Pages

Sunday, December 20, 2015

ලක්‌ බුදු දහමේ මහ ගෙදර හෙවත් සාංචිය

බුදුදහමේ ඉගැන්වෙන මෛත්‍රිය, කරුණාව, අවිහිංසාව, සංවරකම එදා ලක්‌දිව පුරා නොතිබුන යුගයක උතුම් බුදු දහම අප ලක්‌දිවට දායාද කිරීමට මූලික වූයේ භාරත දේශයේ අති දුෂ්කර පුංචි නගරයකි. භාරත දේශයේ පුංචි කඳු ගැටයක්‌ මැදිකර ගත් මෙම ප්‍රදේශය අද වන විට වැඩිම බෞද්ධ ජනතාවක්‌ ජීවත්වන පිං බිමකි. කෙටියෙන් කිවහොත් මෙය ලක්‌ බුදු දහමේ මහ ගෙදරයි. ලොව පුරා සැදැහැවත් බෞද්ධයන් ලක්‍ෂ ගණනින් මෙම පුණ්‍ය භූමිය වැඳ පුදා ගැනීමට පැමිණෙන අතර අද එම පිං බිම සුප්‍රසිද්ධව පවතින්නේ සාංචිය නමිනි.

භාරත දේශයේ මධ්‍ය ප්‍රදේශයේ මෙම සාංචි පුදබිම පිහිටා ඇති අතර, එහි අග නගරය බෝපාල් ය.

මීටර් 91 ක්‌ පමණ උසකින් යුක්‌ත වූ කඳු මුදුනේ ඉතා ආරක්‍ෂා සහිතව මෙම බෞද්ධ නටබුන් පිහිටා ඇත. බුද්ධ චරිතය සාංචියට කෙළින්ම සම්බන්ධ නොවන අතර සාංචිය ගැන දැන ගන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ මහා වංශයේ හා දීප වංශයේ ය.

මෙම සාංචි කදු මුදුනේ ඇති වෙහෙර විහාර අශෝක රජ සමයේදී ඉදිකරන්න ඇතැයි විශ්වාස කෙරේ. ඉතා නිස්‌කලංක මනරම් කඳු ගැටයක්‌ මෙන්ම භාවනා කිරීමට සුදුසු ස්‌ථානයක්‌ වූ නිසා මෙම ස්‌ථානයට අශෝක රජුගේ සිත යන්නට ඇතැයි පැවසේ. ධන ධාන්‍යයෙන් පරිපූර්ණ නගරයක්‌ වූ වීදිසා නගරයත් ඒ අසලින් ගලා බසිනා බෙත්වා සහ බෙස්‌ නම් ගංගා දෙකත් මෙම භූමිය තෝරා ගැනීමට හේතු විය. මගධයේ අගනුවර වූ පැලලුප් නුවර සිට අවන්තියේ අගනුවර වූ උඡ්ඡේන් හෙවත් උදේනි නුවර දක්‌වා යන වැදගත් වෙළෙඳ මාර්ගයක්‌ මෙහි තිබී ඇත.

පාඨලී පුත්‍රයේ සිට යුව රාජයකු ලෙස අවන්තියට පැමිණි අශෝකට වීදිසා නුවරදී ලැබුණු වටිනාම වස්‌තුව වූයේ වීදිසා දේවියයි. අශෝක විසින් එම දේවිය විවාහ කර ගත් අතර ඔහුට දාව දේවියට ලැබුණු දරුවන් දෙදෙනා වූයේ මහින්ද සහ සංඝමිත්තායි. කුමරුට අවුරුදු 14 ලබද්දී දරු දෙදෙනා සමඟ අශෝක පාඨලියට ගොස්‌ රජකම ලබා ගනී. යුද්ධයෙහි දක්‍ෂයකු වූ අශෝක රජු ඔහුගේ බලය පැතිරවීම සඳහා අසල්වැසි රාජ්‍යයන් සමඟ යුද වදී. නමුත් පසු කලකදී ඒ සියලු යුද ක්‍රියා අතහැර ධර්මිෂ්ට රජකු වූ අශෝක බුදු දහම වැළඳගෙන තම දරු දෙදෙනාද සසුනට පූජා කරයි. එකල ධර්මයෙහි දුර්මත වූ හෙයින් ධර්මය පිරිසිදු කිරීම සඳහා සංගායනාවක්‌ අවශ්‍ය බව දැන්වූ භික්‍ෂුන් වහන්සේ අශෝක රජුගේ අනුග්‍රහයෙන් දහසක්‌ රහතුන් එකතුව 3 වැනි ධර්ම සංගායනාව පවත්වන ලදී.

අසල්වැසි රටවලට ද ධර්මය ලබා දීමේ අදහසින් රටවල් 9 කට ධර්මය ප්‍රචාරය කළ අතර මොග්ගලිපුත්ත තිස්‌ස තෙරුන්ගේ හා අශෝක රජුගේ අනුදැනුම ඇතිව ශ්‍රී ලංකාව සඳහා ධර්ම ප්‍රචාරය කිරීම මිහිඳු හිමියන්ට භාරවිය. ලක්‌දිවට වඩින්නට පෙර කුඩා කාලය ගත කළ වේදීස නුවරට වැඩම කොට මෑණියන් විසින් කරවන ලද චේතියගිරි වෙහෙරේ උන්වහන්සේ වැඩ සිටියහ.

එකල ලක්‌දිව මිනිසුන් භාවිතා කළ භාෂාව ද උන්වහන්සේ මෙහිදී හදාරා ඇති අතර ලක්‌දිව වඩින්නට සුදුසු කාලය එනතෙක්‌ චේතියගිරියෙහි වැඩ සිට ඇත. පසුව සුදුසු කාලය පැමිණි පසු මිහිඳු හිමියන් හා දූත පිරිස පොසොන් පොහොය දිනයක මිහින්තලා කඳු මුදුනට වැඩම කර බුදු දහම අපට දායාද කළහ. එපමණක්‌ නොව ඊට මාස කිහිපයකට පසු සංඝමිත්තා තෙරණිය ද ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළහ. අපට සාංචිය වැදගත් වන්නේ එබැවිනි.

40 වසරක රාජ්‍ය පාලන කාලයකින් පසු ක්‍රි. පූ. 232 දී අශෝක රජු අභාවයට පත්වන අතර අනතුරුව එම වෙහෙර විහාරද විනාශයට පත්විය. අවසන් හුස්‌ම හෙළන අවස්‌ථාවේ අශෝක රජු සතු එක ම වස්‌තුව වූයේ බෙහෙතට ගෙනා නෙල්ලි ගෙඩියක්‌ පමණි. අවසන් මොහොතේදී ඔහු එය ගෙන මහා සංඝයා වහන්සේලාට පූජා කර ඇති අතර එය සිහිවීම පිණිස එදා සාංචි විහාරගෙයි මුදුනේ කළුගලින් නෙල්ලි ගෙඩියක්‌ සාදවා ඇත. එය වර්තමානයේ ගරා වැටීම නිසා විහාරය පසෙක තැන්පත් කර ඇත.

සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට අශෝක රජු විසින් ගොඩනඟා ඇති සාංචි මහා ස්‌ථූපය අති විශිෂ්ට නිර්මාණයකි. එය ස්‌ථූප කලාවේ ආරම්භක යුගය ලෙස සැලකිය හැකි අතර බුබ්බුලාකාර හැඩයක්‌ ගනී. විශ්කම්භය අඩි 120 කි. උස අඩි 54 කි. ස්‌ථූපය වටා විශාල ගරාදි වැටක්‌ හා සතර දිශාවට මුහුණලා විශාල තොරණ සතරක්‌ ද ඉදිකොට ඇත. ස්‌ථූපයේ ඉහළට ගිය විට ධාතු ගර්භයට ආසන්නව ප්‍රදක්‍ෂිණා කළ හැකි ප්‍රදක්‍ෂිණා පථයකි.

අද අප දකින ස්‌ථූපවල මෙන් සාංචි ස්‌ථූපයේ පේසා වළලු නැත. එහි මුදුනේ ඇත්තේ සතරැස්‌ කොටුවක්‌ හා මධ්‍යයේ කණුවක්‌ මත ගොඩැනැඟුණු වක්‍ර තුනකි. මෙම වක්‍ර තුනෙන් ත්‍රිවිධ රත්නය සංකේතවත් කරයි.

අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති චේතියගිරි විහාරයට සාංචි පුරාණ ගල්පඩි පාරෙන් හෝ සිමෙන්ති යොදා සකස්‌ කර ඇති මාවතෙන් පිවිසිය හැකිය. චේතියගිරි විහාරය බෝපාල් මහාරාජාගේ අනුග්‍රහය නිසා ම ගොඩනැඟීමට හැකි විය. ශ්‍රී ලංකා මහාබෝධි සමාගම රුපියල් ලක්‍ෂ දෙකක පමණ මුදලක්‌ වියදම් කොට නිමවා තිබෙන මෙම විහාරයට බෝපාල් මහාරාජා ඉඩම පරිත්‍යාග කර ඇත. තවද ඔහුගේ රජය මගින් රුපියල් 25,000 ක්‌ ද පරිත්‍යාග කර ඇත. විහාරයට මුල්ගල් තැබීම ද ඔහු අතින් සිදුවිය.

අනතුරුව ජනරාල් ඇලෙක්‌සැන්ඩර් කනින්හම් තුමා විසින් එංගලන්තයට රැගෙන ගිය සැරියුත් මුගලන් ධාතුන් වහන්සේ නැවත සාංචියට වැඩම කොට 1952 දී ඉන්දියාවේ පළමු අගමැති වු ජවහර්ලාල් නේරුතුමන් විසින් එහි ධාතුන් වහන්සේ තැන්පත් කිරීම හා විහාරය විවෘත කිරීම සිදු කොට ඇත. සැරියුත් මුගලන් ධාතුන් වහන්සේලා කොටස්‌ තුනකට බෙදා ඇති අතර ඉන් කොටස්‌ දෙකක්‌ ශ්‍රී ලංකාවට හා බුරුම රටට බෙදා දී ඇත. අනෙක්‌ කොටස චේතියගිරි විහාරයෙහි තැන්පත් කොට ඇත.

සෑම වර්ෂයකම නොවැම්බර් මස අවසාන ඉරිදා පෙරවරු 7.00 සිට පස්‌වරු 7.00 දක්‌වා ෙච්තියගිරි විහාරයේ තැන්පත් කර ඇති ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කෙරේ.

මෙම පිංකම වාර්තා කිරීමට ශ්‍රී ලංකාවෙන් ගිය අප මාධ්‍ය කණ්‌ඩායමට මෙලොව අතලොස්‌සකට පමණක්‌ හිමිවන එම උතුම් පිංකමට සහභාගි වී අත්දැකීම් රැසක්‌ ලබා ගැනීමට අවස්‌ථාව උදාවූහ.

පසුගිය නොවැම්බර් 29 වැනිදා ජනශූන්‍ය භූමියක්‌ව පැවැති සාංචි පුද බිම එකම හිස්‌ ගොඩක්‌ බවට පත්විය. විදෙස්‌ රටවල දහස්‌ ගණනක බැතිමත්හු මෙම සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණියහ. එම දින දෙක තුළ විශාල වේදිකාවක්‌ මත සංස්‌කෘතික සංදර්ශන, නාට්‍ය, හිටිවන කවි, බැති ගී ආදියෙන් ජනතාව පිනවිය. එපමණක්‌ නොව හැඩිගල්ලේ පඤ්ඤාතිස්‌ස නාහිමි මාවත දෙපස දන්සල්වලින් පිරී ගියේය. ධාතු ප්‍රදර්ශනයට අමතරව මෙය ඔවුන්ට සැණිකෙළියක්‌ විය. දහස්‌ ගණනක්‌ වෙළෙන්දන්ට පාරාදීසයක්‌ විය. පොළොව යට විශේෂ ආරක්‍ෂිත ගර්භයක තැන්පත් කළ ධාතුන් වහන්සේ පිටතට වැඩම කරවීමට එතුළට යැමට අවස්‌ථාව උදා වන්නේ අතලොස්‌සකට පමණි. මාධ්‍යවේදීන් හැටියට අපට ද ඊට දායක වීමට පින පෑදුනේය. විශේෂයෙන් ම සඳහන් කළ යුතු කරුණක්‌ ඇත. එනම් එරට මාවතක්‌ පවා නම් කළ පූජ්‍ය හැඩිගල්ලේ පඤ්ඤාතිස්‌ස නාහිමියන්ගේ උදාර සේවයෙන් පසුව මෙම කටයුතු පසුපස දැවැන්ත හස්‌තයක්‌ සේ ක්‍රියා කරන මහාබෝධි සමාගමේ සභාපති පූජ්‍ය බානගල උපතිස්‌ස නාහිමියන් ප්‍රමුඛ එහි වැඩවසන හිමිවරුන්ගේ කාර්යභාරය මෙහිදී පැසසිය යුතුය. 

ඉන්දියාවෙන් අපට ගත හැකි ආදර්ශයන් බොහෝය. අපි සාංචිය පමණක්‌ නොව වීදිසා ද, බෝපාල් ප්‍රදේශවල ද අස්‌සක්‌ මුල්ලක්‌ නෑර සැරිසැරුවෙමු. කිසිදු තැනක මුඩුබිමක්‌ නොමැත. අක්‌කර දහස්‌ ගණනක්‌ වගා කර ඇත.

ඒවාට රජයෙන් සහනාධාර අවශ්‍ය තරම් සපයයි. විශේෂයෙන් ම වී අස්‌වැන්න කලට වේලාවට මිලදී ගනී. එම ගොවීහු වී විකුණා ගන්න බැරිව මහ පාරේ උද්ඝෝෂණය නොකරති. සිය ගබඩා පිරී ඇත්නම් රජය කරන්නේ පෞද්ගලික අංශයේ ගබඩාවලට ඒවා දමා රජයේ ගබඩා හිස්‌ වූ වහාම නැවත ඒවා ලබා ගැනීමයි.

අප බුලත් විටක්‌ මිලදී ගන්න ගිය විට ඊට එහි ටින්වල දමා තිබූ කළමනා කිහිපයක්‌ බුලත් කොලයට දමා ටින් දෙකක්‌ ගෙන එහි අලවා තිබූ අවවාදාත්මක ලේබලයක්‌ එම තරුණයා අපට පෙන්වීය. එහි තිබුණේ එහි අඩංගු දැ පිළිකා ඇති කරවන බවයි. අප දන්නා තරමින් එහි තිබුණේ හුණු හා දුම්කොළ ය. පාරිභෝගිකයාගේ ඇස්‌ වසා වස විස කවන සමාජයක එම තරුණයා ලොවටම ආදර්ශයකි. තවත් කරුණක්‌ නම් ඉන්දීය ප්‍රසිද්ධ වෙළෙඳ සමාගමකින් නිෂ්පාදනය කරන කේක්‌ වර්ගයක්‌ අප මිලදී ගත් අතර එම පැකැට්‌ටුවේ සඳහන්ව තිබුණේ ඇතැමුන්ට ඒවා ආහාරයට ගැනීමේදී අසාත්මිකතා (ඇලජික්‌) ඇති වීමට ඉඩ ඇති බවයි.


අපට මෙම සංචාරයේදී සුහද මිත්‍රශීලී අවංක මිනිසුන් මුණ ගැසුනේය. එපමණක්‌ නොව භාණ්‌ඩයක්‌ මිලදී ගන්නට ගිය විට එය ඇඟේම ගසන්නට ඔවුන් කිසි විටෙකත් උත්සාහ නොගැනීම ගැන අපි පුදුම වුනෙමු. ඇතැම් වෙළෙඳසැල්වලින් බඩු අත ගා බලමින් ඒවා මිලදී නොගෙන ඔවුන්ගේ කාලය කා දැමීම ගැන ඔවුන් ගෙරෙව්වේ නැත. ඇඟට කඩාපැන්නේ නැත. සිහින් සිනාවක්‌ පෑවා පමණි. කූට ව්‍යාපාරිකයන් එකෙක්‌ දෙන්නෙක්‌ සිටින්නට ඇත. නමුත් අප ශ්‍රී ලාංකික බව දැනගත් බොහෝ දෙනා අප හා සුහදශීලී වූහ. මේ කෙටි සටහන එම නිහතමානී මිනිසුන් වෙනුවෙනි.

තවද සාංචි ප්‍රදේශයේ පාරවල් දහස්‌ ගණනක්‌ ජනතාවගෙන් පිරී යද්දී අපිද තෙරපෙමින් කි. මී. 7 - 8 පයින් ඇවිද ගියෙමු. තෙරපෙන මිනිසුන් අතර තරුණ තරුණියන් ද සිටියහ. කිසිදු තරුණයකු කිසිදු විටෙක තරුණියකට නම් උසුලු විසුලු කළේ නැත. අපේ රටේ සංගීත සංදර්ශනයකදී මෙන් අඟපසඟ අත ගාන්න ගොස්‌ මිනී මරා ගත්තේ නැත. ඔවුන් මාර්ගයේ නීති රීති කඩමින් වාහන ධාවනය කළ ද සිදුවන සුළු රිය අනතුරුවලදී නොහික්‌මුනු වදන් කියමින් ගහමරා ගන්නට ගියේ නැත. මේවා අපට වටිනා ආදර්ශයන්ය.

අවසන් වශයෙන් මෙම සංචාරයේදී අපට සහාය දැක්‌වූ පූජ්‍ය බානගල උපතිස්‌ස නාහිමියන්ට ද, බානගල විමලතිස්‌ස හිමියන්ටද, නුගගොල්ලේ චන්දරතන හිමියන්ටද, උඩුගම තපස්‌සි හිමියන්ට ද, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් අතාවුදහෙට්‌ටි මහතාට ද මාධ්‍යවේදීන් සඳහා අනුග්‍රහය දැක්‌වූ පීපල්ස්‌ ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්‌ සමාගමටත් විශේෂ ස්‌තුතිය පිරිනමමු.

සුරංග පෙරේරා ඉන්දියාවේ සංචාරයකින් පසු
http://www.divaina.com/2015/12/20/feature09.html

0 comments: