Pages

Thursday, October 26, 2017

හින්දු කෝවිල්වල සත්ව බිලිපූජා උසාවියෙන් අත්හිටුවයි!

හින්දු ආගමික උළෙල සඳහා සතුන් බිලිදීම හා කෝවිල් ඉදිරිපිට සතුන් මැරීම අත්හිටුවමින් යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා විසින් පෙරේදා 24 දා නියෝගයක්‌ නිකුත් කොට තිබේ.

අවිහිංසාවාදී හින්දු පූජකවරුන් පිරිසක්‌ විසින් යාපනය මහාධිකරණයට ගොනු කරන ලද පෙත්සමක්‌ සලකා බැලීමෙන් පසුව විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කොට තිබේ.

පෙත්සමට අනුව ඉන් කියවුණේ ගතවූ වසර 300 ක කාලය තුළ හින්දු කෝවිල්වල විවිධ උත්සව වෙනුවෙන් එළුවන් 3000 ක්‌ පමණ වසරකට මරා දමන බවයි. ඊට අමතරව වසරකට කුකුළන් 10,000 ක්‌ පමණ මරාදමන බවද පෙත්සමේ සඳහන් වෙයි.

හින්දු දහමට අනුව එක්‌ පාර්ශ්වයක්‌ සම්පූර්ණයෙන්ම නිර්මාංශ වන අතර තවත් කොටසක්‌ බිලි පූජා දෙමින් මස්‌ අනුභව කරමින් දෙවියන් උදෙසාද මාංශ පූජා කරනු ලබයි.

පෙත්සම විභාග කළ අවස්‌ථාවේදී එක්‌ හින්දු පාර්ශ්වයකට මාංශ පූජාව ඉතා අත්‍යවශ්‍ය බවට මතයක්‌ ඉදිරිපත්වූ අතර එය සැලකිල්ලට ගත් විනිසුරුවරයා එවැනි අවශ්‍යතාවයන් සඳහා රජයේ ලියාපදිංචි මස්‌ අලෙවි සල්වලින් මාංශ මිලට ගෙන පූජාවන් පවත්වන ලෙසද නියෝග කොට තිබේ.

මෙම නියෝගයෙන් පසුව යාපනය මහාධිකරණ විනිසුරුවරයාට උතුරේ නිර්මාංශ හින්දු කණ්‌ඩායම්වල ප්‍රණාමය පුදකර ඇති අතර ඊට එරෙහි කණ්‌ඩායම් පවසා ඇත්තේ මෙම අධිකරණ නියෝගයට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවයි.

දිනසේන රතුගමගේ
http://divaina.com/daily/index.php/puwath-2/1822-2017-10-25-15-52-54

Pic Source

0 comments: