
මේ කඩේ නම "යාල් කැෆේ" ය. වසර 25 ක් පමණ නැවැතී තිබූ යාල්දේවි දුම්රිය පසුගියදා ආපසු උතුර බලා යන්නට පටන් ගත් හැටි ඔබට මතකද? ෆොල්ස්‌හිල් පාරේ යාල් කැෆේ එකෙහි කෑම ලාභ බවටත් රස බවටත් මතයක් තිබෙන නිසා කොවෙන්ටි්‍ර නගරය තුළ සිටින සුද්දන් පමණක් නොව සිංහලයන් හා දෙමළ ජාතිකයන් ද, "හලාල්" ආහාර සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඉස්‌ලාමීයයෝ ද එහි එති. මේ නිසා ශිරන්ත ප්‍රනාන්දුගේ කෑමවල මිල සඳහන් මැනු කාඩ් පතෙහි හලාල් සහතිකයක් ද විය. අපි ඉඳිආප්පයක මිල රුපියල් 2 ක ඉක්‌මවූ විට ආණ්‌ඩුවට හෙණ ඉල්ලමු. එහෙත් ශිරන්ත ප්‍රනාන්දුගේ යාල් කැෆේ එකෙහි ඉඳිආප්පයක් රුපියල් හැටකි. ලන්ඩනයේ ජීවන වියදමට අනුව එය ඉතා අඩු මිලකි.
වසර ගණනාවකට පෙර එංගලන්තයේ පදිංචියට ගිය ශිරන්ත ප්‍රනාන්දු යාල් කැෆේ එක පටන් ගත්තේ අවුරුදු හතරකට පෙර ය. ආහාර පිසීමේ කලාව ඉතා හොඳින් ප්‍රගුණ කළ කෙනකු වූ ඔහු මෙරටින් ලන්ඩනයට ගෙන යන එකම ධනය ද එය ය. යාල් කැෆේ යනු දිගු කඩ පෙළක මැද කඩයයි. එහි දකුණු පස තිබුණේ දෙමළ මහතකුට අයත් Soma නමැති කුඩා සුපිරි වෙළෙඳසලය. වම්පසින් කුලී රථ සපයන සුද්දකුට අයත් ආයතනයක් විය. සිය හෝටලය උදේ 9 ට විවෘත කරන ශිරන්ත රෑ 10 වනතුරු ආහාර වික්‌කේය. ඔහු කඩේ වහන විට දෙපැත්තේ කඩවල් දෙකේ සිටි සුද්දා සහ දෙමළ මහතා සිය ගෙවල්වල තද නිද්දේය.
බ්‍රිතාන්‍යය ලොව දෙවන තැනට විශාලතම දෙමළ ඩයස්‌පෝරාව සිටින රටය. ශිරන්ත යාල් කැෆේ විවෘත කර මාස තුනකට පමණ පසු දිනක් ඔහු හමුවීමට ලංකාවේ දෙමළ තරුණයන් කිහිපදෙනෙක් පැමිණියහ.
"යාල් කියන්නේ දෙමළ නමක්. ඇයි මේ වගේ නමකින් හෝටලයක් කරන්නේ.?"
තරුණයන්ට හෝටලය තුළට කතා කළ ශිරන්ත ප්‍රනාන්දු ඔවුන්ගේ ප්‍රශ්නයට උත්තර දුන්නේය. "මම දකුණු ඉන්දියානු කෑම හදන්න හොඳටම දන්න කෙනෙක්. ඒ වගේම මම තෝසේ, ඉට්‌ලි වැනි කෑමවලට ආසයි. මේ පළාතෙ මම තරම් හොඳට දකුණු ඉන්දියානු කෑම හදල විකුණන හෝටල් නැහැ. මේ වගේ තැනක් පටන් ගන්න කියල මෙහෙ ඉන්න දෙමළ යාළුවෝ කීපදෙනෙක්‌ම කිව්වා. ඒ විතරක් නෙවෙයි. ඉන්දියන් කෑමවලට කැමති මෙහෙ ඉන්න සිංහලයොත් මගෙන් ඒ ඉල්ලීම කළා.
"ඒව හරියන්නේ නැහැ... " තරුණ පිරිස කීහ. "කැෆේ එක කරනවා නම් යාල් නම අයින් කරල දෙමළ නොවන නමක් දාගන්න. එහෙම කරන්න බැරිනම් කඩේ වහන්න...."
"යාල් කියන්නේ කොවෙන්ටි්‍ර සිටි එකේ බ්‍රෑන්ඩඩ් හෝටලයක්. දැනට මම ජීවත් වන්නේ මේ කඩෙන් එන ආදායමෙන්. මේක වහන්නවත් නම වෙනස් කරන්නවත් කීයටවත් බැහැ." ශිරන්ත ඒ කීවේ ඇත්තකි. "යාල්" නම ඔහු ඉතා මහන්සියෙන් ගොඩනගාගත් ධනයයි.
මේ අතර ලංකාවේදී ඇරඹෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගිවීමට චාල්ස් කුමාරයා සහ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් තීන්දු කළ බව බ්‍රිතාන්‍ය පුරා පැතිර ගියේය. මෙය ලන්ඩනයේ කොටි තරුණයන් වියරු කළ අවස්‌ථාවකි. ඔවුහු මේ ගමන වැළැක්‌වීම සඳහා උද්ඝෝෂණ කරනු පිණිස පාරට බැස්‌සහ. එහෙත් කුමාරයා සහ අගමැති තම තීන්දුව වෙනස් කළේ නැත.
12 වැනි ඉරිදා රාත්‍රි 9 ට පමණ ශිරන්ත ප්‍රනාන්දු යාල් හෝටලයේ කෑම සාදමින් සිටියේය. හෝටලය තුළ සිටි සුදු තරුණයන් කිහිපදෙනෙක් කෑම ගනිමින් සිටියේය. මේ අතර ක්‍රිකට් බැට් පිති සහ යකඩ පොලු ගත් තරුණයන් 20 දෙනෙක් යාල් හෝටලය වට කළහ. ඒ සමගම අනතුරු හඟවා කෑ ගැසූ ශිරන්ත ප්‍රනාන්දු සිය ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්‌ඩලය සමග හෝටලයේ පස්‌ස දොරින් පිටව පැන දිවූහ. ප්‍රහාරයෙන් එක් තරුණයෙක් තුවාල ලැබීය. ශිරන්ත ප්‍රනාන්දු පොලිසියත් සමග ආපසු යාල් හෝටලයට එනවිට එහි සියලු වීදුරු ආවරණ කුඩේ කුඩු ය. මෙයට කලකට පෙර යාල් කඩේ වසන ලෙස තමන්ට තර්ජනය කළ දෙමළ තරුණයන් කිහිපදෙනකු ප්‍රචණ්‌ඩකරුවන් අතර සිටි බව ශිරන්ත පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන් ය.
එංගලන්තයට දවල් වන විට අපට රාත්‍රිය එළැඹෙයි. මේ සිද්ධිය ආරංචි වූ දවසේ පටන් සෑම රැයකම අපි යාල් හෝටලයේ දුරකථනය වූ අංක 00442476666459 ට කතා කළෙමි. එහෙත් ඒ හැම විටම Network busy බව අපේ දුරකතනය අපට කියයි. ශිරන්ත ළඟ දැන් අපේ දුරකථන අංකය තිබේ. ඔහු මතු දිනෙක අපට කතා කරනු ඇත.
අනුර සොලමන්ස්
http://www.divaina.com/2013/11/24/feature16.html
0 comments:
Post a Comment