Pages

Saturday, July 15, 2017

එන්ට එන්ටම දරුණු වන ඩෙංගු උවදුරෙන් බේරෙන්න මෙන්න ආයුර්වේද විසඳුම...

මේ කාලය රටට බෙහෙවින් විපත්තිදායක සමයක්‌ බව පෙනේ. කලක සිට පැවැති නියං තත්ත්වය හේතුවෙන් ගොවිතැනට සිදුවූ මහාපරිමාණ හානිය නිසා රට තුළ දැඩි ආහාර ප්‍රශ්න ජනිත වූයේය. ඉන්පසුව පැවැති අධික වැසි නිසා ජල ගැලීම්, නිවාස හානි සහ නායයාම් නිසා ජාතික වශයෙන් සිදුවූයේ පිරිමසාලිය නොහැකි තරම් ආපදා තත්ත්වයකි. මෙවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා ප්‍රබල විපතකට පත්ව සිටින ජනතාවට "ඩෙංගු" උණ රෝගයත් මාරාන්තික තත්ත්වයට රට පුරා ව්‍යාප්ත වී රෝහල් පිරී ඉතිරී යන තරමට රෝගය ප්‍රබලවීම ජනතාවට උසුලා සිටිය නොහැකි තරම් බලවත් විපතක්‌ වී තිබේ.

පසුගියදා පුවත්පත් වාර්තා කරන්නේ පසුගිය මස (ජුනි) ලංකාවේ ඩෙංගු රෝගීන් වාර්තා වූයේ, 15000 ක්‌ බවයි. නමුත් මේ මාසය (ජූලි) වන විට 76000 (හැත්තෑහයදහස) ද ඉක්‌මවා ඇති බවක්‌ වාර්තා වේ.

මෙම උණ රෝගය සීග්‍රයෙන් පැතිර යැම වළකාලීමටත්, මාරාන්තික තත්ත්වයට පත් නොවී රෝගීන් සුවපත් කිරීමේ වගකීම, වගකීමකින් යුක්‌තව ඉටුකිරීමට තරම් හැකියාවක්‌ ඇති ආයුර්වේදය වැනි පොහොසත් වෛද්‍ය ක්‍රමයක්‌ පවතින ශ්‍රී ලංකාව වැනි රටකට මෙවන් සෞඛ්‍ය අභියෝගයකට මුහුණපෑමට සිදුවීම සැබැවින්ම ශෝචනීය තත්ත්වයකි.

මේ රටේ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා ප්‍රධාන වශයෙන් වෛද්‍ය ක්‍රම දෙකක සහාය ලබාගනී. එනම් බටහිර වෛද්‍ය සේවය සහ ආයුර්වේද වෛද්‍ය සේවයයි. මෙම වෛද්‍ය ක්‍රම දෙකටම සමාන්තර තත්ත්වයක්‌ නීතිමය වශයෙන් හිමිව ඇතත්, රට තුළ බටහිර වෛද්‍ය ක්‍රමයට පවතින "සුජාත" තත්ත්වය. ආයුර්වේදයට නොපවතින බව නොකියා නොහැකිය. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වෙනමම ලිපියකට අවකාශ තබාගෙන මෙම ලිපිය ප්‍රස්‌තුත මාතෘකාව කෙරෙහිව යොමුවීම වඩාත් උචිත යෑයි මම සිතමි.

බහුල ලෙස රෝගීව මියයමින්, වසංගත ස්‌වරූපයෙන් රෝගය පැතිර යමින් මෙම "ඩෙංගු" උණ රෝගය කොතරම් බරපතළ තත්ත්වයක්‌ උදාකර ඇත්දැයි කියතහොත්, රටේ රාජ්‍ය නායකයා පවා මීට මැදිහත් වන තත්ත්වයට පත්ව තිබේ. පසුගිය සතියේ ජාතික රූපවාහිනිය මගින් ප්‍රචාරය වූ මීට අදාළ වැඩසටහනට ජනාධිපතිතුමන්ද, සෞඛ්‍ය අමාත්‍යතුමන්ද බටහිර වෛද්‍යවරුන්ද, වෙනත් විද්වතුන්ද, විද්යුත් ජනමාධ්‍ය නියෝජිතවරුන්ගේද, සහභාගිත්වයෙන් එදින මධ්‍යම රාත්‍රිය දක්‌වාත් ප්‍රචාරය වූ සහ ජුලි 1 දින දහවල් කාලයේ නැවත ප්‍රචාරයවූත් සාකච්ඡාව ගැනද යමක්‌ කියයුතුව තිබේ.

එම සාකච්ඡාව අවසානයේදී එකී සාකච්ඡාව මෙහෙයවූ ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදී චමින්ද කුලරත්න මහතා විසින් මෙම "ඩෙංගු" උවදුර මැඬලීම සඳහා ආයුර්වේදයෙන් ගතහැකි කාලෝචිත සේවය විමසීම පිළිබඳව චමින්ද කුලරත්න මහතාට අපි ස්‌තුති කරමු. "ඩෙංගු උණ රෝගය" සාර්ථකව සුවකිරීමට සහ පැතිරයාම ඵලදායීව වළකාලීමට ආයුර්වේදය තුළ පවතින ප්‍රබල හැකියාව පිළිබඳව ජනතාවට දෛනිකව ප්‍රයෝජන ගතහැකි කාලෝචිත උපදේශයක්‌ ලබාදීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් අදහස්‌ දැක්‌වීම සඳහා ආයුර්වේද වෛද්‍යවරයකු එහි නොසිටීමෙන් එහි පැවැති හිඩැස පුරවාලිය නොහැකි වීම ගැන අපි කනගාටු වෙමු.

උණ රෝග සුව කිරීම සඳහා බෙහෙවින් සාර්ථක ඖෂධ වේදයක්‌ සහිත ආයුර්වේදය පොහොසත් තත්ත්වයක පවතින ශ්‍රී ලංකාව වැනි රටක දිනකට රෝගීන් රැසක්‌ මියයමින්, වසංගත තත්ත්වයෙන් පැතිර යන "ඩෙංගු" වැනි උණ රෝගයක්‌ ජාතික සෞඛ්‍ය සේවයට අභියෝගයක්‌ වන තරමට පත්ව තිබීම සැබැවින්ම ශෝචනීය තත්ත්වයකි.

මා මේ බව සඳහන් කරනුයේ, මීට වසර දසක දෙකතුනකට (1985) පූර්ව කාලයේදී "ඩෙංගු උණටත්" වඩා බෙහෙවින් ප්‍රබල වූ මදුරු මාර්ගයෙන් ව්‍යාප්ත වූ, නූතන වෛද්‍ය වේදය ජැපනීස්‌ එන්සෙපලයිටීස්‌ යනුවෙන් හැඳින්වූ "මොළේ ඉදිමීමේ උණ රෝගය"ද අනුරාධපුර ප්‍රදේශයේ දිනකට රෝගීන් 10-15 ක්‌ පමණ මිරමින්, වසංගත තත්ත්වයෙන් පැතිර ගියාය. දරුණු උණ රෝගය සුවකිරීම සඳහා බටහිර වෛද්‍ය ක්‍රමය ඖෂධයක්‌ ඒවන විටත් නිපදවා නැති බව ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ද ඒ සඳහාම ලෝක සෞඛ්‍ය සංවිධානය (උHධ) මගින් වූ බටහිර විශේෂඥ වෛද්‍යවරුන්ද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රජයට කරගත හැකි විකල්ප සෞඛ්‍ය විසඳුමක්‌ නොමැති අවස්‌ථාවේත් ආයුර්වේදයට භාරවූ එම වගකීම සාර්ථකව ඉටුකරමින් ඉතා කෙටි කාලයක්‌ තුළදී (එක්‌ මාසයක්‌ ඇතුළතදී) රෝගය සුවකළා පමණක්‌ නොව වසංගත ස්‌වරූපයෙන් පැතිරයැම වළකාලීමටද එදා ආයුර්වේද වෛද්‍යවරු ක්‍රියා කළහ. එම විශ්මිත ආයුර්වේද වෛද්‍ය සේවය අන්තර්ජාතික ඇගයීමකට ලක්‌වීම නිසා ඒ සඳහා ලෝක සම්මානයක්‌ද ආයුර්වේදයට හිමිවූයේය.

එදා සෘෂි යුගයේ සිට පැවත එන විශ්මිත ආයුර්වේදය මෙදාත් විශ්වකර්ම ලෙස අන්තරාදායක තත්ත්වයේ පසුවන ලෙඩුන් පවා සුවකරමින් සනාථකර ඇත්තේ, වත්මන් ආයුර්වේදයද ජාතික සෞඛ්‍ය සේවය සඳහා නැතිවම බැරි විෂයයක තත්ත්වයක පවතින බවය.

ආයුර්වේදය යනු ප්‍රතිජීවී නොව සජීවී ඖෂධවේදයක්‌ සහිත වෛද්‍ය දර්ශනයකි. සැබැවින්ම උණ රෝග සුවකිරීම සඳහා බෙහෙවින් පොහොසත් ඖෂධවේදයක්‌ සහිත මේවන විට ලෝක ආකර්ෂණයද දිනා ඇති ආයුර්වේදය වැනි සොබාදහමටද අනුකූල වූ වෛද්‍ය ක්‍රමයක්‌ පවතින ශ්‍රී ලංකාව වැනි ග්‍රීෂ්ම කලාපීය රටකට මදුරු බලපෑමෙන් හටගන්නාවූ "ඩෙංගු" වැනි උණ රෝගයක්‌ අභියෝගයක්‌ වන තරමට ප්‍රබලවී තිබීමෙන් පෙනීයන්නේ අපේ ජාතික සෞඛ්‍ය සේවයේ පවතින දුබල භාවයයි. මෙවන් අවස්‌ථාවලදී ආයුර්වේදයේද උපරිම සේවය කාලෝචිතව ලබාගැනීමට තරම් ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයද සමත් වූයේ නම් "ඩෙංගු" මැඬලීමට කියුබාවේ හෝ ඔස්‌ටේ්‍රලියාවේ මදුරුබීජ නාශක සොයා යැමට අවශ්‍ය නොවිය හැකිව තිබුණි.

ආයුර්වේදය යනු ඝාතක - නාශක හෝ මාරක විෂයයක්‌ නොවේ.

මරණය කරවන තැනැත්තා මාරක ඝාතක හෝ නාශක වන අතර, ජීවය කරවන්නා "ජීවක" නම්වේ. මෙවැනි මදුරු උවදුරු පැවැති අවස්‌ථාවලදී සොබාදහම විසින් මිනිසාගේ රැකවරණය සඳහා දායාද කළ පැලෑටි කිහිපයක්‌ම තිබේ.

"මදුරුතලා" පැළෑටිය ඉන් ප්‍රධාන තැනක්‌ ගනී. එම පැළෑටිය මගින් මදුරුවා මර්දනය කරන නිසා එය "මදුරුතලා" නමින් නම්දී ඇත. එය "මදුරුමරා" යනුවෙන් නම් නොවූයේ එම පැළෑටිය මාරක - ඝාතක හෝ නාශක තත්ත්වයක්‌ නොවූ හෙයිනි. එසේම - පැඟිරිමානා - අගිල් - සාම්බ්‍රානි වැනි දැද මදුරුවා පලවා හැරීමට විශේෂ ගුණදායී වූ පැළෑටීන්ය. මේවා සංයෝග කර එමගින් උදේ - සවස නිවාස තුළ දුම් ඇල්ලීමෙන් ඉතා පහසුවෙන් මදුරුවා පලවා හැර ආරක්‍ෂා විය හැකිය. අපේ පැරණි මවුවරු දෛනික චාරිත්‍රයක්‌ වශයෙන් පවත්වාගත් ගෙමිදුල් වටේ අතුපතුගා එක්‌වන කොළරොඩුවලට ගිනි දැල්වීමෙන් පැන නඟින දුමාරය නිසාද මදුරු උවදුරෙන් ආරක්‍ෂා වීමට ආරක්‍ෂක චාරිත්‍රයක්‌ වූයේය.

ශ්‍රී ලංකාව වැනි ග්‍රීෂ්ම කලාපීය රටවල මැසි - මදුරු - මකුණු - මකුළු ආදී විවිධ කෘමීන් බහුලවීම අසාමාන්‍ය තත්ත්වයක්‌ නොවේ. මෙම ස්‌වාභාවික තත්ත්වය මත මෙකී සත්ත්වයා සමූල ඝාතනය කිරීමද කළ හැකි දෙයක්‌ නොවේ. සැබැවින්ම මිනිසාගේ රැකවරණය සඳහා අප රටට අදාළ නොවූ ඉහත කී මාරක - ඝාතක හෝ නියත පිළිවෙත පවත්වාගත යුතුද නොවේ. එහෙත් මිනිස්‌ වාසස්‌ථාන ආශ්‍රිත ප්‍රදේශ තුළ එකී රෝගකාරක සත්ත්aව උවදුරෙන් රැකවරණ සලසා ගැනීම සඳහා පරිසරය පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය වන බවද නොසළකා නොසිටිය යුතුව ඇත.

ඩෙංගු උවදුරෙන් ආරක්‍ෂා වීම සඳහා මදුරු මර්දක ඉහත කී දේශීය ඔසු ධූපය පිළිබඳ ජනතාව දැනුවත්කර එම ඔසුදුම් ජනතාව වෙත පහසුවෙන් සපයාදීමෙන් මෙම රෝග ව්‍යාප්තිය සාර්ථකව වළකාගත හැකිය.

ඉහත කී "ඩෙංගු උණ" පහසුවෙන් සුව කිරීම සඳහා ආයුර්වේදයේ එන "රසෞෂධ" ඔසු වර්ග ජනතාවට හඳුන්වාදී ඒවා පහසුවෙන් ලබාගැනීමේ ක්‍රමවේදයක්‌ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයුර්වේද ඖෂධ සංස්‌ථාවට පහසුවෙන් සිදුකළ හැකිය. මෙකී උණ රෝග සුවපත් කිරීමේ ප්‍රබල හැකියාවක්‌ ඇති ආනන්ද භෛරව රසය ශ්‍රී ජයමංගල රසය, ශ්‍රී ජයතිලක රසය, සෞභාග්‍ය රසවටිකාව ආදී බෙහෙවින් ගුණදායක වූ රස ඖෂධ ඉතා ඵලදායී ප්‍රතිකාරයෝ වෙති.

මෙම ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීම වෛද්‍යරුන්ට ඉතා දුෂ්කරය. එනිසා නාවින්නේ පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්‌ථාව සතු මහා පරිමාණ ඖෂධ නිෂ්පාදනාගාරය මගින් එහි සේවයේ නියුතු උසස්‌ දැනුමැති වෛද්‍ය මණ්‌ඩලයේ හා පළපුරුදුකම්වලින් අනූන පුහුණු කාර්ය මණ්‌ඩලයේද සහාය ඇතිව මෙම ඖෂධ හා ඉහතකී මදුරු මර්දක ධූපය මහා පරිමාණයෙන් නිපදවා රට පුරා බෙදාහැරීමෙන් මෙම මදුරු උවදුර ඉතා පහසුවෙන් හා ඉතා කෙටි කාලයක්‌ තුළදී මර්දනය කළහැකි බව අත්දැකීම් සහිත වෛද්‍යවරයකු වශයෙන් වගකීමකින් යුක්‌තව ප්‍රකාශ කරමි.

වෛද්‍යාචාර්ය එම්. බී. රත්නායක
http://www.divaina.com/2017/07/16/feature38.html

0 comments: