Pages

Wednesday, October 26, 2016

මන්නාරමේදී නාවික හමුදාවට ප්‍රහාරයක්.. සෙබළුන් 3ක් රෝහලේ.. කදවුරෙන් අහසට වෙඩි!

මන්නාරම, සිලාවතුර නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසකට පෙරේදා (18) රාත්‍රියේ සිලාවතුර අරිප්පු ගම්වාසීන් පිරිසක් පහරදී ඇති බවත් එයින් තුවාල ලැබූ සෙබළුන් 03 දෙනෙකු ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති බවත් සිලාවතුර පොලීසිය පවසයි.

සිලාවතුර මුහුදු තීරයෙන් අරිප්පු ප්‍රදේශයට කේරල ගංජා රැගෙන එන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි නිලධාරීන් කිහිපදෙනෙකු අරිප්පු ප්‍රදේශයට ගොස් රැකවල් යොදා සිටි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් මෙලෙස නාවික හමුදා සෙබළුන් තිදෙනෙකුට පහරදී තිබේ.

ප්‍රදේශවාසීන් 300කට ආසන්න පිරිසක් එක්වී සෙබළුන් තිදෙනා අරිප්පු නාවික හමුදා කඳවුර ඉදිරිපිටට පහරදෙමින් රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඔවුන් ගෙවල් මංකොල්ල කෑමට පැමිණි බව පවසමින් ඉතා උණුසුම් අයුරින් කෑගසමින් එම පිරිස කඳවුරේ දොරටුවට ද පහරදී ඇත.

එම අවස්ථාවේදී තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා නාවික හමුදා කඳවුරෙන් උඩට වෙඩි තබා තිබේ.

වෙඩි තැබීමෙන් අනතුරුව අල්ලාගෙන සිටි නාවික හමුදා සෙබළුන් තිදෙනාගෙන් දෙදෙනෙකු ග්‍රහනයෙන් මිදී පලාගොස් රෝහල් ගතව ඇති අතර අනෙක් සෙබළා ප්‍රදේශවාසීන් විසින් අරිප්පු කතෝලික පල්ලිය වෙත ගෙන ගොස් තිබේ.

එසේ රැගෙන ගිය සෙබළා නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර අද (19) උදෑසන මන්නාරම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ මැදිහත්වීම මත ඔහුව නිදහස් කරගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිලාවතුර පොලීසිය හා මන්නාරම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

http://www.colombotoday.com/23766-28585/

ඓතිහාසික පාෂාණ පබ්බත විහාර අයිතිය හින්දූන්ට... කෝවිලකුත් හදලා... බොදු උරුමය කොල්ලකන තවත් කුරගලක්ද?

කලක් කොටි ත්‍රස්තවාදීන්ගේ “කොටි හඩ“ ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරය පවත්වාගෙන ගිය ඓතිහාසික පාෂාණ පබ්බත විහාර භූමියේ අයිතිය ඉල්ලමින් නැගෙනහිර පළාත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුකාර ඔස්ටීන් ප්‍රනාන්දු මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පළාත් සභා මන්ත්‍රී ඡේ. ජනාර්නන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ඔහු පවසා ඇත්තේ 1835 සිට මෙම ස්‌ථානයේ හින්දු කෝවිලක්‌ තිබූ බවයි.

ආණ්ඩුකාරවරයා සමග ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් පැමිණ විහාර භූමිය පරීක්ෂා කරමින්
නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාරවරයා මෙම ස්‌ථානය දෙමළ මන්ත්‍රීවරුන් සමඟ පැමිණ නිරීක්‌ෂණය කළ අතර කෝවිලක සාධක එහි දක්‌නට නොමැති බැවින් ඉක්‌මණින් පුරාවිද්‍යා වාර්තාවක්‌ ලබා ගන්නා බවත් දන්වා ඇත.

දළදා වහන්සේ රැගෙන දන්ත, හේමමාලා කුමර කුමරියෝ ශ්‍රී ලංකාවට ගොඩ බැස්සේ පාෂාණ පබ්බත නමින් හැදින්වෙන මේ වෙහෙර පිහිටි තැනටය. ක්‍රි.ව. 09 සිට 21 දක්වා අනුරාධපුර රජකම් කළ මහා දාඨක මහා නාග (මහදැළියාමානා) පාෂාන පබ්බත විහාරය කැරැවූ බවත් කිසියම් ඇළක දිය බද්ද මේ විහාරයේ භික්‍ෂූන්ට සිව්පසය සැපයීම සඳහා යෙදවිය යුතු බවත් රජු ඉඩමක් මිලට ගෙන මෙම විහාරයට පූජා කළ බවක් එක් ගිරි ලිපියකින් කියැවිණ. රභය නමැති ඇමති මෙම විහාරයට සිදුකළ ප්‍රදානයන් පිළිබඳව සහ එක්තරා වෙළෙඳ ආයතනයක මුදලක් තැන්පත් කොට එහි පොලිය මෙම විහාරයට පූජා කිරීමක් පිළිබඳව තවත් ගිරි ලිපියකින් කියැවේ.


<--- දළදා වහන්සේ වැඩමවාගෙන හේමමාල කුමරිය – දන්ත කුමරුන් ගොඩබට ස්ථානය – ලංකාපුටන පාෂාණ පබ්බත විහාරය

මෙම සිද්ධස්ථානයේ වූ චෛත්‍යය කොටි ත්‍රස්තයන් විසින් බිඳ දමා ඒ මත කාල තුවක්කු සහ මෝටාර් විදින සවි කරනු ලැබූහ. චෛත්‍යයට මඳක් ඉහළින් ගල් පර්වතය මුදුනේ කොටිහඬ ගුවන් විදුලි සම්පේ‍්‍රෂණ කුලුන සවිකර තිබිණි. පසුකාලීනව එම ස්ථානයේ කෝවිලක් ඉදිකරනු ලැබු අතර එය විවෘත කර තිබුණේ කොටි ත්‍රස්තවාදීන්ට සහාය දුන් රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියෙක් විසිනි.

2002 වසරේ තමන් පදිංචියට එත්දීද මෙම විහාරය පැවති බවත් ඒ වන විට එහි කෝවිලක් නොතිබූ බවත් එම ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජනතාවද පවසති. නමුත් පසුකාලීනව හින්දු කෝවිලක්‌ විහාරය ආසන්නයේ ඉදිකර වන්දනා කළ බවත් ඔවුහු පවසති.

http://www.colombotoday.com/23819-58522/

පුත්තලමේ ශරීයා නීතිය! දූෂණයට ලක්වූවායි කතකට පොල්පිති පහර 100ක් තලයි. කත මරුට!

පුත්තලම, නල්ලන්දළුව ප්‍රදේශයේ නිවෙසකට බලහත්කාරයෙන් ඇතුළු වී කාන්තාවකට ලිංගික අතරවර කිරීමේ සිද්ධියකට අදාල අපරාධකරුව‍ෙ දඩුවම් දෙනවා වෙනුවට දූෂණයට ලක්වූ කාන්තාවට අමානුෂික දඩුවමක් ලබාදීමේ පුවතක් වාර්තා වනවා.

දූෂණයට ලක්වූ ජෙස්මීර් සිත්ති ජෙරසීමා නමැති කාන්තාව නල්ලන්දළුව ජුම්මා මුස්ලිම් පල්ලියට කැදවා ඉස්ලාම් ආගමික ශරියා නීතිය අනුව පොල්පිති පහරවල් 100ක් ගැසීමට පල්ලියේ පරිපාලක මණ්ඩලය අණ කර ඇති අතර පහරදීමෙන් පසු එම කාන්තාව හදිසියේ මියගොස් ඇත.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නල්ලන්දළුව ජුම්මා පල්ලියේ පරිපාලනයට සම්බන්ධ තාජුර් මුනීර්, අබ්දුල් කාදර් අබ්දුල් සතාර්, ආදම්පුල්ලේ මොහමදුරාපි, සෙයිනුල් ආබ්දීන් තවුෆිකා යන සැකකරුවන් සිවුදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියෝග කර ඇත.

http://www.colombotoday.com/23899-2528858/

Wednesday, October 19, 2016

ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත සරසවිය කැලණිය විශ්වවිද්‍යාලය පොලිතින් භාවිතයෙන් ඉවත් වෙයි!

ස්‌වාභාවික සම්පත් සුරක්‌ෂිත කරමින් මානව පැවැත්ම සඳහා යෝග්‍ය පරිසරයක්‌ නිර්මාණය අරමුණින් හරිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන විශ්වවිද්‍යාලයක්‌ ලෙස කැලණිය විශ්වවිද්‍යාලය පසුගිය 2014 වර්ෂයේ දෙසැම්බර් හඳුන්වා දෙනු ලැබිණි. මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී විශ්වවිද්‍යාලයීය මට්‌ටමින් පමණක්‌ නොව ජාතික වැදගත්කමක්‌ සහිත පරිසර හිතකාමී පියවර රැසක්‌ කැලණිය විශ්වවිද්‍යාලය මගින් හඳුන්වා දී තිබේ. මෙම හරිත සංකල්පය ක්‍රියාත්මක වීමත් සමග විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති අතර වැදගත් එකක්‌ වන්නේ විශ්වවිද්‍යාලයේ පොලිතින් භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් වීමයි. මේ පිළිබඳ විද්‍යා පීඨයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයන අංශයේ හා හරිත ක්‍රියාකාරී කමිටුවේ සභාපති ආචාර්ය යූ.පී.කේ. ඈපා මහතා සමග සිදුකළ සාකච්ඡාවේ සටහන මෙසේ දක්‌වමු.

පොලිතින් භාවිතය නිසා ඇති වී ඇති පාරිසරික ගැටලුවේ ස්‌වභාවය කෙබඳු ද? 

 ආචාර්ය යූ.පී.කේ. ඈපා
හරිත කමිටු සභාපති 
ප්‍රධාන ලෙස ආහාර එතීමට, ආහාර සහ නොයෙකුත් දෑ ගෙන යැම සඳහා පොලිතින් කවර හා උර භාවිත කෙරෙනවා. මෙහි අවාසනාවන්ත පැතිකඩ වන්නේ දැනට අප වැඩි වශයෙන් භාවිත කරන පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ වර්ග බොහොමයක්‌ ස්‌වාභාවිකව දිරාපත් වීමට ලක්‌ නොවීමයි. මෙම දිරාපත් නොවන කසළ සාමාන්‍යයෙන් ස්‌වාභාවිකව දිරාපත් වීමට අවශ්‍ය තත්ත්වයට පත්වීමට අවුරුදු 400 ක්‌ පමණ ගත වෙනවා.

පොලිතින් භාවිතය නතර කිරීමට පෙර සිදු කළ අධ්‍යයනයේ දී විශ්වවිද්‍යාලයේ පමණක්‌ දිනකට දිරාපත් නොවන අපද්‍රව්‍ය 100 නට පමණ එකතු වෙනවා. එහිදී මාසයක්‌ දී දිරාපත් නොවන පොලිතින් 3000 නට පමණ ද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම සිදු වෙනවා. මේ නිසා පොලිතින් භාවිතය නුදුරේ දී විශ්වවිද්‍යාලයට පමණක්‌ නොව සමස්‌ත රටට ම පාරිසරික ගැටලු මෙන් ම සෞඛ්‍ය ගැටලු රාශියකට ම හේතු විය හැකි පෙන්වාදිය හැකියි. 

පොලිතින් භාවිතයෙන් ඇතිවිය හැකි පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු මොනවාද?

පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනය කර ඇත්තේ වයිනයිල් ක්‌ලෝරයිඩ්, ඩයොක්‌සින්, බෙන්සීන්, බිස්‌ෆිනොල්, ෙµdaමැල්ඩිහයිඩ් සහ නොයෙකුත් රසායන ද්‍රව්‍යවල එකතුවෙන්. මේවායින් බොහෝමයක්‌ නොනැසී පවතින කාබනික දූෂණ කාරක (Persistent
Organic pollutants- Pops) ලෙස හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව බිස්‌ෆිනොල් A වැනි රසායන ද්‍රව්‍ය දැනට ඇමෙරිකානු පරිසර ආරක්‌ෂණ කාර්යාංශය මගින් පිළිකාකාරක, ස්‌නායු නාශක සහ හෝමෝන නාශක රසායන ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන තිබෙනවා.

 එබැවින් මෙම රසායන ද්‍රව්‍ය ප්‍රමාණවත් කාලයක්‌ නාසය, මුඛය සහ චර්මය හරහා නිරාවරණය වූ විට විවිධ රෝගවලට මුහුණ දීමට සිදු වෙයි. මේ අතර පිළිකා, හෝමෝන අක්‍රමිකතා, වඳභාවය සහ ස්‌නායු දුර්වලතා ඇති වීමේ අවදානම පවතිනවා.

පොලිතින් දහනයට ලක්‌ වූ විට වායු දූෂණය සිදු වීම වන අතරම මෙමගින් කාබන් මොනොක්‌සයිඩ් වැනි ඉතාමත් විෂ සහිත වායු නිදහස්‌ වීමෙන් ශ්වසන ආබාධ ඇති වීම වැළැක්‌විය නොහැකියි. ස්‌වාභාවික ලෙස දීර්ඝ කාලයක්‌ තිස්‌සේ හිරු එළිය මගින් පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ වියෝජනයට ලක්‌වුවත් එමගින් ප්ලාස්‌ටික්‌ ධූලි වායුගෝලයට එකතු වීම මගින්ද ශ්වසන ආබාධ ඇති විය හැකියි.

එසේම දිරාපත් නොවන කසළ එක්‌රැස්‌ වීම සිදු විම හේතුවෙන් පස දුෂණයට ලක්‌ වීම සහ පස නිසරු වීම සිදුවෙනවා. ප්ලාස්‌ටික්‌ සහ පොලිතින් පසට එකතු වූ පසු එමගින් විවිධ විෂ රසායනික ද්‍රව්‍ය නිකුත් කරනවා. මෙම විෂ රසායනික ද්‍රව්‍ය අපගේ භූගත ජල මූලාශ්‍රවලට එකතු වීමෙන් අප පානයට ගන්නා ජලය විෂ සහිත වීමෙන් විවිධ ආමාශගත රෝග, වකුගඩු රෝග වැනි නොයෙකුත් රෝග ඇති වෙනවා. 

ප්ලාස්‌ටික්‌ වර්ග දිරාපත් වීමේ ශීඝ්‍රතාව වැඩි කරන ක්‌ෂුද්‍ර ජීවින් පසෙහි ජීවත් වෙනවා. නමුත් ප්ලාස්‌ටික්‌ දිරාපත් වීමේ ක්‍රියාවලියේ දී උත්පාදනය කරන මීතේන් වායුව මගින් ගෝලීය උණුසුම් වීමේ ශීඝ්‍රතාව ද ඉහළ දැමීමට වක්‍රාකාරව බලපා තිබෙනවා.

එසේම අප බැහැර කරන බොහොමයක්‌ ප්ලාස්‌ටික්‌ සහ පොලිතින් පහසුවෙන් ජල මූලාශ්‍රවල තැන්පත් වෙනවා. ඒවා මගින් බිස්‌ෆිනොල් A, පොලිස්‌ටිරින් වැනි විෂ රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වීමෙන්, ආහාර මගින් නැවත අපගේ ශරීරයට ඇතුළු වීමේ අවදානම තිබෙනවා. එසේම එමගින් ජලජ ජීවීන්ට සිදුවන්නේ විශාල හානියක්‌. එපමණක්‌ නොව දිරාපත් නොවන පොලිතින් කසළ එක්‌රැස්‌ වීමෙන් විවිධ සතුන් ඉවතලන පොලිතින් ආහාරයට ගැනීම හේතුවෙන් ජෛව විවිධත්වයට හානි පැමිණීම සිදුවෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලය මගින් පොලිතින් භාවිතය අවම කිරීමට ගෙන ඇති පියවර මොනවාද? 

පාරිසරික පැවැත්මේ ස්‌ථිරභාවය තහවුරු කිරීම උදෙසා විශ්වවිද්‍යාල භූමියෙන් පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ භාවිතය අවම කිරීමට ගත් එක්‌ පියවරක්‌. එය අපට පමණක්‌ නොව මතු පරම්පරාවෙත් පැවැත්ම තහවුරු කිරීම හේතු වෙනවා. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාලය මගින් සිදුකරන සියලු අධ්‍යයන කටයුතුවල දී, මිල දී ගැනීම්වල දී මෙන් ම ඉදිකිරීම් කටයුතු වල දී පරිසර හිතකාමී අයුරින් ක්‍රියාකිරීමට සැලසුම් සකස්‌ කර තිබෙනවා.

එහිදී පොලිතින් භාවිතය සම්පුර්ණයෙන් විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට තීරණය කෙරුණා. ඒ වෙනුවෙන් උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්‌ඩාර මහතා විසින් 2016 සැප්තැම්බර් මස 01 දින සිට විශේෂ චක්‍රලේඛයක්‌ මගින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පොලිතින් භාවිතය තහනම් කර තිබෙනවා. ඒ අනුව විශ්වවිද්‍යාලයට පොලිතින් මිලදී ගැනීම, රැගෙන ඒම, භාවිතය නොකළ යුතු වෙනවා. නව දහසක්‌ (9000) පමණ වන විද්‍යාර්ථින්, ආචාර්යවරුන් හා අනෙකුත් අනධ්‍යයන පිරිස්‌ මෙය මනා අබෝධයෙන් යුතුව පිළිපැදීමට කටයුතු කරනවා. මෙම පියවර ගැනීමට ප්‍රථමව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම්, ආචාර්ය සංගම් හා සේවක සංගම් සමග සාකච්ඡා කරමින් එකඟතා ඇති කරගනු ලැබුවා. 

ආහාර ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් පොලිතින් හැර වෙනත් පරිසර හිතකාමී ආදේශක භාවිතය පිළිබද මෙහිදී අවධානය යොමු වුණා. එහිදී විශ්වවිද්‍යාලයේ ආපන ශාලා දොළහක්‌ (12) පමණ තිබෙනවා. සතියකට මෙහි ආහාර ඇසුරුම් කිරීම සඳහා පොලිතීන් පනස්‌දහස (50000) ඉක්‌මවා භාවිත කරනවා. මෙහිදී මේ වෙනුවට ආහාර ඇසුරුම් කිරීම සඳහා කඩදාසි භාවිතය යොමු වී තිබෙනවා. එසේම ආපනශාලාවලින් ආහාර ගැනීමේදී ඒ සඳහා මළ නොබැඳෙන වානේ පිගන් හඳුන්වා දීම සිදු කළා. එසේම ආපන ශාලාවෙන් ආහාර බැහැරව ගෙන යාමේදී ඒ සඳහා කෑම පෙට්‌ටියක්‌ භාවිත කිරීමේ එකගතා ඇති කර ගනු ලැබුවා. 

මීට අමතරව විශ්වවිද්‍යාලයේ දිරාපත් නොවන ද්‍රව්‍ය භාවිතය අවම කිරීමට ගෙන ඇති පියවර මොනවාද?

මෙහිදී විශ්වවිද්‍යාලයේ පවත්වන උත්සව හා සම්මන්ත්‍රණ සඳහා ප්ලාස්‌ටික්‌ වතුර බෝතල් ගෙන ඒම සම්පූර්ණයෙන් ම නතර කර තිබෙනවා. බෝතල් කළ ජලය මිල දී ගන්නවාට වඩා පානය කිරීමට අවශ්‍ය පිරිසිදු කළ ජල පෙරහනු යන්ත්‍ර සෑම පීඨයක ම සවි කර තිබෙනවා. මීට අමතරව ඉවතලන විද්යුත් අපද්‍රව්‍ය ඒකරාශී කරගැනීමේ වැඩපිළිවෙලක්‌ ද විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වෙනවා. 

ඉදිරියේදී අප බලාපොරොත්තු වන්නේ අපද්‍රව්‍ය ලෙස ඉවතලන ද්‍රව්‍ය හැකිතාක්‌ අවම මට්‌ටමකට ගෙන ඒමයි. මේ වන විට බෝතල් කළ ජලය මිලදී භාවිතය නතර කළ නිසා පානීය ජල බෝතල සඳහා වන වියදම බොහෝ අඩු වී තිබෙනවා. එසේ ම, කසලවල ප්ලාස්‌ටික්‌ ප්‍රමාණය ඉතා අවම මට්‌ටමක පවතිනවා.

දිරාපත් නොවන ද්‍රව්‍ය භාවිතයට යොමුවීම අවම කරගැනීමෙන් විශ්වවිද්‍යාලය අත්කරගත් ප්‍රතිලාභ මොනවාද? 

පොලිතින් භාවිතය අවම කර තිබෙන නිසා කසල ලෙස ඒකරාශී වන පොලිතින් ප්‍රමාණය අවම වී තිබෙනවා. මේ වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයේ මාසයක්‌ ඇතුළත අපද්‍රව්‍ය ලෙස ඒකරාශී වන ලක්‌ෂ දෙකක පමණ පොලිතින් ප්‍රමාණයක්‌ අවම වී තිබෙනවා. එසේම දැනට කසල ලෙස ඉවතලන කඩදාසි, ආපන ශාලාවල මුළුතැන්ගෙයි දිරාපත් වන ද්‍රව්‍ය හා ගස්‌වල කොළ වර්ග යි. මේ සියල්ල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ විශ්වවිද්‍යාලය සතු වෙනවා. 

මේ වන විට ක්‍රියාත්මක දිරාපත් වන ද්‍රව්‍ය වලින් නිෂ්පාදිත කොම්පොස්‌ට්‌ පොහොර විශ්වවිද්‍යාලයේ සියලු උද්‍යාන කටයුතු සඳහා භාවිත කිරීමේ හැකියාව උදා වී තිබෙනවා. කිසි විටෙක්‌ ඒ සඳහා අවශ්‍ය පොහොර මිලදී ගන්නේ නෑ. මීට අමතරව වගා සඳහා අවශ්‍ය කොම්පෝස්‌ට්‌ අලවි කිරීමට විශ්වවිද්‍යාලයට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් පහක (05) කොම්පෝස්‌ට්‌ බෑගයක්‌ රුපියල් අසූ පහක්‌ (85) වැනි මිලකට ලබා ගත හැකියි. මෙම පොහොර ඇසුරුම් කිරීම සඳහා කිසි විටෙකත් පොලිතින් උර භාවිත කරන්නේ නැහැ. ඒ වෙනුවට ඉවතලන රෙදි වලින් නිර්මාණය කළ බෑග් එකක්‌ භාවිත කර තිබෙනවා. එය නැවත පොහොර රැගෙන යාමේ දී භාවිත කිරීමේදී බෑගයේ මිල අඩු කර පොහොරවලට මිල දී පොහොර ලබා ගැනීමේ හැකියාවක්‌ තිබෙනවා. 

මෙම කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනය ශීඝ්‍ර කරගැනීමට ජපානයේ 'ටකකූරා' ක්‍රමවේදය භාවිත කරනවා. එයින් පෙරහනයක්‌ මගින් පොහොර හලා, පස්‌වල ඇති ජල ප්‍රතිශතය අවම කර අතිශය කුඩා කොටස්‌ වශයෙන් පොහොර සකස්‌ කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඉන් මෙරට ජනතාවට වියදම් කරන මුදලට වඩා උසස්‌ තත්ත්වයේ පොහොර ලබා ගැනීමට හැකියාව පවතින අතරම විශ්වවිද්‍යාලයට අමතර ආදායමක්‌ රැස්‌ කිරීමට අවස්‌ථාව ලැබී තිබෙනවා. එසේම කසල වෙන් වෙන් වශයෙන් බැහැර කිරීම නිසා විශ්වවිද්‍යාල භූමියේ පවිත්‍රතා කටයුතු කාර්යක්‌ෂමව සිදු කිරීමේ හැකියාව උදා වී තිබෙනවා.

පරිසර හිතකාමී වැඩපිළිවළ සඳහා පවතින අභියෝග හා ඊට අනුගමනය කළ හැකි පියවර මොනවාද?

විශ්වවිද්‍යාලයට බැහැරින් පැමිණෙන පිරිස්‌ ගෙන එන දිරාපත් නොවන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම අප සතු මීළඟ අභියෝග යයි. එය අවම කිරීමට අප සතු යෝජනා කිහිපයක්‌ තිබෙනවා.

මේ වෙනුවෙන් භාවිත කළ හැකි විකල්ප ක්‍රම රැසක්‌ අප හඳුන්වා දී තිබෙනවා. එහිදී උදෑසන සහ දිවා ආහාරය නිවසින් සකසා ගෙන එන්නේනම් ඒ සඳහා කෑම පෙට්‌ටියක්‌ භාවිත කිරීම පිළිබඳ අවධානය යොමු කිරීම එක්‌ පියවරක්‌. නමුත් මෙම කෑම පෙට්‌ටිය නැවත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්‌ටික්‌ වලින් නිමවා තිබීම වැදගත් වෙනවා. මේ සඳහා වෙළෙඳ පොළේ නියම ප්‍රමිතීන් අනුව සාදා නිම කර ඇති ප්ලාස්‌ටික්‌ පෙට්‌ටි පමණක්‌ භාවිත කිරීම වඩා යෝග්‍ය යි. දිවා ආහාරය ඇසුරුම් කිරීමට පොලිතින් කවර භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ නම් ඒ සඳහා අලුතින් නිෂ්පාදනය කර ඇති ඉක්‌මනින් දිරාපත් වන පොලිතින් පමණක්‌ භාවිත කිරීමට යොමුවුවහොත් වැඩි ඝනකමකින් නිෂ්පාදනය කර ඇති නැවත භාවිත කළ හැකි පොලිතින් පමණක්‌ භාවිත කිරීම වැදගත් වෙනවා.

විශ්වවිද්‍යාල ආපන ශාලාවේ සිට ඔබේ කාර්යාලයට ඔබ ආහාරය රැගෙන යන්නේ නම් ඒ සඳහා පොලිතින් කවර භාවිත නොකිරීමත් ඒ සඳහා විකල්ප ක්‍රමවේද භාවිත කිරීම කළ හැකියි. මේ සඳහා ඔබට දිගු කලක්‌ භාවිත කළ හැකි රෙදි බෑගයක්‌ යොදාගත හැකියි. මීට අමතරව ඔබට ඉවතලන කඩදාසි මගින් නිමවූ ඝනකම කවර භාවිත කළ හැකියි. විශ්වවිද්‍යාල පරිශ්‍රයේ රැඳී සිටින අවස්‌ථාවලදී ඔබගේ සුළු ආම්පන්න රැගෙන යැමට පොලිතින් කවර භාවිත නොකර ඒ සඳහා විකල්ප ක්‍රම භාවිත කළ හැකියි. රෙදි බෑග්, ගෝනි බෑග් වැනි නිර්මාණාත්මක නිමැවුම් භාවිත කළ හැකියි. ඒවා මගින් පරිසරයට ආරක්‌ෂාවක්‌ ලබා දෙනවා මෙන්ම ඔබ අනෙක්‌ සියලු දෙනාට ආදර්ශයක්‌. ඔබ පොලිතින් සහ ප්ලාස්‌ටික්‌ විශ්වවිද්‍යාලය තුළට රැගෙන එන්නේනම් එය විශ්වවිද්‍යාල භූමිය තුළ බැහැර නොකිරීම වැදගත් වෙනවා. ඔබ රැගෙන එන වතුර බෝතලය වීදුරු වලින් නිමවා ඇත්නම් වඩාත් යෝග්‍ය වෙනවා. නැතිනම් මේ සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්‌ටික්‌ වලින් නිමවා ඇති නැවත භාවිතයට ගත හැකි ආරක්‌ෂිත වතුර බෝතල් පමණක්‌ භාවිත කළ හැකියි. 

මේ වන විට විශ්වවිද්‍යාලයේ රැස්‌වන දිරාපත් නොවන අපද්‍රව්‍ය ඒකරාශී වීම අවම කර ගැනීමේ කාර්යයට විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්‌ඩලය, විද්‍යාර්ථින් හා අනධ්‍යයන සේවක මහත්වරුන් ඉතාමත් අවබෝධයෙන් සහයෝගය පළකර තිබෙනවා. මේ සියලු දෙනා අවබෝධයෙන් පරිසර හිතකාමී චර්යා පවත්වාගැනීමට ගන්නා උත්සාහය අගය කළ යුතුයි. පරිසරයේ පවත්නා සමතුලිතභාවය ආරක්‌ෂා කරගනිමින් පරිසර හිතකාමී වැඩපිළිවෙළක්‌ ආරම්භ කිරීමට මූලික පියවර ගැනීම ඉතා අපහසු කාර්යයක්‌ වන්නේ, කාර්යබහුල ජීවන රටාවක හුරුවීම නිසා සියල්ල පහසුවෙන් සිදු කිරීමයි. නමුත් අපේ පහසුව සඳහා භාවිත කරන දිරාපත් නොවන ද්‍රව්‍ය මගින් පාරිසරික හා සෞඛ්‍ය ගැටලු රැසකට මූලාරම්භය විය හැකියි. එයින් ලොව ගලවා ගැනීමට පළමුව කළ යුත්තේ අප එක්‌ එක්‌ අයෙකු වශයෙන් නිවැරදි පරිසර හිතකාමී චර්යා ලෙස අනුගමනය කිරීමයි. අද විශ්වවිද්‍යාලයක්‌ වශයෙන් තබන පරිසර හිතකාමී පිළිවෙත පිළිබඳ පණිවිඩය අපේ විද්‍යාර්ථින් හෙට රටේ සියලු ජනතාව වෙත ගෙන යනු ඇතැයි අප විශ්වාස කරනවා.

සංවාද සටහන - අමාලි උත්පලා නන්දසිරි, ජනසන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය
http://www.divaina.com/2016/10/18/feature02.html

දේශයට ජාතියට ණය ගෙවූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා

1930 ගණන්වලදී කළුගඟට දකුණු දෙසින් පිහිටි භූමියේ ගාලු පාරට නැගෙනහිර දෙසින් පිහිටි බිමෙහි දිසාපති නිල නිවාසය හා කළුතර කච්චේරිය ඇතුළු රජයේ ආයතන පිහිටා තිබුණ අතර ගාලු පාරට බටහිර දෙසින් ඇති පහළ මළුව වශයෙන් හැඳින්වෙන ස්‌ථානයේ අනාරක්‍ෂිතව පැවැති බෝධියට ප්‍රදේශවාසීන් විසින් පුද පූජා පවත්වා ඇත. මෙම ස්‌ථානයේ වටිනාකම හඳුනාගත් සිරිල් ද සොයිසා මහතා මෙහි මල් ආසනයක්‌ ඉදිකරවීමෙන් පසුව මෙම භූමියේ සංවර්ධන කටයුතු ආරම්භ වී ඇත. එම සංවර්ධන කටයුතු ඉටු කිරීමේදී එවකට දිසාපති බංගලාවේ පදිංචිව සිටි සුදු ජාතික දිසාපතිවරයාගෙන් ද විටින් විට බාධා එල්ල වී ඇත. එහෙත් නීතිඥයකු වූ සිරිල් ද සොයිසා මහතා ඒ සියල්ල මැඩපවත්වා ගනිමින් කළුතර බෝධිය අද පවත්නා තත්ත්වයට පත් කරලීමට ඉමහත් වෙහෙසක්‌ දරා ඇත. 

මෙම ස්‌ථානයේ පාලනය ගෙන යැම සඳහා "කළුතර බෝධි භාරකාර මණ්‌ඩලය" පිහිටුවීම එතුමා විසින් ගන්නා ලද ඉතාම දූරදර්ශි පියවරකි. මෙම භාරය පිහිටුවා ලියාපදිංචි කිරීමෙන් ඒ සඳහා නිත්‍යානුකූල භාවයක්‌ ලබාදී ඇති අතර, පාලන කටයුතු ගෙන යැම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග එහි මැනවින් සඳහන් කර ඇති බැවින් මෙම ස්‌ථානයේ පාලනය ඉතාමත් විනිවිදභාවයකින් යුතුව කර ගෙන යැම ට අවස්‌ථාව සැලසී ඇත. එවකට මෙරට තුළ කීර්තිනාමයන් දැරූ රට පිළිගත් විද්වතුන් 8 දෙනකු සාමාජිකයන් ලෙස පත් කරමින් බෝධි භාරකාර මණ්‌ඩලය ස්‌ථාපනය කොට ඇත. මේ ස්‌ථානයේ සංවර්ධන කටයුතු සඳහා එතුමාගේ පෞද්ගලික ධනය විශාල වශයෙන් වැය කර ඇති අතර, බැතිමත් ජනතාවටද සහභාගි විය හැකි වන පරිදි "පිංකැට" මගින් පුණ්‍යාධාර ලබා ගැනීමට කටයුතු කරන ලදී. මෙම පූජනීය ස්‌ථානය ක්‍රම ක්‍රමයෙන් දියුණුවට පත්වන විට යාබද පිහිටි කළුතර නගර සභා කාර්යාලය පිහිටි ඉඩම ද මේ සඳහා ලබා ගැනීමට කටයුතු කරන ලදී. ඒ සඳහා දැනට ද කළුතර නගර සභාව පවත්වාගෙන යන ගොඩනැඟිල්ල, නගර සභාවට ඉදිකරදී එම ඉඩමද නිදහස්‌ කරගෙන සංවර්ධනය කර ඇත.

වසර 2300 ක්‌ පමණ පැරණි අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ, දෙතිස්‌ පලරුහ බෝධීන් වහන්සේ නමක්‌ බව විශ්වාස කරන ප්‍රධාන පාරට නැගෙනහිර දෙසින් කඳු ගැටය මත පිහිටා ඇති බෝධීන් වහන්සේ සහිත භූමිය නිදහස්‌ කර ගැනීම සඳහා එම ඉඩමේ තිබුණ කළුතර දිසාපති මැදුර හා කච්ෙච්රිය වෙනුවට සිරිල් ද සොයිසා මහතාට අයත් පෞද්ගලික නිවසක්‌ සහ නාගොඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමක්‌ ලබාදී ඇති අතර, එහි කළුතර කච්ෙච්රිය සඳහා අදාළ ගොඩනැඟිලි ඉදිකර දීමෙන් පසුව 1970 වර්ෂයේදී එම ඉඩම නිදහස්‌ කරගෙන ඇත. දැනට එම භූමියේ ඉදිකර ඇති දර්ශනීය වටදාගෙය සහිත චෛත්‍ය කළුතර නගරයටම අලංකාරයක්‌ වන අතර, කළුතර හඳුන්වනු ලබන ප්‍රධාන සංකේතය බවටද පත්ව ඇත. එසේම කළුතර බෝධි භාරකාර මණ්‌ඩලය විසින් බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය සඳහා අදටත් ඉදිරියටත් ඉටු කරවනු ලබන සේවාව අගය කළ යුත්තේ එතුමාට පුණ්‍යානුමෝදනා කරවමිනි.


කතරගම ඓතිහාසික කිරිවෙහෙර ප්‍රතිසංස්‌කරණ කටයුතු අඩපණ වී ඇනහිට තිබූ අවස්‌ථාවේ එතුමා කිරිවෙහෙර ප්‍රතිසංස්‌කරණ සමිතියේ සභාපතිත්වය භාරගෙන පෞද්ගලිකව එම කටයුතු මෙහෙයවමින් එම කාර්ය නිම කරවා ඇත. 1960 සිට 1978 දක්‌වා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති වශයෙන් පුරා අවුරුදු 19 තිස්‌සේ කටයුතු කළ කාලය තුළ කොළඹ කොටුවේ තරුණ බෞද්ධ සමිති ගොඩනැඟිලි සංකීර්ණය හා බොරැල්ලේ තරුණ බෞද්ධ සමිතියේ ප්‍රධාන කාර්යාල ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකරවීමටද කටයුතු කර ඇත.

අළුත්ගම කන්දෙ විහාරය, පානදුර පිංවත්ත සද්ධර්මාකර පිරිවෙන, බම්බලපිටිය වජිරාරාමය, හුණුපිටිය ගංගාරමය, බෙල්ලන්විල රජමහා විහාරය, කුප්පියාවත්ත ජයශේඛරාරාමය වැනි විහාරස්‌ථාන රාශියක සංවර්ධන කටයුතු සඳහා ආධාර ලබාදී ඇත. ලන්ඩන් බෞද්ධ විහාරය සහ සැවැත්නුවර ආනන්ද බෝධියේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා ද එතුමා මැදිහත්වී ඇත.


එතුමා ආරම්භ කළ "ස්‌වර්ණපාලි බස්‌ සමාගම" විසින් එවකට කොළඹ සිට ගාල්ල දක්‌වා මගී බස්‌ රථ සේවාවක්‌ සපයන ලදී. පසුව මෙය "සවුත් වෙස්‌ටන් බස්‌ සමාගම" බවට පරිවර්තනය විය. මෙම බස්‌ රථ සමාගම ද අති විශාල රැකියා අවස්‌ථා ප්‍රමාණයක්‌ ජනිත කර තිබිණි. 1957 බස්‌ ජන සතු කළ අවස්‌ථාවේදී, සියලුම බස්‌ රථ අලුත්වැඩියා කර ගෙවුණු ටයර් වෙනුවට අලුත් ටයර් යොදා රජයට භාරදෙන ලෙස, ඒ වනවිට මෙම බස්‌ රථ සමාගමේ සභාපතිවරයාව සිටි තම සහෝදර ටී. ටී. ද සොයිසා මහතාට එතුමා විසින් උපදෙස්‌ දී තිබුණ බව එවකට ප්‍රසිද්ධ කරුණක්‌ විය.

මීට අමතරව සිය ගම් ප්‍රදේශය වන බලපිටියේදී ගම්වාසීන් 1500 කට පමණ රැකියා ලබාදෙමින් අත් යන්ත්‍ර පේෂකර්ම කම්හලක්‌ ඔහු ආරම්භ කළේය. දිනකට පැය 16 ක්‌ වැඩ කළ ඔහු තම සේවකයන්ගෙන් ද පැය 08 ක කාර්යක්‍ෂම හා අවංක සේවයක්‌ බලාපොරොත්තු විය.

එතුමන්ගේ සේවාවන් අතර තවත් අමතක කළ නොහැකි කාර්යයක්‌ වන්නේ එතුමන් විසින් කළුතරට දායාද කර ඇති කළුතර විද්‍යාලය සහ කළුතර බාලිකා විද්‍යාලය වශයෙන් හැඳින්වෙන බාලක හා බාලිකා විදුහල් දෙක කළුතර නගරයේ ප්‍රධානම සහ ජනප්‍රියතම පාසල් දෙක වශයෙන් පිළිගැනේ. මේ පාසල්වල උගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද දිවයිනේ විවිධ ක්‍ෂේත්‍රවල විශිෂ්ට සේවාවන්හි නිරතවී ඇති අතර, මෙම විදුහල්වලදී දැනටත් නිරතුරුවම සිරිල් සොයිසා මහතා කෘතගුණ පූර්වකව අනුස්‌මරණය කරති.

ඉහත සඳහන් සියලු සමාජමය හා ව්‍යාපාරික කාර්යයන් ඔහු විසින් ඉටු කරන ලද්දේ වුවද ඔහු වෘත්තියෙන් නීතිඥයකු විය. දක්‍ෂ අපරාධ නීතිඥයකු වශයෙන් කළුතර ප්‍රදේශය තුළ කැපී පෙණුන ඔහු වසර 09 ක්‌ ලංකා නීතිඥ සංගමයේ සභාපති වශයෙන් ද නොමැකෙන මෙහෙයක්‌ ඉටු කර ඇත. කොළඹ උසාවි සංකීර්ණයේ නීතිඥ සංගම් ගොඩනැඟිල්ල ඉදිකරන ලද්දේ ද එතුමා නීතිඥ සංගමයේ සභාපති වශයෙන් කළ වකවානුවේදීය.

මෙතුමා ක්‍රියාකාරී දේශපාලනයේ නියෑලුන අයෙකු නොවුවද ඔහුගේ හැකියාවන් හා සමාජ පිළිගැනීම පිළිබඳව සලකා එවකට පිහිටුවා තිබූ උත්තර මන්ත්‍රී මණ්‌ඩලය ලෙසින් හැඳින් වුණ සෙනෙට්‌ සභාවේ සාමාජිකයකු ලෙස එතුමා පත් කරන ලදී. (සෙනෙට්‌ සභාව පිහිටුවා තිබුණේ මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට කැමැත්තක්‌ නොදැක්‌වෙන එහෙත් දේශයට, ජාතියට සේවයක්‌ කළ හැකි සමාජය පිළිගත් දක්‍ෂ අයවලුන්ගේ නියෝජනයක්‌ රාජ්‍ය පාලනය සඳහා ලබාදීමේ අරමුණෙනි.) පසුව එතුමා සෙනෙට්‌ සභාවේ සභාපතිවරයා වශයෙන් ද තෝරාගනු ලැබීය. 

එතුමා විසින් මේ දේශය වෙනුවෙන් ඉටු කළ සේවාව පිළිබඳව මෙවැනි කෙටි ලිපියකින් කියා නිම කළ නොහැකි හෙයින් මෙහි සඳහන් කරන ලද්දේ ඉතාම කෙටි විස්‌තරයක්‌ පමණි. මෙතුමා ඉන්දියාවේ උපත ලද්දේ නම් අද එතුමා දේවත්වයෙන් සලකා ගරු බුහුමන් ලැබීමට සුදුස්‌සෙකු වනු ඇත. ශ්‍රී ලංකාවට දෙවියකු බඳු වූ මේ මානව හිතවාදියා 1978 ජනවාරි මස 02 වැනි දින අභාවප්‍රාප්ත වුවද එතුමන් විසින් ආරම්භ කළ සද්ක්‍රියාවන් රැසක්‌ තවමත් මෙරට තුළ ඉතා කාර්යක්‍ෂමව එතුමාගේ බලාපොරොත්තු ඉටු කරමින් සාර්ථකව පවත්වාගෙන යනු දක්‌නට ලැබීම සතුටට කරුණකි. 20 වන සියවසේදී ශ්‍රී ලංකාවට අමරණීය සේවයක්‌ ලබා දුන් මේ ජාතික වීරවරයාට ගෞරවය පුද කරමින් එතුමාට ඉතා ඉක්‌මනින්ම ධර්මාවබෝධය ලැබේවා'යි ප්‍රාර්ථනය කරමි. 

කරු ජයසූරිය, කථානායක - ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
http://www.divaina.com/2016/10/16/feature43.html

සබැඳි ලිපි -
[

අසිරිමත් මගක ගිය ශ්‍රීමත් සිරිල් ද සොයිසාhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_9224.html
ශ්‍රීමත් සිරිල් ද සොයියා ගැන වැඩි දෙනා නොදත් කතාවක්‌http://denethharinna.blogspot.com/2015/10/blog-post_50.html
මහ මෙහෙවරක නියමුවා වූ සැබෑ බෞද්ධ නායකයා - ශ්‍රීමත් සිරිල් ද සොයිසාhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_23.htmlඅසිරිමත් මගක ගිය ශ්‍රීමත් සිරිල් ද සොයිසාhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_9224.html
]

ව්‍යායාමෙට ඇවිදිනවා නම් මේ කරුණුත් දැනගන්න... නැත්නම් නැති ලෙඩත් ඇතිවෙයි

අද වනවිට රට පුරාම උදෑසනට සහ සවසට තම ශරීර සුවතාවය සඳහා ඇවිදින පිරිස දැකගත හැකිය.

එසේ වී ඇත්තේ අද බොහෝ දෙනා යතුරු පැදි, මෝටර් රථ ආදිය භාවිතය බහුලව සිදුකිරීමත් එක බස්‌ නැවතුමක්‌ වුව පයින් ගමන් කිරීමට පුරුදුව නොසිටීමත්, ක්‍ෂණිකව සැකසූ ආහාර පාන ගැනීමට හුරුව සිටීමත් නිසා තරබාරුවට පත්ව සිටීම, අධි රුධිර පීඩනයට ලක්‌ව සිටීම හා දියවැඩියාව රෝගයට ගොදුරුව සිටීම නිසාය. ශරීර සුවතාවය සඳහා ඇවිදීමත් දැන් විලාසිතාවක්‌ වී ඇත. ඇතැම් දෙනා ශරීර සුවතාවය සඳහා ඇවිදින්නට යන්නේ උත්සව අවස්‌ථාවකට සහභාගි වන ලෙසිනි. මාල වළළු වලින් සැරසී කොණ්‌ඩා විලාසිතා වලින් යුක්‌තව ඇවිදීමට යන ඇතැම් දෙනා පවසන්නේ මුළු දවසම ගෙදරට කොටුවී සිටින නමුත් එළියට බහින්නේ ශරීර සුවතාවය සඳහා බැවින් එවැනි අවස්‌ථාවකදී හෝ හැඩවැඩවී සිටිය යුතු බවය.

තවත් සමහරු ඇවිදින්නේ අධික සීනි සාන්ද්‍රණයෙන් යුත් බීම වර්ග වල රස බලමිනි.

මෙය ශරීර සුවතාවය සඳහා ඇවිදීමට සුදුසු බීමක්‌දැයි අපි ඒ ගැන විමසා බලමු. ඇවිදීම යනු අපට නොමිලයේ ලබා ගත හැකි ව්‍යායාමයකි. ඒ සඳහා ශරීර සුවතා මධ්‍යස්‌ථානයකට යා යුතු නැහැ. නිරෝගී පා යුගලක්‌ ඇති අයෙකුට පෘථිවියේ වට ප්‍රමාණය මෙන් දෙගුණයක දුරක්‌ ඇවිදිය හැකිය. වයස අවුරුදු සියයක්‌ දක්‌වා වුව හොඳින් ඇවිදිය හැකිය. දිනකට අවම වශයෙන් කිලෝමීටර් 3 1/2 ක උපරිම වශයෙන් කිලෝමීටර් 40 ක්‌ද ඇවිදිමේ හැකියාව අප දෙපා සතුව තිබේ.

ඇවිදීමට ගැලපෙන පාවහන්

අපට දිනපතා නිරෝගීව ඇවිදීමට හැකියාව උදාකර ගැනීමට නම් ඇවිදීම නිසා දෙපාවලට සිදුවිය හැකි අනතුරු අවම කරගත යුතුය.

ඒ සඳහා නම්‍යශීලී ක්‍රීඩා සපත්තු දෙකක්‌ භාවිතා කල යුතුය. එම සපත්තුවේ අඩිය අඟල් 1/2 ක්‌ හෝ අඟලක්‌ පමණ තිබිය යුතුය. සෙරප්පු, අඩි උස සපත්තු, අඩිය ඉතා තුනී ක්‍රීඩා සපත්තු සහ දෙපාවලට සිරවන ලෙස සැකසුනු පාවහන් ඇවිදීම සඳහා සුදුසු නැත. ඉන් සිදුවන්නේ ඇවිදීම නිසා දණහිස්‌වලට අධික පීඩනයක්‌ ඇතිවීම නිසා දණහිස්‌ ආබාධ ඇතිවීමය.

ඇඳුම්, පැළඳුම්

ඇවිදීම සඳහා යොමුවීමේදී කපු යට ඇඳුම් භාවිතා කළ යුතුය. කාන්තාවන් තම තන පට සඳහා ක්‍රීඩා තනපට (Sචදරඑ ඊර්) භාවිතා කිරීමට යොමු විය යුතුය. ඇවිදීම සඳහා ඇඳුම් තෝරා ගැනීමේදී සුදු පැහැති ඇඳුම් භාවිතය වඩාත් සුදුසුය. ඉන් හිරුඑළිය පරාවර්තනය කිරීම නිසා ශරීරයට අනවශ්‍ය උණුසුමක්‌ ඇති නොවේ.

ඇවිදීමේදී දෙපා පළදින මේස්‌, ලුණු වතුර හෝ උණු වතුර හෝ විෂබීජ නාශකයක්‌ යෙදූ පිරිසිදු ජලයෙන් දිනපතා සෝදා හොඳින් වියළා ගතයුතුය.

එසේ නොවුණහොත් දෙපාවල ඇඟිලි කරු නිතර බැක්‌ටීරියා දිලීර වර්ග මගින් ආසාදනය විය හැකිය.

රූපලාවන්‍ය ආලේප

ඇවිදීමේදී ශරීරය උණුසුම් වී දහදිය ගලන නිසා රූපලාවන්‍ය ආලේප වර්ග ආලේප කර ගැනීම සුදුසු නැත. අවශ්‍ය නම් හිරු එළියෙන් සම ආරක්‌ෂාවීම සඳහා ක්‍රීම් වර්ගයක්‌ සම මත ආලේප කර ගත හැකිය.

ආහාර පාන ගැනීම

ආහාර පාන ගැනීම ඇවිදීම ආරම්භ කිරීමට පැය 1 1/2 කට පෙර ආහාර පාන ගත යුතුය. ඇවිදීමේ යෙදී අවසන් වූ පසු ආහාර ගත යුත්තේ පැයක්‌ පමණ ගතවූ විටය.

ඇවිදීමේදී ශරීරයේ උෂ්ණත්වය ඉහළ ගොස්‌ ඇති නිසා ඇවිදීම අවසන් කළ වහාම ආහාර ගතහොත් ශරීර උෂ්ණත්වය තවත් වැඩිවී හෘදයාබාධ ඇතිවීමට පවා හේතුවේ. ඇවිදීමෙන් පසු පළතුරු යුෂ පානයක්‌ ගත හැකිය. එයත් කැලරි 50 ට අඩු පානයක්‌ විය යුතුය. ඇවිදීමේ ව්‍යායාමයේ යෙදෙන අතර තුර තේ හෝ කෝපි පානය මධ්‍යසාර දුම්වැටි පානය අහිතකරය. ඉන් ශරීරය උත්තේජනය වී ශරීර ක්‍රියාකාරිත්වය ඉහළ යා හැකිය. එවිට රුධිර නාල පුපුරා යැම වැනි භයානක අනතුරුවලට ලක්‌විය හැකිය.

ශරීරය පිරිසිදු කර ගැනීම

ඇවිදීමේ ව්‍යායාම සිදුකිරීමෙන් පසු ස්‌නානය හෝ ඇඟපත සෝදා ගැනීම කළ යුත්තේ පැය භාගයක්‌ පමණ ගිය පසුය. එවිට ශරීරයේ පැවැති අධික ක්‍රියාකාරිත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වේ. ව්‍යායාම කිරීමෙන් පසු ශරීරය පිරිසිදු කර ගැනීම සඳහා භාවිතා කළ යුත්තේ සාමාන්‍ය ඇල් ජලයයි. උණු ජලය හෝ ශීතල ජලය ඒ සඳහා භාවිතා නොකළ යුතුය.

ඇවිදීමේ ව්‍යායාමයේ යෙදීමට පෙර

තම ශරීර බර අඩුකර ගැනීමට, අධිරුධිර පීඩනය පාලනය කර ගැනීමට වැනි කරුණු මූලික කරගෙන ඇවිදිනවිට වෛද්‍යවරයකු වෙත ගොස්‌ තම රුධිර පීඩනය හදවතේ ගැස්‌ම පරීක්‍ෂා කරගත යුතුය.

උපදෙස්‌ : එංගලන්තයේ රාජකීය ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ මානව චාලක විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න, සකස්‌ කළේ - උපාලි ද සේරම්
http://www.divaina.com/2016/10/16/feature39.html

ජිනීවා යෝජනා තුළ ඇති රට අරාජික කිරීමේ සැලසුම මෙන්න - නීතිඥ කල්‍යානන්ද තිරාණගම

වැඩිම යුද අපරාධ චෝදනා පොලිසියටයි. පොලිස්‌ නිලධාරිනියන්ටත් ලිංගික අපචාර චෝදනා!

ජිනීවා මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ ඇති ඇතැම් යෝජනා මේ වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ වී තිබෙනවා. යුද්ධය හා සම්බන්ධ නැති බොහෝ දේ මේ යෝජනා මාලාව හරහා ක්‍රියාත්මක වෙමින් පවතින බව මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. දිවයින ඉරිදා සංග්‍රහය ඒ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකි මේ.

ජිනීවා යෝජනා ක්‍රියාත්මක වීම දැන් ආරම්භ වී තිබෙනවා. අතුරුදන්වූවන් පිළිබඳ පිහිටුවූ කාර්යාලය මෙන්ම ත්‍රස්‌තවාදී මර්දන පනත අහෝසි කිරීම ක්‍රියාත්මක වූ එවැනි යෝජනා දෙකක්‌. මේවා ක්‍රියාත්මක වීම රටේ ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌ බව ඇතැමුන් දරන මතයක්‌?

අපේ රටේ සාමාන්‍ය මහ ජනතාව හිතාගෙන ඉන්නේ මේ යෝජනා ක්‍රියාත්මක වීම බලපාන්නේ යුද්ධයේ අවසන් සමයේ ක්‍රියාන්විතයේ සිටි යුද හමුදා සාමාජිකයන්ට හා හමුදා ප්‍රධානීන්ට බවයි. එය සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්‌. යුද්ධය හා සම්බන්ධ නැති බොහෝ දේ මේ යෝජනා මාලාව තුළ තිබෙනවා. ඒවා දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

යුද්ධය හා සම්බන්ධ නැති, රටේ ආරක්‌ෂාවට බලපාන මේ යෝජනා මාලාවේ ඇති කරුණු මොනවාද?

මේ යෝජනා මාලාව ඇමරිකාව ඇතුළු බටහිර රටවල අවශ්‍යතාව මත සැකසුනු එකක්‌. එහි අරමුණ පවතින ආණ්‌ඩුවට බලපෑම් කිරීම. මේ යෝජනා මාලාව ක්‍රියාත්මක නොකළොත් දඬුවම් විඳීමට සිදුවන බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලියි. බටහිර රටවල තිබෙන දේශපාලන උවමනාවන් අපේ රට තුළ ඉටුකර ගැනීමට මේ යෝජනා මාලාව ඔවුන් පාවිච්චි කරනවා. මේ හැම රටකම සිටින දෙමළ ඩයස්‌පෝරාවත් ඊට හවුල් වී සිටිනවා. මේ හැම රටකම පාහේ ශ්‍රී ලංකාවෙන් ගිය ද්‍රවිඩ ජාතිකයන් විශාල පිරිසක්‌ ඉන්නවා. ඔවුන් වැඩිදෙනා යමක්‌ කමක්‌ කළ හැකි උගත් පිරිසක්‌. විවිධාකාරයෙන් ඔවුන්ට මුදල් ලැබෙනවා. මේ හැකියාවන් තුළින් ඔවුන් මේ බටහිර රටවලට ශ්‍රී ලංකාව ගැන විවිධ බලපෑම් කරනවා. එය සංවිධානාත්මකව කරන වැඩක්‌. මේ බලපෑමට අද යම් ආකාරයකට අපේ රටේ පාලන තන්ත්‍රය උඩුයටිකුරු කිරීමේ හැකියාවක්‌ ලැබී තිබෙනවා.

අපේ රටේ පාලන තන්ත්‍රයට ඔවුන් මේවන විට සිදුකර ඇති බලපෑම් මොනවද?

උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවට කරන බලපෑම, මහ බැංකුව පිපිරවීම සහ නොයෙක්‌ පළාත්වල බෝම්බ සවිකර බස්‌ රථ පුපුරවා හැරීම වැනි මහා මිනිස්‌ ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කළ යුතු බවට කරන බලපෑම වැනි දේ පමණක්‌ නොවෙයි, අධිකරණය මගින් ත්‍රස්‌තවාදීන්ට ලබාදුන් දඬුවම් සම්බන්ධයෙනුත් යළි සලකා බලන ලෙස කරන ඉල්ලීම් පවා තිබෙනවා. ජනාධිපතිතුමාට බෝම්බ ගැසූ තැනැත්තා අධිකරණයෙන් දඬුවම් ලැබූ අයෙක්‌. ඔහු නිදහස්‌ කළා.

රජයේ වාර්තාවලට අනුව පමණක්‌ නොව ඔවුන්ගේ වාර්තාවලට අනුවත් දැන් අත්අඩංගුවේ පසුවන්නේ 250 ක්‌ තරම් සැකකරුවන් පිරිසක්‌. ඔවුන් බරපතළ අපරාධ සඳහා සෘජුවම සම්බන්ධ අය. මේ අයත් නිදහස්‌ කරන්න කියලයි ඉල්ලන්නෙ. මේ අය නිදහස්‌ කිරීම පමණක්‌ නෙමෙයි ත්‍රස්‌තවාදී ක්‍රියා සිදුකළ බවට ඔප්පු වී අධිකරණයේදී වරදකරුවන් වූ අයටත් ලබා දී ඇති දඬුවම් ගැන යළි සලකා බලන ලෙසත් ඉල්ලීම් කරනවා. මේවා රටේ පාලන තන්ත්‍රයට කරන බරපතළ බලපෑම්.

ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ යෝජනා තුළින් රටේ ජාතික ආරක්‌ෂාවට බරපතළ තර්ජනයක්‌ එල්ලවන බව ඇතමුන් ප්‍රකාශ කරනවා. එවැනි යෝජනා මොනවද? ඒවා ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌ වන්නේ කොහොමද?

ලෝකයේ වෙනත් රටවල් ත්‍රස්‌තවාදය මර්දනය කිරීම සඳහා පනවා ඇති අණපනත් දෙස බලන විට අපේ රටේ ත්‍රස්‌තවාදී මර්දන පනත බොහොම ලිහිල් එකක්‌. මේ යෝජනා මාලාව තුළ එයත් අහෝසි කරන්නැයි කර ඇති යෝජනාව දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ පනත අහෝසි කළ විට රටේ ජාතික ආරක්‌ෂාව දුර්වල වෙනවා. දැන් නැවතත් රටේ ප්‍රදේශ ගණනාවකින් බෝම්බ සෑදීමට ගන්නා ටී.එන්.ටී. සහ සී 4 වැනි අධිබලැති පුපුරන ද්‍රව්‍ය හසුවී තිබෙනවා. මේ පනත ඉවත් කළවිට මේවා සම්බන්ධව සිදුකරන පරීක්‌ෂණ අඩාල වෙනවා. ත්‍රස්‌තවාදයට අනුබල දෙන්නන් අත්අඩංගුවේ රඳවා පරීක්‌ෂණ සිදුකිරීමට නොහැකි වෙනවා. මේ පනත ඉවත් කිරීම නිසා සාමාන්‍ය අපරාධ නීතිය යටතේ සැකකරුවකුට ලැබෙන වරප්‍රසාද ත්‍රස්‌තවාදී සැකකරුවන්ටත් ලැබෙනවා. එය ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌.

මහජන ආරක්‌ෂක පනතත් ඉවත් කළ යුතු බව මේ යෝජනාවලියේ ඇති තවත් යෝජනාවක්‌. රට හදිසි අවස්‌ථාවකට මුහුණ දුන් විටක හමුදාව කැඳවීමේ හැකියාව තිබෙන්නේ මහජන ආරක්‌ෂක පනතට අනුවයි. 1947 මහා වැඩවර්ජනයක්‌ දියත් වූ අවස්‌ථාවේ මෙම පනත සම්මත කර ගැනීමෙන් පසුවයි අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යැමට හැකිවුණේ. මේ පනත නීතියක්‌ ලෙස පැනවූයේ ඉන් පසුවයි. දැන් මහජන ආරක්‌ෂක පනත තිබෙන්නේ 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ කොටසක්‌ වශයෙනුයි. යම් හෙයකින් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කරන විට එය මෙම ඉල්ලීම මත හෝ එය ඉවත් කළ හොත් හදිසි අවස්‌ථාවකදී හමුදාව කැඳවාගත නොහැකිව රට අරාජික තත්ත්වයකට පත්වෙන්න පුළුවන්.

එසේම අද රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැප වූ හමුදා සාමාජිකයන් සිරගතවීමේ අවදානමකට මුහුණ පා සිටිනවා. මෙය රට වෙනුවෙන් හමුදාවේ කැපවීම අධෛර්යය කිරීමක්‌. ජීවිත පරිත්‍යාගයෙන් අපේ රට රැකගත් හමුදා සාමාජිකයන්ට අද බටහිර රටවල ආරක්‌ෂාව වෙනුවෙන් කැපවීමට සිදුවෙලා. මුහුදු මාර්ග ආරක්‌ෂා කිරීමට අපේ නාවික හමුදාව යෙදවීමේ සූදානමක්‌ තිබෙනවා. ඇමරිකාව ඇතුළු බටහිර රටවලට ඉන්දියානු සාගරය සුරක්‌ෂිත කලාපයක්‌ බවට පත්කිරීම එහි අරමුණයි. ඇමරිකානු විදේශ ආරක්‌ෂක බලඇණිවලට සහය වීමට අපේ ගුවන් හමුදාව යොදවාගැනීමටත් සැලසුමක්‌ තිබෙනවා. පසුගියදා ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමත් මේ හා සම්බන්ධයි. එක්‌සත් ජාතීන්ගේ හමුදා වෙනත් රටවල සිදුකරන කලබගෑනිවලදී ඇතිවන ගැටුම් පාලනය කිරීමට අපේ හමුදා යොදවා ගැනීමටත් සැලසුමක්‌ තිබෙනවා. ඒ අනුව අපේ රට ආරක්‌ෂා කරනවාට වඩා අද අපේ හමුදාවන්ට වෙනත් රාජකාරී පැවරෙමින් තිබෙන බව පෙනෙනවා.

බලහත්කාරයෙන් අතුරුදන් වූවන් පිළිබඳ පනතට අත්සන් තැබීම මේ යෝජනාමාලාවේ තවත් යෝජනාවක්‌. එයින් කියෑවෙන්නේ ආරක්‌ෂක හමුදා සාමාජිකයකු යම් පුද්ගලයකු අත්අඩංගුවට ගත් පසු ඔහු අතුරුදන් වූ බවට එම පුද්ගලයාගේ ඥාතියකු හෝ වෙනත් පුද්ගලයකු පැමිණිල්ලක්‌ කළ හොත් එය ඇත්තක්‌ වුවත් නැතත් එම හමුදා සාමාජිකයා අත්අඩංගුවට ගැනීමේ බලය එම පනතට අත්සන් කර ඇති සියලූම රටවලට හැකියාවක්‌ ලැබෙන බවයි. අපේ රට 2015 දෙසැම්බර් මස එම පනතට අත්සන් කළා. මෙම වසරේ මැයි 16 දා එය සහතික කළා. ඊට සතියකට පසු අපේ රටේ අතුරුදන් වූවන් පිළිබද සොයාබැලීමේ කාර්යාලයක්‌ පිහිටුවීම සඳහා පනතක්‌ ඉදිරිපත් වුණා.

මෙයත් සමගම සිංහරාසා නඩු තීන්දුව ඉවත් කළ යුතු බවට දැන් යෝජනාවක්‌ ඉදිරිපත් වී තිබෙනවා. සිංහරාසා නඩු තීන්දුවෙන් ප්‍රකාශ වූයේ ලංකාවේ නීතියක්‌ පනවන්නේ නැතිව ජාත්‍යන්තර ආඥා පනත් අත්සන් කිරීම වලංගු නොවන බවයි. අපේ රටේ උසාවිය උපරිමාධිකරණය මිස මානව හිමිකම් කොමිසම නෙමෙයි. මේ ජිනීවා යෝජනාවලියෙන් කියන්නේ සිංහරාසා නඩු තීන්දුව ඉවත් කරන්න කියලයි. පසුගියදා අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක්‌ කරමින් එම නඩුතීන්දුව අවලංගු කරන ලෙස ප්‍රකාශයක්‌ කරන්නැයි කථානායකවරයාට දැන්වුවා. ඒක කළොත් ඕනම ත්‍රස්‌තවාදියකුට මේ රටේ අධිකරණයකින් දෙන දඬුවමක්‌ ජිනීවා ගොස්‌ වෙනස්‌ කරගන්න පුළුවන් වෙනවා. අපේ අධිකරණ බලය එතැනට යනවා. මේ යෝජනාවලියේ ඇති මෙවැනි කරුණු පිළිබඳ අපේ රටේ සාමාන්‍ය ජනතාව දන්නේ නෑ.

අපේ රටේ ආරක්‌ෂක හමුදා විශාල වශයෙන් යුද අපරාධ සිදුකර ඇති බවට මෙම වාර්තාවේ සඳහන් වෙනවා. එම චෝදනා සාක්‌ෂි මත පදනම් වූ චෝදනාද?

අපේ රටේ ආරක්‌ෂක හමුදා සිදුකළා යෑයි කියන මනුෂ්‍ය ඝාතන හා යුද අපරාධ පිළිබඳව මෙම වාර්තාවෙන් චෝදනා කර ඇතත් ඒ සඳහා පිළිගත හැකි කිසිදු සාක්‌ෂියක්‌ නෑ. යම්කිසි අපරාධයක්‌ සිදුකළ ආරක්‌ෂක අංශ සාමාජිකයා හෝ එම කණ්‌ඩායමට පමණක්‌ නොව ඔවුන්ගේ ප්‍රධානියා පවා ඊට වගකිවයුතු බවත් එවැනි දේ යළි සිදුනොවන ලෙස බරපතළ දඬුවම් ඔවුන්ට ලබාදිය යුතු බව මෙම වාර්තාවෙන් යෝජනා කොට තිබෙනවා. මේ අනුව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ටත් වඩා මෙයින් චෝදනා එල්ල වී ඇත්තේ පොලිසියටයි. හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් මෙන්ම නිලධාරිනියනුත් සැකකරුවන්ට සහ සැකකාරියන්ට ලිංගික අඩන්තේට්‌ටම් කළ බවට චෝදනා නගා තිබෙනවා. පොලිස්‌ නිලධාරිනියක්‌ ආරක්‌ෂක පියවරක්‌ ලෙස කාන්තාවකගේ සිරුර පරීක්‌ෂා කිරීමත් ලිංගික අතවරයක්‌ ලෙස මෙම වාර්තාව හඳුන්වා තිබෙනවා.

මෙම අතවර සහ වධහිංසා සිදුවූවායෑයි මේ වාර්තාවේ සඳහන් කඳවුරු සහ රැඳවුම් ස්‌ථානවලට රතුකුරුස සාමාජිකයින් හා වෙනත් සංවිධානවල නිලධාරින් ගොස්‌ තිබුණා. නමුත් අත්අඩංගුවට ගෙන සිටි කිසිවෙක්‌ මෙබඳු වධහිංසා හෝ අතවර පිළිබඳ ඔවුන්ට පැමිණිලි කර නෑ. දෙමළ ජාතික සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයෙක්‌ පාර්ලිමේන්තුවේදී හෝ සැකකරුවන්ට සිදුවන මෙබඳු හිරිහැර ගැන පවසා නෑ. එමනිසා ජිනීවාවලට ගොස්‌ දැන් කවුරුන් හෝ නගන මේ චෝදනාවල සත්‍යයක්‌ ඇතැයි සිතන්නට බෑ. ආරක්‌ෂක අංශවලට මෙබඳු චෝදනා නගමින් ඒවාට එරෙහිව පියවර ගන්නැයි මේ යෝජනා කරන්නේ ආරක්‌ෂක අංශ සාමාජිකයන් දුර්වල කොට රට අවුල් කරන්නයි.

සාකච්ඡා කළේ පාලිත සේනානායක
http://www.divaina.com/2016/10/16/feature29.html

Pic Source

කසපහර තුන්සියය ඉවසන්න පිංවත, මන්ද... මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. 

පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි ඡන්දරාගය දුරුකිරීමේ මාර්ගය වන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිංවත් ඔබ ගමන් කරලා, මූලිකව ඔබ පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකින පිංවතා, උතුම් සෝවාන්ඵල අවබෝධය සාක්‍ෂාත් කොටගෙන පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි තමන් ඇතිකොටගෙන තිබූ සක්‌කාය දිට්‌ඨිය හෙවත් මමත්වයේ දැඩිභාවය නිරෝධය කොට දමනවා. මේ සක්‌කායදිට්‌ඨිය හෙවත් මමත්වයේ දැඩිභාවය කියන වචනයේ අර්ථය සත්ත්වයාට මොනතරම් දුක්‌ දෙනවාද කියන කාරණය මතුකොට පෙන්වන්න බුදුරජාණන්වහන්සේ මෙහෙම උපමාවක්‌ දේශනාකොට තිබෙනවා. 

'යම් පුද්ගලයෙක්‌ ඔබට කිවහොත් දිනකට කස පහරවල් තුන්සියය බැගින් අවුරුදු තුන්සියයක්‌ ගෙවීගිය තැන මම ඔබට උතුම් සෝවාන්ඵල අවබෝධය ලබාදෙනවාය කියලා, ඔබ ඒ තියුණු වූද, කටුක වූද, වේදනාකාරීවූද, අමිහිරිවූද දුක වසර තුන්සියයක්‌ විඳලා උතුම් සෝවාන්ඵල අවබෝධය ලබාගන්නට කැමතිවෙන්න'ය කියලා. ඉහත උපමාවෙන් පිංවත් ඔබට වැටහෙනවා ඇති, සක්‌කාය දිට්‌ඨිය කියන අර්ථය පිංවත් ඔබට සංසාරයක්‌ පුරාවට මොනතරම් අමිහිරි දුක්‌ කන්දරාවක්‌ උරුමකොටදී ඇතිද කියන කාරණය. 

තවදුරටත් ඔබ සක්‌කායදිට්‌ඨියට බැඳුණොත්, අනාගත භවගමනේදී තව කොතෙක්‌ කටුක දුක්‌ විඳවන්නට සිදුවේද කියන කාරණය පිංවත් ඔබ නුවණින් දකින්න. වසර තුන්සියයක්‌ දිනපතා කසපහර තුන්සියයක්‌ බැගින් පහරකන මනුෂ්‍යයෙකුගේ තියුණු දුක, වේදනාව, අඳෝනාව, මරණය, ඉපැදීම නුවණින් දකිමින් සක්‌කාය දිට්‌ඨිය, මමත්වයේ දැඩිභාවය කියන අර්ථය කෙරෙහි කළ කිරීම ඇතිකරගන්න.

වරක්‌ බමුණෙක්‌ බුදුරජාණන්වහන්සේගෙන් විමසනවා, භාග්‍යවතුන් වහන්ස උතුම් සෝවාන්ඵලයට පත්වීමට නම්, කුමක්‌ද කළ යුතු කියලා. ඒ අවස්‌ථාවේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා 'තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්යකාන්ත ශීලය සහ පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකින පිංවතා, උතුම් සෝවාන්ඵලයට පත්වෙනවා' ය කියලා. දෙවැනුව, බමුණා විමසනවා 'යම් පිංවතෙක්‌, උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබුවාට පසුව කුමක්‌ද කළයුත්තේ?' කියලා. එවිට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා 'යමෙක්‌ සෝවාන්ඵලයට පත්වුණාට පස්‌සේ, ඔහු තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ගැන හෝ ඔහුගේ ආර්යකාන්ත ශීලය ගැන ඔහුට ප්‍රශ්නයක්‌ නැහැ. එම ධර්මයන් පරිපූර්ණයි. ඔහු දැන් කළයුත්තේ තමන් අනිත්‍ය වශයෙන් දැක්‌කාවූ පංචඋපාදානස්‌කන්ධය නැවත නැවත අනිත්‍ය වශයෙන්ම දකිමින් ජීවත්වීමය' කියලා. ඔහු පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය නැවත නැවත දකිමින් සිටින විට, එම පිංවතා උතුම් සකෘදාගාමී ඵලයට පත්වෙනවා. සකෘදාගාමී ඵලයට පත්වුණ පිංවතාත් නැවත නැවත පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙනකොට ඔහු උතුම් අනාගාමී ඵලයට පත්වෙනවා. අනාගාමීඵලයට පත්වූ පිංවතා නැවත නැවතත් පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකිමින් සිටිනවිට එම පිංවතා උතුම් අරිහත්ඵල අවබෝධයට පත්වෙනවා. උතුම් අරිහත්ඵල අවබෝධය ලැබූ රහතන්වහන්සේ තමන් අවබෝධකොට ගත්තාවූ පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය විවේකීව නැවත නැවත ආවර්ජනය කරමින් සිටිනවාය කියලා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරන ඉහත ධර්මයෙන් පිංවත් ඔබට වැටහෙනවා සෝවාන් ඵලයට පත්වෙන පිංවතා පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිනවා උතුම් අරිහත්භාවයට පත්වෙන රහතන්වහන්සේ මුලින්ම තමන් අනිත්‍යවශයෙන් දැක්‌ක පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය උතුම් ඥානදර්ශන තුළින් අවබෝධකොටගෙන පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. උතුම් අරිහත්ඵල අවබෝධයේදී පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය අවබෝධකොටගෙන සම්මා විමුක්‌තිය සාක්‍ෂාත්කොටගන්නවා. උතුම් සෝවාන්ඵලයේදී පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. උතුම් අරිහත්ඵල අවබෝධයේදී පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය අවබෝධකොට ගන්නවා. 

පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය නොදකින පිංවතා, නිරතුරුවම රූපය මමය කියලා ගන්නවා. වේදනාව, සංඥාව, චේතනාව, විඤ්ඤාණය මමය කියලා ගන්නවා. මගේ ආත්මය කියලා ගන්නවා. නොවෙනස්‌ වන රූපයක්‌, නොවෙනස්‌ වන වේදනාවක්‌ තිබෙනවාය කියලා ගන්නවා. සැප දුක්‌ විඳිනා ආත්මයක්‌ තිබෙනවාය, එම ආත්මය තුළ මම සිටිනවාය කියලා දකිනවා. මේ සක්‌කායදිට්‌ඨියේ දැක්‌ම නිසාම, උපදින අයෝනිසෝමනසිකාරය පිංවතුන්ට නැති ආශ්‍රවයන් ඇතිකොටදෙනවා, ඇතිආශ්‍රවයන් වර්ධනයකොට දෙනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.


චිත්තානුපස්‌සනාව - 9, ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2016/10/16/feature05.html

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට දස රාජ ධර්මය මුසු කර ගන්නේ කෙසේද?

බුද්ධ ධර්ශනයට අනුව අතීතයේදී අප රජ දරුවෝ චක්‌කවත්තිසීහනාද සූත්‍රය, අපරිහාණි ධර්ම ඇතුළු ධර්මයන් තුළින් සිල්වත්, ගුණවත් පාලකයෝ වූ බවත් දානය, ශීලය, පරිත්‍යාගය, සෘජු බව, මෘදු බව, තවුස්‌ ගුණ, අක්‍රෝධී බව, අවිහිංසාව, ක්‍ෂාන්තිය, අවිරෝධීතාව (ජනතා හැඟීම් විමසා බලා විරුද්ධව නොයැම) ආදී දසරාජ ධර්ම ප්‍රතිපත්ති තුළ පිහිටා රට පාලනය කළ බව අතීත රාජ්‍ය පාලන ක්‍රම සහ විධි පරිශීලනය කිරීමේදී අසන්නට සහ දකින්නට ඇත. ඒ අනුව තවදුරටත් පැහැදිලි වන කරුණ වන්නේ එදා අද මෙන් දරුණු ලෙඩ රෝග නොතිබූ බවත්, මිනිසුන් තුළ කරුණාව, මෛත්‍රිය පැවැති බවත්, අසහනයෙන් නොපෙළුණ බවත් රට සෞභාග්‍යවත්ව පැවැති බවත් ය. එහෙත් විදේශ ආක්‍රමණත් සමඟ අප රට තුළ ධර්මය වැනසී අධර්මයම රජ වූ බවත් පැහැදිලිය.

එහෙත් එදවස ධර්මානුකූලව අප රට තුළ රාජ්‍ය පාලනය එසේ සිදුවූවත්, වර්තමාන ගෝලීයකරණය සහ සංකීර්ණත්වය තුළ දේශපාලන කෝණයෙන් බලා එසේ කරන්නේ කෙසේද? යන්න ප්‍රායෝගිකව ගැටලු සහගත යෑයි අපගේ දේශපාලනඥයා කල්පනා කරන බව නම් නොඅනුමානය. එහෙත් මුළු ලොව පුරාම ක්‍රියාත්මක වන නීති පොත් ගෙන බැලුවත්, එම සෑම නීතියක්‌ම සම්පාදනය වී ඇත්තේ පස්‌ පවෙන් සහ දස අකුසලයෙන් සිදු වන හානි සහ අසාධාරණකම්වලට එරෙහිව බව ද පැහැදිලිය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය ආරක්‍ෂා කර ගන්නවා ය යන්නෙහි තේරුම වන්නේ ද එයම නොහොත් දසරාජ ධර්මයට අනුව රාජ්‍ය පාලනය කිරීම වන බවද පැහැදිලිය. එනිසා දසරාජ ධර්මය රාජ්‍ය පාලනයට මුසු කර ගන්නට නම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය යන්න බෝඩ්ලෑල්ලට පමණක්‌ සීමා නොකර රාජ්‍ය පාලනයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය බවට එය පත්කර ගත යුතුමය. එහෙත් මෙදවස පවතින රාජ්‍ය පාලනය දෙස බලන කල දැක ගන්නට ඇත්තේ නාම මාත්‍රික ප්‍රජාතන්ත්‍රවාදයක්‌ සහ සමාජ වාදයක්‌ මිස අන් කවරෙක්‌ද යන්න ඉතාමත්ම පැහැදිලිය. එහෙත් ඊට හේතුව කුමක්‌ද? ඔය කියන දසරාජ ධර්මයට අනුව මේ රට පාලනය කරන්නේ කෙසේද? ඒ සඳහා භාවිත කළ යුතු වන ප්‍රායෝගික වැඩපිළිවෙළ අතුළත් දේශපාලන න්‍යාය පත්‍රය කුමක්‌ද? එවන් දේශපාලන නියාය පත්‍රයක්‌ නොහොත් වෙනත් ආකාරයකින් සඳහන් කරනවානම් එවන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අපට තිබෙනවාද, අප ඒ ගැන කල්පනා කර තිබෙනවාද යනුවෙන් මේ වන විට අපට ඇත්තේ ප්‍රශ්න ගණනාවකි.

එනිසා දසරාජ ධර්මය මෙදවස දේශපාලනයට ප්‍රායෝගිකව මුසු කරනු පිණිස දන් දෙන්නටත්, සිල් රකින්නටත් පරිත්‍යාග කරන්නටවත්, ආදී වශයෙන් එහි සඳහන් වන අනෙකුත් කරුණු කරණා වෙන වෙනම ගෙන ක්‍රියාවට නංවන්නටවත් නොහැකි වන බව තේරුම් ගත යුතුය. එහෙත් දසරාජ ධර්¨මයෙන් කියෑවෙන කරුණු කාරණා සියල්ල තුළ ඇති සංවේදීතාවයන්ට අනුව සහ එහි හරයට අනුව නම් අදාළ දේශපාලන න්‍යාය පත්‍රය සම්පාදනය කර ගන්නට හැකිය. එම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යනු අන් කිසිවක්‌ නොව අපගේ සියලු අනන්‍යතාවන් ද ආරක්‍ෂා කෙරෙන පරිදි ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී පදනම සහ රාමුව තුළ යහපාලනය රැක ගැනීමේ ක්‍රියා පිළිවෙතයි. ඒ සඳහා ගැළපෙන දේශපාලන න්‍යාය පත්‍රය සම්පාදනය කර ගැනීමයි.

එම දේශපාලන න්‍යාය පත්‍රය මෙවැන්නකි.

එහි දර්ශනය : යථාර්ථවාදී බව සත්‍යවාදී බව අව්‍යාජ බව සහ සද්දහමේ හරයට අනුව දැකීමය.

පදනම (- සමාජ සාධාරණය සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය සුරැකීම

මූලික (රාජ්‍ය) ප්‍රතිපත්තිය (- ධනය, සම්පත්, සේවය, සුබ සාධනය සහ ජනතා පරමාධිපත්‍යය සාධාරණයව බෙදී යන මූලික ප්‍රතිපත්තියේ පිහිටා තිබීමය. (වෙනත් බලය බෙදීමකින් තොර, ඒකීය රට යන සංකල්පය තුළ) මෙම දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කැබිනට්‌ ක්‍රියාකාරකම් විය යුතු වන්නේ ද මෙම පංච විධ වූ මූලික ප්‍රතිපත්තියයි. මේ සඳහා පංච පුද්ගල කැබිනට්‌ මණ්‌ඩලයක්‌ ද ප්‍රමාණවත්ය.

ජාතික ප්‍රතිපත්ති (- රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ද, සියලුම වෘත්තීය ක්‍ෂේත්‍රයන් සහ සමාජ ස්‌ථරයන්ද, 100% ක්‌ ම ආවරණය වන පරිදි සහ ඉහත සඳහන් රාජ්‍ය (මූලික) ප්‍රතිපත්තියට හානි නොවන පරිදි මෙන්ම එය හොඳින් පෝෂණය වන පරිදි සහ එයට යටත් වන පරිදි සම්පාදනය කර ගත යුතු අංශානුකූල වන ජාතික ප්‍රතිපත්ති 20 ක්‌ තරම් ය. ඒ අනුව අමාත්‍ය මණ්‌ඩල ක්‍රියාකාරකම් වන්නේ ද එම ජාතික ප්‍රතිපත්ති කීපය පමණි. එමෙන්ම එම ප්‍රතිපත්ති සුරකමින් සහ පෝෂණය කරමින් කටයුතු කිරීම සඳහා විෂය භාර අමාත්‍යාංශය ද ඊට සමාන කළ හැකිය.

අරමුණ සහ ඉලක්‌කය (- ජාතියක්‌ ලෙස මුහුණ දීමට සිදුව ඇති ප්‍රබල අභියෝග ක්‍රමානුකූලව ජය ගැනීමයි. එපරිදි ඕනෑම රටක්‌ රාජ්‍යයක්‌ හමුවේ පිළිවෙළින් නිර්මාණය වන විරැකියාව, ආර්ථිකය, මානව හිමිකම්, සමාජ අරගල සහ බාහිර බලපැම් යන අභියෝග පහම එලෙසින් ම ජය ගැනීමේ පොදු අභියෝගය අපට තිබෙන බව යථාවබෝධ කර ගැනීම සහ ආරෝහණ ක්‍රමයට ඒවා ජය ගැනීම අරමුණ සහ ඉලක්‌කය කර ගැනීමය.

තවද විරැකියාව 100% ක්‌ ම ජය ගැනීමෙන් පසු ආර්ථිකය ජය ගත යුතු වන බවත්, විරැකියාව සහ ආර්ථිකය සාර්ථකව ජය ගැනීමෙන් අනතුරුව මානව හිමිකම් කඩ නොවන බවත්, එම අභියෝග තුන එපිළිවෙළින්ම ජය ගැනීමෙන් පසු සමාජ අරගල නිර්මාණය නොවන බවත්, එනිසාම බාහිර බලවේග එල්ල කරන්නට කිසිවෙකුටත් අවකාශ නොවන බවත්, වෙනත් ප්‍රබල අභියෝග කිසිවක්‌ නැති බවත්, අවබෝධයෙන් යුතුව ක්‍රියා කිරීම, මෙම අභියෝග සහ එලෙසින් ම ජය නොගෙන රටක්‌ රාජ්‍යයක්‌ තුළ යහපාලනය ස්‌ථාපිත කළ නොහැකි වන බව අවබෝධ කර ගැනීම, මෙම අභියෝග එලෙසින් ම ජය ගෙන ඇති රටවල් තුළ ඉතාමත් ම පහසු ලෙස යහපාලනයෙන් යුතු සාර්ථක රාජ්‍යයන් ගොඩනඟා ඇති බව යථාවබෝධ කර ගැනීම පමණක්‌ නොව මෙම ප්‍රධාන අභියෝග පහ ජය ගැනීම යනු අනෙකුත් විවිධ අර්බුද සහ ගැටලු නිර්මාණය වන්නට බලපාන හේතුව විනාශ වීම නොහොත් එවන් අර්බුද නිර්මාණය නොවන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණයවීම බව ද වටහා ගැනීම.

පරිපාලනමය වශයෙන් ව්‍යහාත්මකව සිදු කළ යුතු වන සංශෝධන ත්‍රිත්වය -

1. රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය යථාවාදීව වෙන්කර ගැනීම.

2. රාජ්‍ය ආදායම සහ වියදම (අය - වැය) යථාවාදීව වෙන් කර ගැනීම.

3. රටේ සංවර්ධනය පිණිස දායක කර ගත යුතු සහ බැහැර කළ යුතු දේ යථාවාදීව වෙන්කර ගැනීම.

ප්‍රායෝගික ක්‍රමවේදය -

01. කම්කරුවෝ ද ඇට ලේ මස්‌ නහරවලින් එක සේ නිර්මාණය වූ මනුස්‌සයන් සහ ජාතික නිෂ්පාදනයෙහි කොඳු නාරටිය ලෙස ද, ඔවුන්ට ද සමාජයේ සම තැන හිමිවිය යුතුය යනුවෙන් ද, සලකා සමස්‌ත කම්කරුවන්ගේ එක්‌ පැයක වැටුප රු. 250 ක්‌ වන පරිදි දෛනිකව රු. 2,000 ක්‌ බවට නිගමනය කිරීම.

02. රජයේ සහ පෞද්ගලික අංශයේ සියලුම පරිපාලකයන්ගේ සහ සේවකයන්ගේ මෙන්ම විශ්‍රාමිකයන්ගේ මාසික මූලික වැටුප රු. 50,000 ත්, රු 100,000 ත් අතර අවමයකට සහ උපරිමයකට යටත් කිරීම.

03. සියලුම කෘෂි නිපැයුම් (වැවිලි, පශු, ධීවර) අස්‌වනු සඳහා හිමිවිය යුතු වන වටිනාකම වර්තමානයට සාපේක්‍ෂව දෙගුණයකින් පමණ ඉහළ නංවා (උදා (- වී කි ග්‍රෑ 1 ක්‌ රු. 70 ක්‌, කිරි ලී. 1 ක්‌ රු. 100 ක්‌ සහ එළවළු අල ලූනු කි. 1 ක්‌ රු. 150 ක්‌ පමණ වන පරිදි එම මිල ගණන් ස්‌ථාවර කර දේශීය අවශ්‍යතාවන්ට අනුව නිෂ්පාදන ඉලක්‌කගත කිරීම.)

04. අනෙකුත් සියලුම ස්‌වයං රැකියා සහ කර්මාන්ත නිපැයුම් අස්‌වනු සඳහා ද හිමිවිය යුතු වන වටිනාකම් ඉහත සඳහන් පරිදි ම 75% පමණ වැඩි කිරීම (උදා(- කොහු ලණු කැරැල්ලක වර්තමාන මිල රු. 20 ක්‌ නම් එය රු. 32.50 ක්‌ බවට ද, ඉදලක්‌ රු. 100 ක්‌ නම් එය 175 ක්‌ ද, තල කැරැල්ලක්‌ රු.10 ක්‌ නම් එය රු. 17.50 බවට ද නිගමනය කිරීම) සහ එම නිෂ්පාදන ඉලක්‌කගත කිරීම.

05. පෞද්ගලික අංශය විසින් සපයන සේවා ගණයේ වෘත්තීන් සහ ව්‍යාපාර සඳහා වර්තමානයට සාපේක්‍ෂව එම වටිනාකම් ද වැඩි කිරීම (උදා: වර්තමාන අවම බස්‌ ගාස්‌තුව රු. 09 ක්‌ නම් එය රු. 12. ක්‌ බවට ද, කොණ්‌ඩයක්‌ කපන්නට අය කරන මුදල රු. 100 ක්‌ නම් එය රු. 125 ක්‌ බවට නිගමනය කිරීම.)

06. පාරිභෝගික වැඩි විශ්වාසය තහවුරු වන පරිදි සියලුම දේශීය නිපැයුම්, ඉදිකිරීම් සහ සේවාවන් ප්‍රමිතිගත කිරීම මෙන්ම දේaශීය සමබර ආහාර වට්‌ටෝරු කීපයක්‌ හඳුන්වා දීම තුළින් දේශීය ආහාර පාන පරිභෝජනයට පෙලඹවීම සහ හුරු කරවීම.

07. සියලුම දේශීය නිපැයුම්වලට ආදේශ වන ආනයනය සාපේක්‍ෂව සීමා කිරීම අදාළ වටිනාකම් හිමි වන අපනයනයට පමණක්‌ පිවිසීම.

08. මහ බැංකු අනපනත්වලට යටත්ව, සියලුම මූල්‍ය ආයතන විසින් ගෙවනු ලබන සහ අය කරනු ලබන පොලී ප්‍රතිශතයන් දශම ගණන් දක්‌වා පහත හෙළීම (නුදුරු අනාගතයේදී ශූන්‍ය කරන අරමුණින් යුතුව)

09. රාජ්‍ය ආදායම ආවරණය කරගනු පිණිස 15% ක පාරිභෝගික පිsරිවැටුම් (භාණ්‌ඩ හා සේවා) බද්දක්‌ අඛණ්‌ඩව, අතපසුවකින් සහ මඟහැරවීමකින් තොරව අයකිරීම, ඒක පුද්ගල වාර්ෂික ශුද්ධ ආදායමෙන් රු. මිලියනයක්‌ නිදහස්‌ කිරීමෙන් අනතුරුව උපයනු ලබන අතිරික්‌ත ආදායමෙන් අදියර පහක්‌ ඇතුළත 100% ක්‌ දක්‌වා සෘජු (ආදායම්) බදු අයකර ගැනීම සහ මුද්දර, ලියාපදිංචි සහ බලපත්‍ර ගාස්‌තු ද රජයේ ආදායම් අවශ්‍යතාවය පරිදි වැඩියෙන් අය කර ගැනීම.

10. රජය විසින් සපයනු ලබන පූර්ණ සහන සහ නිදහස්‌ සේවාවන්ගෙන් මිදීමට ද ඒවා පූර්ණ පහසුකම් සහිත සේවාවන් ලෙස පවත්වාගෙන යැමට ද, පාඩු නොලබන සීමාව දක්‌වා අදාළ ගාස්‌තු අය කිරීම (ලාභ ලබන ව්‍යාපාර නොවන පරිදි)

11. අත්‍යවශ්‍ය ආනයනික භාණ්‌ඩ හෝ අමුද්‍රව්‍ය ලෙස සැලකෙන ඉන්ධන, ගෑස්‌, පොහොර යනාදිය සඳහා සහනාධාර ලබා නොදීම සහ රජය සතු විය යුතු සාධාරණ බදු පංගුව අය කර ගැනීම.

12. අපේක්‍ෂිත සංවර්ධන ඉලක්‌ක සපුරා ගන්නා තුරු අධි සුඛෝපභෝගී භාණ්‌ඩ ආනයනය වැළැක්‌වීම සහ සුඛෝපභෝගී නොවන, මෙරට නිෂ්පාදනය නොකෙරෙන, අත්‍යවශ්‍ය භාණ්‌ඩ සඳහා පමණක්‌ බදු ලිහිල් කිරීම.

13. ප්‍රමුඛතාවය ලබා දිය යුතු කෘෂිකාර්මික සහ කාර්මික ග්‍රාමීය මට්‌ටමේ සංවර්ධන ඉලක්‌ක සපුරා ගන්නා තුරු. දස අතේ ණය වෙමින් නගරාසන්න වන මහා පරිමාණ ඉදිකිරීම් සහ දීර්ඝ කලකින් ඵල ලබන්නට අපේක්‍ෂිත මෙන්ම අවිනිශ්චිත දැවැන්ත මෙන්ම සංකීර්ණ ව්‍යාපෘති තාවකාලිකව නතර කිරීම සහ ඒ වෙනුවට කඩිනම් ව යහඵල ලබන්නට හැකි වන සරල ව්‍යාපෘති ආදේaශ කිරීම.

14. සහල් සලාකය, ජනසවිය, සමෘද්ධිය, පිං පඩි වැනි සහනාධාර මුළුමනින් ම නතර කිරීම සහ ඒ වෙනුවට 100% ක්‌ම ශුභ සාධනය සැපයීම.

15. අදාළ අලුත් නීති රීති සම්පාදනය කර ගැනීම සහ පවතින නීති රීති සංශෝධනයකින් පසු බාධාවකින් තොරව ක්‍රියාවට නැංවීම මෙන්ම දැඩි නීති රීති මතම ජනතාව පීඩනයට ලක්‌ නොකිරීම.

මෙම පසළොස්‌ විධ ක්‍රමවේදය යනු දසරාජ ධර්ම රාජ්‍ය පාලනයට ප්‍රායෝගිකව මුසුකර ගන්නට ඇති ඉතාමත් සරල, සෘජු මෙන්ම සමීපතම ක්‍රමවේදයයි. වෙනත් ආකාරයකින් සඳහන් කරනවානම් සියලු අභියෝග සහ අර්බුද ජයගෙන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය රැක ගන්නා ක්‍රමවේදයයි. ඒ අනුව ගොවියා, කම්කරුවා, ධීවරයා සහ සේවකයා අතර (ශ්‍රම බළකායෙන් 50% - 60% කගේ පමණ) වැටුප් පරතරය රු. 50,000/} සහ රු. 100,000/} පමණ වන තරමින් අවමයකට සහ උපරිමයකට සීමා කරන්නට ද කාර්මිකයන්, ඉදිකරන්නන්, සේවා සපයන්නන් සහ ව්‍යාපාරිකයන් අතර (ශ්‍රම බළකායෙන් ඉතිරි කොටසෙහි) මාසික ආදායම් පරතරය රු. 50,000 සහ රු. 200,000 පමණ වන තරමින් අවමයක සහ උපරිමයක රඳවා ගන්නටත් එතුළින් වැඩ කරන ජනතාවට ලැබෙන උත්තේජනය හේතුවෙන් විවිධාංගීකරණ නිෂ්පාදන ඵලදායතාවය ඉලක්‌ක ගත අයුරින් ශක්‌තිමත් කර ගන්නටත්, එමගින් දළ ජාතික ආදයම වැඩිකර ගන්නටත්, ඒක පුද්ගල ආදායම දළ වශයෙන් රු. 1,000,000 ක (ඇ. ඩො. 10,000) සීමාවකට වර්ධනය කර ගන්නටත්, එය බෙදී යැමේ විෂමතාවය රු. 600,000 සහ 2,500,000 පමණ වන අවමයකට සහ උපරිමයකට (නාමික වශයෙන් නොව ඇ. ඩොලරයට සාපේක්‍ෂව ඩො 6,000 - 25,000 පමණ ගෝලීය වටිනාකමක්‌ දක්‌වා) වැඩිකර ගන්නටත් හැකි වනු ඇත.

එමෙන්ම මෙය අපට අලුත් දෙයක්‌ වුවත් කම්කරුවා ගොවියා නිෂ්පාදකයා නිර්මාණකරුවා ජාතියේ කොඳු නාරටිය සේ සලකා මුලින්ම ඔවුන් ආරක්‍ෂා කරමින් සියලු බාධක මැඬ අභියෝග ජය ගෙන සංවර්ධනයේ හිණි පෙත්තටම ළඟා වූ දිගින් දිගටම ධනාත්මක වූ සංවර්ධන වේගයක්‌ ඇත්තා වූ. දශක හයකටත් වැඩි කාලයක්‌ උද්ධමන වේගය සියයට බිංදුවෙහි රඳවා ගන්නට සමත් වූ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය එලෙසින්ම රැක ගත්තා වූ ජපානය 50 දචශකයේ මුල (සියලු ශක්‌තීන් අතින් අපත් සමඟ කරට කර සිටි අවධියේ) සිටම අනුගමනය කර ඇත්තේ මෙවන් ක්‍රමවේදයක්‌ බව සිහි කල්පනාවෙන් විමසා බලන ඕනෑම කෙනෙකුට දැක ගන්නට හැකිය.

එනිසා දසරාජ ධර්මයෙහි සඳහන් වන දස වැදැරුම් පිළිවෙත එහෙම පිටින්ම අනුගමනය කිරීම කෙසේ වෙතත්, නන් අයුරින් ප්‍රශ්න නැති ස්‌වයංපෝෂිත රටක්‌ බවට පත් කරන්නටත් දස රාජ ධර්මය මුසු වූ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය රැකුණා වූ, යහපාලනයෙන් හෙබි සාර්ථක රාජ්‍යයක්‌ නිර්මාණය කර ගැනීමටත්. දශක ගණනාවක සිට පීලි පැන ඇති දේශපාලන ගමන් මඟ පීලි මතට ගන්නටත් හැකි වන්නේ මෙවන් දේශපාලන න්‍යාය පත්‍රයක්‌ හරහාම වන බව ඉතාමත්ම පැහැදිලිය.

බී. එම්. එස්‌. බාලසූරිය
http://www.divaina.com/2016/10/18/feature01.html

කසිප්පු වෙළෙන්දන්ගේ තත්ත්වයට බුද්ධි සාමාජිකයන්ප ත්කළ යුතු නැත! - ජනපති මෛත්‍රී බව මතක් වීම - හැරවුම් ලක්‌ෂ්‍යයද???

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් ගමන් කරන දේශපාලන රජයේ රියෑදුරා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ටඩික්‌ට්‌ කර තිබේ. දැන් රියෑදුරු අසුනේ සිටින්නේ ජනාධිපතිතුමාමය. මේ රථය මෙතෙක්‌ ගමන් කළ මාර්ග සිතියම වෙනස්‌ කිරීම මේ අනුව සිදුවිය හැකිය. මෙතෙක්‌ කල් මේ රිය ගමන් කළේ ඇමරිකන් පාරවල් දිගේ ඉන්දියන් ගමනාන්ත කරාය. මෙතැන් පටන් මේ රථය පදවන්නේ එතුමාම නම් එම රිය යා යුත්තේ ස්‌වදේශික මතවාදයන් විසින් තනන ලද පාරවල් දිගේ ජාතික අරමුණ නමැති ගමනාන්ත වෙත බව අපගේ අදහසය.

ඉහත අදහස අප හිතට නැගුණේ කොළඹ පදනම් ආයතනයේදී පසුගියදා පවත්වන ලද රණවිරු උත්සවයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පවත්වන ලද විවාදාත්මක කතාව නිසාය. මේ කතාව පිළිබඳව මේ දිනවල මුළු රටම කතා කරයි. යුද ජයග්‍රහණය රණවිරුවන් විසින් අත්පත් කරගන්නා ලද දෙයක්‌ බව අමතක කර ඔවුන් හිර කූඩුවලට ගාල් කර අධිරාජ්‍යවාදයේ ප්‍රාර්ථනා ඉටුකිරීම පිණිස කටයුතු කෙරෙන මෙවන් කාලයක ජනාධිපතිතුමා තම කතාව මගින් පහත කරුණු අවධාරණය කළේය. ඒ වූ කලී

1. රටේ ත්‍රිවිධ හමුදාව දේශපාලන අතකොළු බවට පත්කර නොගත යුතු බව.

2. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට තමන් බැඳී සිටින බව.

3. බුද්ධි අංශ නිලධාරීන් දිගින් දිගටම හිරගෙවල්වල තබානොගෙන නඩු පැවරීම හෝ ඇප පිට නිදහස්‌ කර නඩු ඇසීම හෝ චෝදනා ගොනුකර ගැනීමට බැරි නම් නිදහස්‌ කළ යුතු බව.

මේ වූ කලී අලුත් ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසු මේ රටේ ඉහළම චරිතය ආරක්‍ෂක හමුදා වෙනුවෙන් තීරණාත්මක කතාවක්‌ කළ මුල් අවස්‌ථාව විය යුතුය. පසුගිය කාලයේදී ආරක්‍ෂක හමුදාවල සහ බුද්ධි අංශයේ සාමාජිකයන් හිර කූඩුවල ගාල් කරන්නට පටන්ගත් ආකාරයට අනුව එම අංශවලට අයත් වැඩි දෙනා කල්පනා කරන්නට ඇත්තේ "යුද්ධ කළේ අපරාදේ..." යන්න විය යුතුය. බුද්ධි අංශ කොටු කිරීමේ ව්‍යායාමයක්‌ ඉතා දරුණු ලෙස දියත් වී තිබූ අතර එය රටේ පුරවැසියනට බලාගෙන ඉන්නට බැරි තරමට අප්‍රියජනක විය. මිලේනියම්සිටි මහා පාවාදීමෙන් පසු කොටින්ගෙන් මැරුම් නොකා ඉතිරි වූ බුද්ධි අංශ නිලධාරීන් හයදෙනාගෙන් එක්‌ අයකු වූ (සෙසු 24 දෙනාම කොටින් විසින් මරා දමන ලදී.) ප්‍රේමානන්ද උදලාගම බෙඩ්ෂීට්‌ එකකින් හිස වසනු ලැබ හිරේ සිට උසාවියටත් උසාවියේ සිට හිරේටත් නිතර නිතර ගෙන යනු අපි දුටුවෙමු. ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරීන් නඩු නොඅසා, ඇපත් නොදී කූඩු කර තබාගෙන අවුරුද්දකට කිට්‌ටු කාලයක්‌ සිටියහ. බුද්ධි අංශ නිලධාරියා යනු රටේ සැලකිය යුතු පුද්ගලයෙකි. ඇප ගෙවා ගැනීමට බැරි වීමෙන් අවුරුදු ගණන් රිමාන්ඩ් කූඩුවේ නගින පොල් හොරුන්, පොකට්‌කාරයන් හෝ කසිප්පු වෙළෙන්දන්ගේ තත්ත්වයට ඔවුන් පත්කළ යුතු නැත.

රට වෙනුවෙන් යුද වැදීම ඉස්‌ලාමීය සටන් ව්‍යාපාරය තුළදී නිර්වචනය කෙරෙන්නේ දිව්‍ය ලෝකයෙන් කෙළවර වන ව්‍යායාමයක්‌ ලෙසය. ලංකාවේදී එය කෙළවර වන්නේ හිර ගෙදරින් නම් රට රැකගැනීම නමැති කෙරුවාවෙහි ඇති ඵලය කිම? ඉන්දු පකිස්‌තාන් යුද්ධයක්‌ අත ළඟ එතැයි කතාවක්‌ මේ දිනවල පැතිර තිබේ. එබැවින්, ඉන්දියානු රූපවාහිනී චැනල සියල්ලම පාහේ යුද සෙබළුන්ගේ ආත්ම ධෛර්යය ප්‍රවර්ධනය වන ආකාරයෙන් දැන්වීම් ප්‍රචාරය කරන්නට පටන්ගෙන තිබේ. ඉන්දු පාකිස්‌තාන් යුද්ධයක්‌ ආවොත් එය පරමාණු බෝම්බ දෙකකින් ඉවර කර දැමීමට ඉන්දියාවට පුළුවන. සමහර විට ඒ සඳහා එකදු සෙබළකුවත් යුද බිමට යෑවීමේ අවශ්‍යතාව ඉන්දියාවට මතුවන්නේ නැත. එසේ තිබියදීත් ඉන්දියාව යුද හමුදාවේ ආත්ම ධෛර්යය ප්‍රවර්ධනය කරයි. අප කරන්නේ ඉන්න සෙබළුන් ටිකත් අල්ලා හිරේ දැමීමය.

මේ සියලු කරුණු අතර මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාගේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ස්‌වාධීන කොමිසමක්‌ පත්කිරීම ගැන ජනාධිපතිතුමා අවධානය යොමුකළ යුතුය. බැඳුම්කර සිද්ධියේදී ලොකු වංචාවක්‌ වී යෑයි කටකතාවක්‌ තිබේ. විනිසුරුවන්ගේ දුරකථන ටැප් කර ඇතැයි කියන සිද්ධිය ගැනත් සෙවිය හැකි නම් අගය කියා නිම කළ නොහැක.

http://www.divaina.com/2016/10/16/editorial.html

Pic Source

නව ව්‍යවස්‌ථාව පිළිබඳ ආණ්‌ඩුවේ මතගැටුම!

නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් ආණ්‌ඩුව තුළ ඒකමතික තත්ත්වයක්‌ නැති බව පෙනී යයි. දේදුනු සංවිධානයේ සාමාජිකයන් නව ව්‍යවස්‌ථාව ගැන ඔවුනොවුන්ගේ අභිමතය පරිදි නොයෙක්‌ කතා කීම නිසා මෙය පසක්‌ වී තිබේ. සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් කොළොන්නාව සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්‌ථානයේ ඉදිකරන ලද අභිනව බෝධිමළුව විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බුදුසසුන ආරක්‍ෂා කරන බවත් එයට ලබාදී ඇති ප්‍රමුඛ ස්‌ථානයේ කිසිදු වෙනසක්‌ සිදු නොවන බවත්ය. බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීම පිළිබඳව සියලු පක්‍ෂ එකඟ බවත් දෙමළ ජාතික සන්ධානය පවා මේ මතයේ සිටින බවත් අගමැතිවරයා සේදවත්ත පුරාණ විහාරයේදී අවධාරණය කර සිටියේය. අගමැතිවරයාගේ මේ ප්‍රකාශයෙන් පසු දිනම දෙමළ සන්ධාන මන්ත්‍රී එම්. සුමන්තිරන් ප්‍රකාශ කළේ කුමක්‌ද? ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබාදීම පිළිබඳව දෙමළ සංවිධානය කිසිම අනුමැතියක්‌ ලබාදී නොමැති බවයි. හින්දු ආගමිකයකු නොවන සුමන්දිරන් මන්ත්‍රීවරයා මෙතෝදිස්‌ත ආගමිකයෙකි. දෙමළ සන්ධානය බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීමට එකඟතාව පළ කර ඇතැයි යන්න කොටි හිතවාදී ටැමිල් ගාර්ඩියන් පුවත්පතේ ප්‍රමුඛ පුවතක්‌ ලෙස පළ කර තිබිණි. කොටි හිතවාදීන්ගේ විරෝධය සමනය කිරීමට සුමන්තිරන් මේ ප්‍රකාශ සිදු කළා ද යන්න අපට පැහැදිලි නැත. කෙසේ නමුත් දෙමළ සන්ධානයේ කොටි හිතවාදීහු උග්‍ර බෞද්ධ විරෝධියෝ වෙති. කනගරායන්කුලම්හි බුදුපිළිම කුඩු කළේද මොවුන් බව අප අමතක කළ යුතු නැත. 

ජාතික හෙළ උරුමයේ මහලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉකුත් 10 වැනිදා මල්වතු අස්‌ගිරි නාහිමිවරුන් හමුවී ආශීර්වාද ලබාගෙන නව ව්‍යවස්‌ථාව ගැන කරුණු දක්‌වා තිබිණි. එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ ජනමත විචාරණයකට ගත යුතු කිසිම කරුණක්‌ නව ව්‍යවස්‌ථාවට ඇතුළත් නොකරන බව ය. ඒ අනුව ඉදිරියේදී සිදුවන්නේ තවත් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ පමණක්‌ ද? 1978 සැප්තැම්බර් මාසයේ සම්මත කරන ලද මේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට විටින් විට සංශෝධන සිදු කෙරිණි. 2015 මැයි මාසයේදී 19 වැනි සංශෝධනය සිදු කරන ලදී. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සැකසීමේ මූලික කාර්යභාරය ඉටුකරන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා බී. බී. සී. සංදේශයට ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව හඳුන්වා දෙන අභිනව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනාගමික ව්‍යවස්‌ථාවක්‌ විය යුතු බව සිය පෞද්ගලික අභිමතය බවයි. අගමැතිවරයා බෞද්ධ ජනතාව හමුවේ බුද්ධාගමට කිසිදු වෙනසක්‌ සිදු නොකරන බව ප්‍රකාශ කරද්දී ව්‍යවස්‌ථා කෙටුම්පත් කමිටුවේ සාමාජිකයන් "අනාගාමික" නොඑසේනම්" ලෝකායන" ව්‍යවස්‌ථාවක්‌ ගැන මත පළ කරති. මේ අනුව අපට පෙනී යන්නේ කුමක්‌ද? නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ ආණ්‌ඩුව තුළ මත ගැටුම් හටගෙන ඇති බව නොවේද?
ෆෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය බව එළුඟුතමිල් ව්‍යාපාරයේ නායක උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා නිරන්තරව ජප කරයි. තමන් හමුවට එන සෑම විදේශ නියෝජිතයකු හමුවේම කොළඹ ආණ්‌ඩුවට, උතුරු හමුදා කඳවුරුවලට එරෙහිව ආඩපාලි කියන මේ මහඇමැතිවරයා අවසානයේ ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? උතුරේ ජනතාවට ෆෙඩරල් විසඳුමක්‌ ලබාදීමට විදේශීය රාජ්‍යයන්ගේ මැදිහත්වීමක්‌ සිදු විය යුතු බවයි. පසුගිය සැප්තැම්බර් 02 වැනිදා යාපනයේදී එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් හමුවූ උතුරු මහ ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ කුමක්‌ද? යුද අපරාධ චෝදනා පරීක්‍ෂා කිරීම සඳහා විදෙස්‌ මැදිහත්වීමක්‌ අවශ්‍ය බව නොවේද? එළුඟුතමිල් ව්‍යාපාරයේ අරමුණ ද යළිත්වරක්‌ ලංකාවට විදෙස්‌ මැදිහත්වීමක්‌ සඳහා පාර කැපීමය.

එහෙත් ඉන්දියාවත් ඇමරිකාවත් විග්නේශ්වරන්ගේ ක්‍රියා කලාපය ගැන පැහැදීමකින් නොසිටින නිසා එය කොළඹ ආණ්‌ඩුවට වාසිදායකය. කොටි සංවිධානය ක්‍රියාකාරීව සිටියදී කිසිම ප්‍රකාශයක්‌ නොකළ විග්නේශ්වරන් මහතා දැන් මේ සිදු කරන ප්‍රකාශ හරහා සිරිසේන වික්‍රමසිංහ ආණ්‌ඩුවේ සංහිඳියා වැඩපිළිවෙළ දැවැන්ත අවුලකට ඇද දමන බව නම් රහසක්‌ නොවේ. යහපාලන ආණ්‌ඩුව නව ව්‍යවස්‌ථාව ගෙන එන්නේ ද සංහිඳියාව ඇති කිරීම පිණිසය. නමුත් නව ව්‍යවස්‌ථාව ගෙන ඒමට පෙරදීම ඇතිවන කතාබහ මත ගැටුම් අනුව මේ නව ව්‍යවස්‌ථාව සංහිඳියාවට නොව රට අගාධයට තල්ලු කරන බව නම් පැහැදිලිය. විග්නේශ්වරන්ගේ ෆෙඩරල් ව්‍යවස්‌ථාව පිළිබඳ පාර්ලිමේන්තුව්දී අදහස්‌ දැක්‌වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නව ව්‍යවස්‌ථාව සැකසෙන්නේ උතුරු මහඇමැතිවරයාට අවශ්‍ය පරිදි නොවන බව අවධාරණය කර සිටියේය.

2015 ජනපතිවරණ සටනට එද්දී මෛත්‍රිපාල සිරිසේන මහතා ද ප්‍රකාශ කර සිටියේ තමන් ජනපති ක්‍රමය අහෝසි කර දමන බවයි. එදා 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරණයට පැමිණෙන විටත් ඇය පරසක්‌වළ ගසමින් ප්‍රකාශ කර සිටියේ 1995 ජුනි 30 වැනිදාට පෙර විධායක ජනපති ක්‍රමය අහෝසි කර දමන බවයි. ඇය විධායක ජනපති ලෙස කටයුතු කළ වසර 11 පුරාම කොටි සංවිධානය සමග දැවැන්ත යුද්ධයක පැටලී සිටි නිසා ආණ්‌ඩුක්‍රම වෙනසක්‌ ඇති කිරීම ප්‍රායෝගික නොවූ බව හොඳින්ම පැහැදිලිය. කෙසේ නමුත් යහපාලන ආණ්‌ඩුව ද විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බව කියද්දී ඇමැති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ කවරක්‌ ද? විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සුදුසු නොවන බවයි. ජනපති සිරිසේන මහතාගේ හිතෛෂී ඇමැතිවරයකු ලෙස සැලකෙන සමරසිංහ මහතාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ කුමක්‌ද? ජනපති පාර්ශ්වය විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට අකමැති බව නොවේද? මීට පෙර මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා ද විධායක ජනපති ක්‍රමය අහෝසි නොකළ යුතු යෑයි පවසා තිබිණි.

මේ සියල්ලෙන්ම අපට පැහැදිලි වන්නේ එජාපයත් ශ්‍රී ලනිපයත් අතර නව ව්‍යවස්‌ථාව ගැන පොදු එකඟතාවක්‌ නැති බවයි. මේ එකඟතාව නැතිවීම රටට හොඳය. මන්ද 2020 තෙක්‌ම මේ වාදය දිගින් දිගටම ගොස්‌ නව ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීමට නොහැකි වුවහොත් එය ඒකීය රාජ්‍යයට ජයග්‍රහණයකි. හදිසියට හෝ නව ව්‍යවස්‌ථාවක්‌ බිහි වුණොත් එය ඒකීය රාජ්‍යයේ මළගමේ ආරම්භය බව නොකියාම බැරිය.

චතුර පමුණුව 
http://www.divaina.com/2016/10/16/politics01.html

Pic Source

පළමු දවසේම බංකරේ හිටපු සාමාජිකයන් හතර දෙනා මාව දුෂණය කළා.... දරුවට පිටි පැකට්‌ එක හරි ගෙනත් දීලා අපේ දුක සැප හරි බලලා යන්නෙ හමුදාවේ අය විතරයි...

* හමුදාවට බාර වෙනකොට මං රොඩ්ඩක්‌....
* සාමාජිකයෝ බංකර් රකිනවට වඩා 
   උනන්දු වුණේ අපිත් එක්‌ක ඉන්න...
* අපි උන්නද මළාද කියලා දෙමළ සන්ධානය 
    බලන්නේ නැහැ...
* ගොවිතැනක්‌ කරගන්න ඉඩම් කෑල්ලක්‌, රෙදි කෑල්ලක්‌ මහගන්න මැෂිමක්‌ ලැබුණොත් ඒ හොඳටම ඇති

ම්ලේච්ඡ කොටි ත්‍රස්‌තවාදයේ බිහිසුණු මතකය අතිශය අමිහිරිය. එහෙත් අකැමැත්තෙන් හෝ ඒ අමිහිරි මතකය නැවත ආවර්ජනය කිරීමට සිදුව ඇත්තේ මෙතෙක්‌ නොඇසූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රහසක්‌ හෙළිදරව් කිරීමටය. ඒ රහස අපට කීවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකාවන් වී සිට දැන් පියවරු නැති දරුවන් සමඟ ජීවත්වීමට මං සොයන කාන්තාවන්ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ම්ලේච්ඡත්වයට එහා ගිය ගෝත්‍රික ස්‌වරූපය ඉස්‌මතු වන ඒ කතාව ඇසෙන විට ගත කිලිපොලා යන තරමට හිරිකිතය. එහෙත් එම කාන්තාවන්ට මේ වන විට අත්ව ඇති ඉරණම ගැන දකින සිත් කම්පනයට පත් වන්නේය. උපන්දා සිට වෙඩි වරුසා මැද මරණ බියේ දිවි ගෙවූ ඒ අසරණියන් තවමත් විඳින්නේ දුකමය. ඔවුන්ගේ කතාව අතිශය ඛේදනීයය. ඒ කතාව අප කියනවාට වඩා ඔවුන්ගේ වචනයෙන්ම ඇසීම සංවේදී හදවත්වලට වඩාත් හොඳින් දැනේවී. එහෙත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌ත සෙවණැලි තවමත් උතුරේ හොල්මන් කරන බව දැන සිටින ඔවුහු මරණයට ඇති බිය නිසා නම්, ගම් හෙළි කිරීමට අකමැති වූහ. කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තයන්ට ඒ තරුණ ජීවිතවල වටිනාකම නොපෙනුනාට, මනුෂ්‍යත්වයේ හදවත් ඒ අසරණ ජීවිත වෙනුවෙන් උණු වන්නේය. එහෙයින් අපි ඔවුන්ගේ නම් ගම් සඳහන් කිරීමෙන් වැළකී සිටීමට අදහස්‌ කළෙමු. මෙතැන් සිට පෙළගැසෙන්නේ ඒ අසරණියන් අපට කියූ කතාවය...

අපි පදිංචි වෙලා හිටියේ පුදුකුඩුඉරිප්පුවේ. අපේ තාත්තා ගොවිතැන් කළේ. අම්මත් ඒවට උදව් වුණා. මට සහෝදර, සහෝදරියන් 5 දෙනයි. දවසක්‌ අපි ඉස්‌කෝලේ ගිහින් එනකොට කැබ් එකක්‌ නතර කරලා මල්ලිව දාගන්න හැදුවා. මම මල්ලිව බදාගෙන හිටියා. පස්‌සෙ අපි දෙන්නව උස්‌සලා කැබ් එකට දාගත්තා. එදා ඒ කැබ් එක ඇතුළේ තවත් ඉස්‌කෝලෙ ගිය පිරිමි ළමයි හතර දෙනෙක්‌ හිටියා. අපිව කෙළින්ම අරගෙන ගියේ කොටි කඳවුරකට. එතන දවසක්‌ තියාගෙන මාව කාන්තා පුහුණු කඳවුරකට දැම්මා. අපේ බැච් එකට තුන්සීයක්‌ විතර හිටියා. අපිව මුලින් කඳවුරට ගෙනිච්ච දවසේ එතැන හිටිය අක්‌කලා 'එයාලා නිදහස්‌' කියලා සතුටු වුණා. මුලදි අපිට ඒක තේරුණේ නෑ. අවුරුද්දක යුද පුහුණුවක්‌ දීලා බංකර්වලට දැම්මට පස්‌සෙ තමයි ඒ අක්‌කලා කිව්ව කතාව මොකද්ද කියලා තේරුණේ. බංකර් ඇතුළේදී එල්.ටී.ටී.ඊ. සමාජිකයන්ගෙන් අපිට ගොඩක්‌ කරදර වුණා. ඒත් පැනලා එන්නයෑ. හැම දෙයක්‌ම ඉවසගෙන ඒ අය කියන විදිහට ඉන්න වුණා. බංකරයක පිරිමි හතරයි. එක කාන්තාවයි. අන්තිමේ බංකරේ හිටපු සාමාජිකයන් හතරදෙනාටම ගෑනි වෙන්න වුණේ ඒ සාමාජිකාවට. ඒකෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය බලාපොරොත්තු වුණේ සාමාජිකයන්ව සංවිධානය තුළ රඳවගන්න. ඒක සාර්ථක වුණා කියලා සංවිධානයේ පරණ අක්‌කලා කතා කරනවා ඇහිලා තියෙනවා.

මුලදී එල්.ටී.ටී.ඊ. සාමාජික, සාමාජිකාවන්ට කසාද බඳින එක තහනම් කරලා තිබුණේ. ප්‍රභාකරන්ට කසාද බඳින්න ඕන වුණහම ඒ නීතිය ඉවත් කළා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කසාද බැන්දට පස්‌සෙ ගෙවල්වලට ගිහාම එන්නෙ නැතුව ගියා. සංවිධානයේ සාමාජිකයන් ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගත්තා. එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඒක ලොකු ප්‍රශ්නයක්‌ වුණා. පස්‌සෙ බංකරයකට සාමාජිකයන් හතරයි, එක සමාජිකාවක්‌ දාන්න පටන් ගත්තා. ඒ එක්‌ක සාමාජිකයන් ගෙවල්වලට යන එක අඩු වුණා. එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් හුඟදෙනෙක්‌ ඔය දේට කැමැත්තෙන් නෙමෙයි හිටියේ. ඒත් ඉතිං කරන්න දෙයක්‌ නෑ...

මහ කැලේ පිරිමි හතර දෙනෙක්‌ එක්‌ක එකට ලගිනවා කියන්නෙ මැරෙනවා හොඳයි. ඒත් මැරුණේ නෑ. අපිව එල්.ටී.ටී.ඊ. යෙන් අරගෙන ගියේ 2004 අවුරුද්දෙ දවසක. එදා ඉඳලා 2009 අවුරුද්ද වෙනකම් පණ ගැටගහගෙන ඉඳලා මුල්ලෙවයික්‌කාල්වලදී මුහුණට මුහුණ කරපු සටනේදී මට වෙඩි වැදුණා. එක වැළට වෙඩි කිහිපයක්‌ම වැදුණා. මම දන්නෙ එච්චරයි. සති දෙකකට විතර පස්‌සෙ තමයි සිහිය ආවේ. එතකොට ඉස්‌පිරිතාලේ. නොමැරි බේරුණේ පූරුවේ පිනකට. ඒත් අදටවත් වැඩක්‌ පලක්‌ කරගන්න බෑ. මගේ මල්ලි යුද්දෙදී මැරුණා. දැන් මට අවුරුදු 30 යි. එල්.ටී.ටී.ඊ. ය අපේ ජීවිත නැති කළා. මම හොඳාකාරවම දන්නවා එල්.ටී.ටී.ඊ. සාමාජික, සාමාජිකාවන් හුඟ දෙනෙක්‌ සංවිධානයට ආදරයෙන් හිටියේ නෑ. පැනලා ගිහින් මැරෙන්න බය නිසයි හිටියේ. එල්.ටී.ටී.ඊ. එකෙන් පැනලා ගිහින් අහුවුණොත් වධ දීලා ප්‍රසිද්ධියේ මැරුවා. එහෙම කරනවා අපි දැකලා තියෙනවා...

එල්.ටී.ටී.ඊ. එක අපේ ළමා කාලය ගින්දරවලින් පුච්චලා දැම්මා. තරුණකම බංකර් ඇතුළේදී විනාශ කළා. අන්තිමේ අපිට ගෙවල්වලට එන්න වුණේ මිනිස්‌සු නැති ගෑනු විදිහට. ඒ ඇවිත් ටික කාලයක්‌ යනකොට කසාද බැන්දා. 2011 අවුරුද්දේදී එල්.ටී.ටී.ඊ. එකේ හිටපු කෙනෙක්‌ම මාව කසාද බැන්දා. අපිට දරුවෙකුත් ලැබුණා. දරුවට අවුරුද්දක්‌ විතර වෙනකොට එයා වෙන කෙල්ලෙක්‌ව අරගෙන ගියා. දැන් දරුවට අවුරුදු 4 යි. මාවයි, දරුවයි බලා ගන්නෙ තාත්තා. දැන් අප්පට ගොවිතැන් නෑ. අප්පා කුලී වැඩ කරලා තමයි අපිව ජීවත් කරවන්නෙ. අම්මට නිතර හතිය හැදෙනවා. සීනිවලට බෙහෙත් බොනවා. දැන් අම්මගේ වකුගඩුත් නරක්‌ වීගෙන එනවා කියලා ඩොක්‌ටර්ස්‌ලා කියනවා. දැන් අපි හැම පැත්තෙන්ම අසරණ වෙලා ඉන්නෙ. අපි ගැන කවුරුවත් බලන්නෙ නෑ. පිටරට සංවිධානවලින් මිනිස්‌සුන්ට උදව් කරනවා. අපිට එහෙම සහනයක්‌වත් ලැබෙන්නෙ නෑ. අපේ හිතට තියෙන එකම සහනය මරණ බය නැතිව ජීවත් වෙන්න තියෙන එක විතරයි.

'දෙමළ ජාතික සන්ධානයෙන් ඔයාලා ගැන බලන්නෙ නැද්ද...' ගලා යන කතාවේ රිද්මය මම වෙනස්‌ කළෙමි.

පිස්‌සුද මහත්තයො... අපි උන්නද මළාද කියලා බලන්නෙ නෑ. මේ ගේ කෑල්ල හදාගන්න උදව් කළේ හමුදාවෙන්. දරුවට පිටි පැකට්‌ එක හරි ගෙනත් දීලා අපේ දුක සැප හරි බලලා යන්නෙ හමුදාවේ අය විතරයි. ඔය කෑගහන කවුරුවත් අපි වෙනුවෙන් කතා කරන්නෙ නෑ. ඒ අය හදන්නෙ අපේ පහනෙන් එළිය බලන්න. අපිට රට අල්ලන්න ඕනෑ නෑ. ගොවිතැනක්‌ කර ගන්න ඉඩම් කෑල්ලක්‌, මොනවහරි මහලා විකුණලා කීයක්‌ හරි හම්බ කරගන්න මැෂින් එකක්‌ වගේ හම්බ වෙනවා නම් මටත් පුළුවන් මොනවහරි මහලා කඩවලට දාන්න. එහෙම නැති වුණොත් තාත්තා නැති වෙච්ච දවසකට මේ දරුව ජීවත් කර ගන්න හැටි මතක්‌ වෙනකොට මට ලොකු බයක්‌ දැනෙනවා...''

අත්වාරුවක්‌ නොමැතිව ඇවිද ගැනීමට නොහැකි ඇය මුළු ජීවිත කාලයම ලෙඩෙකි. එහෙත් ඇයට ජීවත්කරවීමට තවත් ජීවිතයක්‌ ඇත. ඇයගේ එකම අභිප්‍රාය තම දරුවා සමාජයට හොඳ පුරවැසියකු කිරීමට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදීමය. ඇයගේ ජීවිත අපේක්‍ෂාව සහ කඳුළු කතාව එසේ වචන කර අවසාන කරන විට තවත් කාන්තාවක්‌ අපට කතා කළාය. ඇය අපට හමු වන්නේ ද යාපනය අවට ගම්මානයකදීය.

''අපේ ගෙවල් තිබුණේ කොඩිකාමන්. මම සාමාන්‍ය පෙළ විභාගය කරනකොට තමයි ගෙදරට ඇවිත් මාව බලහත්කාරයෙන් එල්.ටී.ටී.ඊයෙන් අරගෙන ගියේ. හරියට යුද පුහුණුවක්‌ දුන්නෙවත් නෑ. අපිව මහ කැලෑවල බංකර්වලට දැම්මා. බංකරයට දාපු පළමු දවසේම බංකරේ හිටපු සාමාජිකයන් හතර දෙනා මාව දුෂණය කළා. ඒ මිනිස්‌සු කැලෑවේ ඉඳලා සත්තු වගෙයි හැසිරුණේ. ඒත් අඬනවා හැරෙන්න වෙන කරන්න දෙයක්‌ තිබුණේ නෑ. එදා ඉඳලා උන් කෑම බීම හොයනවට වඩා උනන්දු වුණේ මාත් එක්‌ක ඉන්න. උන් දෙන දස වධවලට යුද්ධ කරන්න ශක්‌තියක්‌ තිබුණේ නෑ. අන්තිමේ හමුදාවට භාර වෙනකොට එහෙම් පිටින්ම රොඩ්ඩක්‌. ඒ ජීවිතය ගැන මතක්‌ වෙනකොටත් අප්පිරියයි. හරි හැටි වතුර ටිකක්‌ නා ගන්න නෑ. සති ගණන් එකම ඇඳුම ඇඳගෙන බංකරයක ගුලි වෙලා හිටියා. හරියට සත්තු වගෙයි.

යුද්ධය ඉවර වුණාට පස්‌සෙ ගමේම කොල්ලෙක්‌ එක්‌ක යාළු වෙලා සතුටින් ජීවත් වෙන්න කියලා හිතාගෙන කසාඳ බැන්දා. ඌ ඊට වඩා තිරිසනෙක්‌ වුණා. බීගෙන ඇවිත් මට නොසෑහෙන්න වද දුන්නා. දැන් මට දරුවො දෙන්නෙක්‌ ඉන්නවා. ලොකු දුවට අවුරුදු 3 යි. පුතාට අවුරුදු 2 යි. මගේ මනුස්‌සයා අපිව දාලා ගිහිල්ලා ටික දවසක්‌ වෙනවා. දැන් ඉඳලා හිටලා යාළුවොත් එක්‌ක බීගෙන ඇවිත් මට කරදර කරනවා. නිදහසේ ඉන්න දෙන්නෙම නෑ. දැන් මට අවුරුදු 28 යි. ජීවිතයෙන් වැඩි කාලයක්‌ දුක්‌වින්දා. තවමත් සතුටක්‌ නෑ. අපිව මේ විදිහට මිනිස්‌සු ඉදිරියේ හැල්ලු වෙන විදිහට අසරණ කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය...

'අපේ තාත්තායි අම්මයි ගොඩක්‌ වයසයි. තාත්තට ඇස්‌ පේන්නෙත් නෑ. අම්මා කෑම කඩවල උයන්න යනවා. මමත් කෑම ඕඩර් අරගෙන හදලා දෙනවා. අම්මයි, තාත්තායි අපි තුන්දෙනයි එකට ඉන්නෙ. කිරි හරක්‌ දෙන්නෙක්‌ දෙනවා නම් මට පුළුවන් ජීවත් වෙන්න. හොඳට රෙදි මහන්නත් පුළුවන්. කවුරුහරි අපට එහෙම උදව්වක්‌ කරනවා නම් ගොඩක්‌ පිං...

එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් ලෙස සිට පුනරුත්ථාපනය කර සමාජයට මුදාහල කාන්තාවන් හයසිය පහළොවක්‌ පමණ යාපනය අවට ප්‍රදේශවල ජීවත් වෙති. කසාද බැඳපු, නොබැඳපු අය ඒ අතර වෙති. එහෙත් ඒ කාන්තාවන් 615 දෙනාටම දරුවෝ සිටිති. ඔවුන් අතරින් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් කිහිපදෙනෙක්‌ සමඟ අපි කතාබහ කළෙමු. අප කතා කළ ඒ කාන්තාවන් කියන ආකාරයට එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් බහුතරය කොටි සංවිධානයට වෛර කරන්නාහ. ඒ ඔවුන්ගේ ළමා විය, තරුණකම විනාශ කර ජීවිත නරකාදියට දැමූ නිසාය. අද ඔවුන් නොදරුවන් සමඟ දුක්‌ විඳින්නේ ඒ සාපය හෙයිනි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ම්ලේච්ඡත්වය සමඟ කැටි වූ ගෝත්‍රිකකම ගැන පැහැදිලි කිරීමට ඒ අසරණියන්ගේ කතාව හොඳමට ප්‍රමාණවත්ය. එහෙත් ඒ ම්ලේච්ඡ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය මේ පොළවෙන් අතුගෑවී වසර හතකටත් වැඩිය. එහෙයින් වැළලුණු කොටි ගැන වැඩි කතා අවැසි නැත. දැන් අප කතා කළ යුත්තේ කිසිවකුගේ හව්හරණක්‌ නොමැතිව දුක්‌විඳින අසරණ දෙමළ මිනිසුන් ගැනය.

මේ අසරණ මිනිසුන් ඉල්ලා සිටින්නේ වෙනම රටක්‌ නොවේ, පොලිස්‌, ඉඩම් බලතල ද නොවේ. ජීවිත ගැටගසා ගැනීමට කිරි හරකෙකි. එළුවො දෙතුන් දෙනෙකි. මහණ මැෂිමකි. ඒ ඔවුන්ගේ වැටුණු ජීවිත ගොඩනඟා ගැනීමටය. එහෙත් උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා හර්තාල් කරමින් රජයට බල කරන්නේ පොලිස්‌, ඉඩම් බලතල ලබාදෙන ලෙසය. බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන අන්දමට උතුරේ මහ ඇමැතිවරයා 'දෙමළ ජාතික සභාව' යනුවෙන් සංවිධානයක්‌ පිහිටුවාගෙන ඒ සංවිධානය සඳහා 'එළුග තමිල්' හෙවත් 'දෙමළ ජනතාවනි, නැඟිටිව්' යන්න සටන් පාඨ කියමින් ජාතිවාදය වපුරමින් සිටින්නේය. එහෙත් උතුරේ අසරණ ජනතාවට නැඟිටින්න තියා පාන් කියා ගැනීමටවත් නොහැකි තරමට ඔවුහු හාමතේ දුක්‌ විඳින්නාහ. පියවරු නැති දරුවන් සමඟ කඳුළු බොන්නාහ. පිරිසක්‌ තවමත් අනාථ කඳවුරුවල අපා දුක්‌ විඳින්නාහ. ජාතිවාදය වපුරමින් සිටින උතුරේ මහ ඇමැතිවරයා ඇතුළු එල්.ටී.ටී.ඊ. රූකඩවලට මේ පීඩිත දුගී ජනතාවගේ අසරණකම නොපෙනේ. දෙමළ මිනිසුන්ගේ ගැටලු ගැන සොයාබැලීමට ඔවුන්ට ඕනෑකමක්‌ ද නැත. මේ ජාතිවාදී නායකයන්ගේ එකම හීනය මිනී මරු ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය සැබෑ කිරීම පමණි. 

සාමකාමී රටක්‌ විදිහට අප අපේක්‍ෂා කළ යුත්තේ මේ අසරණ මිනිසුන් පාරට බසින තෙක්‌ නොසිට බුද්ධිමත් ලෙස ඔවුන්ගේ ජීවන ගැටලු විසඳීමය. උතුරේ ප්‍රශ්න දකුණේ සංවාද මණ්‌ඩපයට ගෙන ඒමය. අන්තවාදී ඊළාම්වාදීන්ව මහ පාරෙන් කාණුවට ඇද දැමිය හැක්‌කේ එසේ කළහොත් පමණි. ශිෂ්ටසම්පන්න රටක්‌ ලෙස සැබෑ ජාතික සමගිය, සාමය ගොඩනැඟිය හැක්‌කේ එවිටය.

තරංග රත්නවීර
http://www.divaina.com/2016/10/16/feature32.html

Monday, October 10, 2016

ඉන්දියාව සතුටු කිරීමට පකිස්‌තානයේ කන මිරිකීම

Image result for india pakistan2000 වසර ලංකා හමුදාවන්ට සතුටුදායක වසරක්‌ වූයේ නැත. එම වසරේ අප්‍රේල් 22 වැනිදා අලිමංකඩ කඳවුර කොටි සංවිධානය අතට පත්වීම එතෙක්‌ මෙතෙක්‌ ශ්‍රී ලංකා හමුදාව ලැබූ බරපතළ පරාජයක්‌ විය. මෙහිදී එවක රජයේ ප්‍රධානීන්ට මෙන්ම හමුදාවට ද බලවත් ප්‍රහාරක ආයුධවල හිඟතාවක්‌ තිබෙන බව අවබෝධ විය. කොටි සංවිධානය යාපනය අල්ලා ගැනීම සඳහා මෙහෙයුම් කරද්දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉන්දියාවේ සහාය පැතුවද ඇයට ලැබුණු පිළිතුර වූයේ කුමක්‌ද? යාපනයේ සිටින හමුදා භටයන් හතළිස්‌ දහසක්‌ දකුණට ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය නෞකා සැපයීමට හැකි බව පමණකි. ප්‍රහාරක අවි සැපයීම දිල්ලිය තරයේ ප්‍රතික්‍ෂේප කළේය. මේ අවස්‌ථාවේදී හිටපු ජනාධිපති කුමාරතුංග මහත්මිය පකිස්‌තාන හමුදා පාලක ෆර්වේස්‌ මුෂාරෆ් අමතා තමන්ට මල්ටි බැරල් අවි ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය. එහිදී ජනාධිපති මුෂාරෆ් පැය 24 ක්‌ ඇතුළත මේ බලගතු ප්‍රහාරක අවි සපයන බවට පොරොන්දු වූයේය. 2000 වසරේ මැයි 19 වැනිදා යාපනයේ පලාලි හන්දිය නම් ස්‌ථානයේ සිට ප්‍රථම වරට පාකිස්‌තානයෙන් සැපයූ මල්ටි බැරල් අවි ක්‍රියාත්මක විය. මේ ප්‍රහාර පුනරීන් වෙත එල්ල වීමත් සමඟ ත්‍රස්‌තවාදීහු අන්දමන්ද විය. එයින් පසු චෙක්‌ රාජ්‍යයෙන් ද බලගතු මල්ටි බැරල් ප්‍රහාරක අවි සැපයූ අතර කොටින්ගේ යාපනය අල්ලා ගැනීමේ මෙහෙයුම එයින්ම නතර විය. පකිස්‌තානය අපේ දුකටත්, සැපටත් එක සේ සිටි මිත්‍ර රාජ්‍යයකි. ශ්‍රී ලංකා හමුදාවට පකිස්‌තානයෙන් ලැබුණු සහාය කොටි සංවිධානය සැම විටම භීතියට පත් කළේය. එම නිසාම කොටි හිතවාදී මාධ්‍ය පකිස්‌තානයට විරුද්ධ පුවත් පළකරමින් කොළඹ නගරය ඉන්දීය විරෝධී මෙහෙයුම්වල ප්‍රධාන මධ්‍යස්‌ථානයක්‌ බව නිරන්තරව ප්‍රකාශ කළහ. පකිස්‌තාන ගුවන් හමුදාව මෙරට ගුවන් හමුදාවට බංකර් බස්‌ටර් බෝම්බ ලබා දෙනු ලැබූ විට ඉන්දීය රෝ ඔත්තු සේවාව කලබල වූ බව අප අමතක කළ යුතු නැත.

නොවැම්බර් 9 හා 10 දෙදින පුරා පකිස්‌තානයේ ඉස්‌ලාමාබාද් නුවර පැවැත්වෙන සාක්‌ සමුළුවට සහභාගි වීමට සුදුසු තත්ත්වයක්‌ නිර්මාණය වී නැති බව කොළඹ විදේශ අමාත්‍යාංශය මගින් ප්‍රකාශ කිරීමත් සමඟය. ලංකාවේ මෙම ස්‌ථාවරය දිල්ලි නුවර විදේශ අමාත්‍යාංශයේ බ්‍රාහ්මණ වංශිකයන්ගේ බලවත් සතුටට හේතු විය. එහෙත් මේ හරහා ලංකාව සිය පකිස්‌තාන මිතුරා අතරමං කර ඇතැයි අපට සිතේ. සැප්තැම්බර් 18 වැනිදා කාශ්මීරයේ යුරී හි පිහිටි ඉන්දීය හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් සෙබළු 19 ක්‌ මියයැම ගැන නවදිල්ලි රජය බලවත් කෝපයට පත් විය. මේ නිසා මෝදි ආණ්‌ඩුව ප්‍රකාශ කර සිටියේ තමන් ඉස්‌ලාමාබාද් සාක්‌ සමුළුව වර්ජනය කරන බවයි. ඒ අනුව යමින් ඇෆ්ගනිස්‌ථානය ද බංගලාදේශය ද සාක්‌ සමුළුව වර්ජනය කිරීමට තීරණය කළේය. වෙනදා ඉන්දියාව හා පාකිස්‌තානය අතර ප්‍රශ්න ඇති වූ විට මැදහත් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන කොළඹ ආණ්‌ඩුව මෙවර ඉන්දියාවේ පැත්ත ගැනීම කනගාටුදායකය. ත්‍රස්‌තවාදයට එරෙහි වීම අනිවාර්යය. ඒ ගැන තර්කයක්‌ නැත. දකුණු ආසියාවේ කවර රටක්‌ හෝ ත්‍රස්‌තවාදයට යම් සහායක්‌ සපයන්නේ නම්, එයට එරෙහි විය යුතුය. වසර තිහක්‌ තිස්‌සේ කොටි ත්‍රස්‌තවාදයෙන් බැට කද්දී එය මර්දනය කිරීම සඳහා නොපැකිළව අපට සහාය දුන් පකිස්‌තාන මිත්‍රයා අතරමං කිරීමට යහ පාලන ආණ්‌ඩුව තීරණය කළේ මන්ද? 2015 ජනවාරි 08 වැනිදා යහපාලන ආණ්‌ඩුව ඇති කිරීමට මූලික වූයේ රෝ ඔත්තු සේවය ද?

2005 සිට 2015 දක්‌වාම මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව පවත්වාගෙන ගිය චීන හා පකිස්‌තාන හිතවාදිත්වයට එරෙහිව යා යුතු යෑයි යහපාලන ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති තීරකයින් සිතා සිටීද? කෙසේ වෙතත් යහපාලන ආණ්‌ඩුව අගමැති මෝදි සතුටු කිරීමට පකිස්‌තානයේ කන මිරිකා ඇති බව නම් පැහැදිලිය. ජාත්‍යන්තර වශයෙන් පාකිස්‌තානය හුදෙකලා කිරීමට ඉන්දියාවට බරපතළ වුවමනාවක්‌ ඇති බව ප්‍රකටය. ඉන්දීය විදේශ අමාත්‍ය ශුෂ්මා ස්‌වරාඡ් මහත්මිය එක්‌සත් ජාතීන්ගේ මහ සමුළුවේදීත් අවධාරණය කළේ මෙම ස්‌ථාවරයයි. නමුත් නොබැඳි රටක්‌ වන ශ්‍රී ලංකාව පකිස්‌තානය හුදෙකලා කිරීමේ ඉන්දීය වුවමනාවට කිසිසේත් සහාය දිය යුතු නැත.

චතුර පමුණුව
http://www.divaina.com/2016/10/09/forign.html

Pic Source