Pages

Sunday, April 23, 2017

උඩරට අවසාන සිංහල රජු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ වාරි කර්මාන්ත

උඩරට අවසාන සිංහල රජු කුණ්‌ඩසාලේ අගනුවර කරගත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයි. (ක්‍රි. ව. 1707 - 1739) ජන කවියා රජු හඳුන්වා ඇත්තේ "සෙල්ලම් නිරිඳු" යනුවෙනි. නැටුම් - ගැයුම් - ප්‍රශස්‌ති - කාව්‍ය - නාට්‍ය සංගීතය - සුරාව - ස්‌ත්‍රිය ප්‍රිය කළ කෙළිලොල් රජෙකු ලෙස ඔහු සටහන් වී ඇත. ක්‍රි. ව. 1707 සිට 1715 දක්‌වා කුණ්‌ඩසාලේ අගනුවර කරගත් ඔහු පල්ලේකැලේ මොරකැලේ ආරම්භ කළේය. 1715 වන විට කුණ්‌ඩසාලේ අතහැර වඩාත් ආරක්‌ෂාකාරී දියතිලකපුර හෙවත් හඟුරන්කෙත ඔහු තම අගනුවර කර ගත්තේය. ඕලන්ද ජාතික ඩැනියෙල්ගේ ලංකා විස්‌තරය අනුව සුරාව හා ජීවිත වැරදි නිසා අවුරුදු 49 වයස්‌ ගත වන විට රජු අකාලයේ රෝගී වී තුවාල ඔඩුදුවා මළේය. මහනුවර ඇති දෙමහල් දළදා මැඳුර නරේන්ද්‍රසිංහ රජුගේ නිර්මාණයකි. කෙළිලොල් රජෙකු ලෙස ප්‍රකට නරේන්ද්‍රසිංහ රජු ඉදිකොට ඇති වැව් හා වාරිමාර්ග පිළිබඳ දුර්ලභ තොරතුරු කීපයක්‌ මෙම ලිපියේ එයි.

මහනුවර පන්විල හුන්නස්‌ගිරි කන්දෙන් ඇරැඹී ගලන රවන් ඔය පොල්ගොල්ලේදී මහවැලි ගඟට එකතු වන දිය දඟරකි. නරේන්ද්‍රසිංහ රජු පන්විල උඩුගොඩ ගමේදී රවන් ඔය හරස්‌ කොට විශාල අමුණක්‌ බැඳ එම අමුණේ සිට "බණ්‌ඩාර ඇළ" නමින් සැතපුම් දොළහක්‌ දිගට විශාල වාරි ඇළක්‌ කරවා අතරමැද කුඹුරු යායවලට ජලය ලබා දෙමින් නරේන්ද්‍රසිංහ රජු විසින්ම කරවූ කුණ්‌ඩසාලේ නුදුරු දම්බරාව වැව දක්‌වා බණ්‌ඩාර ඇළෙන් ජලය ගෙන ගියේය. දම්බරාව වැව පෝෂණය වූයේ බණ්‌ඩාර ඇළෙනි. බණ්‌ඩාර ඇළ අඩි පහක්‌ තරම් පළලය. අඩි හතරක්‌ පමණ උසය. සැතපුම් දොළහක්‌ දිගය. දම්බරාව වැවට ජලය ගෙන යන අතරතුර අතරමඟ පිහිටි උඩුගොඩ - වළල වැනි අතුරු අමුණු ගණනාවකට බණ්‌ඩාර ඇළ ජලය සපයයි. සමහර ජනකතාවල රජු වෙනුවෙන් බණ්‌ඩාර නම් අධිපතියෙක්‌ බණ්‌ඩාර ඇළ කළ බව කියවෙයි. උඩරට නෙළුම් කවිවල කියවෙන "දුම්බර කෙත" යනු වළල ගමේ තිබූ සරුසාර කුඹුරුයාය විය හැක.

කුණ්‌ඩසාලේ නුදුරු දම්බරාව වැව නරේන්ද්‍රසිංහ රජු කරවූවකි. එදා එය අක්‌කර විස්‌සක්‌ පමණ ප්‍රදේශයක විහිඳී තිබූ විශාල වැවකි. කුණ්‌ඩසාලේ අගනුවර කිට්‌ටුවම පිහිටා තිබූ බැවින් ඇමතීන් සහ පිරිවර සමඟ රජු නිතර දම්බරාව වැවේ දිය නෑමට පැමිණ ඇත. අද රොන් මඩ පිරී වැවේ සීමාව බෙහෙවින් අඩු වී ඇත. වැව් බැම්ම වටා සරුවට ගහකොළ වැවී ඇත. බණ්‌ඩාර ඇළෙන් වැවට ගලා එන ජලය නතර වී ඇත. වැවද ගොඩ වී ගොසිනි. දුම්බරට අධිපති ගොවිතැන හා ගව පාලනයට අධිපති පිටියේ බණ්‌ඩාර දෙවියන්ට කැප වූ දේවාලයක්‌ දම්බරාව වැව යාව ඇත.

දම්බරාව නුදුරු දඹවෙල වැව නරේන්ද්‍රසිංහ රජුම කළ බව කියවෙයි. දඹවෙල වැව අදත් ජලයෙන් පිරී පවතියි. මේ වැව් බැම්මේ එදා දඹ ගස්‌ බහුලව තිබූ නිසා දඹවෙල යන නම ලැබී ඇත. අදත් වැව් බැම්මේ පැරණි දඹ ගසක්‌ ඉතිරිව ඇත. දැනට අවුරුදු තුනකට පමණ පෙර මෙම වැවට දිය නෑමට ගිය දරුවෙකුට වැවේ තිබී වටිනා රන්තලියක්‌ ලැබුණු බව පුවත්පත්වල පළ විය.

දැනට විනාශව යමින් පවතින විශාල ප්‍රමාණයක්‌ ගොඩ වී ඇති පිලවල කොට්‌ට වැව නරේන්ද්‍රසිංහ රජු කරවූවකි. පිලවල මහා විද්‍යාලය අසල ඇති "අවුරුදු දහසකට වඩා පැරැණි දැවැන්ත සියඹලා ගස ළඟින් ඇතුළට ගිය විට පිලවල කොට්‌ට වැව දැකිය හැක. වර්ෂාවට පස්‌ අවුත් පස්‌ පිරී දැන් කොට්‌ට වැව අක්‌කරයකට පමණ සීමා වී ඇත. රජරටදී "කොට්‌ට" යනුවෙන් හඳුන්වන වැව් විශේෂයක්‌ ඇත. පිලවල කොට්‌ට වැවට නම ලැබුණේද රජරට ඇති කොට්‌ට වැව් නිසාද යන්න කිව නොහැක.

මහනුවර සිට සැතපුම් දහයක්‌ පමණ ඈත කුණ්‌ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වළල ගමේ එදා තිබූ බණ්‌ඩාර වැව නරේන්ද්‍රසිංහ රජු කරවූවකි. බණ්‌ඩාර ඇළ මෙන්ම බණ්‌ඩාර වැවද නරේන්ද්‍රසිංහ රජු වෙනුවෙන් බණ්‌ඩාර නම් අධිපතියා කළ බව එක්‌ ජනප්‍රවාදයකි. වළල පිහිටි මෙම බණ්‌ඩාර වැව එදා අක්‌කර දහයකට වඩා විශාල විය. ඒත් කාලය සමඟ වළල බණ්‌ඩාර වැව විනාශ විය. 1965 පැරණි බණ්‌ඩාර වැව තිබූ බිමේ අලුතින් අක්‌කර පහක පමණ කුඩා වැවක්‌ අලුතින් හාරා ඇත. මෙම වැව පිහිටි බිම කිරි මැටි සහිතය. ඒ නිසා ඉවුරු ඉක්‌මනින් කැඩී බිඳී යයි.

නරේන්ද්‍රසිංහ රජු කරවූ තවත් වැව් තුනක තොරතුරු අපට හමුවෙයි. මැණික්‌හින්න නුදුරු හුරීකඩුව ඉතා ප්‍රසිද්ධ පළිහගොඩැල්ල පිටිය දේවාලය ඇත. දුම්බර මිටියාවතේ සෙනඟ බහුලව ඇදී එන පිටියේ දේවාලය හුරීකඩුව පළිහගොඩැල්ලයි. මෙහිදී නාථ දෙවි හා පිටියේ දෙවි අතර සටනක්‌ වූ බැවින් ස්‌ථානයට ඒ නම ලැබී ඇත. මෙම දේවාලය අසල ගල්පිහිල්ල රජමහා විහාරය හා විහාර කටුගෙය ඇත. මෙම විහාරයට ගල්පිහිල්ල යන නම ලැබුණේ විශාල ස්‌වභාවික ජල උල්පතකින් ගලා ආ දිය ගොබයක්‌ නිසාය. එම දියගොබයට එදා විශාල අරලිය ගසක මුල කොටස ඔබන ලදුව ජල ගොබය අරලිය කොටස හරහා පිහිල්ලක්‌ ලෙස එකතු වී අක්‌කර දෙකක පමණ වැවක්‌ නිර්මාණය වී තිබුණි. අද උල්පත ඇතත් ජලය ඉතා අඩුය. ගල්පිහිල්ල වැව අද දක්‌නට නැත.

කුණ්‌ඩසාලේ කෙළවර මහවත්ත ගම පිහිටා ඇත. මහවත්ත ගමට යන විට නරේන්ද්‍රසිංහ රජු කර වූ විනාශ වූ වැවක ලකුණු දැකිය හැක. ගමේ සමහර කොටස්‌ අදත් වැවේ නමින් හඳුන්වයි. ජනප්‍රවාද අනුව මේ වැව විනාශ වූයේ භූම්කම්පාවකිනි. "පවන" ප්‍රශස්‌ති කාව්‍යයේ අග එදා ලංකාවට බලපෑ භූමිකම්පා කීපයක්‌ ගැන කියෑවෙයි. පවන ප්‍රශස්‌ති කාව්‍ය සඳහන් කරන මේ එක භූමිකම්පාවක දී මහවත්ත වැවේ බැම්ම කඩා ගෙන ගොස්‌ මහවත්ත වැව විනාශ විය.

කුණ්‌ඩසාලේට අයිති පිලවල ගම මායිමේ කිරිමැටිය ගම පිහිටා ඇත. අවුරුදු කීපයකට පෙර නළ ළිං සඳහා බිම කැණීමේදී පැරැණි වැවක මැටි තට්‌ටු මතු විය. මෙම විනාශ වූ කිරිමැටිය වැව නරේන්ද්‍රසිංහ රජු කරවූවා විය හැක.

මහනුවර නගරයේ හා ඒ අවට එදා තිබී අද විනාශව ඇති හඳුනා නොගත් තවත් කුඩා වැව් නරේන්ද්‍රසිංහ රජු කළ බව අනුමාන කළ හැක.

1715 වන විට නරේන්ද්‍රසිංහ රජු කුණ්‌ඩසාලේ අතහැර හඟුරන්කෙත අගනුවර කර ගත්තේය. හඟුරන්කෙත හා ඒ අවට වැව් හා ඇළවල් රාශියකි. 1890 ලැමෂියර් උප දිසාපතිගේ වාර්තාවේ හඟුරන්කෙත හා අවට තිබූ ඇළවල් 140 දක්‌වයි. ඉන් කීපයක්‌ හෝ නරේන්ද්‍රසිංහ රජු කළා විය හැකි බව පුරාවිද්‍යා කොමසාරිස්‌ සෙනරත් දිසානායක "දියතිලකපුර" ග්‍රන්ථයේදී කියයි.

හඟුරන්කෙත අක්‌කර 2 - 5 අතර විශාල වැව් නවයක්‌ ඇත. ඉන් වැව් පහක්‌ රාජකීය පරිහරණයට සීමා විය. රජුටම සීමා වූ වැව් පහ නම් උඩගලඋඩ - කොණ්‌ඩතැන්න - එළුගම - උඩමළුව හා පහළ මළුව බව "දියතිලකපුර" ග්‍රන්ථය කියයි. ඒ හැර දෙහිපේ පන්වැව - මල්උල්ල - ගලඋඩ - අමුණුකුරේ - හප්පාවක යන වැව් හතර සාමාන්‍ය ජනයා සඳහා වෙන් විය.

හඟුරන්කෙත රජුටම සීමා වූ වැව් පහ හා සාමාන්‍ය ජනයාට වෙන් වූ වැව් හතර අතරින් කීපයක්‌ නරේන්ද්‍රසිංහ රජු කළා විය හැක. ඒ සඳහා ස්‌ථිර සාක්‌ෂි නැත. එදා හඟුරන්කෙත රජ මැඳුරේ ජල අවශ්‍යතා සැපයුවේ මා ඇළයි. මා ඇළ ඉහළ කඳුකරයේ සිට ජලය රැගෙන අවුත් හඟුරන්කෙත පහළ මළුව යන රජුටම වෙන් වූ වැව් දෙක පෝෂණය කළේය. හඟුරන්කෙත වැව් හා ඇළවල් කීපයක්‌ නරේන්ද්‍රසිංහ රජු කළ බව කීම නිවැරදිය.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂ එස්‌. කේ. ජයවර්ධන
http://www.divaina.com/2017/04/23/feature20.html

Pic Source

0 comments: