Pages

Wednesday, October 19, 2016

නව ව්‍යවස්‌ථාව පිළිබඳ ආණ්‌ඩුවේ මතගැටුම!

නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් ආණ්‌ඩුව තුළ ඒකමතික තත්ත්වයක්‌ නැති බව පෙනී යයි. දේදුනු සංවිධානයේ සාමාජිකයන් නව ව්‍යවස්‌ථාව ගැන ඔවුනොවුන්ගේ අභිමතය පරිදි නොයෙක්‌ කතා කීම නිසා මෙය පසක්‌ වී තිබේ. සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් කොළොන්නාව සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්‌ථානයේ ඉදිකරන ලද අභිනව බෝධිමළුව විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බුදුසසුන ආරක්‍ෂා කරන බවත් එයට ලබාදී ඇති ප්‍රමුඛ ස්‌ථානයේ කිසිදු වෙනසක්‌ සිදු නොවන බවත්ය. බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීම පිළිබඳව සියලු පක්‍ෂ එකඟ බවත් දෙමළ ජාතික සන්ධානය පවා මේ මතයේ සිටින බවත් අගමැතිවරයා සේදවත්ත පුරාණ විහාරයේදී අවධාරණය කර සිටියේය. අගමැතිවරයාගේ මේ ප්‍රකාශයෙන් පසු දිනම දෙමළ සන්ධාන මන්ත්‍රී එම්. සුමන්තිරන් ප්‍රකාශ කළේ කුමක්‌ද? ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබාදීම පිළිබඳව දෙමළ සංවිධානය කිසිම අනුමැතියක්‌ ලබාදී නොමැති බවයි. හින්දු ආගමිකයකු නොවන සුමන්දිරන් මන්ත්‍රීවරයා මෙතෝදිස්‌ත ආගමිකයෙකි. දෙමළ සන්ධානය බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීමට එකඟතාව පළ කර ඇතැයි යන්න කොටි හිතවාදී ටැමිල් ගාර්ඩියන් පුවත්පතේ ප්‍රමුඛ පුවතක්‌ ලෙස පළ කර තිබිණි. කොටි හිතවාදීන්ගේ විරෝධය සමනය කිරීමට සුමන්තිරන් මේ ප්‍රකාශ සිදු කළා ද යන්න අපට පැහැදිලි නැත. කෙසේ නමුත් දෙමළ සන්ධානයේ කොටි හිතවාදීහු උග්‍ර බෞද්ධ විරෝධියෝ වෙති. කනගරායන්කුලම්හි බුදුපිළිම කුඩු කළේද මොවුන් බව අප අමතක කළ යුතු නැත. 

ජාතික හෙළ උරුමයේ මහලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉකුත් 10 වැනිදා මල්වතු අස්‌ගිරි නාහිමිවරුන් හමුවී ආශීර්වාද ලබාගෙන නව ව්‍යවස්‌ථාව ගැන කරුණු දක්‌වා තිබිණි. එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ ජනමත විචාරණයකට ගත යුතු කිසිම කරුණක්‌ නව ව්‍යවස්‌ථාවට ඇතුළත් නොකරන බව ය. ඒ අනුව ඉදිරියේදී සිදුවන්නේ තවත් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ පමණක්‌ ද? 1978 සැප්තැම්බර් මාසයේ සම්මත කරන ලද මේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට විටින් විට සංශෝධන සිදු කෙරිණි. 2015 මැයි මාසයේදී 19 වැනි සංශෝධනය සිදු කරන ලදී. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සැකසීමේ මූලික කාර්යභාරය ඉටුකරන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා බී. බී. සී. සංදේශයට ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව හඳුන්වා දෙන අභිනව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනාගමික ව්‍යවස්‌ථාවක්‌ විය යුතු බව සිය පෞද්ගලික අභිමතය බවයි. අගමැතිවරයා බෞද්ධ ජනතාව හමුවේ බුද්ධාගමට කිසිදු වෙනසක්‌ සිදු නොකරන බව ප්‍රකාශ කරද්දී ව්‍යවස්‌ථා කෙටුම්පත් කමිටුවේ සාමාජිකයන් "අනාගාමික" නොඑසේනම්" ලෝකායන" ව්‍යවස්‌ථාවක්‌ ගැන මත පළ කරති. මේ අනුව අපට පෙනී යන්නේ කුමක්‌ද? නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ ආණ්‌ඩුව තුළ මත ගැටුම් හටගෙන ඇති බව නොවේද?
ෆෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය බව එළුඟුතමිල් ව්‍යාපාරයේ නායක උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා නිරන්තරව ජප කරයි. තමන් හමුවට එන සෑම විදේශ නියෝජිතයකු හමුවේම කොළඹ ආණ්‌ඩුවට, උතුරු හමුදා කඳවුරුවලට එරෙහිව ආඩපාලි කියන මේ මහඇමැතිවරයා අවසානයේ ප්‍රකාශ කරන්නේ කුමක්‌ද? උතුරේ ජනතාවට ෆෙඩරල් විසඳුමක්‌ ලබාදීමට විදේශීය රාජ්‍යයන්ගේ මැදිහත්වීමක්‌ සිදු විය යුතු බවයි. පසුගිය සැප්තැම්බර් 02 වැනිදා යාපනයේදී එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් හමුවූ උතුරු මහ ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ කුමක්‌ද? යුද අපරාධ චෝදනා පරීක්‍ෂා කිරීම සඳහා විදෙස්‌ මැදිහත්වීමක්‌ අවශ්‍ය බව නොවේද? එළුඟුතමිල් ව්‍යාපාරයේ අරමුණ ද යළිත්වරක්‌ ලංකාවට විදෙස්‌ මැදිහත්වීමක්‌ සඳහා පාර කැපීමය.

එහෙත් ඉන්දියාවත් ඇමරිකාවත් විග්නේශ්වරන්ගේ ක්‍රියා කලාපය ගැන පැහැදීමකින් නොසිටින නිසා එය කොළඹ ආණ්‌ඩුවට වාසිදායකය. කොටි සංවිධානය ක්‍රියාකාරීව සිටියදී කිසිම ප්‍රකාශයක්‌ නොකළ විග්නේශ්වරන් මහතා දැන් මේ සිදු කරන ප්‍රකාශ හරහා සිරිසේන වික්‍රමසිංහ ආණ්‌ඩුවේ සංහිඳියා වැඩපිළිවෙළ දැවැන්ත අවුලකට ඇද දමන බව නම් රහසක්‌ නොවේ. යහපාලන ආණ්‌ඩුව නව ව්‍යවස්‌ථාව ගෙන එන්නේ ද සංහිඳියාව ඇති කිරීම පිණිසය. නමුත් නව ව්‍යවස්‌ථාව ගෙන ඒමට පෙරදීම ඇතිවන කතාබහ මත ගැටුම් අනුව මේ නව ව්‍යවස්‌ථාව සංහිඳියාවට නොව රට අගාධයට තල්ලු කරන බව නම් පැහැදිලිය. විග්නේශ්වරන්ගේ ෆෙඩරල් ව්‍යවස්‌ථාව පිළිබඳ පාර්ලිමේන්තුව්දී අදහස්‌ දැක්‌වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නව ව්‍යවස්‌ථාව සැකසෙන්නේ උතුරු මහඇමැතිවරයාට අවශ්‍ය පරිදි නොවන බව අවධාරණය කර සිටියේය.

2015 ජනපතිවරණ සටනට එද්දී මෛත්‍රිපාල සිරිසේන මහතා ද ප්‍රකාශ කර සිටියේ තමන් ජනපති ක්‍රමය අහෝසි කර දමන බවයි. එදා 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරණයට පැමිණෙන විටත් ඇය පරසක්‌වළ ගසමින් ප්‍රකාශ කර සිටියේ 1995 ජුනි 30 වැනිදාට පෙර විධායක ජනපති ක්‍රමය අහෝසි කර දමන බවයි. ඇය විධායක ජනපති ලෙස කටයුතු කළ වසර 11 පුරාම කොටි සංවිධානය සමග දැවැන්ත යුද්ධයක පැටලී සිටි නිසා ආණ්‌ඩුක්‍රම වෙනසක්‌ ඇති කිරීම ප්‍රායෝගික නොවූ බව හොඳින්ම පැහැදිලිය. කෙසේ නමුත් යහපාලන ආණ්‌ඩුව ද විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බව කියද්දී ඇමැති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ කවරක්‌ ද? විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම සුදුසු නොවන බවයි. ජනපති සිරිසේන මහතාගේ හිතෛෂී ඇමැතිවරයකු ලෙස සැලකෙන සමරසිංහ මහතාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ කුමක්‌ද? ජනපති පාර්ශ්වය විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට අකමැති බව නොවේද? මීට පෙර මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා ද විධායක ජනපති ක්‍රමය අහෝසි නොකළ යුතු යෑයි පවසා තිබිණි.

මේ සියල්ලෙන්ම අපට පැහැදිලි වන්නේ එජාපයත් ශ්‍රී ලනිපයත් අතර නව ව්‍යවස්‌ථාව ගැන පොදු එකඟතාවක්‌ නැති බවයි. මේ එකඟතාව නැතිවීම රටට හොඳය. මන්ද 2020 තෙක්‌ම මේ වාදය දිගින් දිගටම ගොස්‌ නව ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීමට නොහැකි වුවහොත් එය ඒකීය රාජ්‍යයට ජයග්‍රහණයකි. හදිසියට හෝ නව ව්‍යවස්‌ථාවක්‌ බිහි වුණොත් එය ඒකීය රාජ්‍යයේ මළගමේ ආරම්භය බව නොකියාම බැරිය.

චතුර පමුණුව 
http://www.divaina.com/2016/10/16/politics01.html

Pic Source

0 comments: