Pages

Saturday, July 22, 2017

බෙන් ඉමර්සන්ගේ තර්ජනය සහ පාලකයන්ගේ නිවටත්වය...

එක්‌සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් සහ ත්‍රස්‌ත විරෝධී විෂයය සම්බන්ධව පත් කර ඇති විශේෂ නියෝජිතයකු වන බෙන් ඉමර්සන් නමැත්තා මෙම මස (ජුලි) 4 වැනිදා දින 10 කට ලංකා රජයේ ආරාධනාවෙන් දිවයිනට පැමිණියේය. ඔහු මෙහි පැමිණියේ අප ජාත්‍යන්තර නීතියට අනුකූලව ත්‍රස්‌තවාදයට එරෙහිව යුද කර ඇත්දැයි බැලීමට සහ "සංහිඳියාව" සඳහා සම්මත වූ ජිනීවා යෝජනාවට අනුව රජය ඒ සම්බන්ධයෙන් මෙතෙක්‌ ගෙන ඇති පියවර කවරේද යන්න සොයා බැලීමටය. රජයේ දේශපාලනඥයන්, හමුදා ප්‍රධානීන්, නීතිපති මෙන්ම, සිරගෙයි ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ රඳවා සිටින කොටි ත්‍රස්‌තවාදීන්ද හමුවූ මොහු සිය වාර්තාව සමඟ කොළඹ එක්‌සත් ජාතීන්ගේ සංගමයේ කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ ද පවත්වා පිටව ගියේය. මොහු පිටව ගියේ නිකම්ම නොවේ. යුද අපරාධ කළ හමුදා භටයන්ට විරුද්ධව කටයුතු කිරීම ප්‍රමාද යෑයිද, ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත දෙමළ ජනයාට අසාධාරණයක්‌/හිංසා කිරීම සඳහා යොදා ගත්තේ යෑයිද, ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්‌වූ ජිනීවා යෝජනාව පූර්ණව ක්‍රියාත්මක නොකළොත් ඉදිරියේදී දරුණු විපාකවලට මුහුණදීමට සිදුවේ යෑයිද යනුවෙන් දැඩි තර්ජනයක්‌ ද කළ පසුවය.

වසර 2500 ක අභිමානවත් ඉතිහාසයක්‌ ඇති, විදේශිකයන්ගේ ආක්‍රමණ හමුවේ පවා නොසැලී අභීතව මුහුණ දුන්, ලෝකයේ දරුණුම ත්‍රස්‌තවාදය පරදා ජනතාවට සාමය ලබාදුන් අපට කොහේවත් නැති සුද්දෙක්‌ පැමිණ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් තර්ජනය කරන විට ඔහුට කිසියම් අයුරකින් හෝ විරුද්ධත්වයක්‌ පළ කිරීමට කශේරුවක්‌ තිබූ අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට අපගේ ගෞරවය පළ කළ යුතුවේ. බෙන් ඉමර්සන් හමුවූ සෙසු සියල්ලන්ම ඔහු ඉදිරියේ හැසිරී ඇති ආකාරය සහ ඔහුට පිළිතුරු දීමට උත්සාහ නොකිරීම සම්බන්ධයෙන් සමස්‌ත ජනතාවගෙන් සමාව ගත යුතුය. මන්ද ජනතාව නියෝජනය කරන උන් සැම එසේ නිවටව හැසිරීම තුළින් සමස්‌ත ජනතාවගේම ආත්ම ගෞරවයට හානි පමුණුවා ඇති නිසාය. 

ඒ සම්බන්ධයෙන් වර්තමාන රජයේ අගමැති, බෙන් ඉමර්සන්ට පවසා ඇත්තේ, ත්‍රස්‌ත විරෝධී පනත සම්බන්ධයෙන් කටයුතු කරන බවත්, සත්‍ය සහ සංහිඳියා කොමිසම් පත් කිරීමට රජය නීති සම්පාදනය කරමින් සිටින බවත්, එ. ජා. සංගමයේ විශේෂ නියෝජිතයාට මෙහි කාර්යාලයක්‌ විවෘත කළ පසු යුද අපරාධ කළ අයට විරුද්ධව චෝදනා ගොනු කරන බවත් ය. බෙන් ඉමර්සන්ගේ වාර්තාවේ දැක්‌වෙන්නේ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරියෙක්‌ අත්අඩංගුවට ගැනීම තුළින් රජය යම්කිසි ප්‍රගතියක්‌ දක්‌වා ඇති බවත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන දෙමළ/මුස්‌ලිම් ජනතාවගේ විශ්වාසය දිනාගෙන නැති බැව් නීතිපති හඳුනාගෙන ඇති බවත්ය. බෙන් ඉමර්සන්ගේ තර්ජන හමුවේ රටේ අගමැති නිවටව රණවිරුවා පාවාදී ඇති අන්දමත්, මෙසේ කඩිමුඩියේ යුද්ධයේ දක්‍ෂතා දැක්‌වූ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරියෙක්‌ සිරභාරයට ගත්තේ වෙන කිසිදෙයක්‌ නිසා නොව මෙරටට පැමිණෙන බෙන් ඉමර්සන්ව තෘප්තිමත් කිරීමට බවත් මෙයින් පැහැදිලි වේ. මෙම විශේෂ නියෝජිතයා ජාත්‍යන්තරයට ඉදිරිපත් කරන වාර්තාවේ ලංකාවේ සිරගෙවල්, පොලිසි තුළ සැකකරුවන්ට වධහිංසා පමුණුවන විධි සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ මෙසේය. පොලුවලින් පහරදීම, ශරීරය අසීරු ආකාරයට තැබීම, භූමිතෙල් පෙඟවූ ප්ලාස්‌ටික්‌ මලුවලින් හුස්‌ම හිරකිරීම, නියපොතු ගැලවීම, ජල හිංසා, පැය කිහිපයක්‌ මහපට ඇඟිල්ලෙන් එල්ලා තැබීම, නියපොතු අස්‌සේ ඉඳිකටු ගැසීම, රහසඟ තලා දැමීම යනාදියයි. දින දහයක්‌ පමණක්‌ ලංකාව තුළ රැඳී සිටි මෙම විදේශිකයා මෙවන් දැ සිය වාර්තාවට එක්‌කර ඇත්තේ ත්‍රස්‌තවාදී පනත යටතේ සිර කර සිටින කොටි ත්‍රස්‌තවාදී සැකකරුවන් සමඟ කළ සාකච්ඡාවට පසුවය. මෙවන් වධහිංසා ඇත්ත වශයෙන්ම සිදු වූවාද නැද්ද යන්න සනාථ නොකොට හුදෙක්‌ කොටි ත්‍රස්‌තයන්ගේ ප්‍රකාශ මතම මෙවන් සටහනක්‌ යෙදීම සම්බන්ධයෙන් රජය විරෝධය පළ නොකිරීම අප එවන් දැ කළ බව පිළිගැනීමක්‌ නොවේද? තවද ඔහු විසින් ලංකාව ජාත්‍යන්තරයේ ඉවසීමේ සීමාව ඉක්‌මවා යන සේ කටයුතු නොකළ යුතුයෑයි කීමෙන් තේරුම් ගත යුත්තේ අද වනවිට වර්තමාන රජය ජාත්‍යන්තරය සහ එක්‌සත් ජාතීන්ගේ සංගමය කියන අන්දමට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ක්‍රියා කරන නිවට නියාළු තත්ත්වයට පත්වී අවසාන බවය. "ජාත්‍යන්තරය දැන් අප සමඟයි." යනුවෙන් අගමැති සහ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර කටමැත දෙඩුවත් දැන් සිදුවී ඇත්තේ ජාත්‍යන්තරය පනවන කොන්දේසි, උපදෙස්‌ අනුව කටයුතු කිරීම සහ එම කටයුතුවල ප්‍රගතිය අඩාල වනවිට ඔවුන්ගේ ඇනුම්, බැණුම්, තර්ජනවලට ගොදුරුව නිවටව බලා සිටීමය. මෙය කොතරම් නම් අවාසනාවන්ත තත්ත්වයක්‌ද? අපේ රටේ අභිමානය, ආත්ම ගෞරවය මෙසේ ජාත්‍යන්තරයට පාවාදීමට ජනතාව වර්තමාන පාලකයන්ට බලයක්‌ දී තිබේද?

අද සිදුවී ඇති දේ ඉතාම පැහැදිලියි. මෙම රජය බලයට පත් වූයේ බටහිර රටවල්වල සහ දෙමළ බෙදුම්වාදී ඩයස්‌පෝරාවේ ආධාරයෙන් වන අතර එම ආධාර /උපකාර ලබා ගැනීම සඳහා දැනට කෙරීගෙන යන රට සහ රණවිරුවා පාවා දීමේ කොන්දේසිවලට ඔවුන් එකඟ වී ඇති බව පැහැදිලියි. එම කොන්දේසිවලින් සමහරක්‌ නම් රට පෙඩරල් කිරීමේ නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම සහ ත්‍රස්‌තවාදය ජයග්‍රහණය කළ යුද සහ දේශපාලන නායකත්වය ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යැමට මාර්ගය විවෘත කරදීමය. වර්තමාන රජය බලයට පැමිණි දා සිටම කළේ තමන් බලයට ගෙන ඒමට අත දුන් බටහිර/කොටි ඩයස්‌පෝරාවේ මනදොළ පිනවීමට කටයුතු කිරීමය. මන්ද එය ඔවුන් පොරොන්දු වූ දෙයක්‌ බැවිනි. එහි ප්‍රථම පියවර වූයේ අපේ හමුදාවන් යුද්ධයේ අවසාන අදියරේ දෙමළ ජනයා සමූල ඝාතනය කිරීම, දෙමළ කාන්තාවන් දූෂණය කිරීම, දෙමළ ජනතාවට (උතුරේ) ලබාදෙන මානුෂීය ආධාර බලහත්කාරයෙන් නවතාලීම යනාදී අභූත යුද අපරාධ චෝදනා අන්තර්ගත මානව හිමිකම් කොමසාරිස්‌ ජනරාල් සෙයිද් රාද් හුසේන්ගේ වාර්තාව මංගල සමරවීර ලවා කිසිදු සෙවිල්ලක්‌ බැලිල්ලක්‌ නොමැතිව අගය කරමින් පිළිගැනීමය. ඉන්පසු ඒ මත පිහිටා, ඇමරිකාව විසින් අප රටට විරුද්ධව ගෙන ආ 30/1 ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්‌වීමය. ලෝකයේ කිසිදු රටක විදේශ අමාත්‍යවරයෙක්‌ තමන්ගේ රටේ හමුදාවක්‌ යුද අපරාධ කළා යෑයි පිළිගෙන තම රටට විරුද්ධව ගෙන එන යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දක්‌වා ඇද්ද? කිසිදාක නැත.

දැන් රජයට සිදුවී ඇත්තේ තමාද පිළිගත් එම යෝජනාවට අනුව ක්‍රියා කිරීම සහ එය ප්‍රමාද වුවහොත් ජාත්‍යන්තරයෙන් බැණුම් ඇසීම සහ අපහාස විඳීමය. එයට අනුව දැන් එජා සංගමයේ විශේෂ නියෝජිතවරුන් එකාට පසු එකා බැගින් රටට පැමිණ බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන්ට සහ කොටි ත්‍රස්‌තයන්ට වාසි වන සේ වාර්තා සකස්‌ කරමින් සිටි විනිසුරුකරුවන් සහ නීතිඥයන් සම්බන්ධ විශේෂ නියෝජිතවරයකු වූ මොනිකා පින්ටෝ නමැත්තිය මීට සති කිහිපයකට පෙර මෙහි පැමිණ දින 8 ක්‌ වැනි සුළු කාලයක්‌ දිවයිනේ රැඳී සිට ප්‍රකාශ කළේ අපේ රටේ අධිකරණය ඉතාමත් පක්‍ෂග්‍රාහී, දූෂිත, දේශපාලනීය වූ තනතුරුවලට කෑදරයෙන් රජයට පක්‍ෂපාතී ලෙස තීන්දු ලබාදෙන විනිසුරුකරුවන්ගෙන් සමන්විත බවය. මෙම වාර්තාව සම්බන්ධයෙන් අප විරෝධය පැනවූ දා රජයේ නීතිඥ සංගමය ඒ පිළිබඳව එයට විරුද්ධව කිසිදු ප්‍රකාශයක්‌ නොකිරීම විමතියට කරුණික. "නිශ්ශබ්දව සිටීම, අනුමත කිරීමේ ලක්‍ෂණයකි" යන සුප්‍රසිද්ධ කියමන අනුව නිශ්ශබ්දව සිටීමෙන් තමන් දූෂිත, අකාර්යක්‍ෂම නීතිඥ විනිසුරු කණ්‌ඩායමක්‌ බැව් නීතිඥ සංගමය පිළිගෙන ඇති යෑයි කෙනකුට තර්ක කළ හැක. මොනිකා පින්ටෝ දින 8 ක්‌ මෙහි රැඳී සිටිමින්, වසර 200 ක ඉතිහාසයක්‌ ඇති අපේ අධිකරණය මෙසේ හෑල්ලු කරනුයේ සහ එයට අපහාස කරනුයේ යුද අපරාධ විභාග කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුකරුවන් ගෙන ඒම සාධාරණීය කිරීමටය. අපේ රටේ විනිසුරුකරුවන් දෙමළ ජාතීන්ගේ නඩු සම්බන්ධව ඔවුනට අසාධාරණයක්‌ වන සේ බොහෝ විට ක්‍රියාකරන්නේ යෑයි චෝදනා කරන්නේ එය සනාථ කිරීමට කිසිදු නඩු සාක්‍ෂියක්‌ හෝ වෙන කිසිදු සාක්‍ෂියක්‌ නොමැතිවය. අපේ අධිකරණයට තදබල ලෙස අපහාස කරමින් නිකුත් කළ එම වාර්තාව ප්‍රතික්‍ෂ්ප නොකිරීම තුළින් පෙන්වන්නේ රජයේ පාලකයන්ගේ නිවට නියාළු බටහිර ගැති බව නොවේද?

වසර ගණනාවක්‌ තිස්‌සේ පැවතෙන කාශ්මීර් යුද්ධය සම්බන්ධයෙන් මෙතෙක්‌ කිසිදු එජාගේ සංගමයේ නියෝජිතවරයකුට, ඉන්දියාවට පය තැබීමට කුමන රජයක්‌ බලයට පැමිණියත්. ඉන්දීය පාලකයෝ ඉඩ දෙන්නේ නැත. ඔවුන් තම රටේ හමුදා සාමාජිකයන් ආරක්‍ෂා කරනුයේ එසේය. එංගලන්තයේ වර්තමාන අගමැතිනිය වන "තෙරේසා මේ" ඉතා පැහැදිලිව කියා සිටිනුයේ ත්‍රස්‌තවාදීන් සමඟ සටන් කරන තමාගේ හමුදා සෙබළුන් ආරක්‍ෂා කිරීමට තමා මානව හිමිකම් නීතිරීති වෙනස්‌ කිරීමට පවා නොපැකිළෙන බවය. ඇමරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පැවසුවේ තම හමුදා නිලධාරීන් කිසි දිනක ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යැමට කිසිසේත්ම ඉඩ නොදෙන බවය. තම නිවටකම වසා ගැනීමට අප රටේ අග්‍රාමාත්‍යවරයාද විදේශීය විනිසුරුකරුවන් ගෙන ඒමට ඉඩ නොදෙන බැව් කීවත් දැනටමත් මෙහි පැමිණි එජාප විශේෂ නියෝජිතයන් සියල්ලන්ම තදින් කියා සිටිනුයේ විදේශ විනිසුරුකරුවන් ගෙන ආ යුතු බවත් ඒ බව සඳහන් ජිනීවා 30/1 යෝජනාව මුළුමනින්ම වහාම ක්‍රියාත්මක කළ යුතු බවත් ය. ඒ සම්බන්ධයෙන් රජය මෙතෙක්‌ නිල වශයෙන් ප්‍රතිචාර නොදක්‌වා ඇත්තේ මන්ද? විදේශ විනිසුරුකරුවන් ගෙන ඒමට මෙම රජය සිංගප්පූරුවේදී මුළුමනින්ම එකඟ වූ බැව් දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් පැහැදිලි ප්‍රකාශයක්‌ කර සිටී. ඔහු පවසා සිටියේ මෙම කොන්දේසි සහිත ලියවිල්ල සකස්‌ කිරීමට ඇමරිකාවේ නියෝජිතයන් සහ ලංකා රජයේ නියෝජිතයන් සමඟ තමා ද සහභාගී වූ බවයි. දෙමළ සන්ධානය යනු කොටි ත්‍රස්‌තවාදීන්ගේ දේශපාලන හස්‌තයයි. එසේ නම් කොටි ත්‍රස්‌තයන් විනාශ කළ අපේ රණවිරුවන් පාවා දෙන ජාත්‍යන්තර කොන්දේසි අඩංගු කෙටුම්පත සෑදීමට රජය සහාය ගෙන ඇත්තේ කොටින්ගේම දේශපාලන පක්‍ෂයේ සාමාජිකයකුට නොවේද? එය කෙතරම් සාහසික පාවාදීමක්‌ද?

බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය සම්බන්ධ පනත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජිනීවා යෝජනාවට අනුව සහ බටහිර සහ කොටි හිතවාදීන් සතුටු කිරීමටය. රටේ දේශප්‍රේමී ගරුතර සංඝයා වහන්සේ සහ ජනතාවගේ බල කිරීම මත ජනාධිපතිතුමා එම පනත් කෙටුම්පත වැළැක්‌වුවද රජයේ අනෙකුත් ප්‍රබල අමාත්‍යවරුන් කියා සිටින්නේ එය කෙසේ හෝ නැවත ගෙන එන බවය. මංගල සමරවීර ඇමැතිවරයා පවසන්නේ මෙය අතීතයට බලනොපාන බැවින් කලබල විය යුතු නැති බවය. එය පට්‌ටපල් බොරුවකි. මෙය ඉදිරියේදී වන අතුරුදන්වීම්වලට පමණක්‌ බලපාන පනතක්‌ නම් මෙසේ කඩිමුඩියේ ගෙන ඒමේ තේරුම කුමක්‌ද? අනෙක දැන් වර්තමාන රජයේ පොලිසිය කාර්යක්‍ෂම නම්, සංහිඳියාව තිබේ නම්, ත්‍රස්‌තවාදය නැතිනම්, සුදු වෑන් සංස්‌කෘතිය නැතිකර ඇත්නම්, පාතාලය නැත්නම් ඉතා හදිසියේ මෙවැනි පනතක්‌ ගෙන ආ යුතු ද? ජනතාව තවදුරටත් රවටාලීමට රජයේ පාලකයන්ට අප ඉඩ දිය යුතු නැත. මීට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මේ රජය බලයට ආ පසු 2015 දෙසැම්බර් මස අත්සන් කොට 2016 සැප්තැම්බර් ස එය බලාත්මක කරන ලදී. ජාත්‍යන්තර ප්‍රඥප්තියක්‌ බලාත්මක කළ පමණින් අපේ රටේ එය නීතියක්‌ බවට පත් වන්නේ නැති නිසා මේ කරන්න හදන්නේ පාර්ලිමේන්තුව මගින් එය රටේ නීතියක්‌ බවට පත් කිරීමය. අපට මානව හිමිකම් පිළිබඳ චෝදනා කරන බටහිර රටවල් කිසිවෙක්‌ එනම් ඇමරිකාව, එංගලන්තය, කැනඩාව, ඔස්‌ටේ්‍රලියාව මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබා නැත. සියලුම ස්‌කැන්ඩිනේවියානු රටවල් වන නෝර්වේ, ඩෙන්මාර්ක්‌, ස්‌වීඩන්, ෆින්ලන්ඩ් මෙම ප්‍රඥප්තිය බලාත්මක කර නැත. ඉන්දියාව, බංග්ලාදේශය මෙයට අත්සන් තබා ඇති නමුත් කිසිදා බලාත්මක කර නැත. පාකිස්‌තානය ඇතුළු කිසිදු දකුණු ආසියානු රටක්‌ මෙය අත්සන් කර නොමැත. ලෝකයේ රටවල් 193 න් මෙය අත්සන් කර ඇත්තේ රටවල් 52 ක්‌ පමණි. මහින්ද රාජපක්‍ෂ රජය යටතේ මෙය අත්සන් නොකළ නමුත් මෙම රජය බලයට ආ විගස එය අත්සන් කොට, ඊට පසුව කෙටි කාලයකින් බලාත්මක කොට, දැන් කඩිමුඩියේ එය රටේ නීතියක්‌ බවට පත් කිරීමට යන්නේ කාගේ වුවමනාවකටද?

බෙන් ඉමර්සන් මෙහි පැමිණ තර්ජනය කර ගියේ ඉදිරියේදී වන අතුරුදන්වීම් සම්බන්ධයෙන් රජය කටයුතු කළ යුතු බව ද නැතිනම් යුද්ධයේදී සිදු වුණා යෑයි චෝදනා කරන යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු ප්‍රමාද වී ඇති නිසාද? මොනිකා පින්ටෝ මෙහි පැමිණ විදේශීය විනිසුරුකරුවන් ගෙන ආ යුතු යෑයි කියන්නේ ඉදිරියේ වන අතුරුදන් වීම්, අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීමටද? අපට එරෙහිව ඇති, මංගල සමරවීර අගය කරමින් පිළිගත්, ජිනීවා යෝජනාවේ මුලින්ම තිබෙන්නේ අතීතයේ සිදුවූ වැරදි සම්බන්ධයෙන් උචිත ක්‍රියාමාර්ග ගැනීම සඳහා යාන්ත්‍රණයක්‌ පිහිටුවිය යුතු බවයි. එම යෝජනාවේ ක්‍රියාකාරී අංශයේ 4 වැනි පරිච්ඡේදයෙන් කියෑවෙන්නේ පෙර සිදුවූ අතුරුදන්වීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම පිළිබඳව වන අතර දැන් රජය අවශ්‍ය නීති සම්පාදනය කිරීමට සැරසෙන්නේ එයටය. මෙම ජාත්‍යන්තර පනතට අනුව චූදිතයෙක්‌ව රටින් පිටුවහල් කිරීමට බැඳී සිටින අතර දැනටමත් නීතියක්‌ බවට පත් කොට ඇති අතුරුදන් වීමේ කාර්යාල පනත මගින් ස්‌ථාපිත කොට ඇති කාර්යාලය මගින් අපේ රණවිරුවන් බොරු සාක්‍ෂි මත වරදකරුවන් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. මන්ද එම කාර්යාලයට "සාක්‍ෂි ආඥ" පනතට පටහැනි "සාක්‍ෂි පිළිගැනීමට අවසර දී ඇති බැවිනි. එසේ අභූත චෝදනා මත රණවිරුවන් වරදකරුවන් කොට වාර්තා සකස්‌ කළ පසු මෙම ප්‍රඥප්තිය නීතියක්‌ බවට පත් කොට ඇති ඕනෑම රටක සිට කෙනකු පෙර කී චූදිතයෙක්‌ බවට "පත් කළ රණවිරුවාට එරෙහිව නඩුවක්‌ පැවරුවොත් අපේ රට එම රණවිරුවාව එම රටට පිටුවහල් කිරීමට බැඳී සිටී. ඒ රට රෝම ප්‍රඥප්තියට අත්සන් කොට තිබේ නම් එකී රණවිරුවා ජාත්‍යන්තර යුද අධිකරණයට පවා ඉදිරිපත් කළ හැක. වර්තමාන රජය අපේ රටේ රණවිරුවාව පත් කර ඇති ඛේදනීය තත්ත්වය එයයි. ත්‍රස්‌තවාදය තුරන්කොට රටේ සමස්‌ත ජනතාවට බියෙන් තොරව ජීවත් වීම සඳහා අපේ රණවිරුවෝ 29,000 ක්‌ දිවි පිදූහ. 14,000 ක්‌ පූර්ණ ආබාධිත තත්ත්වයට පැමිණ තිබේ. ගෙලෙන් පහළ මුළු ශරීරයම අප්‍රාණික සෙබළු සිය ගණනක්‌ ඒ අතර වෙති. සෙසු හමුදා සාමාජිකයෝ යුද්ධ කොට නොමැරී ජීවත් වෙති. මෙම රජයේ නිවට පාලකයෝ මේ සැරසෙන්නේ කොටි ඩයස්‌පෝරාවේ ඉල්ලීමට/බලකිරීමට අනුව එසේ යුද්ධයේදී නොමැරී ජීවත් වුණු රණවිරුවන් ජාත්‍යන්තර දංගෙඩියට යෑවීමටය. එය සිදුවන තෙක්‌ ජනතාව බලා සිටිය යුතුද?

මා වරක්‌ ඇමරිකාවට ගොස්‌ නැවත එනවිට ඇමරිකානු ගුවන් යානයක්‌ තුළ සිදුවූ සිද්ධියක්‌ සඳහන් කොට මෙම ලිපිය නිම කරමි. ගුවන් යානය පිටත් වීමට මොහොතකට පෙර යානයේ නියමුවා මගීන් සියලුදෙනාට නිශ්ශබ්ද වන ලෙස ශබ්ද විකාශන යන්ත්‍රය හරහා ඉල්ලා සිටියේය. ඉන්පසු ඔහු මෙසේ පැවසීය. "අද මේ මොහාතේ මෙම ගුවන් යානය තුළ අපේ රට වෙනුවෙන් යුද්ධ කළ වීර රණවිරුවෙක්‌ සිටී. "එය අපට මහත් ප්‍රීතියක්‌ මා ඔබ සැම වෙනුවෙන් ඔහුව ගෞරවයෙන් පිළිගනිමි" එම ප්‍රකාශයත් සමඟ මුළු ගුවන් යානයේම සිටි මගීන් ඉතා තදින් අත්පොළොසන් නාදයක්‌ ලබා දුනි. එම රණවිරුවා කවුරු දැයි මා නුදුටිමි. නමුත් එම ප්‍රතිචාරය මගේ නෙතට කඳුළක්‌ නැඟීමට සමත් විය. එසේ සිදුවූයේ වෙනත් රටක්‌ ආක්‍රමණය කළ යුද සෙබළෙක්‌ට ඇමරිකානුවෝ සලකන ආකාරයත්, අපේ රටේ අහිංසකයන් බුරුතුපිටින් මරා දැමූ සාහසික ත්‍රස්‌තයන් විනාශ කළ රණවිරුවන්ට අපේ රටේ පාලකයන් සලකන ආකාරයේ වෙනස දැනුණු නිසාදැයි නොදනිමි.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
http://www.divaina.com/2017/07/23/feature38.html

0 comments: