Pages

Sunday, September 3, 2017

ජගත් ජයසූරිය රැක ගනිමු...

ශ්‍රී ලංකාවේ යුද්ධය ඉවර වූයේ අවුරුදු අටකට පෙරය. නඩු පටන් ගන්නේ දැන් ය.

යුරෝපීය නිර්නායකයන්ට අනුව ශ්‍රී ලංකාවේ යුද්ධයට සහභාගි වූ හැම යුද සෙබළෙක්‌ම යුද අපරාධකරුවෙකි. එහෙත් යුරෝපීයන් අද වනතුරුත් කිසිදු මිනීමරු කොටියකු යුද අපරාධකරුවකු ලෙස නම් කර නැත. ප්‍රභාකරන් යුද අපරාධකාරයකු ලෙස කිසිදු පිළිගත් ජාත්‍යන්තර අධිකරණයක්‌ විසින් නම් කර තිබේද? කොටි සංවිධානය විසින් එම දේශපාලන අංශය ලෙස නම් කරන ලද සාපරාධී මස්‌ කඩයේ මුදලාලිලා ලෙස වැඩ කළ පොට්‌ටු අම්මාන්, තමිල් සෙල්වම් වැනි තිරිසනුන් යුද අපරාධකාරයන් ලෙස නම් කිරීමට කිසිදු ජාත්‍යන්තර අධිකරණයක්‌ කටයුතු කර තිබේද? අප දන්නා පරිදි නැත. එහෙත් අද වන විට තිස්‌ අවුරුදු යුද්ධයට සම්බන්ධ වූ සියලුම රාජ්‍ය නිලධාරීන් තරාතිරම නොබලා යුද අපරාධකාරයන් කිරීමට ජාත්‍යන්තරය පියවර ගෙන තිබේ. එහි අලුත්ම අවස්‌ථාව හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය බ්‍රසීලයේදී යුද අපරාධ මස්‌ කොක්‌කේ එල්ලීමට තැත් කිරීම ය.

යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය ජගත් ජයසූරිය අවසානයට කළ රැකියාව බ්‍රසීලය, පීරු, චිලි, ආර්ජන්ටිනා සහ සුරිනාම් යන රටවල තානාපතිකම ය. ඔහු තානාපති නිසා මේ රටවල් පහ තුළදී ඔහුට රාජ්‍ය තාන්ත්‍රික මුක්‌තිය හිමි ය. එබැවින් ඒ රටවල් පහ තුළදී ඔහු අත්අඩංගුවට ගැනීමට බැරිය. මේ අතර දකුණු ඇමරිකානු සංවිධානයක්‌ වන International Truth and Justice Project සංවිධානය, ජගත් ජයසූරිය යුද අපරාධකාරයකු බවට චෝදනා කිරීමත් සමඟම ඔහුගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අර්බුදයක්‌ හටගෙන ඇත. දැනට ලංකාවට පැමිණ සිටින ජගත් ජයසූරිය ආපසු වෙනත් රටකට යන විට අත්අඩංගුවට පත්වීමට ඉඩ තිබේ. එවැනි ජාත්‍යන්තර අත්දැකීම් තිබෙන බැවින් මේ රණවිරුවා රැකගැනීමට හැකි ඉහළම පියවර ගැනීම රටේ (රාජ්‍යයේ) වගකීමය.

International Truth and Justice යනු මේ ලොව තිබෙන, මිලියනයක්‌ පමණ වූ රාජ්‍ය නොවන සංවිධානවලින් එකකි. මෙහි වර්තමාන විධායක අධ්‍යක්‍ෂ වූ කලී 'මිනිස්‌ අයිතිවාසිකම්' නමැති විෂය රස්‌සාව හැටියට කරන යස්‌මින් සුකා නමැති කාන්තාවකි. ඉන්දියානු සම්භවයක්‌ ඇති දකුණු අප්‍රිකානු නීතිඥවරියක වන ඇය සුඩානයේ යුද අපරාධ ගැන සොයා බැලීමට පත් කළ එක්‌සත් ජාතීන්ගේ කොමිසමේ සභාපති ය. සුඩානයේ පැවැති සිවිල් යුද්ධයේදී සටන්කරුවන් ක්‍රියා කළ ආකාරය සහ කොටි සංවිධානය ක්‍රියා කළ ආකාරය අතර සමානකම් ඇත. එනම්, මේ පාර්ශ්ව දෙකම මිනීමැරීමට පාවිච්චි කරන්නේ තුවක්‌කු නොව, කැති, මන්න සහ කඩු ය. ඔවුන් මිනීමැරීමට යන විට තුවක්‌කු ගෙන ගියත් ඒවා පත්තු කළේ කලාතුරකිනි. එහෙත් ශ්‍රී ලංකාවේ යුද හමුදාව සටන් කළේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුවය. එනම්, ඔවුහු සතුරාට විස වායු ප්‍රහාර එල්ල කළේ නැත. සතුරන්ට ඇසිඩ් ගැසුවේ නැත. ඔවුන් සටන් කළේ රටේ ඒකීයත්වය කැඩීම සඳහා රටවල් කිහිපයක ආධාර ලබමින් විනාශකාරී මනුෂ්‍ය සංහාරයන් කළ කොටි සංවිධානය මර්දනය කිරීමට ය. ඒ නිසා යස්‌මින් සුකාගේ International Truth and Justice වැඩපිළිවෙළ සහ එහි තීන්දු ලංකාවට නොගැලපේ. ලංකාවේ රණවිරුවන් දඩයම් නොකර සුඩානයටම යන ලෙස අපි ඇයගෙන් ඉල්ලමු.

www.divaina.com/2017/09/03/editorial.html

0 comments: