Pages

Tuesday, April 5, 2016

මේ සිහල දේශයට ආදරයෙන් ලියමි - ගැටඹේ නාහිමි


මේ රට දිව්‍ය ලෝකයක්‌ කිරීමට 1948 නිදහස ලද දින පටන් දේශීය නායකයෝ ජනතාවට පොරොන්දු දී බලය භුක්‌ති විඳිති. ඔවුහු සමාජ, ආර්ථික, දේශපාලන, හා මානව හිමිකම් ගැන දේශනා කරති. ජනතාව හැම මැතිවරණයකදීම ඔවුන්ගේ සුරංගනා කථාවලට රැවටී ඡන්දය ලබා දී, අවසානයේ ඔවුහු දිනති. ජනතාව පරදිති. මුල් වකවානුවේ නායකයෝ ජනතාවට, රටට බරපතළ හානි කළේ නැත. මේ අතර සමහරු ධර්මිෂ්ඨ රාජ්‍යක්‌, ධර්ම රාජ්‍යක්‌, සැබෑ වෙනසක්‌, සුබ අනාගතයක්‌, අවසානයේ යහපාලනයක්‌ යන මදන ගුලි ගිල්වා ජනයා මත්කොට ඡන්දයෙන් බලයට පත් වී ජනතාවට කොකා පෙන්වූ අවස්‌ථා අමතක කළ නොහැක. ජනතාව රවටන දේශපාලකයන් හා සදාකල්හි රැවටෙන ජනතාවක්‌ සිටින රටක දිනෙන් දින සිදුවන විනාශය නම් වළකාලීම අසීරු කරුණකි.


1977 දී බලයට පත් ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ධර්මිෂ්ඨ රාජ්‍යයේ අවසාන ඵලය වූයේ ඒකාධිපති පාලන තන්ත්‍රයක්‌ ඇන කොටා ගන්නා ඡන්ද ක්‍රමයක්‌ වැඩකට නැති රටේ මුදල් කබාසිනියා කරන පළාත් පාලන ක්‍රමයක්‌ තමන්ට අවශ්‍ය රටට අහිතකර අත්තනෝමතික ව්‍යවස්‌ථාවක්‌ මගින් ජනතාවට බරක්‌ පැටවීමයි. එමගින් මේ රටේ තිබූ දේශීය කෘෂි ආර්ථික ජන ජීවිතය හා බැඳී තිබූ ආධ්‍යාත්මික ගුණ බැඳීම් සියල්ල විවෘත ආර්ථිsකය යටතේ බිඳවැටීමයි. 

ඡේ. ආර. ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් පසු නැති බැරි අය ඇති හැකි අය කිරීමේ සංකල්පය කරලියට ගෙනාවේ ආර්. ප්‍රේමදාස ජනපතිතුමයි. එතුමා එක්‌තරා දුරකට සාමාන්‍ය ජනතාව ගැන සිතාබලා තීරණ ගත් නායකයෙකි. ගම්උදා සංකල්පය එයට හොඳ නිදසුනකි. එහෙත් පසු කාලය වන විට මේ රටේ මහා මිනීමැරුම් රැසක්‌ සිදු වීම නිසා ඇති වූ භිෂණය රටට හානිකර විය. එහි ප්‍රතිඵලය වූයේ ධර්ම රාජ්‍යයක්‌ බිහිකිරීමට පිරිසක්‌ සන්ධානගත වීමයි. එහෙත් සිදු වූයේ අධර්ම රාජ්‍යයකට මඟ පෑදීමයි. එමගින් සම්බුද්ධ ශාසනයටත් හානිකර වීමයි. මෙහිදී සැබෑ වෙනසක්‌ කරා ගමන් කළ අය මේ රටේ අනන්‍යතාවය නොසලකා ක්‍රියා කිරීම නිසා කොටි උවදුර ඉස්‌මතු විය. ජනතාවට සැබෑ වෙනස අප්‍රසන්න වීමේ ප්‍රථිඵලය වූයේ සුබ අනාගතයකට මංපෙත් හෙළි කිරීමයි. එමගින් සිදු වූයේ ඇතැම් දේශපාලකයන්ට මඩිතර කරගැනීමේ හොඳ කලදසාවක්‌ උදා වීමයි. එසේ වුවද එකී පාලන සමය මේ රටේ වසර 30ක්‌ පුරා පැවති දරුණු ම්ලේච්ඡ යුද්ධය සම්පූර්ණයෙන්ම නැතිකිරීමට හැකි වීමත් ලොව කිසිම රාජ්‍යකට නොහැකිවූ මහා ත්‍රස්‌ත්‍රවාදයක්‌ මුලිනුපුටා දැමීමටත් හැකි වූ නිසා එම යුගය අපට අමතක කළ නොහැක. එයින් රටේ අනාගතය සුබ මඟට පිවිසීම කෘතවේදීව සිහිපත් කළ යුතුය.

ප්‍රභාකරන්ගේ අභාවයත් සමග කොටි සංවිධානය අඬාලවීම මේ යුගයේ සිදු වූ උසස්‌ම කටයුත්තයි. එය ලංකා ඉතිහාසයේ මකා දැමිය නොහැක. මේ රටේ ජනතාව යුගයෙන් යුගයට ඉමහත් අපේක්‍ෂා ගොඩනගා ගෙන බලයට පත්කළ සියලු පාලකයන් ජනතා අපේක්‍ෂා නොතකා ක්‍රියා කිරීම ඛේදජනකය. මේ වන විට යහපාලනයේ බලය රටපුරා ක්‍රියාත්මකය. ජනතාව බලා සිටී උදාවෙන යහපාලනයක්‌ ගැන. ඒ අතර දින පතා යහපාලනයට එරෙහි උද්ඝෝෂණ රැල්ලක්‌ දියත් වේ. පෙර නොවූ විරූ වෙනස්‌කම් යහපාලනයට එකතුවී හරි පුදුමය. 

පසුගිය ආණ්‌ඩුවට කැසිනෝ, එතනෝල්, කුඩු ජාවාරම් ගැන පට්‌ට ගහමින් මතට තිත තිතට මත බවට පෙරළි ඇතැයි කියමින් හඬනැගු අය යහපාලනයේ සංකේත බවට තැබෑරුම් ලබාදීම සිදු කර ඇතැයි ජනතාව පවසති. පවුල්වාදය පසුගිය රජයේ තිබූ ප්‍රබල ගැටලුවකි. අද පවුලේ අයට තැබෑරුම් ලබා දීම ඉන්ධනහල් ලබා දීම ගජරාමෙට කර ඇති බව පවසන ජනතාව යහපාලනය යන වදන ප්‍රතික්‌ෂේප කරන තැනට අද පත් වී ඇත.

පසුගිය රජය සමයේ මෙල්ල කොට තිබූ පාතාලය නැවත යහපාලනය තුල ඉස්‌මතු වීම ගැන ඇතැම් අය කරන ප්‍රකාශ මාධ්‍ය මගින් අසන්නට ලැබේ. ඔවුන්ට අනුව යහපාලනය නිසා ලැබුණු නිදහසේ ප්‍රතිඵලයක්‌ ලෙස පාතාලයන් ලංකාවට ඇවිත් පාතාල කටයුතු දියත් කරන බව කියවේ. එසේ නම් පාතාල නායකයන්ට නිදහසේ පැමිණීමට ඉඩ දීමෙන් යහපාලනයක්‌ සිදු වී තිබේද? යන්න සැකයට භාජනය වීම වැළැකිය නොහැකිය.

විවිධ කොමිසම් සභා පත් කළ පසු රටේ පරිපාලනය සාධාරණ යහපාලනයක්‌ වන බව පැවසුවද මේ රටේ පොලීසිය වඩාත් දරුණු වී, නීතියට ඇඟිලි නොගසන බව පැවසුවද නීතිය ක්‍රියාත්මක නැත. වැටත් නියරත් ගොයම් කානම් අවනඩු කාට කියන්නද? යන උපහැරණය අපට සිහිපත් වේ. ඒ අනුව නීතියේ නිලධාරීන්, මැති ඇමැතින් උසාවි නීතියට අවනත නැති බව පේනේ. අත්අඩංගුවට ගන්න නියෝග කළාට ඒවා ක්‍රියාත්මක වන්නේ නැත. පොලිස්‌ නිලධාරීන් සිවිල් ඇඳුමෙන් මංගල උත්සවවලට කඩා පැන පහර දෙයි, පුද්ගලයන් මරයි. ඇඹිලිපිටියෙන් පස්‌සේ ආදිවාසීන්ගේ කොටහළු උත්සවයකටත් බීමත්ව කඩා පැන පහර දී ඇත. මේවා පාලනය කිරීමට අදාළ කොමිසම් සභා හෝ අදාළ ඇමැතිවරු කටයුතු නොකරන්නේ ජනතාවට පොරොන්දු දුන් යහපාලනයට අකමැති නිසාද? යන්න විමසිය යුතුව ඇත.

නව රජය අච්චාරු රාජ්‍යයක්‌ වී ඇත. එදා මැතිවරණයෙන් පසු ජනාධිපතිතුමා විසින් කළ යුතුව තිබුණේ ජනතාව ප්‍රතික්‌ෂේප කළ අය එකතු කොට ආණ්‌ඩු පිහිට වීම නොවේ. රනිල් මහතාට තනිව ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට අනුකූලව රජයක්‌ බිහි කිරීමට ඉඩ දීමයි. ඕනෑම රාජ්‍යයකට රාජ්‍ය ප්‍රතිපත්තියක්‌ අවශ්‍යය. ගොඩනැගිල්ලක්‌ හදන්න දක්‍ෂ ඉංජිනේරුවන් අනුමත කළ සැලැස්‌මක්‌ අවශ්‍යයි. එසේ නොමැති තැන අක්‍රමවත් ගොඩනැඟිල්ලක්‌ ඉදි වේ. අද රටට සිදුවී ඇත්තේ එයයි.

මැතිවරණ සමයේ විවිධ අයට දුන් පොරොන්දු දැන් එකිනෙක කරලියට පැමිණේ. ෆෙඩරල් ව්‍යවස්‌ථාවක පෙරමග ලකුණු ඇතැමුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ. මේ රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීම හැර නවතම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකට ඉඩදීමෙන් සිදුවන්නේ නැවත නිවැරදි කළ නොහැකි හානිකර දේ ඇතුලත් කිරීමට බලා ඉන්න ෆෙඩරල් රාජ්‍යයක්‌ සඳහා දැනට ආණ්‌ඩුවේ ඉන්න ජාතියට, දේශයට, සංස්‌කෘතියට ආදරය නොමැති ඇතැම් භෞතිකවාදීන්ට ඉඩකඩ සැලසීමයි. දේශීය ජාතික සංස්‌කෘතික රටාව බිඳ දැමීමට ඉතිහාසය පුරා අර අඳින පරපුරවල අය දැන් අවදිවී ඇත. ආගමක්‌, දහමක්‌, සංස්‌කෘතියක්‌ නොතකන ආචාර්යවරුන් පෙරමුණට ඇවිත් ඇත. ඇතැම් ජාතීවාදීන් නැගෙනහිරට වෙනම පාලනයක්‌ ඉල්ලයි. උතුරේ ජාතිවාදීන් තවත් පාලනයක්‌ ඉල්ලයි. මෙයින් දකුණේ සිංහලයන්ට බරපතළ අසාධාරණයක්‌ සිදු වීම වැළැක්‌විය නොහැක. මෙයින් ජාතිවාදය ඉස්‌මතු වේ. සංහිඳියාවේ මුවාවෙන් ජාතිවාදය ඉස්‌මතු වේ. එබැවින් ජාතීවාදීන්ගේ ඉල්ලීම ඉටු කරන ෆෙඩරල් ව්‍යවස්‌ථාවකට මේ රටේ බහුතර ජනතාව කිසිසේත් එකඟ වන්නේ නැත. එබැවින් ෆෙඩරල් ක්‍රමයක්‌ යෝජනා කරන අයට ජනතාවගෙන් නිසි පිළිතුරු ලැබෙනු ඇත. මේ රටේ රණවිරුවන් දිවි පුදා රැකි දේශයේ ඒකීයභාවය ආරක්‍ෂා කරන ව්‍යවස්‌ථාවකට හැර ද්‍රෝහී අණපනත්වලට පාර්ලිමේන්තුව තුළදී අනුමැතිය ලබා නොදෙන්න යෑයි මහජන නියෝජිතයන්ට සිහිපත් කරන්න කැමතිය. 

එළඹෙන නව ව්‍යවස්‌ථාවක්‌ තුළ බුදු දහම රාජ්‍ය පාලකයා කවරෙක්‌ විය යුතුද යන වගන්ති වෙනස්‌ කර ගැනීමට ඇතැම් අයට අවශ්‍ය වී තිබෙන බව පෙනේ. ඒ නිසා ඇතැමුන් සංශෝධනයකට අකමැතිය. හේතුව සංශෝධනයේදී අදාළ වගන්තිවල කරුණු ජනතාව අතර සංවාදයට භාජනය වන නිසාය. මේ නිසා මේ රටේ ජාතිමාමක පින්වතුන් විමසිල්ලෙන් ක්‍රියා කළ යුතු කාලය එළඹී ඇති බව කිව යුතුය.

එට්‌කා ගිවිසුමත් රටට අහිතකර බව මට හැඟේ. ඉන්දියාව විරැකියාවට විසඳුම් අවස්‌ථා සොයයි. අපේ රටේ රැකියා විරහිත වුවන් දහස්‌ ගණන් දුක්‌ විඳිද්දී ඉන්දියානු රැකියා ප්‍රශ්නය විසඳීම අපට කළ නොහැකිය. මේ සම්බන්ධයෙන් පාලකයන් මහජන මතයට සවන් දී අත්තනෝමතික තීරණ ගැනීමෙන් වළකිනු ඇතැයි අපි සිතමු. රජය විවිධ වෙනස්‌කම් කරන මුවාවෙන් සිදු කරනු ලබන්නේ සංවර්ධන කටයුතු වෙනුවට පෙර කළ සංවර්ධන කටයුතු නවතා දැමීමක්‌ බව සිදු කරන ඇතැම් කටයුතුවලින් පැහැදිලි වේ. රාජ්‍ය සමයේ මහජනයාගේ ශරීර සුවතා අපේක්‍ෂාවෙන් ඉදි කළ මාබෝල ඇවිදින මං තීරු ගලවා ඉවත් කිරීම වැනි ප්‍රාථමික සිදුවීම් මගින් පැහැදිලි වේ. දිනකට 200ක පමණ පිරිසක්‌ නිරෝගී ජීවිතයක්‌ සඳහා මහජන මුදලින් ඉදි කරන ලද මෙම මංතීරුව වනසා දැමීමට තරම් මැති ඇමැතිවරුන් දුබලද? 

පසුගිය දවසක ජනාධිපතිතුමා තමන් ආවේ බලය බදා ගන්න නොව බෙදා ගන්න කියා යෑයි පවසා ඇත. මේ රටේ කාටවත් බලය බෙදන්න හෝ බදා ගන්න මහජනයා වරමක්‌ දී නැත. මේ රට කාගෙවත් බූදලයක්‌ නොවේ. තමන් සතු දේපල බෙදා ගැනීම හෝ බදා ගැනීම කළ හැකි නමුත් ජාතිය සතු අයිතීන් බෙදීම කළ හැක්‌කේ ජාතියේ ඒකමතික තීරණය අනුවය. 

මා මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින්නේ වසර 05 කට පමණක්‌ ඔබට ලැබී ඇති කොන්ත්‍රාත්තුව පොදු මහජන සුභසිද්ධිය උදෙසා භාවිතා කොට ඊළඟට එන අයට භාර දෙන ලෙසය. ඔබ මේ රටේ තාවකාලික භාරකරුවන් පමණක්‌ බව මතක තබා ගත යුතුය. 

රටට දැයට හිතැති යතිවරුන්, ප්‍රභූන් පෙන්වා දෙන කරුණු තුට්‌ටුවකටවත් මායිම් නොකරන නායකයින් තමන් වටා සිටින බඩගෝස්‌තරවාදීන්ට සවන්දීම නිසා රටට සිදු වන විපත් අපමණය. බොහෝ විට මේ රටේ නායකයෝ අපි කරන අනුශාසනා දේශපාලන පක්‍ෂ පාට නමැති දෘෂ්ටීන්ගේ සිට බැලීම නිසා රටට සිදු වන්නේ මහත් විපතකි. මේ රජයට දේශහිතෛෂීන් අනතුරු අඟවා සිටියා හමුදා කඳවුරු ඉවත් නොකරන ලෙස, බුද්ධි අංශ නිලධාරීන්ට හෙළි නොකරන ලෙස, අධි ආරක්‍ෂිත කලාප ඉවත් නොකර පවත්වා ගෙන යන ලෙසට හා සිර කර සිටි දරුණූ කොටීන් නිදහස්‌ නොකරන ලෙසට. එහෙත් අත්තනෝමතිකව මේවා වෙනස්‌ කිරීමේ බරපතළ ප්‍රතිඵලය චාවකච්ෙච්රීයේදී සොයා ගන්නා ලද අධිබලැති මරාගෙන මැරෙන පුපුරණ ද්‍රව්‍ය අනතුරු අඟවයි. ඉදිරියේදී යළි රට භීෂණයක්‌ කරා යොමු වීමේ පෙර නිමිත්තක්‌ ලෙස පෙන්වා දිය හැකිය.

ලොව කිසිම රටක දැකිය නොහැකි අමුතුම මාදිලියේ රෝගී මානසිකත්වයක්‌ මේ යුගයේ ඇතැම් මැති ඇමැතිවරුන් තුළ ඉස්‌මතු වි ඇත. ඇතැම්හු ජාතික කොඩිය, ජාතික ගීතය, ජාතික පුෂ්පය, ජාතික වෘක්‌ෂය පමණක්‌ නොව ජාතියේ ඉතිහාසයත් වෙනස්‌ කරන්නට යෝජනා කරති. ආගම දහම ඇතුළත් පොත් පත් වෙනස්‌ කීරීමෙන් සංහිඳියාව ඇති කිරීමටත් ඇතැමුන් සිතයි. මෙබඳු වෙනස්‌කම් ගැන සිතීම පාලකයන්ගේ යුතුකම් නොවේ. 

මේ රට ආරක්‍ෂා කිරීමට බුදුරජාණන් වහන්සේ උපුල්වන් දෙවියන්ට පිරිනිවන් මංචකයේදී භාර දුන් බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. වසර 2600ක වකවානුව තුල මේ රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වැනසීමට කුමන්ත්‍රණය කළ අය පිඹුරුපත් හැදූ අයට එය ඉටු කරගැනීමට නොහැකි වූයේ ඒ නිසාය. ඉදිරියටත් ඝෘජුව හෝ වක්‍රව දැන හෝ නොදැන මේ රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට හානි වන තීන්දු තීරණ ගන්නා අයට සිදුවන්නේද ඉතිහාසයේ බොහෝ අයට සිදු වූ ඉරණම්වලට මුහුණ දීමටයි. මේ රට දෙවියන් බුදුන් අදහන ජනතාව රකින බලයක්‌ ඇති දේශයක්‌ බව මතක තබාගත යුතුය. අවසාන වශයෙන් ජනාධිපතිතුමාට සිහිපත් කරන්න කැමැතියි මේ රටේ බලය පවරා ඇත්තේ ඔබතුමාට පමණක්‌ බව.

ගැටඹේ රාජෝපවනාරාමාධිපති චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ සද්ධර්මවාගීශ්වර කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමි
http://www.divaina.com/2016/04/04/feature01.html

Pic Source

0 comments: