Pages

Sunday, September 4, 2016

බර අඩු කර ගැනීමද භාවනාවකි!

භාවනා කරන විට රන්ඩු සරුවල් නතරවේ...
ආශාවෙන් කන කෑමද ප්‍රතික්‍ෂේප කරයි...
අලස බව දුරුවේ...
භාවනා කිරීමෙන් ඔබ තවත් ශක්‌තිමත් වන්න...

බර අඩු කර ගැනීමේ නිවැරදි වැඩසටහනකදී නිසි ඉලක්‌කය තෝරා ගෙන වීර්යය වැඩීමත්, නිසි ආහාර පාලනයත්, ව්‍යායාමත් මනස සතුටෙන් තබාගැනීමත් එකවිට ක්‍රියාත්මක කිරීමෙන් ඒවා වෙන වෙනම ක්‍රියාත්මක කොට ලැබෙන ප්‍රතිඵල වල එකතුවට වඩා උසස්‌ ප්‍රතිඵලයක්‌ අනිවාර්යයෙන්ම ලැබෙයි. නිදසුනක්‌ ලෙස ආහාර පාලනය තනිව ක්‍රියාත්මක කිරීමෙන් කෙනකුට කිලෝ දෙක හමාරක බරක්‌ මසකට අඩු කර ගත හැකි යෑයි සිතමු. එසේම ඒ කෙනාට ව්‍යායාම තනිව ක්‍රියාත්මක කිරීමෙන් කිලෝ ග්‍රෑම් භාගයක බරක්‌ මසකට අඩු කර ගත හැකි යෑයි සිතමු. අදාළ කෙනා නිසි ආහාර පාලනයත් නිසි ව්‍යායාම ලබාගැනීමත් එකවිට ක්‍රියාත්මක කළහොත් ලැබිය යුතු ප්‍රතිඵලය කිලෝ ග්‍රෑම් තුනක්‌ වුවත් ඊට වඩා ඉහළ ප්‍රතිඵලයක්‌ ඔහුට ලැබෙයි . එසේ ඉතා හොඳ ප්‍රතිඵලයක්‌ ලැබෙන්නේ ආහාර පාලනය මගින් ව්‍යායාම කිරීමත් ව්‍යායාම කිරීම මගින් ආහාර පාලනයත් අන්‍යෝන්‍ය වශයෙන් ශක්‌තිමත් කෙරෙමින් ධනාත්මක චක්‍රයක්‌ සේ ක්‍රියා කරන නිසාය. එයට නිසි වීර්යය වැඩීමේ ක්‍රායාවලියත් මනස සතුටෙන් තබාගැනීමත් එක්‌ වූ විට ඊටත් ඉහළ ප්‍රතිඵලයක්‌ ලබා ගත හැකිය. එසේම එවිට එය ස්‌ථිර සහ කල් පවත්වා ගත හැකි ප්‍රතිඵලයක්‌ද වෙයි.

"භාවනා කරනවද?'' යන ප්‍රශ්නය ඇසූ විට ඔබ දෙන පිළිතුරද අපි අත්දැකීමෙන්ම දනිමු. එවිට අපට ලැබෙන්නේ මෙවැනි පිළිතුරකි. "අපේ රාජකාරිය කරන්න ගියහම, ළමයින්ගෙ වැඩ ටික කරන්න ගියහම, ගෙදර වැඩ ටික කරන්න ගියහම ඕව කරන්න අපට කෙහෙන්ද වෙලාවක්‌. අපට තියෙන වැඩ ටිකට දවසෙ පැය 24 ත් මදි.'' 

භාවනා කිරීම එසේ වෙලාව නැතැයි අත්හැර නොදමන්න. සිත ඒකාග්‍රව තබාගැනීමට ආශාවන් පාලනය කරගැනීමට භාවනාව තරම් ඔසුවක්‌ තවත් නැත. ඔබ ඕනෑම කෙනකුට භාවනා කළ හැකිය. අවම වශයෙන් ඔබ අදහන ආගමවත් එයට බාධාවක්‌ කර ගත යුතු නැත. ඕනෑම කෙනකුට අවම වේලාවකින් කළ හැකි සරල භාවනා ක්‍රමයක්‌ ඔබට පහදා දෙන්නට අප දැන් සූදානම්. 

මෙම භාවනාව පටන් ගැනීමට දවසට අවශ්‍ය වන්නේ විනාඩියක්‌ පමණයි. අප භාවනාව සඳහා පැයක්‌, පැය භාගයක්‌ හෝ පැය කාලක්‌ යෝජනා කළානම් වේලාව නෑ කියන පදනමෙන් එය අනිවාර්යයෙන්ම ප්‍රතික්‌ෂේප වනවා. එහෙත් විනාඩිය එම පදනමෙන් ඔබට ප්‍රතික්‌ෂේප කළ නොහැක්‌කේ දවසකට විනාඩි 1440 ක්‌ තරම් විශාල ප්‍රමාණයක්‌ තිබෙන බැවිණි. "මට නම් විනාඩියක්‌වත් සොයාගන්න බෑ මම නැගිට්‌ට වෙලාවෙ ඉඳන් නිදාගන්නකල්ම වැඩමයි'' කියා කියන අය ද අප අතර සිටී. කලබල නොවන්න. ඒ අයටත් අපි වේලාව සොයා දෙන්නෙමු. ඔබ සියලු දෙනාම දවසේ වැඩ නිම වී නින්දට යයි. නිදාගන්නා තැනට ගොස්‌ දිගා වූ සැනින් නින්ද යන්නේ නැත. වෙන වේලාවක්‌ සොයාගත නොහැකි අයට අන්න ඒ නින්ද යනකන් ගතවන විනාඩි කීපයෙන් එකක්‌ වෙන්කර ගෙන මෙම භාවනාව කළ හැකිය. එවිට නපුරු සිහින නොපෙනෙන සැපවත් නින්දක්‌ ඔබට ලැබෙන බවටද කිසිම සැකයක්‌ නැත. 

කුමක්‌ද මේ භාවනාව? ඔබ මුළු දවසේදීම එනම් විනාඩි 1440 දිම හුස්‌ම ගන්නවා. පිටකරනවා. හැබැයි ඒක වෙන්නෙ ඉබේටම. ඔබ දන්නෙ නෑ මොකක්‌ද වෙන්නෙ කියල. අපි වෙන්කර ගත්ත මේ විනාඩියෙදි හුස්‌ම ගන්න පිටකරන ක්‍රියාවලිය එහෙම අපට නොදැනි වෙන්ඩ ඉඩ දෙන්නේ නෑ. ඒ පිළිබඳව සිහියෙන්, සතියෙන්, කල්පනාවෙන් පසුවෙමින් මනසින් මෙනෙහි කරමින් තමයි එය සිදුවන්නට ඉඩදෙන්නේ. එය ආනාපාන සති භාවනාවයි.

මුලින්ම ඔබ ඉන්නා ඉරියව්වේ හැකි උපරිම අයුරින් සන්සුන් වන්න. මෙය ඉඳගෙන, සිටගෙන හෝ නිදාගෙන යන ඕනෑම ඉරියව්වකින් කළ හැකිය. ඔබට වදයක්‌ වේදනාවක්‌ අපහසුතාවයක්‌ ඇති කළ දේවල් මොහොතකට අමතක කරන්න. දැන් අපේ භාවනාව සඳහා ඔබ සුදානම්. 

ඔබ හුස්‌ම ගන්නා විට මෙසේ සිතන්න. ''මම දැන් සිසිල් වාතය මගේ නාස්‌ පුඩුවලින් ක්‍රමානුකූලව ඉහලට හුස්‌ම ගන්නවා. ''ඊළඟට මෙසේ සිතන්න. ''ඉහළට ගත්තු හුස්‌ම මගේ පෙනහළුවල එහෙම නැත්නම් සිරුර තුළ මම මොහොතක්‌ රඳවාගෙන සිටිනවා''. ඊළඟට මෙසේ සිතන්න ''මම රඳවාගෙන සිටි හුස්‌ම දැන් ක්‍රමානුකූලව උණුසුම් වාතය විදිහට මම මගෙ නාස්‌පුඩුවලින් පිටකර හරිනවා" මෙසේ හුස්‌ම ගන්නා ක්‍රියාවලියත් එය ඔබේ සිරුරට දැනෙන ආකාරයත් මෙනෙහි කරමින් මනසින් දකිමින් ඒ පිළිබඳව සිහියෙන් සතියෙන් පසුවෙමින් වාර 15 - 20 ඉහත විස්‌තර කළ පරිදි නැවත නැවතත් කරන්න. ඒ සඳහා විනාඩියක්‌ විනාඩි එකහමාරක්‌ වැනි කාලයක්‌ ගතවේවි. මෙම භවනාව අවසානයේ ඔබේ මනසට විශාල සැහැල්ලුවක්‌ සතුටක්‌ දැනෙනවා. එය අද කළ වේලාවට හෝ ඔබට හැකි වෙනත් වේලාවක හෙටත් කරන්න. එලෙස සතියක්‌ දවස්‌ 10 ක්‌ සති දෙකක්‌ ආදී වශයෙන් දිගටම එය ප්‍රගුණ කරන්න.

ඔබේ අභ්‍යන්තරයේ ඉතා විශාල වෙනසක්‌ ඇතිවීම නියතයි. එය ඔබ ඔප්පුකරගන්නේ කෙසේද? මෙවැනි මානසික අභ්‍යාස දවසක්‌ දෙකක්‌ කර බොහෝ දෙනා ගුණයක්‌ නොදැනෙන බැවින් අතහැර දමනවා. එබැවින් එහි ගුණය ඔබටම ඔප්පුකර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඔබටත් මටත් සෑම පෘතග්ජන පුද්ගලයෙකුටමත් කේන්ති යනවා. කේන්ති නොයන්නේ රහතන්වහන්සේලා වැනි සිත උපරිම තලයට දියුණු කරපු අයට පමණයි. නමුත් භාවනා කිරීම ආදි මානසික අභ්‍යාස වලින් අපට ඇතිවන මෙම කේන්තියාම තුනී කරගන්න පුළුවන්. අප විස්‌තර කළ පරිදි මෙම භාවනාව ඔබ සතියක්‌ දවස්‌ 10 ක්‌ සති 2 ක්‌ වැනි කාලයක්‌ දිගටම ප්‍රගුණ කර බලන්න. කේන්ති යාම ඉතාම පැහැදිලිව අඩුවෙනවා. කේන්තිය කියන්නේ වෛරය, ද්වේශය, ක්‍රෝධය මුසු ව්‍යාධිජනක මනෝභාවයක්‌. කේන්තියාම අඩුවෙනව කියන්නෙ මෛත්‍රී සහගත සිතිවිලි වැඩෙනව කියන එකයි. ඒ කියන්නෙ පැහැදිලිවම මනස දියුණු වෙලා.

මේ භාවනාව දිගටම කරගෙන යනකොට වෙනදා ඔබ රණ්‌ඩුවට ගිය කාරණයකට තවදුරටත් රණ්‌ඩු කරගන්න අවශ්‍ය වන්නේ නෑ. ඔබේ ජීවිතය බොහොම පහසු වෙනවා. අන් අය සමග ඉතාම සහයෝගයෙන් කටයුතු කිරීමට ඔබට හැකිවෙනවා. 

භාවනා කිරීම ආදි මානසික අභ්‍යාසවලින් මනස යම් මට්‌ටමකට දියුණු කර ගත් විට අපට හානිකර ආශාවන් පාලනය කරගැනීමට පුළුවන් වෙනවා. අප වැඩසටහනට අදාලව සළකා බැලුවොත් වැළකිය යුතු සියල්ලෙන් ඉතාම හොඳින් වැළකීමට හැකිවෙනවා. කළ යුතු සියල්ල ඉතාම හොඳින් කළ හැකි වෙනවා. 

දැන් අප බර වැඩි අයට තම සිත පාලනය කරගැනීමට නොහැකිව ආශාවන්ට අවනතව හානියක්‌ කරගන්නා අවස්‌ථාවක්‌ සලකා බලමු. ඔබ අප වැඩසටහන ඉගෙන ගෙන ගෙදර ගිය පසු ඔබේ ගෙදරට එන අමුත්තෙක්‌ ගැන සිතන්න. අමුත්තා විශාල ප්‍රමාණයේ අයිසිං කේක්‌ ගෙඩියක්‌ හෝ ලීටර් හතරේ අයිස්‌ක්‍රීම් බඳුනක්‌ ගෙනාවා යෑයි සිතන්න. එවිට ඔබට ඇත්තේ එම කෑම කෑමට ඇති කෑදරකමට වහල් වන සිතක්‌ නම් සිදුවන්නේ කුමක්‌ද? සිත අප වැඩසටහනේ සිට ''ජබොහ්'' ගා අයිස්‌ බඳුන තුළට හෝ අයිසිං කෙක්‌ ගෙඩියට පැනීමයි. අප ඔබට කේක්‌ අයිස්‌ ක්‍රීම් කෑමට තහනම් පැනවූවා යෑයි අප කෙරෙහි අප්‍රසාදයක්‌ද ඔබට ඇතිවිය හැකිය. නමුත් ඔබ අප ඉහතින් පෙන්වා දුන් පරිදි භාවනා ආදී මානසික අභ්‍යාසයන් සිදුකර සිත යම් මට්‌ටමකට දියුණු කරගෙන ආසාවන් පාලනය කරගත්තොත් ඒ රස අධික කෑම ඔබට ලැබුණා කියා ඒවා කන්නට ඔබට කෑදර කමක්‌ ඇතිවන්නේ නැත. 

මෙහිදී අප පිළිබඳව කියනවානම් ලෝකයේ ඇති රසවත්ම කෙක්‌ ගෙඩිය අප ඉදිරියෙන් ගෙනවිත් තිබ්බත් ලෝකයේ ඇති රසවත්ව අයිස්‌ක්‍රීම් බඳුන අප ඉදිරියෙන් ගෙනවිත් තිබ්බත් ඒවායින් ඉවසන්නට බැරිතරම් සුවඳක්‌ හැමුවත් ඒවා කන්නට තබා ඒවා දෙස බලන්නටවත් අපට නම් ආසාවක්‌ ඇතිවන්නේ නැත. ඇත්ත වශයෙන්ම ඒවා අපට දැන් පිළිකුල්ය. සමහරුන් සිතන්නේ අප පෙරේතකමින් කෙල ගිලිමින් ඒවායින් ඉතා ආයාසයෙන් වැළකෙන බවයි. නමුත් අප එය කරන්නේ සිත පාලනය කරගැනීමෙන් මිස අශාව වළක්‌වාගැනීමට දැඩි ආයාසයක්‌ යෙදීමෙන් නොවේ. එසේ සිත පාලනය කරගැනීමට නම් ඔබ අප ඉහතින් විස්‌තර කළ භාවනාකිරීම් ආදී මානසික අභ්‍යාසයන් ප්‍රගුණ කළ යුතුයි. එවිට ඔබට හානිකර ආශාවන් මැඬපවත්වා ගැනීම ඉතාම පහසු දෙයක්‌ වනවා. ඔබට ඉලක්‌කයට යාමත් ලබාගත් ප්‍රතිඵල රැකගැනීමත් ඉතාම පහසු දෙයක්‌ බවට පත් වෙනවා.

අප වැඩසටහනෙන් නිසි ප්‍රතිඵල ලබාගැනීමට නම් මානසික සතුටේ සැහැල්ලුවේ ඒකාග්‍රතාවයේ ඇති වැදගත්කම අපි මේ වන විට ඉතාම හොඳින් තේරුම් ගෙන ඇත්තෙමු. එසේම එම හොඳ තත්ත්වයට පත්වන්නේ කෙසේ දැයි කියා අපි සාකච්ඡා කළෙමු. නමුත් අද අපේ රටේ සෑම දෙනාම පාහේ සතුට විනෝදය සොයන්නේ සතුට ලැබෙන්නේම නැති දෙයකිනි. එහිදී ද අප රටේ කාන්තා පාර්ශවය ඒ සඳහා වැඩි ඇබ්බැහියක්‌ දක්‌වන බවද පෙන්වා දිය යුතුය. 

හරියට උයන්නේවත් නැතිව බාගෙට ඉදිච්චා බෙදාගෙන එසේ නැත්නම් ක්‌ෂණික කෑමවලින් හෝ ''චූන් පාන්'' වලින් පිඟන් පුරවාගෙන කළුවර වැටීගෙන එනවිට යන්නේ කුමක්‌ ඉදිරියටද? අප එය ප්‍රශ්නය නගන විටම සහභාගිත්වය දෙන පිළිතුර වන්නේ ටී වී එක ළඟට යන්නයි. ඒක ළඟින් ඉඳගෙන පැය ගාණක්‌ එක දිගට බලන්නේ මොනවාද? පිළිතුර ටෙලි නාට්‍ය යන්නයි. එසේ ටෙලිනාට්‍ය බැලීමෙන් සතුටක්‌ සැනසිල්ලක්‌ ලැබෙනවද? ටෙලි රසයට ඇබ්බැහි වූ බොහෝ දෙනා ඊට පිළිතුරු දෙන්නට මැලිය. නමුත් ඒ ගැන විවේචනාත්මකව බැලිය හැකි අය පවසන්නේ ඒ නාට්‍ය වල තියෙන ප්‍රශ්න ටික ඔලුවට දාගත්තහම තිබිච්ච සතුටත් නැතිවෙන බවයි. නූතන සමාජය ටෙලි නාට්‍ය රැල්ලට ගසාගෙන යන අවිචාරවත් සමාජයක්‌ බවට පත් වී ඇති නිසා ටෙලි නාට්‍ය බැලූ විට ලැබෙන්නේ සතුටද? දුකද? කියා අප හොඳින් විග්‍රහ කර ගත යුතුය. 

අපට සතුට ලැබීමට නම් අප නැරඹිය යුත්තේ සතුටෙන් සිටිනා කෙනෙක්‌ හෝ කණ්‌ඩායමක්‌. අප වැඩසටහනට සහභාගි වීමට පැමිණි අයගෙන් මෙහිදී අප විමසන්නේ ඔබ ආ වේලේ සිට අප මිනිස්‌සුන්ට බනිමින්, අඩි හප්පමින්, ගස්‌සමින්, තරහෙන් පුපුරමින් පසුවූවා නම් එසේත් නැත්නම් අපට ඇති මොකක්‌ හෝ දුක්‌ අඳෝනාවක්‌ කියා අඬමින් හොටු කඳුළු පෙරාගෙන පසුවූවානම් සහභාගිවන්නට පැමිණි ඔබට වැඩසටහන අතරතුරේදී අවම වශයෙන් සිනහ රැල්ලක්‌වත් පහල වෙනවාද යන්නයි. ''එහෙම කලානම් අපට වැඩසටහන එපාවෙනව. ඒත් අපි අද මේ වැඩසටහනට සහභාගි වුණේ ඉතාම සතුටෙන්.'' සහභාගිත්වයේ ප්‍රතිචාරය එබඳුය.

අප වැඩසටහන තුළදී නිතිපතා නිරීක්‌ෂණය කරන දෙයක්‌ වන්නේ එයට සහභාගීවීමේදී ඔනෑම කෙනෙකුට අවම වශයෙන් එක්‌ වතාවක්‌ වත් ප්‍රසන්න සිනා 

රැල්ලක්‌ පහල වන බවයි. ඇත්ත වශයෙන්ම සිනහව යනු සතුටේ ප්‍රකාශනය යි. මනෝ විද්‍යාඥයින් පවා පවසන්නේ සිනහවීමේදී මුහුනේ මාංශපේශි සිය ගණනක්‌ ඇතුළු මුළු සිරුරම ඉතාම සෞඛ්‍යානුකූල අන්දමින් උද්දීපනය වන බවයි. අප වැඩසටහන ගැන පැවසූ දෙයින් ඔබ තේරුම් ගත යුත්තේ අප කෙනෙත් හෝ කණ්‌ඩායමක්‌ දිහා බලා ඉන්නා විට අප තුළ ඇතිවන්නේද ඔවුන් නිරූපණය කරන මනෝභාවයන්ට අනුරූප මනෝභාවයන් බවයි. 

ටෙලි වැල බැලීමට වාඩිවන්නේ ලොකු කෑම පිඟානක්‌ බෙදාගෙනය. එය ටෙලිය දෙස බලාගෙන කටට දෙකට ගිල දමයි. එහෙත් බඩ පිරෙන්නේ නැත. මන්ද යත් සිත තිබෙන්නේ ටෙලියේ බැවිනි. එවිට නැවත නැවතත් බෙදාගෙන විත් කන්නට සිදුවෙයි. සමහරු මෙහිදී පවසන්නේ ''සර් කියන කථාව සහතික ඇත්ත. හදිස්‌සියෙ පි`ගානට උඩින් හූනෙක්‌ කැරපොත්තෙක්‌ වැටුණත් ඒකත් ගිල දානව. මොකද එච්චරටම හිත තියෙන්නෙ ටී.වි එකේ. පැය ගණනක්‌ කිසිම ශක්‌ති වැයවීමක්‌ නොකර විශාල පි`ගන් ගණනක්‌ ආහාර ගිලදැමීමෙන් සිදු වන්නේ තරබාරු බව තව තවත් වර්ධනය වීම පමණි. 

ඇයි මේ තරම් ළමයින් සහ මිනිස්‌සු ලෙඩකරවන ලෙඩකරවල අකාලයේ මරල දාන ඉතාම භයානක ආහාර පානවලට අපේ රටේ මිනිස්‌සු මෙච්චර ඇබ්බැහි වෙලා තියෙන්නෙ? එවැනි රෝගකාරක ආහාරවලට නිදසුන් කීපයක්‌ නම් කෝලා බීම ඇතුළු බෝතල් පැණි බීම, සොසේජස්‌ ආදී මස්‌ නිෂ්පාදන, කාන්තාවන්ගේ තියෙන ඇට ටිකත් දියකරන අධි කැල්සියම් කිරිපිටි ආදියයි. මේ වගේ වැරදි ආහාර පානවලට මේ රටේ මිනිස්‌සු මෙච්චර ඇබ්බැහි වෙලා තියෙන්නෙ අප වැනි වෛද්‍යවරයෙක්‌ කියලද? එහෙම නැත්නම් රටට ජාතියට යම් වගකීමක්‌ තියෙන වෙනත් කෙනෙක්‌ කියලද? පිළිතුර කිසිසේත්ම නැත යන්නයි. 

එහෙමනම් කොහොමද මේ භයානක ''සර්පයො'' ටික මිනිස්‌සුන්ගෙ හිස්‌ ගෙඩිවලට රිංගාගෙන තිබෙන්නේ. පිළිතුර වන්නේ වෙළෝද දැන්වීම්වලින් යන්නයි. යම්කිසි විකාශන කාලයක්‌ තුළ වෙළෝද දැන්වීම් විතරක්‌ පෙන්වනවා යෑයි පැවසුවොත් කිසිකෙනෙක්‌ එය බලන්නේ නැත. එබැවින් කළ යුත්තේ මෙම වෙළෝද දැන්වීම් ටික පෙන්වා ගන්නට ගැලපෙන ටෙලියක්‌ නිර්මාණය කර හැකි උපරිමයෙන් ඒ අතරට වෙළෝද දැන්වීම් කවා විකාශනය කිරීමයි. 

මොහොතක්‌ සිතන්න. අලුත් කිරිපිටි වර්ගයක්‌ හරි කේක්‌ වර්ගයක්‌ හරි අයිස්‌ක්‍රීම් වර්ගයක්‌ හරි සොසේජස්‌ වර්ගයක්‌ හරි ගැන ආකර්ෂණීය වෙළෝද දැන්වීමක්‌ හදලා නළු නිළියොයි ක්‍රිකට්‌ ගහන හාදයොයි දාල ටෙලි නාට්‍යයක්‌ අතරට වරින් වර පෙන්වනවා. ඔන්න දැන් අර අලුත් සරපයා ඔළුවට රිංගා ගන්නවා. දැන්වීම කීප සැරයක්‌ දකින අපේ රටේ මිනිස්‌සුන්ට දැන් ඉවසීමක්‌ නෑ සුපිරි වෙළෝද සැලකට ගිහිල්ල මේව ගේන කල්. ගිහිල්ල මේවයින් මලු පුරවගෙන ඇවිල්ල ඒව කාල බීල තියෙන ලෙඩ වැඩිකර ගන්නවා, නැති ලෙඩ හදාගන්නවා, ජීවිතය කොටකර ගන්නවා. එහෙම නම් දැන් අපට හොඳටම පැහැදිලියි සතුට විනෝදය පතාගෙන ටෙලිනාට්‍ය බැලුවොත් ලැබෙන්නෙ සතුට නොව දුක, ලෙඩ සහ අකල් මරණය බව.

ආහාර පාලනයත් ව්‍යායාමත් එකට එකවිට ඒකාබද්ධව කිරීමෙන් ඔබට අප වැඩසටහනෙන් කෙටිකලක්‌ තුළ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකිය. එසේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීම සඳහා අප ඉහත විස්‌තර කළ අයුරින් ඔබේ මනසද හැකි තරම් සතුටෙන් සැහැල්ලුවෙන් ඒකාග්‍රතාවයෙන් තබාගන්න. එසේම මම මට නියමිත ඉලක්‌කයට බර අඩුකර ගන්නව අඩුකර ගන්නවාමයි කියල දැඩි අදිෂ්ඨානයක්‌ හිතේ ඇතිකර ගන්න. කවුරු මොනතරම් මන්දෝත්සාහී කලත් මම ආයෙ ආපසු හැරෙන්නෙ නෑ කියලත් අදිෂ්ඨාන කරගන්න. එම අදිෂ්ඨානයන් නැවත නැවත මෙනෙහි කරන්න. ඔබේ සිතේ විර්යය ධෛර්යය හැකි තරම් වඩාගන්න. 

වීර්යය වැඩීමත් ආහාර පාලනයත් ව්‍යායාමත් මනස සතුටෙන් තබාගැනීමත් එක විට කිරීමෙන් ඉතා උසස්‌ ප්‍රතිඵල ලැබේ.

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
http://www.divaina.com/2016/09/04/feature06.html

0 comments: