Pages

Sunday, April 30, 2017

සහජීවනය උතුරා යයි... දීඝවාපියට අයත් මාණික්කමඩු විහාරය ඉවත් කරන්න හකීම් – සම්බන්ධන් සාකච්ඡා..

ඓතිහාසික දීඝවාපියට අයත් පරිවාර දාගැබක් වූ අම්පාර, ඉරක්කාමම් හි මාණික්කමඩු විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නතර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවූෆ් හකීම් සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අතර සාකච්චාවක් පවත්වා තිබේ.

අප්‍රේල් 26 වන දා රාත්‍රියේ විපක්ෂ නායක වරයාගේ නිල නිවසේදී මෙම සාකච්චා පැවති බව දෙමළ මාධ්‍ය ibctamil වෙබ් අඩවිය පවසයි.

මෙම කරුණ සම්බන්ධයෙන් ජනාධිතිවරයාගේ අවධානය යොමු කිරීමට දෙපාර්ශවයම තීරණය කර ඇති අතර, එම ස්ථානයේ බෞද්ධ විහාරයක් ඉදිකිරීම යහපාලනයට හා සංහිදියාවට බාධාවක් බව ඔවුන් තීරණය කර ඇත.

මෙම විහාරය ඉදි කිරීම නතර කිරීමේ යෝජනාවක් නැගෙනහිර පළාත් සභාවට ඉදිරිපත් කර දෙපාර්ශවයේ එකගතාවයෙන් සම්මත කරගැනීමටත් මෙහිදී එකග වී ඇත.

ඓතිහාසික ඉරක්කාමම් දාගැබ පිහිට භූමියේ විහාරස්ථානයක් ඉදිකිරීමේ වැඩ කටයුතු පසුගිය අප්‍රේල් 20 වනදා ආරම්භ වූ අතර, එම භූමියට අයිතිවාසිකම් කියමින් මුස්ලිම් ජාතික පිරිසක් විරෝධය පළකිරීම නිසා විහාරයේ වැඩ තාවකාලිකව නතර කෙරිණි.

Colombo Today

ලංකාවෙන් නොමිළේ ශරීයා නීති උපාධියක්... දැවැන්තම ඉස්ලාම් විශ්වවිද්‍යාලය මඩකලපුවේ ඉදිවේ!

ඉස්ලාමීය ආගමික මතවාදය ප්‍රවර්ධනය කිරීම, ශරීයා නීතිය ප්‍රචලිත කිරීම පදනම් කරගනිමින් දකුණු ආසියාවේ දැවැන්තම ඉස්ලාමීය විශ්ව විද්‍යාලයක් මේ වන විට මඩකලපුව පූනානි හි ඉදිකෙරමින් පවතී.

මූල්‍ය අනුග්‍රහය සෞදි අරාබියෙන්.. සම අනුග්‍රහය ශ්‍රී ලංකා රජයෙන්

රුපියල් මිලියන 1500 ක වියදමින් ඉදි කෙරෙන මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය සදහා රජයේ අනුමැතිය ලබා දී තිබෙන අතර, ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස රජයෙන් පවරාගත් ඉඩමක වැඩ ආරම්භ කර ඇත්තේ 2013 වර්ෂයේදීය. ‘මලික් අබ්දුල්ලා යුනිවර්සිටි කොලීජ්“ ලෙස සෞදි අරාබියේ රජුගේ නමින් නම් කර තිබුණු මෙය මේ වන විට “baticaloa campus“ ලෙස නම්කර ඇත. සෞදි අරාබි මූල්‍යාධාර ලබන “Hira Foundation“ නම් ආයතනයක් මෙයට අනුග්‍රහය සපයයි. 2013 වසරේ මෙම විශ්වවිද්‍යාලය සදහා ගිවිසුම් අත්සන් කිරීමට පැමිණියේ සෞදි අරාබි රජයේ ප්‍රධාන ශරීයා නීති උපදේශකයා වන ෂේක් යහාන් අබ්දුල් අසීස් අල් රෂීඩ් නමැත්තෙකි.

වසරකට උලමා පූජකයන් 1500ක්.. ශරියා නීති උපාධිය සැමට නොමිළේ 

වසරකට 1500 බැගින් දස වසරකදී “උලමා පූජකයන්“ හෙවත් ඉස්ලාම් දේවධර්මාචාර්යවරුන් පහළොස්දාහක් බිහි කිරීම ඉස්ලාමීය ආගමික මතවාදය ප්‍රවර්ධනය කිරීම පදනම් කරගනිමින් බිහිවන මෙම නව විශ්ව විද්‍යාලයේ මූලික අරමුණ වන අතර, ව්‍යාපාර කළමණාකරණය, වෛද්‍ය විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ඇතුළු විෂයන් කිහිපයක් යටතේ උපාධි පාථමාලා ක්‍රියාමක කිරීමටද යෝජිතය.

මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් ශරීයා නිතිය පිළිබදව B.A.උපාධියක් (Bachelor of Arts in Sharia and Islamic Studies) හැදෑරීමට අවස්ථාව ලබා දීමයි. එම උපාධිය හදාරන සිසුන්ගෙන් කිසිදු මුදලක් අය නොකිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙන අතර ඒ වෙනුවෙන් ඔවුන් දැනටමත් ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ඉස්ලාමීය සංවිධාන හරහා පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත.

ප්‍රධානියා ඒ ආණ්ඩුවෙත් ඇමති, මේ ආණ්ඩුවෙත් ඇමති

මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානීත්වය දරන්නේ වත්මන් රජයේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම රාජ්‍ය අමාත්‍ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ය. මෙහි වැඩ ආරම්භ කෙරුණේ ඔහු පසුගිය රජයේ යෞවන කටයුතු අමාත්‍යවරයාව සිටිය දීය. අමාත්‍ය ධූරය හරහා මෙම ව්‍යාපෘතිය සදහා නොමදව රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට සහ රාජ්‍ය සම්පත් භාවිතා කිරීමට ඔහු කටයුතු කළේය. අමාත්‍ය ධුරයක් දරමින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක ප්‍රධානීත්වය දැරීමට ඔහුටත තිබෙන සදාචාරාත්මක අයිතිය පිළිබදව ගැටළුවක් මතුවන අතර, පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් මේ දිනවල හඩ නගන පාර්ශව වල අවධානය බැටිකලෝ කැම්පස් සහ හිස්බුල්ලා අමාත්‍යවරයා දෙසට යොමු නොවුණේ ඇයිදැයි යන්න ද මතුවන්නේ ප්‍රශ්නාර්ථයකි.

ශරියා නීති උපාධියක් ලංකාවට ඇයි ?

ඉස්ලාමීය ශරීයා ආගමික නීතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක නීතියක් නොවන අතර එවන් පසුබිමක් යටතේ මෙරටට අනවශ්‍ය හා අදාල නොවන නීතියකට මෙරට තුළදී, මෙරට පුරවැසියන්ට නොමිළේ අධ්‍යන පාඨමාලාවක් හා උපාධියක් ප්‍රධානය කරනුයේ කුමන අරමුණකින්ද?  ඉස්ලාමීය ශරීයා (BA) උපාධිය පිරිනැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර දී තිබේද යන්න බලධාරීන් වහා හෙළි කළ යුතුය.

අන්තවාදයට බිහි දොරක්

කුරාණය පිළිබදව වැඩිදුර අධ්‍යාපනය සදහා ලංකාවට පැමිණි ඉන්දීය තරුණයන් කිහිප දෙනෙකු අවස්ථා කිහිපයක දී ISIS ත්‍රස්තවාදීන් සමග එකතු වී ඇති බව ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශ හෙළිදරව් කර තිබිණි. ජාත්‍යන්තර ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධාන ශ්‍රී ලංකාව සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරමින් සිටින බවද ඉන්දීය බුද්ධි අංශ මෙන්ම ඇමරිකානු බුද්ධි අංශද තහවුරු කර තිබේ. නැගෙනහිර පළාත ඉස්ලාමීය අන්තවාදයේ පාරාදීසයක් වී තිබෙන අන්තවාදී කල්ලි කණ්ඩායම් අතර නිරන්තර ගැටුම් වාර්තා වේ. එවැනි පසුබිමක් තුළ බංග්ලාදේශය, ඉන්දියාව ඇතුළු විදේශීය රටවලින් පවා මුස්ලිම් තරුණයන් නැගෙනහිරට ගෙන්වා කුරාණය හා අන්තගාමී ශරීයා නීතිය පිළිබදව අධ්‍යාපනය ලබා දී ඔවුන් අන්තවාදී කටයුතු වල යෙදවීමේ අවදානමඉහළ යමින් පවති අතර,  මෙතෙක් කල් හොර රහසේ සිදු කළ ඉස්ලාමීය අන්තවාදී ප්‍රචාරණය විශ්ව විද්‍යාල, අධ්‍යනය ආයතනය හරහා නීත්‍යානුකූලවම ක්‍රියාත්මක කිරීමට උත්සහ කරමින් සිටී.

Colombo Today

Saturday, April 29, 2017

කොග්ගලදී මාර්ටින් වික්‍රමසිංහ ද මඩොල්දූවේදී උපාලි හා ජින්නා ද හමුවූයෙමි!

"කොග්ගල වූකලී එක්‌ පැත්තකින් මුහුදින්ද අනෙක්‌ පැත්තෙන් සුන්දර නදියකින්ද සීමාවූ බිම් තීරයකි. පීත්ත පටියක්‌ සේ දිවෙන ගාලු මාතර පාරින් වෙන් කරනු ලැබූ මෙහි වෙරළබඩ වනාහි ගමෙහි සුලභ ගෙයක මිදුලට හෝ ආලින්දයට හෝ සමකළ යුත්තකි. ගාලු මාතර පාර ළඟින්ම දිවෙන රේල් පාර පස්‌ කන්දක්‌ මතුයෙහි හොවන ලද පටන් ගැන්ම හෝ කෙළවර හෝ නොදැක්‌ක හැකි හිණක්‌ වැන්න."

ගමක්‌ වශයෙන් කොග්ගල අවුරුදු හත් අටදහසක්‌ වත් පැරණි යෑයි කියෙන ලකුණු පොළව යට මිස උඩ නම් නොදක්‌නා ලදී. බිම්කඩක්‌ වශයෙන් ඒ ගම අවුරුදු කෝටි ගණනක්‌ පැරණි යෑයි කියන්නේ රේල් පාර අයිනේ පිහිටි පර්වතයකි. 

මා දැන් පය තබා සිටින්නේ ඒ සුන්දර වූ කොග්ගල ග්‍රාමයේය. මෑත කාලීන සිංහල සාහිත්‍යය තුළ ග්‍රාමයක්‌ වශයෙන් කොග්ගලට හිමිවූ ස්‌ථානය වෙනත් ගමකට හිමිවී නැත. 

නූතන සිංහල සාහිත්‍ය වංශකතාවේ මහා ප්‍රාඥයා ලෙස සැලකෙන හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් උපත ලද භූමිය කොග්ගල වීමත් එතුමන්ගේ බොහෝ නව කතා සහ කෙටි කතා සඳහා කොග්ගල ග්‍රාමය පසුබිම් කරගැනීමත් අමතක කළ නොහැක. කොග්ගල ග්‍රාමයට ප්‍රවිශ්ඨ වූ විට ඒ මහා ගැමිකම සුවඳක්‌ ලෙස පැමිණ මා පිළිගත්තේය. 

වික්‍රමසිංහ ශූරීන්ගේ ගම්පෙරළිය, කලියුගය සහ යුගාන්තය යන තුන් ඈඳුතු නව කතා ත්‍රිත්වයද විරාගය හා මඩොල්දූව වැනි අනෙක්‌ නව කතාද සත්ත්ව සංතතිය ආදී විද්‍යාත්මක විචාරයන් ඇතුළු සිය ගණනක්‌ කෘතිවලට අත්දැකීම් හා පසුබිම සපයා ඇත්තේ මා මේ පය ගසා සිටින කොග්ගල ගම බව සිතීමද ආඩම්බරයකි. කුඩාකල ඔහු ඇසුරු කළ ගැමියන් සහ ඔවුන්ගේ ජීවන චරිත මෙම බොහෝ නව කතාවල ජීවමාන චරිත බවට පත්වී ඇත. ගමටත් ගැමි පරිසරයටත් තමා බඳිනු ලැබූ ඇල්ම නැමති පෙකෙණි වැල පිපිරී ගියේ විවාහයෙන් පසු කොළඹ පදිංචි වීමෙන් යෑයි වික්‍රමසිංහ ශූරීන් තම ජීවන පුවත පවසන උපන් දා සිට ග්‍රන්ථයෙහි සඳහන් කරයි. 

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් උපන් පරිසරයට ඇතුල්වන විට දැනෙන්නේ සිසිල් සුවදායක බවකි. දැඩි අව් රශ්මියෙන් පීඩිත ගාලු මාතර පාරේ සිට කොග්ගල ගම අභ්‍යන්තරයට ගමන් කරන විට මේ මහා වෙනස අත්දකින්නට වූයෙමි. 

එහි ඇරඹුම ඇත්තේ කොග්ගල ජනකලා කෞතුකාගාරයයි. වික්‍රමසිංහ ශූරීන් විසූ යුගයේ මෙරට පැවති සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්‌කෘතික අංගයන් අවබෝධ කර ගැනීමට මෙම ජනකලා කෞතුකාගාරය කදිම තෝතැන්නකි. එම යුගයට අයත් විවිධ උපකරණ වර්ගද වික්‍රමසිංහ ශූරීන්ගේ විවිධ නවකතා හා කෙටිකතාවලින් විස්‌තර වන අංගෝපාංගයන් හා ගැමි පරිසරයද මෙහිදී සජීවී ලෙසින් දැකගත හැකිය. අතීතයේදී භාවිතා වන ගිරය, වංගෙඩිය, ලබු කැටයේ පටන් වී බුසුල, කුරණිය, මසුන් අල්ලන දැල් කුල්ල ආදිය මේ අතර ප්‍රධාන වේ. 

මෙරට සාම්ප්‍රදායික කෝළම් වලදී භාවිතා වන මහා සම්මත රජතුමා සහ දේවියගේ යෝධ වෙස්‌ මුහුණද මේ කෞතුකාගාරයට අපූර්ව අලංකාරයක්‌ එක්‌කරයි. 

වික්‍රමසිංහ ශූරීන්ගේ නව කතාවල විස්‌තර වන පරිදි චරිත විසින් අඳින පළඳින ලද ඇඳුම් ආයිත්තම් රේන්ද මෝස්‌තර කොට්‌ට උර ආදිය මට දැකගත හැකිවිය. ගම්පෙරළිය නවකතාවේ විස්‌තර වන අන්දමේ නන්දාගේ අල්මාරියට සමාන හැඩහුරුකම් ඇති එනම් කලුවර ලීයෙන් හා ඇත්දළ කැටයමින් කරන ලද බුරුත ලී බීරළු අල්මාරියකි. 

අතීතයේ මුලුතැන්ගෙයි භාවිතා කළ හැළිවළං, හෙල්ල, කිනිස්‌ස වැනි ආයුධද මෙහිදී දැකගත හැක. එම ස්‌ථානයෙන් ඉදිරියට ගමන් කළ විට පැරණි යුගයේ භාවිතා කළ වාහන දැකගත හැකිය. බක්‌කි කරත්තය, අශ්ව කරත්තය, අස්‌ති කරත්තය, බණ කරත්තය මේ අතර ප්‍රධාන වේ. ගම්පෙරළිය නවකතාවේ සඳහන් වන ගම්පෙරළිය චිත්‍රපටය සඳහා යොදාගත් මුහන්දිරම් කයිසාරුවත්තේ විසින් භාවිතා කළ කරත්තයද මෙහිදී දැකගත හැකිය. 

යෝධ බක්‌කි කරත්ත, අශ්ව කරත්ත සමහරක්‌ මෙම ස්‌ථානයට පරිත්‍යාග කරනු ලැබ ඇත්තේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය විසින් බව එහි සඳහන්ය. ඒවා එතුමියගේ පියාණන් විසින් භාවිතා කළ ඒවාය. කොග්ගල ගම්මානයේ තැනින් තැන මා පිළිගැනීමට මෙන් ආචාර කරමින් ළෙල දෙන මහනෙල් මලින් පිරුණු කුඩා විල් කිහිපයකි. අවට පරිසරය පුරා ඇත්තේ ඉහළ උද්භිද විද්‍යාත්මක වටිනාකමක්‌ ඇති වෘක්‌ෂලතාවන්ය. එම කෞතුකාගාරයේම කොටසක පැරණි යුගයේ භාවිතා වූ ඔරු පාරුද දැකගත හැකිය. 

මෙම කෞතුකාගාරය පසුකොට ඉදිරියට ගමන් කළ මට දිස්‌වූයේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් උපන් නිවසය. දෙවන ලෝක යුද්ධ සමයේදී මෙම ස්‌ථානය අවට බොහෝ නිවාස පැවතියද බ්‍රිතාන්‍ය අධීරාජ්‍යවාදීන් විසින් ඒවා කඩා ඉවත් කරනු ලැබ ඇත. එහෙත් මෙම නිවස පමණක්‌ ඉතුරු කරන ලෙස එවකට ගාලු ප්‍රදේශය භාර ඉංග්‍රීසි ඒජන්තවරිය විසින් පවසා ඇත. ඒ මෙම නිවසේ වූ පෞරාණික අලංකාරත්වය නිසාය. ලෝක යුධ සමයෙන් පසුව රටේ තත්ත්වය යහපත් වූ පසු නැවත මෙම නිවස පසුකාලීනව වික්‍රමසිංහ ශූරීන්ට භාරදී ඇත. නිවසේ බිම අතුරා ඇත්තේ පැරණි යුගය සිහිපත් කරන ගඩොල්ය. නිවසට ඇතුළුවන විට එහි එල්වා ඇති ඡායාරූප අතර වික්‍රමසිංහ ශූරීන්ගේ විවාහ ආරාධනා පත්‍රය විවාහ ඡායාරූපය ආදිය විශේෂ වේ. 

නිවසේ මැද සාලයේ ලියන මේසයකි. වික්‍රමසිංහ ශූරීන් ගමේ පැමිණි විට තම ලේඛන කටයුතුවලට භාවිතා කළ ලියන මේසය මෙය යයි සලකන අතර එය ගම්පෙරළිය නවකතාවේ මුහන්දිරම් කයිසාරුවත්තේගේ ලියන මේසය සිහිපත් කරයි. "පරවි කූඩුවක්‌ වැනි ඉහළ තට්‌ටුවකින්ද ගණන් පොත් හා රූලද පෑන් පැන්සල්ද තැබීම පිණිස තුනට බෙදන ලද කාමර තුනක්‌ ඇති තට්‌ටුවකින්ද යුත් පෙට්‌ටියක්‌ ඒ මේසය උඩ විය." වික්‍රමසිංහ ශූරීන් භාවිතා කළ උපැස්‌ යුවළ, තීන්ත පෑන, අත්කාචයක්‌ද මේසය මත තබා ඇත. 

මැද සාලයෙහි වම්පස වික්‍රමසිංහ ශූරීන්ගේ නිදන කාමරය පවතින අතර එතුමා විසින් අඳිනු ලැබූ කෝට්‌ කීපයක්‌ එහි එල්වා ඇත්තේ ඒ යුග පුරුෂයා සිහිවීම පිණිසය. මැද සාලය පසුකොට ඉදිරියට යන විට දකුණු පස ඇත්තේ මාර්ටින් වික්‍රමසිංහයන් උපන් කාමරයයි. "පිට පිට කම්බා හතක්‌ බිහි කළ මගේ මව මෙවර "සරමක්‌" බිහි කළ බව වින්නඹු මාතාව විසින් පියාට පැවසූ පසුව ඔහු අපමණ සතුටට පත්වූ බව වික්‍රමසිංහ ශූරීන් සඳහන් කරයි. එයට හේතුව පවුලට උපන් පළමු පිරිමි දරුවා තමා වීම නිසාය. 

එතැනින් ඉදිරියට ගමන් කළවිට හමුවන්නේ වික්‍රමසිංහ ශූරීන් විවිධ අවස්‌ථාවලදී ලියන ලද කෙටිකතා සහ නවකතා රාශියක පිටපත්ය. එතුමා විසින් විදේශගතව සිටින අතරතුරදී තම ආදරණීය බිරිඳ වෙත ඉංග්‍රීසියෙන් ලියා එවන ලද ලිපි වල පිටපත් කිහිපයක්‌ද පවතී. එම ලිපිවල වික්‍රමසිංහ ශූරීන් තම බිරිඳව ආමන්ත්‍රණය කර ඇත්තේ "ඵහ dරුaරුsඑ" ලෙසිනි. 

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ සහ ප්‍රේමා වික්‍රමසිංහ මැතිනියගේ සමාධීයද කොග්ගල එතුමා උපන් නිවසට යාබදව පිහිටා ඇත. 

කොග්ගල ග්‍රාමයේ සැරිසැරූ මා ඉන් අනතුරුව ඔහුගේ සුවිශේෂී වූ ළමා නවකතාව ලෙස පදනම් වූ මඩොල්දූව වෙත පියනැඟුවෙමි. මඩොල්දූවට ගමන් කිරීමට කොග්ගල සිට මීටර් 250 ක්‌ පමණ මාතර දෙසට ගමන් කළ යුතුය. කොග්ගල තොටුපළෙන් බෝට්‌ටුවක නැඟුණු මා කොග්ගල ඔය හරහා මඩොල්දූව වෙත ගමන් කළෙමි. කොග්ගල ඔයේ දකුණු පසින් ගිනිවැල්ල ග්‍රාමය පවතින අතර එහි මහා කප්පින්න වලව්ව අපූරුවට දිස්‌වේ. එය අද සංචාරක නිකේතනයක්‌ බවට පත්ව ඇත. මඩොල්දූව ගැන වික්‍රමසිංහයන් විස්‌තර කරන්නේද මෙලෙසිනි. "අපේ හේන එල්ලේ ගඟ මැද පිහිටි දූපතක්‌ වෙයි. එය ගැමියන් හැඳින්වූයේ "මඩොල් දූව" වන නමිනි. කොග්ගල ඔයෙහි තැනින් තැන පිහිටි දූපත් රාශියෙන් මෙය ගැමියන් අතර ප්‍රකට වූයේ, නපුරු මූකළානක්‌ ද සර්ප විමානයක්‌ ද ලෙසිනි. 

මා සමඟ ගිය මඟපෙන්වන්නා සඳහන් කළ පරිදි මඩොල්දූව ආරම්භයේදී අක්‌කර තුන හමාරක්‌ පමණ විශාල වපසරියක්‌ දරන ලද කොග්ගල ඔයේ ජලයට එය ඛාදනයට ලක්‌වී එහි භූමි ප්‍රමාණය මේ වන විට අඩුවී ඇත. මඩොල්දූවේ එක්‌ ස්‌ථානයක්‌ ඔරු පාරු නැවතීමට සුදුසු පරිදි සකස්‌ වී ඇති අතර එදා උපාලි සහ ජින්නා ගොඩ බසින ලද ස්‌ථානය ලෙස එය සටහන් වේ. මඩොල් දූව කඩොලාන කිරල කැලයකින් ආවරණය වී ඇත. 

ඉහළ උද්භිද විද්‍යාත්මක වටිනාකමක්‌ ඇති විවිධ කිරල වර්ග මෙහිදි දැකගත හැක. එම කිරල වර්ග ප්‍රචාරණය සඳහා එකිනෙකට වෙනස්‌ උපායන් භාවිතා කරන්නේ අපූර්ව ජෛව විවිධත්වයක්‌ පෙන්වමිනි. මඩොල්දූව අභ්‍යන්තරයේ පැරණි නාන ළිඳක්‌ද ගලින් තනන ලද යෝධ සෙක්‌කුවක්‌ද දැකිය හැකිය. මෙම ඉඩම වික්‍රමසිංහ ශූරීන්ට පරම්පරාවෙන් උරුම වූවක්‌ බව දැනගත හැකිය. මෙම සුවිශේෂී භූමි භාගය පරිසර සංරක්‌ෂකයන්ගේ අවධානයට ලක්‌විය යුතුය. මෙයට හේතුව ඇතැම් සංචාරක කණ්‌ඩායම් මෙම ස්‌ථානයට පැමිණ මධුවිත තොළ ගෑමටත් ආහාර අනුභවයටත් පුරුදු වී ඇති බැවිනි.

මඩොල් දූවේ තොටුපළෙන් ගොඩබැස ඉහළට නැඟි මට මඩොල්දූව වටා ඇති ඉස්‌සන් කොටුද ඈතින් ඈත පිහිටි තවත් දූපත් රාශියක්‌ද දැකගත හැකිවිය. දූපත වටා සංචාරය කරන ඔරුද දක්‌නට ලැබීණි. සැඳෑ කල උදාවී තිබිණි. ගිනි හට්‌ටියක්‌ හිසින් ගත් අවතාරය මඩොල්දූවේ සංචාරය කිරීමට පෙර මම යළි ගොඩබිමට සේන්දු වුණෙමි.

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් 1890 වසරේ මැයි මස 29 වන දින කොග්ගලදී උපත ලද අතර එතුමාගේ අභාවය සිදුවූයේ 1976 වසරේ ජූලි මස 23 වන දිනය.

කොග්ගල හා මඩොල්දූව සංචාරයේදී මට අවබෝධ වූයේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් කෙතරම් අපූරු ලෙස තමා උපන් පරිසරය හා තම ජීවන අත්දැකීම ස්‌වකීය නිර්මාණ සඳහා යොදාගෙන ඇති බවයි. එතුමන්ගේ විරාගය නවකතාවේ සඳහන් අරවින්ද තම ආත්ම ප්‍රකාශනයේ සඳහන් කරන්නක්‌ මට සිහිපත් විය. "කයින් මිනිසුන් දෙදෙනෙක්‌ සමාන නොවෙති. සිතින් ඔවුහු ඊට වඩා අසමාන වෙති. බාහිර ලෝකය මහත් කොට සලකා ගෙන ජීවත් වන්නන් මෙන් මම වස්‌තුව නොසෙවීමි. රස ආහාර සොය සොයා විඳීමෙන් ආස්‌වාදය ලබන්නකු මෙන් මම ඉන්ද්‍රිය පිනවීමෙන් දැඩි ආශ්වාදයක්‌ ලැබීමට වෙහෙස නෑයන් මිතුරන් හා සමාජය කුමක්‌ සිතුවත් මා ඉක්‌මන් නොවී ඉවසිල්ලෙන් හැමදෙයක්‌ම කළ බව මම දනිමි.".

වෛද්‍ය ජී.ජී. චමල් සංජීව නියෝජ්‍ය දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ - හම්බන්තොට
http://www.divaina.com/2017/04/30/feature28.html

ජයවර්ධන ආණ්‌ඩුවේ මර්ධනය ජනගත කළ, මැයි දිනය තහනම් කර ලෙයින්ම රතුවූ '87 මැයි දිනය...

<--- මව්බිම සුරැකීමේ මැයි දින සැමරුම් සහභාගිවන්නන් අභයාරාම පන්සලෙන් පිටතට පැමිණීමේදී කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අබ්දුල් ගපූර් එය නවතාලූ ආකාරය. 

මැයි 1වැනිදා ලෝක කම්කරු දිනයයි. වැඩකරන ජනතාවගේ දිනයයි. සටන් අවිය මුවහත් කරන දිනයයි. දිනාගත් කම්කරු අයිතීන් ආශ්වාදයෙන් මෙනෙහි කරන දිනයයි. එම දිනයේදී එක්‌සත් බව වඩවඩාත් බැඳීමකින් වෙලෙනු ලබයි. ඉදිරියට පිය එසවීමට තව තවත් ශක්‌තිය ලැබේ. ජවය ඇතිවේ. පන්නරය ලබයි.

මෙවර 2017 දී ලොව පුරා සමරනු ලබන්නේ 131 වැනි මැයි දින සමරුවයි. ලෝක මැයි දින ඉතිහාසයද අභිමානවත්ය. ඇමරිකානු කම්කරුවෝ පැය 8ක සේවා මුරයක්‌ වෙනුවෙන් සටන් කර තෙවන දිනය වූයේ 1886 මැයි 3 වැනිදාය. හේමාකට්‌ චත්‍රරශ්‍රයේ පැවති ජන රැළියේදී පොලිස්‌ නිලධාරින් වෙත අත්බෝම්බයක්‌ දමා ගැසුවේ යයි චෝදනා කොට ඔගස්‌ටස්‌ ස්‌පයිස්‌, ඇල්බට්‌ ආර්. පාර්ජින්ස්‌, සැමුවෙල් ෆීල්ඩන්, ඇඩෝලෆ් ෆීෂර්, ජෝර්ඡ් එන්ගල්ස්‌, ලුයිස්‌ ලන්ග්, මයිකල් ස්‌ට්‌වැච්, ඔස්‌කා නීබේ ඇතුළු අය බන්ධනාගාර ගත කෙරිණි. ජූරි සභාවේ තීරණය අනුව ඔවුනට මරණ දඬුවම නියම කෙරිණි. මොවුනට දඬුවම් දෙන දිනයට පෙරදින ලුයිස්‌ ලන්ග් ගෙල වැළලාගෙන සියදිවි නසා ගත්තේය. පසුව මයිකල් සහ සැමුවෙල්ට ලබාදී තිබූ මරණ දඬුවම ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමක්‌ බවට පත්විය. ඔස්‌කා නිබේට වසර 15ක සිර දඬුවමක්‌ නියම විය. අනෙකුත් සෙසු කම්කරු නායකයින් 5 දෙනා 1887 නොවැම්බර් 11 වැනිදා එල්ලා මරා දමන ලදී. වසර 1893 ජුනි 26 වැනිදා ඉලිනොයිස්‌ ආණ්‌ඩුකාරවරයා කම්කරු නායකයින් 8 දෙනාම චෝදනාවලට නිවැරදිකරුවන් යෑයි ප්‍රකාශ කළ අතර ජීවිතාන්තය තෙක්‌ සිරදඬුවම් කළ දෙදෙනාම නිදහස්‌ විය. පැය 8ක සේවා කාලයක්‌ ඉල්ලා අරගල කරමින් රුධිරය වැගුරූ එම කම්කරු නායකයින් සිහිකිරීමට 1889 වසරේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළ අතර ඒ අනුව මැයි 1 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

පොලිස්‌ වෙඩි තැබීමෙන් මියගිය රණවක සිසුවාගේ සිරුර මොරටු සරසවියේ ඉංජිනේරු සිසු නිමල් බාලසූරිය ඇතුළු තිදෙනෙක්‌ ඔසවාගෙන යමින්. පිස්‌තෝලයක්‌ අතැතිව සිටින්නේ සහකාර පොලිස්‌ අධිකාරි බන්දුල වික්‍රමසිංහය. --->

ලොව මැයි දින සැමරුම් 1890 සිටම සිදු වූවද ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දින සමරුව පවත්වන ලද්දේ 1927 දී බව ලංකා කම්කරු සංගමයේ ඊ. ඒ. ගුණසිංහ පවසයි. එහෙත් දේශපාලන විද්වතුන් පවසන්නේ ශ්‍රී ලංකා පළමු මැයි රැලිය 1933 ගුණසිංහගේ නායකත්වයෙන් කොළඹ ගාලු මුවදොරින් ආරම්භවී වික්‌ටෝරියා (විහාර මහා දේවි) දක්‌වා ගමන් කර එහිදී රැස්‌වීම පැවැත්වූ බවය. 1934දී කොළඹ තරුණ සංගමයේ මාක්‌ස්‌වාදීහුද මැයි දින රැළියක්‌ පැවැත්වූ අතර 1935දී සමාජවාදීන්ගේ මැයි දින රැළියක්‌ කොළඹ ප්‍රයිස්‌ පිටියේදී වෛද්‍ය එස්‌. ඒ. වික්‍රමසිංහගේ මුලසුනින් පවත්වන ලදී. සමසමාජයේ ප්‍රථම මැයි රැළිය 1936දී පැවැත්වූ අතර මැයි දිනය මෙරට රාජ්‍ය නිවාඩු දිනයක්‌ බවට පත්කලේ 1956දී අගමැති බණ්‌ඩාරනායකගේ නායකත්වයෙන් යුත් මහජන එක්‌සත් පෙරමුණ ආණ්‌ඩුව මගිනි. එය කම්කරු අමාත්‍ය ටී.බී. ඉලංගරත්නගේ යෝජනාවකි.

එජාපය බලයට පත්වීමෙන් පසු 1978 සිට මැයි දින සැමරුම සිදුවූයේ ජාතික සංස්‌කෘතික උළෙලක්‌ ලෙසිනි. ජනතා විමුක්‌ති පෙරමුණද 1978 සිට සිය මැයි දිනය 1983 දක්‌වා ආකර්ෂණීය ලෙස පවත්වනු ලැබීය. ජවිපෙ 1983 ජුලි තහනමින් පසු එහි අනුගාමී සංවිධානයක්‌වූ සමස්‌ථ ලංකා වෘත්තීය සමිති සම්මේලනය මගින් 1985 සහ 1986දී ජවිපෙ නිල නොවන මැයි රැළි නව නගර ශාලාවේදී පවත්වන ලදී. වසර 1984දී සමසමාජ, කොමියුනිස්‌ට්‌, මහජන පක්‌ෂය සහ මහජන එක්‌සත් පෙරමුණ එක්‌වී එක්‌සත් මැයි රැළියක්‌ද පවත්වන ලදී.


<--- ලෙස්‌ලි ආනන්දලාල්ගේ දේහය වැල්ලම්පිටිය නිවසේ තැන්පත් කර තිබූ අවස්‌ථාවේදී මුරුත්තෙට්‌ටුවේ හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන 1987 මැයි 3 අවසන් ගෞරව දැක්‌වූ අවස්‌ථාව.

දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය මගින් 1987 අප්‍රේල් 17 වැනිදා කොළඹ බලා එමින් තිබූ බස්‌ රථවලට වෙඩි තබා මගීන් 126 දෙනෙකු ඝාතනය කළ අතර ඉන් 75 දෙනෙකු නිවාඩුවට ගම්බිම්බලා එමින් සිටි හමුදා සෙබළුන් විය. දෙමළ බෙදුම්වාදීහු ඉන් දින 4කට පසු එනම් 1987 අප්‍රේල් 21 වැනිදා පස්‌වරු 4.30ට පමණ කොළඹ ප්‍රධාන බස්‌ නැවතුම්පලේදී කාර් බෝම්බයක්‌ පුපුරුවා හැරීමෙන් සාමාන්‍ය පුරවැසියන් 122ක්‌ ඝාතනයට ලක්‌ කරන ලදී. බෝම්බය පිපිරී විනාඩි 10කට පසු එම ස්‌ථානයට ගිය පිරිස අතර ශ්‍රීලනිපයේ අනුරුද්ධ රත්වත්තේ සහ අලෙවි මවුලානා සමඟ ලේඛකයාද විය. එදිනම රාත්‍රී 8 සිට පසුදා පෙරවරු 5 දක්‌වාද අප්‍රේල් 22වැනිදා පෙරවරු 9 සිට යළිත් පසුදා අළුයම වන තෙක්‌ම ගම්පහ සහ කොළඹ දිස්‌ත්‍රික්‌ක වලට ඇඳිරි නීතිය පනවන ලදී. රජයේ නිවාඩු දිනයක්‌ වශයෙන්ද 1987 අප්‍රේල් 22 වැනිදා ප්‍රකාශයට පත් කරනු ලැබිණි. පල්ලකැලේ හමුදා කඳවුරට ජවිපෙ මගින් 1987 අප්‍රේල් 15 වැනිදා පහරදී අවි පැහැරගනු ලැබුවද මසක්‌ යනතෙක්‌ ඒ පිළිබඳව ආරක්‌ෂක අංශවල සැකයක්‌ ජවිපෙ වෙත එල්ල වූයේ නැත.

වීදිබට දහස්‌ සංඛ්‍යාතික පිරිස්‌ 1987 අප්‍රේල් 22 වැනිදා ආරක්‌ෂාව ඉල්ලමින් මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ නායකත්වයෙන් ජනාධිපති ජයවර්ධනගේ වෝඩ් පෙදෙස නිවස දෙසට ඇඳිරි නීතියද නොතකා පෙළපාලියෙන් පැමිණ උද්ඝෝෂණය කළහ. මෙයට නායකත්වය දුන්නේ මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ගිහි පැවිදි පිරිසකි. රජය මගින් අප්‍රේල් 22 වැනිදා 1987 මැයි දින රැස්‌වීම් සහ පෙළපාලි තහනම් කළ අතර එය 1987 මැයි 22 වැනිදා පවත්වන මෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව සියලු මැයි දින රැළි සහ පෙළපාලි තහනම් කරන ලදී. මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ මැයි දින රැස්‌වීම සංවිධානය කිරීම පිළිබඳ සාකච්ඡා 1987 අප්‍රේල් 22 වැනිදා සිට දිනපතා නාරහේන්පිට අභයාරාමයේදී පැවැත්විණි. සාකච්ඡා වාර 5ක්‌ පැවති අතර අවසාන සාකච්ඡාව 1987 අප්‍රේල් 27 සවස 2ට පැවැත්විණි. ඉහත පිරිසට අමතරව ජවිපෙ මධ්‍යම කාරක සභික ආනන්ද ඉඩමෙගමද දේශවිමුක්‌ති ජනතා පක්‌ෂයේ නිහාල් පෙරේරා ද දෙවරක්‌ එක්‌විය. ලේඛකයා මේ සියලු රැස්‌වීම් ආවරණය කළේය.

ජනතාවට ආරක්‌ෂාව ඉල්ලමින් ඇඳිරි නීතියද නොතකා මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමිගේ නායකත්වයෙන් 2,000ක පමණ පිරිසක්‌ 1987 අප්‍රේල් 22 ජනාධිපති ජයවර්ධනගේ නිවස දෙසට පෙළපාලියෙන් පැමිණ විරෝධය පළකළ අයුරු. --->

ආණ්‌ඩුවේ 1987 මැයි දින තහනම නොසලකා හරිමින් සමසමාජ පක්‌ෂ කාර්යාලය ඉදිරිපිට මහපාරේ මේසයක්‌ දමා රැස්‌වීමක්‌ පැවැත්වූ අතර එයට සමසමාජ, කොමියුනිස්‌ට්‌, මහජන සහ නව සමසමාජ පක්‌ෂද එක්‌විය. පොලිසිය කඳුළු ගෑස්‌ දමා පිරිස විසුරුවා හැරි අතර සමසමාජ නායක ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාට ද සිය වයෝවෘද්ධභාවය හේතුකොට ගෙන කඳුළු ගෑස්‌ ප්‍රහාරයෙන් රෝගාතුරද විය. ශ්‍රීලනිප රැස්‌වීම ඩාර්ලි පාරේ පක්‌ෂ මූලස්‌ථානයේදී පැවැත්විණි. මහනුවර, ගාල්ල, අනුරාධපුරය යන නගරවලද මැයි දින සැමරුම් පැවැත්වුවද ඒවා පොලිසිය මගින් විසුරුවා හරින ලදී.

වඩාත්ම සටන්කාමී සහ උණුසුම් මැයි දින සැමරුම පැවැත්වූයේ නාරාහේන්පිට අභයාරාමයේදීය. කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අබ්දුල් කාදර් ගපූර්ගේ නායකත්වයෙන් 300 කට ආසන්න කැරළි මර්දන පොලිස්‌ කණ්‌ඩායමක්‌ 1987 මැයි 1 වැනිදා හිමිදිරියේ සිට අභයාරාමය ඉදිරිපිට සතර දෙසින් රඳවා තිබෙනු දක්‌නට ලැබිණි. ගපූර් එහිදී ලේඛකයාට කියා සිටියේ කිසිදු මැයි පෙළපාලියක්‌ පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපති ජයවර්ධන තමාට පෞද්ගලිකව උපදෙස්‌ දුන් බවය. පස්‌වරු 2.05ට මැයි දින රැස්‌වීම ආරම්භ වන විට 2,000 කට ආසන්න පිරිසක්‌ එක්‌ව සිටි අතර පිරිස පන්සිල්හි පිහිටුවන ලද්දේ මුලසුන දැරූ හැඩිගල්ලේ පඤ්ඤාතිස්‌ස මහා නායක හිමිය. මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ රැස්‌වීමේ අරමුණ පැහැදිලි කළ අතර සරසවි පද්ධතිය වෙනුවෙන් බලහරුවේ සෝභිත හිමිද, භික්‌ෂු පරපුර වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමිද අදහස්‌ ප්‍රකාශ කළහ. විපක්‌ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සභාව ඇමතීමෙන් පසු දසවිධ කරුණු සහිත මැයි දින යෝජනාවක්‌ සභා සම්මත කරන ලදී.

රැස්‌වීම නිමාවෙන් පසු පිරිස මැයි දින තහනමට විරෝධය පළකරමින් සටන් පාඨ සහිත පුවරු සහ බැනර් අතැතිව මහා මාර්ගයට පිවිසීමට ගමන් කළහ. එවිට ප්‍රතිචාරය වූයේ බැටන් ප්‍රහාරයකි. පසුව කඳුළු ගෑස්‌ය. රබර් උණ්‌ඩය. අවසානයේ වෙඩි තැබීම සිදුවිය. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ගපූර්ගේ උපදෙස්‌ පරිදි වෙඩි තැබීමට නියෝග කළේ කැරළි මර්දන කණ්‌ඩායමේ නායකයාවූ උප පොලිස්‌ පරීක්‌ෂක වෙලේගෙදර ප්‍රේමදාසය. ගපූර්ගේ දෙවැනියා වූයේ සහකාර පොලිස්‌ අධිකාරි බන්දුල පරාක්‍රම වික්‍රමසිංහය. විනාඩි ගණනාවක්‌ම වෙඩි ප්‍රහාරය පැවතිණි. ආනන්ද හිමියන් සහ දිනේෂ් ගුණවර්ධන වෙඩි තැබීම නතර කරන්නැයි ඉල්ලා සිටියද එය නතර නොවීය. වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙකු මියගිය අතර නාරාහේන්පිට සමන්ත රත්නායක, රත්නපුරේ ආර්. ප්‍රේමසිරි සහ නුවර මහින්ද රණතුංග යන අය තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

වෙඩිවැදී මියගිය දෙදෙනා වූයේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්‌ථාවේ සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකැරවුම් අංශයේ යාන්ත්‍රික ක්‍රියාකරු වැල්ලම්පිටියේ බ්‍රැන්ඩියවත්තේ පදිංචි ලෙස්‌ලි ආනන්දලාල් කිරිබත්ගොඩ සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ව්‍යාහාරික විද්‍යා පීඨයේ 84/85 කණ්‌ඩායමේ සිසු පානදුර කුරුප්පුමුල්ලේ පදිංචි කිත්සිරි මෙවන් රණවකය. ලෙස්‌ලි ආනන්දලාල් වෙඩි වැදීමෙන් මියගියේ අභයාරාමය තුළදීමය. කිත්සිරි මෙවන් මියගියේ කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුවය. වෙඩි වැදුනු කිත්සිරි මෙවන් රෝහලට ගෙන යැමට පොලිසිය විනාඩි 30ක පමණ කාලයක්‌ ඉඩ ලබාදුන්නේද නැත. මෙම ඝාතන සිද්ධීන් වලට එරෙහිව රටපුරා සරසවිවල සහ පාසල් බොහෝමයක විරෝධතා ව්‍යාපාර පැනනැගිණි.


<--- 87 මැයි 1 නාරාහේන්පිට අභයාරාමයේ පැවති මැයි රැළියේ මුලසුන හොබවන මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි. රැස්‌වීම අමතමින් සිටින්නේ මාදුළුවාවේ සෝභිත හිමිය. වේදිකාව වම්පස විලේගොඩ අරියදේව හිමිය.

ලෙස්‌ලි ආනන්දලාල් කිරිබත්ගොඩ පදිංචි වැල්ලම්පිටිය බ්‍රැන්ඩි්‍රයාවත්තේ නිවසට ලේඛකයා එදිනම රාත්‍රියේ යනවිට එහි සිටියේ සොහොයුරෙකු වන ගාමිණී, සොහොයුරියකවූ කුමාරි සහ මව කල්‍යාණි පෙරේරාය. ලෙස්‌ලි ආනන්දලාල් රත්තොටදී උපන්නේ 1953 සැප්තැම්බර් මස 15 වැනිදාය. ඔහු මියයන විට 33 හැවිරිදි අවිවාහකයෙකි. ලෙස්‌ලිගේ පියා වෘත්තියෙන් විදුහල්පතිවරයෙකි. තෙල්දෙණියේ හෙණගැහුවෙල මහ විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කළ ලෙස්‌ලිගේ පියා 1965දී දිවියෙන් සමුගෙන තිබිණි. ඔහු ශ්‍රීලනිපයට ලැදිවීම නිසා අනේකවිද දේශපාලන පළිගැනීමේ මාරුවීම් වලට ලක්‌වූ අයෙකි. ලෙස්‌ලිගේ මව කල්‍යාණි පුහුණු උප ගුරුවරියක්‌වූ අතර ඇය වැල්ලම්පිටිය සේදවත්ත මහා විද්‍යාලයේ සේවය කළාය. හත් දෙනෙකුගෙන් යුත් පවුලේ 6 වැනියාවූ ලෙස්‌ලි ආනන්දලාල්ට සොහොයුරන් සහ සොහොයුරියන් 3 බැගින් සිටියේය. 

කටුගස්‌තොට ශාන්ත අන්තෝනි, තෙල්දෙණිය මධ්‍ය මහා සහ සේදවත්ත සිද්ධාර්ථ විදුහලේ අධ්‍යාපනය ලත් ලෙස්‌ලි 1973 ආරම්භ වූ වැල්ලම්පිටිය මිත්‍ර වොලිබෝල් ක්‍රීඩා සමාජයේ කාරක සභිකයෙකි. ලෙස්‌ලි ආනන්ද මරදාන කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක්‌ හැදෑරීමෙන් පසු කැලණි කේබල් සමාගමේද, ලංකා පොහොර සංස්‌ථාවේ යන්ත්‍ර සහාය ක්‍රියාකරුවෙක්‌ වශයෙන් කෙටි කලක්‌ සේවය කළ අතර මියයන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකැරවුම් අංශයේ යාන්ත්‍රික ක්‍රියාකරු විය. එදින මැයි දින රැස්‌වීමට සහභාගිවීම සඳහා නිවසේ සිට කැලණිය පන්සල අසළ බස්‌නැවතුම්පලට ලෙස්‌ලි පාපැදියෙන් ගෙන ආවේ පසුව රත්නපුර දිස්‌ත්‍රික්‌ ක්‍රීඩා නිලධාරියෙකුවූ ඩබ්ලිව්. එස්‌. සුනිල් විඡේසිංහය.

ලෙස්‌ලි ජවිපෙට එක්‌වූයේ 1982දීය. ලෙස්‌ලිගේ අවමඟුල් කටයුතු සිදුවූයේ 1987 මැයි 3 වැනිදා පස්‌වරු 6.30ට කොහිලවත්ත සුසාන භූමියේය. බ්‍රිතාන්‍යයේ සිටින ලෙස්‌ලිගේ සොහොයුරිය තිලකා විවියන්ද අවමඟුලට එක්‌වීමට පැමිණ සිටියාය. එදින මුළු දවසම වාගේ ලෙස්‌ලිගේ නිවසේ ගතකළ ලේඛකයාට දැකගන්නට හැකිවූයේ පොලිස්‌ නියෝග මත කොඩිවැල් හෝ සැරසිලි පවා තහනම් නමුත් දහසකට අධික පිරිසක්‌ රැස්‌වූ අවමඟුලකි. දේහය නිවසේ තැන්පත් කිරීමට පොලිස්‌ අවසරය ලැබුණේ පැය 5කි. මුරුත්තෙට්‌ටුවේ හිමියෝ එකම පැවිදි අනුශාසනාව සිදු කළහ. ලෙස්‌ලිගේ මවද 1997 දිවියෙන් සමුගත්තාය.

සරසවි ශිෂ්‍ය කිත්සිරි මෙවන් රණවකගේ අවමඟුල් කටයුqතු යෙදී තිබුණේ 1987 මැයි 4වැනිදාය. පානදුර කුරුප්පුමුල්ලේ පදිංචි කිත්සිරිමෙවන්ගේ පියා නීතිඥයෙකු මෙන්ම මහජන එක්‌සත් පෙරමුණේ උප සභාපතිවරයෙකි. පස්‌දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලාවූ 1963 දෙසැම්බර් 2 වැනිදා උපන් කිත්සිරිගේ සොහොයුරු සොහොයුරියන් වූයේ කිත්මිණි, සඳරුවන්, නිල්මිණී සහ සුගන්ධය. කිත්සිරි මියයනවිට ඔහු මෙන්ම ඔහුගේ නැගණියවූ කිත්මිණිද ජයවර්ධනපුර සරසවියේ සිසුවියකි. වර්තමානයේ ඇය රජයේ ආයතනයක කළමනාකාරවරියකි. කිත්සිරිගේ කනිටු සොහොයුරා වූ සුගන්ධ වර්තමානයේ පෞද්ගලික අංශයේ විධායකයෙකි. සඳරුවන් ව්‍යාපාරිකයෙකු වන අතර නිල්මිණිද රජයේ ආයතනයක සේවය කරනු ලබයි. කිත්සිරි මෙවන් මියයන විටද සිය පියා මෙන් මහජන එක්‌සත් පෙරමුණේ ක්‍රියාකාරිකයෙකි. කිත්සිරිගේ අවසන් කටයුතු සිදුකෙරුණේ සිසුන්, භික්‌ෂූන් සහ කම්කරුවන් 2,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් සටන්කාමී අයුරෙනි. සියලු පොලිස්‌ බාධක සහ තහංචි බිඳ දමමින් දේහයේ අවසන් කටයුතු පානදුර මිනුවන්පිටිය සුසාන භූමියේ සිදු කිරීමෙන් පසුව රැස්‌වූ දහසකට අධික පිරිස පානදුර නගරය පුරා පෙළපාලි පවත්වා පසුව රැස්‌වීමක්‌ද තබා විසිර ගියහ. කිත්සිරිගේ පියාද 2012 දෙසැම්බර් 12 දිවියෙන් සමුගත්තේය.

එජාප ආණ්‌ඩුවේ 1987 මැයි දින තහනම කඩමින් ජීවිත 2ක්‌ බිලිගත් මැයි දින ද්විත්ව ඝාතන පිළිබඳ පරීක්‌ෂණය පැවැත්වීමට ආණ්‌ඩුවට සිදුවූයේ මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත කළ අඛණ්‌ඩ අරගලයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. ලෙස්‌ලි ආනන්දලාල් සහ කිත්සිරි මෙවන්ගේ මරණ පරීක්‌ෂණ 1987 මැයි මස 3දා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.එස්‌.එල්. සල්ගාදු විසින් පවත්වනු ලැබූ අතර එම ඝාතන වලට බලපෑ වෛද්‍ය හේතු ඇතුළත් පර්යේෂණ වාර්තාව 1987 මැයි 4 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මැයි දින ද්විත්ව ඝාතන පරීක්‌ෂණ 1987 මැයි 14 වැනිදා කොළඹ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ජී.එල්.එම්. ද සිල්වා ඉදිරියේ විභාග විය. මෙහිදී පොලිස්‌පතිවරයා වෙනුවෙන් සහකාර පොලිස්‌ අධිකාරි ලෝරන්ස්‌ අමරසේන පෙනී සිටි අතර මියගිය ලෙස්‌ලි ආනන්දලාල් කිරිබත්ගොඩ වෙනුවෙන් බාල තම්පෝ, සරත් විඡේසිංහ සහ පියසේන දිසානායක යන නීතිඥවරුන් පෙනී සිටියහ. මියගිය සරසවි සිසු කිත්සිරි මෙවන් රණවක වෙනුවෙන් ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය, සරත් විඡේසිංහ, ලසන්ත වික්‍රමතුංග සහ ජනප්‍රිය පේදුරුහේවා යන නීතිඥවරුන් පෙනී සිටියහ. එම මැයි දින සිද්ධිය සියෑසින් දුටු සහ අනතුරුව පැන නැගුණු සියලු සිද්ධි මාලාවන් වාර්තා කළ එකම ජනමාධ්‍යවේදියා වූයේද ලේඛකයාය.

අදාළ පරීක්‌ෂණ කොමිසම දින 30කට ආසන්න කාලයක්‌ රැස්‌වී මැයි දින මරණ පරීක්‌ෂණ සාක්‌ෂි විභාගය පවත්වන ලදී. එම මරණ පරීක්‌ෂණයන්හි සාක්‌කි විභාගයන්ගේ අවසානය වූයේ 1988 මාර්තු 28 වැනිදාය. පරීක්‌ෂණ මාස 9ක්‌ තිස්‌සේ විභාගයට ගත්තේය. සාක්‌ෂි සටහන් පොත පිටු 1,800කි. පරීක්‌ෂණය අවසන් වූයේ 1988 අගෝස්‌තු 2 වැනිදාය. මෙහි තවත් එක්‌ තීරණාත්මක අවස්‌ථාවක්‌ වූයේ සාක්‌ෂි උපුටා දක්‌වමින් නීතිඥ දේශන පැවැත්වීමට විරෝධය දැක්‌වීමය. මැයි දින ඝාතන 2 පිළිබඳව මහාධිකරණ සාක්‌ෂි විභාගය අවසානයේදී මහාධිකරණ විනිසුරු සිල්වා කියා සිටියේ පොලිසිය වෙනුවෙන් සාක්‌ෂි දුන් දහදෙනාගේම සාක්‌කි පිළිගත නොහැකි බවය. එයට හේතුවක්‌ ලෙස මහාධිකරණ විනිසුරු දැක්‌වූයේ පොලිසිය කළබල අවස්‌ථාවේදී කිසිම විටක නාරාහේන්පිට අභයාරාමයට ඇතුළු වූයේ නැතැයි ප්‍රකාශ කළද රජයේ සහකාර රස පරීක්‌ෂකගේ වාර්තා අනුව වෙඩිතබා ඇත්තේ අඩි 10ක පමණ දුරකින් බව තහවුරු වී ඇති බවය. හදිසි නීති රෙගුලාසි අංක 55 වගන්තිය යටතේ මෙම මරණ පරීක්‌ෂණයේ අවසන් නිගමන සහ පරීක්‌ෂණ වාර්තා නීතිපතිවරයාට ඉදිරිපත් කරන ලදී.

ලාංකීය කම්කරු ව්‍යාපාරයේ සම්ප්‍රදායක ගමන්මඟ වෙනස්‌ කළ තීරණාත්මක සිදුවීමක්‌ ලෙස 1987 මැයි දින තහනමට එරෙහිව කළ අරගලය හැඳින්විය හැකිය. ලාංකීය රැඩිකල් භික්‌ෂූහුද, ශිෂ්‍ය ව්‍යාපාරයද, සටන්කාමී කම්කරුවෝද තහනමට එරෙහිව නැගී සිටියහ. මර්දනකාරී එජාප ආණ්‌ඩුවට එරෙහිව ඇරඹූ දෙවන වෙඩිමුරයද එය විය. ඉන් ඇතිවූ උද්ඝෝෂණ ව්‍යාපාරයන්හි ප්‍රබල තරංග මාලාවන් ජන සටනට ගෙන ආවේ නව ජවයකි. කම්කරු පන්තියේ අයිතීන් වෙනුවෙන් සටන්වැද අවසානයේ සිය දිවි පුදකරමින් මිහිකත වැළඳගත් 1940 ජනවාරි 10 ගෝවින්දන්, 1947 ජුනි 5 වී. කන්දසාමි, 1953 අගෝස්‌තු 12 හර්තාලයේදී මාතුපාල, අල්විස්‌, රබෙල්, පියසේන, වික්‍රමසේන, සාදිරිස්‌, නිකලස්‌ සහ පෙරියතම්බි, 1980 ජුනි 5 රජයේ සැපයුම් දෙපාර්තමේන්තුවේ දෙද්දුවගේ සෝමපාල මෙන් 1987 මැයි 1 වැනිදා ඝාතනයට ලක්‌වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකැරවුම් අංශයේ ලෙස්‌ලි ආනන්ද කිරිබත්ගොඩ සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ තෙවන වසර සිසු කිත්සිරි මෙවන් රණවකද ඉතිහාසයට එක්‌වී හමාරය. 

ධර්මන් වික්‍රමරත්න
http://www.divaina.com/2017/04/30/feature33.html

විකුණං විකුණං තව විකුණං - මලේ ටැංකි ටිකටත් කෙළපං

ඔබට පමණක්‌ නොව අප කාටත් දැන් සතුටුය. ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් ආරම්භ කරනු ලැබූ වැඩ වර්ජනය නතර කර තිබේ. ඔවුන් වැඩ වර්ජනය ආරම්භ කරන ලද්දේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දීමට එරෙහිවය. වර්ජනය අත්හිටුවූයේ, අගමැතිවරයා සමඟ කරන ලද සාකච්ඡාවකින් පසු "එය එසේ වන්නේ නැතැයි" දුන් ලිත පොරොන්දුවත් සමඟිනි.

තෙල් පිරවුම්හල් අසල පෝළිමේ සිටි අයට "බොහෝ සතුටු" නමුත් අපේ කල්පනාව නම් ඒ සතුට තාවකාලික බවය. කොටින්ම කීවොත් මේ කතාන්දරය එතැනින් අවසන් නැති බවය.

අපට ඊට ආසන්නතම උදාහරණත් ගෙනහැර දැක්‌විය හැකිය. ඒ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් කී කතාවය. ඔහු කියන ආකාරයට ත්‍රිකුණාමලය තෙල් ටැංකිවල මූලික අයිතිය ශ්‍රී ලංකා රජයට හිමිවන පරිදි එයින් 14 ක්‌ ඉන්දියානු තෙල් සමාගමට ද, 10 ක්‌ ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට ද, ඉතිරි 74 හවුල් ව්‍යාපාරයක්‌ ලෙසද පවත්වාගෙන යැමට දෙරට අතර එකඟතාවක්‌ ඇතිව තිබේ. ඒ අනුව ඉන්දියාවට පවරන්නේ නැතැයි කියන තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමේ පෙර එකඟතාවක්‌ තිබෙන බව ඇමැතිවරයා පිළිගෙන තිබේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමේ කතාව අදක ඊයෙක ඉතිහාසයක්‌ තිබෙන කතාවක්‌ නොවේ. 2003 වර්ෂයේදී එක්‌සත් ජාතික පෙරමුණු රජය සමයේ මෙම තෙල් ටැංකි සමූහයෙන් යම් ප්‍රමාණයක්‌ ඉන්දියානු තෙල් සමාගමට 39 අවුරුද්දකට බද්දට දී තිබේ. ඉදිරියේදී "එට්‌කා" සමග ඉන්දියාවට ලබාදීමට තීරණය කර ඇති බොහෝ දේ සමඟ නැවත මේ තෙල් ටැංකි ද ඉන්දියාවට ලබාදීමට නියමිත බවට සැකයක්‌ නැත. මේ කොලේ වසා ගැසීම තේරුම් ගන්නට පෙරාතුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි පරිශ්‍රය සම්බන්ධයෙන් ඇති ඉතිහාසගත වැදගත්කමත්, එය අපේ රටට වටින්නේ ඇයි දැයි යන්නත් අවබෝධ කරගත යුතුය.

මොනවද මේ ත්‍රිකුණාමල තෙල් ටැංකි

මෙම තෙල් ටැංකි සමූහය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලය චීන වරාය ආශ්‍රිතවය. එම තෙල් ටැංකි සමූහය බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරනු ලැබූවකි. එහි විශාල ප්‍රමාණයෙන් යුත් තෙල් ටැංකි 101 ක්‌ ඉදිකිරීමට බ්‍රිතාන්‍ය පාලකයන් විසින් කටයුතු කරනු ලැබ තිබිණි.

බ්‍රිතාන්‍ය පාලකයන් ත්‍රිකුණාමලය ආශ්‍රිත මෙම ප්‍රදේශය ඒ සඳහා තෝරාගෙන ඇත්තේ සුවිශේෂී කාරණා කිහිපයක්‌ මුල්කරගෙනය. දකුණු ආසියාවේම එවන් ඉදිකිරීමක්‌ සඳහා මෙවැනි බිම්කඩක්‌ තිබී නැත. මෙම තෙල් ටැංකි සියල්ලම ඉදිකර ඇත්තේ පොළොව තුළ ගිලී යන ආකාරයෙන් ස්‌වාභාවිකව පිහිටි ස්‌ථාන මනා නිරීක්‍ෂණයකින් තෝරා ගැනීමෙන් පසුවය. එපමණක්‌ නොව එම ස්‌වාභාවික පිහිටීම නිසාම යම් නොසිතූ විරූ පුපුරා යැමකට හෝ අනතුරකට ලක්‌වුවහොත් මෙම තෙල් ටැංකි කඩාවැටෙන්නේ භූමියෙහි ඇතුළටය. විශේෂයෙන්ම එම ගිලී යන ස්‌වභාවය නිසාම පුපුරා ගිනිගන්නා ටැංකියෙන් අනෙකුත් ටැංකිවලට ගින්න පැතිරීම වැළැක්‌වේ. මෙම සියුම් සහ විශිෂ්ට සැලසුම සකස්‌ කරන ලද බ්‍රිතාන්‍ය සැලසුම්කරුවෝ, මුහුද ආසන්නයේ පිහිටුවා ඇති තෙල් ටැංකිවල ආරක්‍ෂාවට විශාල කොන්ක්‍රීට්‌ ආවරණයක්‌ ද ඉදිකොට ඇත්තාහ. මුහුදු පෙදෙසින් ප්‍රහාරයක්‌ එල්ල වුවද තෙල් ටැංකි ආරක්‍ෂා කිරීම එහි අරමුණයි.

මෙම එක්‌ ටැංකියක්‌ අඩි 45 ක්‌ පමණ උස්‌ වන අතර වට අඩි 365 ක වට ප්‍රමාණයකින් යුක්‌තය. මෙම ටැංකියක ධාරිතාව තෙල් ලීටර් එක්‌කෝටි හතළිස්‌හතර ලක්‍ෂ හතළිස්‌දහසකි. අක්‌කර 600 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක විහිද ඇති මෙම තෙල් ටැංකි 101 ක්‌ වූ ප්‍රමාණයෙන් අද ඉතිරිව තිබෙන්නේ 99 ක්‌ පමණි. ඉතිරි ටැංකි දෙක විනාශ වී ඇත්තේ 1942 අප්‍රේල් 9 වැනි දින උදැසන ජපනුන් විසින් ත්‍රිකුණාමල වරායට බෝම්බ හෙළනු ලැබීම නිසාය. බ්‍රිතාන්‍ය ප්‍රහාර හේතුවෙන් අඩපණ වූ යානයක්‌ කඩාවැටී ඇත්තේ 91 වැනි ටැංකිය මතටය. ඒ ප්‍රදේශයේ පැරැන්නන් කියන ආකාරයට කඩාවැටෙන ගුවන් යානයේ නියමුවා ඉවතට පැන පැරෂුට්‌ ආධාරයෙන් දිවි ගලවා ගැනීම වෙනුවට 91 වැනි ටැංකියට යානය යොමුකරවීමෙන් උත්සාහ දරා ඇත්තේ තෙල් ටැංකි සමූහයම පුපුරුවා හැරීමටය. කෙසේ හෝ ඒ හේතුව නිසා විනාශ වී ඇත්තේ තෙල් ටැංකි දෙකක්‌ පමණි. ත්‍රිකුණාමල වරායටත්, තෙල් ටැංකි සමූහයටත් ප්‍රහාර එල්ල කළ ගුවන් නියමුවන් වන ෂිගනොරි වතනබේ, ටොකියා හොතෝ, ටිසුතොමු තොෂිරා යන තිදෙනා සිහිවීම පිණිස කුරුසියක හැඩය ගත් ස්‌මාරකයක්‌ ද එහි පිහිටුවා තිබිණි. ඒ මත එක්‌ සොල්දාදුවකුගේ හිස්‌කබල ද ගුවන් යානයක කොටස්‌ ද තබා තිබෙනු දක්‌නට ලැබිණි. කෙසේ හෝ මේ වන විට එම ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය බෙහෙවින් උදාසීන මට්‌ටමක පවතින බව කිව යුතුය. මෙම තෙල් ටැංකි සමූහය පිහිටා ඇත්තේ ඉහළ සංකීර්ණය සහ පහළ සංකීර්ණය ලෙස කොටස්‌ දෙකකින් සමන්විතවය. ඒ අනුව ඉහළ සංකීර්ණය ටැංකි 82 කින් ද පහළ සංකීර්ණය ටැංකි 17 කින් ද (විනාශ වූ ටැංකි ද ඇතුළත්ව) යුක්‌තය. ඉහළ සංකීර්ණයෙහි ඇති විශේෂත්වය වන්නේ දුම්රිය තෙල් ටැංකි සඳහා තෙල් පිරවීමේ පහසුකම්වලින්ද යුක්‌ත වීමය.

ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව පිහිටි මෙම භූමිය ජාත්‍යන්තරයේ බොහෝ රටවල බෙහෙවින් ප්‍රකටය. ලොව දෙවැනි විශාලතම වරාය ලෙස සැලකෙන ත්‍රිකුණාමල වරායේ උපායශීලී වැදගත්කම වන්නේ යුදමය වශයෙන් මර්මස්‌ථානයක්‌ වීමය. දකුණු හා අග්නිදිග ආසියාව කේන්ද්‍ර කොටගත් යුරෝපා ජාතීන්ගේ ගවේෂණ ඉතිහාසය පෙන්වා දෙන පරිදි පෘතුගීසීන්, ලන්දේසීන්, ප්‍රංශ ජාතීන් හා ඉංග්‍රීසීන් ත්‍රිකුණාමලය තමා සතුකර ගැනීමට ගැටුම් ඇතිකරගෙන තිබේ. අද වන විට ත්‍රිකුණාමල වරාය ගැන විශාල කෑදරකමක්‌ ඇතිකරගෙන සිටින රටවල් අතර ඉන්දියාව ද ඉදිරියෙන් සිටී. 1987 අත්සන් කරනු ලැබූ ඉන්දු - ලංකා ගිවිසුමෙහිද සටහන් වූයේ ඉන්දීය ආධිපත්‍යයට හානියක්‌ වන අයුරින් ත්‍රිකුණාමල වරාය විදෙස්‌ රටක භාවිතයට ලබා නොදිය යුතු බවය. එසේ බලන කල මෙම තෙල් ටැංකි සමූහය පිහිටි පෙදෙස්‌ වුව ඉන්දියාවට කොතරම් වැදගත් ද යන්න අමුතුවෙන් කිවයුතු නැත.

වර්තමාන කතාව

2003 වර්ෂයේ දී මෙම තෙල් ටැංකි සමූහය පිහිටි සංකීර්ණය එනම්, තෙල් ටැංකි සංකීර්ණය, තෙල් ටැංකි පොම්පාගාරය සහ අනෙකුත් ගොඩනැඟිලි සමූහය ඉන්දියානු තෙල් සමාගමට 39 අවුරුදු බද්දකට පවරා දීමේදී වුව ඒ ගැන එතරම් කතාබහට ලක්‌වූයේ නැත. එහෙත් එම තීරණය හේතුවෙන් ශ්‍රී ලාංකික ඉන්ධන වෙළෙ\මෙන් සැලකිය යුතු කොටසක්‌ ඉන්දියාවට හිමිව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. රටක ස්‌වාධිපත්‍යයට බලපෑම් කළ හැකි ආකාරයෙන් ආහාර, ඉන්ධන, ගමනාගමනය, විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවාවන් කවර රටකට වුව අලෙවි කිරීම රට ගැන හිතන කාගෙත් අවධානයට ලක්‌ විය යුතුය.

2003 වර්ෂයේ සිට ඉන්දියානු තෙල් සමාගමට එය පවරා දෙනු ලැබීමෙන් පසු ඔවුන් එහි නඩත්තු කටයුතු කෙරෙහි කිසිදු සැලකිල්ලක්‌ දක්‌වා නැති බවට එකල ද ආරංචි පැතිරිණ. කොහොමත් ඉන්දියානු තෙල් සමාගමට තමන්ගේ ලාභ අරමුණ කරගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා විනා තෙල් ටැංකි සමූහය රැකගැනීමේ සැබෑ අරමුණක්‌ තිබෙන්නට බැරිය.

වර්තමානයේ කතාව සැඟවී ඇති එකක්‌ වුව ඒ ගැන වඩාත් විමසිලිමත් විය යුතු බව අපි තදින්ම විශ්වාස කරමු. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැහැදිලි කරන මේ කාරණා ගැන අවධානය යොමු කරන්න (2016.07.08 පාර්ලිමේන්තුවේදී) 

මෙම පහළ සංකීර්ණයේ ටැංකි යම් ප්‍රමාණයක්‌ ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව විසින් භාවිත කරන ලද අතර ඒවා 2003 වසරේදී ඉන්දියානු තෙල් සමාගමට කුලියට දීමට එවකට ආණ්‌ඩුව කටයුතු කළා. ඒ ඛනිජ තෙල් සංස්‌ථාව සහ ඉන්දියානු තෙල් සමාගම සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක්‌ මගිනුයි. එහෙත් ඛනිජ තෙල් සංස්‌ථාවට ටැංකි පිහිටා ඇති භූමියේ අයිතියක්‌ නොතිබූ බැවින් එය නීත්‍යනුකූල පැවරීමක්‌ නෙමෙයි. අත්සන් තබන ලද ගිවිසුමේ මාස 06 ක්‌ ඇතුළත නීතිමය ලියවිලි සකස්‌ කරන බව සඳහන් වුවත් මේ දක්‌වා එවැන්නක්‌ සකස්‌ වී නොමැති බැවින් නීත්‍යනුකූලව සියලුම සම්පත් රජය සතුව පවතිනවා.

ඉන්දියානු තෙල් සමාගම විසින් පරිහරණය කරනු ලබන්නේ පහළ සංකීර්ණයේ ටැංකි 17 න් යම් ප්‍රමාණයක්‌ පමණි. රටේ තෙල් ඉල්ලුම ඉහළ යැම සැලකිල්ලට ගත් විට දුම්රිය මගින් බෙදාහැරීමේ පහසුකම් ද සහිත මෙම ප්‍රයෝජනවත් ගබඩා සංකීර්ණය මෙතෙක්‌ පාවිච්චියට නොගැනීම බලවත් අපරාධයකි. අලුතින් තෙල් ගබඩා ඉදිකිරීම විශාල වියදම් දැරිය යුතු කටයුත්තක්‌ බැවින් ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට විශාල අමතර වැය බරකින් තොරව මෙම ටැංකි සංකීර්ණය පාවිච්චියට ගත හැකිව තිබෙනවා. එසේම ගබඩා සංකීර්ණයේ විශාලත්වය හේතුවෙන් රට තුළ සැපයුමට පමණක්‌ නොව ජාත්‍යන්තර තෙල් වෙළෙඳපොළට ප්‍රවේශ වීමටද ඛනිජ තෙල් සංස්‌ථාවට මෙමගින් ඉඩකඩ පාදා ගත හැකියි.

විශේෂයෙන් ඛනිජ තෙල් සංස්‌ථාව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවට කැඳවන ලද අවස්‌ථාවක මෙම තෙල් ටැංකි පාවිච්චි කිරීමේ හැකියාව සොයා බලන ලෙසට නිර්දේශයක්‌ ද කරනු ලැබ තිබුණා. සංස්‌ථාවේ වෘත්තීය සමිති විසින් ද මෙම ගබඩා සංකීර්ණය පාවිච්චියට ගැනීමේ අවශ්‍යතාව බලධාරීන්ට පෙන්වා දී තිබුණා. ඒ අනුව සංස්‌ථාවේ නිලධාරීන් විසින් ටැංකි 17 ක්‌ පරීක්‍ෂා කොට බලා ලබා දුන් තාක්‍ෂණික වාර්තාවේ ඒවා එම තත්ත්වයෙන්ම පාවිච්චි කළ හැකි බවත් විනාශ කරනු ලැබ ඇති නළ පද්ධතිය පමණක්‌ අලුතින් ඉදිකළ යුතුව ඇති බවත් පෙන්වා දී තිබුණා. ඒ සඳහා වන වියදම සංස්‌ථාවට දැරිය හැකි මට්‌ටමේ වන බවද එහි සඳහන්ව තිබුණා.

දැනගන්නට ඇති අන්දමට ටැංකි සංකීර්ණය නවීකරණය කොට සංස්‌ථාවේ පාවිච්චියට ගැනීම වෙනුවෙන් අමාත්‍යවරයා විසින් කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කර ඇති අතර එයට අනුමැතිය ද පළ වී තිබෙනවා. කෙසේ වුවද ඒ අනුව සංස්‌ථාව විසින් නවීකරණ කටයුතු ඇරඹීඹට සූදානම් වෙමින් සිටියදී කිසියම් අදිසි හස්‌තයක්‌ විසින් එම කටයුතු නතර කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම ටැංකි සංකීර්ණයේ ඉතිරි ටැංකි ප්‍රමාණය ද ඉන්දියානු තෙල් සමාගමට ලබා දීමට ආණ්‌ඩුව සූදානම් වන බවට ඛනිජ තෙල් සංස්‌ථා සේවකයන් අතර ද මේ මහා ජාතික සම්පත පිළිබඳ උනන්දු වන ජනතාව අතර ද මහත් නොසන්සුන්තාවක්‌ වර්ධනය වෙමින් තිබෙනවා.

අනුර කුමාර දිසානායක එද්‍ර කී කියන පරිදි දැන් මේ ඉස්‌මතු වී තිබෙන්නේ එම නොසන්සුන්තාවයි. නොසන්සුන්තාවට හේතුව ආණ්‌ඩුව මේ ගැන ස්‌ථිර වශයෙන් යමක්‌ නොකීමට පරිස්‌සම් වීමය. ඒ පරිස්‌සමට හේතුව කුමක්‌ හෝ කොලේ වසා ගැසිල්ලක්‌ බව විශ්වාසයෙන් කිව හැකිය. අගමැතිවරයා තෙල් ටැංකි ඉන්දියාවට පවරන්නේ නැතැයි ලිත පොරොන්දුවක්‌ දුන් පසු, තෙල් ටැංකි 14 ක්‌ ඉන්දියාවට පවරන බවත්, 74 ක්‌ හවුලේ පාවිච්චි කරන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා කියන අප්‍රභබංස කතාව අපට තේරෙන්නේ නැත. ඇත්තම කතාව නම් බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් පසුව කවර හෝ පාලකයකු මේ තෙල් ටැංකි භාවිතයට ගන්නවා තබා ඒවායේ නඩත්තු කටයුතු ගැන හෝ හරි හැටි සැලකිල්ලක්‌ දක්‌වා නැති බවය. නිවරිදිවම කීවොත් නම් මේ වන විටත් ඉන්දීය ඔයිල් සමාගම භාවිතයට ගන්නා ටැංකි 14 හැරුණු විට අනෙක්‌ ටැංකි ගැන හරි හැටි අවධානයක්‌ යොමු වූයේ අත්සන් කිරීමට නියමිත ගිවිසුම හේතුකොටගෙනය. 2003 දී අත්සන් කරන ලද ගිවිසුමෙන් පසු එම භූමියට ඛනිජ තෙල් සංස්‌ථාවේ කිසිදු නිලධාරියකුට, ඉංජිනේරුවරයකුට ඇතුළු වීමේ ඉඩකඩ තිබුණේ නැත. මේ මොහොතේ දී ද එය එලෙසින්ම ක්‍රියාත්මක වේ.

කවර පාලකයකු හෝ වේවා මේ තෙල් ටැංකි පරිශ්‍රයේ ඇති වටිනාකම අවබෝධ කර නොගැනීම ජාතියේ අවාසනාවකි. මෙම තෙල් ටැංකිවලට ඉන්ධන පුරවා අවම වශයෙන් අහල පහල රටවලට බෙදාහැරීමේ හෝ ක්‍රමවේදයක්‌ ගොඩනැඟීමට නොහැකිවීම ගැන ඇත්ත වශයෙන්ම අප ලඡ්ජා විය යුතුය. ඒ සඳහා අවශ්‍ය ආර්ථික සැලසුම්, ජාලගත ව්‍යාපෘති නැත. වත්මන් ආණ්‌ඩුව ජාතික සම්පත් විදේශයන්ට විකුණා දැමීම "ආර්ථික සැලසුම" බවට පත් කරගෙන ඇති බවක්‌ පෙනේ. ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත ප්‍රදේශය ගැන අපේ රටේ උදවියටත් වඩා වෙනත් රටවල උදවිය බොහෝ සේ උනන්දුවක්‌ ඇති බව කිව යුතුය. ඒ ආශ්‍රිත ප්‍රදේශය වෙනුවෙන් පෘතුගීසි, ලන්දේසි, ඉංගී්‍රසි, ප්‍රංශ අධිරාජ්‍යවාදීන් සටන් වැදුනේ ඒ නිසාය. කෙටියෙන්ම කීවොත් චීනයත්, ඉන්දියාවත් අතර මේ ප්‍රදේශය වෙනුවෙන් නොපෙනෙන ගැටුමක්‌ද නිර්මාණය වී හමාරය. මුහුද හත් ගව්වක්‌ තිබියදී අමුඩ ගැසීමෙන් ඵලක්‌ නැත. එහෙත් මෝදිගේ ලංකා සංචාරයට පෙර අමුඩ ලේන්සු සෝදාගෙන තිබීම කාගෙ කාගෙ යහපතට හේතු වේ.

උදේශ සංජීව ගමගේ
http://www.divaina.com/2017/04/30/feature34.html

Pic1 Source
Pic2 Source

ගම්පොළ රාජධානියේ අගනුවර තිබුණේ කොහේද?

පොලොන්නරුව රාජධානිය 1235 බිඳ වැටීමෙන් පසු රජරට පිහිටා තිබූ අගනුවර වෙනස්‌ වී නිරිතදිගට ඇදියැම ආරම්භ විය. එයට හේතු කීපයකි. කාලිංග මාඝ (ක්‍රි.ව. 1215- 1235) රජරට ශිෂ්ටාචාරය වැනසීම උතුරේ ද්‍රවිඩ රාජ්‍යයක්‌ ආරම්භ වීම ඉන් ප්‍රධාන වෙයි. නිරිතදිග තෙත් කලාපයේ වඩාත් ආරක්‌ෂිත ප්‍රදේශවලට අගනුවරවල් වරින්වර වෙනස්‌ විය. කුරුණෑගල අගනුවර බිඳ වැටීමෙන් පසු ලංකාවේ අගනුවර වූයේ ගම්පොළයි. ඒ 1341 දා සිට 1408 දක්‌වා අවුරුදු 67 කාලසීමාවකයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය පළ කළ ලංකා ඉතිහාසය ග්‍රන්ථය අනුව ගම්පොළ මේ කාලය තුළ හතර වැනි බුවනෙකබාහු පටන් පස්‌වන බුවනෙකබාහු දක්‌වා රජවරු හතර දෙනෙක්‌ රජ කළහ. එහෙත් කොඩ්රින්ටන්ගේ ලංකා ඉතිහාසය අනුව ගම්පොළ රාජධානිය 1344 ඇරැඹි 1408 දක්‌වා අවුරුදු 64 පැවැති අතර රජවරු හය දෙනෙක්‌ රජ කළහ. එහි අන්තිමට රජකළ වීරබාහු හා වීර අලකේශ්වර පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉතිහාසය ග්‍රන්ථය රජවරුවන් ලෙස සලකා නැත.

ගම්පොළ රාජධානිය පැවැති කාලයේ උතුරේ යාපනය ආර්යය චක්‍රවර්ති රජවරුන්ගේ බලය වැඩි විය. එමෙන්ම ගම්පොළ හතරවැනි බුවනෙකබාහු (ක්‍රි.ව. 1341-1351) රජකරන කාලයේම දැදිගම රාජධානියේ පස්‌වැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1344-1359) රජ කළේය. තිසර සන්දේශය ලියවුණේ මෙම දැදිගම රජුට සුබපතමිනි. මුලින්ම ගම්පොළ බලය මෙහෙය වූ රජවරුන්ට වඩා සෙනෙවිවරු ප්‍රබල වූහ. මුලින්ම ගම්පොළ බලය මෙහෙයවූ සෙන්පතියා සේනාධිලංකාරයි. ඉන්පසු අලගක්‌කෝනාර පෙළපතයි. පරණවිතාන මහතා ලියූQ "අලකේශ්වර පරම්පරා පුස්‌තකය" අනුව ගම්පොළ යුගයේ වඩාත් ප්‍රබල වූයේ තුන්වැනි අලගක්‌කෝනාරයි. යාපනය රජුගේ ආධිපත්‍යය බිඳ දැමූයේ ඔහුය. අලගක්‌කෝනාර පරපුරේ බලකොටුව වූයේ ගම්පොළට සමකාලීනව පැවැති රයිගම රාජධානියයි. තුන්aවැනි අලගක්‌කෝනාරගෙන් පසු ප්‍රබල වූයේ ඔහුගේ බෑණා වූ නිශ්ශංක අලගක්‌කෝනාර ගම්පොළ රජකළ රජවරු මුලදී සේනාධිලංකාරගෙන් පසුව අලගක්‌කෝනාර පරපුර සමඟ විවාහ ගනුදෙනු මගින් නෑදැකම් පැවැත්වූ අයයි. උදාහරණ ලෙස ගම්පොළ පළමු රජු වූ හතරවැනි බුවනෙකබාහු සේනාධිලංකාරගේ සහෝදරිය පාවාගෙන සිටියේය. මයුර සන්දේශය අනුව ගම්පොළ අවසාන රජුවූ පස්‌වැනි බුවනෙකබාහු තුන්වැනි අලගක්‌කෝනාරට දාව ජයසිරි බිසව ලද පුතෙකි. මයුරයේ ගම්පොළ රජකළ හතරවැනි බුවනෙකබාහු රජු - ඔහුගේ මව වූ ජයසිරි බිසව එක්‌ සාමාජිකයෙකු වූ අසා වර්ණනා කරයි. ජයසිරි බිසවගේ සම සැමියන් වූයේ අලගක්‌කෝනාර - දේවමන්ත්‍රී හා ඈපාය.

ගම්පොළ යුගයේ අගනුවර ලෙස ගුරුළුගෝමීන්ගේ මුණුබුරු කවිශ්වර ලියූ මයුර සන්දේශයේ කවි හතකින් ගඟසිරිපුර වර්ණනා වෙයි. එහෙත් ගඟසිරිපුර යනුවෙන් එදා අදහස්‌ කළේ අද ඇති ගම්පොළ නගරය නොවේ. එමෙන්ම ගම්පොළ කල ලියවුණු පොත්වල අගනුවරක්‌ ලෙස තිබිය යුතු අනිවාර්ය අංගයක්‌ වූ දළදා මැඳුර ගැන කිසිවක්‌ නොකිය වෙයි. එහෙත් සිංහල දළදා වංශය අනුව ගම්පොළ කල දළදා හිමි වැඩසිටියේ ගම්පොළ ආසන්නයේම පිහිටි නියම්ගම්පාය රජමහා විහාරයේ බව සනාථ වෙයි. නියම්ගම්පාය ශිලා ලිපිය අනුව මේ විහාරය මොටතිස රජු කල ආරම්භ විය. ඒ සුරතිස්‌ස රජු (ක්‍රි.පු. 247-237) හෝ කණිෂ්ඨතිස්‌ස රජු (ක්‍රි.ව. 167-186) යන දෙදෙනාගෙන් එක්‌ අයකු විය හැක. ක්‍රි.ව. 888 ගෞතම නම් හිමිනමකගේ පරපුර නියම්ගම්පාය විහාරය දිගටම පාලනය කර ඇත. ගම්පොළ කල නියම්ගම්පාය අලුත්වැඩියා කොට වැඩි දියුණු කළේ 1373 ජයමාලේ සිටුය.

ගම්පොළ යුගයේ එදා අගනුවර වූයේ කුමක්‌ද? යන්න සොයා බලමු. අද ගම්පොළ නගරය පිහිටා ඇති නගරය මොල්ලිගොඩ නම් ගමේ පිහිටා ඇත. පැරණි ගම්පොළ නගරය අඩි 2540 උස අම්බුළුවාව කන්ද පාමුල නියම්ගම්පාය විහාරය අවට පිහිටි ගොඩගම නුවර පිහිටා තිබිණි. පැරණි උඩරටට අයත් "ගොඩරට" පිහිටා තිබුණේ මේ ගොඩගම නුවර මුල්කර ගෙනයි. අම්බුළුවාවකන්දට ඒ නම ලැබුණේ කන්දේ සිට පහළට ගලා ආ තිහකට කිට්‌ටු ජලදහරා නිසාය. "අම්බු" යනු ජලයයි. එමෙන්ම නෙල්ලි ගස්‌ බහුලව තිබීම හෝ අම්බරුවන් ලැඟීම මේ නම ලැබීමට තවත් හේතුවූවා විය හැක. එදා ගොඩගම නුවර උඩවාහල, මැදවාහල, පල්ලේවාහල යනුවෙන් රාජමන්දිර තුනක්‌ තිබී ඇත. අද ඒවා විනාශ වී ගොස්‌ රබර් වගාවට යටවී ඇති බව වරසම්බෝධි හිsමි ගම්පොළ ඉතිහාසය ග්‍රන්ථයේ කියයි. රජමැඳුර ආරක්‌ෂාවට දුනුවායන් රැඳී සිටි ස්‌ථානය අදත් දුනුවාහල නම් වෙයි. මෙම රජමැඳුරුවලට අයත් ගජසිංහ රූප දෙකක්‌ ඉතිරිව තිබිණි. සිංහපිටිය නමැති ප්‍රදේශයට ඒ නම ලැබුණේ මෙම ගජසිංහ රූප දෙක නිසාය. ඉන් එක්‌ ගජසිංහ රූපයක්‌ කාලයක්‌ ගම්පොළ වල්ලහගොඩ දේවාල බිමේ තිබුණු බව "කඳුරට ප්‍රවේණිය" ග්‍රන්ථය කියයි. පසුකල මෙම ගජසිංහ රූප දෙකම මහනුවර ජාතික කෞතුකාගාරයට රැගෙන ආ බව කහටපිටියේ ධීරානන්ද හිමි ලියූ "ගම්පොළ යුගය" ග්‍රන්ථය කියයි.

ගොඩගම නුවර එදා අනුරාධපුර ජයසිරිමා බෝධියෙන් ගෙනා ශාඛාවක්‌ රෝපණය කොට ඇත. අද රත්මල්කඩුව බෝධිය යනු එම බෝධියයි. ගම්පොළ කල ගඩලාදෙණිය විහාරය කරවූ සීලවංශ හිමි ගඩලාදෙණිය කරවීමට පෙර වාසය කළේ මෙම ගොඩගමනුවර "මාලතිමාලසේල" නම් ආරාමයේය. එමෙන්ම ගොඩගම නුවර පසුකල වනවිට රාජාධි රාජසිංහ රජු ඇල්දෙනිය රාජකරුණා ශිල්පාදිකාරි ලවා පොල්වත්ත විහාරය කරවා ඇත. මෙම පැරණි පොල්වත්ත විහාර බිමේ 1928 ආරම්භ කළ බුවනෙකබාහු පිරිවෙන අදත් ගම්පොළ ඇති ප්‍රකට පිරිවෙනකි. මේ අනුව එදා ගම්පොළ අගනුවර ලෙස පැවැතියේ අද ගම්පොළ සිට සැතපුම් දෙකක්‌ පමණ ඈතින් පිහිටි සිංහගපිටිය ගොඩගමනුවර බව පෙනී යයි.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්‌. කේ. ජයවර්ධන
http://www.divaina.com/2017/04/30/feature11.html

Pic Source

පැරණි දැව ශිල්පයේ උරුමය කියාපානා බෝගොඩ උරුමය!

නෙත් සිත් එක පැහැර බැඳ ගන්නා භූ විෂමතා ලක්‌ෂණවලින් සැදුණේ වූ පරිසරයක ගමන් කරමින් හිඳිමු. හාලිඇල මංසන්ධියෙන් හැරී ඉදිරියට කිලෝමීටර් දහයක පමණ දුරක්‌ ගිය පසු අපේ අරමුණට ළඟා වීමු. එය බදුලු දිස්‌ත්‍රික්‌කයේ ආරක්‌ෂා වී ඇති අතීත උරුමයන්ගෙන් එක්‌ සුවිශේෂ වූ ස්‌ථානයකි. මේ බෝගොඩ රජමහා විහාරයයි. 

ක්‍රිස්‌තු පූර්ව පළමු වන සියවස දක්‌වා දුරාතීතයකට හිමිකම් තිබෙන බව සැලකෙන බෝගොඩ රජමහා විහාරය ලංකාවේ ඇති බොහෝ රජමහා විහාරවල පිහිටුමට වඩා තරමක්‌ වෙනස්‌ පිහිටුමක තිබෙන විහාරස්‌ථානයකි. වර්තමානය වන විට විහාරස්‌ථානයට ළඟා වීමට ඇති මාර්ගය තරමක්‌ සකසා තිබුණත් අතීතයේදී බෝගොඩ රජමහා විහාරය යනු බොහෝ දෙනකුගේ නෙත්වලින් සැඟව පැවති හුදකලා පූජා භූමියක්‌ බවට අදටත් වටහාගත හැකි වේ. අදත් මෙම භූමිය අසලට ළඟා වන තෙක්‌ම බෑවුම් සහිත භූමියක තුරු ලතාවන්ගෙන් වසා හිඳින මෙම විහාරස්‌ථානයේ කිසිදු ගොඩනැඟිල්ලක්‌ දුරක සිට දැකිය නොහැකි වේ. ඇත්තෙන්ම බෝගොඩ රජමහා විහාරය මෙවැනි අපූර්ව පරිසරයක නිර්මාණය වීමට හේතු වී ඇත්තේද අතීතයේදී ගමක බෞද්ධ විහාරස්‌ථානයක්‌ ඉදිකිරීමේදී සියලු දෙනාගේ ඇස ගැටෙන සේ ගමේ උස්‌ ස්‌ථානයක එය ස්‌ථාපිත කිරීමේ සංකල්පයට හාත්පසින් වෙනත් වුවමනාවක්‌ මත මෙම විහාරස්‌ථානය ඉදිවීම බව සිතිය හැකි වේ.

විහාරස්‌ථානයක්‌ ලෙස වැඩි දියුණු වීමට පෙර අතීතයේදී මෙම භූමිය වැදගත්ව ඇත්තේ එහි ඇති ඉපැරණි ලෙනත් එයට යාබදව පවතින ගුප්ත උමං මාර්ගයත් හේතුවෙනි. මෙම ලෙනේ ඉතිහාසය ක්‍රි. පූ. පළමු වන සියවස දක්‌වා ඈත අතීතයකට දිවෙන බව අවිවාදිතව පිළිගැනේ. එහෙත් එය මුලින්ම පරිහරණය කළේ කවුරුද යන්න පිළිබඳ මත කිහිපයක්‌ම පවතී. ඒ අතරින් ප්‍රබලම මතය වන්නේ තිස්‌ස නමැති ප්‍රාදේශීය පාලකයෙක්‌ බ්‍රහ්මදත්ත නම් හිමිනමකට මෙය සඟ සතු කොට පූජා කළ බවකි. අදටත් එම ලෙනේ ශේෂව පවතින බාහ්මි අක්‌ෂර සෙල්ලිපිය එම මතය වඩාත් තහවුරු කරන බව බෝගොඩ විහාරය පිළිබඳ ඇති පතපොතේ සඳහන් වේ. ඒ පිළිබඳව ඇති තවත් මතයක්‌ වන්නේ තිස්‌ස නමැති ප්‍රාදේශීය නායකයාගේ පුත් බ්‍රහ්මදත්ත විසින් භද්දිය ස්‌ථිවිරයන්ට මෙම ලෙන පූජා කළ බවකි.

මෙම අතීතයෙන් පසු බෝගොඩ විහාරස්‌ථානයේ ලෙන වඩාත් වැදගත් වන්නේ සොළි ආක්‍රමණවලින් බේරීමට කලක්‌ වනගතව සිටි වළගම්බා රජතුමා මෙම ස්‌ථානයේ සැඟව සිටීම හේතුවෙනි. එම කාලයේදී මෙම ස්‌ථානය ලෝකයාගෙන් වහන්ව සිටීමට කෙනෙකුට පැවති සුදුසුම අතිශය රහස්‌ භූමියක්‌ බව එය පිහිටුමෙන්ම පෙනේ. එම රහස්‍ය භාවය තව තවත් වැඩි කර ඇත්තේ ගුහාවට යාබදව ඇති රහස්‌ උමං මාර්ගයයි. බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ ඇති ගුප්ත උමං මාර්ගවල දොරටුවක්‌ වන බෝගොඩ විහාරස්‌ථාන උමං පිවිසුම් දොරටුවෙන් ඇතුළු වූ කෙනෙකුට එතැන් සිට කිලෝමීටර් 14 ක දුරකින් ඇති දෝව රජමහා විහාරයටත් එපමණ දුරකින් පවතින නාරංගල කන්ද දක්‌වාත් අතීතයේදී ගමන් කළ හැකිව තිබූ බව පැවසේ. දෝව රජමහා විහාරය වළගම්බා රජතුමා සැඟව සිටි ස්‌ථානයක්‌ ලෙස පිළිගැනීමත් එම විහාරස්‌ථාන භූමියේ ඇති උමං මාර්ගය බෝගොඩ රජමහා විහාරස්‌ථානය පිහිටි බටහිර දෙසට විහිද පැවතීමත් ඉහත කී උමං මාර්ගයේ ගමන් මඟ සනාථ කරන්නක්‌ බව තහවුරු වේ.

මේ සියලු පෞරාණික වටිනාකම්වලින් පරිබාහිර වුවද බෝගොඩ රජමහා විහාර භූමිය පුරාවිද්‍යා වටිනාකම් රාශියකට උරුමකම් කියන බව දන්නෝ දනිති. එම උරුමයන් අතරින් සුවිශේෂ නිර්මාණයක්‌ ලෙස සැලකෙන දැවයෙන් නිම වූ බෝගොඩ පාලම වර්තමානයට උරුමව ඇත්තේ සම්පූර්ණයෙන් දැවයෙන් නිර්මාණය කළ ලෝකයේ ඇති සුවිශේෂි නිර්මාණයක්‌ ලෙසිනි. විහාරස්‌ථානය අසලින් ගමන් කරන ගල්ලන්ද ඔය හරස්‌ කරමින් අතීතයේදී බදුල්ලත් මහනුවරත් අතර පැවති පැරණි මාර්ගය එක්‌කර මෙම පියෑස්‌සක්‌ සහිත දැව පාලම ඉදිකර තිබේ. 16 වන සියවසට අයත් දඹදෙණි යුගයේදී ඉදිකළ බවට සැලකෙන මේ අගනා උරුමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මුරකරුවෙකුගේ හෝ ආරක්‌ෂාවක්‌ නොමැතිව අද ද හුදකලාව ආරක්‌ෂා වී පවතින්නේ බෝගොඩ රජමහා විහාරයේ වැඩවාසය කරන යන් නිස්‌සරණාධ්‍යාශයෙන් කරන කැප කිරීම හේතුවෙනි. ඉතා අල්පේච්ඡ ජීවිතයක්‌ ගත කරන දැනට රෝගාතුරව හිඳින උන්වහන්සේ මේ පෞරාණික භූමියේ හෙට දවස පිළිබඳ කියන කතාව මෙහි අනාගත උරුමය පිළිබඳ අවිනිශ්චිත හැඟීම් මතු කරන්නකි.

"පුරාවිද්‍යා ස්‌ථාන රකින්න කියලා සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවට පසුගිය දවසක ජනාධිපතිතුමා කියලා තිබුණා. ඒත් කවුරුත් තාම මෙතෙන්ට ආවේ නෑ. ඇහුවහම එයාලට ඒ කාලෙ තිබුණ නැති ප්‍රශ්න දැන් තියනවා. මම කාලයක්‌ ඉඳන් කියන්න ඕන හැම තැනකටම කියනවා පාලමේ ආරක්‌ෂාවට ආවරණයක්‌ ඉදිකරන්න කියලා. ඒත් ඒක නොකරන එකෙන් මේක අව්වට වේළෙනවා. වැස්‌සට තෙමෙනවා, තව කොච්චර කාලෙකට ඕක ඔරොත්තු දෙයිද? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියලා මෙහෙ කිසි නිලධාරියෙක්‌ නෑ. පාලමේ මොකක්‌ හරි ප්‍රතිසංස්‌කරණයක්‌ ආවම ඕකට මැදිහත් වෙන්නෙත් අපි. දෙපාර්තමේන්තුව කරන්නෙ පුහුණු සේවකයන් කිහිප දෙනෙක්‌ දෙන එක. අපි ලී ගෙනල්ලා දෙන්නත් ඕන. නුපුහුණු සේවකයන් දෙන්නත් ඕනෑ. එයාලාට කන්න බොන්න ඉඳුම් හිටුම් දෙන්නත් ඕන. හරි ඒකත් කරා කියමුකො. ඒත් මේ වගේ ලෝක උරුමයක්‌ ලෝකයට පෙන්වන්න කෝ වැඩපිළිවෙළක්‌. බදුල්ලේ ඉඳන් මෙහෙට එන්න තියන පාර හදලා දෙන්න කියලා ගිය ආණ්‌ඩුවෙන් ඉල්ලුවාම පාර හදන්න පාර කැඩුවා. අන්තිමේදී තිබිච්ච පාරත් නෑ. රාජ්‍ය උත්සව තියන කොට නම් හැමෝම එනවා මෙතන ෆොටෝ ගහනවා හැබැයි එච්චරම තමයි. එහෙම වෙනත් රටවල මේ වාගේ පෞරාණික උරුමයක්‌ තියනවා නම් ඒක ලෝකයට ගෙනියන්නෙ. සත පහක දෙයක්‌ අපේ පෞද්ගලික සුඛ විහරණයට ඕවා පෙන්නලා අපි අරන් නෑ. ඒ නිසා මට බයක්‌ නැතිව කියන්න පුළුවන්. බෝගොඩ පුරාවිද්‍යා වටිනාකම් තියෙන්නෙ හුදකලා වෙලා. කිසි කෙනෙක්‌ට ඒක ගානක්‌ නෑ.

බෝගොඩ රජමහා විහාරයේ විහාරාධිපති ඇටම්පිටියේ රාහුල හිමියන් ඒ චෝදනා සහගතව පැවසූ අදහසයි. උන්වහන්සේ පවසන දේ අතිශයෝක්‌තියක්‌ද නොවේ. මේ අගනා නිර්මාණය අද දවසේ පවතින්නේ කිසිදු ආරක්‌ෂාවක්‌ නොමැති පරිද්දෙනි. ඒ නිසාම දෝව කවුරුන් හෝ නරුමයන් ටිකක්‌ මේ නිර්මාණය නැරඹීමට පැමිණ ඔවුන්ගේ වෘෂභ නාමයන් මේ උත්තුංග නිර්මාණයේ දැව කඳන් මත කොටා ගොස්‌ තිබේ. සංචාරකයන් විලසින් පැමිණි තවත් නරුමයන් පිරිසක්‌ එක්‌ වතාවකදී විහාරස්‌ථානය සතු ඉපැරණි ඝණ්‌ටාරය සොරා ගියද කුමන හෝ හාස්‌කමකට මෙන් ඝණ්‌ටාර සොරුන්ම එය නැවතත් විහාරස්‌ථාන හිමියන්ගේ පා අභිමුව ගෙනවුත් සමාව අයෑද තිබේ. දැව පාලමට මුහුණලා පිහිටි විහාරයේ ඇති ඉපැරණි විෂ්ණු දේව ප්‍රතිමාවට කන්නලව් කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස දේව හාස්‌කමකින් සොරුන්ම නැවත ඝණ්‌ටාරය ගෙනත් දුන් බව එම දේවාලයට උදේ හවා පුද පූජා කරන දේවාලයේ මුරකරු විශ්වාස කරයි. වලගම්බා රජු විසින් තමන්ගේ හින්දු භක්‌තික භාර්යාවට පුද පූජා කිරීමට නිර්මාණය කළ මෙම විෂ්ණු දේව ප්‍රතිමාව පිහිටි ගලේ නෙළන ලද්දකි. විහාර ගෙයි ඇතුළත පිහිටි එය අද දවසේ දැකිය හැක්‌කේ ජනේල කළුවකිනි. ඒ මුල් කාලයේදී නිරාවරණයට පැවති විෂ්ණු දේව ප්‍රතිමාවේ සිරස කවුළුවකින් පෙනෙන සේ පමණක්‌ බිත්තියකින් ආවරණය කර ඇති බැවිනි. අද විහාරගෙහි සැතපෙන බුදු පිළිම වහන්සේට පිටුපසින් මේ විෂ්ණු දේව ප්‍රතිමාව දැකගත හැකි වේ.

මෙම ස්‌ථානය බෞද්ධ විහාරයක්‌ ලෙස වැඩි දියුණුව ඇත්තේ සොළින් පළවා හැර වලගම්බා රජු නැවත බලයට පැමිණ ඔහුගේ අනුග්‍රහයෙනි. නමුත් වර්තමානයේ දැකිය හැකි බෝගොඩ විහාරයේ ආවාස ගෙය සහ පිළිම වහන්සේලා මහනුවර යුගයට අයත් බව සැලකේ. විශේෂයෙන් මෙම විහාරයේ පිවිසුමේ ඇති මකර තොරණ ලෝකයේ ඇති දුර්ලභ ගණයේ නිර්මාණයකි. ඊට හේතුව මකර තොරණේ ඇති සිංහ කටවල් සාමාන්‍ය මකර තොරණක මෙන් මුහුණට මුහුණ නොව මෙම නිර්මාණයේ සිංහ කටවල් ඉදිරියට තිබෙන සේ නිර්මාණය කර තිබීමයි. එවැනි දුර්ලභ පුරාවිද්‍යා වටිනාකමින් යුතු බෝගොඩ රජමහා විහාරය අද මෙරට මෙන්ම විදේශ සංචාරක ආකර්ෂණය අතින් පහළ තැනකට වැටී ඇත්තේ මෙහි අගය ලොවට හඬගා පෙන්වීමේ වගකීම ඇති බලධාරීන්ගේ නිද්‍රශීලී පිළිවෙත හේතුවෙනි. අඩුම තරමින් වත්මන් පරපුරට හෝ මේ අතීත උරුමය පිළිබඳ හැඟීමක්‌ ඇති කිරීම තවදුරටත් පමා කළ යුතු නොවේ. නොමැති නම් මේ උරුමයේ හෙට දවස හුදකලාවම අඳුරට වැසෙනු ඇත.

(මේ ගමනට නිති උපකාර කළ වී. එම්. හේමරත්න මහතාට තුති)

තිස්‌ස ගුණතිලක
http://www.divaina.com/2017/04/30/feature21.html

විවෘත ආර්ථිකය සමාජය ගිලගන්නා සැටි වසර 33කට පෙර දුටු 'පළිඟු මැණිකේ'

ටෙලි නාට්‍යයක්‌ ලෙස එදා ජනප්‍රිය වූ පළිඟු මැණිකේ කෘතියක්‌ ලෙස මැයි මස 3 වැනිදා සවස 3.30 ට කොළඹ ආනන්ද කුමාරස්‌වාමි මාවතේ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී දොරට වඩී. 'සෝමවීර, ධම්ම සහ පළිඟු මැණිකේ' මැයෙන් පැවැත්වෙන එම උත්සවය සංවිධානය කරනු ලබන්නේ පළිඟු මැණිකේ තිර රචනය ග්‍රන්ථයක්‌ ලෙස පළ කරන සරසවි ප්‍රකාශන සමාගමේ අනුග්‍රහයෙන් ටෙලි නාට්‍යවේදීන්ගේ සංසදය විසිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරන්ධර අතිපූජනීය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සව සභාව මෙහෙයවන්නේ වසර 33 කට පෙර පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ සූරසේන චරිතය රඟපා ඉමහත් ජනප්‍රසාදයට පත් ප්‍රවීණ රංගධර ශ්‍රියන්ත මෙන්ඩිස්‌ය. පළිඟු මැණිකේ හි විඡේපාල චරිතය රඟපා පැසසුම් ලද සම්මානනීය කලාකරු ජැක්‌සන් ඇන්තනි ප්‍රධාන දේශනය පැවැත්වීම ද මෙහි විශේෂත්වයකි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්‌ථාවේ සභාපති නීතිඥ රවි ජයවර්ධන මහතා ද, පළිඟු මැණිකේ තිර රචක ප්‍රවීණ ලේඛක, ජ්‍යෙෂ්ඨ පුවත්පත්කලාවේදී සෝමවීර සේනානායක මහතා ද එහි දී විශේෂ දෙසුම් පැවැත්වීමට නියමිතය.

විවෘත ආර්ථික ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක වීම ආරම්භ වූ සමයේ විකාශනය වුණු පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයෙන් ගමටත් පොදුවේ මුළු රටේම සාරධර්මවලටත් විවෘත ආර්ථිකය නිසා සිදුවිය හැකි විනාශය පිළිබඳ ඔබ පුරෝකථනයක්‌ කළා. විවෘත ආර්ථිකය අපේ රටේ සාරධර්ම විනාශ කරන බව ඔබ කල්තියාම දැක්‌කේ කොහොමද?

අපේ රටේ විවෘත ආර්ථික ක්‍රමය පටන් ගන්න කොට පසුකාලීනව එයින් ඇතිවිය හැකි ප්‍රතිඵල ගැන කාටවත් ඒ වෙනකොට අවබෝධයක්‌ තිබුණෙ නෑ. නමුත් ඒ කාලෙ අපේ රටේ මුද්‍රිත මාධ්‍ය ඉතාම ප්‍රබලයි. මමත් පුවත්පත් කලාවේදියෙක්‌ ලෙස ඒ කාලයේ සේවය කරමින් සිටි නිසා රටේ සිදුවන බොහෝ දේ පිළිබඳ තොරතුරු ලැබුණා. මේ වන විට මම නවකතාවක්‌ ලියන්නත් අත්දැකීම් ගොනු කරමිනුයි හිටියෙ. විවෘත ආර්ථික ක්‍රමය පටන් ගන්නවත් එක්‌කම ඒ ගැනත් නොයෙක්‌ ඉඟි මට ලැබෙන්න පටන් ගත්තා. මේ අතර දිනක්‌ රාජකාරි අවශ්‍යතාවකට මම අනුරාධපුරේ ගිහින් ප්‍රධාන පාරෙ කුඩා කඩයක්‌ ළඟ නැවතිලා හිටියා. කුඩා තේ කඩයක්‌ වුණාට නොයෙක්‌ අරුමෝසම් බඩුත් ඒ කඩේ පැත්තක පෙනෙන්න තිබුණා. එතනින් හැරිල ගමට යන බස්‌ එක එන්නෙ පැය ගාණකට සැරයක්‌. එහෙම ආපු බස්‌එකකින් කොණ්‌ඩෙ වවාගත්ත, සන්ග්ලාස්‌ පැලඳ ගත් අමුතු තරුණයෙක්‌ බැස්‌ස. ලොකු බෑග් එකකුත් ටූ ඉන්වන් කැසට්‌ සෙට්‌ එකකුත් එක අතක තිබුණ. බස්‌ එකෙන් බැහැල සිගරැට්‌ එකකුත් පත්තු කරගත් මේ තරුණයා කැසට්‌ එකෙන් සංගීතයකුත් දමාගෙන වටපිට බල බලා ගම ඇතුළට ඇවිදගෙන ගියා. එතන හිටිය ගැමියො දෙන්නෙක්‌ මේ තරුණයා දිහා බලල "අන්න අරූ ගමට ආව. දැන් ගම ඉවරයි" කියල බොහොම හිත් අමාරුවකින් වගේ කිව්ව. මේ තරුණයා මොනව හරි දඩබ්බර වැඩ කරල ගමෙන් පැනල ගිය කෙනෙක්‌. තරුණයා ආපහු ගමට එනව දැකල ගම ආයෙත් ඉවරයි කියල ගැමියො කිව්වෙ ඒ හින්ද. පළිඟු මැණිකෙ ටෙලි නාට්‍යයේ සූරසේනගෙ ගමට පැමිණීම මම අරගත්තෙ ඒ අත්දැකීමෙන්. අර කඩේ තිබුණු අරුමෝසම් බඩුයි මේ තරුණයගෙ අතේ තිබුණු අරුමෝසම් බඩුයි ඔහුගෙ විලාසයයි දුටු මට හිතුණ මේ තරුණයා ගමට මොන විදියේ බලපෑමක්‌ කරයිද කියල. කැලෑ කැපීම්, නිදන් හැරීම්, වීඩියෝ දර්ශන පෙන්වීම වගේ දේවල් අදවගේ එදා ගම්වල තිබුණෙ නෑ. මම සති ගාණක්‌ කල්පනා කළා. විවෘත ආර්ථිකය නිසා නොයෙක්‌ අරුමෝසම් බඩු ගමට ආවට ගමේ තරුණයන්ට ඒවා ගන්න සල්ලි නෑ. තරුණයො කැලෑ කපයි. නිදන් හාරයි.

මම මෙහෙම කල්පනා කර කර ඉන්න කොට තමයි ධම්ම ජාගොඩ මට ආරාධනා කළේ ටෙලි නාට්‍යයක්‌ ලියන්න. ඒ වෙනකොට අපේ රටේ ටෙලි නාට්‍ය දෙක තුනකට වඩා හැදිල තිබුණෙ නෑ. මට හිතුණ නවකතාවකට ගොනු වෙමින් තිබුණු මේ අත්දැකීම්වලින් ටෙලි නාට්‍යයක්‌ රචනා කරන්න. විවෘත ආර්ථිකය නිසා මෙවැනි විනාශයක්‌ අපේ රටට සිදුවෙයි කියල හිතල පළිඟු මැණිකේ - මගේ පළමු මාලා ටෙලි නාටකය ලිව්වා.

ඔබ මේ නාට්‍යය රචනා කළේ විවෘත ආර්ථිකය දැඩි ලෙස වැළඳගත් සමාජයටයි. පළිඟු මැණිකෙට එදා ලැබුණු ප්‍රතිචාර කොහොමද?

පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ සූරසේන තමයි විවෘත ආර්ථිකය සංකේතවත් කළේ. ගමේ සිදුවන විනාශයන්ට සූරසේන බලපාපු හැටි තමයි ටෙලි නාට්‍යය පුරාම දිවෙන්නෙ. සාමාන්‍ය සමාජයට එදා විවෘත ආර්ථිකයේ බරපතළකම අවබෝධ වුණේ නෑ. මිනිස්‌සු වැළඳගත්තෙ විවෘත ආර්ථිකය නිසා ආපු මෙවලම් හා ඒවායින් ලැබෙන වින්දනය. මෙයින් සිදුවන විනාශය තේරුම් කරල දෙන්න විචාරකයො හිටියෙ නෑ. මේක සමාජයට අවබෝධ කරල දෙන්න මම සූරසේනගෙ චරිතයට කැපී පෙනෙන වචන මාලාවක්‌ හැදුව. ඒ වචන මාලාවෙ එන පට්‌ පට්‌ සම්තිං වැනි වචන අදත් භාවිත වෙනව. ඇත්තවශයෙන්ම විවෘත ආර්ථිකයෙන් කරන්නෙත් මොන ක්‍රමයෙන් හරි ඉතා ඉක්‌මනින් මුදල් හොයන එක. ඉක්‌මනට වැඩ කරන එකට අපි කියනවනෙ පට පට ගාලා වැඩ කරනව කියල. පට කියන වචනෙ මම පට්‌ කළා. පට්‌ පට්‌ ගාල සම්තිං හොයන එකනෙ අදත් විවෘත ආර්ථිකයෙන් කරන්නෙ.

පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ චරිතවල නම් පවා යෙදුවෙ හුඟක්‌ කල්පනා කරල. ගමට මැණිකක්‌ වගේ සිටින පුද්ගලය තමයි මැණික්‌හාමි. පළිඟුව මැණික තරම් වටින්නෙ නෑ. නමුත් ඒක දිලිසෙනව. පළිඟු මැණිකෙට ඒ නම ලැබුණෙ එහෙම. මේ දෙන්නම ගමේ අහිංසක අය. මේ චරිත දෙක තුළින් මම උත්සාහ කළේ විවෘත ආර්ථිකය නිසා ගමේ අහිංසක පුද්ගලයින්ට සිදුවන විනාශය පෙන්වන්න. විවෘත ආර්ථිකය අපේ රටේ සංස්‌කෘතියට, ආර්ථිකයට, පවුල් ජීවිතවලට ළමා පරපුරට සහ තරුණ තරුණියන්ට ආදී වශයෙන් අංශ පහක්‌ කෙරෙහි බලපාන හැටි සමාජයට පෙන්වන්න මම මෙහි චරිත ගණනාවක්‌ නිර්මාණය කළා. 

පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ අපි දකින්නෙ සාමාජිකයින් විශාල පිරිසක්‌ ඉන්න පවුල් නෙමෙයි. සාමාජිකයින් දෙතුන් දෙනෙක්‌ සිටින ඔවුන් එකිනෙකා අතරත් සබඳතා දුර්වල චරිත. එයට විශේෂ හේතුවක්‌ තිබෙනවද?

ඔව්. පවුලේ සාමාජිකයන් හා නෑදෑයන් අතර සමීප සබඳතා පවතින විට විවෘත ආර්ථිකයේ අහිතකර බලවේගවලට ඒ ජීවිත තුළට පිවිසෙන්න අමාරුයි. විවෘත ආර්ථිකය ක්‍රියාත්මක වන විට පවුල් සබඳතා බිඳවැටෙනව. සබඳතා අතින් මිනිසුන් හුදෙකලා වෙනවා. මැණික්‌ හාමි ගුරුන්නාන්සේ සහ ඔහුගේ බිරිඳ. පොඩි අප්පුහාමි සහ ඔහුගේ බිරිඳ. මේ අය ඥාතීන් වුණත් සබඳතා නැති හුදෙකලා චරිත වුණේ ඒ නිසයි. මේ චරිත ඇසුරෙන් විවෘත ආර්ථිකයෙන් සමාජයේ පුද්ගලාන්තර සබඳතා බිඳවැටෙන සැටි නිරූපණය කිරීමට මම උත්සාහ කළා. 

සැබෑ කලාකරුවා සමාජයක අනාගතය විනිවිද දකින පුද්ගලයෙක්‌. ඔහු එය නිරූපණය කරන්නේ සිය නිර්මාණ ශක්‌තියෙන්. නමුත් අද අපේ රටේ ටෙලි නාට්‍ය ක්‌ෂේත්‍රය තුළ පමණක්‌ නෙමෙයි සමස්‌ත කලාව තුළම මෙම ගුණය ඉතාමත් දුර්ලභයි. ඊට ඔබ දකින හේතු මොනවද?

සෑම කලා ක්‌ෂේත්‍රයක්‌ තුළම ඒ ගුණය අද ඉතාම තදින් ගිලිහිලා. රූපවාහිනී ටෙලි නාට්‍යයක්‌ නිර්මාණය කිරීමේදී රචකයාට තිබිය යුතු ස්‌වාධීනත්වය ඉතාමත් වැදගත්. අනාගතය ගැන හිතල දුරදක්‌නා නුවණින් යම් නිර්මාණයක්‌ කිරීමට කලාකරුවකුට හැකිවන්නේ එවිටයි. අද බොහෝ කලාකරුවන්ට තම නිර්මාණ ස්‌වාධීනව ඉදිරිපත් කරන්න අවස්‌ථාවක්‌ ලැබෙන්නෙ නෑ. වෙළෙඳ මනස විසින් එය පාලනය කරන ස්‌වභාවයක්‌ අද තිබෙනවා. එය ඉක්‌මවන්නට නම් තිර රචක, අධ්‍යක්‌ෂක හා නිෂ්පාදක එක්‌තරා විධියක දැඩි ස්‌වාධීනතාවක ඉන්නට ඕන. නමුත් එවැනි අවස්‌ථා ඉතාමත් අඩුයි.

අනෙක අද බාල බොළඳ නිෂ්පාදනවලට අවස්‌ථා වැඩියි. අපේ රටේ ටෙලි නාට්‍ය කලාව ආරම්භයේදී අපි එහි සියලූ අංගවලට වටිනාකමක්‌ ලැබෙන විදිහටයි කටයුතු කළේ. සෑම අංශයකින්ම නිර්මාණ කෞශල්‍ය ඔප් නංවන්නයි උත්සාහ කළේ. අද ඒක කරන්න සිද්ධවෙලා තියෙන්නෙ වේගවත් තදබදයක. එයට හේතුව අද රූපවාහිනී නාලිකා ඉතා අඩු මුදලට ටෙලි නාට්‍ය ලබාගෙන වැඩි ආදායමක්‌ ලැබීමට උත්සාහ දැරීම නිසයි. අද බොහෝ විද්යුත් මාධ්‍යත් උත්සාහ කරන්නෙ ටෙලි නාට්‍ය තුළින් 'පට්‌ පට්‌ ගාලා සම්තිං' හොයන්නයි. මේනිසා මමත් ටෙලි නාට්‍ය ලිවීමෙන් කලක්‌ ඈත් වෙලා හිටියා. සෑහෙන නිහඬතාවකට පසුව තමයි මේ දිනවල විකාශය වන එකගෙයි මිනිස්‌සු ටෙලි නාට්‍යය ලිව්වෙ.

සාකච්ඡා කළේ - පාලිත සේනානායක
http://www.divaina.com/2017/04/30/feature25.html

Pic Source

Thursday, April 27, 2017

බැඳුම්කරයෙන් රජයට පාඩුව කෝටි 1000ක්‌ - මහ බැංකු හිටපු නි. අධිපති

තමාගේ ගණනය කිරීම් අනුව 2015.02.27 දින මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් රජයට රු. කෝටි 1000 ක පාඩුවක්‌ සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විඡේවර්ධන මහතා ඊයේ (26දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් පැවැසීය.ක්‍ෂණිකව රු. කෝටි 53.2 ක පාඩුවක්‌ සහ එයද ඇතුළත්ව තිස්‌ අවුරුදු කාලය තුළ රු. කෝටි දහසක මුළු පාඩුවක්‌ සිදුව ඇති බවද විඡේවර්ධන මහතා කොමිසමට කීවේය.

2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 2.6 ක ලංසු පිළිගැනීමේ තීරණයට නොගොස්‌ බිලියන 10 කට ලංසු පිළිගත් නිසා මේ පාඩුව සිදුවූ බවද හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා කීවේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එම ක්‍ෂණික අලාභය සහ තිස්‌ අවුරුදු පාඩුව සිදුවූ ආකාරය තමා ගණනය කළ ක්‍රමවේදය ද කොමිසමට පැහැදිලි කළේය.

අදාළ වර්ෂ 30 ක කාලය තුළ සියයට 12.5 ක ඉතා ඉහළ පොළියක්‌ ගෙවීමට සිදුවීම නිසා රු.කෝටි දහසක පාඩුවක්‌ සිදුවන බව තමා ගණනය කළ බවද පැවැසූ හෙතෙම 2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී රු. බිලියන දහයකට අධික ලංසු පිළිගැනීම නිසා රජයට සිදුවූ පාඩුව ගණනය කළ ලේඛනය ද ඊයේ කොමිසමට ඉදිරිපත් කළේය.

එම පාඩු ගණනය කළ ක්‍රමවේදය නිවැරදි ක්‍රමවේදයක්‌ බවද විඡේවර්ධන මහතා විනිසුරු ජයවර්ධන මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන
http://www.divaina.com/2017/04/27/news02.html

Tuesday, April 25, 2017

තෙවන ලෝක යුද්ධය අත ළඟද? ආසියාව අවදානම්...

ලෝක යුද්ධයක ඊළඟ දිගැහැරුමකට බලපාන අනෙක්‌ ආසන්නතම කාරණය වන්නේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළයි. විශේෂයෙන් උතුරු කොරියා කලාපයට මේ වන විටත් ඇමරිකා ගුවන්යානා ප්‍රවාහන නෞකාවක්‌ පිටත්කර යවා ඇති බව සඳහන්ය. එසේම මීට කලකට පෙර සිටම දකුණු කොරියාව ආශ්‍රිතව ඇමරිකා සොල්දාදුවන් 28000 ක්‌ පමණ නතර කර සිටී. තවද දකුණු කොරියාව තුළ "තාඡ්" නැමැති මිසයිල පද්ධතිය ද ස්‌ථාපනය කර ඇත. කෙසේ වෙතත් ඇමරිකාව මෑතක උතුරු කොරියා කලාපයට එවන ලද ගුවන්යානා ප්‍රවාහන නෞකාව මගින් කොරියාවේ නගර 24 ක්‌ විනාශ කළ හැකි න්‍යෂ්ටික බල යුද්ධ ශීර්ෂ 100 ක්‌ පමණ තිබූ බව පැවසේ.

අද වන විට ලෝක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන විට දැකගත හැකි වන්නේ කාලාන්තරයක්‌ තිස්‌සේ ඔඩුදුවමින් පැමිණෙන නොනිමි අරගලයන්ය. ඒවා විවිධ අරමුණු මත ක්‍රියාත්මකය. සිරියානු අර්බුදය එහි එක්‌ අංශයක්‌ පමණක්‌ නියෝජනය කරන අතර, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මෙන්ම, විවිධ රටවල පවතින, IS ඉරාකය, FARC (කොලොම්බියාව, බොකොහරාම්) නයිජීරියාව, අල්කයිඩා( ඇෆ්ගනිස්‌තානය, තලෙබාන්( ඇෆ්ගනිස්‌තානය හමාස්‌( පලස්‌තීනය, මාවෝ( නේපාලය, හූථි( යේමනය, ශාන්ති බහිනී( ඉන්දියාව/ බංග්ලාදේශය, අල් ශේබාබ්( සෝමාලියාව අල් නස්‌රා (al-Nusra)( සිරියාව, උයිහර් (Uyghurs)( චීනය, ටෙලෝ( දකුණු ඉන්දියාව. යනාදී කණ්‌ඩායම් ඒ ඒ රටවලට ඇති කරන බලපෑම් ද විශාලය. මෙම ත්‍රස්‌ත කණ්‌ඩායම්වලට ආයුධ, ආදී යුද්ධ ශක්‌තිය ප්‍රබල රට වලින් හිමි වන අතර ඒ තුළ ඔවුන් පාලනය කිරීම අසීරුය. ඔවුන් තවත් වර්ධනය වීමද නොවැළැක්‌විය හැකිව පවතී. 2012 සිට 2016 දක්‌වා ගිනි අවි වෙළඳාම පිළිබඳ දැක්‌වෙන වාර්තාවන් අනුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නිෂේධ බලය හිමි රටවල්, ලෝකය තුළ විවිධ ප්‍රදේශ වල සිදුවන අවි වෙළඳාමේ 73% කම සැපයුම්කරුවෝය. ඒ තුළ බලවතුන් යුද්ධ වැළැක්‌වීමට කිසිසේත් ඉදිරිපත් නොවේ. 

සිරියානු අර්බුදය පිළිබඳ අවධානයේ දී, "අරාබි වසන්තය" යනු මැදපෙරදිග කලාපයේ පාලනයන් බිඳ දැමූ, පාලකයන් ඝාතනය වූ, පාලකයන් සිරගෙට යෑවූ ඉතා සුවිශාල ක්‍රියාදාමයකි. මෙය වර්ෂ 2010 දී ටියුනීසියාවෙන් ආරම්භ වී ලිබියාව, යේමනය, ඊජිප්තුව යන රටවලද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර, එයට බටහිර රටවල් හා බටහිර මාධ්‍ය විශාල ලෙස ඉන්ධන සැපයීය. ඒ අනුව එහි ආදර්ශය ගත් සිරියානුවන් පිරිසක්‌ද, (free siriyan army) තම රටේ පාලකයා තනතුරින් නෙරපා වඩා හොඳ සිරියාවක්‌ උදෙසා 2011 මාර්තු මාසයේ සිට විරෝධයක්‌ ආරම්භ කරන ලදී. එයට ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන්වලින් සහය ද හිමි විය. (තවත් හිමිවේ) එසේම සිරියානු ජනාධිපති බසර් අල් අසාද්ගේ පක්‌ෂයට ද රුසියාව, ඉරානය, තුර්කිය යන රාජ්‍යයන්ගේ සහය හිමිවේ. 

විශේෂයෙන් බටහිර රාජ්‍යයන් බසර් අසාද්ගේ විරුද්ධවාදීන්ට සහය දෙමින් ද, රුසියාව ඇතුළු රටවල් අසාද්ට සහය වෙමින්ද, කටයුතු කිරීම තුළ ගල්ෆ් කලාපයේ තම භූ දේශපාලනික උපායමාර්ග ක්‍රියාවට නැංවීම සිදු කරයි. ඒ තුළ ලෝකයේ බලවත් රාජ්‍යන් අතර බල අරගලයක්‌ ඇති කිරීමට මෙම සිරියා අර්බුදය හේතුවක්‌ වී ඇති බව පෙන්වාදිය හැකිය. මෙහි නවතම බරපතළ තත්ත්වය ලෙසින් සිරියාවේ සාමාන්‍ය ජනතාවට පසුගියදා රසායනික අවි ප්‍රහාරයක්‌ එල්ලවීම හඳුනාගත හැකිය. (එයින් 89 මරණයට පත්විය) එය සිරියා රජයේ කටයුත්තක්‌ බව බටහිරින් චෝදනා එල්ලවූ අතර රුසියාව දෙසට ද ඇඟිල්ලක්‌ දික්‌ විය. (එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තවමත් පර්යේෂණ ප්‍රතිඵලය කියා නැත) එයට පිළිතුරක්‌ ලෙස සිරියා ගුවන් කඳවුරකට ඇමරිකාව විසින් කෲස්‌ මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කරන ලදී. එයින් සිරියාවේ ගුවන් බලය 20% ක්‌ විනාශ වූ බව ඇමරිකා ආරක්‌ෂක දෙපාර්තමේන්තුව කියයි. මේ සම්බන්ධ අනෙක්‌ වැදගත්ම කරුණ නම් G7 සමුළුවට මහා බ්‍රිතාන්‍ය විසින් යෝජනාවක්‌ ගෙන ආවේ රුසියාවට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවයි. නමුත් එය සම්මත නොවීය. 

ඒ අනුව ලෝකයේ රටවල් පැහැදිලි ලෙසම දෙකට බෙදී ඇති බවක්‌ හඳුනාගත හැකිය. නමුත් ඇමරිකාව මෙය රාජ්‍යතාන්ත්‍රික කටයුතු මගින් විසඳීම සඳහා ඉදිරිපත් වෙමින් රෙක්‌ස්‌ ටිලර්සන් රුසියාවට ගොස්‌ ඇත. ඒ සිරියා අර්බුදයේදී අසාද්ට සහය නොදෙන ලෙස ඉල්ලීමටය. ඇමරිකාවට අවශ්‍යව ඇත්තේ අසාද් බලයෙන් ඉවත් කිරීමටය. ඒ තුළ අපට රසායනික අවි ප්‍රහාරය ගැන ද සැකයක්‌ මතුවේ. ඒ සදාම් හුසේන් බලයෙන් පහකිරීමට ඇමරිකාව ගත් නින්දිත ක්‍රියාව සාධාරණීකරණයට ද පෙන්වා දුන්නේ ඉරාකය තුළ රසායනික අවි පවතින බවය. නමුත් එහි තිබී අද වන තෙක්‌ එවැනි අවි හමු නොවීය. අනෙක්‌ අතට අසාද් තමන්ගේ ජනතාවටම මෙලෙස රසායනික අවි ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සම්භාවිතාව ඉතා අඩුය. ඒ අතර රුසියාව තව දුරටත් අසාද්ට සහය දෙන බවත් ඇමරිකාව විසින් සිරියාවේ ඩමස්‌කස්‌ නගරයට තවත් රසායනික ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සූදානමක්‌ ඇති බවට හා එහි වගකීමත් අසාද්ට බැර කිරීමට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ව්ලැඩිමීර් පුටින් පෙන්වාදී ඇත. 

මේ අතර ඉරානයේ ජනාධිපතිවරණය සඳහා නැවත වරක්‌ මහමුද් අහමදි නේදාඡ්(ජාත්) ඉදිරිපත් වීමට නියමිත බවය සඳහන්. මොහු 2005 සිට 2013 දක්‌වා ඉරානයේ බලය දැරූ අතර, බටහිර මාධ්‍ය පෙන්වා දෙන්නේ මොහු දැඩි මතධාරියකු බවයි. විශේෂයෙන් ඔහුගේ පාලන කාලය තුළ ඉරානය දැඩි සම්බාධකවලට යටත්ව පැවතිණ. ඇමරිකාව සමඟ පැවති මතවාදී ගැටුම් හා ඉරාන න්‍යෂ්ටික කටයුතු නිසාවෙනි. නමුත් වත්මන් හසන් රොහානිගේ රජය යටතේ කලාපීය වශයෙන් යහපත් තත්ත්වයක්‌ පවත්වාගෙන යැමට කටයුතු කළ අතර 2015 වියානා සම්මුතිය තුළින් ඉරානය තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ සීමා කළ අතර, ඒ තුළ සම්බාධක ද ඉවත් විය. නමුත් නැවත එම තත්ත්වය අහමදි නේදාඡ් බලයට පැමිණියොත් වෙනස්‌වීමට ඉඩ ඇත. (ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි අහමදි නේදාඡ්ට නැවත බලයට නොඑන ලෙස ඉල්ලා ඇත.) 

එම තත්ත්වයන් තුළ මෙම සිරියා අර්බුදය ලෝකයේ බල කඳවුරු අතර ගැටුමක්‌ දක්‌වා ගමන් කිරීමේ සම්භාවිතාවක්‌ පවතී. ඒ බොහෝ බලවතුන් මෙම කලාපයේ බලය සඳහා තරගකාරී ලෙසින් සම්බන්ධ වීමත් කිසිදු බලවත් රාජ්‍යක්‌ බලය අතහැරීමට හෝ සටන් නතර කිරීමට රුචිකත්වයක්‌ නොදක්‌වන බැවිනි. 

ලෝක යුද්ධයක ඊළඟ දිගැහැරුමකට බලපාන අනෙක්‌ ආසන්නතම කාරණය වන්නේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළයි. විශේෂයෙන් උතුරු කොරියා කලාපයට මේ වන විටත් ඇමරිකා ගුවන්යානා ප්‍රවාහන නෞකාවක්‌ පිටත්කර යවා ඇති බව සඳහන්ය. එසේම මීට කලකට පෙර සිටම දකුණු කොරියාව ආශ්‍රිතව ඇමරිකා සොල්දාදුවන් 28000 ක්‌ පමණ නතර කර සිටී. තවද දකුණු කොරියාව තුළ "තාඡ්" නැමැති මිසයිල පද්ධතිය ද ස්‌ථාපනය කර ඇත. කෙසේ වෙතත් ඇමරිකාව මෑතක උතුරු කොරියා කලාපයට එවන ලද ගුවන්යානා ප්‍රවාහන නෞකාව මගින් කොරියාවේ නගර 24 ක්‌ විනාශ කළ හැකි න්‍යෂ්ටික බල යුද්ධ ශීර්ෂ 100 ක්‌ පමණ තිබූ බව පැවසේ. එසේම උතුරු කොරියාවේ fire power (ගිනි බලය) පිළිබඳව වාර්තාවල දැක්‌වෙන්නේ ඇමරිකාව උතුරු කොරියාවට විරුද්ධව යුද ක්‍රියාමාර්ගයකට එළඹෙන්නේ නම්, ඒ පළමු පැය ඇතුළත කාලතුවක්‌කු ප්‍රහාර පමණක්‌ 350,000 යොදවා දකුණු කොරියාවේ හා ජපානයේ ඇති ඇමරිකා යුද්ධ ශක්‌තිය විනාශ කළ හැකි බවයි.

මෙම තත්ත්වයන් සලකා බැලීමේ දී මෙය කලාපීය වශයෙන් විශාල තර්ජනයක්‌ සහිත බව හඳුනාගත හැකිය. උතුරු කොරියාවට බලපෑමක්‌ කළ හැකි එකම රට වන චීනයේ ජනපති ෂී ජිං පිං විසින්, ඇමරිකාවට උතුරු කොරියාවට විරුද්ධව කටයුතු කිරීමට හදිසි නොවන ලෙසත්, තවදුරටත් සිතා බලන ලෙසත් දැනුම් දී ඇත. කෙසේ නමුත් මෙම ගැටුම ඇවිලුනහොත් එය තුළින් ඉතා විශාල බලපෑමක්‌ සිදුවන බව නම් පෙන්වාදිය හැකිය. එය ආසියානු කලාපයටම තර්ජනයකි. 

මෙම තොරතුරු විශ්ලේෂණය කර බැලීම තුළින් පෙනෙන්නට ඇති තත්ත්වය නම් ලෝක බලවතුන්ගේ බලකාමීත්වය තුළ ගැබ්ව ඇති භූ දේශපාලනික උපායමාර්ගවල අවසානය තෙවන ලෝක සංග්‍රාමයක්‌ වෙතට ලෝකය ගෙනයාම දැයි යන්නය. පළමු හා දෙවැනි ලෝක යුද්ධ පූර්ව ලෝක සංදර්භයන් ද මෙම වර්තමාන තත්ත්වයන්ට බොහෝ සෙයින් සමගාමීව පැවති බවත් දැක්‌විය හැකිය. ඇමරිකා ජනපති ට්‍රම්ප් මැතිවරණයට පෙර දුන් පොරොන්දු කඩ වෙමින් ඇමරිකාව සුපුරුදු න්‍යාය තුළ ගමන් කරන බවද හඳුනාගත හැකිය. මෙම සියලු තත්ත්ව ගොඩනැඟෙන ආකාරය දෙස රුසියාව නිහඬ ප්‍රතිපත්තියක සිට බලා සිටීම කෙරෙහි ද විද්වත් අවධානය යොමුව පවතී. තත්ත්වය එසේ වුවත් තෙවැනි ලෝක යුද්ධයක්‌ ඇති නොවේවායි අපි පතමු.

ආර්. අයි. බී. ජයසිංහ
http://www.divaina.com/2017/04/25/feature01.html

Sunday, April 23, 2017

මාරයන් දෙදෙනෙකුගේ දාසයෙක්‌ද ඔබ? මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

පිංවත් ඔබ සමාජය තුළ ජීවත්වෙනකොට ඔබේ ඥාතිවරයා, ඔබේ අසල්වැසියා, ඔබේ මිතුරා, මිතුරියගේ හැසිරීම් නිරතුරුවම වෙනස්‌වෙනවා. සමහර පිංවතුන් භික්‍ෂුවට ඇවිත් කියනවා 'මගේ දරුවා හරිම කීකරුව හිටියේ. දැන් වෙනස්‌වෙලා. මගේ ස්‌වාමිපුරුෂයා මට හරිම ආදරෙන් හිටියේ. දැන් ඔහු වෙනස්‌ වෙලා' කියලා. වයෝවෘද්ධ අම්මලා තාත්තලා ඇවිත් කියනවා 'මගේ පුතා, දුව මට වෙනස්‌කම් කරනවා'ය කියලා. ඇයි මේ වෙනස්‌වීම සිද්ධවෙන්නේ? ඔබ නිරතුරුවම ගනුදෙනු කරන්නේ තවත් පංචඋපාදානස්‌කන්ධයක්‌ සමඟයි. පිංවත් ඔබ, ඔබේ බිරිඳ සමග කථාකරනවා කියන්නේ පංචඋපාදානස්‌කන්ධයක්‌, තවත් පංචඋපාදානස්‌කන්ධයක්‌ සමගඟකථාකරනවා කියන කාරණයයි. 

ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම වේදනාව අනිත්‍යභාවයට පත්වෙනවා. වේදනාව අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම, සංඥාව, සංස්‌ඛාර, විඤ්ඤාණය අනිත්‍යභාවයට පත්වෙනවා. විඤ්ඤාණය අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම, විඤ්ඤාණය හේතුවෙන් සකස්‌වෙන නාමරූප ධර්මයන් අනිත්‍යභාවයට පත්වෙනවා. නාම රූප ධර්මයන් අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම සලායතන අනිත්‍යභාවයට පත්වෙනවා. සලායතන අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම නැවත නැවතත් පංචඋපාදානස්‌කන්ධ ධර්මයන් සකස්‌කොටගෙන සත්ත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවල හිමිකරුවෙක්‌ වෙනවා. 

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථය ලෝකයයි කියලා. කුමක්‌ද නිරතුරුවම කැඩෙන්නේ බිඳෙන්නේ විසිරෙමින් පවතින්නේ? ඒ පංචඋපාදානස්‌කන්ධයයි. පංචඋපාදානස්‌කන්ධය යනු ලෝකයයි. ලෝකය යනු පංචඋපාදානස්‌කන්ධයයි. ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් මුසුවුණ තැනදී සකස්‌වෙන ඵස්‌සය පිංවත් ඔබ, තෘෂ්ණාවෙන් තෙත් කරපු තැනදි පංචඋපාදානස්‌කන්ධ ලෝකය උපදිනවා. ඉපදුණා වූ ලෝකයේ අනාගතය තීරණය කරන්නේ සංස්‌කාර විසින්. සංස්‌කාර විසින් තීරණය කරන අනාගතය විඤ්ඤාණය විසින් ක්‍රියාත්මකභාවයට පත්කොට දෙනවා. මේ ක්‍රියාන්විතයයි, ඔබ සම්මුති ලෝකය හැටියට දකින්නේ.

පිංවත් ඔබ රූපයක්‌ ඵස්‌සය වන සෑම මොහොතකදීම, එම ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්කරන සෑම මොහොතකදීම, අනාගත භවයකට අදාළ සංස්‌කාරයන් ඔබ තුළින් රැස්‌වෙනවා. සංස්‌කාරයන්ගේ තීරණයන්ට අදාළව විඤ්ඤාණය ක්‍රියාත්මකභාවයට පත්වී පිංවත් ඔබව පටිච්චසමුප්පන්නව, පරක්‌ තෙරක්‌ නොපෙනෙන මහා සාගරය බඳු, භවයේ දීර්ඝ සංචාරකයෙක්‌ බවට පත්කරනවා. පිංවත් ඔබ යම් දවසක උතුම් චතුරාර්යසත්‍ය අවබෝධය ලැබුව කල්හි, ඵස්‌සයේ අනිත්‍යභාවය අවබෝධ ඥානයෙන්ම දකිනවා. ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්කිරීමක්‌ නැහැ. වේදනාවේ නිරෝධය නිසාම සංඥාව සංස්‌කාර විඤ්ඤාණය නිරෝධයි. ඔබට කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය අතහැරෙනවා. ලෝකයෙන් නිවී යනවා. කැඩෙන බිඳෙන විසිරෙන පංචඋපාදානස්‌කන්ධ ලෝකයක්‌ නොකැඩෙන නොවිසිරෙන නොවෙනස්‌වන අර්ථයෙන් අල්ලාගැනීම නිසාම, වීර්යයෙන් ගැලවීයාහැකි ලෝකයත්, හිස්‌කළ හැකි ලෝකයත්, නිරෝධය කළ හැකි ලෝකයත්, සම්මුති ලෝකයක්‌ කොට ඔබ අල්ලාගන්නවා.

සද්ධර්මයේ හිරු විකසිතව තිබියදීත්, අවිද්‍යාවේ අන්ධකාරයෙන් සත්ත්වයා අඳුරේම අතපතගානවා. අඳුරේ බලවත්භාවය නිසාම කැඩෙන දෙය, නොකැඩෙන දෙය ලෙස දකිනවා. වෙනස්‌ වන දෙය නොවෙනස්‌ වන දෙයක්‌ ලෙස දකිමින් තර්ක විතර්ක, හරි වැරදි, වාද විවාද, දෘෂ්ටි මතවාද තුළින් කැඩෙන බිඳෙන විසිරෙන පංචඋපාදානස්‌කන්ධ ලෝකය තව තවත් පුළුල්කොට ගන්නවා. පිංවත් ඔබ ඉදිරියට පැමිණෙන කුමන චරිතයක්‌ වුවද තෘෂ්ණාවෙන් හටගත්, වෙනස්‌ වන පංචඋපාදානස්‌කන්ධයක්‌ බවම සිතන්න. ඔබ ඉදිරියට පැමිණෙන පංචඋපාදානස්‌කන්ධය ඔබට චෝදනාවක්‌ කරත්, ඔබට ප්‍රශංසා කළත්, ඔබ 'අනිත්‍යයි' කියලාම දකින්න. එවිට ඔබට පුළුවන්, තෘෂ්ණාවෙන් තෙත්වූ අනුන්ගේ පංචඋපාදානස්‌කන්ධයක්‌ නිසාම ඔබට විදර්ශනාත්මක කුසලයක්‌ ජීවිතයට එකතුකොට ගන්න. එම නිසා, පිංවත් ඔබ අනුන්ගේ දුර්වල ක්‍රියාකාරකම් ඉදිරියේ අනුන් සමග තර්ක විතර්ක කරන්න යන්න එපා. අනුනගේ පංචඋපාදානස්‌කන්ධ මාරයා තුළින් ඔබේ පංචඋපාදානස්‌කන්ධ මාරයා අවදිකොටගන්න ඔබ දක්‍ෂ වෙන්න. තමන් යනු පංචඋපාදනස්‌කන්ධයක්‌ බවත් අනුන් යනුද පංචඋපාදානස්‌කන්ධයක්‌ අවබෝධ නොවීම නිසාම තමන් සහ අනුන් තුළින් දුක උපදවන මාරයන් දෙදෙනෙක්‌ මගේ කොටගෙනයි ඔබ ජීවත්වෙන්නේ. මෙතෙක්‌ උතුම් සද්ධර්මය තුළින් ඔබ හඳුනා නොගත් ඒ මාරයින් දෙදෙනා නිසා තර්ක විතර්ක, දෘෂ්ටි මතවාද ඇතිකොටගනිමින් ලෝකය තව තව පුළුල්කොට ගන්නවා. 

චිත්තානුපස්‌සනාව - 27 - ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ indrajith.media@gmail.com
http://www.divaina.com/2017/04/23/feature30.html

උඩරට අවසාන සිංහල රජු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ වාරි කර්මාන්ත

උඩරට අවසාන සිංහල රජු කුණ්‌ඩසාලේ අගනුවර කරගත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයි. (ක්‍රි. ව. 1707 - 1739) ජන කවියා රජු හඳුන්වා ඇත්තේ "සෙල්ලම් නිරිඳු" යනුවෙනි. නැටුම් - ගැයුම් - ප්‍රශස්‌ති - කාව්‍ය - නාට්‍ය සංගීතය - සුරාව - ස්‌ත්‍රිය ප්‍රිය කළ කෙළිලොල් රජෙකු ලෙස ඔහු සටහන් වී ඇත. ක්‍රි. ව. 1707 සිට 1715 දක්‌වා කුණ්‌ඩසාලේ අගනුවර කරගත් ඔහු පල්ලේකැලේ මොරකැලේ ආරම්භ කළේය. 1715 වන විට කුණ්‌ඩසාලේ අතහැර වඩාත් ආරක්‌ෂාකාරී දියතිලකපුර හෙවත් හඟුරන්කෙත ඔහු තම අගනුවර කර ගත්තේය. ඕලන්ද ජාතික ඩැනියෙල්ගේ ලංකා විස්‌තරය අනුව සුරාව හා ජීවිත වැරදි නිසා අවුරුදු 49 වයස්‌ ගත වන විට රජු අකාලයේ රෝගී වී තුවාල ඔඩුදුවා මළේය. මහනුවර ඇති දෙමහල් දළදා මැඳුර නරේන්ද්‍රසිංහ රජුගේ නිර්මාණයකි. කෙළිලොල් රජෙකු ලෙස ප්‍රකට නරේන්ද්‍රසිංහ රජු ඉදිකොට ඇති වැව් හා වාරිමාර්ග පිළිබඳ දුර්ලභ තොරතුරු කීපයක්‌ මෙම ලිපියේ එයි.

මහනුවර පන්විල හුන්නස්‌ගිරි කන්දෙන් ඇරැඹී ගලන රවන් ඔය පොල්ගොල්ලේදී මහවැලි ගඟට එකතු වන දිය දඟරකි. නරේන්ද්‍රසිංහ රජු පන්විල උඩුගොඩ ගමේදී රවන් ඔය හරස්‌ කොට විශාල අමුණක්‌ බැඳ එම අමුණේ සිට "බණ්‌ඩාර ඇළ" නමින් සැතපුම් දොළහක්‌ දිගට විශාල වාරි ඇළක්‌ කරවා අතරමැද කුඹුරු යායවලට ජලය ලබා දෙමින් නරේන්ද්‍රසිංහ රජු විසින්ම කරවූ කුණ්‌ඩසාලේ නුදුරු දම්බරාව වැව දක්‌වා බණ්‌ඩාර ඇළෙන් ජලය ගෙන ගියේය. දම්බරාව වැව පෝෂණය වූයේ බණ්‌ඩාර ඇළෙනි. බණ්‌ඩාර ඇළ අඩි පහක්‌ තරම් පළලය. අඩි හතරක්‌ පමණ උසය. සැතපුම් දොළහක්‌ දිගය. දම්බරාව වැවට ජලය ගෙන යන අතරතුර අතරමඟ පිහිටි උඩුගොඩ - වළල වැනි අතුරු අමුණු ගණනාවකට බණ්‌ඩාර ඇළ ජලය සපයයි. සමහර ජනකතාවල රජු වෙනුවෙන් බණ්‌ඩාර නම් අධිපතියෙක්‌ බණ්‌ඩාර ඇළ කළ බව කියවෙයි. උඩරට නෙළුම් කවිවල කියවෙන "දුම්බර කෙත" යනු වළල ගමේ තිබූ සරුසාර කුඹුරුයාය විය හැක.

කුණ්‌ඩසාලේ නුදුරු දම්බරාව වැව නරේන්ද්‍රසිංහ රජු කරවූවකි. එදා එය අක්‌කර විස්‌සක්‌ පමණ ප්‍රදේශයක විහිඳී තිබූ විශාල වැවකි. කුණ්‌ඩසාලේ අගනුවර කිට්‌ටුවම පිහිටා තිබූ බැවින් ඇමතීන් සහ පිරිවර සමඟ රජු නිතර දම්බරාව වැවේ දිය නෑමට පැමිණ ඇත. අද රොන් මඩ පිරී වැවේ සීමාව බෙහෙවින් අඩු වී ඇත. වැව් බැම්ම වටා සරුවට ගහකොළ වැවී ඇත. බණ්‌ඩාර ඇළෙන් වැවට ගලා එන ජලය නතර වී ඇත. වැවද ගොඩ වී ගොසිනි. දුම්බරට අධිපති ගොවිතැන හා ගව පාලනයට අධිපති පිටියේ බණ්‌ඩාර දෙවියන්ට කැප වූ දේවාලයක්‌ දම්බරාව වැව යාව ඇත.

දම්බරාව නුදුරු දඹවෙල වැව නරේන්ද්‍රසිංහ රජුම කළ බව කියවෙයි. දඹවෙල වැව අදත් ජලයෙන් පිරී පවතියි. මේ වැව් බැම්මේ එදා දඹ ගස්‌ බහුලව තිබූ නිසා දඹවෙල යන නම ලැබී ඇත. අදත් වැව් බැම්මේ පැරණි දඹ ගසක්‌ ඉතිරිව ඇත. දැනට අවුරුදු තුනකට පමණ පෙර මෙම වැවට දිය නෑමට ගිය දරුවෙකුට වැවේ තිබී වටිනා රන්තලියක්‌ ලැබුණු බව පුවත්පත්වල පළ විය.

දැනට විනාශව යමින් පවතින විශාල ප්‍රමාණයක්‌ ගොඩ වී ඇති පිලවල කොට්‌ට වැව නරේන්ද්‍රසිංහ රජු කරවූවකි. පිලවල මහා විද්‍යාලය අසල ඇති "අවුරුදු දහසකට වඩා පැරැණි දැවැන්ත සියඹලා ගස ළඟින් ඇතුළට ගිය විට පිලවල කොට්‌ට වැව දැකිය හැක. වර්ෂාවට පස්‌ අවුත් පස්‌ පිරී දැන් කොට්‌ට වැව අක්‌කරයකට පමණ සීමා වී ඇත. රජරටදී "කොට්‌ට" යනුවෙන් හඳුන්වන වැව් විශේෂයක්‌ ඇත. පිලවල කොට්‌ට වැවට නම ලැබුණේද රජරට ඇති කොට්‌ට වැව් නිසාද යන්න කිව නොහැක.

මහනුවර සිට සැතපුම් දහයක්‌ පමණ ඈත කුණ්‌ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වළල ගමේ එදා තිබූ බණ්‌ඩාර වැව නරේන්ද්‍රසිංහ රජු කරවූවකි. බණ්‌ඩාර ඇළ මෙන්ම බණ්‌ඩාර වැවද නරේන්ද්‍රසිංහ රජු වෙනුවෙන් බණ්‌ඩාර නම් අධිපතියා කළ බව එක්‌ ජනප්‍රවාදයකි. වළල පිහිටි මෙම බණ්‌ඩාර වැව එදා අක්‌කර දහයකට වඩා විශාල විය. ඒත් කාලය සමඟ වළල බණ්‌ඩාර වැව විනාශ විය. 1965 පැරණි බණ්‌ඩාර වැව තිබූ බිමේ අලුතින් අක්‌කර පහක පමණ කුඩා වැවක්‌ අලුතින් හාරා ඇත. මෙම වැව පිහිටි බිම කිරි මැටි සහිතය. ඒ නිසා ඉවුරු ඉක්‌මනින් කැඩී බිඳී යයි.

නරේන්ද්‍රසිංහ රජු කරවූ තවත් වැව් තුනක තොරතුරු අපට හමුවෙයි. මැණික්‌හින්න නුදුරු හුරීකඩුව ඉතා ප්‍රසිද්ධ පළිහගොඩැල්ල පිටිය දේවාලය ඇත. දුම්බර මිටියාවතේ සෙනඟ බහුලව ඇදී එන පිටියේ දේවාලය හුරීකඩුව පළිහගොඩැල්ලයි. මෙහිදී නාථ දෙවි හා පිටියේ දෙවි අතර සටනක්‌ වූ බැවින් ස්‌ථානයට ඒ නම ලැබී ඇත. මෙම දේවාලය අසල ගල්පිහිල්ල රජමහා විහාරය හා විහාර කටුගෙය ඇත. මෙම විහාරයට ගල්පිහිල්ල යන නම ලැබුණේ විශාල ස්‌වභාවික ජල උල්පතකින් ගලා ආ දිය ගොබයක්‌ නිසාය. එම දියගොබයට එදා විශාල අරලිය ගසක මුල කොටස ඔබන ලදුව ජල ගොබය අරලිය කොටස හරහා පිහිල්ලක්‌ ලෙස එකතු වී අක්‌කර දෙකක පමණ වැවක්‌ නිර්මාණය වී තිබුණි. අද උල්පත ඇතත් ජලය ඉතා අඩුය. ගල්පිහිල්ල වැව අද දක්‌නට නැත.

කුණ්‌ඩසාලේ කෙළවර මහවත්ත ගම පිහිටා ඇත. මහවත්ත ගමට යන විට නරේන්ද්‍රසිංහ රජු කර වූ විනාශ වූ වැවක ලකුණු දැකිය හැක. ගමේ සමහර කොටස්‌ අදත් වැවේ නමින් හඳුන්වයි. ජනප්‍රවාද අනුව මේ වැව විනාශ වූයේ භූම්කම්පාවකිනි. "පවන" ප්‍රශස්‌ති කාව්‍යයේ අග එදා ලංකාවට බලපෑ භූමිකම්පා කීපයක්‌ ගැන කියෑවෙයි. පවන ප්‍රශස්‌ති කාව්‍ය සඳහන් කරන මේ එක භූමිකම්පාවක දී මහවත්ත වැවේ බැම්ම කඩා ගෙන ගොස්‌ මහවත්ත වැව විනාශ විය.

කුණ්‌ඩසාලේට අයිති පිලවල ගම මායිමේ කිරිමැටිය ගම පිහිටා ඇත. අවුරුදු කීපයකට පෙර නළ ළිං සඳහා බිම කැණීමේදී පැරැණි වැවක මැටි තට්‌ටු මතු විය. මෙම විනාශ වූ කිරිමැටිය වැව නරේන්ද්‍රසිංහ රජු කරවූවා විය හැක.

මහනුවර නගරයේ හා ඒ අවට එදා තිබී අද විනාශව ඇති හඳුනා නොගත් තවත් කුඩා වැව් නරේන්ද්‍රසිංහ රජු කළ බව අනුමාන කළ හැක.

1715 වන විට නරේන්ද්‍රසිංහ රජු කුණ්‌ඩසාලේ අතහැර හඟුරන්කෙත අගනුවර කර ගත්තේය. හඟුරන්කෙත හා ඒ අවට වැව් හා ඇළවල් රාශියකි. 1890 ලැමෂියර් උප දිසාපතිගේ වාර්තාවේ හඟුරන්කෙත හා අවට තිබූ ඇළවල් 140 දක්‌වයි. ඉන් කීපයක්‌ හෝ නරේන්ද්‍රසිංහ රජු කළා විය හැකි බව පුරාවිද්‍යා කොමසාරිස්‌ සෙනරත් දිසානායක "දියතිලකපුර" ග්‍රන්ථයේදී කියයි.

හඟුරන්කෙත අක්‌කර 2 - 5 අතර විශාල වැව් නවයක්‌ ඇත. ඉන් වැව් පහක්‌ රාජකීය පරිහරණයට සීමා විය. රජුටම සීමා වූ වැව් පහ නම් උඩගලඋඩ - කොණ්‌ඩතැන්න - එළුගම - උඩමළුව හා පහළ මළුව බව "දියතිලකපුර" ග්‍රන්ථය කියයි. ඒ හැර දෙහිපේ පන්වැව - මල්උල්ල - ගලඋඩ - අමුණුකුරේ - හප්පාවක යන වැව් හතර සාමාන්‍ය ජනයා සඳහා වෙන් විය.

හඟුරන්කෙත රජුටම සීමා වූ වැව් පහ හා සාමාන්‍ය ජනයාට වෙන් වූ වැව් හතර අතරින් කීපයක්‌ නරේන්ද්‍රසිංහ රජු කළා විය හැක. ඒ සඳහා ස්‌ථිර සාක්‌ෂි නැත. එදා හඟුරන්කෙත රජ මැඳුරේ ජල අවශ්‍යතා සැපයුවේ මා ඇළයි. මා ඇළ ඉහළ කඳුකරයේ සිට ජලය රැගෙන අවුත් හඟුරන්කෙත පහළ මළුව යන රජුටම වෙන් වූ වැව් දෙක පෝෂණය කළේය. හඟුරන්කෙත වැව් හා ඇළවල් කීපයක්‌ නරේන්ද්‍රසිංහ රජු කළ බව කීම නිවැරදිය.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂ එස්‌. කේ. ජයවර්ධන
http://www.divaina.com/2017/04/23/feature20.html

Pic Source