Pages

Monday, July 10, 2017

නොකර අවමානය - දැනගනු මෙයයි 'සංඝ භේදය'...

එදා කීවේ වෙහෙර ගිලපු එකාට අග්ගලාවත් කඡ්ජක්‌ද කියාය. අදට අනුව එය යාවත්කාලීන (අප්ඩේට්‌) කර අවශ්‍ය නම් 'මහ බැංකුව ගිලපු උන්ට පිං කැටයත් කඡ්ජක්‌ද' කියා කිව හැකිය. රට යන්නේ කුමන පාරක ද කියා රටේ උන් තියා රට කරවන උන්වත් නොදනිති. තමන්ව මරන්නට පැමිණි ත්‍රස්‌තවාදියාව හිරෙන් නිදහස්‌ කර, ත්‍රස්‌තවාදියාගෙන් තමන් බේරාගත් එකාව හිරයට දමයි. යුදමය වශයෙන් වැදගත් නැතහොත් අධිආරක්‍ෂිත කලාප යුද්ධය අවශ්‍ය වන උන් වෙනුවෙන්ම නිදහස්‌ කරදී ජාතික ආරක්‍ෂාව 'බල්ලට දමන' රට කරවන ඇත්තෝ මේවාට එරෙහිව අන්තර්ජාලයෙන් තමන්ව විවේචනය කරන එකාවද ආරක්‍ෂාවට තර්ජනයක්‌ සේ සලකා අත්අඩංගුවට ගනිති. විදේශ ඇමැති ලොතරැයි විකුණයි. අධ්‍යාපන ඇමැති පිං කැට මුරකරයි. මිස්‌ටර් ක්‌ලීන්ලා කුණුගොඩක්‌ ඉවත්කර ගැනීමට හෝ සවියක්‌ නැතිව ඒවා හත් පොලේ ගා ගනියි. යුද ජයග්‍රහණයෙන් පසු ක්‍රමිකව සංවර්ධනය දෙසට ඇදී ගිය ශ්‍රී ලංකාව නම් රන්කෙත මත සිය විස වසුරු හෙළා පුරන් කළ රතු මල්ලිලා, රට බැමිණිතියාසායකට ලක්‌කර, ජනතාව බජිරි වපුරා බාස්‌මතී පතන්නේ කෙසේ දැයි කියා තමන් කළ වැරැදි ජනතාවගේ කර මත තියා මාරුවෙන අතරේ, රතු පැහැයෙන් බැබලිය යුතු පක්‍ෂයක සාරධර්ම, ආචාරධර්ම 'රනිල් උම්මා- මහින්ද සුම්මා' න්‍යායක්‌ තුළ ප්‍රසිද්ධියේ විකුණා දමති. අසාධාරණයට එරෙහිව ජීවිත පූජාවෙන් සටන් වැදුණු ඉතිහාසයක්‌ ඇති එවැනි පක්‍ෂ ද (ඔවුන්ට තේරෙන උපහැරණයකින්ම කියන්නේ නම්) හොරා කා දුවන බළලා ඉදිරියේ ප්‍රහාරයක්‌ වෙස්‌ ගත් 'ප්‍රේමනීය උම්බලකඩයක්‌' බවට පත්වෙමින් පතිත වන විට, රට කරවන ඇත්තෝ ඒ හැම අවසරයකින්ම හැටට හැටේ පිස්‌සු කෙළිති. මේ සියල්ල දකිමින් රාජපක්‍ෂලා 'කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ' කියා ජනතාවට කියන්නාක්‌ මෙන් අත් දෙක බැඳගෙන බලාගෙන සිටියදී මේ සිදුවෙමින් යන වින්නැහිය තවත් ඉවසිය නොහැකි වූ මහා සංඝරත්නය සාමුහිකව පෙරට පැමිණ ඇති මොහොතකි මේ.

'මෛත්‍රිය' යන දහමේ රැඳෙන සොඳුරු වචනය යොදා ගනිමින් 'මෛත්‍රී පාලනයක' වරම ඉල්ලා, රටේ මිනිසුන් කුණු කඳුවලට යටවී මැරුණත්, ඩෙංගු තුඩට බිළිවුණත්, ඒ ගැන වගේ වගක්‌ නැතිව ප්‍රතිවාදී දේශපාලන දඩයමක පමණක්‌ එකම අධිෂ්ඨානය කරගත් 'දඩයම් පාලනයක්‌' බවට රට පත්ව ඇති මොහොතක, අනෙක්‌ පසින් රටේ සියලු භෞතික සහ ආධ්‍යාත්මික හරයන් මෙන්ම පෞරුෂය ද ජාත්‍යන්තරයට පාවාදී, උතුම් රටක්‌ පෙරේතයන් ලෙවකන 'පිදේනි තටුවක්‌' බවට පත්කරමින් සිටියදී ගොනා හැරෙන්නේ 'කප්රුකට' බව දැනගත් මහ නායක ස්‌වාමීන්වහන්සේලා ක්‍රියාත්මකවීම වරදක්‌ද?

ඉතිහාසයේ කිසිදාක නොවූ අයුරින් මහා සංඝරත්නය රට කරවන ක්‍රමවේදයට (සමාවෙන්න, ඇත්තටම රට කරවන ක්‍රමවේදයක්‌ තිබේද?) එරෙහිව එක පෙළට සිටගනිද්දී, ඉන් තැතිගත් දේශපාලන නොසන්ඩාලයන් විසින් මේ සාධාරණ ප්‍රතිරෝධය, පිළිගත හැකි විසඳුමකින් නිෂේධ කරනු වෙනුවට මෙය 'සංඝ භේදයක්‌' ය යන අර්ථකථනයක්‌ දී ප්‍රශ්නයෙන් පලා යැමට උත්සහ කරනු පෙනෙන්නට වෙයි.

උතුම් දහම හෝ එහි සඳහන් වචන, කරුණු ආදියෙහි හරය හෝ අර්ථය ගැන කිසිදු හැඟීමක්‌ හෝ දැනීමක්‌ නොමැති හෙවත් හැඟීම් දැනීම් නැති එවැනි පාලක ප්‍රජාවක්‌ 'සංඝ භේදය' යන්නෙහි සැබෑ අර්ථය නොදැන සිටීම එක අතකින් අරුමයක්‌ නොවේ. 

නමුත් බහුතර ජනතාවගේ හිත සුව පිණිසත්, රට කුරුවල් කිරීමෙන්, නොනැවතී ජනතාවගේ ඔළු කුරුවල් කිරීම සඳහා තවදුරටත් අවස්‌ථාව නොදෙනු පිණිසත් 'සංඝ භේදය' යන්නෙහි නියම අර්ථය සමාජය හමුවේ පැහැදිලි කිරීම කාලෝචිතය.

සංඝ භේදය යනු ආනන්තරිය පාප කර්මයකි. ආනන්තරිය පාප කර්මයක ඇති බරපතළ බව නිසාම 'සංඝ භේදය' යන නම ඇසුණු සැණින් එහි නිසි තේරුම නොදත් ගිහි ඇත්තෝ බිය වෙති. එවැන්නකට සහය දීමෙන් වැලකී සිටිති. අදාළ වත්මන් දේශපාලනය විසින් කිරීමට සැරසෙනුයේ ද 'සංඝ භේදය' යන වචනය තමන්ගේ වාසිය පරිදි අර්ථ ගන්වා, තමන්ට එරෙහි සංඝයා වහන්සේගේ නැඟී සිටීමට ගිහි සමාජයෙන් සහය ලැබීම වලක්‌වා එම ශාසන මාමක දෑහිතකාමී රැල්ල හුදෙකලා කර දැමීමය. නමුත් සංඝ භේදය යනු කිසිසේත් ගිහියකුට කළ නොහැකි දෙයකි. දේශපාලනයකට කළ නොහැකි දෙයකි. භික්‍ෂූන් වහන්සේලා දෙනමක්‌ වෙනස්‌ මත දෙකක්‌ දැරූ පමණින් හෝ එවැනි මත දෙකක්‌ සඳහා ඔවුන්ව පෙළඹූ පමණින් සිදුනොවන දෙයකි. චූලවග්ග පාලිය 2- විනය පිටකයේ සංඝභේදක්‌ඛන්ධකයේදී බුදුරජාණන් වහන්සේ විසින් උපාලි තෙරුන් වහන්සේ නැඟූ පැනයකට පිළිතුරු දෙමින් සංඝ භේදය යනු කුමක්‌ දැයි මනාව පහදා දෙනු ලබන්නේය.

ඒ අනුව සංඝ භේදයක්‌ සිදුවීමට නම්, එතැන එක පිරිසක්‌ ලෙසින් විනය කර්ම සිදුකරන පාරිශුද්ධ උපසම්පදාවෙන් යුත් භික්‍ෂූන් වහන්සේලා, අවම වශයෙන් නවදෙනෙක්‌ රැස්‌ව සිටිය යුත්තේය. අනතුරුව මේ පිරිස අතරේ අදාළ කරුණු 18ක්‌ (අධර්මය ධර්මය ලෙසින් දැක්‌වීම, ධර්මය අධර්මය ලෙසින් දැක්‌වීම, අවිනය විනය ලෙසින් දැක්‌වීම, විනය අවිනය ලෙසින් දැක්‌වීම ආදී වශයෙන් දහමේ සැබෑවට ප්‍රතිවිරුද්ධ ආකාරයේ කරුණුය) අතුරින් එකක්‌ හෝ කිහිපයක්‌ මුල්කරගෙන වාදයක්‌ හටගත යුත්තේය. එම වාදයේදී සංඝයා වහන්සේලා හතරනමක්‌ බැගින් දෙපසට වෙන්විය යුත්තේය (විනයට අනුව සංඝයා යනු අවම වශයෙන් හතර නමක්‌ බැවිනි සංඛ්‍යාත්මකව මෙසේ යෙදී ඇත්තේ) එසේ හතර නම බැගින් දෙපාර්ශ්වයට බෙදී සිටියදී නව වැන්නා 'ධර්මය නම් මෙයයි, විනය නම් මෙයයි, ශාස්‌තෘ සාසනය නම් මෙයයි, මෙයට කැමති වන්න, මෙය මේ අයුරින් ගන්න' යෑයි පැවසීම හෙවත් අනුසාවණය තෙවරක්‌ කළ යුතුය. එම අනුසාවණ තුන අවසානයේ ද, දහමේ සැබෑවෙන් ප්‍රතිවිරුද්ධ මතය දරන පිරිස තම ස්‌ථාවරයේ එලෙසින්ම රැඳී සිටීමෙන් පළමුව සංඝාධිශේස නමින් හඳුන්වන තැනට පත්වේ. අනතුරුව එම සීමාවේ වෙන්ව විනය කර්ම කළ යුතුය. අධර්මය දරන පිරිස එසේ විනය කර්මය සිදුකරන්නේ, ධර්මය දරන පිරිස සීමාවේ රැඳී සිටියදීම විය යුතුය. මේ කාරණා අනුපිළිවෙළින් සිදුවුවහොත් පමණකි සංඝ භේදයක්‌ සිදුවන්නේ. එසේ එක්‌ කරුණක්‌ හෝ නොවුණ හොත් (උදාහරණයක්‌ වශයෙන්, දහමේ සැබෑවට එරෙහි මතයක්‌ දරන පිරිස විනය කර්මය සිදුකරන විට සැබෑව දරා සිටින සංඝයාගේ පාර්ශ්වය එහි නොසිටී නම්) එහිදී ද සංඝ භේදයක්‌ සිදු නොවේ.

නමුත් මේ ළාමක සමාජය සිය දේශපාලනික අරමුණු උදෙසා 'සංඝ භේදය' යන්න තමන්ගේ වාසිය පරිදි අර්ථකථනය කරයි. මෙය දහමට කරන අවමානයකි. මේ අවමානය දැන්වත් නැවතිය යුතුය. බුදුරජාණන් වහන්සේ නමක්‌ විසින් කරන ලද ප්‍රකාශයක්‌, පැනවීමක්‌ විකෘති කර දැක්‌වීමේ ආදීනවය මේ උදවිය නොදනිති. කර්මය කර්ම ඵලය නොහඳුනන පිරිසක්‌ රට කරද්දී, දහමට කුමන සරණක්‌ද? එහෙව් පිරිසක්‌ විසින් ගෙනෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හෝ ව්‍යවස්‌ථා සංශෝධනයක 

රැඳිය හැකි ආපත්ති ගැන වැටහීමකින් යුත් මහනාහිමිවරුන් එයට විරුද්ධ වීමෙන් සිදුවන සංඝ භේදය කුමක්‌ද? 

එහෙත් එක්‌ දෙයක්‌ පැවසිය යුතුය. දේශපාලන වාසි පිළිබඳ අපේක්‍ෂාවෙන් සංඝයා භින්න කිරීම නම් එදා මෙදා තුර සිටි බහුතරයක්‌ පාලකයන් අනුගමනය කළ ක්‍රමවේදයක්‌ විය. එය ආනන්තරිය පාපකර්මයක්‌ නොවුණ ද, අපාගාමී අකුසලයක්‌ බව කවුරු කවුරුත් දැනගෙන සිටීම නම් නුවණට හුරුය. එසේම දෙවිවරුන්ද වන්දනා කරන, බුදුන් වෙනුවෙන් පූජා කළ මේ බිමේ ඒ හරයන් විනාශ කර දමන්නෙක්‌ වේද, එයට සෘජුව හෝ වක්‍රව උපකාර කරන්නෙක්‌ වේද, අපායෙන් මෙහා ගැලවුමක්‌ ඔවුනට නැත්තේම විය යුතුය. 

ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2017/07/09/feature41.html

0 comments: