Pages

Tuesday, June 27, 2017

කාවන්තිස්‌ස රජු දුටුගැමුණු කුමරුට එළාර සමඟ යුද්ධයට යැමට අවසර නුදුන්නේ ඇයි?

මාගම රාජධානිය ඇරැඹෙනුයේ අනුරාධපුර සිට රුහුණට පලාගිය මහානාග යුව රජුගෙනි. මහානාගට පසු මාගම රජ වූයේ ගෝඨාභය රජුය. මේ පරපුරේ කාවන්තිස්‌ස රජු මාගම රජ කරන විට ලංකාවේ රජරට පාලකයා වූයේ එළාරයි. එළාරගේ රාජ්‍ය කාලය ක්‍රිස්‌තු පූර්ව 205 - 161 අතර විය. එළාර ධර්මිෂ්ඨව අනුරාධපුර පාලනය කළ බව කියන මහාවංශය ඔහුගේ ධාර්මික බව - අපක්‌ෂපාත බව දැක්‌වීමට ජනකතා කීපයක්‌ ද ඉදිරිපත් කරයි. ඔහු උතුරු ඉන්දියාවේ උජු ගෝත්‍රික රජකු බව "සිංහලයේ මහාරාජ වංශය - 1" ග්‍රන්ථයේදී එල්ලාවල මේධානන්ද හිමි කියයි. "අනුරපුර නටබුන්" ග්‍රන්ථයේදී කඹුරුපිටියේ වනරතන හිමි දක්‌වන පරිදි එළාරගේ මධ්‍යස්‌ථ බව ප්‍රධාන හේතුව ඔහු ජෛන භක්‌තියකු වීමයි. එළාර හා සමකාලීනව මාගම රජ කළ කාවන්තිස්‌ස රජුගේ රාජ්‍ය කාලය වංශකතා අනුව දක්‌වා නැත. මහාවංශය කියනුයේ ඔහු අවුරුදු 64 ක්‌ රජකළ බවයි. තරුණ ගැමුණු කුමරු එළාර හා සටනට යැමට පියරජුගෙන් තුන්වරක්‌ අවසර ඉල්ලුවත් කාවන්තිස්‌ස රජු එම අවසරය නොදෙයි. ඉන් කිපුණු ගැමුණු කුමරු පියරජුට ස්‌ත්‍රී පළඳනා යවයි. පිය රජු කුමරු ඇල්ලීමට සොයද්දී ඔහු කඳුරටට පලා එයි. පියරජුට කිපුණු බැවින් කුමරුට "දුටුගැමුණු" යන නම ලැබුණු බව "මහාවංශය" 24 පරිච්ඡේදයේ 6-7 ගාථා කියයි. එහෙත් ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසය පළමු වෙළුම - පළමු කාණ්‌ඩයේ මහාචාර්ය දක්‌වන පරිදි දුටුගැමුණු යනු ධ්‍රැෂ්ට - නිර්භීත - බිය සැක නැති - යන අර්ථය මේ නමේ ගැබ් වී ඇත.

තරුණ ගැමුණු කුමරුට එළාර හා සටනට යැමට පියරජු අවසර නුදුන්නේ ගැමුණු කුමරුගේ හදිසි ප්‍රහාරයකින් මාගම රාජ්‍යය පැරදුණහොත් දීර්ඝ කාලයකට මාගම රාජ්‍යයේ එළාරට විරුද්ධව යුද සැලසුම් බිඳවැටිය හැකි බැවිනි. දීර්ඝ කාලීන මාගම යුද සැලසුම් තරුණ ගැමුණු කුමරුගේ හදිසි ආක්‍රමණයකින් බිඳවැටීමට ඇති ඉඩ ගැන දුරදක්‌නා නුවණක්‌ තිබූ කාවන්තිස්‌ස රජුට අවබෝධ විය. එළාරට විරුද්ධව මාගම පරපුරේ රජ පෙළපත පරම්පරා දෙක තුනක්‌ සකස්‌ කළ දීර්ඝකාලීන යුද සැලසුම් විය. ඒ යුද සැලසුම් මොනවාදැයි කෙටියෙන් පහත දැක්‌වෙයි. 

මාගම පරපුරේ එදා තරගකාරී රාජ්‍යයක්‌ වූයේ කතරගම දසබෑ රජ පරපුරයි. මාගම ගෝඨාභය රජු මාගම හා තරගකාරී කතරගම දසබෑ රජවරුන් මරා ඒ පව් ගෙවීමට මහවැලි ගඟෙන් එගොඩ මෙගොඩ විහාර පන්සීයක්‌ කරවා "ගෝඨාභය" නම් හිමිනමකට පිදූ බව "ධාතුවංශය" කියයි. බෝවත්තේගල ලෙන්ලිපිවල දසබෑ රජ පරපුර ගැන කියෑවෙයි. මේ අනුව මාගම ව්‍යාප්තියේ පළමු පියවර ගෝඨාභය රජු අරඹා ඇත.

එදා මාගම හා තරගකාරී තවත් රාජ්‍යයක්‌ වූයේ කැලණිය හා ගිරිනුවරයි. මේ රාජ්‍ය දෙක විවාහ ගනුදෙනු මඟින් ජයගැනීමට කාවන්තිස්‌ස රජු කටයුතු කළේය. "ධාතුවංශය" පරිදි කැලණියේ ශිව රජුගේ බෑණා වූ ගිරිනුවර ගිරිඅභය රජුට කාවන්තිස්‌ස රජු තම සොහොයුරිය වූ සෝමාදේවි විවාහ කර දුන්නේය. ඒ මඟින් කැලණිය හා ගිරිනුවර කාවන්තිස්‌ස රජුට නතු විය.

එදා මාගම හා තරගකාරීව සිටි කැලණියේ කැලණි රජ පරපුර ජයගැනීමට කාවන්තිස්‌ස රජු විවාහ ගනුදෙනුවක්‌ යොදාගත්තේ ය. රුහුණු රට හැඩඔය අසල කැලණි රජ පරපුර ආරම්භ කළේ අනුරාධපුර රජ කළ මුටසිව රජුගේ පුතෙකි. මේ රජුට 

"ආර්ය උත්තිය" නමින් සහෝදරයකු විය. කැලණිතිස්‌ස රජුගේ දූ වූ විහාරදේවිය කාවන්තිස්‌ස රජු පාවා ගැනීමෙන් කැලණිය මාගමට පක්‌ෂපාතී විය. කාවන්තිස්‌ස - විහාරදේවි විවාහය දේශපාලනමය විවාහයකි. "සීහළ වත්ථුව" පරිදි මේ දෙදෙනා එකට වැඩී තරුණ කල විවාහ පත් විය. ගොඩබිම සිටි සතුරන් නිසා කැලණිතිස්‌ස රජු තම දූ වූ විහාරදේවිය මුහුදින් මාගමට යෑවීම වංශකතා ඇය මුහුදට බිලිදීමක්‌ ලෙස දක්‌වයි. "පාලි රසවාහිනී" කාකවණ්‌නතිස්‌ස වස්‌තුව අනුව කාවන්තිස්‌සට විහාරදේවිය පාවා දෙන විට ඇගේ වයස අවුරුදු දොළහකි.

මාගම රාජ්‍යයේ තවත් කුඩා තරගකාරී රාජ්‍ය කීපයක්‌ එදා විය. සේරුනුවර - ගිරිනුවර - ලෝණ නුවර ඒවාය. ධාතුවංශය - ලලාට ධාතු වංශය - සියම් රටේ ලියෑවුණු "ජිනකාලමාලි" ග්‍රන්ථ අනුව කාවන්තිස්‌ස රජු සේරුවිල දාගැබ කරවීමේ ආගමික මුහුණුවර මඟින් මේ කුඩා රාජ්‍යය තමාට නතුකර ගත් බව පෙනෙයි. සේරුවිල දාගැබ උත්සවයට සේරුනුවර ශිව රජු - ගිරිනුවර ගිරිඅභය රජු - කැලණියේ ශිව රජු - ලෝණනුවර මහානාග රජු ආ බව ධාතුවංශය ලලාට ධාතුවංශය - ජිනකාලමාලි විස්‌තර කරයි. ඒ මඟින් මාගම රාජ්‍යය එළාරගේ රාජ්‍ය මායිම දක්‌වා සේරුවිල දක්‌වා ව්‍යාප්ත වූ බව "නැගෙනහිර උතුර සිංහල බෞද්ධ උරුමය" ග්‍රන්ථයේ මහාචාර්ය එල්ලාවල මේධානන්ද හිමි දක්‌වයි.

කැලණි රජ පරපුරේ කැලණිතිස්‌ස රජුගේ දූ වූ විහාරදේවි විවාහකර ගැනීම මාගම රජ පරපුර ලැබූ විශාලම රාජ්‍ය ව්‍යාප්තියයි. එහෙත් විහාරදේවියගේ මව පිළිබඳ තොරතුරු අප්‍රකට බව "කාවන්තිස්‌ස රජතුමා හා විහාරදේවිය" ග්‍රන්ථයේදී එල්ලාවල මේධානන්ද හිමි කියයි. කොටා දැමූ හෙළ ලෙන් ලිපි දහහතරක "අභිසවෙර" නමින් දැක්‌වෙනුයේ විහාරදේවියයි. ඇගේ සහෝදරයකු වූ චුල්ල පිණ්‌ඩතිස්‌ස ථෙරනම ගැන ජිනකාලමාලි ග්‍රන්ථය කියයි.

කාවන්තිස්‌ස රජු හා එළාර අතර මායිමේ මහවැලි ගඟේ කසාතොට එදා ඉතා වැදගත් විය. කසාතොට රැකවලට කාවන්තිස්‌ස රජු තමාගේ වෙනත් බිසවකගේ පුතකුවූ දීඝාභය කුමරු යෙදවූ බව මහාවංශය හා සහස්‍රවත්ථුප්‍රකරණය කියයි. පාලි රසවාහිනී සුරනිමල වස්‌තුව අනුව මේ දීඝාභය කුමරු කසාතොට යොදුන් හයක්‌ අවටින් හමුදාව බඳවාගත් බව කියයි. එහෙත් පසුකල මේ දීඝාභය එළාර පිලට එකතුව සිටි බව වංශකතා කියයි. ඔහු තමාට නම්මා ගැනීම එළාරගේ දක්‌ෂකමක්‌ විය.

මහාවංශය - සහස්‌සවත්ථු - පාලි රසවාහිනී - පරිදි කාවන්තිස්‌ස රජුට යෝධයෝ දහදෙනෙක්‌ වූහ. මහාවංශය - නොසඳහන් දාඨාසේන මහානෙල යෝධයන් ගැන පාලි රසවාහිනියේ එයි. ජනප්‍රවාදවල ඔහුට සිටි බුලතා යෝධයා ගැන එයි. බුලතාගේ බිරිඳ ද යෝධ කාන්තාවකි. දසමහා යෝධයන් යටතේ කාවන්තිස්‌ස රජු යුද හමුදාව 1110 රැස්‌ කළ බව මහාවංශය - සහස්‌වත්ථු - පාලි රස වාහිනි කියයි (එළාරට විසිමහා යෝධයන් විය.)

එළාර හා සටනට රුහුණු රට කාවන්තිස්‌ස රජු ආයුධ නිෂ්පාදනය කළ අතර ඒවා කාවන්තිස්‌ස රජුගේ පෞද්ගලික නිරීක්‌ෂණයට පාත්‍ර වූ බව පාලි රසවාහිනියේ නන්දිමිත්‍ර - සුරනිමල - දාඨාසේන - කතාවස්‌තුවල කියෑවෙයි. කාවන්තිස්‌ස රජු මෙසේ එළාර සමඟ යුද්ධයට ක්‍රමානුකූලව සූදානම් වන අතරතුර තම බාල පුත් සද්ධාතිස්‌ස කුමරු දීඝවාපී ප්‍රදේශය රැකීමට හා එහි ගොවිතැන් දියුණු කොට යුද්ධය සඳහා ආහාර රැස්‌කිරීමට දීඝවාපියට යෑවූ බව මහාවංශය හා පාලි රසවාහිනී කියයි. මේ අතරතුර කාවන්තිස්‌ස රජු ආරක්‌ෂාව සඳහා තරුණ ගැමුණු කුමරු "දාවා" නම් හිතවත් සෙනෙවියා පිය තනතුරේ තබා ගැමුණු කුමරු ආරක්‌ෂාව සඳහා ගිරිරට ගිරිඅභය රජු වෙත යවා ඇත. ඒ ගැමුණු කුමරුට ආරක්‌ෂාව සඳහා ගත් පියවරක්‌ බව පෙනෙයි. කුඩුම්බිගල ලෙන් ලිපියක මේ දාවා ඇමැතිගේ නම සෙන්පති "ජුව" ලෙස සඳහන් වන බව මහාචාර්ය පරණවිතානගේ "ලංකාවේ බ්‍රාහ්මී ලෙන් ලිපි" ඉංග්‍රීසි ග්‍රන්ථයේ අංක 500 දරන ලෙන් ලිපියෙන් සඳහන් වෙයි. මේ පිළිබඳ සටහනක්‌ එල්ලාවල මේධානන්ද හිමිගේ "දුටුගැමුණු මහ රජතුමා" නැගෙනහිර උතුර සිංහල බෞද්ධ උරුමය" ග්‍රන්ථවල එයි. 

කලක්‌ යන විට ගිරිඅභය රජු හා ගැමුණු කුමරු අතර කුල ගැටුමක්‌ ඇරැඹුණු බව "ධාතුවංශය" කියයි. මෙය රජ පවුල් පිළිබඳ ගැටුමක්‌ විය. මේ ගැටුමට පසු ගිරිනුවර ගිරිඅභය රජු තම බිසව වූ සෝමාදේවිය සමඟ ගිරිරට අත්හැර සේරුනුවර ශිව රජු වෙත යයි. ධාතුවංශය විස්‌තර කරන තොරතුරු අනුව සෝමනුවර වෙරුගල් උතුරේ පිහිටා ඇති බව "දුටුගැමුණු මහ රජතුමා" ග්‍රන්ථය පෙන්වා දෙයි. ධාතුවංශය අනුව සේරුවිල දාගැබ කරවීමට පෙර කාවන්තිස්‌ස රජු ගැමුණු කුමරු ආපසු මාගමට කැඳවා අවශ්‍ය උපදෙස්‌ ලබාදී තිස්‌ස කුමරු - විහාරදේවිය සමඟ සේරුනුවර දාගැබ කරවීමට ගිය බව කියෑවෙයි.

මේ අනුව ගිරිරට සිට ආපසු මාගමට ගැමුණු කුමරු දාවා ඇමැති සමඟ කැඳවා මාගම රාජ්‍යය භාරදී කාවන්තිස්‌ස රජු සේරුනුවර දාගැබ කරවීමට ගිය බව ධාතුවංශය කීම වැදගත් සටහනකි.

කාවන්තිස්‌ස රජුගෙන් එළාර හා සටනට තුන්වරක්‌ අවසර ඉල්ලා පිය රජු අවසර නුදුන් විට කුමරු කඳුරටට පලායන්නේ මින් පසුවයි. පාලිරසවාහිනී කියනුයේ තරුණ ගැමුණු කුමරු මායා රට කොත්මලේට පලා ගිය බවයි. සියම් රට "ජිනකාලමාලී" ග්‍රන්ථය අනුව පියා හා ගැටී ගැමුණු කුමරු කඳුරටට පලා යන විට ඔහුගේ වයස අවුරුදු දහසයක්‌ විය. කුමරු අවුරුදු දොළහක්‌ "ගුත්තා" නමින් කොත්මලේ සැඟවී සිටි බව කොත්මලේ ජනප්‍රවාදවල එයි. ඒ කොත්මලේ කොටඟේපිටිය ගමේ "ඌරු පැළැස්‌ස" හෙවත් වීසුරු ගෙදරයි. "දුටුගැමුණු මහ රජතුමා" ග්‍රන්ථයේ එල්ලාවල මේධානන්ද හිමි කියනුයේ දාවා ඇමැති යටතේ කුමරු ගිරිරටට යෑවීම මෙන් තරුණ කුමරු කොත්මලේට පලා යැම ගැමුණු කුමරුගේ ආරක්‌ෂාවට පිය රජු ගත් පියවරක්‌ බවයි. එහෙත් කාවන්තිස්‌ස රජු මියයන විට කුමරු සිටියේ කඳුරට කොත්මලේය. පිය රජු මළ පසු කුමරු කොත්මලේ සිට මාගමට පැමිණි බව පාලි රසවාහිනී වස්‌තුව කියයි. පාලි සහස්‌සවත්ථුවේ "දුට්‌ඨ ගාමිණී" කතාවේ දුටුගැමුණු කුමරු ථෙරපුත්තාභය යෝධයා සමඟ මහා මලය රට පාලත්ථ සතුරා පරදවා උයනක්‌ හා රජමැඳුරක්‌ කළ බව කියයි. මෙය කොත්මලේට පලා යැමට පෙර සිදුවූවක්‌ ද නැත්නම් පසුව සිදුවූවක්‌ දැයි පැහැදිලි මදිය.

එස්‌. කේ. ජයවර්ධන
http://www.divaina.com/2017/06/25/feature12.html

Pic Source

0 comments: