Pages

Monday, July 10, 2017

ශීලයේ පලුදු බුද්ධානුස්‌සතියෙන් පිරියම් කර සොඳුරු ආරම්භයක්‌ ගන්න! මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

පංචඋපාදානස්‌කන්ධය සම්බන්ධයෙන් වූ විග්‍රහය ඉකුත් සතියේ ලිපියෙන් අවසන් වූ අතර මෙතැන් පටන් කොටස්‌ කිහිපයකින් යුක්‌තව පළකෙරෙනුයේ එයට අදාළව භික්‍ෂුව වෙත යොමුවූ පැනයකට ගොනු කළ පිළිතුරකි.

පිංවත් ඔබ මොහොතක්‌ දෑස්‌ දෙක පියාගෙන නුවනින් මෙනෙහි කරන්න. අද දවසේ ඔබ කොපමණ වේලාවක්‌ ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් වඩන්නට ඇතිද කියලා. ඔබ වෙනුවෙන්, ඔබගේ පවුල වෙනුවෙන්, රැකියාව ව්‍යාපාරය වෙනුවෙන්, රට ජාතිය ආගම වෙනුවෙන්, කැමති අකමැති දේ වෙනුවෙන් ලෝභ ද්වේෂ මෝහ ධර්මයන් කොතෙක්‌ වඩන්නට ඇතිද?

දවස පුරාවට ඔබ වැඩූ කුසල්, පිං තරාදියේ එක පැත්තකටත්, අකුසල් සිත් තරාදියේ අනෙක්‌ පැත්තටත් දමා අලෝභ, අද්වේෂ, අමෝහ සිතකින් එම තරාදිය දෙස බලන්න දක්‍ෂ වෙන්න. මොකද අපි තරාදිය දෙස බලන්න පුරුදුවෙලා තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ සිතුවිලි පෝෂණය කරමින්මයි. 

ඉසිගල් පර්වතයේ වැඩසිටි ගෝධික ස්‌වාමීන්වහන්සේ තම අතින්ම ගෙල සිඳගෙන අපවත්වෙනවා. ගෝධික ස්‌වාමීන් වහන්සේ සියදිවි නසාගන්නේ පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිමින්. රූපය කෙරෙහි කලකිරීම අවබෝධයෙන්ම ඇතිකරගෙන ඵස්‌සයේ අනිත්‍යභාවය දකිමින්. සියදිවි නසාගන්නා මොහොතේම උතුම් රහත් ඵලයට පත්වී පිරිනිවී යනවා. ගෝධික ස්‌වාමීන්වහන්සේ අපවත්වූ බව දැනගත් ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් ඔද්දල් වුණු වසවර්ති මාරයා ගෝධික ස්‌වාමීන්වහන්සේගේ දේහය අසල කැරකෙමින් ගෝධික හිමියන්ගේ විඤ්ඤාණය කොහේ නැවත පිහිටියා ද කියලා සොයන්න ගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මාරයාට කියනවා 'මාරය, පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි තෘෂ්ණාව අවබෝධයෙන්ම අතහැරිය ගෝධික හිමි තමා තුළින්ම නිවීගියා'ය කියලා. ලෝභ, ද්වේෂ, මෝහ මාර පාර්ශ්වික ධර්මයන් බලවත් වූ තැන පිරිනිවීගිය රහතන් වහන්සේ නිසාත් අකුසල්ම රැස්‌කර ගන්නවා.

ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් ධර්මයන්ගෙන් සත්ත්වයාට සිදුවන භයංකාර විනාශයෙන් පිංවත් ඔබව මුදවලා දෙන්නේ සම්මා දිට්‌ඨියේ උතුම් අර්ථය විසින්මයි. සම්මා දිට්‌ඨියේ අර්ථය පිංවත් ඔබ තුළින් ශක්‌තිමත්කොට ගැනීමට නම් භාවනාවක්‌ හැටියට මුලින්ම පුහුණු විය යුත්තේ බුද්ධානුස්‌සතිය, ධම්මානුස්‌සතිය, සංඝානුස්‌සතිය කියන භාවනාවන්ය. මේ උතුම් ධර්ම මාර්ගයට ඔබ අවතීර්ණ වෙන්නේ කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින්මය. ධර්ම මාර්ගයේ ශක්‌තිය උදෙසා ඔබට සිටින ශක්‌තිමත්ම කළ්‍යාණ මිත්‍රයා වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. පිරිනිවී ගිය මේ උතුම් ශාස්‌තෘන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඔබ ඇතිකොට ගන්නේ උතුම් සද්ධර්ම ශ්‍රවනය තුළින්මය. මේ උතුම් සද්ධර්ම ශ්‍රවනය කිරීමට ජීවමානව උපකාරක ධර්මයන් සකස්‌ කොට දෙන්නේ උතුම් සංඝරත්නයයි. තෙරුවන් කෙරෙහි ඔබ ඇතිකොට ගන්නා විශ්වාසයයි. ධර්ම මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ඔබව යොමුකර ගන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ග අංගය වන සම්මා දිට්‌ඨියේ මූලිකම ලක්‍ෂණය වෙන්නේ තෙරුවන් කෙරෙහි ඇතිකොට ගන්නා ශ්‍රද්ධාවයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළින් පෝෂණය වෙන සම්මා දිට්‌ඨියේ ශක්‌තිමත්භාවයයි මුළු ආර්ය අෂ්ඨාංගික මාර්ගයම වැඩීම කෙරෙහි උපකාරක ධර්මයන් සකස්‌ කොට දෙන්නේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි පිංවත් ඔබ තුළ සත්තිස්‌ බෝධි පාර්ශ්වික ධර්මයන්ම මෝදුකොට දෙන්නේ. 

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් තොරව කරන භාවනාවන් තුළින් මිච්ඡා සතියක්‌, මිච්ඡා සමාධියක්‌ මිස සම්මා සතියක්‌, සම්මා සමාධියක්‌ සකස්‌වීමක්‌ සිදුවන්නේ නැහැ. ධර්ම මාර්ගයේ ආරම්භය වන සම්මා දිට්‌ඨිය පෝෂණයකොට ගැනීමට නම් පිංවත් ඔබ බුද්ධානුස්‌සතිය, ධම්මානුස්‌සතිය, සංඝානුස්‌සතිය භාවනාවක්‌ හැටියට පුහුණු වීම අත්‍යවශ්‍ය කාරණයක්‌ වෙනවා. මෙතැනදී පිංවත් ඔබ වැඩි බර දිය යුත්තේ බුද්ධානුස්‌සතියටයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඔබ තුළ මෝදුවන ප්‍රමාණයට, ධර්මරත්නය කෙරෙහිත්, සංඝරත්නය කෙරෙහිත් ඔබ තුළ විශ්වාසය මෝදුවෙනවා.

බුද්ධානුස්‌සතිය වැඩීමට බලාපොරොත්තු වන පිංවතා සෑම උදෑසනකමට තෙරුවන් සරණ පිහිටලා, ශිල්පද පහ සමාදන් වී එම පංචශීලය ආරක්‍ෂාකොට ගැනීමට උත්සහ ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්‌ වෙනවා. ශීලයේ යම් දුර්වලතාවයක්‌ තිබුණත් පිංවත් ඔබ බියවිය යුතු නැහැ. බිඳෙන සිල්පද නිවැරදි කර ගැනීමට ඇති උවමනාවයි වැදගත් වෙන්නේ. යම් පිංවතෙක්‌ ශීලයෙන් දුර්වල වෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ දුර්වලතාවයක්‌ නිසාමයි. එමනිසා බුද්ධානුස්‌සතිය ඔබ තුළ වැඩෙන ප්‍රමාණයට ඔබ ශීලය තුළ ශක්‌තිමත් වීමට උත්සාහ ගැනීම අනිවාර්යය සිද්ධියක්‌ වෙනවා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඔබ තුළින් මෝදු වෙනකොට, ඔබ තුළ කර්මය කර්මඵල විශ්වාසය, ශීලයේ ආනිසංශ පිළිබඳ විශ්වාසය, ඕපපාතික සත්ත්වයන්ගේ උපත පිළිබඳ විශ්වාසයත් නිසා පිංවත් ඔබ ශීලය තුළ ශක්‌තිමත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ අයෝමය මහා කරුණා ගුණය ශීලයෙන් දුර්වල පිංවතුනට වුවද මේ උතුම් ධර්ම මාර්ගයට අවතීර්ණ වීම පිණිස හොඳින් ඉඩකඩ සලසා දෙනවා. මනුෂ්‍ය ඝාතන 999ක්‌ සිදුකළ අංගුලිමාලට, නිර්වස්‌ත්‍රව බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණි පටාචාරාවට, බීමතින් පසුවූ සන්තති ඇමැතිවරයාට බුදුරජාණන් වහන්සේ දැක්‌වූ මහා කරුණාව, කාමයන්ගේ තුච්ඡභාවය ගිහි ජීවිතය පුරාවට අත්විඳි උත්පලවන්නාවට වගේම අම්බපාලියට බුදුරජාණන් වහන්සේ දැක්‌වූ මහා කරුණාව, ශීලයෙන් යම් දුර්වලතාවයක්‌ තිබෙන ගිහි පිංවතුන්ලාටත්, බුද්ධානුස්‌සතිය තුළ ශක්‌තිමත් වීමට හොඳ කමටහනක්‌ වෙනවා. 

ශීලයෙන් යම් දුර්වලතාවයක්‌ තිබුණාය කියලා පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේගේ සරණ තුළට යන්න බියවෙන්න එපා. බුදුරජාණන් වහන්සේ හොඳින්ම දන්නවා ඔබේ ශීලයේ යම් දුර්වලතාවයක්‌ තියෙන්නේ ඔබේ වරදක්‌ නිසා නොව ඔබ තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ ඇති දුර්වලතාවයක්‌ නිසාය කියලා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය වර්තමානයේ වුවද ඕනෑම මොහොතක සූදානම්, ශීලයේ යම් දුර්වලතාවයක්‌ තිබුණ ද ඔබට ශ්‍රද්ධාවේ අර්ථය තුළින් වැරැද්ද නිවැරදිකොට දෙන්න. එම නිසා ඔබ බුද්ධානුස්‌සති භාවනාව ඔබේ ජීවිතයේ ආරම්භක භාවනා කමටහන කර ගන්න.  

චිත්තානුපස්‌සනාව 38 - ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ indrajith.media@gmail.com
http://www.divaina.com/2017/07/09/feature24.html

0 comments: