Pages

Sunday, April 23, 2017

ආගමික නැඹුරුව: ලොව මුල්තැන ලංකාවට!

ආගම ඇදහිය යුත්තකි, උගත යුත්තක්‌ නොවේ යනුවෙන් හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා ලිපියක්‌ ලියුවේ 1954 දීය. එය බොහෝ දෙනාගේ අවධානයට ලක්‌වූ ලිපියකි. එම ලිපියේ මෙවන් සටහනක්‌ වේ.

වරක්‌ නෑ මිතුරන් දෙතුන් දෙනකු සමග මම අනුරපුරයට ගියෙමි. මා ගියේ පැරණි ගල් කැටයම් හා පිළිම බලා ආශ්වාදයක්‌ ලබන අදහසිනි. මා සමග ගිය උවැසියක්‌ බුදු පිළිමයක්‌ ඉදිරියේ දණින් වැටී වැන්දාය. සැදැහැ බැතිපෙමින් සිත එකඟ කරගත් ඇගේ කයද ඇගේ අධ්‍යාත්මය පිළිබිඹු කරන්නක්‌ විය. ඈ තම මමත්වය මකා දමා බුදු පිළිමය තුළට පිවිසීමෙන් ඒ හා එකී භාවයට ගියාය. ඈ ඇගේ වැඳීමෙන් ලැබුවේ උසස්‌ම ආස්‌වාදයකි. ඈ ලත් ආස්‌වාදය ලැබීමට මගේ බුද්ධියත් උගැනීමෙන් ලත් දැනුමත් මට ඉඩ නුදුන්නේය. මා බුදු පිළිමයෙන් ආශ්වාදය ලැබුවේ ඒ වටා බමන්නෙකු ලෙසිනි. මමත්වය මදකට යටකොට මගේ සිත බුදු පිළිමය තුළට පිවිසවා ඒ හා ඒකීය භාවයට යෑවීමෙන් උසස්‌ම ආස්‌වාදය ලැබීමට දැනුමෙන් පුරවාගත් මගේ හිස මට ඉඩ නුදුන්නේය. වික්‍රමසිංහයන් මේ ලිපිය මගින් ප්‍රකාශ කරන්නේ බුද්ධිය පරයා ශ්‍රද්ධාව බලවත් වන ආකාරයයි. අර උවැසිය ලැබූ ආස්‌වාදය බුද්ධි විෂය ඉක්‌මවන්නකි. පොතින් පතින් ආගම උගැනීම අප ලබාගෙන ඇත්තේ බටහිරෙනි.

එදත් අදත් මෙරට වැසියන්ගේ ආගමික භක්‌තියේ වෙනසක්‌ සිදුවී ඇත්ද? මේ ගැන සිදුවූ වැදගත් සමීක්‍ෂණයක ප්‍රතිඵල පසුගිය සතියේ නිකුත්ව තිබිණි. එයින් හෙළිව ඇත්තේ කුමක්‌ද? ලොව වඩාත්ම ආගමික නැඹුරුව ඇති රටවල් අතර මුල් තැන ලංකාවට හිමිව ඇති බව නොවේද?

වොෂින්ටනය මූලස්‌ථානය කරගත් ගැලප් පර්යේෂකයන් විසින් 2008, 2009 සහ 2015 යන වසරවල රටවල් හැට පහක වැසියන් යොදා ගනිමින් මෙහෙයවනු ලැබූ සමීක්‍ෂණයකින් හෙළිව ඇත්තේ ශ්‍රී ලාංකිකයන් 99% ක්‌ම ආගමික නැඹුරුවක්‌ සහිත පුද්ගලයන් බවයි. මෙම සමීක්‍ෂණයට අනුව ඉතියෝපියාව, මලාවි, නයිජර්, යේමනය යන රටවලද ජනතාවගෙන් 99% ක්‌ම තම ආගමික නැඹුරුව හෙළිකර ඇත. ථෙරවාදී බෞද්ධයන් වෙසෙන බුරුමය, ලාඕසය, කාම්බෝජයද ආගමික නැඹුරුව 97% කි. අශ්ශබාබ් ත්‍රස්‌තයන්ගෙන් බැටකන සෝමාලියාවේද ආගමික නැඹුරුව 98% කි. 

යුරෝපා රටවල නම් ආගමික නැඹුරුව අසතුටුදායක බව ගැලප් පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. බ්‍රිතාන්‍යයේ ආගමික නැඹුරුව 30% ක්‌ වන අතර ජර්මනියේ 34% කි. 

ලෝකයේ දෙවැනි බලවත්ම රාජ්‍යය වන චීනයේ සිදුව ඇත්තේ කුමක්‌ද? මේ සමීක්‍ෂණයට අනුව ලොව පහළම ආගමික නැඹුරුව ඇති රට වන්නේ චීනයයි. ජපානයේ ආගමික නැඹුරුව 13% කි. එය නෝර්වේ රාජ්‍යයේද 21% ක්‌ වී ඇත. මෙම සමීක්‍ෂණ වාර්තාව අනුව ලොව තරුණ පරපුර අතර ආගමික නැඹුරුව ඉහළ ගොස්‌ ඇති බව හෙළිව තිබේ.

ආගමික නැඹුරුව ප්‍රමුඛව ඇත්තේ මුස්‌ලිම් හා ථෙරවාදී බෞද්ධ රටවල්වල බව මෙම වාර්තා අනුව හෙළිවේ. කතෝලික හා ක්‍රිස්‌තියානි රටවල ආගමික නැඹුරුව අඩුව ඇත්තේ මන්ද? මේ රටවල බොහෝ දෙනකු පවසන්නේ තමන් ආගමක්‌ අදහන්නේ නැති බවයි.

2012 දී නිකුත් කළ වාර්තා අනුව ලෝක ජනගහනයෙන් 31% ක්‌ එනම් බිලියන 2.2 ක්‌ ක්‍රිස්‌තියානිහු වෙති. මුස්‌ලිම් ආගම අදහන පිරිස ලෝක ජනගහනයෙන් 22% කි. ගණනින් බිලියන 1.6 කි. ආගමක්‌ අදහන්නේ නැති පිරිස ලෝක ජනගහනයෙන් බිලියන 1.1 ක්‌ වන අතර එම ප්‍රමාණය ප්‍රතිශතයක්‌ ලෙස 15% කි. ලෝකයේ වෙසෙන හින්දුන් ප්‍රමාණය බිලියනයක්‌ බව ගණන් බලා ඇත. ලෝක ජනගහනයෙන් 7% ක්‌ බෞද්ධයෝ වෙති. ලොව පුරා මිලියන 376 ක්‌ බෞද්ධයෝ වෙසෙති.

මුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධාන ලොව භීතියට පත් කරන්නා සේම ලොව වේගයෙන්ම පැතිරෙන ආගම වී ඇත්තේද මුස්‌ලිම් ආගමයි. 2010 - 2050 කාලය තුළ මුස්‌ලිම් ජනගහන වර්ධනය 73% ක්‌ වනු ඇතැයි ගණන් බලා ඇත. 2015 දී බිලියන 1.8 ක්‌ වන මුස්‌ලිම් ජනගහනය 2060 දී බිලියන 3 ක්‌ වන බව පිව් සමීක්‍ෂණ ආයතනයේ වාර්තාව මගින් හෙළිකර ඇත. ඒ අනුව ලොව බහුතර ආගමික කිරුළ ක්‍රිස්‌තියානීන් අතින් ගිලිහී යයිද? ආගමික නැඹුරුව ගැන කතා කරද්දී ලෝක යථාර්ථය ගැනත් අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. මෙය ලංකාවේද අත්දකින සත්‍යය නොවන්නේද?

මෙරට බෞද්ධ සමාජයේ ආගමික නැඹුරුව විදේශීය සමීක්‍ෂණ මගින් තහවුරු කළ යුත්තක්‌ නම් නොවේ. එය අපි හොඳින් දනිමු. මනුෂ්‍යයා ඔහු උපන් සමාජයේ අවයවයකි. එමෙන්ම මනුෂ්‍යයාද විශ්වයෙන් සුළු කොටසකි. එම නිසාම ආගමික ජීවිතයෙන් තොරව පුද්ගලයකුට ජීවත් විය නොහැක. 

ඒ හේතුව නිසා මෙරට වැසියෝ ආගමික නැඹුරුවෙන් මුල් තැනට පත්ව ඇත්ද?

චතුර පමුණුව 
http://www.divaina.com/2017/04/23/feature33.html

0 comments: