Pages

Sunday, June 17, 2018

නන්දිකඩාල් රවිප්‍රිය හා කිළිනොච්චියේ රත්නප්‍රිය

කීර්ති තෙන්නකෝන් සමාජ ක්‍රියාකරු විසින් රණවිරු රත්නප්‍රිය බන්දු උතුරෙන් මාරුවීමක්‌ ලැබ යැම ගැන වඩාත්ම දුක්‌වූයේ ඒ පළාතේ දෙමළ වැසියන් බව සටහන් කර තිබුණි. 

 යුද්ධය අවසන් වීමට මාස හයකට පමණ පෙර ඉතාලියේ තානාපතිවරයා වශයෙන් මා සිටිනා කාලයේ ශ්‍රී ලංකා ත්‍රස්‌ත විමර්ශන ඒකකය හා ඉතාලි තානාපති කාර්යාලය ද එංගලන්තයේ LTTE විරෝධී දෙමළ, සිංහල පුරවැසියන්ගෙන් ද ලංකාවේ රත්නප්‍රිය බන්දු, රවිප්‍රිය සහ රණප්‍රිය අබේසිංහ යන සියලු දෙනාම සම්බන්ධීකරණය කරමින් ශ්‍රී ලංකාව මූලික කර ගනිමින් විශේෂ කාර්යාලයක්‌ පිහිටුවීමට මට හැකිවිණ. ඒ වන විටත් ඉතාලියේ විසූ LTTE ත්‍රස්‌තයන්ගෙන් ඉතාලියේ රාජ්‍ය ආරක්‌ෂාවට තර්ජනයක්‌ විය හැකි බවද ඉතාලිය LTTE සංවිධානයේ තෝතැන්නක්‌ නොවිය යුතු බව ද අප විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාරයක්‌ වශයෙන් නිලධාරීන් පස්‌දෙනකුගෙන් පමණ සමන්විත කුඩා කාර්යාංශයක්‌ ඉතාලියේ ත්‍රස්‌ත විරෝධී අංශයේ සිට ක්‍රියා කරවනු ලැබිණි. මේ අතර එංගලන්තයේ LTTE ත්‍රස්‌ත විරෝධී සංවිධානයක ප්‍රධානියකු වන සුසන්ත ගුණසේකර මා සමඟ ඊ මේල් පණිවිඩ මගින් සම්බන්ධ විය. අපේ එකම අරමුණු වූයේ LTTE යෙන් මේ රට මුදවා ගැනීමට කැපවී සිටින රජයට සෑම අතින්ම ආධාර උපකාර කිරීමය. සුසන්ත ගුණසේකර මගින් රණප්‍රිය අබේසිංහ නැමති ත්‍රිවිධ හමුදාවේ මේජර්වරයකු වූ අපට සම්බන්ධ කරනු ලැබීය. රණප්‍රිය අබේසිංහ මහතා වැනි අති දක්‌ෂ නිලධාරීන් හඳුනා ගැනීමට ආරක්‌ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්‌ෂට හැකි විණ. ආරක්‌ෂක ලේකම්වරයාගෙන් අතිශයින් රහසිගත බුද්ධි තොරතුරු අංශයක්‌ පිහිටුවන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාරයක්‌ ලෙස ඔහු වහාම ක්‍රියාත්මක වී මේජර් රණප්‍රිය අබේසිංහ මහතාව ද තවත් කිහිප දෙනෙක්‌ ද, ඔවුන් එවකට දැරූ නිලයන් සහ තනතුරු ගැසට්‌ පත්‍ර මාර්ගයෙන් ඉවත් කොට අවලංගු කොට විශේෂ පුහුණුවක්‌ සඳහා දකුණු අප්‍රිකාවට යවනු ලැබීය. මේජර් රණප්‍රිය අබේසිංහගේ කාර්ය භාරය වූයේ ඉතාම රහසිගතව අපි ඉතාලියේ LTTE විරෝධී ත්‍රස්‌ත විමර්ශන අංශයෙන් ලබාගන්නා අතිශය රහසිගත තොරතුරු ලංකා යුද හමුදාව අතට පත්කිරීමයි. ඔහුගේ ප්‍රයත්නය නිසා දැනට ද්‍රවිඩ ජනතාවගේ මහත් වූ ගෞරවයට භාජනය වී සිටින කර්නල් රත්නප්‍රිය බන්දු හා කර්නල් රවිප්‍රිය යන යුද හමුදාවේ නිලධාරීන් සම්බන්ධීකරණය කරගැනීමට හැකි විය. 

 ඉතාලියේ මෙම ත්‍රස්‌ත විමර්ශන ඒකකය විසින් මට පෞද්ගලිකව දෙන ලද තොරතුරු මටම අදහා ගැනීමට නොහැකි විය. ලංකාවේ ප්‍රබල රජයේ දේශපාලනඥයන් කිහිප දෙදෙනකුම මෙම LTTE මුදල් ඔවුන්ගේ ගිණුම්වල තැන්පත් කර විශාල කොමිස්‌ මුදලක්‌ ගෙන නැවත LTTE යට භාර දෙන හැටි මට ඔවුන් දැනුම් දුන්නේය. 

 ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා මට දන්වා සිටියේ ප්‍රභාකරන් ඉතා කලාතුරකින් දුරකථනයක්‌ පාවිච්චි කළත් එය ද චන්ද්‍රිකා දුරකථනයක්‌ බැවින් ඔහුගේ කථාවලට සවන්දිය නොහැකි වුවද එම පණිවිඩ ක්‍රමයෙන් පහතට ගලාගියේ වෙනත් ප්‍රබල ආධාරකරුවන් මගින් බවද ඔවුන් හෙළි කරන ලද්දේය. 

 මේ අතර යුද්ධය අවසන් විය. යුද්ධය අවසන් වීමට නම් ප්‍රභාකරන් මිය යා යුතුමය. ලංකාවෙන් ලැබුණ ඉතාම වැදගත් තොරතුර වූයේ යුද්ධය අවසානයේදී ප්‍රභාකරන් ඇතුළු පිරිසක්‌ ගිලන් රථයකින් පලා යන අතරතුර එම ගිලන් රථය යුද හමුදාව මගින්, තර්මොබාධිරික, බෝම්බ ප්‍රහාරයක්‌ මගින් එය විනාශ කළ බවය. එම ගිලන් රථය තුළ ප්‍රභාකරන්, පොට්‌ටු අම්මාන් ඇතුළු තව කිහිප දෙනකු සිටි බවද යුද හමුදාව මගින් ප්‍රකාශ කළේය. අපි පසු දින ජය සැමරීමට සූදානම් වෙද්දී මට ඉතාලියේ ත්‍රස්‌ත විමර්ශන අංශයෙන් හදිසි දුරකථන පණිවිඩයක්‌ ලැබිණි. ඔහු කියා සිටි දෙයින් මම තුෂ්නිම්භූත වීමි. ප්‍රභාකරන් තවමත් ජීවත් වන බවත් ඔහු දැනටමත් ඉන්දියානු හා ශ්‍රී ලංකා නියෝජිතයන් සමඟ කතාකරමින් ඔහුට යටත් වීමට අවස්‌ථාව සලසා දෙන ලෙසත් ඒ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක්‌ ලබා දෙන බවටත් ඔහු පෞද්ගලිකවම පොරොන්දු වී ඇති බවත් එම නිසා ප්‍රභාකරන් මියගිය පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක්‌ බවත්ය. 

 මේ අවස්‌ථාවේදී ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ සිටියේ ජොර්දානයේ සම්මන්ත්‍රණයකට සහභාගිවෙමිනි. මෙම අමිහිරි ප්‍රවෘත්තිය එතුමාට කෙසේ දන්වන්නේ දැයි සිතමින් ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් නොහැකි වූ නිසා ඇති එකම විකල්පය වූ එවකට විදේශ ඇමැතිව සිටි, බොහෝ දෙනා නොදන්නාමුත් යුද්ධය ජය ගැනීමට විශාල සේවයක්‌ කළ විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම මහතාව සම්බන්ධ කර ගැනීම බවය. මම එතුමාට කථාකර කියා සිටියේ ජනාධිපතිතුමාට ලංකාවට නොඑන ලෙසට දන්වන ලෙසත් මන්ද ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවත් බොහෝ විට බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රාජ්‍යයන්ට අවශ්‍යව තිබුණේ ප්‍රභාකරන් ජීවත්කරවීම බැවින් මුහුදු මගින් පලා යැමට සූදානම්ව සිටින බවයි. ඒ අවස්‌ථාවේදීම එම දුරකථන පණිවිඩය ඇමැතිවරයා විසින් ජනාධිපතිවරයාට කියනු මට ඇසුනි. ඒත් ඔහු ජයග්‍රහණය සැමරීමට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රභාකරන්ගෙන් සහ ත්‍රස්‌තවාදයෙන් තොරව ලංකාව මුදාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොළෝ තලය වැඳ නමස්‌කාර කොට ගිය ආකාරය සිය දහස්‌වරක්‌ අපි මාධ්‍ය මගින් දැක ඇත. 

ප්‍රභාකරන් තවමත් ජීවත් වන බවට මා වෙත ලැබුණ තොරතුර කිසිවකු පිළිනොගන්නා හෙයින් මම වහාම ලංකාවේ සිටින අපේ රහස්‌ සංවිධානයේ නියෝජිතයා වන රණප්‍රිය අබේසිංහට කතාකොට කියා සිටියේ ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔහුගෙන් රට බේරා ගැනීම ඒ අයගේ යුතුකම බවත්ය. ඒ අවශ්‍යතාවේ මට කළ හැකි වෙන කිසිවක්‌ නොවිනි. මා දන්නා පරිදි මහින්ද රාජපක්‌ෂ යුද හමුදාවේ තොරතුරු සම්පූර්ණයෙනම විශ්වාස කළ අතර එතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්‌ කරන විට ද ප්‍රභාකරන් රටින් පැන යැමට සියල්ල සූදානම් කර තිබුණි. මා දැනගත් පරිදි මේ සැකය රණප්‍රිය අබේසිංහ එවකට එම ප්‍රදේශයේ මෙහෙයුම් භාරව සිටි කර්නල් රවිප්‍රියට දන්වා ඇත. මින් පසු සිදුවූ දේ ගැන මම පසුව සටහනක්‌ තැබීමට බලාපොරොත්තු වෙමි. 

 ඊට පසු ප්‍රභාකරන්ගේ මළ සිරුර ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කථාවෙන් පසු විද්යුත් මාධ්‍යයෙන් දැක ගැනීමට හැකි විය. 

 මගේ මේ කථාව ලිවීමේ අරමුණ මතු සඳහන් කරුණු ඔබ හමුවේ තැබීම නොව අපේ රණවිරුවන් කරන ලද මහා මානුෂික මෙහෙයුමේ මා දකිනා පැත්ත පෙන්වීමටය. යුද්ධයේ ජයග්‍රහණය සමරමින් සොල්දාදුවන් ජයඝෝෂා කරන අතර මට හදිසි දුරකථන පණිවිඩයක්‌ ලැබිණි.

 ඒ කර්නල් රත්නප්‍රිය බන්දු මහතාගෙනි. අහිංසක සිවිල් ජනතාව දස දහස්‌ ගණනින් කළපුවෙන් එගොඩ වී අපේ පැත්තට එනවා දරුවන් අධික විජලනයෙන් මියයනවා. ඒ පළාතටම ඇත්තේ එක වතුර ටැංකියයි. ජනතාව වතුර සෙවීමට වතුර ටැංකිය කඩා බි`ද දමා තිබෙනවා එහි වතුර බින්දුවක්‌වත් නැහැ. මේ අහිංසක මිනිසුන් මැරෙනවා මට බලා ඉන්න බැහැ. යුද්ධයේදී මා දුටු බිහිසුණුම දර්ශනය මෙයයි. අපේ පිහිට පතාගෙන එන අහිංසක ජනතාවට වතුර සැපයීමට අපට හැකියාවක්‌ නැහැ. අනේ තානාපතිතුමනි මේ ප්‍රශ්නය විසඳන්න, 

 ඉන්පසු මා වහාම එවකට ලංකාවේ සිටි ප්‍රබල ඇමතිවරයකුට දුරකථනයෙන් කතාකොට මා මේ විස්‌තරය කීවෙමි. මොවුන් මෙතෙක්‌ කල් කොහොමද ජීවත් වුණේ, යෑයි අසා එතුමා දුරකථනය විසන්ධි කළේය. ඒත් මම නැවත වරක්‌ ඔහුට කථා කොට අපේ මානුෂික මෙහෙයුමේ අවසානය මෙසේ විය යුතු දැයි ප්‍රබල දේශපාලනඥයකු වශයෙන් සිතිය යුතු බව මා කියා සිටියෙමි. ඉන් පසු විශාල යුද හමුදාව සතු ටැංකි මගින් එම ස්‌ථානයට වතුර සපයනු ලැබීය. මෙම දරුවන් දෙමාපියන්ගේ අතේ මියයන හැටි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා කඳුළු පෙරමින් ප්‍රකාශ කළ අන්දම මට හිතා ගත නොහැකි විය. සෑම දෙමළ වැසියෙක්‌ම, දරුවෙක්‌ම, බේරා ගැනීමට ඔහු කළ සේවය කොතරම් දැයි මට සිතාගත හැකි වූයේ ලංකාවට පැමිණ ඔහු හමුවීමට මා කඳවුරට ගිය අවස්‌ථාවේදීය. සිය දහස්‌ ගණන් මිනිසුන් ඒ අවස්‌ථාවේදී කඳවුරට පැමිණියේ මා ඔවුන්ට වතුර සැපයීම සම්බන්ධයෙන් මූලික වී ක්‍රියාකිරීම ගැන පින් දීමටය. අද කිළිනොච්චියේ ද, වව්නියාවේ ද ඕනෑම උතුරේ නගරයක රත්නප්‍රිය බන්දු ගැන දුක්‌වන්නේ, හඬන්නේ අහිංසක දෙමළ දෙමාපියන්ය. මොහු ඔවුන්ගේ ආරක්‌ෂකයකු වී සිටියේය. සංහිඳියාවක්‌ ඇති නම් එය පටන්ගත යුත්තේ යුද හමුදාව මගිනි. 

 මේ සිද්ධිය හොඳ හැටි දන්නා යාපනයේ අණදෙන නිලධාරී රවිප්‍රිය කර්නල් රත්නප්‍රිය සහ රණප්‍රිය අබේසිංහ තවමත් ජීවතුන් අතර සිටියි. අපගේ විජයග්‍රහණය කොටි ත්‍රස්‌තයන් පරාජය කිරීම පමණක්‌ නොවේ. මෙම අහිංසක ජනතාව ආරක්‌ෂා කිරීමට රත්නප්‍රිය බන්දු වැනි නිලධාරීන් කළ කැපවීමයි. අද බටහිර ප්‍රජාව සිංහල හමුදාව විසින් දෙමළ ජනතාව සමූල ඝාතනය කළ බවටත් එම ඝාතකයන් වරදකරුවන් ලෙසත් සරත් ෙµdන්සේකා, ගෝඨාභය රාජපක්‌ෂ සහ මහින්ද රාජපක්‌ෂ මෙහි වරදකරුවන් කිරීමටත් දරා ඇති ප්‍රයත්නය නවතා නොමැත. 

 යුදෙව්වන් යුරෝපයෙන් ඉවත් කිරීම තමා විසින් ආර්ය වංශිකයන්ට කරන මහත්වූ මහත්ඵල මහානිසංස ලබාදෙන ක්‍රියාවක්‌ යෑයි නිර්මාංශික හිට්‌ලර් බිහි වූයේද මුළු යුරෝපීය සංගීතයේ අයිතිකරුවන් වන බිතෝවන් සහ මෝසාඩ් වැනි සංගීතඥයන් බිහිකළ ලෝකයේම ශිෂ්ට සම්පන්න ජාතියක්‌ ලෙස සලකන ජර්මන් ජාතිකයන් යුදෙව්වන් මිලියන ගණනක්‌ ගෑස්‌ උදුන්වල දමා ජනසංහාරයක යෙදුනේ ඔවුන්, යුදෙව්වකු, ජර්මන් ජාතිකයකු උදේ වැසිකිළියකට ගොස්‌ හෙලන මළපහ තරම්වත් නොවටින්නේය, යන සංකල්පය මතය. 

 එලෙසම අප්‍රිකාවේ රුවන්ඩා ජනසංහාරයේදී හුටු ගෝත්‍රිකයන් තුච්ච ජාතිකයන් මරා දැමුවේ ඔවුන් කැරපොත්තන්ට සමාන කරමිනි. ළමුන් සහ කාන්තාවන් මරා දැම්මේ හිසට යකඩ යෂ්ටියකින් පහර දීමෙන් පමණක්‌ බව ඔවුන්ට උගන්වා තිබිණ. මන්ද වෙඩි උණ්‌ඩයක්‌ පාවිච්චි කරන්නට තරම් වත් මොවුන් නොවටිනා බැවිණි. එලෙසම යුගෝස්‌ලෝවියාව කෑලිවලට කැඩුන පසු සර්බරින්කා ප්‍රදේශයේ මුස්‌ලිම් ජාතිකයන් අටදහසක්‌ පමණ මරා සමූහ මිනී වළවල්වලට දැමූ අතර ඒ සියලුම දෙනා අහිංසක මුස්‌ලිම් ජාතික සිවිල් පුරවැසියන් වූහ. ඒත් අපේ රටේ සිදුවූයේ ද්‍රවිඩ කොටි ත්‍රස්‌තයන් විසින් තමන්ගේම වර්ගයා වන අහිංසක දෙමළ ජනතාව ඔවුන්ගේ ගැලවුම්කාරයා ඔවුන්වම මැරීමට අණ දෙන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යටතට පත් නොකොට එය වැලැක්‌වීමයි. ඒත් ඔබ නොදන්නවා වුවද මෙසේ නන්දිකඩාල් කලපුවෙන් මුදා ගන්නා ලද එක්‌ ද්‍රවිඩ කාන්තාවක්‌ හමුදා කඳවුර තුළදීම තමා ඇඳ සිටි බෝම්බ කට්‌ටලය පුපුරවා ගත්තේ තමා බේරාගත් කාන්තා සෙබළියන්වද ඒ ස්‌ථානයේම ජීවිතක්‌ෂයට පත් කරවමිනි. අපේ හමුදාව අතින් යම්කිසි අපරාධයක්‌ සිදුවූ බව අපි ප්‍රතික්‌ෂේප නොකරන්නෙමු. එහෙත් මෙවැනි මෙහෙයුමක්‌ ලෝක ඉතිහාසයේ කොතැනක සිදුවී ඇත්දැයි අපට, ජන ඝාතකයන් යෑයි කියන සහ ජන ඝාතන යුද අපරාධය කළා යෑයි චෝදනා කරන අයගෙන් විමසමු. රත්නප්‍රිය බන්දු සහ යාපනයේ ඉලෙච්ලියන් මහාධිකරණයේ දී, බෞද්ධ විහාරයක්‌ අත්තනෝමතික ලෙස බුල්ඩෝසර් කිරීමට එරෙහිව විනිශ්චය දුන් දෙමළ විනිසුරු තුමිය වැනි අය ජනසංහිඳියාවේ හොඳම උදාහරණය බව දැනගත යුතුය. 

 ප්‍රභාකරන් අල්ලාගත් එහි නියම විරුවා දැනට උතුරේ අණසක පතුරන රවිප්‍රිය බව මා නැවත වරක්‌ මතක්‌ කරන අතර නන්දිකඩාල් කළපුවෙන් ගැලූ ඉහවහා ගිය අපේ හමුදාවේ උතුම් මිනිස්‌ ගුණාංග පිළිබිඹු කරන අනෙක්‌ රණවිරුවා රත්නප්‍රිය බන්දු යෑයි මම සිතමි. 

 ප්‍රභාකරන් පෙර දින මියගියේ යෑයි මුළු ලොවටම හඬගා කියද්දී නැවත සත්‍ය ප්‍රභාකරන් සොයාගෙන ඔහුව ඝාතනය කළේ කෙසේ දැයි දන්නේ දැනට යාපනයේ ආරක්‌ෂාව භාර රවිප්‍රිය හා රත්නප්‍රිය බන්දු යන තවත් කිහිප දෙනකු බව මම නැවත වරක්‌ ප්‍රකාශ කර සිටිමි. 

 සත්‍යය වශයෙන් දෙමළ ජනතාවගේ සංහිඳියාව ගැන රජය සිතුවේ නම් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා යටතේ සැබෑ සංහිඳියා ඒකකයක්‌ පිහිටුවා අනර්ග වැඩපිළිවෙළක්‌ සකස්‌කර දියත්කර රට වනසන N.G.O කරුවන්ට බාර නොදීම රජයේ යුතුකම වන්නේ යෑයි අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට මතක්‌කර දෙමි. 

 තවද මේ ලිපිය ලිවීමෙන් කර්නල් රත්නප්‍රිය බන්දු රණවිරුවාට කිසිදු ඇබැද්දියක්‌ නොවේවා යෑයි මම ඉතසිතින් පතමි!

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසරිය 
http://divaina.com/sunday/index.php/visheshanga1/4390-2018-06-15-13-38-58

0 comments: