Pages

Saturday, April 23, 2016

සිංහල සිනමාවේ 'හොඳම චරිතය' ඩී.බී. නිහාල්සිංහ

ඩී. බී. ධනපාලයන් පුවත්පත් කලාවේ පතාක යෝධයෙක්‌ වන්නා සේම ඔහුගේ පුත් ඩී. බී. නිහාල්සිංහයන් අපේ සිනමාවේ දැවැන්ත චරිතයක්‌ බවට පත්ව සිටි බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔහු සිනමාවේ පමණක්‌ නොවේ මෙරට රූපවාහිනී ක්‍ෂේත්‍රයේද යුග පුරුෂයෙකි. අපේ රට පමණක්‌ද නැත. මැලේසියානුවන්ටද ඔහු යුග පුරුෂයෙකි. ඒ මැලේසියානු සිනමාව බිහිකිරීමේ පුරෝගාමියා නිහාල්සිංහයන් වන බැවිනි. ඔහු වසර දහයක කාලයක්‌ තුළදී මැලේසියාවට සිනමා කර්මාන්තයක්‌ හඳුන්වා දුන්නේය.

මේ මහා කීර්තිධර සිනමාවේදියා දැන් අප අතර නැත. ඔහු අද (24දා) පෙරවරුවේ කොළඹ කනත්තේදී සිය ජීවිත සිනමාවේ තිරය වසා දමා සදහටම නික්‌මයයි. අපේ සිනමාවේ නිහාල්සිංහ යුගය, සිනමා වංශ කතාවේ නිහාල්සිංහ පරිච්ඡේදය එතෙකින් නිමාවනු ඇත.

ඩියොන්ගු බඩතුරුගේ නිහාල්සිංහ නොඑසේ නම් මහාචාර්ය ඩී. බී. නිහාල්සිංහ උපන්නේ 1939 මැයි 27 දාය. ඔහුගේ පියා මෙරට ශේ්‍රෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ ඩී. බී. ධනපාලයන්ය. මව ප්‍රවීණ චිත්‍ර ශිල්පිණියක වූ රතී ධනපාලය. ඇය රවින්ද්‍රනාත් තාගෝර් ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ අවසාන ශිෂ්‍යාවන් කිහිප දෙනා අතර සිටියාය.

නිහාල්සිංහයන් සිනමාවට ආලය කිරීමට පෙළඹුනේ වයස අවුරුදු පහළොවේදීය. එවිට ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවෙකි. මේ කාලයේදී ඔහුට අහම්බෙන් මෙන් සිනමාස්‌ අධිපති කේ. ගුණරත්නම් මහතා හඳුනා ගන්නට අවස්‌ථාව උදාවේ. නිහාල්සිංහ ගුණරත්නම්ගෙන් මිලි මීටර් 16 වර්ගයේ කැමරාවක්‌ ඉල්ලා ගනි. ඒ කැමරාවෙන් ඔහු තරුණ විය නමින් කෙටි චිත්‍රපටයක්‌ හැදුවේය. තරුණවිය ඇලන්සන් මෙන්ඩිස්‌ගේ කතාවකි. ප්‍රෙඩී සිල්වාගේ ප්‍රථම රංගනය රැගත් චිත්‍රපටයද එයයි.

නිහාල්සිංහයන් 1959 දී පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදීද ඔහු කෙටි චිත්‍රපටයක්‌ නිර්මාණය කළේය. ඒ නියදරටා නමිනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථමවරට සිනමා සංගමයක්‌ බිහි කිරීමේ පුරෝගාමියා වන්නේද නිහාල්සිංහන්ය. ආචාර්ය සරත් අමුණුගම මහතා ද ඔහු සමඟ මේ සඳහා මුල් විය.

නිහාල්සිංහ ආර්ථික විද්‍යා ගෞරව උපාධිධාරීයෙකි. උපාධිය ලබා විශ්වවිද්‍යාලයෙන් පිටතට ආ නිහාල්සිංහ කැමරාවක්‌ රැගෙන වියට්‌නාම යුද්ධයට ගියේ යුද්ධය රූගත කිරීමටය. ආනන්දයේ කෙඩෙට්‌ කණ්‌ඩායමෙන් මෙන්ම පසු කාලයේදී යුද හමුදාවෙන් ලද පුහුණුවත් නිහාල්සිංහයන්ට වියට්‌නාම් යුද පිටියේ ගත කිරීමට ශක්‌තියක්‌ විය.

වියට්‌නාමයේ සිට ආ නිහාල්සිංහයන් "භක්‌ති" නමින් කෙටි චිත්‍රපටයක්‌ හැදුවේය. එය පොදු රාජ්‍ය මණ්‌ඩල කාඩිස්‌ සිනමා උළෙලේදී සම්මානයට පාත්‍රවිය.

මෙරට ප්‍රථම සිනමාස්‌කෝප් කෙටි චිත්‍රපටය හැදුවේද නිහාල්සිංහය. ඒ 1967 දී "කෙටිකතාව" නමිනි. 

සිනිදු සුදුමුදු තලාවේ.....
පිපෙන පෙණ පිඩු සිනාවේ......

සිරි ගුණසිංහයන්ගේ "සත්සමුදුර" චිත්‍රපටයේ කැමරා අධ්‍යක්‍ෂවරයා ලෙසත් සංස්‌කරණ ශිල්පියා ලෙසත් නිහාල්සිංහයන් අපේ සිනමාවට පා තැබූවේය. 1968 දී හොඳම සංස්‌කරණ ශිල්පියා ලෙස සරසවි සම්මානයද ඔහු දිනාගත්තේ" සත් සමුදුර" වෙනුවෙනි.

"වැලිකතර" අපේ රටේ ප්‍රථම සිනමාස්‌කෝප් චිත්‍රපටයයි. එය දකුණු ආසියාවේ දෙවැනි සිනමාස්‌කෝප් චිත්‍රපටයද වේ. " වැලිකතර" ඩී. බී. නිහාල්සිංහයන්ගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්‍ෂණයයි. ඊට ජනාධිපති, සරසවි සම්මාන කිහිපයක්‌ම හිමි විය.

ඩී. බී. නිහාල්සිංහයෝ 1972 දී රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධානියා විය. ඉන් පසු රාජ්‍ය චිත්‍රපට සංස්‌ථාව පිහිටුවනු ලැබීය. ඔහු චිත්‍රපට සංස්‌ථාවේ ප්‍රථම සාමාන්‍යාධිකාරීවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරීවරයාද විය.

චිත්‍රපටයක්‌ නිර්මාණය කරද්දී එහි තිරනාටකය වැදගත් කාර්යභාරයක්‌ සිදු කරන බව ඔහුගේ මතයයි. එමෙන්ම චිත්‍රපටයක්‌ කිරීමට පෙර ඒ පිළිබඳ ප්‍රාමාණික හැදෑරීමක්‌ කළ යුතු බවද ඔහු විශ්වාස කළේය. එනිසාම චිත්‍රපට සංස්‌ථා සාමාන්‍යාධිකාරිවරයා ලෙස නිහාල්සිංහයන් 1974 දී චිත්‍රපට තිරනාටක රචනා පාඨමාලාවක්‌ ආරම්භ කළේය. ධර්මසිරි ගමගේ, මෙන්ම ඇමැතිවරයෙක්‌ව සිටියදී ටී. බී. ඉලංගරත්නයන්ද මෙම පාඨමාලාව හැදෑරුවේය. අද ප්‍රවීණ මාධ්‍යවේදියකුව කටයුතු කරන දයා පෙරේරාද එවක මෙම පාඨමාලාව හැදෑරූ අයෙකි. ඉන් පසු නිහාල්සිංහයන් චිත්‍රපට සංස්‌ථාව යටතේ චිත්‍රපට අධ්‍යක්‍ෂණය පිළිබඳ පාඨමාලාවක්‌ද ආරම්භ කළේය. එවක සංස්‌ථාවේ නිෂ්පාදන කළමනාකරු වු පියසිරි ගුණානන්ද ද මේ සඳහා නිහාල්සිංහට සහාය විය.

අපේ සිනමාවේ ස්‌වර්ණමය යුගය ආරම්භ වූයේ නිහාල්සිංහයන් චිත්‍රපට සංස්‌ථාව භාරව කටයුතු කරන සමයේදීය.

"මම චිත්‍රපට සංස්‌ථාවට පත්වන විට මිලියන 29 ක්‌ව තිබූ ප්‍රේක්‍ෂක සංඛ්‍යාව 1978 වන විට මිලියන 79 දක්‌වා ඉහළ නැග්ගා. සය වසරක්‌ තුළ මිලියන 50 ක වැඩිවීමක්‌. මෙය ඉබේ ඇති වූ ප්‍රාතිහාර්යක්‌ නොවේ. සැලසුම් සහගත වැඩපිළිවෙල සහ හොඳ චිත්‍රපට හැදීමෙන් ලබාගත් ප්‍රතිඵලයක්‌ යෑයි නිහාල්සිංහයෝ වරෙක මේ ලියුම්කරු සමඟ පැවසූහ.

නිහාල්සිංහ 1978 දී "රිදී නිම්නය" 1985 "මල් දෙනියේ සිමියොන්" අධ්‍යක්‍ෂණය කළේය. නවදිල්ලි සිනමා උළෙලේදී ලොව හොඳම නිළිය ලෙස අනෝජා වීරසිංහ රණ මයුර සම්මානය ලැබුවේ මල්දෙනියේ සිමියොන් රංගනය උදෙසාය. කෙළි මඩල නිහාල්සිංහයන් අධ්‍යක්‍ෂණය කළ අවසන් චිත්‍රපටයයි.

සත්සමුදුර, බිනරමලි, දහසක්‌ සිතිවිලි, පාරාවළලු, කැලෑමල්, මුහුදු ලිහිණි යන චිත්‍රපටවල මෙන්ම ඔහු අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටවලද කැමරා අධ්‍යක්‍ෂවරයා නිහාල්සිංහය.

1979 දී රාජ්‍ය චිත්‍රපට සංස්‌ථාවෙන් සමුගත් නිහාල්සිංහ ටෙලිසිනේ ආයතනය ආරම්භ කළේය. ඔහු වසර දහයක්‌ එහි ප්‍රධාන විධායක ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේද ප්‍රථම ටෙලි නාට්‍ය මලාව ලෙස "දිමුතු මුතු" ඔහු විසින් නිර්මාණය කළේය. දේවිකා මිහිරානි" ප්‍රථම ටෙලි නිළිය වූවා මෙන්ම, අමරසිරි කලංසූරියද ටෙලි නළුවකු වූයේ දිමුතු මුතු ඔස්‌සේය.

ඉන්පසු නිහාල්සිංහ "රේඛා" ටෙලි නාට්‍ය මාලාව අධ්‍යක්‍ෂණය කළේය. එවක ගායිකාවක ලෙස ජනප්‍රිය වූ චන්ද්‍රලේඛා පෙරේරා "රේඛා" ඔස්‌සේ ටෙලි නිළියක වූවාය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පැබැඳු ගීත රැසක්‌ "රේඛා" ටෙලිනාට්‍යයේ අන්තර්ගත විය. එම ගී අදද ජනප්‍රියය.

සිනමා සක්‌විති ගාමිණී ෆොන්සේකාද ටෙලිනාට්‍ය නළුවකු කළේ නිහාල්සිංහයන්ය. ඒ ඔහුගේ "කලු සුදු" ටෙලි නාට්‍යයෙනි.

1996 දී නිහාල්සිංහයන් හොංකොංහි ටෙලිවිෂන් බ්‍රොඩ්කාස්‌ට්‌ ඕවර්සීස්‌ සමාගම හා එක්‌ විය. ඔහු මැලේසියාවේ ඇස්‌ට්‍රො සමාගමේ සාමාන්‍යාධිකාරී තනතුර හෙබ වූවේය. මැලේසියාවේ සිනමා කර්මාන්තය වඩ වඩාත් වර්ධනය වූයේ ඔහු එහි ගිය පසුවය. මැලේසියාවේ නිෂ්පාදිත වෘත්තාන්ත චිත්‍රපට රැසක විධායක අධ්‍යක්‍ෂවරයා වූයේ ඔහුය. ක්‌වාලාලම්පූර්වලදී නිහාල්සිංහයන් යටතේ මැලේසියානු තරුණ තරුණියන් සිය ගණනක්‌ චිත්‍රපට හා රූපවාහිනී නිර්මාණ නිෂ්පාදනය පිළිබඳ හැදෑරුවෝය.

" මම හැත්තෑ දෙකේදී චිත්‍රපට සංස්‌ථාවේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරද්දී අපේ සිනමාව තිබූ තත්ත්වය හා සමාන ආකාරයටයි, මා මැලේසියාවට යද්දී එහි සිනමාව පැවතියේ. පස්‌සේ ඒ අය චිත්‍රපට දහයක්‌ විතර නිපදවූවා. අනෙක්‌ පැත්තෙන් රූපවාහිනී තාක්‍ෂණය බොහෝ ඉහළින් තිබුණා. ඩිජිටල් සැටලයිට්‌ ට්‍රාන්ස්‌මිෂන් ක්‍රමයට තිබුණේ. ඒත් ඔවුන්ට පුහුණු ශිල්පීන්ගේ හිඟයක්‌ තිබුණා. මගේ කාර්යය වුණේ ඒ අය පුහුණු කරවීම. චීන, මැලේ සහ ද්‍රවිඩ මැලේසියන් යන වර්ග තුනම හිටියා. මා යද්දී තවත් ටී. වී. චැනල් තිබුණා. ඒත් නීතියක්‌ තිබුණා. මේ අනෙක්‌ ආයතනවලින් කිසිම කෙනෙකු වැඩි මුදලට සොරකම් කරන්න එපා කියා. එනිසා මට "අ" යනු "ආ" යනු ඉඳලා පුහුණු කරන්න සිද්ධ වුණා. " යෑයිද නිහාල්සිංහයෝ මැලේසියාවේ වසර දහයක්‌ ගත කර මෙරටට පැමිණි පසු එහි අත්දැකීම අපට පැවසූවේ එලෙසිනි.

ලොව පැරැණිතම චිත්‍රපට සංවිධානය ලෙස 1915 ඇරැඹි අමෙරිකා එක්‌සත් ජනපදයේ මෝෂන් පික්‌චර්ස්‌ ඇන්ඩ් ටෙලිවිෂන් ඉන්ජිනියරින් සංගමයේ යාවජීව සාමාජිකත්වය දරන එකම ශ්‍රී ලාංකිකයා වන්නේද නිහාල්සිංහයන්ය. අද ලෝක සිනමාව හා රූපවාහිනියේ ප්‍රමිතීන් තීරණය කරන්නේ මෙම සංගමය විසිනි.

ආචාර්ය පදවිය හොබවමින් සිටි ඩී. බී. නිහාල්සිංහයන්ට මීට මාස හයකට පමණ පෙරදී කැලණිය විශ්වවිද්‍යාලය විසින් මහාචාර්ය පදවිය පුද කළේය. ඒ ඔස්‌සේ සිය දැනුම හා අත්දැකීම් මතු පරපුරට දායාද කිරීමට අලුත් පියවරක්‌ ඉදිරියට තැබූ හේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථමවරට චිත්‍රපට හා රූපවාහිනී සිව් අවුරුදු උපාධි පාඨමාලාවක්‌ ආරම්භ කළේය. ඒ කැලණිය සරසවියේය. චිත්‍රපට හා රූපවාහිනී පිළිබඳ ශ්‍රි ලංකාවේ ප්‍රථම මහාචාර්යවරයා වීමේ ගෞරවය ලබා ගත් නිහාල්සිංහයන් යටතේ මෙම උපාධි පාඨමාලාව ඔහු මිය යනතුරු සිදු කෙරිණි.

මෙවන් විශිෂ්ට ගනයේ චරිතයකින් අපේ රට ප්‍රයෝජන ගත්තා දැයි යන සාධාරණ පැනය බොහෝ දෙනාගේ සිත් තුළ ජනිතවේ. අපේ සිනමාව සහ රූපවාහිනිය මැලේසියාවේ සිනමාව හා රූපවාහිනිය තරම් වාසනාවන්ත නැත්දැයි යන පැනයද ඒ සමගම මතුවේ.

කෙසේ වෙතත් අප ප්‍රමාද වැඩිය. නිහාල්සිංහයෝ අද නැත. නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කල්යානි නිහාල්සිංහ මහත්මිය ඩී. බී. නිහාල්සිංහයන්ගේ ආදරණීය බිරියයි. එකම පුතා මනීෂ ඔස්‌ටේ්‍රලියාවේ පරිගණක ඉංජිනේරුවරයෙකි.

නිහාල්සිංහයන්ගේ මව රතී ධනපාල මහත්මිය. ඇය මිය ගිය පසු අවසන් කටයුතු කළ අයුරු මෙන්ම මරණ දැන්වීමද ජීවත්ව සිටියදීම ලියා තිබූ බවත් ඒ ආකාරයටම ඔහුගේ සොයුරු ඩී. බී. සුරනිමලගේ අවසන් කටයුතු පැය කීපයක්‌ තුළ සිදු කළ බවත් නුවන් නයනජිත් ලියු නිහාල්සිංහ පුරෝගාමී තෙවැනි ඇස" ග්‍රන්ථයේ සඳහන් වේ. 

නිහාල්සිංහයන් එම පොතේ මෙවැනි සඳහනක්‌ කර ඇත.

"මගේ තාත්තා ඉල්ලීමක්‌ කර තිබුණා. ඔහු මිය ගිය පසු පැයක්‌ ඇතුළත අවසන් කටයුතු කරන්න කියා. යක්‌කඩුවේ හිමියන්ට පමණක්‌ මිය ගිය පුවත පවසන ලෙසත් කියා තිබුණා. මගේ අම්මා සිදු කළ ආකාරයටම මගේ මරණ දැන්වීමත් මා ලියා තිබෙනවා. මා මිය ගිය දිනෙක පැය කිහිපයක්‌ ඇතුළත කිසිවෙකුටත් නොදන්වා මගේ අවසන් කටයුතු සිදු කරන්න. ඉන්පසු ඒ දැන්වීම පුවත්පත්වල දකින්නට ලැබේවි."

එහෙත් කනගාටුවෙන් හෝ ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වන්නට ඇත්තේ එකම පුතු තම පියාට අවසන් බුහුමන් දැක්‌විය යුතු නිසාය. අනෙක ජාතික වස්‌තුවක්‌ බඳු වූ අපේ මේ මහා සිනමාකරුවාට අවසන් ගෞරවය දැක්‌වීම සිනමාවට ලැදි සියල්ලන්ගේම අවශ්‍යතාවයක්‌ වන බැවිනි.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2016/04/24/cineart.html

0 comments: