Pages

Monday, July 10, 2017

පිං පෙට්‌ටියෙන් පව් පෙට්‌ටගමක්‌ කරට ගැනීම... සාංඝීක දේපලවලට අතතැබීමේ පවේ මහිමය මෙන්න...

සෙනසුරා යනු දුකට අධිපති ග්‍රහයාය. එසේම කෙනකු පිස්‌සකු කරන්නට රාහුට හැකිය. එය ජ්‍යෙතිෂයේ ඇති මතය වේ. ඒ අනුව බලන කල යම් කෙනකුගේ ග්‍රහ චක්‍රයේ රාහුත් සෙනසුරුත් නීච වුවහොත් අත්වන ඉරණම ඉතාම ශෝචනීය වන්නේය.

එහිදී ඒකා කට ඇරියොත් පිස්‌සු දොඩවයි. සිහි බුද්ධිය ඇති අයටද පිස්‌සු හැදෙන තරමේ මඤ්ඤං දේම කරයි. අවසානයේ ඒ සියල්ල භූමරංගයක්‌ම වී ඒකා දුකින් දුකටම පත්වෙයි.

බුදු දහමට අනුව නම් මෙකී තත්ත්වය හැඳින්වෙන්නේ පෙර පව් පලදීම ලෙසිනි. ඇතැමුන්ගේ ග්‍රහයන් එතරම් බරපතළ ලෙස නීච වන්නේ පෙර බවයන්හිදී කළ අකුසල් අනුව බව ජොතිෂයේදී ද කියෑවේ. 

කෙසේ වෙතත් මේ සියල්ල ගෙන කල්පනා කිරීමේදී දැන් අපට පමණක්‌ නොව මුළු රටටම දැනෙමින් තිබෙන එක්‌ සත්‍යයක්‌ ඇත. ඒ වත්මන් යහපාලන ආණ්‌ඩුවේ ග්‍රහචක්‍රයද අද බරපතළ ලෙස නීච වී තිබෙන බවය. මෙහිදී වෙනසකට ඇත්තේ ආණ්‌ඩුවට අද පලදෙමින් තිබෙන්නේ පෙර අකුසල් නොව, යෝනිසෝමනසිකාරයෙන් තොරව රටත් ජනතාවත් අගාධයට ඇද දැමීමේ දිට්‌ඨධම්මවේදනීය කර්මය වීමය.

ඉකුත් 2015 වසරේ ජනවාරි 08 වැනිදා වන විට නම් යහපාලනයේ සිකුරා උච්ච වී තිබිණ. එහෙත් අද ආණ්‌ඩුව සිටින්නේ ජනතාවටත් බටකොළ කවා කියන කරන හැම කටයුත්තක්‌ පාසා තමනුත් ඉල්ලාගෙන කන තත්ත්වයකට පත්වීය. එසේ ජනවාරි 08 වැනිදා සිට මේ දක්‌වා පැමිණි ගමනේදී ආණ්‌ඩුව මේ රටත් ජනතාවත් අරබයා කළ කුජීත වැඩ සහ කියන ලද බයිලා කොතෙක්‌ වන්නේද?

රාජපක්‍ෂවරුන්ගේ රත්තරන් අස්‌වයන්, ලැම්බෝ ගිනි, ඩුබායි මාලිගා, කොල්ල කෑ මුදල් පොදි ගැන කියමින් මෙගා හොරු අල්ලන්නේ යෑයි පවසා බලයට පැමිණි යහපාලනය ජයග්‍රහණයේ උණුසුම යන්නටත් පෙර මුලින්ම රටේත් සමස්‌ත ජනතාවගේත් ආර්ථිකය වළපල්ලට යවමින් මහ බැංකුව මහ දවාලේ කොල්ල කෑම සිදු කළේ කිසිදු හිරිකිතයකින් තොරවය. 

එහි පලවිපාක මේ මොහොතේත් රටේ ජනතාව ගෙවමින් සිටින්නාහ. අද ආණ්‌ඩුව මහ බැංකු කොල්ලය පිළිබඳ විමර්ශන කරන බව සත්‍යයකි. එකී විමර්ශනවලදී ඇතැම් මොළකාර ක්‌ලීන් සූට්‌ලාගේ රෙද්ද පමණක්‌ නොව ඊට යටින් තිබෙන ඒවාද ගැලවෙමින් තිබෙන බව රටටම පෙනෙන්නට තිබෙන්නකි. එහෙත් එසේ සිදුවූ පලියට රටේ දුක්‌ විඳින ජනතාවට අත්වන සෙත කුමක්‌ද?

මෙසේ සම්මුතිවාදී පූට්‌ටුව සමඟ හොරු අල්ලන්නට පැමිණි ආණ්‌ඩුව රටේ ආර්ථීක මර්මස්‌ථානය නට්‌ටං කිරීමෙන් අනතුරුව ඊළඟට කරනු ලැබුවේ සංහිඳියාව සහ සහජීවනය යෑයි නන් දොඩවමින් රට බේරාගත් රණවිරුවා සමඟ ජාතික ආරක්‍ෂාවද පාව දෙන අයුරින් කටයුතු කිරීමය. 

ජාතියට බෝම්බ ගැසූ ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කෙරෙද්දී රට බේරාගත් රණවිරුවෝ මිනීමරුවන් කර සිරගත කරන්නට වූහ. නාවික හමුදාවේ ත්‍රිකුණාමලය බුද්ධි ප්‍රධානියා වූ කොමාණ්‌ඩර් සුමිත් රණසිංහ ඇතුළු නාවික බුද්ධි නිලධාරීන් කිහිප දෙනකු අදටත් එකී පාවා දීම හමුවේ සිරගතව සිටින්නාහ.

එසේම එල්ටීටීඊ ත්‍රස්‌තවාදයට කඩේ ගිය බව ඇතැමුන් කියන සහ පසුගිය කාලයේ රටෙන් පැන ගොස්‌ සිටි මාධ්‍යවේදී පොද්දල ජයන්ත ඇමරිකාවේ සිට පැමිණ ඉකුත් දිනවල සීඅයිඩීයට කළ පැමිණිල්ලකට අනුව මේ වන විට යුද හමුදා බුද්ධි නිලධාරීන්ට එරෙහිව තවත් දඩයමකට පිඹුරුපත් සැකසෙමින් තිබෙන බවක්‌ද කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා පොලිසියේ නව මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලෙන් ඇසෙන්නේය.

මේ අතරේ අපේකම පිළිබඳ හැඟීමක්‌ නැති වන සේ අනාගත පරපුරේ මොළ සෝදා දැමෙන පරිදි අධ්‍යාපන ක්‍රමයේ වෙනසක්‌ කිරීමටද තම ගමන ආරම්භ වී ටික කලකින්ම යහපාලනය කටයුතු කළේය. 

සංහිඳියාව සහ සහජීවනය කියමින් ගැටලුකාරී ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ වෙතටද ගමන් කරන්නට වූ ආණ්‌ඩුව පසුගිය තුන් වසරකට ආසන්න කාලයේදී කරළියට රැගෙන ආ රටට අහිතකර අණපනත්ද කිහිපයක්‌ම විය. එකී අණපනත් අතර රණවිරුවන් ජාත්‍යන්තර වශයෙන් පාවා දෙන අතුරුදන් වූවන්ගේ කාර්යාල පනතද විය. 

මෙසේ යහපාලනය දිගින් දිගටම විජාතික වුමනාවන් අනුව රටට අහිතකර මාවතක ගමන් කරන බව පෙනී යැමත් සමඟ අවසානයේ සිදු වූයේ රජයට නිසි මඟ කියා දී රටේ අනන්‍යතාව සුරක්‍ෂිත කිරීම සඳහා ජාතියේ මුරදේවතාවන් වූ මහා සඟරුවන පෙරට ඒමය.

එහෙත් මෙතෙක්‌ කළ කී හතරවරං දේ හමුවේ මේසා විපාකයකට මුහුණ දී ප්‍රතික්‍ෂේප වීමේ හිනිපෙත්තටම ළඟා වී තිබුණද යහපාලනයට තවමත් යථාර්ථය වැටහී තිබේද? එයට දිය හැකි පිළිතුර වන්නේ නැත යන්නය. ඔවුනට එය වටහා ගැනීමට වුවමනාවක්‌ද නැත. වුවමනාවක්‌ තිබුණද එසේ කිරීමටද නොහැකිය. ආණ්‌ඩුවට අද රට, ජාතිය, අපේකම සහ සිංහල බෞද්ධත්වය ඇලජික්‌ වූවාක්‌ මෙන් පෙනී සිටිනු හැර වෙන කරන්නට දෙයක්‌ද නැත.

යහපාලනයට මේ උදාවී තිබෙන්නේ වැපිරූ සියල්ලේ ඵල ලැබෙන කාලය ය. මේ මොහොතේත් යහපාලනයේ වැජඹෙන රාජිත සේනාරත්න වැනි ඇමැතීන් ඇට නැති දිව හතර අතට හරවමින් මේ පිං බිම සිංහල බෞද්ධ එකක්‌ නොවේ යෑයි කියමින් හඬ නඟා බයිලා කියන්නේද අන්න ඒ නිසාය.

හුදෙක්‌ බලලෝභීත්වය සහ කුහකකම හමුවේ විජාතික ද්‍රෝහීන්ගේ කරමතින් බලයට පැමිණි පිරිසකගෙන් ඉන් එහා දෙයක්‌ බලාපොරොත්තු වීමද විහිළුවකි. 

එහෙයින් කොතෙක්‌ ජනතා උදහසට පාත්‍ර වුවද ඔවුන් දිගින් දිගටම සර්ව ජාතික නිර් ආගමික බිමක්‌ පෙරදිග මුතු ඇටය තුළ බිහිකර එදා රොබට්‌ නොක්‌ස්‌ දුටු "සිලෝන්" හි උප්පැන්නයේ සුජාත බව අවජාතක කිරීමට ක්‍රියා කරනු මිස අන්දෙයක්‌ නම් නොකරන්නේය. 

අද ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි යන සිව් බැඳීමට අතුල් පහරක්‌ දෙමින් අපේ පන්සල්වල පිංකැටයට අත තබන්නට යහපාලනය කටයුතු කිරීම ම ඊට ඇති පැහැදිලි උදාහරණයකි. මේ වන විටත් ඓතිහාසික අලුත්ගම කන්දේ විහාරයේ පිංකැට 37 සීල් තබන්නට වත්මන් පාලකයෝ ක්‍රියාකර ඇත්තාහ.

මහා භාරකාර දෙපාර්තමේන්තුවේ විගණන කටයුතු සඳහා එකී පිංකැට සීල් තැබීම සිදු කළ බව රටේ බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා කියයි. ඔහු එසේ පවසද්දී මේ සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වන කන්දේ විහාරයේ විහාරාධිපති හිමියන් වන පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්‌ත නාහිමියන් පවසනුයේ තමන් වහන්සේ රෝගාතුරව ප්‍රතිකාර ලබා ගැනීමට ගොස්‌ ආපසු පැමිණෙද්දී විහාරස්‌ථානයේ පිංකැටවලට සීල් තැබීමට කටයුතු කර තිබුණ බවකි.

මේ අනුව මෙම සිද්ධියේදී පැහැදිලිවම පෙනී යන කරුණ වන්නේ කන්දේ විහාරයේ සාංඝික දේපලවළට ආණ්‌ඩුව බලහත්කාරයෙන් අත තබා ඇතැයි යන්නය. 

එහෙත් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස්‌ දැක්‌වූ අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා කියා සිටියේ එය බලහත්කාරයෙන් සිදුවූ අතපෙවීමක්‌ නොව විහාර දේවාලගම් පනතට අනුව රටේ පවතින නීතියට අනුව සිදු කෙරුණු ක්‍රියාවක්‌ කියාය. 

ඇමැතිවරයාට අනුව විහාර දේවාලගම් පනත යටතේ මේ අන්දමට පිංකැටවල ආදායම ගණනය කර බැංකුගත කරන විහාරස්‌ථාන 258 ලංකාවේ ඇත. එහෙත් ඇමැතිවරයා එකී සියල්ල හෙළි කළද එසේ බැංකුගත මුදලින් කරනුයේ කුමක්‌ද යන්න පවසා තිබුණේ නැත. 

කෙසේ වෙතත් කන්දේ විහාරයේ කතාව එසේ වෙද්දී අද ඩෙංගු උවදුර හමුවේ පාසල් දරුවන්ට දිග කලිසම් ඇන්දවීමට කටයුතු කර ඇති අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාද පසුගිය දිනවල ඓතිහාසික දඹුල්ල විහාරයේ ආදායම ගණන් කරගත නොහැකිව විවිධ දේ පවසමින් හතර අතේ යන ආකාරයක්‌ද දකින්නට ලැබිණ.

ඇමැතිවරයා එසේ දඹුල්ල පන්සලේ ආදායම ගණන් කරන්නට හැදුවේ එම විහාරයේ සංවර්ධනය සඳහා යෙදවීමට යෑයිද පවසමිනි. එහෙත් ඔහු එසේ කීවද එයද ආන්දොලනාත්මක සිදුවීමක්‌ බවට පත් වූයේ රටේ බෞද්ධ ජනතාව තුළ ආණ්‌ඩුව කෙරෙහි දැඩි අප්‍රසාදයක්‌ මතුකරමිනි. 

මේ පිළිබඳ පුවත් පළවන කල්හි රටේ මිනිස්‌සු කම්මුලේ අත තබා "අනේ අපොයි අබුද්ධස්‌ස කාලෙක තරම" යෑයි කියන්නටද වූහ. ඇමැති අකිල විරාඡ් කරළියට ආ මේ සිද්ධියේදී දකින්නට ලැබුණු තවත් විශේෂත්වයක්‌ වූයේ දේවාලගම් පනතක්‌ පිළිබඳව කිසිදු සඳහනක්‌ නොවීමය.

ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා කියන පරිදි කන්දේ විහාරයේ පිංකැට සීල් කිරීම සිදුවූයේ නීත්‍යනුකූල ආකාරයට වුවද දඹුල්ලේදී ඇමැති අකිල විරාඡ් කාරියවසම් සිදු කළේ තම නිල බලය යොදවා බලහත්කාරයෙන් සාංඝික දේපළවලට අත තැබීමක්‌ බව එයින් පැහැදිලි විය. 

එසේම මෙහිදී අපට මතුවන තවත් ගැටලුවක්‌ද ඇත. ඒ ඇමැති විඡේදාස කියන පරිදි රටපුරා විහාරස්‌ථාන 258 ක පිංකැට මුදල් මේ ආකාරයට ගණනය කර බැංකුගත කිරීමක්‌ සිදුවන්නේ නම් එකී ගණනය කිරීම කෙළින්ම සිදු නොකොට බෞද්ධත්වයට නිගා කරමින් කන්දේ විහාරයේ පිංකැටවලට සීල් තබන්නට පියවර ගත්තේ කුමකටද යන්නය. 

එසේ සිදු කළේ විහාරාධිපති හිමියන් හෝ අන් කෙනකු පිංකැටවල ඇති
මුදල් කීයක්‌ හරි ගෙන සඟවා ගනීවි යෑයි ලෙසින් වූ සැකයක්‌ ඇතිවූ නිසාද, නැතහොත් අදටත් ආණ්‌ඩුවේ ඇතැමුන් තලු මර මර තැන තැන කියන රාජපක්‍ෂවරු හොරකම් කළ මුදල් පොදි කන්දේ විහාරයේ පිංකැටවල සඟවා තිබෙන්නේ යෑයි ලෙසින් ඇතිවූ සැකයක්‌ නිසාදැයි දන්නේ ආණ්‌ඩුවය.

මේ රටේ ඇති ඕනැම විහාරස්‌ථානයක පිංකැටයකට මුදල් දමන්නේ භක්‌තිමත් බොදුනු ජනතාවය. ඔවුන් එසේ කරනුයේ බුදු දහමට අනුව අතහැරීම ගැන සිතමිනි. යමෙකු එසේ විහාරස්‌ථානයක ඇති පිං පිට්‌ටියකට මුදලක්‌ දැමූ කල්හි එතැන් සිට එය සාංඝීක වස්‌තුවක්‌ වේ.

අප දන්නා පරිදි නම් සාංඝීක දේපළවලට අත තැබීම යනු මහා පාපයකි. බුදුන් දවස වරක්‌ කොසොල් රජතුමන්ට රෑ නින්දේදී නිරුවතින් පැමිණෙන විරූපී පිරිසක්‌ තමන්ව බියගන්වනු සිහිනෙන් පෙනෙන්නට විය. 

මේ රජතුමාට නින්දක්‌ නොවීය. අවසානයේ ඔහු බුදු රජාණන් වහන්සේ හමුවට ගොස්‌ මේ සිහින පිළිබඳ පවසා තතු විචාලාහ. එහිදී රජු ඇමතූ බුදුහු මෙසේ සිහිනෙන් පෙනෙන්නේ එක්‌ බවයක රජුගේ ඥතීන්ව සිට මේ බවයේදී ප්‍රේතයන් බවට පත්ව සිටින පිරිසක්‌ බවත් සඳහන් කළහ.

එසේම ඔවුන් ප්‍රේතයන් වී දුගතියේ ඉපදී ඇත්තේ පෙර බවයේදී රජතුමන් දනක්‌ පිළියෙළ කරද්දී ඒ සාංඝීක දානය හොර රහසේ අනුභව කිරීමේ විපාකයක්‌ ලෙසින් බවද පෙන්වා දුන් බුදුහු දන් පූජා කොට එම ඥතීන්ට පිං පැමිණවීමෙන් සිහින කරදරයෙන් මිදිය හැකි බවද පෙන්වා දුන්හ. 

බුදු හිමියන් වදාළ පරිදි දානමානාදිය දී ඥතීන්ට පිං පැමීණවීමෙන් කොසොල් රජු එදා එකී කරදරයෙන් ගැලවී සුව නින්දක්‌ ලබන්නට වාසනාවන්ත විය. එහෙත් එදා එසේ කොසොල් රජුට සිදුවූ දේ අදට ගලපා පූර්ව අපර සන්ධි ගෙන බැලුවහොත් කුමක්‌ සිදුවනු ඇතිද?

රටටත්, ජාතියටත් උතුම් සම්බුද්ධ ශාසනයටත් වර්තමානයේ කරනු ලබන අවැඩ හමුවේ පෙර බවයක පව් කළ ඥතීන්ගේ ප්‍රේත ආත්ම නොව, මතු බවයක ප්‍රේතයකු වී ඉපදෙන තමන්ගේම ආත්මය නිරුවතින් පැමිණ තමන්වම බිය කරන අන්දම රෑ සිහිනෙන් දකින්නට යහපාලනයේ ඇතැම් උත්තමයන්ට නම් සිදුවනු නියතය.

එදාට ඔවුන්ට සිදුවන්නේ ජීවත්ව සිටියදීම දානමානාදිය ලබාදී මේ රටත් ජාතියත් සුරකින මහ සඟරුවනෙන් සමාව ඉල්ලා තමන්ගේම ප්‍රේත ආත්මයට පිංපමුණුවා ගන්නටය. අද බුදු දහමට සහ මේ පිංබිමේ බොදු උරුමයට ගරහමින් ඇට නැති දිව හතර අතට හරවා කතා කරන හා ආණ්‌ඩුවෙන් ආණ්‌ඩුවට පිල් මාරු කරමින් ජනතාවට කප්පරක්‌ කෙප්ප ඇදබාන දේශපාලනඥයන් මේ කරුණ තරයේ සිහි තබාගත යුතුය.

මන්ද බුදු දහමට අනුව මුසාවාදයෙන් බඩවඩා ගත්තෙකු කළ පව් හමුවේ ප්‍රේත ආත්මයක්‌ ලදහොත් සුගතියකට පත්වනතුරුම ඒකා ළඟින් අසූචි ගඳ ද හමන්නේය.

සමන් ගමගේ
http://www.divaina.com/2017/07/09/feature42.html

0 comments: