Pages

Tuesday, September 26, 2017

නැති බැරි වෙහෙර විහාර ගොඩ නංවන නව සහස්‍රකයට පෑයූ රිදී ඉර...

පෘතුගීසි සමයේ සිට පසුබෑමට, විවිධ පීඩාවන්ට භාජනය වූ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයත්, වෙහෙර විහාරස්‌ථානත්, අහිංසක බෞද්ධයනුත් මේතාක්‌ මුහුණ දෙන දැඩි දුෂ්කරතාවලින් ගලවා අභිමානවත්ව දෙපයින් සිටුවීම අරමුණු කරගත් නව ගමනක්‌, සම්භාවනීය නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයේත්, පරිත්‍යාගශීලී සැදැහැවත් ගිහි පින්වතුන්ගේත් එකතුවෙන් අතිපූජනීය ෙත්‍රෙනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් අරඹා තිබීම කාගේත් සතුටට හේතුවකි.
පුරාණයේදී රජවරුන් සිටුවරුන් වැනි දානපතියන්ගේ පරිත්‍යාගයෙන්ද, වර්තමානයේ දායක පින්වතුන්ගේ පඬුරු මුදලින් ද එක්‌රැස්‌ව යමක්‌ කමක්‌ ඇති විහාරස්‌ථාන හා දේවාල පෙරගමන්කරුවන් වී, නැති බැරි තැන්වලට හා නැති බැරි අසරණ දායක ඇත්තන් වෙත සාදර සිතින් ඔවුන්ගෙන් පිරිනැමෙන ත්‍යාගයක්‌ ලෙසින් මෙම නව ගමන හැඳින්විය හැකිය.

මෙමගින් ඇති හැකි තැන්වලින් සතුටින් එක්‌ රැස්‌කෙරෙන දේ නැති බැරි වෙහෙර විහාරස්‌ථානවලත්, සිල්මාතා ආරාම ඇතුළු සිද්ධස්‌ථානවලත්, බාහිර අතහිත නැතිවම බැරිව සිටින සිවුවනක්‌ පිරිසේත් අවශ්‍යතා වෙනුවෙන් කැපකොට, නැතිබැරි තැන්වලත්, නැති බැරි අයත් අභිමානයෙන් යුක්‌තව නගා සිටුවා ශක්‌තිමත් කිරීම ඒකායන පරමාර්ථය වේ. වෙනත් හැංගුණු න්‍යාය පත්‍රයක්‌ හෙවත් පෞද්ගලික කාරණා කිසිවක්‌ නැති මෙම නව ජවයට ජීවන හුස්‌ම ලබාදී ඇත්තේ ඇති හැකි මෙන්ම නැති බැරි යන දෙයාකාරයේම බෞද්ධ සිද්ධස්‌ථානවලට සාමාජිකත්වය විවෘත වූ "ශ්‍රී ලංකා බෞද්ධ විහාර දේවාල පදනම" මගිනි.

1998, 1999, 2000 යන වර්ෂවලදී විද්‍යාලංකාර මහා පිරිවෙනට රැස්‌ වූ සම්භාවනීය ජ්‍යෙෂ්ඨ නායක විහාරාධිපති/ භාරකාර ස්‌වාමීන් වහන්සේලාගේද, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ සහ සෙසු දේවාලවල බස්‌නායක නිලමේවරුන් ඇතුළු ගිහි භාරකාර පින්වතුන්ගේ ද කැපවීමෙන් පැවැති සාකච්ඡාවලින් පසුව 2001 වර්ෂයේදී මහවැලි කේන්ද්‍රයේදී නව ජවයකින් යුත් මෙම පෙරගමන්කරු "ශ්‍රී ලංකා බෞද්ධ විහාර දේවාල පදනම" නමින් පිහිටුවා ගන්නා ලදී. එවක බුද්ධශාසන අමාත්‍ය ධූරය හෙබ වූ ලක්‍ෂ්මන් ජයකොඩි මහතා මෙම සංවිධානය ඇරඹීමට විශාල ධෛර්යයක්‌ වූ බවද කිව යුතුය. 2007 අංක 22 දරන පනත යටතේ මෙම පදනම නීතිගත කර ඇත.

සංඝාවාසවල වහළ තහඩු කැබලිවලින් වසා, බිත්ති වෙනුවට පොලිතීන් කොළ යොදා වැසිකිළිය පොලිතීන්වලින් ආවරණය කරගෙන සිටි ඇතැම් විහාරස්‌ථානවල භික්‍ෂූන් වහන්සේලා දැකීමෙන් ඇතිවූ නව ජවය වූයේ, මෙරට ඇති හැකි විහාරස්‌ථාන හා දේවාලවල ආදායම්වලින් සතුටින් පිරිනැමෙන යම් සැළකිය යුතු ආධාර මුදලක්‌, දායක මුදලක්‌ සේ වාර්ෂිකව එක්‌රැස්‌ කර, නැති බැරි විහාරස්‌ථාන සිල්මාතා ආරාම ඇතුළු සිද්ධස්‌ථානවල අභිවෘද්ධියටත්, පොදුවේ ශාසනයේ විරස්‌ථිතිය හා අභිවෘද්ධියටත්, සසුනට දරුවන් පුදා ශාසනය පවත්වාගෙන යන්නට උරදෙන දුප්පත් දායක සමූහයාගේ අභිවෘද්ධියත් සලසන අවංකව හා කැපවීමෙන් කටයුතු කරන උතුමන්ගෙන් සැදී " ශ්‍රී ලංකා බෞද්ධ විහාර දේවාල පදනම" නම් වූ මෙම සංවිධානයයි. එවකට බෞද්ධ කටයුතු කොමසාරිස්‌ ධුරය ඉසිලූ කේ. කළුපහන මහතාගේ අප්‍රතිහත ධෛර්යයත්, ඔහුට මේ සඳහා ආධාර උපකාර කළ, එවකට බුද්ධශාසන හා ආගමික කටයුතු ලේකම් එල්. සුගුණදාස මහතාගේ උනන්දුවත් නිසා මෙම පෙරගමන්කරු බෞද්ධ සමාජයට ෙත්‍රෙනිකායෙන් නොහොත් බෞද්ධ සිද්ධස්‌ථානවලින් ලැබුණු ත්‍යාගයක්‌ම විය.

මෙම අභිමානවත් වැඩපිළිවෙළ පහත පෙනෙන කරුණු යටතේ ක්‍රියාවට නැංවේ.

Ö බෞද්ධ සිද්ධස්‌ථානවල යටිතල පහසුකම් නංවාලීම.

Ö බෞද්ධ සිද්ධස්‌ථාන වෙනුවෙන් නීති උපදේශන සේවා

Ö සාමණේර හිමිවරුන් උදෙසා අධ්‍යාපන ආධාර

Ö සිල්මාතා දහම් දැනුම නංවාලීම.

Ö ධර්ම දේශනා/ පිරිත් දේශනා ප්‍රගුණ කිරීමට සහාය

Ö සසුනට දරුවන් පිදූ ගිහි පවුල්වල සුභසාධනය

Ö ගිහි බොදු දරුවන් උදෙසා අධ්‍යාපන ආධාර

Ö අසරණ දුප්පත් වැඩිහිටියන් ස්‌වයං වෘත්තීන්ට හුරුකරවා ජීවන මං සලසාදීම.

Ö පිළිකා හා හෘදරෝගීන්ගේ ආතතිය දුරලීමට භාවනා වැඩසටහන් දියත් කිරීම.

Ö දිවි තොර කර ගැනීම් වළක්‌වාලීමට සිත් සුවපත් කරමින් ජීවන මං සැලසීම.

Ö සරසවිවල බෞද්ධ දර්ශනය උගෙන ගන්නා ආබාධිත සිසුන්ට විශේෂ දේශන ඇතුළු අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ශ්‍රී ලංකා බෞද්ධ විහාර දේවාල පදනම, සාමාජික විහාරස්‌ථානවල/ විහාරාධිපති නායක/ භාරකාර ස්‌වාමීන් වහන්සේලා සහ දේවාලවල නිලමේවරුන්/ ගිහි භාරකරුවන් විසින් මහා සභා රැස්‌වීමේදී වර්ෂ 3 කට වරක්‌ බැගින් අලුතින් පත්කර ගනු ලබන පාලක මණ්‌ඩලයකින් අපක්‍ෂපාතීව, මධ්‍යස්‌ථව හා ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කෙරේ. සාකච්ඡා මගින් ගනු ලබන තීරණ ක්‍රියාවට නංවමින් සාධාරණ හා යුක්‌තිගරුකව කටයුතු කෙරේ. පදනමේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවාසී සියලු විහාරස්‌ථාන හා දේවාලවලට විවෘතව පවතී. සියලු නිකායික හා පාර්ශ්වීය භීක්‍ෂූන් වහන්සේලාද, සිල්මාතාවන්ද සාමාජිකත්වය දරන මෙම පදනම අෙන්‍යාaන්‍ය සාමාජික උපකාරය මත දැඩි විශ්වාසය තබා සිටී. තනි තනිව එක්‌ එක්‌ අය වෙන වෙනම කටයුතු කිරීමෙන් නොව සියලු දෙනා සාමූහිකව, එක්‌වී කටයුතු කිරීමෙන් ගොඩනගා ගත හැකි ශක්‌තිය ප්‍රබලය. අර්ථාන්විත සේවයක්‌ ලබා ගැනීමට අභිමානයෙන් නැගී සිටිය හැක්‌කේ එවිටය. ඒ සඳහා මෙරට උගත් සම්භාවනීය ගරුතර භික්‍ෂූන් වහන්සේලාත්, ගිහි පින්වතුනුත් පෙරමුණ ගැනීම අපගේ ශාසනික අපේක්‍ෂාවයි.

එබැවින් ඒ සඳහා නිර්ලෝභීව පෙරට එන මෙන් ගෞරවයෙන් ඉල්ලමු. පෙර පිනින් ලත් වතුපිටි, ඉඩකඩම්, මැණික්‌ ඉල්ලම් ආදියෙන් යුත් බෞද්ධ සිද්ධස්‌ථානවලින් එසේ ලැබෙන දෙයින් යම් කොටසක්‌ මේ වෙනුවෙන් පරිත්‍යාග කරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. මේ රටේ නැති බැරි වෙහෙර විහාරස්‌ථාන සිල්මාතා ආරාම ආදියෙහි අභිවෘද්ධිය පිණිසත්, නැති බැරි අහිංසක දායකකාරකාදීන්ගේ අභිවෘද්ධිය හා සුභ සාධනය පිණිසත් පරිත්‍යාග කරමින් දායක වනු මැනවැයි පැවිදි හා ගිහි උතුමන්ගෙන් ඉල්ලමු. ඉල්ලන්නන්, යදින්නන්, පුලන්නන් ඉදිරියේ නෑසූකන්ව නොසිටින මෙන් ගෞරවයෙන් ආයාචනය කරමු. කුඩා ළමුන්, සිඟිති දරුවන්, දිළින්දන්, රෝගීන්, වයස්‌ගතවන්නන්, විනාශයට හෙවත් වෙනස්‌වීම්වලට යටත්වන්නන්, දූෂිතයන්ව, අධාර්මිකයන්ව, දුෂ්චරිතයන්හි යෙදෙමින් සිට පණුවන් ගසා නැසෙන්නන් ආදී නොයෙකුත් වේෂවලින් එන දේවදූතයන් ගැන, චුති සිත් පහළවන මරණ මංචකයේදී යමදූතයන් විසින් සිහිකරවා දී නිරයට, අපායට, තිරිසන් යෝනියට නැතහොත් ප්‍රේත ලෝකයට කැඳවා ගෙන යන්නට ඉඩ නොතබා, මෙම උතුම් මිනිස්‌ ජීවිතය පවත්නා, සිහිබුද්ධියෙන් සිටින වකවානුවේදීම එහි සාමාජිකත්වය ලබාගෙන, පරිත්‍යාග කිරීම් තුළින් මෙම උසස්‌ කැපකිරීම් අරඹන ලෙසට ආයාචනා කරමු.

බොරැල්ල ගෝතමී විහාරාධිපති, පුජ්‍ය තෙල්වත්තේ නාගිත නායක ස්‌ථවිර
http://www.divaina.com/2017/09/26/feature04.html

Pic Source

0 comments: