Pages

Saturday, April 29, 2017

කොග්ගලදී මාර්ටින් වික්‍රමසිංහ ද මඩොල්දූවේදී උපාලි හා ජින්නා ද හමුවූයෙමි!

"කොග්ගල වූකලී එක්‌ පැත්තකින් මුහුදින්ද අනෙක්‌ පැත්තෙන් සුන්දර නදියකින්ද සීමාවූ බිම් තීරයකි. පීත්ත පටියක්‌ සේ දිවෙන ගාලු මාතර පාරින් වෙන් කරනු ලැබූ මෙහි වෙරළබඩ වනාහි ගමෙහි සුලභ ගෙයක මිදුලට හෝ ආලින්දයට හෝ සමකළ යුත්තකි. ගාලු මාතර පාර ළඟින්ම දිවෙන රේල් පාර පස්‌ කන්දක්‌ මතුයෙහි හොවන ලද පටන් ගැන්ම හෝ කෙළවර හෝ නොදැක්‌ක හැකි හිණක්‌ වැන්න."

ගමක්‌ වශයෙන් කොග්ගල අවුරුදු හත් අටදහසක්‌ වත් පැරණි යෑයි කියෙන ලකුණු පොළව යට මිස උඩ නම් නොදක්‌නා ලදී. බිම්කඩක්‌ වශයෙන් ඒ ගම අවුරුදු කෝටි ගණනක්‌ පැරණි යෑයි කියන්නේ රේල් පාර අයිනේ පිහිටි පර්වතයකි. 

මා දැන් පය තබා සිටින්නේ ඒ සුන්දර වූ කොග්ගල ග්‍රාමයේය. මෑත කාලීන සිංහල සාහිත්‍යය තුළ ග්‍රාමයක්‌ වශයෙන් කොග්ගලට හිමිවූ ස්‌ථානය වෙනත් ගමකට හිමිවී නැත. 

නූතන සිංහල සාහිත්‍ය වංශකතාවේ මහා ප්‍රාඥයා ලෙස සැලකෙන හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් උපත ලද භූමිය කොග්ගල වීමත් එතුමන්ගේ බොහෝ නව කතා සහ කෙටි කතා සඳහා කොග්ගල ග්‍රාමය පසුබිම් කරගැනීමත් අමතක කළ නොහැක. කොග්ගල ග්‍රාමයට ප්‍රවිශ්ඨ වූ විට ඒ මහා ගැමිකම සුවඳක්‌ ලෙස පැමිණ මා පිළිගත්තේය. 

වික්‍රමසිංහ ශූරීන්ගේ ගම්පෙරළිය, කලියුගය සහ යුගාන්තය යන තුන් ඈඳුතු නව කතා ත්‍රිත්වයද විරාගය හා මඩොල්දූව වැනි අනෙක්‌ නව කතාද සත්ත්ව සංතතිය ආදී විද්‍යාත්මක විචාරයන් ඇතුළු සිය ගණනක්‌ කෘතිවලට අත්දැකීම් හා පසුබිම සපයා ඇත්තේ මා මේ පය ගසා සිටින කොග්ගල ගම බව සිතීමද ආඩම්බරයකි. කුඩාකල ඔහු ඇසුරු කළ ගැමියන් සහ ඔවුන්ගේ ජීවන චරිත මෙම බොහෝ නව කතාවල ජීවමාන චරිත බවට පත්වී ඇත. ගමටත් ගැමි පරිසරයටත් තමා බඳිනු ලැබූ ඇල්ම නැමති පෙකෙණි වැල පිපිරී ගියේ විවාහයෙන් පසු කොළඹ පදිංචි වීමෙන් යෑයි වික්‍රමසිංහ ශූරීන් තම ජීවන පුවත පවසන උපන් දා සිට ග්‍රන්ථයෙහි සඳහන් කරයි. 

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් උපන් පරිසරයට ඇතුල්වන විට දැනෙන්නේ සිසිල් සුවදායක බවකි. දැඩි අව් රශ්මියෙන් පීඩිත ගාලු මාතර පාරේ සිට කොග්ගල ගම අභ්‍යන්තරයට ගමන් කරන විට මේ මහා වෙනස අත්දකින්නට වූයෙමි. 

එහි ඇරඹුම ඇත්තේ කොග්ගල ජනකලා කෞතුකාගාරයයි. වික්‍රමසිංහ ශූරීන් විසූ යුගයේ මෙරට පැවති සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්‌කෘතික අංගයන් අවබෝධ කර ගැනීමට මෙම ජනකලා කෞතුකාගාරය කදිම තෝතැන්නකි. එම යුගයට අයත් විවිධ උපකරණ වර්ගද වික්‍රමසිංහ ශූරීන්ගේ විවිධ නවකතා හා කෙටිකතාවලින් විස්‌තර වන අංගෝපාංගයන් හා ගැමි පරිසරයද මෙහිදී සජීවී ලෙසින් දැකගත හැකිය. අතීතයේදී භාවිතා වන ගිරය, වංගෙඩිය, ලබු කැටයේ පටන් වී බුසුල, කුරණිය, මසුන් අල්ලන දැල් කුල්ල ආදිය මේ අතර ප්‍රධාන වේ. 

මෙරට සාම්ප්‍රදායික කෝළම් වලදී භාවිතා වන මහා සම්මත රජතුමා සහ දේවියගේ යෝධ වෙස්‌ මුහුණද මේ කෞතුකාගාරයට අපූර්ව අලංකාරයක්‌ එක්‌කරයි. 

වික්‍රමසිංහ ශූරීන්ගේ නව කතාවල විස්‌තර වන පරිදි චරිත විසින් අඳින පළඳින ලද ඇඳුම් ආයිත්තම් රේන්ද මෝස්‌තර කොට්‌ට උර ආදිය මට දැකගත හැකිවිය. ගම්පෙරළිය නවකතාවේ විස්‌තර වන අන්දමේ නන්දාගේ අල්මාරියට සමාන හැඩහුරුකම් ඇති එනම් කලුවර ලීයෙන් හා ඇත්දළ කැටයමින් කරන ලද බුරුත ලී බීරළු අල්මාරියකි. 

අතීතයේ මුලුතැන්ගෙයි භාවිතා කළ හැළිවළං, හෙල්ල, කිනිස්‌ස වැනි ආයුධද මෙහිදී දැකගත හැක. එම ස්‌ථානයෙන් ඉදිරියට ගමන් කළ විට පැරණි යුගයේ භාවිතා කළ වාහන දැකගත හැකිය. බක්‌කි කරත්තය, අශ්ව කරත්තය, අස්‌ති කරත්තය, බණ කරත්තය මේ අතර ප්‍රධාන වේ. ගම්පෙරළිය නවකතාවේ සඳහන් වන ගම්පෙරළිය චිත්‍රපටය සඳහා යොදාගත් මුහන්දිරම් කයිසාරුවත්තේ විසින් භාවිතා කළ කරත්තයද මෙහිදී දැකගත හැකිය. 

යෝධ බක්‌කි කරත්ත, අශ්ව කරත්ත සමහරක්‌ මෙම ස්‌ථානයට පරිත්‍යාග කරනු ලැබ ඇත්තේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය විසින් බව එහි සඳහන්ය. ඒවා එතුමියගේ පියාණන් විසින් භාවිතා කළ ඒවාය. කොග්ගල ගම්මානයේ තැනින් තැන මා පිළිගැනීමට මෙන් ආචාර කරමින් ළෙල දෙන මහනෙල් මලින් පිරුණු කුඩා විල් කිහිපයකි. අවට පරිසරය පුරා ඇත්තේ ඉහළ උද්භිද විද්‍යාත්මක වටිනාකමක්‌ ඇති වෘක්‌ෂලතාවන්ය. එම කෞතුකාගාරයේම කොටසක පැරණි යුගයේ භාවිතා වූ ඔරු පාරුද දැකගත හැකිය. 

මෙම කෞතුකාගාරය පසුකොට ඉදිරියට ගමන් කළ මට දිස්‌වූයේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් උපන් නිවසය. දෙවන ලෝක යුද්ධ සමයේදී මෙම ස්‌ථානය අවට බොහෝ නිවාස පැවතියද බ්‍රිතාන්‍ය අධීරාජ්‍යවාදීන් විසින් ඒවා කඩා ඉවත් කරනු ලැබ ඇත. එහෙත් මෙම නිවස පමණක්‌ ඉතුරු කරන ලෙස එවකට ගාලු ප්‍රදේශය භාර ඉංග්‍රීසි ඒජන්තවරිය විසින් පවසා ඇත. ඒ මෙම නිවසේ වූ පෞරාණික අලංකාරත්වය නිසාය. ලෝක යුධ සමයෙන් පසුව රටේ තත්ත්වය යහපත් වූ පසු නැවත මෙම නිවස පසුකාලීනව වික්‍රමසිංහ ශූරීන්ට භාරදී ඇත. නිවසේ බිම අතුරා ඇත්තේ පැරණි යුගය සිහිපත් කරන ගඩොල්ය. නිවසට ඇතුළුවන විට එහි එල්වා ඇති ඡායාරූප අතර වික්‍රමසිංහ ශූරීන්ගේ විවාහ ආරාධනා පත්‍රය විවාහ ඡායාරූපය ආදිය විශේෂ වේ. 

නිවසේ මැද සාලයේ ලියන මේසයකි. වික්‍රමසිංහ ශූරීන් ගමේ පැමිණි විට තම ලේඛන කටයුතුවලට භාවිතා කළ ලියන මේසය මෙය යයි සලකන අතර එය ගම්පෙරළිය නවකතාවේ මුහන්දිරම් කයිසාරුවත්තේගේ ලියන මේසය සිහිපත් කරයි. "පරවි කූඩුවක්‌ වැනි ඉහළ තට්‌ටුවකින්ද ගණන් පොත් හා රූලද පෑන් පැන්සල්ද තැබීම පිණිස තුනට බෙදන ලද කාමර තුනක්‌ ඇති තට්‌ටුවකින්ද යුත් පෙට්‌ටියක්‌ ඒ මේසය උඩ විය." වික්‍රමසිංහ ශූරීන් භාවිතා කළ උපැස්‌ යුවළ, තීන්ත පෑන, අත්කාචයක්‌ද මේසය මත තබා ඇත. 

මැද සාලයෙහි වම්පස වික්‍රමසිංහ ශූරීන්ගේ නිදන කාමරය පවතින අතර එතුමා විසින් අඳිනු ලැබූ කෝට්‌ කීපයක්‌ එහි එල්වා ඇත්තේ ඒ යුග පුරුෂයා සිහිවීම පිණිසය. මැද සාලය පසුකොට ඉදිරියට යන විට දකුණු පස ඇත්තේ මාර්ටින් වික්‍රමසිංහයන් උපන් කාමරයයි. "පිට පිට කම්බා හතක්‌ බිහි කළ මගේ මව මෙවර "සරමක්‌" බිහි කළ බව වින්නඹු මාතාව විසින් පියාට පැවසූ පසුව ඔහු අපමණ සතුටට පත්වූ බව වික්‍රමසිංහ ශූරීන් සඳහන් කරයි. එයට හේතුව පවුලට උපන් පළමු පිරිමි දරුවා තමා වීම නිසාය. 

එතැනින් ඉදිරියට ගමන් කළවිට හමුවන්නේ වික්‍රමසිංහ ශූරීන් විවිධ අවස්‌ථාවලදී ලියන ලද කෙටිකතා සහ නවකතා රාශියක පිටපත්ය. එතුමා විසින් විදේශගතව සිටින අතරතුරදී තම ආදරණීය බිරිඳ වෙත ඉංග්‍රීසියෙන් ලියා එවන ලද ලිපි වල පිටපත් කිහිපයක්‌ද පවතී. එම ලිපිවල වික්‍රමසිංහ ශූරීන් තම බිරිඳව ආමන්ත්‍රණය කර ඇත්තේ "ඵහ dරුaරුsඑ" ලෙසිනි. 

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ සහ ප්‍රේමා වික්‍රමසිංහ මැතිනියගේ සමාධීයද කොග්ගල එතුමා උපන් නිවසට යාබදව පිහිටා ඇත. 

කොග්ගල ග්‍රාමයේ සැරිසැරූ මා ඉන් අනතුරුව ඔහුගේ සුවිශේෂී වූ ළමා නවකතාව ලෙස පදනම් වූ මඩොල්දූව වෙත පියනැඟුවෙමි. මඩොල්දූවට ගමන් කිරීමට කොග්ගල සිට මීටර් 250 ක්‌ පමණ මාතර දෙසට ගමන් කළ යුතුය. කොග්ගල තොටුපළෙන් බෝට්‌ටුවක නැඟුණු මා කොග්ගල ඔය හරහා මඩොල්දූව වෙත ගමන් කළෙමි. කොග්ගල ඔයේ දකුණු පසින් ගිනිවැල්ල ග්‍රාමය පවතින අතර එහි මහා කප්පින්න වලව්ව අපූරුවට දිස්‌වේ. එය අද සංචාරක නිකේතනයක්‌ බවට පත්ව ඇත. මඩොල්දූව ගැන වික්‍රමසිංහයන් විස්‌තර කරන්නේද මෙලෙසිනි. "අපේ හේන එල්ලේ ගඟ මැද පිහිටි දූපතක්‌ වෙයි. එය ගැමියන් හැඳින්වූයේ "මඩොල් දූව" වන නමිනි. කොග්ගල ඔයෙහි තැනින් තැන පිහිටි දූපත් රාශියෙන් මෙය ගැමියන් අතර ප්‍රකට වූයේ, නපුරු මූකළානක්‌ ද සර්ප විමානයක්‌ ද ලෙසිනි. 

මා සමඟ ගිය මඟපෙන්වන්නා සඳහන් කළ පරිදි මඩොල්දූව ආරම්භයේදී අක්‌කර තුන හමාරක්‌ පමණ විශාල වපසරියක්‌ දරන ලද කොග්ගල ඔයේ ජලයට එය ඛාදනයට ලක්‌වී එහි භූමි ප්‍රමාණය මේ වන විට අඩුවී ඇත. මඩොල්දූවේ එක්‌ ස්‌ථානයක්‌ ඔරු පාරු නැවතීමට සුදුසු පරිදි සකස්‌ වී ඇති අතර එදා උපාලි සහ ජින්නා ගොඩ බසින ලද ස්‌ථානය ලෙස එය සටහන් වේ. මඩොල් දූව කඩොලාන කිරල කැලයකින් ආවරණය වී ඇත. 

ඉහළ උද්භිද විද්‍යාත්මක වටිනාකමක්‌ ඇති විවිධ කිරල වර්ග මෙහිදි දැකගත හැක. එම කිරල වර්ග ප්‍රචාරණය සඳහා එකිනෙකට වෙනස්‌ උපායන් භාවිතා කරන්නේ අපූර්ව ජෛව විවිධත්වයක්‌ පෙන්වමිනි. මඩොල්දූව අභ්‍යන්තරයේ පැරණි නාන ළිඳක්‌ද ගලින් තනන ලද යෝධ සෙක්‌කුවක්‌ද දැකිය හැකිය. මෙම ඉඩම වික්‍රමසිංහ ශූරීන්ට පරම්පරාවෙන් උරුම වූවක්‌ බව දැනගත හැකිය. මෙම සුවිශේෂී භූමි භාගය පරිසර සංරක්‌ෂකයන්ගේ අවධානයට ලක්‌විය යුතුය. මෙයට හේතුව ඇතැම් සංචාරක කණ්‌ඩායම් මෙම ස්‌ථානයට පැමිණ මධුවිත තොළ ගෑමටත් ආහාර අනුභවයටත් පුරුදු වී ඇති බැවිනි.

මඩොල් දූවේ තොටුපළෙන් ගොඩබැස ඉහළට නැඟි මට මඩොල්දූව වටා ඇති ඉස්‌සන් කොටුද ඈතින් ඈත පිහිටි තවත් දූපත් රාශියක්‌ද දැකගත හැකිවිය. දූපත වටා සංචාරය කරන ඔරුද දක්‌නට ලැබීණි. සැඳෑ කල උදාවී තිබිණි. ගිනි හට්‌ටියක්‌ හිසින් ගත් අවතාරය මඩොල්දූවේ සංචාරය කිරීමට පෙර මම යළි ගොඩබිමට සේන්දු වුණෙමි.

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් 1890 වසරේ මැයි මස 29 වන දින කොග්ගලදී උපත ලද අතර එතුමාගේ අභාවය සිදුවූයේ 1976 වසරේ ජූලි මස 23 වන දිනය.

කොග්ගල හා මඩොල්දූව සංචාරයේදී මට අවබෝධ වූයේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් කෙතරම් අපූරු ලෙස තමා උපන් පරිසරය හා තම ජීවන අත්දැකීම ස්‌වකීය නිර්මාණ සඳහා යොදාගෙන ඇති බවයි. එතුමන්ගේ විරාගය නවකතාවේ සඳහන් අරවින්ද තම ආත්ම ප්‍රකාශනයේ සඳහන් කරන්නක්‌ මට සිහිපත් විය. "කයින් මිනිසුන් දෙදෙනෙක්‌ සමාන නොවෙති. සිතින් ඔවුහු ඊට වඩා අසමාන වෙති. බාහිර ලෝකය මහත් කොට සලකා ගෙන ජීවත් වන්නන් මෙන් මම වස්‌තුව නොසෙවීමි. රස ආහාර සොය සොයා විඳීමෙන් ආස්‌වාදය ලබන්නකු මෙන් මම ඉන්ද්‍රිය පිනවීමෙන් දැඩි ආශ්වාදයක්‌ ලැබීමට වෙහෙස නෑයන් මිතුරන් හා සමාජය කුමක්‌ සිතුවත් මා ඉක්‌මන් නොවී ඉවසිල්ලෙන් හැමදෙයක්‌ම කළ බව මම දනිමි.".

වෛද්‍ය ජී.ජී. චමල් සංජීව නියෝජ්‍ය දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ - හම්බන්තොට
http://www.divaina.com/2017/04/30/feature28.html

0 comments: