Pages

Sunday, September 3, 2017

භාෂා දෙකකින් කතා කරමු ද? දෙවැනි බසක්‌ ඉගැන්වීමට හොඳම වයස ළදරු වියයි...

දවසක්‌දා මීයෙක්‌ චීස්‌ සුවඳක්‌ ඔස්‌සේ කුස්‌සියක කෑම මේසයකට බැස්‌සේ ගෙදර පූසා ඉස්‌තෝප්පුවේ නිදාගෙන සිටි නිසාය. එහෙත් පූසෙකුට මීයෙක්‌ ඉව වැටෙන්නට වැඩි වේලා යන්නේ නැත. මීයා මේසය උඩ සිටිනු දුටු පූසා හිමින් සීරුවේ පුටුවකට නැග කෑම මේසයට අඩිය තැබූ සැණෙන් දෙවියන් සිහිවුණු මීයා බිමට පැන ගත්තේ දුවන්නට තැනක්‌ හොයමිනි. එහෙත් කරුමයට මෙන් සියලු දොර ජනෙල් වසා තිබුණෙන් හතර අතේ දිවුවත් පැන ගන්නට තැනක්‌ නොතිබුණි. අන්තිමේ මීයා බිත්ති මුල්ලකට කොටු කර ගන්නට පූසා සමත් විය. තව තත්පරයකින් මරණය උරුම බව සිතට නැඟුණු මීයාට වහාම පුංචි ගණදෙවි නුවණක්‌ පහළ විය. මීයා තමන්ට පුලුවන් උපරිම හඬින් බල්ලෙක්‌ බුරන විදියට හඬක්‌ නැඟීය. උච්චාරණය සුද්දෙක්‌ සිංහල කතා කරන්නට තැතනුවා මෙන් වුවද පූසාට එක වරම මතක්‌ වුණේ දඩෝරියා ය. මේකා නම් නිකම් මීයකු නොව දඩෝරියාගේ පර-ම්පරාවේ නපුරෙක්‌ විය යුතු යෑයි ඌට ඇසිල්ලෙකින් අදහසක්‌ ඇති විය. එවර පණ බේරා ගන්නට පැන දිවුවේ පූසා ය. මී ගුලට රිංගා ගත් මීයා -භාෂා දෙකක්‌ දැනගෙන හිටපු නිසා පණ බේරා ගත්තායි පුරසාරම් දෙඩූ වග මා මේ කතාව කියවා ගත් රීඩර්ස්‌ ඩයිජෙස්‌ට්‌ සඟරාවේ පළ වී තිබිණි. 

ඉංග්‍රීසීන් අප පාලනය කළ අවධියේ පටන්ම අප ප්‍රිය කළ දෙවැනි බස ඉංග්‍රීසිය හෙයින් එක්‌ කලෙක බොහෝ ආසියානු රටවලට වඩා අපි ඒ භාෂාව අතින් ඉදිරියෙන් සිටියෙමු. ඉංග්‍රීසි හොඳින් දත් අය නොදත් අය ඉදිරියේ ඉංග්‍රීසියෙන් කතා කළේ මහත් උජාරුවෙනි. වරක්‌ පන්සලක පින්කමක්‌ පැවති දිනයක ඉංග්‍රීසි උගත් තරුණ පිරිසක්‌ ඉංග්‍රීසි නොදත් හිමිවරුන් පිරිසක්‌ වැඩසිටි තැනක එසේ ඉංග්‍රීසියෙන් දොඩමලු වූයේ හිමිවරුනට ආඩම්බර පෙන්වමිනි. අපි මොකද දැන් කරන්නේ? පාලි සංස්‌කෘත නම් සමහර ගිහියොත් දන්නවා. මේ ගොල්ලව පුදුම කරන්න අපට භාෂාවක්‌ ඇත්නම් යෑයි සාකච්ඡා කළ උන්වහන්සේලා භාෂාවක්‌ වෙනුවට වුත්තෝදය නම් කාව්‍ය ශාස්‌ත්‍ර ග්‍රන්ථයේ එන සූත්‍ර දෙබස්‌ විදියට කතා කරමුයි ගිවිස ගත්හ. එම කෙටි සූත්‍ර පාලි දත් පමණින් කෙනෙකුට නොවැටහෙන වෘත්ත සංක්‌ෂේපන වෙති. ඒ අනුව වෘත්තවල ගණවලට එන මුල් අකුරු යොදා සැකසූ - මෝ මෝ ගෝ ගෝ වි-ජුම්මාලා, -නනමයය යුතේයං මාලිනී භෝගි සීහී, රාසමානිකා රගාලහා, වැනි කෙටි සූත්‍ර සංවාද ස්‌වරයෙන් දෙබස්‌ ලෙස යොදා ගත් උන්වහන්සේලා වෙනත් බසක්‌ කතා කරන ආකාරයක්‌ රංගනය කළහ. මේ කුමන බසක්‌ දැයි සිතා ගත නුහුණු තරුණයෝ හිමින් සීරුවේ ලිස්‌සා ගියහ. කෙසේ වුවද ඉංග්‍රීසිය වැනි අලුත් දෙවැනි බසක්‌ ඉගෙනුමේ වටිනාකම දත් අපේ හාමුදුරුවරු දැන් නම් ගිහියන්ටද වඩා හොඳින් ඉංග්‍රීසි දනිති. ඉංග්‍රීසියෙන් පතපොතද ලියති. 

ඉංග්‍රීසිය රාජ්‍ය භාෂා තත්ත්වයෙන් පහළට වැටුණු පසු හුදෙක්‌ මවුබසින් පමණක්‌ම උගනිමුයි සිතන්නට ඇතැමුන් පෙළැඹුණු හෙයින් ලොව පුරා වැඩෙන නව දැනුමේ හිමිකාරයන් වීමේ භාග්‍යය අපේ එක්‌ පරපුරකට අහිමි විය. එම අවාසිය මැනවින් හඳුනාගත් පසු දැන් අප රට කවුරුත් වැඩි වැඩියෙන් ඉංග්‍රීසිය හුරු කර ගනිති. 

ඉගෙන ගන්න නෑ ලේසී
ඉගෙන ගතොත් වෙයි වාසී
රජෙක්‌ වෙන්න ලෝ වාසී
ඉගෙන ගනින් ඉංග්‍රීසී 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සුරතින් ලියෑවී නන්දා මාලිනී සංගීතවේදිනියගේ හඬින් ගැයුණු එම ගීතය වැනි දිරි ගැන්වීම් අපේ සිසු පරපුරට ධනාත්මක පණිවුඩයක්‌ ලබා දෙයි. ඉගෙන ගන්න නෑ ලේසී යි කියන්නේ ඉංග්‍රීසි අමාරු භාෂාවක්‌ නිසා නොව හොඳ ගුරුවරුන් සොයා ගන්නට ඇති අපහසුව නිසාය. ඉගැන්වීමේදී ගුරුමුෂ්ටි තබාගන්නා අය බහුල නිසා ය.

දෙවැනි බසක්‌ ඉගෙනීමේ වටිනාකම ලංකාව වැනි පුංචි රටක වසන කවුරුත් දනිති. අපේ පාසල් සිසුනට ලෝක භාෂාවන් හදාරන්නට පහසුකම් සැලසීමේ බර දරන්නේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයයි. නූතන භාෂා අංශාධිපති ආචාර්ය තෙරිපැහැ මේධංකර හිමියන් ප්‍රමුඛ විද්වත් කථිකාචාර්ය මණ්‌ඩලයක්‌ විසින් චීන, ජපන්, කොරියන් වැනි භාෂාවන් ඉගැන්වීමේ ශිල්පක්‍රම පාසල් ගුරු භවතුනට ලබා දීමේ සත්කාර්යය වසර පුරා ඉටු කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවත්නා එම ආයතනය විසිනි. ආයතනයේ අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මියගේ නිරන්තර අධීක්‌ෂණයෙන් මෙහෙයෑවෙන එම වැඩපිළිවෙළ දැක ගැනීමේ භාග්‍යය ඉකුත් නිවාඩු සමයේ ලංකාවට පැමිණි අවස්‌ථාවේ මා වෙත උදා විය. ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවනට අතිරේකව ජාත්‍යන්තර තවත් භාෂා ලංකාවේ ශිෂ්‍යයන් අතර ප්‍රචලිත වීම කාලීන අවශ්‍යතාවකි. 

අතිරේක භාෂාවක්‌ ඉගෙන ගන්නට අප මහන්සි විය යුත්තේ ඇයි? මවුබස පමණක්‌ ඉගෙන ගත්තාම මදිද? ලංකාව වැනි පුංචි රටක උපන් අපට එය ප්‍රමාණවත් නොවන්නේ දිනෙන් දින පුළුල් වන නව දැනුමට සිංහලයෙන් පමණක්‌ හිමිකම් කියන්නට අපහසු හෙයිනි. ඥානය වර්ධනය වන සහ අලුත් පතපොත ලියවෙන වේගය තරමට පරිවර්තන කටයුතු කරන්නට බැරි බව අමුතුවෙන් කිව යුතු නැත. සාහිත්‍ය කෘතියක්‌ නම් මූලික කෘතියේ රසය දැනෙන තරම් හොඳට පරිවර්තනය කළ හැකි වන්නේ කලාතුරකින් කෙනෙකුට පමණි. එහෙයින් නව දැනුමේ හිමි කරුවකු වන්නට සහ විශ්ව සාහිත්‍යයෙහි ආස්‌වාදය විඳගන්නට නම් නවීන ලෝක භාෂාවක්‌ හදාළ යුතුමය. බහුශ්‍රැතයන් වශයෙන් පිළිගැනෙන්නේ වැඩි වැඩියෙන් කියෑවූ අයයි. භාෂා රැසක්‌ දැන ගැනීම වඩාත් වාසි දායක නමුත් අඩුම ගණනේ මවුබසට වඩා තව එක්‌ අතිරේක බසක්‌ හෝ දැනසිටීම මෙසමයෙහි අත්‍යවශ්‍ය ය.

වැඩිපුර භාෂාවක්‌ ඉගෙනීම කියවන්නාගේ ප්‍රජානන ශක්‌තිය තියුණු කරන බව මනෝවිද්‍යාඥයෝ හෙළි කරති. එක්‌ බසක්‌ පමණක්‌ දන්නහුගේ මොළයෙහි ක්‍රියාකාරිත්වය සහ ද්විභාෂිකයකුගේ මොළයෙහි ක්‍රියාකාරිත්වය ගුණාත්මකව වෙනස්‌ බව ඔවුහු පවසති. වෙනත් බසකින් සිතන්නට, තේරුම් ගන්නට සහ සම්භාෂණයෙහි යෙදෙන්නට සමත් වීමට සමගාමීව ගැටලු විසඳීම වැනි උසස්‌ චින්තන කාර්යයන්හි යෙදීමෙහි කුසලතාව වර්ධනය වෙයි. ගණිතය සහ කියෑවීම අතින් මෙන්ම වාග්මාලාවෙහි පොහොසත්කම අතින්ද ද්විභාෂිකයන් වැඩි දස්‌කම් පාන බව සම්පරීක්‌ෂණවලින් හෙළි වී ඇත.

භාෂා කිහිපයක්‌ හදාළ අයට - විශේෂයෙන් ළමයින්ට - එක්‌ බසකින් තවත් බසකට වහා මාරු වී සිතීමේ, ලිවීමේ සහ කතා කිරීමේ ශක්‌තිය වැඩෙනු සමඟම එක්‌ වර වැඩ දෙකක්‌ කරන්නට කෞශල්‍යයක්‌ද ඇති වෙතැයි පෙන්සිල්වේනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයෙහි කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත. විශේෂයෙන් වාහනයක පැදවුම් අනුකාරකයක්‌ ලෙස සැකසූ උපකරණයක්‌ -පදවන, අතරම පරස්‌පර තවත් කාර්යයක නිරතවීමෙහි ලා බහුභාෂිකයෝ වැඩි සමත්කම් දැක්‌වූහ. එක්‌ භාෂාවකට වඩා කතා කළහැකි රියෑදුරන් අතින් වැරදි සිදු වීමද අඩු බව පෙනී ගොස්‌ ඇත.

භාෂා දෙකක්‌ හෝ වැඩි ගණනක්‌ හැදෑරීමෙහිදී අතිරේක වියරණ රීති පද්ධතියක්‌ සහ නව වාග්කෝෂයක්‌ ඉගෙනීම හේතුවෙන් මවු භාෂාව වඩාත් නිර්මාණාත්මකව හා නිවැරදිව හැසිරවීමට හැකි වන බව පෙනී ගොස්‌ ඇත. දකුණු කොරියාවෙහි ඉංග්‍රීසි ගුරුවරියක්‌ ලෙස සේවය කරන ඈන් මෙරිට්‌ මහත්මිය පවසන්නේ එක්‌ භාෂාවකට වඩා හදාළ අය අන් අයට වඩා ලේඛකයන්, සන්නිවේදකයන් හා සංස්‌කාරකයන් වශයෙන් සාර්ථක වන බවයි. 

වැඩිපුර භාෂාවන් ඉගෙනීමෙහි ප්‍රතිඵලයක්‌ ලෙස අනිවාර්යයෙන්ම අපගේ මතක ශක්‌තිය වැඩිවෙයි. එමෙන්ම පරිසර නිරීක්‌ෂණය සහ අවබෝධය, උචිතානුචිත විචක්‌ෂණය මෙන්ම වැරදි හඳුනා ගැනීමෙහි හැකියාවද වර්ධනය වෙයි. ලොව දක්‌ෂතම රහස්‌ පරීක්‌ෂකයෝ බහුභාෂිකයෝය. චිකාගෝ සරසවියෙහි කළ පරීක්‌ෂණයකින් හෙළි වූ තොරතුරු අනුව බහුභාෂිකයෝ තාර්කිකව තීරණ ගැනීමේ හපන්නුය. තම තීරණ පිළිබඳ ඔවුන්ගේ විශ්වාසයද ස්‌ථාවරය. ඒකභාෂිකයන් අතර ඇල්සයිමර් සහ ඩිමෙන්ෂියා රෝග ලක්‌ෂණ විද්‍යමාන වීමෙහි වසස්‌ සාමාන්‍යය 71.4ක්‌ වූ අතර බහුභාෂිකයන් අතර එය 75.5 ක්‌ විය.

දෙවැනි බසක්‌ ඉගැන්වීමට හොඳම වයස ළදරු වියයි. ඔවුහු භාෂා දෙකක්‌ ඉතා පහසුවෙන් හුරු කර ගනිති. එය කුඩා දරුවන්ගේ මොළයෙහි වර්ධනයට ඉතා හිතකර අභ්‍යාසයකි. මේ සඳහා මාස හතේ සිට මාස 33 දක්‌වා වයසේ දරුවනට දෙමාපියන් කුඩා වියේදී කතා කරන වියරණය අතින් සංකීර්ණ නොවූ සරල බසම උපකාර කරගෙන එම සුරතල් රිද්මයානුකූල රටාවෙන්ම සැකසූ PARENTESE නමින් හඳුන්වන විශේෂ ක්‍රමයක්‌ භාවිත කර ස්‌පාඤ්ඤයේ කළ පරීක්‌ෂණයකින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබී ඇත. දෙමාපියන් ඉංග්‍රීසි කතා නොකරන පවුල්වල දරුවනට දවසට එක පැය ගණනේ සති 18 ක්‌ ක්‍රීඩාමය රටාවකින් ඉගැන්වීමෙන් මේ අති සාර්ථක ප්‍රතිඵල ලද බව විශේෂයෙන්ම සටහන් කළ යුතුය. බොහෝ දරුවන් ළදරු පාසලේදීම භාෂා දෙකක හැකියාවන් ඇති කරගන්නේ මේ අයුරෙන්ම නොවේද? මවු බස පමණක්‌ හදාරන දරුවනට වඩා දෙබසක්‌ හදාරන දරුවෝ බුද්ධිමත් වෙති. මෙහිලා අවධාරණය කළ යුතු වැදගත් දෙයක්‌ නම් ළමයිනට භාෂාවක්‌ ඉගැන්වීම විශ්වවිද්‍යාලයකදී භාෂාවක්‌ ඉගැන්වීමට වඩා බෙහෙවින් වෙනස්‌ බවයි. අධ්‍යාපන මනෝ විද්‍යාව පිළිබඳ පරිණත අවබෝධයක්‌ ඇති ගුරුවරුන් විසින් පමණක්‌ එවැනි දස්‌කමක්‌ කළ හැකිය. පාසල් පද්ධතියේ අධ්‍යාපනික ගුණාත්මක භාවය පිළිබඳ වගකීම දරන ජාතික අධ්‍යාපන ආයතනයෙහි භාෂා අධ්‍යාපන ව්‍යාපෘතිය අපගේ විශේෂ ඇගයුමට පාත්‍ර විය යුත්තේ එහෙයිනි.

මහාචාර්ය චන්දිම විඡේබණ්‌ඩාර
http://www.divaina.com/2017/09/03/feature12.html

0 comments: