Pages

Thursday, October 5, 2017

යතිවරුන්ට , බෞද්ධ සමාජයට, සිංහලයන්ට අත්වෙන ඉරණම ගැන කණගාටුයි. රජය පියවරක් නොගැනීම ඊට අනුබල දීමක් දැයි හැඟෙයි! – රාමාඤ්ඤ මහා සංඝ සභාව

වර්තමානයේදී බෞද්ධ ජන සමාජයට හා සිංහලයන්ට අත්වී ඇති ඉරණම පිළිබඳව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක මහා සංඝ සභාව කනගාටු වන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දෙදහස් පන්සිය වසරකට අනාදිමත් කාලයක් තිස්සේ පවතින උරුමය හා ශ්‍රී ලාංකේය බෞද්ධ ජන සමාජයේ උන්නතිය සඳහා මහා සංඝරත්නය උදාර මෙහෙවරක් ඉටුකළ බවත් කිසිදු දිනයක කිසිදු ජාතියක් ඉදිරියේ දණ නොනැමූ උදාර ජාතියක් බවට සිංහල බෞද්ධයන් පත්ව සිටි බව එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි හිමිපාණන් වහන්සේගේ දැනුවත්වීම මත එම පාර්ශ්වයේ කාරක සංඝ සභික හිමිවරු වන මහාචාර්ය අක්මීමන ධම්මපාල හිමි, ගලහ සිරිශාන්ත හිමි, මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි, කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමි විසින් මෙම නිවේදනය නිකුත්කොට තිබේ.

අධිරාජ්‍යවාදී පාලන යුගයේදී පවා එම පාලකයන් මහා සංඝරත්නයට අභියෝග නොකළ අතර උන්වහන්සේ රටේ උරුමය වෙනුවෙන් කළ කැපවීම ඔවුන් උපේක්ෂාවෙන් විද දරා ගත් බව සඳහන් කරන කාරක සංඝසභික හිමිපාණන් වහන්සේ සිය නිවේදනයේ මෙසේ සඳහන් කොට ඇත.

1. සිය උරුමය වෙනුවෙන් නැගී සිටින බෞද්ධ භික්ෂුන් වහන්සේලාට, චීවරධාරීන්, පිස්සන්, හොරුන්, මදාවියන්, රස්තියාදුකාරයන් ලෙසින් හඳුන්වා දෙමින් මැති ඇමැතිවරුන් සංවිධානාත්මකව කරනු ලබන අපහාස, උපහාස පිළිබඳ රජය කිසිදු පියවරක් නොගැනීම.

2. එම නින්දා අපහාස හමුවේ රටේ බෞද්ධ උරුමය සුරැකීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳී සිටින නායකයින් මේ සඳහා වක්‍රාකාරයෙන්, අනුබල දෙමින් ඔවුන් දිරිගන්වන බවත් හැඟී යයි. නායකයින් තමන් පත් කළ මැති ඇමැතිවරුන් මෙසේ කටයුතු කරද්දී ඔවුන් පාලනය නොකර නිහඬව සිටීම හිතාමතා අනුබල දීමක් බව අපගේ පිළිගැනීමයි.

3. තිස් වසරක බියකරු යුද්ධයෙන් රට බේරාගත් රණවිරුවන් මෙන්ම ඒ වෙනුවෙන් කැප වූ නායකයින්ට එරෙහිව ක්‍රියා කිරීම හා නින්දා අපහාස කිරීමත් ඔවුන්ට එරෙහිව ඇමැතිවරුන් සිදුකරන විවිධ භයානක ප්‍රකාශ පිළිබඳ නිහඬව සිටීම.

4. මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය මේ මොහොතේ රටට නවතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සුදුසු නොවන බැවින් මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කිසිදු වගවිභාගයකින් තොරව පාර්ලිමේන්තුවකට ඉදිරිපත් නොකොටම බැහැර කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියදී එය නොසලකා හැරීම.

5. සංහිඳියාවේ මුවාවෙන් රටේ අනන්‍යතාවය, බෞද්ධ උරුමය විනාශ කොට රට තුළ මෙතෙක් පැවැති සහජීවනය නැති කර දැමීම මෙන්ම සරණාගත මුවාවෙන් රටට පැමිණෙන යම් යම් බලවේග පිළිබඳ නිවැරදි තීරණයක් නොගැනීම තුළින් සමාජය තුළ නොසන්සුන්තාවයක් ඇති වීමට ඉඩ හැරීම.

6. අන්තවාදී දේශපාලකයින්ගේ මැදිහත්වීමෙන් රක්ෂිත වනාන්තර විනාශ කිරීමට ඉඩහැරීම, පුරාවස්තු වනසා දැමීම, ජාතික සම්පත් විකුණා දැමීම මෙන්ම සයිටම් වැනි රටට බලපාන වැදගත් කිසිදු ගැටලුවකට විසඳුම් ලබාදීමට උත්සාහ නොකොට ගැටලුව මතුකර පෙන්වන්නන් හට සංවිධානාත්මක ලෙස පහරදීම හා නින්දා අපහාස කිරීම දිගින්දිගටම සිදුවෙමින් පැවැතීම.

ඉහත කී කරුණු සම්බන්ධයෙන් සිය නිකායේ මෙන්ම කාරක සංඝ සභාවේ අප්‍රසාදය හා කනගාටුව යළිත් පළ කරන බව එම පාර්ශ්වයේ කාරක සංඝ සභික හිමිපාණන් වන පූජ්‍ය අක්මීමන ධම්මපාල හිමි, පූජ්‍ය ගලහ සිරිශාන්ත හිමි, පූජ්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි, පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නායක හිමියන් සිය නිවේදනයේ සඳහන් කොට තිබේ.

Colombo Today

0 comments: