේ වෙහෙර ගිලපු එකාට අග්ගලාවත් කඡ්ජක්‌ද කියාය. අදට අනුව එය යාවත්කාලීන (අප්ඩේට්‌) කර අවශ්‍ය නම් 'මහ බැංකුව ගිලපු උන්ට පිං කැටයත් කඡ්ජක්‌ද' කියා කිව හැකිය. රට යන්නේ කුමන පාරක ද කියා රටේ උන් තියා රට කරවන උන්වත් නොදනිති. තමන්ව මරන්නට පැමිණි ත්‍රස්‌තවාදියාව හිරෙන් නිදහස්‌ කර, ත්‍රස්‌තවාදියාගෙන් තමන් බේරාගත් එකාව හිරයට දමයි. යුදමය වශයෙන් වැදගත් නැතහොත් අධිආරක්‍ෂිත කලාප යුද්ධය අවශ්‍ය වන උන් වෙනුවෙන්ම නිදහස්‌ කරදී ජාතික ආරක්‍ෂාව 'බල්ලට දමන' රට කරවන ඇත්තෝ මේවාට එරෙහිව අන්තර්ජාලයෙන් තමන්ව විවේචනය කරන එකාවද ආරක්‍ෂාවට තර්ජනයක්‌ සේ සලකා අත්අඩංගුවට ගනිති. විදේශ ඇමැති ලොතරැයි විකුණයි. අධ්‍යාපන ඇමැති පිං කැට මුරකරයි. මිස්‌ටර් ක්‌ලීන්ලා කුණුගොඩක්‌ ඉවත්කර ගැනීමට හෝ සවියක්‌ නැතිව ඒවා හත් පොලේ ගා ගනියි. යුද ජයග්‍රහණයෙන් පසු ක්‍රමිකව සංවර්ධනය දෙසට ඇදී ගිය ශ්‍රී ලංකාව නම් රන්කෙත මත සිය විස වසුරු හෙළා පුරන් කළ රතු මල්ලිලා, රට බැමිණිතියාසායකට ලක්‌කර, ජනතාව බජිරි වපුරා බාස්‌මතී පතන්නේ කෙසේ දැයි කියා තමන් කළ වැරැදි ජනතාවගේ කර මත තියා මාරුවෙන අතරේ, රතු පැහැයෙන් බැබලිය යුතු පක්‍ෂයක සාරධර්ම, ආචාරධර්ම 'රනිල් උම්මා- මහින්ද සුම්මා' න්‍යායක්‌ තුළ ප්‍රසිද්ධියේ විකුණා දමති. අසාධාරණයට එරෙහිව ජීවිත පූජාවෙන් සටන් වැදුණු ඉතිහාසයක්‌ ඇති එවැනි පක්‍ෂ ද (ඔවුන්ට තේරෙන උපහැරණයකින්ම කියන්නේ නම්) හොරා කා දුවන බළලා ඉදිරියේ ප්‍රහාරයක්‌ වෙස්‌ ගත් 'ප්‍රේමනීය උම්බලකඩයක්‌' බවට පත්වෙමින් පතිත වන විට, රට කරවන ඇත්තෝ ඒ හැම අවසරයකින්ම හැටට හැටේ පිස්‌සු කෙළිති. මේ සියල්ල දකිමින් රාජපක්‍ෂලා 'කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ' කියා ජනතාවට කියන්නාක්‌ මෙන් අත් දෙක බැඳගෙන බලාගෙන සිටියදී මේ සිදුවෙමින් යන වින්නැහිය තවත් ඉවසිය නොහැකි වූ මහා සංඝරත්නය සාමුහිකව පෙරට පැමිණ ඇති මොහොතකි මේ.

'මෛත්‍රිය' යන දහමේ රැඳෙන සොඳුරු වචනය යොදා ගනිමින් 'මෛත්‍රී පාලනයක' වරම ඉල්ලා, රටේ මිනිසුන් කුණු කඳුවලට යටවී මැරුණත්, ඩෙංගු තුඩට බිළිවුණත්, ඒ ගැන වගේ වගක්‌ නැතිව ප්‍රතිවාදී දේශපාලන දඩයමක පමණක්‌ එකම අධිෂ්ඨානය කරගත් 'දඩයම් පාලනයක්‌' බවට රට පත්ව ඇති මොහොතක, අනෙක්‌ පසින් රටේ සියලු භෞතික සහ ආධ්‍යාත්මික හරයන් මෙන්ම පෞරුෂය ද ජාත්‍යන්තරයට පාවාදී, උතුම් රටක්‌ පෙරේතයන් ලෙවකන 'පිදේනි තටුවක්‌' බවට පත්කරමින් සිටියදී ගොනා හැරෙන්නේ 'කප්රුකට' බව දැනගත් මහ නායක ස්‌වාමීන්වහන්සේලා ක්‍රියාත්මකවීම වරදක්‌ද?

ඉතිහාසයේ කිසිදාක නොවූ අයුරින් මහා සංඝරත්නය රට කරවන ක්‍රමවේදයට (සමාවෙන්න, ඇත්තටම රට කරවන ක්‍රමවේදයක්‌ තිබේද?) එරෙහිව එක පෙළට සිටගනිද්දී, ඉන් තැතිගත් දේශපාලන නොසන්ඩාලයන් විසින් මේ සාධාරණ ප්‍රතිරෝධය, පිළිගත හැකි විසඳුමකින් නිෂේධ කරනු වෙනුවට මෙය 'සංඝ භේදයක්‌' ය යන අර්ථකථනයක්‌ දී ප්‍රශ්නයෙන් පලා යැමට උත්සහ කරනු පෙනෙන්නට වෙයි.

උතුම් දහම හෝ එහි සඳහන් වචන, කරුණු ආදියෙහි හරය හෝ අර්ථය ගැන කිසිදු හැඟීමක්‌ හෝ දැනීමක්‌ නොමැති හෙවත් හැඟීම් දැනීම් නැති එවැනි පාලක ප්‍රජාවක්‌ 'සංඝ භේදය' යන්නෙහි සැබෑ අර්ථය නොදැන සිටීම එක අතකින් අරුමයක්‌ නොවේ. 

නමුත් බහුතර ජනතාවගේ හිත සුව පිණිසත්, රට කුරුවල් කිරීමෙන්, නොනැවතී ජනතාවගේ ඔළු කුරුවල් කිරීම සඳහා තවදුරටත් අවස්‌ථාව නොදෙනු පිණිසත් 'සංඝ භේදය' යන්නෙහි නියම අර්ථය සමාජය හමුවේ පැහැදිලි කිරීම කාලෝචිතය.

සංඝ භේදය යනු ආනන්තරිය පාප කර්මයකි. ආනන්තරිය පාප කර්මයක ඇති බරපතළ බව නිසාම 'සංඝ භේදය' යන නම ඇසුණු සැණින් එහි නිසි තේරුම නොදත් ගිහි ඇත්තෝ බිය වෙති. එවැන්නකට සහය දීමෙන් වැලකී සිටිති. අදාළ වත්මන් දේශපාලනය විසින් කිරීමට සැරසෙනුයේ ද 'සංඝ භේදය' යන වචනය තමන්ගේ වාසිය පරිදි අර්ථ ගන්වා, තමන්ට එරෙහි සංඝයා වහන්සේගේ නැඟී සිටීමට ගිහි සමාජයෙන් සහය ලැබීම වලක්‌වා එම ශාසන මාමක දෑහිතකාමී රැල්ල හුදෙකලා කර දැමීමය. නමුත් සංඝ භේදය යනු කිසිසේත් ගිහියකුට කළ නොහැකි දෙයකි. දේශපාලනයකට කළ නොහැකි දෙයකි. භික්‍ෂූන් වහන්සේලා දෙනමක්‌ වෙනස්‌ මත දෙකක්‌ දැරූ පමණින් හෝ එවැනි මත දෙකක්‌ සඳහා ඔවුන්ව පෙළඹූ පමණින් සිදුනොවන දෙයකි. චූලවග්ග පාලිය 2- විනය පිටකයේ සංඝභේදක්‌ඛන්ධකයේදී බුදුරජාණන් වහන්සේ විසින් උපාලි තෙරුන් වහන්සේ නැඟූ පැනයකට පිළිතුරු දෙමින් සංඝ භේදය යනු කුමක්‌ දැයි මනාව පහදා දෙනු ලබන්නේය.

ඒ අනුව සංඝ භේදයක්‌ සිදුවීමට නම්, එතැන එක පිරිසක්‌ ලෙසින් විනය කර්ම සිදුකරන පාරිශුද්ධ උපසම්පදාවෙන් යුත් භික්‍ෂූන් වහන්සේලා, අවම වශයෙන් නවදෙනෙක්‌ රැස්‌ව සිටිය යුත්තේය. අනතුරුව මේ පිරිස අතරේ අදාළ කරුණු 18ක්‌ (අධර්මය ධර්මය ලෙසින් දැක්‌වීම, ධර්මය අධර්මය ලෙසින් දැක්‌වීම, අවිනය විනය ලෙසින් දැක්‌වීම, විනය අවිනය ලෙසින් දැක්‌වීම ආදී වශයෙන් දහමේ සැබෑවට ප්‍රතිවිරුද්ධ ආකාරයේ කරුණුය) අතුරින් එකක්‌ හෝ කිහිපයක්‌ මුල්කරගෙන වාදයක්‌ හටගත යුත්තේය. එම වාදයේදී සංඝයා වහන්සේලා හතරනමක්‌ බැගින් දෙපසට වෙන්විය යුත්තේය (විනයට අනුව සංඝයා යනු අවම වශයෙන් හතර නමක්‌ බැවිනි සංඛ්‍යාත්මකව මෙසේ යෙදී ඇත්තේ) එසේ හතර නම බැගින් දෙපාර්ශ්වයට බෙදී සිටියදී නව වැන්නා 'ධර්මය නම් මෙයයි, විනය නම් මෙයයි, ශාස්‌තෘ සාසනය නම් මෙයයි, මෙයට කැමති වන්න, මෙය මේ අයුරින් ගන්න' යෑයි පැවසීම හෙවත් අනුසාවණය තෙවරක්‌ කළ යුතුය. එම අනුසාවණ තුන අවසානයේ ද, දහමේ සැබෑවෙන් ප්‍රතිවිරුද්ධ මතය දරන පිරිස තම ස්‌ථාවරයේ එලෙසින්ම රැඳී සිටීමෙන් පළමුව සංඝාධිශේස නමින් හඳුන්වන තැනට පත්වේ. අනතුරුව එම සීමාවේ වෙන්ව විනය කර්ම කළ යුතුය. අධර්මය දරන පිරිස එසේ විනය කර්මය සිදුකරන්නේ, ධර්මය දරන පිරිස සීමාවේ රැඳී සිටියදීම විය යුතුය. මේ කාරණා අනුපිළිවෙළින් සිදුවුවහොත් පමණකි සංඝ භේදයක්‌ සිදුවන්නේ. එසේ එක්‌ කරුණක්‌ හෝ නොවුණ හොත් (උදාහරණයක්‌ වශයෙන්, දහමේ සැබෑවට එරෙහි මතයක්‌ දරන පිරිස විනය කර්මය සිදුකරන විට සැබෑව දරා සිටින සංඝයාගේ පාර්ශ්වය එහි නොසිටී නම්) එහිදී ද සංඝ භේදයක්‌ සිදු නොවේ.

නමුත් මේ ළාමක සමාජය සිය දේශපාලනික අරමුණු උදෙසා 'සංඝ භේදය' යන්න තමන්ගේ වාසිය පරිදි අර්ථකථනය කරයි. මෙය දහමට කරන අවමානයකි. මේ අවමානය දැන්වත් නැවතිය යුතුය. බුදුරජාණන් වහන්සේ නමක්‌ විසින් කරන ලද ප්‍රකාශයක්‌, පැනවීමක්‌ විකෘති කර දැක්‌වීමේ ආදීනවය මේ උදවිය නොදනිති. කර්මය කර්ම ඵලය නොහඳුනන පිරිසක්‌ රට කරද්දී, දහමට කුමන සරණක්‌ද? එහෙව් පිරිසක්‌ විසින් ගෙනෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හෝ ව්‍යවස්‌ථා සංශෝධනයක 

රැඳිය හැකි ආපත්ති ගැන වැටහීමකින් යුත් මහනාහිමිවරුන් එයට විරුද්ධ වීමෙන් සිදුවන සංඝ භේදය කුමක්‌ද? 

එහෙත් එක්‌ දෙයක්‌ පැවසිය යුතුය. දේශපාලන වාසි පිළිබඳ අපේක්‍ෂාවෙන් සංඝයා භින්න කිරීම නම් එදා මෙදා තුර සිටි බහුතරයක්‌ පාලකයන් අනුගමනය කළ ක්‍රමවේදයක්‌ විය. එය ආනන්තරිය පාපකර්මයක්‌ නොවුණ ද, අපාගාමී අකුසලයක්‌ බව කවුරු කවුරුත් දැනගෙන සිටීම නම් නුවණට හුරුය. එසේම දෙවිවරුන්ද වන්දනා කරන, බුදුන් වෙනුවෙන් පූජා කළ මේ බිමේ ඒ හරයන් විනාශ කර දමන්නෙක්‌ වේද, එයට සෘජුව හෝ වක්‍රව උපකාර කරන්නෙක්‌ වේද, අපායෙන් මෙහා ගැලවුමක්‌ ඔවුනට නැත්තේම විය යුතුය. 

ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2017/07/09/feature41.html

Saturday, April 29, 2017

ජයවර්ධන ආණ්‌ඩුවේ මර්ධනය ජනගත කළ, මැයි දිනය තහනම් කර ලෙයින්ම රතුවූ '87 මැයි දිනය...

<--- මව්බිම සුරැකීමේ මැයි දින සැමරුම් සහභාගිවන්නන් අභයාරාම පන්සලෙන් පිටතට පැමිණීමේදී කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අබ්දුල් ගපූර් එය නවතාලූ ආකාරය. 

මැයි 1වැනිදා ලෝක කම්කරු දිනයයි. වැඩකරන ජනතාවගේ දිනයයි. සටන් අවිය මුවහත් කරන දිනයයි. දිනාගත් කම්කරු අයිතීන් ආශ්වාදයෙන් මෙනෙහි කරන දිනයයි. එම දිනයේදී එක්‌සත් බව වඩවඩාත් බැඳීමකින් වෙලෙනු ලබයි. ඉදිරියට පිය එසවීමට තව තවත් ශක්‌තිය ලැබේ. ජවය ඇතිවේ. පන්නරය ලබයි.

මෙවර 2017 දී ලොව පුරා සමරනු ලබන්නේ 131 වැනි මැයි දින සමරුවයි. ලෝක මැයි දින ඉතිහාසයද අභිමානවත්ය. ඇමරිකානු කම්කරුවෝ පැය 8ක සේවා මුරයක්‌ වෙනුවෙන් සටන් කර තෙවන දිනය වූයේ 1886 මැයි 3 වැනිදාය. හේමාකට්‌ චත්‍රරශ්‍රයේ පැවති ජන රැළියේදී පොලිස්‌ නිලධාරින් වෙත අත්බෝම්බයක්‌ දමා ගැසුවේ යයි චෝදනා කොට ඔගස්‌ටස්‌ ස්‌පයිස්‌, ඇල්බට්‌ ආර්. පාර්ජින්ස්‌, සැමුවෙල් ෆීල්ඩන්, ඇඩෝලෆ් ෆීෂර්, ජෝර්ඡ් එන්ගල්ස්‌, ලුයිස්‌ ලන්ග්, මයිකල් ස්‌ට්‌වැච්, ඔස්‌කා නීබේ ඇතුළු අය බන්ධනාගාර ගත කෙරිණි. ජූරි සභාවේ තීරණය අනුව ඔවුනට මරණ දඬුවම නියම කෙරිණි. මොවුනට දඬුවම් දෙන දිනයට පෙරදින ලුයිස්‌ ලන්ග් ගෙල වැළලාගෙන සියදිවි නසා ගත්තේය. පසුව මයිකල් සහ සැමුවෙල්ට ලබාදී තිබූ මරණ දඬුවම ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමක්‌ බවට පත්විය. ඔස්‌කා නිබේට වසර 15ක සිර දඬුවමක්‌ නියම විය. අනෙකුත් සෙසු කම්කරු නායකයින් 5 දෙනා 1887 නොවැම්බර් 11 වැනිදා එල්ලා මරා දමන ලදී. වසර 1893 ජුනි 26 වැනිදා ඉලිනොයිස්‌ ආණ්‌ඩුකාරවරයා කම්කරු නායකයින් 8 දෙනාම චෝදනාවලට නිවැරදිකරුවන් යෑයි ප්‍රකාශ කළ අතර ජීවිතාන්තය තෙක්‌ සිරදඬුවම් කළ දෙදෙනාම නිදහස්‌ විය. පැය 8ක සේවා කාලයක්‌ ඉල්ලා අරගල කරමින් රුධිරය වැගුරූ එම කම්කරු නායකයින් සිහිකිරීමට 1889 වසරේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළ අතර ඒ අනුව මැයි 1 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

පොලිස්‌ වෙඩි තැබීමෙන් මියගිය රණවක සිසුවාගේ සිරුර මොරටු සරසවියේ ඉංජිනේරු සිසු නිමල් බාලසූරිය ඇතුළු තිදෙනෙක්‌ ඔසවාගෙන යමින්. පිස්‌තෝලයක්‌ අතැතිව සිටින්නේ සහකාර පොලිස්‌ අධිකාරි බන්දුල වික්‍රමසිංහය. --->

ලොව මැයි දින සැමරුම් 1890 සිටම සිදු වූවද ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දින සමරුව පවත්වන ලද්දේ 1927 දී බව ලංකා කම්කරු සංගමයේ ඊ. ඒ. ගුණසිංහ පවසයි. එහෙත් දේශපාලන විද්වතුන් පවසන්නේ ශ්‍රී ලංකා පළමු මැයි රැලිය 1933 ගුණසිංහගේ නායකත්වයෙන් කොළඹ ගාලු මුවදොරින් ආරම්භවී වික්‌ටෝරියා (විහාර මහා දේවි) දක්‌වා ගමන් කර එහිදී රැස්‌වීම පැවැත්වූ බවය. 1934දී කොළඹ තරුණ සංගමයේ මාක්‌ස්‌වාදීහුද මැයි දින රැළියක්‌ පැවැත්වූ අතර 1935දී සමාජවාදීන්ගේ මැයි දින රැළියක්‌ කොළඹ ප්‍රයිස්‌ පිටියේදී වෛද්‍ය එස්‌. ඒ. වික්‍රමසිංහගේ මුලසුනින් පවත්වන ලදී. සමසමාජයේ ප්‍රථම මැයි රැළිය 1936දී පැවැත්වූ අතර මැයි දිනය මෙරට රාජ්‍ය නිවාඩු දිනයක්‌ බවට පත්කලේ 1956දී අගමැති බණ්‌ඩාරනායකගේ නායකත්වයෙන් යුත් මහජන එක්‌සත් පෙරමුණ ආණ්‌ඩුව මගිනි. එය කම්කරු අමාත්‍ය ටී.බී. ඉලංගරත්නගේ යෝජනාවකි.

එජාපය බලයට පත්වීමෙන් පසු 1978 සිට මැයි දින සැමරුම සිදුවූයේ ජාතික සංස්‌කෘතික උළෙලක්‌ ලෙසිනි. ජනතා විමුක්‌ති පෙරමුණද 1978 සිට සිය මැයි දිනය 1983 දක්‌වා ආකර්ෂණීය ලෙස පවත්වනු ලැබීය. ජවිපෙ 1983 ජුලි තහනමින් පසු එහි අනුගාමී සංවිධානයක්‌වූ සමස්‌ථ ලංකා වෘත්තීය සමිති සම්මේලනය මගින් 1985 සහ 1986දී ජවිපෙ නිල නොවන මැයි රැළි නව නගර ශාලාවේදී පවත්වන ලදී. වසර 1984දී සමසමාජ, කොමියුනිස්‌ට්‌, මහජන පක්‌ෂය සහ මහජන එක්‌සත් පෙරමුණ එක්‌වී එක්‌සත් මැයි රැළියක්‌ද පවත්වන ලදී.


<--- ලෙස්‌ලි ආනන්දලාල්ගේ දේහය වැල්ලම්පිටිය නිවසේ තැන්පත් කර තිබූ අවස්‌ථාවේදී මුරුත්තෙට්‌ටුවේ හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන 1987 මැයි 3 අවසන් ගෞරව දැක්‌වූ අවස්‌ථාව.

දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය මගින් 1987 අප්‍රේල් 17 වැනිදා කොළඹ බලා එමින් තිබූ බස්‌ රථවලට වෙඩි තබා මගීන් 126 දෙනෙකු ඝාතනය කළ අතර ඉන් 75 දෙනෙකු නිවාඩුවට ගම්බිම්බලා එමින් සිටි හමුදා සෙබළුන් විය. දෙමළ බෙදුම්වාදීහු ඉන් දින 4කට පසු එනම් 1987 අප්‍රේල් 21 වැනිදා පස්‌වරු 4.30ට පමණ කොළඹ ප්‍රධාන බස්‌ නැවතුම්පලේදී කාර් බෝම්බයක්‌ පුපුරුවා හැරීමෙන් සාමාන්‍ය පුරවැසියන් 122ක්‌ ඝාතනයට ලක්‌ කරන ලදී. බෝම්බය පිපිරී විනාඩි 10කට පසු එම ස්‌ථානයට ගිය පිරිස අතර ශ්‍රීලනිපයේ අනුරුද්ධ රත්වත්තේ සහ අලෙවි මවුලානා සමඟ ලේඛකයාද විය. එදිනම රාත්‍රී 8 සිට පසුදා පෙරවරු 5 දක්‌වාද අප්‍රේල් 22වැනිදා පෙරවරු 9 සිට යළිත් පසුදා අළුයම වන තෙක්‌ම ගම්පහ සහ කොළඹ දිස්‌ත්‍රික්‌ක වලට ඇඳිරි නීතිය පනවන ලදී. රජයේ නිවාඩු දිනයක්‌ වශයෙන්ද 1987 අප්‍රේල් 22 වැනිදා ප්‍රකාශයට පත් කරනු ලැබිණි. පල්ලකැලේ හමුදා කඳවුරට ජවිපෙ මගින් 1987 අප්‍රේල් 15 වැනිදා පහරදී අවි පැහැරගනු ලැබුවද මසක්‌ යනතෙක්‌ ඒ පිළිබඳව ආරක්‌ෂක අංශවල සැකයක්‌ ජවිපෙ වෙත එල්ල වූයේ නැත.

වීදිබට දහස්‌ සංඛ්‍යාතික පිරිස්‌ 1987 අප්‍රේල් 22 වැනිදා ආරක්‌ෂාව ඉල්ලමින් මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ නායකත්වයෙන් ජනාධිපති ජයවර්ධනගේ වෝඩ් පෙදෙස නිවස දෙසට ඇඳිරි නීතියද නොතකා පෙළපාලියෙන් පැමිණ උද්ඝෝෂණය කළහ. මෙයට නායකත්වය දුන්නේ මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ගිහි පැවිදි පිරිසකි. රජය මගින් අප්‍රේල් 22 වැනිදා 1987 මැයි දින රැස්‌වීම් සහ පෙළපාලි තහනම් කළ අතර එය 1987 මැයි 22 වැනිදා පවත්වන මෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව සියලු මැයි දින රැළි සහ පෙළපාලි තහනම් කරන ලදී. මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ මැයි දින රැස්‌වීම සංවිධානය කිරීම පිළිබඳ සාකච්ඡා 1987 අප්‍රේල් 22 වැනිදා සිට දිනපතා නාරහේන්පිට අභයාරාමයේදී පැවැත්විණි. සාකච්ඡා වාර 5ක්‌ පැවති අතර අවසාන සාකච්ඡාව 1987 අප්‍රේල් 27 සවස 2ට පැවැත්විණි. ඉහත පිරිසට අමතරව ජවිපෙ මධ්‍යම කාරක සභික ආනන්ද ඉඩමෙගමද දේශවිමුක්‌ති ජනතා පක්‌ෂයේ නිහාල් පෙරේරා ද දෙවරක්‌ එක්‌විය. ලේඛකයා මේ සියලු රැස්‌වීම් ආවරණය කළේය.

ජනතාවට ආරක්‌ෂාව ඉල්ලමින් ඇඳිරි නීතියද නොතකා මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමිගේ නායකත්වයෙන් 2,000ක පමණ පිරිසක්‌ 1987 අප්‍රේල් 22 ජනාධිපති ජයවර්ධනගේ නිවස දෙසට පෙළපාලියෙන් පැමිණ විරෝධය පළකළ අයුරු. --->

ආණ්‌ඩුවේ 1987 මැයි දින තහනම නොසලකා හරිමින් සමසමාජ පක්‌ෂ කාර්යාලය ඉදිරිපිට මහපාරේ මේසයක්‌ දමා රැස්‌වීමක්‌ පැවැත්වූ අතර එයට සමසමාජ, කොමියුනිස්‌ට්‌, මහජන සහ නව සමසමාජ පක්‌ෂද එක්‌විය. පොලිසිය කඳුළු ගෑස්‌ දමා පිරිස විසුරුවා හැරි අතර සමසමාජ නායක ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාට ද සිය වයෝවෘද්ධභාවය හේතුකොට ගෙන කඳුළු ගෑස්‌ ප්‍රහාරයෙන් රෝගාතුරද විය. ශ්‍රීලනිප රැස්‌වීම ඩාර්ලි පාරේ පක්‌ෂ මූලස්‌ථානයේදී පැවැත්විණි. මහනුවර, ගාල්ල, අනුරාධපුරය යන නගරවලද මැයි දින සැමරුම් පැවැත්වුවද ඒවා පොලිසිය මගින් විසුරුවා හරින ලදී.

වඩාත්ම සටන්කාමී සහ උණුසුම් මැයි දින සැමරුම පැවැත්වූයේ නාරාහේන්පිට අභයාරාමයේදීය. කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අබ්දුල් කාදර් ගපූර්ගේ නායකත්වයෙන් 300 කට ආසන්න කැරළි මර්දන පොලිස්‌ කණ්‌ඩායමක්‌ 1987 මැයි 1 වැනිදා හිමිදිරියේ සිට අභයාරාමය ඉදිරිපිට සතර දෙසින් රඳවා තිබෙනු දක්‌නට ලැබිණි. ගපූර් එහිදී ලේඛකයාට කියා සිටියේ කිසිදු මැයි පෙළපාලියක්‌ පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපති ජයවර්ධන තමාට පෞද්ගලිකව උපදෙස්‌ දුන් බවය. පස්‌වරු 2.05ට මැයි දින රැස්‌වීම ආරම්භ වන විට 2,000 කට ආසන්න පිරිසක්‌ එක්‌ව සිටි අතර පිරිස පන්සිල්හි පිහිටුවන ලද්දේ මුලසුන දැරූ හැඩිගල්ලේ පඤ්ඤාතිස්‌ස මහා නායක හිමිය. මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ රැස්‌වීමේ අරමුණ පැහැදිලි කළ අතර සරසවි පද්ධතිය වෙනුවෙන් බලහරුවේ සෝභිත හිමිද, භික්‌ෂු පරපුර වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමිද අදහස්‌ ප්‍රකාශ කළහ. විපක්‌ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සභාව ඇමතීමෙන් පසු දසවිධ කරුණු සහිත මැයි දින යෝජනාවක්‌ සභා සම්මත කරන ලදී.

රැස්‌වීම නිමාවෙන් පසු පිරිස මැයි දින තහනමට විරෝධය පළකරමින් සටන් පාඨ සහිත පුවරු සහ බැනර් අතැතිව මහා මාර්ගයට පිවිසීමට ගමන් කළහ. එවිට ප්‍රතිචාරය වූයේ බැටන් ප්‍රහාරයකි. පසුව කඳුළු ගෑස්‌ය. රබර් උණ්‌ඩය. අවසානයේ වෙඩි තැබීම සිදුවිය. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ගපූර්ගේ උපදෙස්‌ පරිදි වෙඩි තැබීමට නියෝග කළේ කැරළි මර්දන කණ්‌ඩායමේ නායකයාවූ උප පොලිස්‌ පරීක්‌ෂක වෙලේගෙදර ප්‍රේමදාසය. ගපූර්ගේ දෙවැනියා වූයේ සහකාර පොලිස්‌ අධිකාරි බන්දුල පරාක්‍රම වික්‍රමසිංහය. විනාඩි ගණනාවක්‌ම වෙඩි ප්‍රහාරය පැවතිණි. ආනන්ද හිමියන් සහ දිනේෂ් ගුණවර්ධන වෙඩි තැබීම නතර කරන්නැයි ඉල්ලා සිටියද එය නතර නොවීය. වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙකු මියගිය අතර නාරාහේන්පිට සමන්ත රත්නායක, රත්නපුරේ ආර්. ප්‍රේමසිරි සහ නුවර මහින්ද රණතුංග යන අය තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

වෙඩිවැදී මියගිය දෙදෙනා වූයේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්‌ථාවේ සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකැරවුම් අංශයේ යාන්ත්‍රික ක්‍රියාකරු වැල්ලම්පිටියේ බ්‍රැන්ඩියවත්තේ පදිංචි ලෙස්‌ලි ආනන්දලාල් කිරිබත්ගොඩ සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ව්‍යාහාරික විද්‍යා පීඨයේ 84/85 කණ්‌ඩායමේ සිසු පානදුර කුරුප්පුමුල්ලේ පදිංචි කිත්සිරි මෙවන් රණවකය. ලෙස්‌ලි ආනන්දලාල් වෙඩි වැදීමෙන් මියගියේ අභයාරාමය තුළදීමය. කිත්සිරි මෙවන් මියගියේ කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුවය. වෙඩි වැදුනු කිත්සිරි මෙවන් රෝහලට ගෙන යැමට පොලිසිය විනාඩි 30ක පමණ කාලයක්‌ ඉඩ ලබාදුන්නේද නැත. මෙම ඝාතන සිද්ධීන් වලට එරෙහිව රටපුරා සරසවිවල සහ පාසල් බොහෝමයක විරෝධතා ව්‍යාපාර පැනනැගිණි.


<--- 87 මැයි 1 නාරාහේන්පිට අභයාරාමයේ පැවති මැයි රැළියේ මුලසුන හොබවන මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි. රැස්‌වීම අමතමින් සිටින්නේ මාදුළුවාවේ සෝභිත හිමිය. වේදිකාව වම්පස විලේගොඩ අරියදේව හිමිය.

ලෙස්‌ලි ආනන්දලාල් කිරිබත්ගොඩ පදිංචි වැල්ලම්පිටිය බ්‍රැන්ඩි්‍රයාවත්තේ නිවසට ලේඛකයා එදිනම රාත්‍රියේ යනවිට එහි සිටියේ සොහොයුරෙකු වන ගාමිණී, සොහොයුරියකවූ කුමාරි සහ මව කල්‍යාණි පෙරේරාය. ලෙස්‌ලි ආනන්දලාල් රත්තොටදී උපන්නේ 1953 සැප්තැම්බර් මස 15 වැනිදාය. ඔහු මියයන විට 33 හැවිරිදි අවිවාහකයෙකි. ලෙස්‌ලිගේ පියා වෘත්තියෙන් විදුහල්පතිවරයෙකි. තෙල්දෙණියේ හෙණගැහුවෙල මහ විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කළ ලෙස්‌ලිගේ පියා 1965දී දිවියෙන් සමුගෙන තිබිණි. ඔහු ශ්‍රීලනිපයට ලැදිවීම නිසා අනේකවිද දේශපාලන පළිගැනීමේ මාරුවීම් වලට ලක්‌වූ අයෙකි. ලෙස්‌ලිගේ මව කල්‍යාණි පුහුණු උප ගුරුවරියක්‌වූ අතර ඇය වැල්ලම්පිටිය සේදවත්ත මහා විද්‍යාලයේ සේවය කළාය. හත් දෙනෙකුගෙන් යුත් පවුලේ 6 වැනියාවූ ලෙස්‌ලි ආනන්දලාල්ට සොහොයුරන් සහ සොහොයුරියන් 3 බැගින් සිටියේය. 

කටුගස්‌තොට ශාන්ත අන්තෝනි, තෙල්දෙණිය මධ්‍ය මහා සහ සේදවත්ත සිද්ධාර්ථ විදුහලේ අධ්‍යාපනය ලත් ලෙස්‌ලි 1973 ආරම්භ වූ වැල්ලම්පිටිය මිත්‍ර වොලිබෝල් ක්‍රීඩා සමාජයේ කාරක සභිකයෙකි. ලෙස්‌ලි ආනන්ද මරදාන කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක්‌ හැදෑරීමෙන් පසු කැලණි කේබල් සමාගමේද, ලංකා පොහොර සංස්‌ථාවේ යන්ත්‍ර සහාය ක්‍රියාකරුවෙක්‌ වශයෙන් කෙටි කලක්‌ සේවය කළ අතර මියයන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකැරවුම් අංශයේ යාන්ත්‍රික ක්‍රියාකරු විය. එදින මැයි දින රැස්‌වීමට සහභාගිවීම සඳහා නිවසේ සිට කැලණිය පන්සල අසළ බස්‌නැවතුම්පලට ලෙස්‌ලි පාපැදියෙන් ගෙන ආවේ පසුව රත්නපුර දිස්‌ත්‍රික්‌ ක්‍රීඩා නිලධාරියෙකුවූ ඩබ්ලිව්. එස්‌. සුනිල් විඡේසිංහය.

ලෙස්‌ලි ජවිපෙට එක්‌වූයේ 1982දීය. ලෙස්‌ලිගේ අවමඟුල් කටයුතු සිදුවූයේ 1987 මැයි 3 වැනිදා පස්‌වරු 6.30ට කොහිලවත්ත සුසාන භූමියේය. බ්‍රිතාන්‍යයේ සිටින ලෙස්‌ලිගේ සොහොයුරිය තිලකා විවියන්ද අවමඟුලට එක්‌වීමට පැමිණ සිටියාය. එදින මුළු දවසම වාගේ ලෙස්‌ලිගේ නිවසේ ගතකළ ලේඛකයාට දැකගන්නට හැකිවූයේ පොලිස්‌ නියෝග මත කොඩිවැල් හෝ සැරසිලි පවා තහනම් නමුත් දහසකට අධික පිරිසක්‌ රැස්‌වූ අවමඟුලකි. දේහය නිවසේ තැන්පත් කිරීමට පොලිස්‌ අවසරය ලැබුණේ පැය 5කි. මුරුත්තෙට්‌ටුවේ හිමියෝ එකම පැවිදි අනුශාසනාව සිදු කළහ. ලෙස්‌ලිගේ මවද 1997 දිවියෙන් සමුගත්තාය.

සරසවි ශිෂ්‍ය කිත්සිරි මෙවන් රණවකගේ අවමඟුල් කටයුqතු යෙදී තිබුණේ 1987 මැයි 4වැනිදාය. පානදුර කුරුප්පුමුල්ලේ පදිංචි කිත්සිරිමෙවන්ගේ පියා නීතිඥයෙකු මෙන්ම මහජන එක්‌සත් පෙරමුණේ උප සභාපතිවරයෙකි. පස්‌දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලාවූ 1963 දෙසැම්බර් 2 වැනිදා උපන් කිත්සිරිගේ සොහොයුරු සොහොයුරියන් වූයේ කිත්මිණි, සඳරුවන්, නිල්මිණී සහ සුගන්ධය. කිත්සිරි මියයනවිට ඔහු මෙන්ම ඔහුගේ නැගණියවූ කිත්මිණිද ජයවර්ධනපුර සරසවියේ සිසුවියකි. වර්තමානයේ ඇය රජයේ ආයතනයක කළමනාකාරවරියකි. කිත්සිරිගේ කනිටු සොහොයුරා වූ සුගන්ධ වර්තමානයේ පෞද්ගලික අංශයේ විධායකයෙකි. සඳරුවන් ව්‍යාපාරිකයෙකු වන අතර නිල්මිණිද රජයේ ආයතනයක සේවය කරනු ලබයි. කිත්සිරි මෙවන් මියයන විටද සිය පියා මෙන් මහජන එක්‌සත් පෙරමුණේ ක්‍රියාකාරිකයෙකි. කිත්සිරිගේ අවසන් කටයුතු සිදුකෙරුණේ සිසුන්, භික්‌ෂූන් සහ කම්කරුවන් 2,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් සටන්කාමී අයුරෙනි. සියලු පොලිස්‌ බාධක සහ තහංචි බිඳ දමමින් දේහයේ අවසන් කටයුතු පානදුර මිනුවන්පිටිය සුසාන භූමියේ සිදු කිරීමෙන් පසුව රැස්‌වූ දහසකට අධික පිරිස පානදුර නගරය පුරා පෙළපාලි පවත්වා පසුව රැස්‌වීමක්‌ද තබා විසිර ගියහ. කිත්සිරිගේ පියාද 2012 දෙසැම්බර් 12 දිවියෙන් සමුගත්තේය.

එජාප ආණ්‌ඩුවේ 1987 මැයි දින තහනම කඩමින් ජීවිත 2ක්‌ බිලිගත් මැයි දින ද්විත්ව ඝාතන පිළිබඳ පරීක්‌ෂණය පැවැත්වීමට ආණ්‌ඩුවට සිදුවූයේ මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත කළ අඛණ්‌ඩ අරගලයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. ලෙස්‌ලි ආනන්දලාල් සහ කිත්සිරි මෙවන්ගේ මරණ පරීක්‌ෂණ 1987 මැයි මස 3දා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.එස්‌.එල්. සල්ගාදු විසින් පවත්වනු ලැබූ අතර එම ඝාතන වලට බලපෑ වෛද්‍ය හේතු ඇතුළත් පර්යේෂණ වාර්තාව 1987 මැයි 4 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මැයි දින ද්විත්ව ඝාතන පරීක්‌ෂණ 1987 මැයි 14 වැනිදා කොළඹ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ජී.එල්.එම්. ද සිල්වා ඉදිරියේ විභාග විය. මෙහිදී පොලිස්‌පතිවරයා වෙනුවෙන් සහකාර පොලිස්‌ අධිකාරි ලෝරන්ස්‌ අමරසේන පෙනී සිටි අතර මියගිය ලෙස්‌ලි ආනන්දලාල් කිරිබත්ගොඩ වෙනුවෙන් බාල තම්පෝ, සරත් විඡේසිංහ සහ පියසේන දිසානායක යන නීතිඥවරුන් පෙනී සිටියහ. මියගිය සරසවි සිසු කිත්සිරි මෙවන් රණවක වෙනුවෙන් ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය, සරත් විඡේසිංහ, ලසන්ත වික්‍රමතුංග සහ ජනප්‍රිය පේදුරුහේවා යන නීතිඥවරුන් පෙනී සිටියහ. එම මැයි දින සිද්ධිය සියෑසින් දුටු සහ අනතුරුව පැන නැගුණු සියලු සිද්ධි මාලාවන් වාර්තා කළ එකම ජනමාධ්‍යවේදියා වූයේද ලේඛකයාය.

අදාළ පරීක්‌ෂණ කොමිසම දින 30කට ආසන්න කාලයක්‌ රැස්‌වී මැයි දින මරණ පරීක්‌ෂණ සාක්‌ෂි විභාගය පවත්වන ලදී. එම මරණ පරීක්‌ෂණයන්හි සාක්‌කි විභාගයන්ගේ අවසානය වූයේ 1988 මාර්තු 28 වැනිදාය. පරීක්‌ෂණ මාස 9ක්‌ තිස්‌සේ විභාගයට ගත්තේය. සාක්‌ෂි සටහන් පොත පිටු 1,800කි. පරීක්‌ෂණය අවසන් වූයේ 1988 අගෝස්‌තු 2 වැනිදාය. මෙහි තවත් එක්‌ තීරණාත්මක අවස්‌ථාවක්‌ වූයේ සාක්‌ෂි උපුටා දක්‌වමින් නීතිඥ දේශන පැවැත්වීමට විරෝධය දැක්‌වීමය. මැයි දින ඝාතන 2 පිළිබඳව මහාධිකරණ සාක්‌ෂි විභාගය අවසානයේදී මහාධිකරණ විනිසුරු සිල්වා කියා සිටියේ පොලිසිය වෙනුවෙන් සාක්‌ෂි දුන් දහදෙනාගේම සාක්‌කි පිළිගත නොහැකි බවය. එයට හේතුවක්‌ ලෙස මහාධිකරණ විනිසුරු දැක්‌වූයේ පොලිසිය කළබල අවස්‌ථාවේදී කිසිම විටක නාරාහේන්පිට අභයාරාමයට ඇතුළු වූයේ නැතැයි ප්‍රකාශ කළද රජයේ සහකාර රස පරීක්‌ෂකගේ වාර්තා අනුව වෙඩිතබා ඇත්තේ අඩි 10ක පමණ දුරකින් බව තහවුරු වී ඇති බවය. හදිසි නීති රෙගුලාසි අංක 55 වගන්තිය යටතේ මෙම මරණ පරීක්‌ෂණයේ අවසන් නිගමන සහ පරීක්‌ෂණ වාර්තා නීතිපතිවරයාට ඉදිරිපත් කරන ලදී.

ලාංකීය කම්කරු ව්‍යාපාරයේ සම්ප්‍රදායක ගමන්මඟ වෙනස්‌ කළ තීරණාත්මක සිදුවීමක්‌ ලෙස 1987 මැයි දින තහනමට එරෙහිව කළ අරගලය හැඳින්විය හැකිය. ලාංකීය රැඩිකල් භික්‌ෂූහුද, ශිෂ්‍ය ව්‍යාපාරයද, සටන්කාමී කම්කරුවෝද තහනමට එරෙහිව නැගී සිටියහ. මර්දනකාරී එජාප ආණ්‌ඩුවට එරෙහිව ඇරඹූ දෙවන වෙඩිමුරයද එය විය. ඉන් ඇතිවූ උද්ඝෝෂණ ව්‍යාපාරයන්හි ප්‍රබල තරංග මාලාවන් ජන සටනට ගෙන ආවේ නව ජවයකි. කම්කරු පන්තියේ අයිතීන් වෙනුවෙන් සටන්වැද අවසානයේ සිය දිවි පුදකරමින් මිහිකත වැළඳගත් 1940 ජනවාරි 10 ගෝවින්දන්, 1947 ජුනි 5 වී. කන්දසාමි, 1953 අගෝස්‌තු 12 හර්තාලයේදී මාතුපාල, අල්විස්‌, රබෙල්, පියසේන, වික්‍රමසේන, සාදිරිස්‌, නිකලස්‌ සහ පෙරියතම්බි, 1980 ජුනි 5 රජයේ සැපයුම් දෙපාර්තමේන්තුවේ දෙද්දුවගේ සෝමපාල මෙන් 1987 මැයි 1 වැනිදා ඝාතනයට ලක්‌වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකැරවුම් අංශයේ ලෙස්‌ලි ආනන්ද කිරිබත්ගොඩ සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ තෙවන වසර සිසු කිත්සිරි මෙවන් රණවකද ඉතිහාසයට එක්‌වී හමාරය. 

ධර්මන් වික්‍රමරත්න
http://www.divaina.com/2017/04/30/feature33.html

විවෘත ආර්ථිකය සමාජය ගිලගන්නා සැටි වසර 33කට පෙර දුටු 'පළිඟු මැණිකේ'

ටෙලි නාට්‍යයක්‌ ලෙස එදා ජනප්‍රිය වූ පළිඟු මැණිකේ කෘතියක්‌ ලෙස මැයි මස 3 වැනිදා සවස 3.30 ට කොළඹ ආනන්ද කුමාරස්‌වාමි මාවතේ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී දොරට වඩී. 'සෝමවීර, ධම්ම සහ පළිඟු මැණිකේ' මැයෙන් පැවැත්වෙන එම උත්සවය සංවිධානය කරනු ලබන්නේ පළිඟු මැණිකේ තිර රචනය ග්‍රන්ථයක්‌ ලෙස පළ කරන සරසවි ප්‍රකාශන සමාගමේ අනුග්‍රහයෙන් ටෙලි නාට්‍යවේදීන්ගේ සංසදය විසිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරන්ධර අතිපූජනීය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සව සභාව මෙහෙයවන්නේ වසර 33 කට පෙර පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ සූරසේන චරිතය රඟපා ඉමහත් ජනප්‍රසාදයට පත් ප්‍රවීණ රංගධර ශ්‍රියන්ත මෙන්ඩිස්‌ය. පළිඟු මැණිකේ හි විඡේපාල චරිතය රඟපා පැසසුම් ලද සම්මානනීය කලාකරු ජැක්‌සන් ඇන්තනි ප්‍රධාන දේශනය පැවැත්වීම ද මෙහි විශේෂත්වයකි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්‌ථාවේ සභාපති නීතිඥ රවි ජයවර්ධන මහතා ද, පළිඟු මැණිකේ තිර රචක ප්‍රවීණ ලේඛක, ජ්‍යෙෂ්ඨ පුවත්පත්කලාවේදී සෝමවීර සේනානායක මහතා ද එහි දී විශේෂ දෙසුම් පැවැත්වීමට නියමිතය.

විවෘත ආර්ථික ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක වීම ආරම්භ වූ සමයේ විකාශනය වුණු පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයෙන් ගමටත් පොදුවේ මුළු රටේම සාරධර්මවලටත් විවෘත ආර්ථිකය නිසා සිදුවිය හැකි විනාශය පිළිබඳ ඔබ පුරෝකථනයක්‌ කළා. විවෘත ආර්ථිකය අපේ රටේ සාරධර්ම විනාශ කරන බව ඔබ කල්තියාම දැක්‌කේ කොහොමද?

අපේ රටේ විවෘත ආර්ථික ක්‍රමය පටන් ගන්න කොට පසුකාලීනව එයින් ඇතිවිය හැකි ප්‍රතිඵල ගැන කාටවත් ඒ වෙනකොට අවබෝධයක්‌ තිබුණෙ නෑ. නමුත් ඒ කාලෙ අපේ රටේ මුද්‍රිත මාධ්‍ය ඉතාම ප්‍රබලයි. මමත් පුවත්පත් කලාවේදියෙක්‌ ලෙස ඒ කාලයේ සේවය කරමින් සිටි නිසා රටේ සිදුවන බොහෝ දේ පිළිබඳ තොරතුරු ලැබුණා. මේ වන විට මම නවකතාවක්‌ ලියන්නත් අත්දැකීම් ගොනු කරමිනුයි හිටියෙ. විවෘත ආර්ථික ක්‍රමය පටන් ගන්නවත් එක්‌කම ඒ ගැනත් නොයෙක්‌ ඉඟි මට ලැබෙන්න පටන් ගත්තා. මේ අතර දිනක්‌ රාජකාරි අවශ්‍යතාවකට මම අනුරාධපුරේ ගිහින් ප්‍රධාන පාරෙ කුඩා කඩයක්‌ ළඟ නැවතිලා හිටියා. කුඩා තේ කඩයක්‌ වුණාට නොයෙක්‌ අරුමෝසම් බඩුත් ඒ කඩේ පැත්තක පෙනෙන්න තිබුණා. එතනින් හැරිල ගමට යන බස්‌ එක එන්නෙ පැය ගාණකට සැරයක්‌. එහෙම ආපු බස්‌එකකින් කොණ්‌ඩෙ වවාගත්ත, සන්ග්ලාස්‌ පැලඳ ගත් අමුතු තරුණයෙක්‌ බැස්‌ස. ලොකු බෑග් එකකුත් ටූ ඉන්වන් කැසට්‌ සෙට්‌ එකකුත් එක අතක තිබුණ. බස්‌ එකෙන් බැහැල සිගරැට්‌ එකකුත් පත්තු කරගත් මේ තරුණයා කැසට්‌ එකෙන් සංගීතයකුත් දමාගෙන වටපිට බල බලා ගම ඇතුළට ඇවිදගෙන ගියා. එතන හිටිය ගැමියො දෙන්නෙක්‌ මේ තරුණයා දිහා බලල "අන්න අරූ ගමට ආව. දැන් ගම ඉවරයි" කියල බොහොම හිත් අමාරුවකින් වගේ කිව්ව. මේ තරුණයා මොනව හරි දඩබ්බර වැඩ කරල ගමෙන් පැනල ගිය කෙනෙක්‌. තරුණයා ආපහු ගමට එනව දැකල ගම ආයෙත් ඉවරයි කියල ගැමියො කිව්වෙ ඒ හින්ද. පළිඟු මැණිකෙ ටෙලි නාට්‍යයේ සූරසේනගෙ ගමට පැමිණීම මම අරගත්තෙ ඒ අත්දැකීමෙන්. අර කඩේ තිබුණු අරුමෝසම් බඩුයි මේ තරුණයගෙ අතේ තිබුණු අරුමෝසම් බඩුයි ඔහුගෙ විලාසයයි දුටු මට හිතුණ මේ තරුණයා ගමට මොන විදියේ බලපෑමක්‌ කරයිද කියල. කැලෑ කැපීම්, නිදන් හැරීම්, වීඩියෝ දර්ශන පෙන්වීම වගේ දේවල් අදවගේ එදා ගම්වල තිබුණෙ නෑ. මම සති ගාණක්‌ කල්පනා කළා. විවෘත ආර්ථිකය නිසා නොයෙක්‌ අරුමෝසම් බඩු ගමට ආවට ගමේ තරුණයන්ට ඒවා ගන්න සල්ලි නෑ. තරුණයො කැලෑ කපයි. නිදන් හාරයි.

මම මෙහෙම කල්පනා කර කර ඉන්න කොට තමයි ධම්ම ජාගොඩ මට ආරාධනා කළේ ටෙලි නාට්‍යයක්‌ ලියන්න. ඒ වෙනකොට අපේ රටේ ටෙලි නාට්‍ය දෙක තුනකට වඩා හැදිල තිබුණෙ නෑ. මට හිතුණ නවකතාවකට ගොනු වෙමින් තිබුණු මේ අත්දැකීම්වලින් ටෙලි නාට්‍යයක්‌ රචනා කරන්න. විවෘත ආර්ථිකය නිසා මෙවැනි විනාශයක්‌ අපේ රටට සිදුවෙයි කියල හිතල පළිඟු මැණිකේ - මගේ පළමු මාලා ටෙලි නාටකය ලිව්වා.

ඔබ මේ නාට්‍යය රචනා කළේ විවෘත ආර්ථිකය දැඩි ලෙස වැළඳගත් සමාජයටයි. පළිඟු මැණිකෙට එදා ලැබුණු ප්‍රතිචාර කොහොමද?

පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ සූරසේන තමයි විවෘත ආර්ථිකය සංකේතවත් කළේ. ගමේ සිදුවන විනාශයන්ට සූරසේන බලපාපු හැටි තමයි ටෙලි නාට්‍යය පුරාම දිවෙන්නෙ. සාමාන්‍ය සමාජයට එදා විවෘත ආර්ථිකයේ බරපතළකම අවබෝධ වුණේ නෑ. මිනිස්‌සු වැළඳගත්තෙ විවෘත ආර්ථිකය නිසා ආපු මෙවලම් හා ඒවායින් ලැබෙන වින්දනය. මෙයින් සිදුවන විනාශය තේරුම් කරල දෙන්න විචාරකයො හිටියෙ නෑ. මේක සමාජයට අවබෝධ කරල දෙන්න මම සූරසේනගෙ චරිතයට කැපී පෙනෙන වචන මාලාවක්‌ හැදුව. ඒ වචන මාලාවෙ එන පට්‌ පට්‌ සම්තිං වැනි වචන අදත් භාවිත වෙනව. ඇත්තවශයෙන්ම විවෘත ආර්ථිකයෙන් කරන්නෙත් මොන ක්‍රමයෙන් හරි ඉතා ඉක්‌මනින් මුදල් හොයන එක. ඉක්‌මනට වැඩ කරන එකට අපි කියනවනෙ පට පට ගාලා වැඩ කරනව කියල. පට කියන වචනෙ මම පට්‌ කළා. පට්‌ පට්‌ ගාල සම්තිං හොයන එකනෙ අදත් විවෘත ආර්ථිකයෙන් කරන්නෙ.

පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ චරිතවල නම් පවා යෙදුවෙ හුඟක්‌ කල්පනා කරල. ගමට මැණිකක්‌ වගේ සිටින පුද්ගලය තමයි මැණික්‌හාමි. පළිඟුව මැණික තරම් වටින්නෙ නෑ. නමුත් ඒක දිලිසෙනව. පළිඟු මැණිකෙට ඒ නම ලැබුණෙ එහෙම. මේ දෙන්නම ගමේ අහිංසක අය. මේ චරිත දෙක තුළින් මම උත්සාහ කළේ විවෘත ආර්ථිකය නිසා ගමේ අහිංසක පුද්ගලයින්ට සිදුවන විනාශය පෙන්වන්න. විවෘත ආර්ථිකය අපේ රටේ සංස්‌කෘතියට, ආර්ථිකයට, පවුල් ජීවිතවලට ළමා පරපුරට සහ තරුණ තරුණියන්ට ආදී වශයෙන් අංශ පහක්‌ කෙරෙහි බලපාන හැටි සමාජයට පෙන්වන්න මම මෙහි චරිත ගණනාවක්‌ නිර්මාණය කළා. 

පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ අපි දකින්නෙ සාමාජිකයින් විශාල පිරිසක්‌ ඉන්න පවුල් නෙමෙයි. සාමාජිකයින් දෙතුන් දෙනෙක්‌ සිටින ඔවුන් එකිනෙකා අතරත් සබඳතා දුර්වල චරිත. එයට විශේෂ හේතුවක්‌ තිබෙනවද?

ඔව්. පවුලේ සාමාජිකයන් හා නෑදෑයන් අතර සමීප සබඳතා පවතින විට විවෘත ආර්ථිකයේ අහිතකර බලවේගවලට ඒ ජීවිත තුළට පිවිසෙන්න අමාරුයි. විවෘත ආර්ථිකය ක්‍රියාත්මක වන විට පවුල් සබඳතා බිඳවැටෙනව. සබඳතා අතින් මිනිසුන් හුදෙකලා වෙනවා. මැණික්‌ හාමි ගුරුන්නාන්සේ සහ ඔහුගේ බිරිඳ. පොඩි අප්පුහාමි සහ ඔහුගේ බිරිඳ. මේ අය ඥාතීන් වුණත් සබඳතා නැති හුදෙකලා චරිත වුණේ ඒ නිසයි. මේ චරිත ඇසුරෙන් විවෘත ආර්ථිකයෙන් සමාජයේ පුද්ගලාන්තර සබඳතා බිඳවැටෙන සැටි නිරූපණය කිරීමට මම උත්සාහ කළා. 

සැබෑ කලාකරුවා සමාජයක අනාගතය විනිවිද දකින පුද්ගලයෙක්‌. ඔහු එය නිරූපණය කරන්නේ සිය නිර්මාණ ශක්‌තියෙන්. නමුත් අද අපේ රටේ ටෙලි නාට්‍ය ක්‌ෂේත්‍රය තුළ පමණක්‌ නෙමෙයි සමස්‌ත කලාව තුළම මෙම ගුණය ඉතාමත් දුර්ලභයි. ඊට ඔබ දකින හේතු මොනවද?

සෑම කලා ක්‌ෂේත්‍රයක්‌ තුළම ඒ ගුණය අද ඉතාම තදින් ගිලිහිලා. රූපවාහිනී ටෙලි නාට්‍යයක්‌ නිර්මාණය කිරීමේදී රචකයාට තිබිය යුතු ස්‌වාධීනත්වය ඉතාමත් වැදගත්. අනාගතය ගැන හිතල දුරදක්‌නා නුවණින් යම් නිර්මාණයක්‌ කිරීමට කලාකරුවකුට හැකිවන්නේ එවිටයි. අද බොහෝ කලාකරුවන්ට තම නිර්මාණ ස්‌වාධීනව ඉදිරිපත් කරන්න අවස්‌ථාවක්‌ ලැබෙන්නෙ නෑ. වෙළෙඳ මනස විසින් එය පාලනය කරන ස්‌වභාවයක්‌ අද තිබෙනවා. එය ඉක්‌මවන්නට නම් තිර රචක, අධ්‍යක්‌ෂක හා නිෂ්පාදක එක්‌තරා විධියක දැඩි ස්‌වාධීනතාවක ඉන්නට ඕන. නමුත් එවැනි අවස්‌ථා ඉතාමත් අඩුයි.

අනෙක අද බාල බොළඳ නිෂ්පාදනවලට අවස්‌ථා වැඩියි. අපේ රටේ ටෙලි නාට්‍ය කලාව ආරම්භයේදී අපි එහි සියලූ අංගවලට වටිනාකමක්‌ ලැබෙන විදිහටයි කටයුතු කළේ. සෑම අංශයකින්ම නිර්මාණ කෞශල්‍ය ඔප් නංවන්නයි උත්සාහ කළේ. අද ඒක කරන්න සිද්ධවෙලා තියෙන්නෙ වේගවත් තදබදයක. එයට හේතුව අද රූපවාහිනී නාලිකා ඉතා අඩු මුදලට ටෙලි නාට්‍ය ලබාගෙන වැඩි ආදායමක්‌ ලැබීමට උත්සාහ දැරීම නිසයි. අද බොහෝ විද්යුත් මාධ්‍යත් උත්සාහ කරන්නෙ ටෙලි නාට්‍ය තුළින් 'පට්‌ පට්‌ ගාලා සම්තිං' හොයන්නයි. මේනිසා මමත් ටෙලි නාට්‍ය ලිවීමෙන් කලක්‌ ඈත් වෙලා හිටියා. සෑහෙන නිහඬතාවකට පසුව තමයි මේ දිනවල විකාශය වන එකගෙයි මිනිස්‌සු ටෙලි නාට්‍යය ලිව්වෙ.

සාකච්ඡා කළේ - පාලිත සේනානායක
http://www.divaina.com/2017/04/30/feature25.html

Pic Source

Tuesday, April 25, 2017

තෙවන ලෝක යුද්ධය අත ළඟද? ආසියාව අවදානම්...

ලෝක යුද්ධයක ඊළඟ දිගැහැරුමකට බලපාන අනෙක්‌ ආසන්නතම කාරණය වන්නේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළයි. විශේෂයෙන් උතුරු කොරියා කලාපයට මේ වන විටත් ඇමරිකා ගුවන්යානා ප්‍රවාහන නෞකාවක්‌ පිටත්කර යවා ඇති බව සඳහන්ය. එසේම මීට කලකට පෙර සිටම දකුණු කොරියාව ආශ්‍රිතව ඇමරිකා සොල්දාදුවන් 28000 ක්‌ පමණ නතර කර සිටී. තවද දකුණු කොරියාව තුළ "තාඡ්" නැමැති මිසයිල පද්ධතිය ද ස්‌ථාපනය කර ඇත. කෙසේ වෙතත් ඇමරිකාව මෑතක උතුරු කොරියා කලාපයට එවන ලද ගුවන්යානා ප්‍රවාහන නෞකාව මගින් කොරියාවේ නගර 24 ක්‌ විනාශ කළ හැකි න්‍යෂ්ටික බල යුද්ධ ශීර්ෂ 100 ක්‌ පමණ තිබූ බව පැවසේ.

අද වන විට ලෝක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන විට දැකගත හැකි වන්නේ කාලාන්තරයක්‌ තිස්‌සේ ඔඩුදුවමින් පැමිණෙන නොනිමි අරගලයන්ය. ඒවා විවිධ අරමුණු මත ක්‍රියාත්මකය. සිරියානු අර්බුදය එහි එක්‌ අංශයක්‌ පමණක්‌ නියෝජනය කරන අතර, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මෙන්ම, විවිධ රටවල පවතින, IS ඉරාකය, FARC (කොලොම්බියාව, බොකොහරාම්) නයිජීරියාව, අල්කයිඩා( ඇෆ්ගනිස්‌තානය, තලෙබාන්( ඇෆ්ගනිස්‌තානය හමාස්‌( පලස්‌තීනය, මාවෝ( නේපාලය, හූථි( යේමනය, ශාන්ති බහිනී( ඉන්දියාව/ බංග්ලාදේශය, අල් ශේබාබ්( සෝමාලියාව අල් නස්‌රා (al-Nusra)( සිරියාව, උයිහර් (Uyghurs)( චීනය, ටෙලෝ( දකුණු ඉන්දියාව. යනාදී කණ්‌ඩායම් ඒ ඒ රටවලට ඇති කරන බලපෑම් ද විශාලය. මෙම ත්‍රස්‌ත කණ්‌ඩායම්වලට ආයුධ, ආදී යුද්ධ ශක්‌තිය ප්‍රබල රට වලින් හිමි වන අතර ඒ තුළ ඔවුන් පාලනය කිරීම අසීරුය. ඔවුන් තවත් වර්ධනය වීමද නොවැළැක්‌විය හැකිව පවතී. 2012 සිට 2016 දක්‌වා ගිනි අවි වෙළඳාම පිළිබඳ දැක්‌වෙන වාර්තාවන් අනුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නිෂේධ බලය හිමි රටවල්, ලෝකය තුළ විවිධ ප්‍රදේශ වල සිදුවන අවි වෙළඳාමේ 73% කම සැපයුම්කරුවෝය. ඒ තුළ බලවතුන් යුද්ධ වැළැක්‌වීමට කිසිසේත් ඉදිරිපත් නොවේ. 

සිරියානු අර්බුදය පිළිබඳ අවධානයේ දී, "අරාබි වසන්තය" යනු මැදපෙරදිග කලාපයේ පාලනයන් බිඳ දැමූ, පාලකයන් ඝාතනය වූ, පාලකයන් සිරගෙට යෑවූ ඉතා සුවිශාල ක්‍රියාදාමයකි. මෙය වර්ෂ 2010 දී ටියුනීසියාවෙන් ආරම්භ වී ලිබියාව, යේමනය, ඊජිප්තුව යන රටවලද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර, එයට බටහිර රටවල් හා බටහිර මාධ්‍ය විශාල ලෙස ඉන්ධන සැපයීය. ඒ අනුව එහි ආදර්ශය ගත් සිරියානුවන් පිරිසක්‌ද, (free siriyan army) තම රටේ පාලකයා තනතුරින් නෙරපා වඩා හොඳ සිරියාවක්‌ උදෙසා 2011 මාර්තු මාසයේ සිට විරෝධයක්‌ ආරම්භ කරන ලදී. එයට ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන්වලින් සහය ද හිමි විය. (තවත් හිමිවේ) එසේම සිරියානු ජනාධිපති බසර් අල් අසාද්ගේ පක්‌ෂයට ද රුසියාව, ඉරානය, තුර්කිය යන රාජ්‍යයන්ගේ සහය හිමිවේ. 

විශේෂයෙන් බටහිර රාජ්‍යයන් බසර් අසාද්ගේ විරුද්ධවාදීන්ට සහය දෙමින් ද, රුසියාව ඇතුළු රටවල් අසාද්ට සහය වෙමින්ද, කටයුතු කිරීම තුළ ගල්ෆ් කලාපයේ තම භූ දේශපාලනික උපායමාර්ග ක්‍රියාවට නැංවීම සිදු කරයි. ඒ තුළ ලෝකයේ බලවත් රාජ්‍යන් අතර බල අරගලයක්‌ ඇති කිරීමට මෙම සිරියා අර්බුදය හේතුවක්‌ වී ඇති බව පෙන්වාදිය හැකිය. මෙහි නවතම බරපතළ තත්ත්වය ලෙසින් සිරියාවේ සාමාන්‍ය ජනතාවට පසුගියදා රසායනික අවි ප්‍රහාරයක්‌ එල්ලවීම හඳුනාගත හැකිය. (එයින් 89 මරණයට පත්විය) එය සිරියා රජයේ කටයුත්තක්‌ බව බටහිරින් චෝදනා එල්ලවූ අතර රුසියාව දෙසට ද ඇඟිල්ලක්‌ දික්‌ විය. (එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තවමත් පර්යේෂණ ප්‍රතිඵලය කියා නැත) එයට පිළිතුරක්‌ ලෙස සිරියා ගුවන් කඳවුරකට ඇමරිකාව විසින් කෲස්‌ මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කරන ලදී. එයින් සිරියාවේ ගුවන් බලය 20% ක්‌ විනාශ වූ බව ඇමරිකා ආරක්‌ෂක දෙපාර්තමේන්තුව කියයි. මේ සම්බන්ධ අනෙක්‌ වැදගත්ම කරුණ නම් G7 සමුළුවට මහා බ්‍රිතාන්‍ය විසින් යෝජනාවක්‌ ගෙන ආවේ රුසියාවට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවයි. නමුත් එය සම්මත නොවීය. 

ඒ අනුව ලෝකයේ රටවල් පැහැදිලි ලෙසම දෙකට බෙදී ඇති බවක්‌ හඳුනාගත හැකිය. නමුත් ඇමරිකාව මෙය රාජ්‍යතාන්ත්‍රික කටයුතු මගින් විසඳීම සඳහා ඉදිරිපත් වෙමින් රෙක්‌ස්‌ ටිලර්සන් රුසියාවට ගොස්‌ ඇත. ඒ සිරියා අර්බුදයේදී අසාද්ට සහය නොදෙන ලෙස ඉල්ලීමටය. ඇමරිකාවට අවශ්‍යව ඇත්තේ අසාද් බලයෙන් ඉවත් කිරීමටය. ඒ තුළ අපට රසායනික අවි ප්‍රහාරය ගැන ද සැකයක්‌ මතුවේ. ඒ සදාම් හුසේන් බලයෙන් පහකිරීමට ඇමරිකාව ගත් නින්දිත ක්‍රියාව සාධාරණීකරණයට ද පෙන්වා දුන්නේ ඉරාකය තුළ රසායනික අවි පවතින බවය. නමුත් එහි තිබී අද වන තෙක්‌ එවැනි අවි හමු නොවීය. අනෙක්‌ අතට අසාද් තමන්ගේ ජනතාවටම මෙලෙස රසායනික අවි ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සම්භාවිතාව ඉතා අඩුය. ඒ අතර රුසියාව තව දුරටත් අසාද්ට සහය දෙන බවත් ඇමරිකාව විසින් සිරියාවේ ඩමස්‌කස්‌ නගරයට තවත් රසායනික ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සූදානමක්‌ ඇති බවට හා එහි වගකීමත් අසාද්ට බැර කිරීමට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ව්ලැඩිමීර් පුටින් පෙන්වාදී ඇත. 

මේ අතර ඉරානයේ ජනාධිපතිවරණය සඳහා නැවත වරක්‌ මහමුද් අහමදි නේදාඡ්(ජාත්) ඉදිරිපත් වීමට නියමිත බවය සඳහන්. මොහු 2005 සිට 2013 දක්‌වා ඉරානයේ බලය දැරූ අතර, බටහිර මාධ්‍ය පෙන්වා දෙන්නේ මොහු දැඩි මතධාරියකු බවයි. විශේෂයෙන් ඔහුගේ පාලන කාලය තුළ ඉරානය දැඩි සම්බාධකවලට යටත්ව පැවතිණ. ඇමරිකාව සමඟ පැවති මතවාදී ගැටුම් හා ඉරාන න්‍යෂ්ටික කටයුතු නිසාවෙනි. නමුත් වත්මන් හසන් රොහානිගේ රජය යටතේ කලාපීය වශයෙන් යහපත් තත්ත්වයක්‌ පවත්වාගෙන යැමට කටයුතු කළ අතර 2015 වියානා සම්මුතිය තුළින් ඉරානය තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ සීමා කළ අතර, ඒ තුළ සම්බාධක ද ඉවත් විය. නමුත් නැවත එම තත්ත්වය අහමදි නේදාඡ් බලයට පැමිණියොත් වෙනස්‌වීමට ඉඩ ඇත. (ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි අහමදි නේදාඡ්ට නැවත බලයට නොඑන ලෙස ඉල්ලා ඇත.) 

එම තත්ත්වයන් තුළ මෙම සිරියා අර්බුදය ලෝකයේ බල කඳවුරු අතර ගැටුමක්‌ දක්‌වා ගමන් කිරීමේ සම්භාවිතාවක්‌ පවතී. ඒ බොහෝ බලවතුන් මෙම කලාපයේ බලය සඳහා තරගකාරී ලෙසින් සම්බන්ධ වීමත් කිසිදු බලවත් රාජ්‍යක්‌ බලය අතහැරීමට හෝ සටන් නතර කිරීමට රුචිකත්වයක්‌ නොදක්‌වන බැවිනි. 

ලෝක යුද්ධයක ඊළඟ දිගැහැරුමකට බලපාන අනෙක්‌ ආසන්නතම කාරණය වන්නේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළයි. විශේෂයෙන් උතුරු කොරියා කලාපයට මේ වන විටත් ඇමරිකා ගුවන්යානා ප්‍රවාහන නෞකාවක්‌ පිටත්කර යවා ඇති බව සඳහන්ය. එසේම මීට කලකට පෙර සිටම දකුණු කොරියාව ආශ්‍රිතව ඇමරිකා සොල්දාදුවන් 28000 ක්‌ පමණ නතර කර සිටී. තවද දකුණු කොරියාව තුළ "තාඡ්" නැමැති මිසයිල පද්ධතිය ද ස්‌ථාපනය කර ඇත. කෙසේ වෙතත් ඇමරිකාව මෑතක උතුරු කොරියා කලාපයට එවන ලද ගුවන්යානා ප්‍රවාහන නෞකාව මගින් කොරියාවේ නගර 24 ක්‌ විනාශ කළ හැකි න්‍යෂ්ටික බල යුද්ධ ශීර්ෂ 100 ක්‌ පමණ තිබූ බව පැවසේ. එසේම උතුරු කොරියාවේ fire power (ගිනි බලය) පිළිබඳව වාර්තාවල දැක්‌වෙන්නේ ඇමරිකාව උතුරු කොරියාවට විරුද්ධව යුද ක්‍රියාමාර්ගයකට එළඹෙන්නේ නම්, ඒ පළමු පැය ඇතුළත කාලතුවක්‌කු ප්‍රහාර පමණක්‌ 350,000 යොදවා දකුණු කොරියාවේ හා ජපානයේ ඇති ඇමරිකා යුද්ධ ශක්‌තිය විනාශ කළ හැකි බවයි.

මෙම තත්ත්වයන් සලකා බැලීමේ දී මෙය කලාපීය වශයෙන් විශාල තර්ජනයක්‌ සහිත බව හඳුනාගත හැකිය. උතුරු කොරියාවට බලපෑමක්‌ කළ හැකි එකම රට වන චීනයේ ජනපති ෂී ජිං පිං විසින්, ඇමරිකාවට උතුරු කොරියාවට විරුද්ධව කටයුතු කිරීමට හදිසි නොවන ලෙසත්, තවදුරටත් සිතා බලන ලෙසත් දැනුම් දී ඇත. කෙසේ නමුත් මෙම ගැටුම ඇවිලුනහොත් එය තුළින් ඉතා විශාල බලපෑමක්‌ සිදුවන බව නම් පෙන්වාදිය හැකිය. එය ආසියානු කලාපයටම තර්ජනයකි. 

මෙම තොරතුරු විශ්ලේෂණය කර බැලීම තුළින් පෙනෙන්නට ඇති තත්ත්වය නම් ලෝක බලවතුන්ගේ බලකාමීත්වය තුළ ගැබ්ව ඇති භූ දේශපාලනික උපායමාර්ගවල අවසානය තෙවන ලෝක සංග්‍රාමයක්‌ වෙතට ලෝකය ගෙනයාම දැයි යන්නය. පළමු හා දෙවැනි ලෝක යුද්ධ පූර්ව ලෝක සංදර්භයන් ද මෙම වර්තමාන තත්ත්වයන්ට බොහෝ සෙයින් සමගාමීව පැවති බවත් දැක්‌විය හැකිය. ඇමරිකා ජනපති ට්‍රම්ප් මැතිවරණයට පෙර දුන් පොරොන්දු කඩ වෙමින් ඇමරිකාව සුපුරුදු න්‍යාය තුළ ගමන් කරන බවද හඳුනාගත හැකිය. මෙම සියලු තත්ත්ව ගොඩනැඟෙන ආකාරය දෙස රුසියාව නිහඬ ප්‍රතිපත්තියක සිට බලා සිටීම කෙරෙහි ද විද්වත් අවධානය යොමුව පවතී. තත්ත්වය එසේ වුවත් තෙවැනි ලෝක යුද්ධයක්‌ ඇති නොවේවායි අපි පතමු.

ආර්. අයි. බී. ජයසිංහ
http://www.divaina.com/2017/04/25/feature01.html

Sunday, April 23, 2017

ආගමික නැඹුරුව: ලොව මුල්තැන ලංකාවට!

ආගම ඇදහිය යුත්තකි, උගත යුත්තක්‌ නොවේ යනුවෙන් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා ලිපියක්‌ ලියුවේ 1954 දීය. එය බොහෝ දෙනාගේ අවධානයට ලක්‌වූ ලිපියකි. එම ලිපියේ මෙවන් සටහනක්‌ වේ.

වරක්‌ නෑ මිතුරන් දෙතුන් දෙනකු සමග මම අනුරපුරයට ගියෙමි. මා ගියේ පැරණි ගල් කැටයම් හා පිළිම බලා ආශ්වාදයක්‌ ලබන අදහසිනි. මා සමග ගිය උවැසියක්‌ බුදු පිළිමයක්‌ ඉදිරියේ දණින් වැටී වැන්දාය. සැදැහැ බැතිපෙමින් සිත එකඟ කරගත් ඇගේ කයද ඇගේ අධ්‍යාත්මය පිළිබිඹු කරන්නක්‌ විය. ඈ තම මමත්වය මකා දමා බුදු පිළිමය තුළට පිවිසීමෙන් ඒ හා එකී භාවයට ගියාය. ඈ ඇගේ වැඳීමෙන් ලැබුවේ උසස්‌ම ආස්‌වාදයකි. ඈ ලත් ආස්‌වාදය ලැබීමට මගේ බුද්ධියත් උගැනීමෙන් ලත් දැනුමත් මට ඉඩ නුදුන්නේය. මා බුදු පිළිමයෙන් ආශ්වාදය ලැබුවේ ඒ වටා බමන්නෙකු ලෙසිනි. මමත්වය මදකට යටකොට මගේ සිත බුදු පිළිමය තුළට පිවිසවා ඒ හා ඒකීය භාවයට යෑවීමෙන් උසස්‌ම ආස්‌වාදය ලැබීමට දැනුමෙන් පුරවාගත් මගේ හිස මට ඉඩ නුදුන්නේය. වික්‍රමසිංහයන් මේ ලිපිය මගින් ප්‍රකාශ කරන්නේ බුද්ධිය පරයා ශ්‍රද්ධාව බලවත් වන ආකාරයයි. අර උවැසිය ලැබූ ආස්‌වාදය බුද්ධි විෂය ඉක්‌මවන්නකි. පොතින් පතින් ආගම උගැනීම අප ලබාගෙන ඇත්තේ බටහිරෙනි.

එදත් අදත් මෙරට වැසියන්ගේ ආගමික භක්‌තියේ වෙනසක්‌ සිදුවී ඇත්ද? මේ ගැන සිදුවූ වැදගත් සමීක්‍ෂණයක ප්‍රතිඵල පසුගිය සතියේ නිකුත්ව තිබිණි. එයින් හෙළිව ඇත්තේ කුමක්‌ද? ලොව වඩාත්ම ආගමික නැඹුරුව ඇති රටවල් අතර මුල් තැන ලංකාවට හිමිව ඇති බව නොවේද?

වොෂින්ටනය මූලස්‌ථානය කරගත් ගැලප් පර්යේෂකයන් විසින් 2008, 2009 සහ 2015 යන වසරවල රටවල් හැට පහක වැසියන් යොදා ගනිමින් මෙහෙයවනු ලැබූ සමීක්‍ෂණයකින් හෙළිව ඇත්තේ ශ්‍රී ලාංකිකයන් 99% ක්‌ම ආගමික නැඹුරුවක්‌ සහිත පුද්ගලයන් බවයි. මෙම සමීක්‍ෂණයට අනුව ඉතියෝපියාව, මලාවි, නයිජර්, යේමනය යන රටවලද ජනතාවගෙන් 99% ක්‌ම තම ආගමික නැඹුරුව හෙළිකර ඇත. ථෙරවාදී බෞද්ධයන් වෙසෙන බුරුමය, ලාඕසය, කාම්බෝජයද ආගමික නැඹුරුව 97% කි. අශ්ශබාබ් ත්‍රස්‌තයන්ගෙන් බැටකන සෝමාලියාවේද ආගමික නැඹුරුව 98% කි. 

යුරෝපා රටවල නම් ආගමික නැඹුරුව අසතුටුදායක බව ගැලප් පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. බ්‍රිතාන්‍යයේ ආගමික නැඹුරුව 30% ක්‌ වන අතර ජර්මනියේ 34% කි. 

ලෝකයේ දෙවැනි බලවත්ම රාජ්‍යය වන චීනයේ සිදුව ඇත්තේ කුමක්‌ද? මේ සමීක්‍ෂණයට අනුව ලොව පහළම ආගමික නැඹුරුව ඇති රට වන්නේ චීනයයි. ජපානයේ ආගමික නැඹුරුව 13% කි. එය නෝර්වේ රාජ්‍යයේද 21% ක්‌ වී ඇත. මෙම සමීක්‍ෂණ වාර්තාව අනුව ලොව තරුණ පරපුර අතර ආගමික නැඹුරුව ඉහළ ගොස්‌ ඇති බව හෙළිව තිබේ.

ආගමික නැඹුරුව ප්‍රමුඛව ඇත්තේ මුස්‌ලිම් හා ථෙරවාදී බෞද්ධ රටවල්වල බව මෙම වාර්තා අනුව හෙළිවේ. කතෝලික හා ක්‍රිස්‌තියානි රටවල ආගමික නැඹුරුව අඩුව ඇත්තේ මන්ද? මේ රටවල බොහෝ දෙනකු පවසන්නේ තමන් ආගමක්‌ අදහන්නේ නැති බවයි.

2012 දී නිකුත් කළ වාර්තා අනුව ලෝක ජනගහනයෙන් 31% ක්‌ එනම් බිලියන 2.2 ක්‌ ක්‍රිස්‌තියානිහු වෙති. මුස්‌ලිම් ආගම අදහන පිරිස ලෝක ජනගහනයෙන් 22% කි. ගණනින් බිලියන 1.6 කි. ආගමක්‌ අදහන්නේ නැති පිරිස ලෝක ජනගහනයෙන් බිලියන 1.1 ක්‌ වන අතර එම ප්‍රමාණය ප්‍රතිශතයක්‌ ලෙස 15% කි. ලෝකයේ වෙසෙන හින්දුන් ප්‍රමාණය බිලියනයක්‌ බව ගණන් බලා ඇත. ලෝක ජනගහනයෙන් 7% ක්‌ බෞද්ධයෝ වෙති. ලොව පුරා මිලියන 376 ක්‌ බෞද්ධයෝ වෙසෙති.

මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධාන ලොව භීතියට පත් කරන්නා සේම ලොව වේගයෙන්ම පැතිරෙන ආගම වී ඇත්තේද මුස්‌ලිම් ආගමයි. 2010 - 2050 කාලය තුළ මුස්‌ලිම් ජනගහන වර්ධනය 73% ක්‌ වනු ඇතැයි ගණන් බලා ඇත. 2015 දී බිලියන 1.8 ක්‌ වන මුස්‌ලිම් ජනගහනය 2060 දී බිලියන 3 ක්‌ වන බව පිව් සමීක්‍ෂණ ආයතනයේ වාර්තාව මගින් හෙළිකර ඇත. ඒ අනුව ලොව බහුතර ආගමික කිරුළ ක්‍රිස්‌තියානීන් අතින් ගිලිහී යයිද? ආගමික නැඹුරුව ගැන කතා කරද්දී ලෝක යථාර්ථය ගැනත් අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. මෙය ලංකාවේද අත්දකින සත්‍යය නොවන්නේද?

මෙරට බෞද්ධ සමාජයේ ආගමික නැඹුරුව විදේශීය සමීක්‍ෂණ මගින් තහවුරු කළ යුත්තක්‌ නම් නොවේ. එය අපි හොඳින් දනිමු. මනුෂ්‍යයා ඔහු උපන් සමාජයේ අවයවයකි. එමෙන්ම මනුෂ්‍යයාද විශ්වයෙන් සුළු කොටසකි. එම නිසාම ආගමික ජීවිතයෙන් තොරව පුද්ගලයකුට ජීවත් විය නොහැක. 

ඒ හේතුව නිසා මෙරට වැසියෝ ආගමික නැඹුරුවෙන් මුල් තැනට පත්ව ඇත්ද?

චතුර පමුණුව 
http://www.divaina.com/2017/04/23/feature33.html

Saturday, March 25, 2017

බුද්ධි අංශ අවුලේ... ආරක්ෂාව අනතුරේ?

නව රජය බලයට ආ දිනයේ සිට රටට යළි "මිලේනියම් සිටි" පාවා දීම සිහිගන්වමින් බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහි විමර්ශන ආරම්භ කළ රහස්‌ පොලිසිය ඉකුත් සතියේ ඇමැති සරත් ෆොන්සේකා පැවසූ බව කියමින් ආන්දෝලනාත්මක කතාවක්‌ ගල්කිස්‌ස අධිකරණයට වාර්තා කළේය.

සරත් ෆොන්සේකා මෙසේ සීඅයිඩීයට කී කතාව වන්නේ කුමක්‌ද? ඉකුත් 2008 - 2009 වර්ෂයන්හිදී සිදුවූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර්ට සහ රිවිර කර්තෘව සිටි උපාලි තෙන්නකෝන්ට එල්ල වූ ප්‍රහාරයන් සහ ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය ආදී වශයෙන් පසුගිය කාලයේ සිදුවූ සියලු අපරාධවලට වගකිව යුත්තේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ යන්නය.

මේ කතාව කියනුයේ යුද හමුදාපතිව සිට එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස වැඩ භාරගත් මොහොතේ "දේශපාලනයට පැමිණ සොල්දාදුවකු ලෙස දිනාගත් කීර්ති නාමය වනසා ගන්නට කිසි දිනකත් තමන් සූදානම් නැතැයි" මාධ්‍ය ඉදිරියේ සපථ කළ සරත් ෆොන්සේකා බවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

සීඅයිඩීයේ විමර්ශනවලදී තමන්ටද ඇඟිල්ල දික්‌වීමට පටන් ගැනීමත් සමඟ ඒ පිළිබඳ ප්‍රකාශයක්‌ ලබා දීමට පැමිණි අවස්‌ථාවක ඔහු මේ කතාව කියා ඇත. ඒ නොකර බැරි තැන කෙරුණු කැඳවීමකට අනුවය.

අදාළ පහරදීම් සහ ඝාතන සිදුවන කාලයේ යුද හමුදාපතිව සිටි තමන් උතුරු නැගෙනහිර යුද්ධය මෙහෙයවූවා මිස දකුණ ඇතුළු කොළඹ සිදුවන දේ පිළිබඳ කිසිදු සොයා බැලීමක්‌ නොකළ බවද එහිදී ප්‍රකාශ කර ඇති සරත් ෆොන්සේකා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ විසින් විශේෂ හමුදා කණ්‌ඩායමක්‌ යොදාගෙන ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ මාධ්‍යවේදීන්ට පහරදීම ඇතුළු අපරාධ සිදු කළ බව තමන් දැන සිටියේ යෑයි ද සඳහන් කර ඇත.

ඔහුගේ මේ කතාව ඇසෙද්දී අපට මතුවන ගැටලුව වන්නේ ඇත්තටම සරත් ෆොන්සේකා මේ රටේ හමුදාපති වූයේද යන්නය. ඔහු හමුදාපතිව සිටියේ නම් මේ කියන අන්දමට එක්‌කෝ නිසි ලෙස හමුදාවට නායකත්වය දී නැත. එය තවත් විදියකට කියතොත් සරත් ෆොන්සේකා ඒ දිනවල සිට ඇත්තේ හමුදාපතිකම ළමයකුට දීය.

සරත් ෆොන්සේකාගේ බිරිඳ අනෝමා ෆොන්සේකාම වරක්‌ කී පරිදි මහ රෑ ජාමෙට ඇගේ සිරුර මත සිතියම දිගහැරගෙන යුද්ධය මෙහෙයවූ සරත් ෆොන්සේකා කොළඹ යුද හමුදා මූලස්‌ථානය තුළදීම මරාගෙන මැරෙන කොටි කාන්තාවකගේ ප්‍රහාරයකට ගොදුරු වූයේ මෙසේ කොළඹ පිළිබඳ සොයා නොබැලීම නිසාද විය හැකිය. පුදුමයට කරුණ වන්නේ තමන්ට බෝම්බ ගැහුවේත් ගෝඨාභය සහ හෙන්දාවිතාරණ බව මෙහිදී සරත් ෆොන්සේකා කියා නොතිබීමය.

ඇත්තෙන්ම සරත් ෆොන්සේකා සාධකය තුළ සිට මෙසේ කතා කිරීමට වේ යෑයි අපි කිසි දිනක නොසිතුවෙමු. මෙලෙස සටහන් කිරීමට සිදුවීම අපේ සිතටද වේදනාකාරීය. එහෙත් වීරයා මඩේ නාද්දී ගඳයි කියනු හැර අපට කියන්නට වෙන දෙයක්‌ ද නැත.

සරත් ෆොන්සේකා මහතා හිටපු ආරක්‍ෂක ලේකම් සහ බුද්ධි අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් මෙවැන්නක්‌ පවසද්දී සීඅයිඩීයේ විමර්ශකයන් කරනු ලැබුවේ කුමක්‌ද? කිසිදු වගවිභාගයකින් තොරව ඒ කතාව අධිකරණයට වාර්තා කිරීමය. එහෙත් රහස්‌ පොලිසිය තිබෙන්නේ එසේ කටයුතු කිරීමටද?

අද සරත් ෆොන්සේකා කුමක්‌ කීවද ඔහුද රාජකාරී කළ යුද හමුදාවේ කටයුතු සිදුවන නිසි පටිපාටියක්‌ ඇත. සාමාන්‍යයෙන් යුද හමුදාවේ ඕනෑම නිලධාරියකු හෝ සෙබළකු ස්‌ථානගත කර සිටින්නේ කොතැනකදැයි යන්න නියත වශයෙන්ම යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ දැන සිටින්නේය. ඔහුට හොරෙන් කිසිවක්‌ සිදු කළ නොහැකිය. එසේම එකී නිලධාරියාට හෝ සෙබළාට වැටුප් ගෙවීමක්‌ සිදු වන නිසා ඔහු කරන රාජකාරිය කුමක්‌දැයි අනිවාර්යයෙන්ම වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට වාර්තා වන්නේය.

මෙකී කාල සීමාවේදී මේජර් ජෙනරාල් උදය පෙරේරා යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ විය. වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ වූයේ බ්‍රිගේඩියර් සුනිල් වන්නිආරච්චිය. රහස්‌ පොලිසිය මෙහිදී අදාළ සිද්ධීන් පිළිබඳ නිවැරදි විමර්ශනයක්‌ සිදු කළේ නම් විය යුතුව තිබුණේ සරත් ෆොන්සේකා කී කතාව ගැන මේජර් ජෙනරාල් උදය පෙරේරා සහ බ්‍රිගේඩියර් සුනිල් වන්නිආරච්චි කැඳවා විමසීමක්‌ කිරීමය.

එහෙත් එවැන්ක්‌ සිදුව නැත. ලසන්ත ඝාතනය වැනි රටම හෙල්ලුම් කෑ විමර්ශනයක්‌ හමුවේ රහස්‌ පොලිසිය එසේ නොසැලකිලිමත් ලෙස කටයුතු කළේ කුමක්‌ නිසාද? සීඅයිඩීය එවන් විමසීමක්‌ සිදු කළේ නම් සරත් ෆොන්සේකා කියන අන්දමේ අභිරහස්‌ හමුදා කණ්‌ඩායමක්‌ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සහ බුද්ධි අංශ ප්‍රධානියා යටතේ සිටියේද සහ ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳ පැහැදිලිව අනාවරණය කර ගැනීමට ද අවස්‌ථාව තිබිණ.

එහෙත් ඔවුන් කරනු ලැබුවේ සරත් ෆොන්සේකා කී කතාව ගෙඩිය පිටින් ගෙන ගොස්‌ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණගේ නමද සඳහන් කර ගල්කිස්‌ස අධිකරණය හමුවේ දිග හැරීමය.

අඩුම තරමේ සරත් ෆොන්සේකා කියන කණ්‌ඩායම පිළිබඳවවත් සොයා බැලීමක්‌ නොකෙරිණි. කිසිදු විධිමත් විමර්ශනයකින් තොරව මේ අන්දමට අධිකරණයට බී වාර්තා ඉදිරිපත් කරන්නට නම් රහස්‌ පොලිසියක්‌ අවශ්‍ය නැත. ලිවීමේ සහ කියවීමේ හැකියාව පමණක්‌ ඇති පොඩිවුන් ටිකකට වැඩේ පැවරුවොත් ඔවුන්ද මේ ටික කරනු ඇත.

රහස්‌ පොලිස්‌ විමර්ශකයන් මේ අන්දමට කටයුතු කළේ කුමක්‌ නිසාද? එය මෙහිදී මතුවන ඉතාම වැදගත් ප්‍රශ්නය වන්නේය. එහෙත් ඊට පෙර කියන්නට කතාවක්‌ද අපට ඇත. ඒ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ පිළිබඳවය.

හෙන්දාවිතාරණ යනු කවරෙක්‌ද? මෙය කියවන මිනිසුනේ දැන ගන්න. ඔබත් මාත් මේ මොහොතේත් ප්‍රභාකරන්ගේ බෝම්බයක ගොදුරක්‌ නොවී හුස්‌ම ගනිමින් ජීවත් වන්නේ නම් එසේ වී තිබෙන්නේ මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණලා වැනි උපන් බිමට සහ ජනතාවට හදවතින් ආදරය කරමින් දිවි පරදුවට තබා මේ රට වෙනුවෙන් දහසක්‌ කැපකිරීම් කළ වීරයන් නිසාය.

අද මෙන්ම හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ඉලක්‌ක කර ඉකුත් 2002 වසරේ සිදුවූ "මිලේනියම් සිටි" මහා පාවදීම දීම සිදු වෙද්දී "මිලේනියම් සිටි" නිවස්‌නය ඇතුළුව දිගුදුර විහිදුම් බළකායේ බුද්ධි රණවිරුවන්ට අණ දුන් බුද්ධි අංශ නායකයා වූයේ කපිල හෙන්දාවිතාරණය.

"මිලේනියම් සිටි" පාවා දීම හමුවේ මේ රට වෙනුවෙන් දිවිහිමියෙන් වැඩ කළ මේජර් මුතාලිෆ් ඇතුළු බුද්ධි අංශ රණවිරුවන් සහ ඔත්තුකරුවන් එකා පිට එකා එල්ටීටීඊයේ ගොදුරු වෙද්දී ඉන් දිවි ගලවා ගත් අතලොස්‌සෙන් කෙනකු ලෙසද මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ හඳුන්වා දිය හැකිය.

එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ වූ හෙන්දාවිතාරණ කර්නල් නිලයේ පසුවූ අතර ඔහුගේ දෙවැනියා ලෙස යුද හමුදා බුද්ධි බළකාය සහ "මිලේනියම් සිටි" කණ්‌ඩායම පසුපස සිටියේ යහපාලනයට පෙර යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ වූ බ්‍රිගේඩියර් සලේ හෙවත් එවකට මේජර් සලේය. 

යුද හමුදා මහසොහොන් බළකායට ඉකුත් 2000 වසරේ සිට බුද්ධි නායකත්වය දුන්නේද මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණය. එසේම හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ අදහසකට අනුව මහසොහොන් බළකායට අටේ කණ්‌ඩායම් ක්‍රමය හඳුන්වා දෙමින් කොටි නායකයන් එල්ටීටීඊ බලප්‍රදේශයන් තුළදීම අවසන් ගමන් යවන්නට කටයුතු කළේද ඔහුය.

මෙසේ ක්‍රියාත්මක වීම හමුවේ පසුගිය කාලයේ ප්‍රභාකරන්ගේ ඝාතන ලැයිස්‌තුවේ හතරවැනි ස්‌ථානයේ සිටින්නටද මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණට සිදු විය. 

ප්‍රභාකරන්ගේ අවසානයත් සමඟ මෙරට ඉතිහාසයේ පළමු වතාවට හමුදා කණ්‌ඩායමක්‌ මැලේසියාවට යවා ඊශ්‍රායලයේ මොසාඩ් ක්‍රමයට අනුව යමින් කිසිදු ලේ වැගිරීමකින් තොරව එල්ටීටීඊයේ කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. ව අත්අඩංගුව ගැනීමට සිදු කළ අතිවිශිෂ්ට මෙහෙයුමේ මහ මොළකරු වන්නේද ඔහුය. 

සත්‍ය එය වුවත් මේ වන විට බුද්ධි අංශවලට එරෙහිව විමර්ශන සිදු කරමින් නින්දිත දඩයමක යෙදී සිටින රහස්‌ පොලිසිය කපිල හෙන්දාවිතාරණ නම් වූ රට වෙනුවෙන් දහසක්‌ දේ කළ කිර්තිධර බුද්ධි නිලධාරියාටද ලබන සතියේ සීඅයිඩීයට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන වගක්‌ද මේ සටනහ තබන මොහොතේ දැනගැනීමට ලැබිණ. 

සීඅයිඩීය අද මේ අන්දමට රඟමින් සිටින්නේ කුමක්‌ නිසාද? දැන් අප එන්නේ මේජර් ජෙනරාල් හෙන්දාවිතාරණ පිළිබඳ කතා කරන්නට පෙර මේ කතාව නතර කළ තැනටය.

ඉකුත් 2015 ජනවාරි අටවැනිදා යහපාලනය බිහිවීමත් සමඟ සීඅයිඩීය ඇරඹූ විමර්ශන ගණනාවක්‌ම ඇත. ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය, පාර්ලිමේන්තු මන්ත්‍රි නඩරාජා රවිරාඡ් ඝාතන විමර්ශනය, ප්‍රවීණ මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්ට සහ කීත් නොයාර්ට පහරදීමේ විමර්ශන ආදිය ඒ අතර ප්‍රධානම තැනක තිබිණ.

මේවා පිළිබඳ විමර්ශන සිදුවිය යුතුය. එසේම අපරාධකරුවන් සිටීනම් ඔවුනට එරෙහිව නීතියද ක්‍රියාත්මක විය යුතුය. එහි කතා දෙකක්‌ නැත. එහෙත් මේ සියලු සිද්ධීන් ගත් කල පෙනී යන එක්‌ පැහැදිලි ලක්‍ෂණයක්‌ද ඇත. එය වන්නේ එන්ජීඕ නඩ ඇතුළු මේ රටට ද්‍රෝහීවූ සියලු පාර්ශ්ව පසුගියට රජයට ඇඟිලි දිගු කරමින් හන්දියක්‌ හන්දියක්‌ ගානේ මොරදුන් සිදුවීම් බවට පසුගිය කාලයේ මේවා පත්ව තිබීමය.

එසේම මේ සියලු සිද්ධීන් යහපාලන දේශපාලන වේදිකාවන්හිද ප්‍රබල මාතෘකා බවට පත්වූ ඒවාද විය. යහපාලනයත් සමඟ රහස්‌ පොලිසිය මෙම සිද්ධීන් පිළිබඳ කඩිනම් විමර්ශන අරඹන්නේ එවන් වූ දේශපාලන පසුබිමක්‌ද එකී ඝාතන සහ පහරදීම් සම්බන්ධයෙන් ගොඩනැගී තිබියදීය. 

අප නම් හැමදාමත් කීවේ මේ විමර්ශනවලදී හරි දේ හරි විදිහට සිදු විය යුතුයෑයි කියාය. එසේ නැතිව ජාතික ආරක්‍ෂාව බිල්ලට දෙමින් මේ හරහා බුද්ධි අංශ දඩයමක්‌ සිදුවන්නේ නම් ඒ දෙස ගොළුවන් බිහිරන් සේ බලා සිටින්නටද අපට නොහැකිය.

මෙසේ සීඅයිඩීය ආරම්භ කළ විමර්ශන මාලාවට අනුව ඔවුන් මුලින්ම කරළියට ගෙන ආ කතාව වූයේ ප්‍රගීත් එක්‌නැලිගොඩ විමර්ශනය ය. එහෙත් මෙහිදී සිදු කෙරුණේ කුමක්‌ද? කිසිදු පදනමකින් තොරව විවිධ පුද්ගලයන් ගෙන රජයේ සාක්‍ෂි මත යෑපෙන්නට ගිය රහස්‌ පොලිසිය අවසානයේ සිදුකළේ එල්ටීටීඊයේ පරාජයෙන් පසු ඉකුත් 2015 ජනවාරි 8 වැනිදා දක්‌වාම කොටින්ගේ යළි පිබිදීම වැළැක්‌වීම සඳහා ඉතාම රහසේ ක්‍රියාත්මක වූ "ඔපරේෂන් ඩබල් එඡ්" නමැති අතිසාර්ථක බුද්ධි මෙහෙයුම සහමුලින්ම විනාශ කර දැමීමය.

එකී විමර්ශනයට අනුව අදටත් එක්‌නැලිගොඩ මැරුවාද, මැරුණාද යන්න පිළිබඳව නිශ්චිත ලෙස අනාවරණය කර ගැනීමට සීඅයිඩීය සමත්ව නැත. මේ වන විට වසර දෙකක්‌ ගතවී ඇතත් එක්‌නැලිගොඩට මොකද වුණේ කියා කිසිවකුත් දන්නේද නැත. 

එහෙත් ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොවූ අයුරින් "ඔපරේෂන් ඩබල් එඡ්" මෙහෙයුම ඇතුළුව මේ රට වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක්‌ කළා වූ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරීන් නව දෙනකුට එරෙහිව දණ්‌ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරුම් චෝදනා එල්ල කර ඔවුන් බන්ධනාගාරගත කරවන්නට පසුගිය කාලයේ කටයුතු කෙරිණ. 

මේ අතරේ විවිධ දේ පවසා අධිකරණයට කරුණු වාර්තා කරමින් යුද හමුදාව සතුව තිබූ ජාතික ආරක්‍ෂාවට අතිශය වැදගත් වන්නා වූ ඉතාම සංවේදී තොරතුරු පවා තමන් භාරයට ගන්නටද විමර්ශකයෝ පියවර ගත්හ. එම තත්ත්වය තුළ අද වන විට එක්‌නැලිගොඩ විමර්ශනය හමුවේ සිදු වූ එකම දෙය වී තිබෙන්නේ හමුදා බුද්ධි අංශ රහස්‌ අනාවරණය වෙමින් ජාතික ආරක්‍ෂාවට පැහැදිලි තර්ජනයක්‌ එල්ල වීම බවද සඳහන් කළ යුතුය. 

පසුගිය කාලයේ සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාඡ් ඝාතන විමර්ශනයද එවැන්නකි. එහිදී රවිරාඡ්ට වෙඩි තැබීම සඳහා ඝාතකයා යතුරු පැදියක නංවාගෙන ගිය ප්‍රීතිවිරාඡ් මනම්පේරි නම් වූ පොලිස්‌කාරයා රජයේ සාක්‌කිකරුවකු කරමින් නාවික හමුදා බුද්ධි නිලධාරීන් තිදෙනකු දංගෙඩියට යවන්නට රහස්‌ පොලිසිය දැඩි ලෙස උත්සාහ ගත්තේය.

එහෙත් කොළඹ මහාධිකරණය මගින් එකී නාවික හමුදා බුද්ධි නිලධාරීන් නිදොස්‌ කොට නිදහස්‌ කරනු ලැබීම නිසා එම උත්සාහය ව්‍යර්ථ විය.

රවිරාඡ් නඩුව විභාග වෙමින් තිබියදීම සීඅයිඩීය සිය විමර්ශන මාලාවට අනුව ඊළඟට සමාජය අතරට ගෙනා කතාව වූයේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ය. එහිදී ලසන්තගේ රියෑදුරා පැහැරගත් බව කියමින් "මිලේනියම් සිටි" පාවා දීමේදී පාවා ජීවිතය බේරාගෙන රටට සේවය කළ සුවිශේෂී බුද්ධි නිලධාරියකු වූ ප්‍රේමානන්ද උදලාගමව අත්අඩංගුවට ගත් ඔවුන් ඔහුව බන්ධනාගාරගත කළේය. එසේ බන්ධනාගාරගත කර සිටියදී මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීමේ සිද්ධියටද උදලාගමව සම්බන්ධ කෙරිණ. 

මේ සියල්ල සිදු වන්නේ එවකට රිවිර පුවත්පතේ කර්තෘ වූ උපාලි තෙන්නකොන් මහතා තමන්ට සිදුවූ පහර දීම පසුපස සිටිනුයේ සරත් ෆොන්සේකා බව පැහැදිලිවම රහස්‌ පොලිසියට ප්‍රකාශ කර තිබියදී ය. එහෙත් ලසන්ත ඝාතන විමර්ශනයේදී කිසිම අවස්‌ථාවක සරත් ෆොන්සේකා කැඳවා ප්‍රකාශයක්‌ ගන්නට සීඅයිඩීය කටයුතු නොකළේය. ඒ ගැන අහන්නට සරත් ෆොන්සේකා කැඳවූයේ මීට සති දෙකකට පමණ ඉහතදීය.

මේ අන්දමට අද බුද්ධි අංශවලට එරෙහිව සිදු කෙරෙන විමර්ශනවල ඇති ගැටලු සහගත තැන් බොහෝය. ඒවායෙහි කිසිම විනිවිදභාවයක්‌ද පෙනෙන්නට නැත. යුද හමුදා සහ නාවික හමුදා බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහිව සිදු කරන විමර්ශනවලදී දකින්නට ලැබෙන එකම විශේෂත්වය වන්නේ බොහෝ විට රට වෙනුවෙන් විශාල කැපකිරීම් කරමින් කටයුතු කළාවූ බුද්ධි නිලධාරීන් තෝර තෝරා සිරගත කිරීම සීඅයිඩීයේ ඉලක්‌කය වී තිබෙන බවය?

වැල්ලවත්තේදී ළමුන් පස්‌දෙනකු පැහැර ගත්තේ යෑයි කියමින් දැනට සිරගත කර සිටින නාවික හමුදා බුද්ධි අංශයේ කමාණ්‌ඩර් රණසිංහ ඇතුළු පිරිස මෙන්ම ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගත් බව කියමින් සිරගත කර සිටින නාවික හමුදා බුද්ධි බළකායේ ලුතිනන් කමාණ්‌ඩර් ධම්මික අනිල් මාපාත්, කීත් නොයාර්ට පහර දුන්නේ යෑයි කියමින් බන්ධනාගාරගත කර සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් බුලත්වත්ත ඇතුළු රණවිරුවන් පිරිසත් මේ රට වෙනුවෙන් ඉටු කර ඇති සේවය දෙස බැලීමේදී එය මනාව පැහැදිලි වන්නකි. 

එක්‌නැලිගොඩ සිද්ධියේ සිට මේ දක්‌වා සීඅයිඩීය මගින් විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබූ සියලුම බුද්ධි නිලධාරීහු ඉකුත් යුද සමයේ එල්ටීටීඊය පරාජය කිරීම සඳහා දිවි පරදුවට තබා දැඩි කැපවීමකින් කටුයුතු කළෝම වන්නාහ.

රහස්‌ පොලිසියේ විමර්ශනවල යථාර්ථවාදී කතාව එසේ වෙද්දී කීත් නොයාර්ට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින මේජර් බුලත්වත්ත ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවන් පිරිසට ලබන තිස්‌ වැනිදා ඇප ලැබෙන තත්ත්වයක්‌ ද මේ වන විට නිර්මාණය වී ඇත.

ඒ ඔවුන්ට එරෙහිව සාක්‍ෂි දීම සඳහා දැනට ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටින මාධ්‍යවේදී කීත් නොයාර් ශ්‍රී ලංකාවට ඒම ප්‍රතික්‍ෂෙප කර ඇති නිසාය. මේ කරුණ හමුවේ මේජර් බුලත්වත්ත ඇතුළු පිරිස ඇප මත නිදහස්‌ වුවහොත් අනෙකුත් සියලු විමර්ශන සේම සීඅයිඩීයේ විමර්ශකයෝ කීත් නොයාර් විමර්ශනයේදීත් අසමත්හු වන්නාහ. එය ඔවුන්ට වදින ප්‍රබල කනේ පහරකි.

එහෙයින් බුලත්වත්ත ඇතුළු පිරිසට ඇප ලැබීම කෙසේ හෝ වළකා ගැනීම සිදු කළ යුතුය. රහස්‌ පොලිසියේ විමර්ශකයෝ අද කඩිමුඩියේම සරත් ෆොන්සේකාගේ කතාව අධිකරණයට රැගෙන යන්නේ මෙන්න මේ හේතුව මුල්කරගෙනය. එමගින් මේජර් බුලත්වත්ත ඇතුළු පිරිස මාධ්‍යවේදී ලසන්ත ඝාතනයටද සම්බන්ධ කර තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම ඔවුන්ගේ ඉලක්‌කය බව ඉතාම පැහැදිලිය. 

මේ අන්දමට බුද්ධි අංශ කෙරෙහි වෛරී විමර්ශන සිදු කරන විමර්කයෝ අද මෙකී ඝාතන සහ පහරදීම් හමුවේ කළ යුතු දේ කොතෙක්‌ නොකර සිටින්නාහුද? ලසන්ත වික්‍රමතුංගගේ සිරුර යළි ගොඩගෙන සිදු කළ දෙවන වෛද්‍ය පරීක්‍ෂණයට අනුව ඔහුගේ ඝාතනය සිදුව ඇත්තේ විශේෂිත අවියකින් කළ පහරදීමකින් බව මේ වන විට අනාවරණය වී තිබෙන්නකි. 

එහෙත් මේ අවිය කුමක්‌ද සහ ලසන්ත ඝාතනය සිදුවන කාලසීමාවේ එකී අවිය තිබුණේ කොතැනකදැයි යන්න පිළිබඳ සීඅයිඩීයේ විමර්ශකයන් තවමත් සොයා බැලීමක්‌ කර තිබේද? එසේ කටයුතු කර නැතිනම් ඒ අතපසු වීම සිදුව ඇත්තේ කුමක්‌ නිසාද? ඒ පිළිබඳ මෙතෙක්‌ යුද හමුදාවෙන් විමසීමක්‌ කළ බවක්‌ ද දැන ගැනීමට නැත.

පසුගිය යුද සමයේ මෙවන් අවි පහක්‌ ශ්‍රී ලංකාවට ආනයනය කෙරුණු බව එකල අපට වාර්තා විය. ඒවා ගෙන්වා තිබුණේ යුද හමුදාවටය. එසේ නම් යුද හමුදාවට අවි සැපයූ සමාගම් වෙත ගොස්‌ ඒ පිළිබඳ විමර්ශන කිරීමට සීඅයිඩීය කටයුතු නොකරන්නේ මොන හේතුවක්‌ නිසාද? එසේ කළහොත් මේ අවියේ රහස හෙළිවෙතැයි වැනි බියක්‌ ඔවුන් ඇතිවී තිබේද?

ලසන්ත ඝාතන විමර්ශනය සිදුවන අතරේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමා හේරත් පසුගිය දිනවල රහස්‌ පොලිසියට ගොස්‌ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව එක්‌ විශේෂ පැමිණිල්ලක්‌ කර තිබිණි. එහිදී ඔහු බුද්ධි අංශ පිළිබඳව නොව යුද සමයේ කොළඹ සිට ක්‍රියාත්මක වූ යුද හමුදා 112 බ්‍රිගේඩය පිළිබඳ විශේෂ හෙළිදරව්වක්‌ සිදු කළ බවද දැනගැනීමට ලැබිණ.

එහෙත් අදටත් සීඅයිඩීය ඒ පිළිබඳ විමර්ශන කළ බවක්‌ ද දැන ගැනීමට නැත. එසේ වන්නේ කුමක්‌ නිසාද? අප දන්නා පරිදි 2008-2009 කාලසීමාවේදී මේ 112 බ්‍රිගේඩයේ ප්‍රධානියා ලෙස එක්‌තරා යුද හමුදා බ්‍රිගේඩියර්වරයකු පත්ව ආවේය. හෙතෙම එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ හරියටම මාස තුනක පමණ කාලයකි. ඒ 2008 සැප්තැම්බර් 16 වැනිදා සිට 2009 ජනවාරි 19 දක්‌වාය. පසුව ඔහු යුද හමුදා මූලස්‌ථානයට ස්‌ථාන මාරු විය.

යුද හමුදා ඉතිහාසයේ කිසි විටෙකත් බළසේනාවක හෙවත් බ්‍රිගේඩයක ප්‍රධානියකු මෙසේ මාස තුනකින් ඉවත්ව නොයන්නේය. එසේ නම් මේ බ්‍රිගේඩියර්වරයා එසේ ඉවත්ව ගියේ කුමක්‌ නිසාද? ඒ ගැන මෙතෙක්‌ සීඅයිඩීය සොයා බැලීමක්‌ කර තිබේද? මේ පිළිබඳ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගෙන් ඇසුවොත් තමන් ඒ ගැන නොදන්නේ යෑයි ඔහු කියනු ඇත. එහෙත් එවැන්නක්‌ එදා සිදු විය. 

මෙකී 112 බ්‍රිගේඩයට අනුයුක්‌තව එදා යතුරු පැදිවලින් ගමන් ගන්නා ප්‍රහාරක කණ්‌ඩායමක්‌ද සිටියහ. කොළඹ කොල්ලුපිටියේ ස්‌ථානගතව තිබූ මේ බළසේනාවෙන් සිදුකළේ ද කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ආරක්‍ෂක කටයුතු සොයා බැලීමය. එසේ නම් මේ බ්‍රිගේඩය ගැන සොයා බැලීමක්‌ නොකර සීඅයිඩීය අද බුද්ධි අංශ නැට්‌ටේම එල්ලෙන්නේ මොන අහේතුවකටද?

අද විමර්ශන මුවාවෙන් මේ ඉටු කෙරෙමින් තිබෙන්නේ බුද්ධි අංශ දියකර දමා රට අරාජික කර වෙනත් පාර්ශ්වයක මනදොළ පිනවීමේ වැඩපිළිවෙළක්‌ වීම එයට හේතු වී තිබෙන්නේද? අප ඒ ප්‍රශ්නය මෙහිදී නඟන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය මේ කෙරෙහි දැඩිව යොමු කරනු පිණිසය.

බුද්ධි අංශ දඩයම හමුවේ සිදුවන විනාශයෙන් මේ රට ගලවා ගැනීමට ජනාධිපතිවරයා හැර අන් කිසිවකුත් නැති බව අපේ එකම විශ්වාසය වී තිබෙන්නකි. එහෙයින් ඔහුට මේ අවනඩුව දෙස බලන්නැයි කියනු හැර අපට අද වෙන කියන්නට දෙයක්‌ ඉතිරිව නැත.

සමන් ගමගේ 
http://www.divaina.com/2017/03/26/feature27.html