Pages

Sunday, January 29, 2017

හෙළ වාරි ශිෂ්ඨාචාරයේ මහා උරුමය - කලා වැව!

වනය මැද ඔයක්‌ අසල ලතවෙමින් බලාසිටින භික්‌ෂූන් වහන්සේලා දෙනමකි. එක්‌ නමක්‌ මැදිවියට ආසන්න වී සිටින අතර අනෙක්‌ භික්‌ෂුව තවමත් යොවුන් වියේ එළිපත්තට එබිකම් කරමින් සිටින හිරිමල් වියේ පසුවන සාමණේර භික්‌ෂුවක්‌ බව පෙනීයයි. උදෑසනින් අවදිව ගමනක්‌ ගොසින් ආපසු එමින් සිටින මේ දෙපල දෙගොඩ තලා ගලායමින් පවතින ඔයෙන් එගොඩවීමට නොහැකිව සිටිති. උදෑසන යමින් ගමන් කිසිදු අපහසුවකින් තොරව මේ ඔයෙන් එගොඩවීමට හැකි වුවත් ඔය ඉහත්තාවට ඇද වැටී ඇති මහා වර්ෂාව හේතුවෙන් දැන් එය පිටාර යමින් පවතින නිසා එගොඩවීමක්‌ තබා එසේ සිතීමටද ඉඩකඩක්‌ නැත්තේය.

සාමණේර භික්‌ෂුව මහත් නොඉවසිල්ලෙන් ඒ මේ අත ඇවිදිමින් දෙගොඩතලා යන ජලකඳ දෙස වරින්වර නොරිස්‌සුම් සහගත බැලුම් හෙලමින් සිටියත් වැඩිමහල් භික්‌ෂුව ඒ දෙස තම සුපුරුදු සන්සුන් බවින් යුක්‌තව නෙත් යොමාගෙන සිටින අතරතුර තම බාල භික්‌ෂුවගේ නොඉවසිලිවන්ත ඉරියව් දෙසද උපේක්‌ෂාවෙන් බලා "අද මේ ඔය දෙගොඩතලා අපගේ ගමනට බාධා කරන්නේ යම්සේ ද මතු යම් දවසක මේ ස්‌ථානයෙන් වේල්ලක්‌ බැඳ වැවක්‌ තනවා මේ ඔයේ ගමනට බාධා පමුණුවන්න" යි පැවසීය.

මේ සමය වූ කලී ලක්‌දිව පාණ්‌ඩය ආක්‍රමණයකට නතුවී රජරට මුළුමනින්ම ව්‍යාකූල වී පැවතුන සමයකි. (පණ්‌ඩු , පාරින්ද , කුඩා පාරින්ද , තීîය , දාඨිය හා පීඨිය යන ද්‍රවිඩයන් සයදෙනා පුරා වසර විසිහයක්‌ (ක්‍රි.ව. 433-459) විනාශකාරී ලෙස මෙරට පාලනය ගෙන ගියහ.)

මේ සාමණේර භික්‌ෂුව වනාහි මෙරට රාජ්‍ය උරුමය සහිත පරපුරක පුරුකක්‌ ලෙස උපත ලැබූ කුමාරවරයෙක්‌ වන අතර අනෙක්‌ භික්‌ෂුව නෑකමට ඔහුගේ මයිලණුවන් කෙනෙකු වන මහානාම නම් සිල්වත් භික්‌ෂූන් වහන්සේ නමකි. මේ මහානාම හිමි මේ තරුණ කුමරාගේ ආරක්‌ෂාව තකා ඔහුව සසුන්ගත කරවා ආරක්‌ෂාකාරීව වනයේ තබාගෙන වාසය කරමින් සිටින අතරතුර සුදුසු වයසට එළඹී කුමරාව "ගෝජිස විහාරය" ට යවා රාජ්‍ය පාලනයට අවශ්‍ය ශිල්ප ශාස්‌ත්‍ර ඉගෙනගැනීමට සැලැස්‌වීය. ක්‍රි.ව. 455 දී පමණ සුදුසු වයසට එළඹී පසු උපැවිදිව මෙරට රාජ්‍යත්වයට පත්වූ මේ කුමාරයා, ද්‍රවිඩයන්ට විරුද්ධව යුධ ප්‍රකාශකර ක්‍රි.ව. 459 දී අවසන් ද්‍රවිඩ පාලකයා වූ පීඨිය මරණයට පත්කර තුන් සිංහලයම ඒකඡත්‍ර කරවා ක්‍රි.ව. 479 දක්‌වා ශ්‍රී ලංකාව පාලනය කරමින් මෙරට වාරිකර්මාන්තයට විශිෂ්ට මෙහෙවරක්‌ සිදුකළ ධාතුසේන මහරජතුමා මිස අන්කවරෙක්‌ නොවේ.

එතුමා කලාවැව ඇතුළු මහවැව 16ක්‌ හා අනුරාධපුර නගරයට ජලය සැපයීමට යෝධ ඇළ ඉදි කරන ලද අතර මෙයින් කලාවැව හා යෝධ ඇළ සදානුස්‌මරණීය නිර්මාණ බවට පත්වී තිබේ. 

කලාවැව ඉදිකර ඇත්තේ ලංකාවේ සාරවත්ම ජලපෝෂක ප්‍රදේශයක්‌ වන මාතලේ කඳු පන්තියේ වයඹ දිගින් ගලාබසින ජලධාරා එකතුකරගත හැකිවන පරිදි, දඹුලුඔය , මිරිස්‌ගෝනි ඔය හා හැවැන් ඇල්ල ඔය යන ඔයවල් තුනේ ජලය ලබාගත හැකි ආකාරයටය. කලාවැව ඉදිකිරීමෙන් පසු ඒ අසලම බළලු වැව නමින් තවත් වැවක්‌ නිර්මාණය කර එයද කලා වැවට ඈඳා වර්තමාන කලාවැව නිර්මාණය කරන ලදි. මේ නිසා සමහරු මෙය කලා-බළලු වැව ලෙසින්ද හඳුන්වයි. 

පුරාණ කාලයේ අඹන් ගඟේ සිට මිරිස්‌ගෝනි ඔය දක්‌වා ඉදිකළ උමඟක්‌ මඟින් කලාවැවට ජලය ලබාගත් බවට ජනප්‍රවාදයක්‌ පවතින අතර මෙය පිළිබඳ විධිමත් අධ්‍යනයක්‌ සිදුකර නොමැති වුවත් මෙය පහසුවෙන් බැහැර කළ නොහැකි වීමට බලපාන හේතු ගණනාවක්‌ම පවතී. වසභ රජුගේ කාලයේ රන්මසු උයනේ පොකුණුවලට තිසා වැවේ ජලය ගෙනයාමට "උම්මග්ග ජල මාතිකා" නමින් උමං මාර්ග ඉදිකර තිබීම නිසා ආදී සිංහලයා උමං ඉදිකිරීම පිළිබඳ ප්‍රවීණත්වයක්‌ ලබා තිබීම මේ ජනප්‍රවාදය තහවුරු කරන එක්‌ සාධකයකි. එසේම බෝවතැන්න ජලාශය ඉදිකරන කාලයේ ගඟ අසල උමඟක්‌ තිබී සමහරු එතුලට යම් දුරක්‌ ගමන් කර පවා තිබේ. නමුත් බෝවතැන්න ජලාශය ඉදිකිරීමේදී මෙම උමඟ ජලයට යටවී තිබේ. එසේම බෝවතැන්න ජලාශයෙන් ජලය නිකුත්කරන, උමං දොර මතුවන ස්‌ථානය හෙවත් ලෙනදොර ප්‍රදේශයට ඒ නම ලැබී ඇත්තේ අතීතයේ තිබූ උමඟක්‌ නිසාවෙන් යයි සිතිය හැකි අතර මේ තොරතුරු භූගත උමං මාර්ගය පිළිබඳව පවතින ජනප්‍රවාදයේ විශ්වසනීයත්වය තහවුරු කරවයි.

කලා වැවට නම ලැබුණු ආකාරය පිළිබඳ විවිධ ජනප්‍රවාද පවතී. තම මයිලණුවන් පැවසූ ආකාරයට තම ගමනට බාධා කළ "ගෝන නදී" හෙවත් කලාඔය හරස්‌කර මේ වැව ඉදිකළ බැවින් මෙය කලාවැව ලෙසින් හැඳින්වෙන්නට ඇතිබව එක්‌ ජනප්‍රවාදයකි.( දඹුලු ඔය , මිරිස්‌ගෝනි ඔය හා හැවැන් ඇල්ල යන ඔයවල් එකතුවීමෙන් කලාඔය නිර්මාණය වී පවතී.)

තවත් ජනප්‍රවාදයකට අනුව ජලාශය වැඩ නිමකිරීමට ආසන්න කාලයේ දී රජුගේ සොයුරියගේ සැමියා මෙන්ම රාජ සභාවේ මහා සෙනෙවි තනතුර දැරූ මිගාර ගේ පුතණුවන් වූ කාල නම් සත් හැවිරිදි දරුවා සවස්‌වරුවක වැව් බැම්ම දිගේ ඇවිදින අවස්‌ථාවක බැම්මේ වූ සිදුරක්‌ දැක්‌කේය. මේ සිදුර වැඩිවුවහොත් බැම්ම කැඩී මහා විනාශයක්‌ සිදුවිය හැකි බව වටහාගත් මේ නිර්භීත දරුවා එය තම අතින් වැසීමට උත්සාහ කර නොහැකි තැන තම ශරීරයෙන් එම සිදුර ආවරණය කරගෙන මුළු රැයම ගත කර, අධික ශීතල නිසා සිහිමුර්ජා තත්වයට පත්ව සිටියදී ඔහු සොයා පැමිණි පියා ඇතුළු පිරිසට දක්‌නට ලැබිණි. වැවේ සිදුර ඉක්‌මණින් පිළිසකර කර වැව බේරාගැනීමට හැකිවුවත් දරුවාගේ ජීවිතය මරුවාගෙන් ගලවා ගැනීමට නොහැකි විය. මේ නිර්භීත දරුවාගේ උදාර ක්‍රියාව අගය කරනුවස්‌ ධාතුසේන රජු විසින් වැව "කාල වැව" ලෙසින් නම් කල බවත් එය පසුව "කලාවැව" බවට පත්වී ඇතිබව මෙහිදී පැවසේ.

මේ සම්බන්ධයෙන් වන තවත් ජනප්‍රවාදයක මෙසේ සඳහන් වේ. දිනක්‌ රජවාසලට මාංශ සපයන දඩයක්‌කරුවෙක්‌ වනයේදී වනසතුන් සමඟ හැසිරෙන මනුෂ්‍යයෙක්‌ දැක ඒ බව රජවාසලට දැනුම්දීමෙන් පසු රාජ අණින් මේ පුද්ගලයාව අල්ලා රජු ඉදිරියට පමුණුවන ලදි. රජුගේ අදහස වුයේ මොහු යම් වස්‌තුවක්‌ ආරක්‌ෂා කරමින් සිටින බවයි. මේගැන ඔහුගෙන් විමසීමේදී තමාගේ නම "කඩවර" බවත් තමා නිවැසියන් සමඟ අමනාප වී කාලයක සිට වනයේ ජීවත් වන බවත් තමන් වනයේ ඇති කිසිදු වස්‌තුවක්‌ ගැන නොදන්නා නමුත් ජල පහරක්‌ ලතා ගොමුවකින් වැසීගිය අපූරු ස්‌ථානයක්‌ ගැන දන්නා බවක්‌ පැවසීය. රජුට මෙය පිළිsබඳ පරීක්‌ෂා කිරීමට සිත්වී තම සහ පිරිවර සමඟ ගොස්‌ පරීක්‍ෂා කර බැලූවිට ඉතාමත් සුන්දර ස්‌ථානයක "කල" නම් වැල් වර්ගයකින් සෑදුනු ලතා ගොමුවකින් ඔයේ ජලය ගැලීමට බාධාවී ඇතිබව දැක සිතුවිල්ලක්‌ පහල වී මෙහි වැවක්‌ ඉදිකර එය "කල වැව" ලෙස නම් කල බවත් පසුව එය "කලා වැව" බවට පත්වූ බව සඳහන් වේ.

කලාවැව තනා අවසන් වූ පසු රජු විසින් අනුරාධපුර නගරයට හා මහ ඉලුක්‌පල්ලම, එප්පාවල ප්‍රදේශවලට කලාවැවේ ජලය සැපයීමට හැකිවනසේ යෝධ ඇළ නමින් ඇළ මාර්ගයක්‌ ඉදිකරන ලද අතර මෙමඟින් අනුරාධපුර නගරයේ ඇති තිසාවැව , අභයවැව හෙවත් බසවක්‌කුලම මෙන්ම කලාවැව පෙදෙසේ සිට අනුරාධපුර අතර කුඩා ග්‍රාමීය වැව හැටකට පමණ දියවර සැපයීම , නගර වැසියන්ගේ පානීය මෙන්ම අනෙකුත් ජල අවශ්‍යතා සපුරාලීම සිදුවී ඇත. අනුරාධපුර නගරයේ පැවැත්ම යෝධ ඇළ මත රඳා පැවතුණේ යයි යමෙකු පැවසුවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ.

ක්‍රි.ව. 787 සිට 807 දක්‌වා මෙරට පාලනය කල දෙවන මහින්ද රජතුමා කලාවැවේ වාන අලුත්වැඩියා කොට ප්‍රතිසංස්‌කරණය කර ඇති අතර පළමුවන මහා පැරකුම්බා රජ සමයේ කලා වැව මෙන්ම යෝධ ඇළද ප්‍රතිසංස්‌කරණය කිරීම සිදුවිය. මෙහිදී යෝධ ඇළට තවත් දියපහරවල් එකතු වීමට සලස්‌වා ඇළ තවත් පෝෂණය කර මෙය "ජය ගඟ" නමින් නම් කිරීමද සිදුවිය.

ක්‍රි.ව. 1830දී පමණ කලාවැව බ්‍රිතාන්‍ය මිනින්දෝරුවන් විසින් සොයාගනු ලදුව ඒ පිළිsබඳ ඔවුන් ඉහළ උනන්දුවක්‌ දක්‌වන ලද අතර කලාවැවේ පුරාණ පිටවානේ විශාලත්වය ඔවුන්ට මහත් ප්‍රහේලිකාවක්‌ වූ බව මහාවංශය රෝම භාෂාවට පරිවර්තනය කල ජෝර්ජ් ටර්නර් මහතා කල පහත සටහනින් තහවුරු වේ.

"...... ගලින් සෑදු පිටවාන වූ කලි මේ දිවයිනේ සිදුකර ඇති විශාලම අඥාන ක්‍රියාවක්‌ විය හැකි අතර මේ දිවයිනේ ඇති ඉදිකිරීම් අතුරින් අනවශ්‍ය ලෙස මිනිස්‌ ශ්‍රමය නාස්‌ති කල අවස්‌ථාවකි...." නමුත් කලාඔය නිම්නයේ ඇතිවන අධික ගංවතුර තත්වයන්ට මනාව ඔරොත්තු දෙන ආකාරයට මේ පිටවාන සාදා ඇති බව පසුව තහවුරු විය.

කලාවැව හා යෝධ ඇළ ප්‍රතිසංස්‌කරණය බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ මෙරට පාලනය කල ආණ්‌ඩුකාරවරුන් කීපදෙනෙකුගේ ම නොමඳ උනන්දුව හා සහය යටතේ සිදුවිය. එසේම දහනව වන සියවස අගභාගයේ අනුරාධපුර සිටි රජයේ ඒජන්තවරුන් කිහිපදෙනෙකුම මේ මහාවැව ප්‍රතිසංස්‌කරණය අරභයා විවිධ වාර්තා ඉදිරිපත්කර තිබේ. ක්‍රි.ව. 1980 " පමණ උතුරුමැද පළාත් රජයේ ඒජන්තවරයා වූ එµaa. ස. µssෂර් මහතා ඉදිරිපත් කළ කලාවැව ප්‍රතිසංස්‌කරණ නිරීක්‌ෂණ වාර්තාවක කොටසක්‌ පහත දැක්‌වේ.

"...දැනට සිදුකරමින් පවතින වාරිමාර්ග ප්‍රතිසංස්‌කරණ කටයුතු අතුරින් ප්‍රමුඛස්‌ථානය කලා-බළලු වැව හා යෝධ ඇළට (කලාවැවේ සිට උතුරු දෙසින් වූ අනුරාධපුරය දෙසට දිවෙන) ලැබේ. සැතපුම් පහමාරක්‌ පමණ දිගින් යුත් වැව් බැම්ම ඉහළම ස්‌ථානයේදී අඩි හැටපහක්‌ පමණ උස්‌ වන අතර එහිදී පතුල අඩි දෙසීය හැටපහක්‌ පමණ වේ. අතීතයේ තුන් හතර වතාවක්‌ සිදුවූ බැම්මේ විනාශයට හේතුව පිටවානේ ප්‍රමාණවත් නොවන බව තහවුරුවී ඇති නිසා එය පාලනය කිsරීමට දැනට අඩි දෙසීයක්‌ පමණ දිගින් යුත් පිටවාන අඩි හයසීයක්‌ පමණ දික්‌ වනසේ ඉදිකිරීමට යෝජනා කර ඇත..."

කලාවැවේ බැම්ම බිඳී ගිය ස්‌ථාන පිළිසකර කර 1887 දී වැවේ අඩි පන්සීය හැටක්‌ දිග නවීන පිටවානක්‌ද ඉදිකර අවසන් කරන ලද අතර මීට සමාන්තරව සිදුවූ යෝධ ඇළේ ප්‍රතිසංස්‌කරණ කටයුතු අවසන් කර 1887 දෙසැම්බර් මස යෝධ ඇළ චාරිත්‍රානුකූලව විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි. මේ උත්සවයට සහභාගී වූ එවකට මෙරට ආණ්‌ඩුකාර ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩ්න් , රජයේ ඒජන්ත අයිවර්ස්‌ , ඉංජිනේරු රයිටන් හා ඉංජිනේරු මැක්‌ඩොනල්ඩ් යන මහත්වරු ඔරුවක නැඟී කලාවැවේ සිට යෝධ ඇළ දිගේ අනුරාධපුරයට ලඟා වූ බව ආර්.එල්. බ්‍රොaහියර් මහතා ලංකාව ගැන ලියූ පොතේ සඳහන් කරයි.

අතීතයේ පටන් මෙරට වාරි කර්මාන්තයට මහඟු සේවයක්‌ ඉටුකළ හස්‌ති බලකායන් ඒ සඳහා යොදාගත් අවසාන අවස්‌ථාව ලෙසද මෙය ඉතිහාසගතවී ඇත. බර ඇදීමේ හා එසවීමේ යන්ත්‍රොපකරණ නොමැති කාලවකවානුවක සිදුවූ කලාවැව ප්‍රතිසංස්‌කරණයේදී රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ (ඡඌ) හස්‌ති බලකාය ප්‍රශංසනීය කාර්යභාරයක්‌ ඉටුකරන ලදි. නමුත් එම හස්‌ති බලකායේ -බඹරා" හා -සෙල්ලතම්බි" නම් හස්‌තීන් දෙදෙනා මෙහි වැඩ අතරතුර" ඛේදජනක ලෙස මියයාම නිසා මෙයින් පසු එම දෙපාර්තමේන්තුව මඟින් සිදුකල ඉදිකිරීම් කටයුතු සඳහා හස්‌ති බලකායන් යොදා ගැනීම නවත්වන ලදි. (ආර්. එල්. බ්‍රොහියර් )

මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ මහවැලි ගඟේ ජලය පොල්ගොල්ලෙන් උතුරට හරවා කලාවැව, දඹුලුඔය , කණ්‌ඩලම වැනි වැව්වලට ජලය ලබාදීම නිසා එතෙක්‌ යලකන්නයේ කලාඔය නිම්නයේ පැවති ජල හිඟයට ස්‌ථිර විසඳුමක්‌ ලැබිණි. එසේම මේ වැව්වලින් ලබාදෙන ජලයෙන් වගාකරන කුඹුරුවලින් පිටවන ජලධාරා නිසා කලාඔය නිම්නයේ පහළින් පිහිටි රාජාංගණය වැවද පෝෂණය වේ. මහවැලි ව්‍යාපාරය යටතේ කලාවැවේ සිට අනුරාධපුරයට හා අමතර කුඹුරු වලට ජලය සැපයීම සඳහා "නව ජයගඟ" නමින් ඇළ මාර්ගයක්‌ හා වම් ඉවුරේ හා දකුණු ඉවුරේ තවත් ඇළ මාර්ග 2ක්‌ද ඉදිකරන ලදි. එසේම කලාවැවේ ආරක්‌ෂාව ඉහළ නැංවීමට කලාවැවට වාන් ගේට්‌ටු දෙකක්‌ද සවිකරන ලදී.

වර්ග කිලෝමීටර් 552ක ජලපෝෂක ප්‍රදේශයකින් සමන්විත කලාවැවේ ධාරිතාව අක්‌කර අඩි 100000ක්‌ (ඝන මීටර් මිලියන 122.1) පමණ වේ. කොටස්‌ දෙකකින් සමන්විත වැව් බැම්ම මීටර් 6500ක්‌ දිගින් යුක්‌ත වන අතර බැම්මේ උපරිම උස මීටර් 14.5 ක්‌ වේ. කලාවැවේ දැවැන්ත පිටවාන මීටර් 183.5 ක්‌ දිගින් යුක්‌ත වන අතර මීටර් 6.1 ක්‌ දිගින් හා මීටර් 6.1 ක්‌ උසින් යුත් අරීය ගේට්‌ටු දෙකකින්ද සමන්විතවේ. මෙයින් තත්පරයට ඝන මීටර් 3860 ක පමණ ජල ප්‍රමාණයක්‌ පිටකළ හැක. 

කලාවැව සොරොව් හයකින් සමන්විත වන අතර මේවායින් කුඹුරු අක්‌කර 62829කට පමණ දියවර සැපයීම සිදුකරයි. මෙයින් කලාවැව ගොඩ ඇළ , බළලු වැව ගොඩ ඇළ හා යෝධ ඇළ පුරාණ නිර්මාණ වන අතර ජයගඟ , වම් ඉවුරු ඇළ හා දකුණු ඉවුරු ඇළ මහවැලි ව්‍යාපාරය යටතේ නිර්මාණය කරන ලද්දකි.

මහවැලි ව්‍යාපාරය යටතේ කලාවැව ප්‍රතිසංස්‌කරණය කර වසර 35 ක්‌ පමණ ගෙවී පැවතුනද සුළු සුළු එදිනෙදා නඩත්තු කටයුතු හැරුනුවිට සැලකිය යුතු මට්‌ටමේ ප්‍රතිසංස්‌කරණයක්‌ සිදුකර නොමැතිව තිබූ බැවින් වැව ප්‍රතිසංස්‌කරණය කිරීමේ අවශ්‍යතාවය තදින් දැනී තිබුණි. මේ නිසා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ප්‍රධානම ව්‍යාපෘතියක්‌ වන වේලි ආරක්‌ෂණ හා ජල සම්පත් සැලසුම් ව්‍යාපෘතිය (DSඋRඡඡ) මඟින් රුපියල් මිලියන 150ක්‌ පමණ වැයකර කලාවැවේ ආරක්‌ෂාව හා නඩත්තුව පිලිබඳව පැවති අඩුපාඩු සම්පූර්ණ කරගැනීමට හැකිවීම මහත් භාග්‍යයක්‌ කොට සැලකිය හැකිය.

ප්‍රතිසංස්‌කරණයෙන් ලද නව ජවයත් සමඟ තවත් චිරාත් කාලයක්‌ මේ මහා නිල් දියවර කෙත්වතු සුත මුදිත වීමට අවශ්‍ය ජලය සපයමින් දැයේ ජීවනාලිය වන් අනාගත පරපුරට යහපත් හෙට දිනක්‌ උරුම කරලීම සඳහා යෙහෙන් වැජඹෙනු දැකීම සකල ශ්‍රී ලාංකීය ජාතියේම අනගිභවනීය ප්‍රාර්ථනයයි.

ඉංජිනේරු - තිළිණ ගුරුසිංහ
http://www.divaina.com/2017/01/29/feature21.html

0 comments: