Pages

Saturday, November 23, 2013

සූදුව දහම් දිවයිනට අකැපය

රටක ආර්ථික ක්‍රමෝපායයක්‌ ලෙස සූදුව භාවිත කිරීම සුදුසු ද යන්න බෞද්ධ ධර්මානුකූලව පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ වේ. වත්මන් රජය ආර්ථික ක්‍රමෝපායයක්‌ ලෙස කැසිනෝ සූදුව මහ පරිමාණයෙන් ස්‌ථාපිත කරන්නට සූදානම් වේ. එය කිසි ලෙසකින්වත් බෞද්ධ ධර්මානුකූලව අනුමත නොකළ හැකි බව අප කියන්නේ ඇයි දැයි කරුණු සහිතව පෙන්වාදීම අප රජය මතුවටත් සුරකිනු වස්‌ කරුණාධ්‍යාශයෙන් පෙන්වා දෙන්නකි. රටක හෝ පුද්ගලයකු තම ධනය ඉපැයීමේදී සම්මා ආජීවය පදනම් විය යුතු බව බෞද්ධ ධර්මෝපදේශය බව පළමුව කිව යුතුය. යම් අයෙකු තම නිෂ්පාදන කාර්යයේදී ලාබය එකම අරමුණ කර ගැනීම (ලාබෙන ලාබං නිජිගිංසනතා) සම්මා ආජීවයට පටහැනි බව මැඳුම් සඟියේ එන වත්තාරීසක සූත්‍රයෙහි සඳහන් වේ. රටට ගෙන ඒමට අදහස්‌ කරන කැසිනෝ සූදුවේ එකම අරමුණ ලාභයයි. මෙහි භයානකකම වන්නේ ඒ හා බැඳුණු සංස්‌කෘතික සෝදාපාළුව මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම, මනුෂ්‍ය ඝාතන, ගණිකා වෘත්තීය ස්‌ථාපිත වීමත් මේ රටේ කීර්තිනාමය සුණු විසුණු වී සූදු අන්තුවන් පාලනය අතට ගන්න රටක්‌ වීමත්ය. අනෙක සමහරු (ධර්මය නිවැරැදිව නොදත් ලාභ අපේක්‍ෂාවන් පදනම් වූ භික්‍ෂූන් ද ඇතුළුව) මෙය අනුමත කිරීමට උත්සාහ ගනු ලබන්නේ සූදුව බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේද තිබුණා යෑයි කීමෙනි. එය කබරගොයා තලගොයා කිරීමේ න්‍යායකි. එදවස පටන් නොව ඊට පෙරද සූදුව තිබුණු බවට සාධක ඇති. එහෙත් එය රටක මුදල් ඉපැයීමේ ක්‍රමයක්‌ හැටියට කිසිසේත් භාවිත වූ බවක්‌ නොපැනේ. ජාතක දේශනාවේ එන අන්ධභූත ජාතකයේ දැක්‌වෙන පරිදි රජු ද දාදු ක්‍රීඩාවෙහි යෙදී ඇති බව සැබෑවකි. එහෙත් එය රජුගේ හුදු විනෝදාස්‌වාදය පිණිස යෙදුණා මිස එය රටක භාණ්‌ඩාගාරය ශක්‌තිමත් කිරීම පිණිස නොයෙදුනක්‌ ලෙස දැක්‌වීම අත්‍යවශ්‍ය ය.

අද රජයේ ගෙනෙන කැසිනෝව වරදක්‌ නොවන බව භික්‍ෂුන් වහන්සේම පැවසීම ධර්ම විරෝධී ප්‍රකාශයකි. එය උන්වහන්සේගේ ශීsලය පරීක්‍ෂාවට ලක්‌වන තැනක්‌ ද වේ. දීඝ නිකායේ කූට දන්ත සූත්‍රයේදී මඡ්Cධිම ශීලයේ දැක්‌වෙන අන්දමට දායකයා සැදැහැයෙන් දුන් දානය වළ¹ පමාවට හේතු වූ දූ කෙළියෙහි යෙදුණේ නම් භික්‍ෂුව ශීලයෙන් පිරිහුණේ වෙයි. තමන් එයින් වැළකුනේ පමණක්‌ නොව පමාවට හේතු වන කවරෙකු හෝ ඒ කරුණෙහි (සූදුවෙහි) පෙළඹවීම ද සුදුසු නොවේ. මෙම සූත්‍රයෙහි දැක්‌වෙන අන්දමට පුද්ගලයා මුළාවට පත්කරන සූදුව පදනම් වූ ක්‍රීඩා විසි එකක්‌ දැක්‌වේ. මීට අමතරව මෙම සූත්‍ර දේශනාව බෞද්ධ ආර්ථිකය දර්ශනය පෙන්වා දෙන්නකි. එවකට භාරතයෙහි මගධ රටේ ඇතිවූ ආර්ථික අවපාතයේදී එය වළක්‌වා ගැනීමට යාගයක්‌ කිරීම සුදුසු බව බමුණු ආගමික උපදේශකයන්ගේ අදහස විය. එහෙත් එම යාගය පැවැත්වීමට පෙර බුද්ධෝපදේශය ලබාගනු වස්‌ කුළුදත් බමුණා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ ඒ සඳහා යාගය කිසිසේත් සුදුසු නොවන බවත් රට ආර්ථික දියුණුව ඇති කරගැනීමට නිෂ්පාදනය (සේවා ආර්ථිකය නොව නිෂ්පාදන ආර්ථිකය) ශක්‌තිමත් කිරීම සඳහා සොළොස්‌ පිරිකර මගින් උපදෙස්‌ ලබාදෙයි. එමගින් පෙර රජ දවස ආර්ථික සමෘද්ධිය ඇති වූ බව උන්වහන්සේ අතීත කතාවක අත්දැකීම් මාර්ගයෙන් පෙන්වා දෙනු ලබයි. එහිදී හෝ ධනය උපද්දවීම පිණිස සූදුව අනුමත කිරීමක්‌ කිසිසේත් දක්‌වා නැත. චක්‌කවත්ති සීහනාද සූත්‍රයෙහි දැක්‌වෙන්නේ පාලකයා ධර්මය ධජයක්‌ කොටගෙන ධර්මයෙහි අධිපති බව තබාගෙන ධර්මයට ගරු කරමින් සත්කාර කරමින් රාජ්‍ය කරවිය යුතු බවකි.

දික්‌ සඟියේ එන සිඟාලෝවාද සූත්‍රයේදී භෝග විනාශ මුඛ (ආර්ථික පරිහානිය) සයෙන් එකක්‌ ලෙස සූදුව දක්‌වා ඇත. සූදුවෙහිදී සිදුවන්නා වූ (දූ කෙළියෙහි) දොස සයක්‌ එහි දක්‌වා ඇත.

1. දිනූ තැනැත්තේ වෛර රැස්‌ කරගනියි.

2. පරදින ලැබූ තැනැත්තේ වස්‌තුව ගැන නැවත නැවත ශෝක කරයි.

3. තමන් බලා සිටියදීම වස්‌තුව විනාශ වේ.

4. සභාවකට පැමිණි කල ඔහුගේ වචනය නොපිළිගනියි.

5. අසල්වැසියා නින්දා අපහාස කරයි.

6. විවාහ අපේක්‍ෂාවන් බිඳ වැටේ.

මෙහිදී තවදුරටත් සූදුවෙහි ආදීනව සඳහන් වෙන සූත්‍ර දේශනා බුද්ධ දේශනාවෙහි ඇතුළත් වේ. සූදුව (අක්‌ඛධුත්ත) වනාහි පුද්ගලයා පිරිහීමට ලක්‌වන කරුණක්‌ ලෙස පරාභව සූත්‍රයෙහි (සු. නි) ද, වසල සූත්‍රයෙහි (සු. නි) වසල ක්‍රියාවක්‌ ලෙස ද, ව්‍යග්ඝ පඡ්ජ සූත්‍රයෙහි (අ. නි) එය ධනය පිරිහෙන කාරණයක්‌ ලෙසද, පායාසිරාජඤ්ඤ සූත්‍රයෙහි (දි. නි) ලාමක ධර්මයක්‌ ලෙසද දක්‌වා ඇත. බුදු සමයේ එන එකසිය විසිඅටක්‌ වූ නිරය ගැන සඳහන් වෙන තැන සූදු කෙළින්නා අපා නිරයෙහි උපදින බවද සඳහන් වේ. 

මේ කරුණු සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ කවර නම් සූදුවකටවත් බුදු දහමින් අනුමැතියක්‌ නොලැබෙන බවයි. යම්කිසි භික්‍ෂුවක්‌ හෝ ගිහියකු මේ සඳහා අනුසස්‌ කියන්නේද එය ධර්මය අධර්මය කොට කීමක්‌ බව අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය.

වර්තමානයේ ධර්මයට පටහැනිව පවතින කැසිනෝ සූදුවෙන් සිදුවූ විපතක්‌ සඳහන් කරන්නේ තව අයෙකු මුළාවට පත් නොවීම පිණිස ය. එම කතා පුවත සිඟාලෝවාද සූත්‍රයේ දැක්‌වුණු බෝග විනාශ මුඛ සයටම ගොදුරු වූ පුවතකි. රාජගිරිය ප්‍රදේශයේ ජීවත් වූ මේ තරුණයා මධ්‍යම පාන්තික ධනවත් පුද්ගලයෙකි. තමන්ම වෙහෙස මහන්සිව ධනය උපයාගත් මේ තරුණයා තම ජීවිතයේ ස්‌වර්ණමය අවස්‌ථාවට මුහුණදෙන්නට හෙට දින සූදානම් කරන ලදී. එනම් ඔහුගේ විවාහ මංගලෝත්සවයයි. එදිනට සියලු සුබ මුහුර්තයන් සියල්ල සූදානම්ය. කළ යුතු සියලු ආරාධනාවන් සිදු කොට හමාරය. එහෙත් මොහු කැසිනෝ සූදුවට ප්‍රිය කළ කෙනෙකි. හෙට දින මංගලෝත්සවය තිබියදී අද දිනයේ කැසිනෝ ක්‍රීඩාවෙහි යෙදෙන්නට තීරණය කළේ හෙට දිනයේ සතුට වර්ධනය කරගන්නා රිසියෙනි. එහෙත් ඔහුට සිදුවූයේ තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ සිදුවීමකි. එනම් සූදුවෙන් අන්ත පරාජයට පත්වී තමන්ගේ සේසත සිඳී යැමයි. මෙයින් පීඩාවට පත් ඔහුට හෙට දවසේ හෝටෙල් ගාස්‌තු ආදී වූ මුදල් ගෙවන්නට හැකියාවක්‌ නැත. සුබ මුහුර්තිය පැමිණිය ද මනාලයා නොපැමිණීමෙන් මනාලිය ද මහත් සේ කනස්‌සල්ලට මෙන්ම ලැඡ්ජාවටද පත්විය. එදින විවාහ මංගලෝත්සවය සිදු නොවීය. එයින් මනාලිය තදබල පීඩනයට ලක්‌ විය. මනාලයාට දෙපාර්ශ්වයෙන්ම අපමණ බැණුම් තර්ජන ගර්ජන එල්ල විය. අපේක්‍ෂා භංගත්වයට පත්වූ මනාලිය ඒ වේදනාවත් ලැඡ්ජාවත් සමග ඔහු හා විවාහ වීම ප්‍රතික්‍ෂේප කොට ඔස්‌ටේ්‍රලියව බලා පිටත් විය. මුදල් නැතිවීම, කීර්තිය නැතිවීම, ධනය නැතිවීම, අවිශ්වාසනීයභාවය ඇතිවීම, අපේක්‍ෂාභංගත්වය, විවාහය උපන්ගෙයිදීම බිඳ වැටීම, නින්දා අපහාස ගලා ඒම ඔහුට කැසිනෝ මගින් ලැබුණු දායාද විය. මහ ධනවතෙක්‌ වූ සක්‌විතිලා අද සිරගෙයි ජීවිතයෙන් වන්දි ගෙවන්නේ මේ කැසිනෝවට යොමු වීම නිසා බව රටම දන්නා තවත් උදාහරණයකි. එවැනි ව්‍යාපාරිකයන් ගැන අපට බොහෝ තොරතුරු ඇතත් ලිපිය දීර්ඝවීම නිසාය සඳහන් කරනු නොකැමැතිය. සමාජ විද්‍යාඥයන් මේ පිළිබඳ පූර්ණ සමාජ විද්‍යාත්මක ගවේෂණයක්‌ සිදු කිරීම කාලීන අවශ්‍යතාවකි.

එසේම කැසිනෝව හා බැඳෙන කාම අපරාධ, ජීවිත හානි, ජන ජීවිත කඩා වැටීම් හා සංස්‌කෘතික සෝදාපාළුව අපට නොවැළක්‌විය නොහැක. එම කරුණු ඉක්‌මවා යන සූදු අන්තුවන් මේ ධර්මද්වීපය පාලනය තමන් අතට ගැනීම වැළැක්‌වීමට නොහැකිය. එය රටේ ස්‌වාධීනත්වය පාවාදීමකි. මෙයට කදිම උදාහරණ වන්නේ ඔස්‌ටේ්‍රලියානු පාලකයා තීරණය කරනු ලබන්නේ ඡේම්ස්‌ පැකර්ලා ය. ථෙරවාදී බුදුදහම ස්‌ථාපිත වූ තායිලන්තය අපගේ මිත්‍ර රාජ්‍යයක්‌ වුවද, කැසිනෝ සූදුව ස්‌ථාපිත වීමත් සමගම වැඩිම ඒඩ්ස්‌ රෝගීන් සිටින රට ලෙසද මත් ජාවාරම්කරුවන්ගේ තිප්පළක්‌ ලෙසද නම් දරා සිටී. ඒ හා බැඳුණු සංස්‌කෘතික සෝදාපාළුව ශෝචනීය තත්ත්වයක පවතී. එසේ කරුණු හෙයින් කුමන ගණයේ සූදුවක්‌ වුවද රටක ස්‌ථාපිත කිරීම ධර්ම විරෝධීය. දහම් දිවයිනට අකැපය.

පස්‌සරමුල්ලේ දයාවංස හිමි
http://www.divaina.com/2013/11/23/feature02.html

0 comments: