Pages

Monday, April 10, 2017

සිංහලයාගේ නැකැත් කෙළියේ වත්මන් ලකුණ සිංහල අවුරුද්දයි!

ලක්‌දිව දුරාතීතයේ සිටම විවිධ සමාජ උත්සව පැවැතිණ. එම සමාජ උත්සව අතුරින් හෙළයන්ගේ මුල්ම ජාතික අවුරුදු සැණකෙළිය වූයේ පොසොන් කෙළියයි. ඒ බව මිහිඳු මහරහතන් වහන්සේට දේවානම් පියතිස්‌ස රජතුමා මුණගැසුණු ඒ මිහින්තල සිද්ධිය ගැන පවසද්දී හෙළි වේ. සිංහලයින් බෞද්ධයන් වූ පසු පොසොන් කෙළිය ආගමික උත්සවයක්‌ බවට පත්වූයේය. එතැන් පටන් සිංහල අවුරුද්ද වූයේ බක්‌මහ උළෙලයි.

මෙම මහා මංගල්‍යය අග්නිදිග ආසියාතික සංස්‌කෘතියෙන් අපට උරුම වූ මංගල්‍යයක්‌ ලෙස සමහර විද්වතුන් දකිති. අපේ සාම්ප්‍රදායික උත්සව සියල්ලක්‌ම පාහේ යෙදී තිබෙන්නේ චන්ද්‍ර මාස ක්‍රමය අනුවයි. එහෙත් සූර්ය මාස ක්‍රමය සහ සූර්යයා මුල්කරගෙන අප සමරන එකම උත්සවය බක්‌මහ මංගල්ලයයි. ඒ වගේම සූර්ය වන්දනාව ආශ්‍රිතව ගොඩනැඟුණු සංස්‌කෘතික මංගල්‍යයක්‌ ලෙස දකින්න පුළුවනි.

සෑම ජීව අජීව වස්‌තුවක උපත හා පැවැත්ම තීරණය කිරීමේ බලය ඇත්තේ හිරුටය. ඒ අනුව ලෝකයාට ආලෝකය උදාකරනුයේ සූර්යයාය. සත්ත්වයන්ගේ පැවැත්මත් ශාක වර්ධනයටත් බලපානුයේ සූර්ය කිරණයි. එම සූර්යයාට කරන පූජෝත්සවයක්‌ ලෙස හින්දු බැතිමත්හු මෙම අවුරුදු උත්සවය සමරන අතර බෞද්ධ බැතිමත්හු ආගමික චාරිත්‍රවලට මුල් තැන දෙමින් සංස්‌කෘතික උත්සවයක්‌ ලෙස සමරති.

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සම්ප්‍රාප්ත වන දිනය සිංහල අවුරුද්දේ උපතයි. වෙනත් විධියකින් කියතහොත් පෘථිවිය මාස දොළහක්‌ තිස්‌සේ සූර්යයා වටේ කරන ගමන අවසන් කොට යළිත් අරඹන මේ නැකැත් උළෙල පොදු වශයෙන් මුළු ලොවටම අවුරුද්දක්‌ වන්නේය.

සිංහල මාස ක්‍රමයේ හැටියට අප්‍රේල් වූ කලී අපේ බක්‌ මාසයයි. බක්‌ නාමය භාග්‍යා යන්නෙන් බිඳී ආ සේ පෙනේ. හෙළ අටුකොටු ධන ධාන්‍යයෙන්ද හේන් කොරටු අල බතලින්ද ගස්‌වැල් මල් හා පලතුරුවලින් ද පිරී ඉතිරී යන්නේ මේ බක්‌ මහේදීය. එපමණක්‌ නොව මඟුල් තුලාවලට හොඳ නැකැත් යෝග පිරී පවතින්නේද මේ සුන්දර බක්‌මහේ දීමය. ඒ නිසා සැබැවින්ම බක්‌මහ වසරේ භාග්‍යතම මාසය වන්නේය.

වර්තමාන සිංහල අවුරුදු උත්සවය ශත වර්ෂයට සම්බන්ධ කරගෙන ඇති අතර එය පරණ අවුරුද්ද හා අලුත් අවුරුද්ද යන දෙදිනකින් සමන්විත වේ. පරණ අවුරුදු දිනය සූර්යයා මීන රාශියේ ගත කරන අන්තිම දිනයයි. අලුත් අවුරුද්ද යනු සූර්යයා මේශ රාශියට සංක්‍රමණය වන මුල්ම දිනයයි.

මේ ජාතික උළෙලෙහි විශේෂතම ලක්‍ෂණය වන්නේ සෑම ප්‍රධාන කාර්යයක්‌ම නැකැත් අනුවම ඉටුවන බැවිනි. මේ නැකැත් උළෙල සම්බන්ධ සිරිත් විරිත් අකුරට පිළිපැදීමෙන් තම වැඩකටයුතු සඵල කර ගැනීමට හැකි වූ බව පැරැන්නන්ගේ විශ්වාසයයි.

සඳ බැලීම මුල්ම අවුරුදු චාරිත්‍රයයි. අවුරුදු ලැබූ බව දැන ගන්නේ චන්ද්‍රයා නැරඹීමෙනි. එය පුර පක්‍ෂ හා අව පක්‍ෂ අනුව කාලය සකසා ගනී. පරණ අවුරුද්ද හා අලුත් අවුරුද්දටත් සඳ බැලීම මූලිකාංගය වී ඇත්තේ එහෙයිනි. ඒ බව සැළලිහිණි සංදේශයේ "නව සඳවන් ලොව වැසි අදරින් වදන" යන පාඨයෙන් පෙනේ. චාරිත්‍ර කෝට්‌ටේ යුගයේදී පැවැති බවට සාක්‍ෂියකි. අවුරුද්දට පෙර ජලස්‌නානය කිරීමද නොනගතය විවේකයෙන් ආගමානුකූලව ගතකිරීමද අවුරුදු දවසේ සිට ගිනි මොලවා ආහාර පිසීම, නියමිත පාටින් ඇඳුම් ඇඳීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම, හිසතෙල් ගෑම හා ගමන් ඇරඹීම ආදිය පවත්වනුයේ ජ්‍යෙdතිෂ මතයට එකඟවයි. දෙමාපියන් ජීවත්ව සිටීනම් ඔවුනට තෑගි, මුදල්, ඇඳුම් පැළඳුම් හා වෙනත් අවශ්‍ය දේ රැගෙන ගොස්‌ බුලත් හුරුලුදී කමා කරවා ගැනීම අනිවාර්ය වැඩ කොටසකි. ඉන්පසු නැදැ හිත මිතුරන් දැකීමට යති. ඔවුන් එක්‌ව ආහාර ගැනීම හා ප්‍රිය මනාප කතාවල යෙදීම සබඳකම් අලුත්කර ගැනීම විශේෂ අවුරුදු චාරිත්‍රයකි.

ක්‍රි. පූ. 400 දී පැවැත්වූ සූර්ය උත්සවය සම්බන්ධව මහා වංශයෙහි පණ්‌ඩුකාභය රජ තුමා නැකැත් කෙළි දවස්‌හි චිත්තරාජ හෙවත් චිත්‍ර රාජයා සමඟ සම අසුන්හි හිඳගෙන නැවුම් කරවමින් යනුවෙන් සඳහන්ව ඇති අතර එහිම තවත් තැනක බදලත්ථලී නම් ග්‍රාමයට පැමිණි කීර්ති ශ්‍රී මේඝවර්ණ යුව රජතුමා වසන්ත කීල හෙවත් වසන්ත උත්සවයක්‌ පැවැත්වීම සම්බන්ධව සටහනක්‌ තිබේ. එමෙන්ම සීගිරි කැටපත් පවුරෙහි ලියෑවී ඇති ගීතයකද අලුත් අවුරුදු චාරිත්‍රයක්‌ ආශ්‍රිත ඉඟියක්‌ සපයයි.

අඟනිති අත්සලව් මෙහි පොහොන් තෙක්‌ නැතිද නවබිග්ලසන්ද් දුටි මිනිසත්හු නොජන් නෙයි"

කාන්තාවන් අත්සලව් මගේ මේ ගීය අගයන්නකු නැති වෙතත් බක්‌ මාසයෙහි නව හඳ ගැන දැක පැමිණ තරුණයකු වන මා නොසලකා හරින්න එපා.

එපමණක්‌ නොව කලක්‌ මෙරට විසූ විදේශිකයකු වන ජෝන් ඩේව් නම් වෛද්‍යවරයා ද මෙරට පිළිබඳ තැබු සටහනක අලුත් අවුරුදු උත්සවය පිළිබඳ සඳහන් කර තිබේ. ඒ උත්සවය ළංවන විට රාජ වෛද්‍යවරයෝ නාථ දේවාලයෙහිඳ ඖෂධ පැළෑටි යුෂ ගෙන භාජන දහසක්‌ පමණ පිළියෙල කරති. ඒවා රජ වාසලට යෑවෙන අතර පසුව අනෙක්‌ දේවාලවලට ද යැවේ රාජ නැකැත්කරුවෝ සුබ වේලාවන් අනුව අවුරුදු ලබන මොහොත, ඔසු දිය ගැල්විය යුතු හෝරාව, ආහාර ගත යුතු හෝරාව වැඩ ඇල්ලිය යුතු හෝරාව, දැනුම් දෙති. සුබ හෝරාව සන්නි වේදනය කරන්නේ ඝණ්‌ටාර හැඬවීමෙනි. නුග කොළ අතින් ගෙන ඉඹුල් කොළ පයට තබා දල්වන පහන් අතින් ගත් තරුණියෝ ගිණිකොණ දෙස බලා කහ දියරෙන් රජුගේ හිසත් ගතත් නාවා රජුට ආවඩති. සුබ නැකතට අනුව රජතුමා දිවා භෝජනයේ රස බලා සියලුම නිළමේවරුනට ඉන් ස්‌වල්පයක්‌ බැගින් දෙයි. සියලු දෙනා රාත්‍රි භෝජන සංග්‍රහයකටද සහභාගි වෙති. මේ අවස්‌ථාවලදීම තෑගි බෝග හුවමාරු කර ගන්නා අතර මහජනයාද එසේ කරති. ස්‌නානය කරන්නේ ඊට පෙර නාථ දේවාලයෙහි පිළියෙල කරන ලද ඔසු දියර භාවිතයෙනි. ඉන්පසුව රජතුමා ප්‍රභූන් සමඟ එක්‌ව දළදා වැදීමට යයි. මෙය රටවැසියාට විවේක කාලයකි.

එදත් අදත් සිංහල අවුරුදු සමයේ යම් යම් වෙනස්‌කම් අතරින් පතර දක්‌නට ලැබුණේද එහි මූලික ලක්‍ෂණයන් වෙනස්‌ නොවී අද ද අප අතර පැවැතීම වාසනාවකි. ඒ බව අදින් වසර 116 කට පෙරාතුව එනම් 1901 වර්ෂයේ චාරිත්‍ර කිරීම් උදාහරණයක්‌ වේ. ඒ මෙසේය.

ශත වර්ෂ 1823 (ක්‍රි. ව. 1901) පිළිබඳ සිංහල අවුරුදු චාරිත්‍ර.

ඔයෑ Sෂභ්‍යAඛෑSE භඋඋ ශෑAR CERAපෑභෑSE ධF 1823 SAණ්‌ (1901 Aගෘ

ගල්කිස්‌සේ තම්බි අප්පු ගුරුන්නාන්සේ මහත්මයාගේ ලිතේ පෙනෙන නැකැත් වේලාවන්.

1. වැඩ අත්හරින වෙලාව 

අප්‍රේල් 12 වන දින (සිකුරාදා) රෑවූ පස්‌ පැයෙන් මෙපිට කා බී සම්පූර්ණව සියලු වැඩ අත්අරිනු.

2. වැඩ අල්ලන වෙලාව

මෙම දින රෑ සෙනසුරාදාට එළිවෙන්නට පළමු ඔරලෝසු ගණනින් 5 පසුවී මිනිට්‌ටු 35 ට (හය පසුවී මිනිට්‌ටු 56 ට) නීලවර්ණ වස්‌ත්‍රද ඇඳ ඉහත කී දෙස බලා විළඳ පිටි මිශ්‍ර කෑම සහිත ආහාර අනුභව කොට සියලු වැඩ අල්ලා ගනුදෙනු කරනු.

නාගරික හා ගම්බඳ ප්‍රධානිහු එක්‌ව ජාතික උත්සව හා ක්‍රීඩා උත්සව පවත්වා ත්‍යාග බෙදා දීම් කරවනුයේද මේ අවුරුදු සමයේදීය. අද ක්‍රිකට්‌, ටෙනිස්‌ වැනි විදෙස්‌ ආභාසයන් ලත් ක්‍රිඩාවන්ට මහත් වියදමක්‌ දරද්දී පාරම්පරිකව පැවැත එන සාම්ප්‍රදායික ජාතික කෙළි සෙල්ලම් අභාවයට යැම කණගාටුවට කරුණකි. එම අභාවයට යන ක්‍රීඩාවන් අතර ගුඩු පැනීම, කතුරු ඔංචිල්ලා, පොර පොල් ගැසීම, තාච්චි පැනීම, ගස්‌ මැදීම, එළුවන් දිරි ගැන්වීම, පංච කෙළිය, රබන් ගැසීම ඉන් සමහරක්‌ වේ.

මෙම ජාතික ක්‍රීඩාවන් යාන්තමින් හෝ දැක ගැනීමට හැකිවන්නේ අවුරුදු සමයේදී පමණි. එම ජාතික ක්‍රීඩාවන් පොදු සාමූහිකත්වයක්‌ ගොඩ නැඟීම සඳහා යම් ආකාරයකින් බලපා ඇති බව පෙනේ. එබැවින් අප සිහියට ගත යුතු වන්නේ පැරැණි ජාතික කෙළිසෙල්ලම් යළි දියුණු කර ආරක්‍ෂා කිරීමටයි.

එහෙයින් සියලු ආගමිකයන්ට ජාතිකයන්ට එනම් එකම මොහොතක එකම අයුරින් සැමරිය හැකි ජාතික උත්සවය සිංහල අලුත් අවුරුදු උත්සවය වේ.

විනී ලයනල් ගලහිටියාව
http://www.divaina.com/2017/04/09/scholast.html

Pic Source

0 comments: