Pages

Sunday, January 29, 2017

දහතුනේ එල්ලී හිටන් - රට බෙදුමට කරමුද සටන්!

හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා 1978 සකස්‌ කළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් විධායක ජනාධිපති ධුරය ඇති කරන ලද්දේ එක්‌ ආසනයකින් එහි චන්ද දායකයන්ගේ බලයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයකු රටේම අගමැති වී නායකත්වයට පත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි යෑයි කියමිනි. එය සත්‍යයකි. අගමැතිවරයා ධුරයෙන් පහකිරීමට ද අගමැතිවරයා ගන්නා සාධාරණ තීරණයන් වුවද පසුබට කිරීමටද පාර්ලිමේන්තුවට හැකිය. 1972 ජනරජ ව්‍යවස්‌ථාව පරිදි අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මෙන්ම රටේ නායකයාව සිටියේය. මෙම තත්ත්වය දිගින් දිගට පැවතියේ නම් සැබවින්ම තිස්‌වසරක්‌ පුරා ඇවිලී ගිය දෙමළ ආක්‍රමණික කැරැල්ල පරාජය කිරීම අසීරුවනු ඇත. කෙසේ නමුත් ඉන්දියාවේ බලපෑම මත ඡේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට පළාත් සභා සහිත දහතුන් වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීමට සිදු විය. එයට හේතුව ඒ වන විට දෙමළ නිජ බිම් සංකල්පයට සහ බෙදුම්වාදයට එරෙහිව ප්‍රබල විද්වත් මතයක්‌ සහ ජනමතයක්‌ ඇතිව නොතිබීමයි.

දෙමළ නිජබිම් සංකල්පය යනු දහනම වන සියවසේ දී ඇමරිකන් මිෂනාරීන් විසින් අධ්‍යාපනය ලබාදී බලවත් කරන ලද දෙමළ ප්‍රභූන්ගේ මනස්‌ගාතයකි. මෙලෙස සිය අදහස්‌ ප්‍රකාශයට පත් කරන ලද කිසිම දෙමළ පුද්ගලයකු පරම්පරාගතව යාපනයේ ජීවත් වූවන් නොවීය. ලන්දේසීන් විසින් මලබාරයෙන් ගෙන්වා පදිංචි කරන ලද වහලුන් සහ ඔවුන්ගේ කංකානිවරුන්ගෙන් මොවුහු පැවතෙන බව පෙන්වා දිය යුතුය. නමුත් දහතුන් වන සියවසේ උතුර පාලනය කළ ආර්ය චක්‍රවර්තීවරුන්ගෙන් ඔවුහු පැවතෙන බවට බොරු මුසා ඇද බෑහ. ඒ සඳහා ව්‍යාජ පෙළපත් සටහන් පවා අන්තර්ජාලයට දමා ඇත. ප්‍රශ්නය වන්නේ ලංකාවේ සිටින ඉතිහාසඥයන් මේ මතය බිඳීමට ඉදිරිපත් නොවීමයි. මහාචාර්ය කේ. එම්. ද සිල්වා වැන්නවුන් ඉදිරිපත් කළ මත දේශපාලනඥයන්ද ඉහළින් පිළිගත්හ. එම නිසා මේ ව්‍යාජ දෙමළ නිජබිම් සංකල්පය මතවාදීව පරාජය කරනට ඒ යුගයේ කිසිවකුට හැකි නොවීය.

යාපනයේ නගරාධිපති දොරේඅප්පා ඝාතනයෙන් පසුව මේ දෙමළ බෙඳුම්වාදයේ සන්නද්ධ අංශය බලවත් විය. පසුව පොලිස්‌ නිලධාරීන් ඔවුන්ගේ ඉලක්‌කය විය. 1983 වසරේදී හමුදා භටයන් 13 දෙනකු මේ ප්‍රහාරවලින් ජීවිතක්‌ෂයට පත් වීමෙන් මුළු රටම කැළඹී ගියේය. මෙම අවස්‌ථාවේදී ඡේ. ආර්. ජයවර්ධන මහතා රටේ නායකත්වය නිසි පරිදි නොගැනීමෙන් රට පුරා ප්‍රචණ්‌ඩත්වය ඇවිලී ගියේය. කටකතා පැතිර යැමෙන් කොළඹ නගරයට ද ප්‍රහාර එල්ල වේ යෑයි බියක්‌ ඇති විය. මෙයින් කලබලයට පත් ජනතාව කොළඹ නගරයේ ඇති කළ විපර්යාසය ආරම්භ වන්නේ රාජකාරි සඳහා කොළඹ පැමිණි ජනතාව එකිනෙකා පරයා නිවෙස්‌වලට යැමට කළ දැඟලිල්ලෙනි. පාර පුරා මෙන්ම පදික වේදිකා මත්තේද ගමන් කළ වාහන නිසා නගරය අවුල් ජාලාවක්‌ විය. ඒ කලබල අවසරයෙන් ප්‍රයෝජනය ගත් ඔත්තු සේවා දෙමළ ව්‍යාපාරික ස්‌ථානවලට ගිනි තැබූහ. එය ආදර්ශයට ගත් මංකොල්ලකරුවන් මේ කෝලාහලය කොළඹින් පිටතටද රැගෙන ගියහ. රටම ගිනිගත් හැටි එහිදී අපට අමතක නොවේ.

දෙමළ බෙදුම්වාදයේ පළමු උගුලට සිංහල ජනතාව අසුවුණේ එසේය. මේ කලබලයේ ප්‍රතිඵලය වූයේ ඉන්දියාවේ පීඩනය ලංකාවට එල්ල වීමයි. දෙමළ ජනතාවට ප්‍රශ්නයක්‌ ඇතැයි ලෝකයට හෙළි වී ඇතැයි ඉන්දියාව සිතන්නට ඇත. ඔවුහු දෙමළ බෙදුම්වාදයට උඩගෙඩි දුන්හ. තමිල්නාඩුවේදී ආයුධ පුහුණුවද දුන්හ. රජය මේ අවස්‌ථාවේදී කළේ උතුරෙන් එන පීඩනය වළක්‌වාගන්නට වන්නි දිස්‌ත්‍රික්‌කය තුළ බහුතර සිංහල ජනගහනය පිහිටුවීමට උපදෙස්‌ දීමයි.පසුව ගාමිණී දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් මහවැලි කලාප වල එය ව්‍යාප්ත විය. මායිම් ගම්මාන නමින් සංකල්පයක්‌ බිහිවූයේ එය අනුවයි. නමුත් කොටි ත්‍රස්‌තයන් මේ ගම්මානයන්ට පහරදීමත් සිංහල ජනතාව පළවා හැරීමත් සමගම දේශපාලන විසඳුමක්‌ සඳහා රජයට බලපෑම් එල්ල විය. විසඳුමක්‌ දිය යුත්තේ කුමන ප්‍රශ්නයකට දැයි කිසිවෙක්‌ ඇසුවේ නැත. නමුත් මේ වන විටත් උතුරේ සිංහල ජනයා ගැන කතාකරමින් ජනපද පිහිටුවීමේ පුරෝගාමියකුව සිටි සිරිල් මැතිව් මහතා ඡේ. ආර්. විසින් 1984 වසරේ දී පක්‌ෂයෙන් නෙරපා හැරියේය. ඒ බලය බෙදාහැරීම සම්බන්ධව ප්‍රසිද්ධියේ ඡේ. ආර්. විවවේචනය කළ නිසාය. 1985 වන විට ඉන්දියාව විසින් කොටි ත්‍රස්‌තයන් පෝෂණය කරන බවට රජයට තොරතුර ලැබී තිබුණි. නමුත් ආරක්‌ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි හෝ ඡේ. ආර්. හෝ එයට විරුද්ධව වචනයක්‌ කතා කිරීමට මැලි විය. ඒ වෙනුවට සිදු වූයේ රජිව් ගාන්ධි විසින් මොවුන් බලය බෙදීමේ ක්‍රියාවලියට තල්ලු කර දැමීමයි.

සර්ව පාක්‌ෂක සම්මේලන එහිදී ඇති වූ එකඟතාවය ආදී කරුණුවලින් පසු 1987 දී දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිණිස පසුබිම සැකසුණි. ඉන්දු ලංකා ගිවිසුම මගින් ඉන්දීය බලහත්කාරය තව තවත් දැඩි කරන ලදී. එයම සිංහල ජනතාව උතුරෙන් පළවා හැරීම පිණිස යොදා ගන්නා ලදී. මේ තරම් දුරක්‌ බෙදුම්වාදය පැමිණියේ සැබවින්ම ශක්‌තිමත් බෙදුම්වාදී විරෝධී මතවාදයක්‌ රට තුළ ස්‌ථාපිත නොවී තිබීම නිසාය. උගතුන් යයි කියා ගන්නා බහුතරයක්‌ නිහඬව සිටියහ. මහාචාර්ය විමල විඡේසූරිය අභය ආරියසිංහ වැනි වියතුන් ද අධිනීතිඥ හරිස්‌චන්ද්‍ර විඡේතුංග මහතා පමණක්‌ බෙදුම්වාදයට ඉතිහාසයෙන්ම පිළිතුර දුන්හ.

දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය වනාහි ඡේ. ආර්. රජය කෙරෙහි බලයෙන් පටවන ලද්දක්‌ නොවේ. ඔවුහු ක්‍රමයෙන් එයට මානසිකව අනුගත වෙමින් පැවතුණි. බලය බෙදීම අවශ්‍යතාවයක්‌ ලෙසට ඡේ.ආර්. පිළිගනු ලැබූවේ ව්‍යාජ දෙමළ නිජබිම් සංකල්පය හේතුවෙනි. අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම මගින් එය පිළිගෙන තිබුණි. මේ නිසා රට බෙදීමේ ක්‍රියාවලිය සඳහා සිංහල දේශපාලනඥයන්ගේ මානසික එකඟතාවය තිබූ බව පැහැදිලිය. මහින්ද රාජපක්‌ෂ මහතා විසින් නන්දිකඩාල් කලපුවේ දී පරාජයට පත් කරන ලද්දේ දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ අංශයයි. එය ද සැබවින්ම දේශපාලන විසඳුමක්‌ විය. නමුත් දේශපාලනඥයන් සියල්ල සැබවින්ම හදවතින්ම බලය බෙදීම නමැති සංකල්පය අත්නොහළහ. ඡේ. ආර්. කළා මෙන්ම මහින්ද රජයද වන්නි දිස්‌ත්‍රික්‌කයට මායිම්ව සිංහල ගම්මාන පිහිටුවීම ආරම්භ කළහ. නමුත් උතුරේ හෝ මන්නාරමේ එය සෘජුවම කිරීමට පසුබට වූහ. වරක්‌ විදෙස්‌ මාධ්‍ය හමුවකදී ඇසූ පැනයට පිළිතුරු දුන් මහින්ද රාජපක්‌ෂ මහතා කියා සිටියේ සිංහලයන්ද අවතැන් වූවන් බැවින් ඔවුන්ද පදිංචි කළ යුතු බවයි. නමුත් එම වචනය පොළොව මට්‌ටමේ සක්‍රීය නොවීය.

මහින්ද රාජපක්‌ෂ මහතාගේ රජයේ අවසාන කාලයේදී ජාතික බලවේගයන්ගේ ඉල්ලීම වූයේ දහතුන් වන සංශෝධනයට අයත් යම් යම් බලතල ඉවත් කරන ලෙසයි. මේ වන විට උතුරේ බෙදුම්වාදය මතවාදීව පරාජය කිරීම ආරම්භ කර තිබූ අතර දෙමළ ජනතාවට අනන්‍යවූ වෙනම ප්‍රශ්නයක්‌ නැතැයි සමාජය පිළිගෙන තිබුණි. මහාචාර්ය නලින් ද සිල්වා මහතා වැනි අය මෙම මතය ප්‍රබල ලෙසට සමාජගත කරන්නට උත්සාහ කළහ. මේ නිසා ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කළ යෝජනා මහින්ද පිළිගත යුතුව තිබුණි. එහෙත් අවාසනාවකට ඒවා ඉදිරිපත් කරන ලද්දේ මහින්ද මහතාව පාලනය කරගත හැකි අවස්‌ථාවකදී නොවේ. ඔහු ඒ වන විට තම බලය සඳහා නව සැලැස්‌මකට අවතීරණ වෙමින් සිටි අවස්‌ථාවයි. ජාතික හෙළ උරුමය වැනි පිරිස්‌ මෙම ඉල්ලීම් යුද්ධය අවසාන වූ වහාම කළේ නම් ඇතැම් විට එය සාර්ථක වන්නට ඉඩ තිබුණි. නමුත් ජාතික ව්‍යාපාරයේ ඇතැම් කාරණා සිදු වන්නේ ද බලය සහ බලය උදෙසාමය. ඒවා පදනම් වන්නේ මාක්‌ස්‌වාදී න්‍යායන් ගුරුකොට ගනිමිනි.

වර්තමාන රජය පත් වීම අහම්භයක්‌ නොවන බව පැහැදිලිය. දෙමළ බෙදුම්වාදීන්ගේ නිහඬ ක්‍රියාකාරිත්වය සහ බෙදුම්වාදයට පක්‌ෂ සිංහල දෙශපාලනඥයන්ගේ කුමන්ත්‍රණ හේතු කොට ගෙන මහින්දට පරාජය පිළිගන්නට සිදු විය. පසුව යහපාලන රජය පත් වී වසරක කාලයක්‌ තුළ අප දුටුවේ ඔවුන්ගේ බෙඳුම්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන ආකාරයයි. නව ව්‍යවස්‌ථාව සකස්‌ කිරීමට ගත් උත්සාහය, එයට මහජන අදහස්‌ විමසීම, එහි වාර්තාව තුළ අඩංගු වූ බෙදුම්වාදී අදහස්‌, පසුව පාර්ලිමේන්තු අනු කමිටු වාර්තාව, අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත සම්මත කිරීම මෙන්ම සංහිඳියා බළකායේ වාර්තා පිටවීම දක්‌වා මේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වී තිබේ. නමුත් ජාතික ව්‍යාපාරයේ ඉදිරිපත් වීම මත මේ න්‍යාය පත්‍රය තාවකාලිකව හකුලා ගැනීමට රජයට දැන් සිදුව තිබේ. නමුත් ඔවුහු දෙමළාට ප්‍රශ්නයක්‌ ඇතැයි විශ්වාස කරති. එයට දෙන විසඳුම කුමක්‌ දැයි ජනාධිපතිතුමා අද්මිරාල් සරත් වීරසේකර මහතා ගෙන් විමසා සිටියේ එහෙයිනි. එම නිසා රජයේ බෙදුම්වාදී පිළිවෙත තවම වෙනස්‌වී නොමැති බව පෙනේ. මේ අතර අගමැති කාර්යාලය විසින් පත් කළ සංහිඳියා බළකායේ වාර්තාව ඔවුහු ජිනීවාවලට ඉදිරිපත් කිරීමේ සූදානමකින් පසුවෙති. එයට සමගාමීව උතුරේ දෙමළ ජනතාව සංවිධානය කොට රජයට බලපෑම් කිරීමටද ඉඩ ඇත. මේ තත්ත්වයෙන් පීඩාවට පත්වන රජය සමහරක්‌ විට දහතුනට එහා යන බලය බෙදීමකට එකඟවනු ඇත. ඉඩම් පොලිස්‌ බලතල දීමට එකඟ වනු ඇත. නව ව්‍යවස්‌ථාව පසෙකලා පවතින ව්‍යවස්‌ථාවට සංශෝධනය රැගෙන ඒමට යළි පිඹුරුපත් සකසනු ඇත.එය 1987 දී ඡේ. ආර්. ජයවර්ධනයන්ට ඇටවූ උගුලයි. ඡේ. ආර්. මෙන්ම වර්තමාන දේශපාලන නායකයන්ද මානසිකව බලය බෙදීමකට එකඟ හෙයින් සුළු පීඩනයක්‌ එල්ලකිරීමෙන් හෝ බෙදුම්වාදී සිතියම පුළුල් කර ගැනීමට ඔවුනට හැකි වනු නියතය. මේ තත්ත්වය නැවත නැවත උදා වන්නේ දෙමළ ප්‍රශ්නය නමැති ඊනියා සංකල්පය ඉතුරු වී ඇති හෙයිනි. එම සංකල්පය ව්‍යාජයක්‌ බව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඔප්පු කිරීමට දැන් කාලය පැමිණ ඇත.

මතුගම සෙනෙවිරුවන්
http://www.divaina.com/2017/01/29/feature29.html

0 comments: