Pages

Monday, October 3, 2016

සිදුහත් උපතටත් පෙර මෙරට දියුණු අවමංගල්‍ය චාරිත්‍ර පැවැති බවට සාක්‍ෂි යාන්ඔය සුසාන භූමියක කැණීම්වලින් හෙළිකර ගනී

සිදුහත් කුමාර උත්පත්තිය සිදුවීමට වසර දෙසීයකට ඉහත සිට එනම් ක්‍රිස්‌තු පූර්ව හයවන සියවසේ මෙරට ජනතාව සතුව අවමංගල්‍ය චාරිත්‍ර ඉටු කළ දියුණු චාරිත්‍රයක්‌ පැවැති බවට සාධක කහටගස්‌දිගිලිය කොක්‌ඇබේ ප්‍රදේශයේ යාන්ඔය නිම්නය ආශ්‍රිතව පිහිටි සුසාන භූමියක ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුර විද්‍යා සහ උරුම කළමනාකරණ පීඨයේ අංශාධිපති ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ සිදුකළ පුරා විද්‍යා කැණීම්වලදී හමු වී තිබේ. 

ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා ප්‍රමුඛ කථිකාචාර්යවරුන් වන මහාචාර්ය ආරිය ලගමුව, ටිකිරි බණ්‌ඩාර විඡේපාල, චන්දිම අඹන්වල සහ මදුමාලි නිමන්තිකා රණසිංහ යන මහත්ම මහත්මීන් සහ පුරා විද්‍යා සහ උරුම කළමනාකරණ පීඨයේ සිවු වන වසරේ ශිෂ්‍ය කණ්‌ඩායමක්‌ විසින් එම කැණීම් සිදු කොට ඇත.

ඒ අනුව එම සුසාන භූමියේ තෝරාගත් ස්‌ථාන තුනක කැණීම් සිදු කොට ඇති අතර එහිදී මෙගලිතික යුගයට අයත් ප්‍රාග් ඓතිහාසික සාධක රැසක්‌ සොයාගෙන තිබේ.

වර්ග 4 කට අයත් සාධක 215 ක්‌ පමණ එම කැණීම්වලදී හමුවූ බව ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා පැවැසීය. ඒ අතර මැටි මෙවලම්, වීදුරු, පබළු, කානේලියන් පබළු වැනි ද්‍රව්‍ය වන බවත් ඒ මහතා පැවැසීය.

මේ අතර නිල් සහ කොළ පැහැති වර්ණයෙන් යුත් පබළු අනූවකට වැඩි සංඛ්‍යාවක්‌ එම භරණය තුළ තිබී හමුවී ඇත.

ක්‍රි.පු. අටසියය පමණ කාලය වන විට මධ්‍ය යාන්ඔය නිම්නයේ ජීවත් වූ මිනිසුන් පබළු නිෂ්පාදනය කිරීමේ තාක්‌ෂණික ක්‍රියාවලිය පිළිබඳව මනා දැනුමකින් සිට ඇති බවට කැණීම්වලදී හමු වූ වීදුරු පබළුවලින් පැහැදිලි වන බවද පැවසූ ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා කැණීම් වලදී හමු වූ පුරා වස්‌තු සාම්පල කාල නිර්ණය කිරීම සඳහා යොමු කළ බවත් එම වාර්තාවට අනුව කොක්‌ඇබේ සුසාන සංකීර්ණය වසර දෙදහස්‌ අටසියයකට පමණ පෙර සකස්‌ කොට ඇති බවට සනාථ වී ඇති බවත් හෙතෙම පැවැසීය.

මේ අතර එම සුසාන සංකීර්ණය මෙරටින් හමුවූ ඉපැරණිතම මෙගලිsතික සුසානය බවත් පවසන ආචාර්ය තුසිත මෙන්ඩිස්‌ මහතා ඉතාමත් හොඳ සංස්‌කෘතික ලක්‌ෂණ වලින් පොහොසත් පිරිසක්‌ අතීතයේ අනුරාධපුර ප්‍රදේශයේ ජීවත් වූ බවට මෙම සුසානයේදී හමුවූ සාධකවලින් පැහැදිලි වන බවත් කීය.

මෙය විජය කතා පුවතට එහා යන ශ්‍රී ලාංකික ජනතාවගේ අනන්‍යතාවන් පිළිබිඹු කරන සංස්‌කෘතික ප්‍රවාහයක්‌ ලෙසට හැඳින්විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු 
http://www.divaina.com/2016/10/03/news07.html

සබැඳි ලිපි -
[
http://denethharinna.blogspot.com/2014/11/blog-post_65.html
අනුරාධපුර යුගයේ විදෙස්‌ සබඳතා ගැන බඳගිරියෙන් සාක්‍ෂි මතුවෙයි!
http://denethharinna.blogspot.com/2014/11/blog-post_22.html
රජ කාලෙ සල්ලි මල්ලක් බඳගිරියෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2014/10/blog-post_69.html
සේරුවාවිලට නුදුරුව පොළොන්නරු රජ කාලයේ දියුණු වරාය නගරයක්
හැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...
සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේ
]

0 comments: