Pages

Friday, August 24, 2012

සභ්‍යත්වයේ හා සාමයේ ආගමේ නාමයෙන්... ඝාතනය වූ පකිස්‌තානයේ ෂෆීලියා දුවණියගේ කතාව (2)

දැන් ඉතින් නම්බුද?
ඝාතනය වූ පකිස්‌තානයේ ෂෆීලියා දුවණියගේ කතාව

පකිස්‌තානයේ මහාධිකරණ විනිසුරු රොඩ්රින්ක්‌ එවන්ස්‌ තමා ඉදිරියේ විත්ති කූඩුවේ සිටිනා අඹුසැමියන් දෙස ඔවුන් විනිවිද යන බැල්මක්‌ හෙළා අනතුරුව මෙසේ ඇසුවා.

ඇයට ජීවිතය ලබා දුන් මව්පියන් හැටියට ඇයගේ දිවි තොර කිරීමෙන් ඔබලා ලබා ගත්තේ මොනවාද?

විනිසුරු ඉදිරියේ විත්තිකූඩුවේ සිටියේ ඉෆ්ටිකාර් අහමඩ් (52) හා ඔහුගේ බිරිය වන ෆර්ෂානා (49) යි. විනිසුරු "ඇය" නමින් හැඳින්වූයේ මරා දමන ලද ෂෆීලියායි.

විනිසුරුගේ පැණයට පිළිතුරු සෙවීමට නොහැකි වූයේ ඒ දෙදෙනාට පමණක්‌ නොව උසාවියේ සිටි අනික්‌ පිරිසටත් පිළිතුර කුමක්‌ දැයි සිතාගත නොහැකි වුණෙන් ඔවුන් තුෂ්ණිම්භූතව ගල් ගැසී සිටියා.

මැද පෙරදිග බොහෝ රටවල පාරම්පරික කුලධර්ම හා ඇතැම් සංස්‌කෘතිකාංග නිසා ඉතා කෲර අන්දමින් බිඳ වැටෙන මානව සම්බන්ධතා බොහොමයි.

වැඩිපුරම මේ තත්ත්වයට ගොදුරු වන්නේ කාන්තාවන්. ඉන්දියාවේ නම් සති පූජාව, ළමා විවාහ ගෘහ හිංසනය, ගිනි තැබීම, ගැහැනු කළල ගබ්සා කිරීම වැනි අදත් එරට ඇති බව එහි බලධාරීන් නොදුටු ලෙස සිටින හැටි පුදුම සහගත යෑයි මරණයට කැප වී සිටින බෙංගාල ලේකා තස්‌ලිමා නස්‌රින් මෑතකදී ප්‍රකාශ කොට තිබුණා.

පකිස්‌තානයේ බොහෝ විට පවුලේ ගෞරවය සඳහා බව කියමින් ගැහැනු මරා දමනවා. මෑතකදී එක්‌ නීතිඥයකු තම සොහොයුරියට වෙඩි තබා මරා දමා ඇත්තෙ උසාවියේදීයි. මේ අතර ටෙමිනා දුරානි, ශාන්තාපිත් රාම් බරපතළ ගෘහ හිංසනයට ලක්‌වූ ප්‍රභූ කතුන්.

අද ඔබ කියවන්නේ එවැනි මිනීමැරුමක්‌ ගැන පුවතක්‌. මෙහිද මේ යුවතිය ඝාතනය කර ඇත්තේ ඇගේ පියා සහ මව විසිනි.

බටහිර ලෝකයට අනුව හැඩ ගැසුණු ෂෆීලියා ගත කළේ සාමාන්‍ය ජීවිතයක්‌, ඇය සංස්‌කෘති දෙකකට මැදිවි සිටියා. ඔබලාට ඕනෑ වුණා ඔබලාගේ සංස්‌කෘතික හා සදාචාරාත්මක ආකල්ප ඇය මත බලෙන් පටවන්නට විනිසුරු යළිත් ඇසුවා.

ෂෆීලියාට ඕනෑ වුණේ නව ලෝකයට ගැලපෙන ලෙස ජීවිතය හැඩ ගස්‌වා ගන්නයි. ඇයි ඔබලා එයට විරුද්ධ වුණේ. ඔවුන් නිහඬව සිටියා මිස කිසිවක්‌ කීවේ නෑ.

නඩු විභාගය නැරඹීම සඳහා බොහෝ පිරිස්‌ උසාවියේ රැස්‌වී සිටියා. ඒ අතර දැඩි ශෝකයෙන් ඇළලී ගිය මුහුණු කීපයකුත් තිබුණා. ඒ එම දෙමාපියන්ගේ අනික්‌ දුව මෙලිසාත්, පුතා ජුනයිඩ් නැගණිය වූ ඇලේෂාත්ය.

ෂෆීලියා අහමඩ් එංගලන්තයේ උපත ලබා එහි පුරවැසිභාවයද ලද 27 හැවිරිදි යුවතියක්‌. ඇය එවේලේ විත්ති කූඩුවේ ඉන්නා ඉෆ්ටිකාර් හා ෆර්ෂානාගේ වැඩිමල් දුවයි. කුඩා කාලයේ සිටම එංගලන්තයේ හැදුණු වැඩුණු ෂෆීලියා බටහිර පන්නයට ඇදී යැම ස්‌වාභාවිකයි. ඇගේ ජීවිතය මුල පටන්ම සටන් හා විරුද්ධවාදීකම්වලින් පිරී ගිය එකක්‌. ඇය මව්පියන්ගේ සම්ප්‍රදාය සංස්‌කෘතික අගයන් නොතකා හැරීමට ක්‍රියා කළා.

තමා පිරිසිදු කිරීමට වෑයම් කරන තම පියාගේ වංචා සහගත අතීතය ඇතැම් විට ඇය දැන සිටින්නට ඇති. ඉෆ්ටිකාර් කලින්ද විවාහයක්‌ කරගත් අයෙක්‌. ඒ ඩෙන්මාර්ක්‌ කාන්තාවක වන විවී ලෝන් ඇන්ඩසන් සමග. ඔහුගෙන් ඇයට ටෝනි නම් පුතෙකුත් ඉන්නවා.

ඉෆ්ටිකාර් දෙවැනි වර ෆර්ෂානා සමග විවාහ වී ඇත්තේ බොරු කියා මුල් බිරිය රැවටීමෙන් පසුවයි. ෆර්ෂානා ඔහුට ළමා කාලයේ සිටම විවාහ වීමට තෝරා තිබූ ස්‌ත්‍රිය බවයි. ඔහු කියා සිටියේ.

මේ කරුණ කෙලින්ම එයට අදාළ නොවුණත් ඔහුගේ අසාධාරණ තර්ජනාත්මක බලපෑමත් පකිස්‌තාන් කටුක සම්ප්‍රදායි ජීවිතයට ඇති අප්‍රසාදය ෂෆීලියාට බලපාන්න ඇති.

පාසලට යන අතර අතිරේක රැකියාවක්‌ කළ ෂෆීලියා තමාට අවශ්‍ය වූ මුදල් උපයා ගත්තා. බටහිර පන්නයට නිමවූ ඇඳුම් ආයිත්තම් මිලදී ගන්නා අඩි උස පාවහන් පැළඳුවා. ජංගම දුරකථනයක්‌ පරිහරණය කළා. මුස්‌ලිම් තරුණයන් ඇසුරු කළා.

ඇගේ මේ හැසිරීම ඉෆ්ටිකාර් රිස්‌සුවේ නැහැ. ඔහු ඒවා දුටුවේ සංකර පැවතුම් හැටියටයි. මේ අතර පසුගිය මාස කීපය තුළ තම මව්පියන් ගෙන් තමාට එල්ල වන ශාරීරික හා මානසික පීඩාවලින් ඇතැම් විට තදබල පහර දීම්වලින් පවා ගැලවෙන්නට වෙර දරමින් සිටියා.

තමාට එල්ල වන හිංසා පීඩා ගැන සමාජසේවා සංවිධාන හා ගුරුවරුන් දැනුවත් කළ නමුත් ඉන් වැඩක්‌ වූයේ නැහැ. ෂෆීලියා පකිස්‌තානයේ රඳවා ගැනීමට ඇගේ මව්පියන්ට ඕනෑ කළා. ඒ සඳහා ඔවුන් එක්‌ උපක්‍රමයක්‌ සැලසුම් කළා. ඒ ඇයට විවාහ යෝජනාවක්‌ ගෙන ඒමයි. ඔවුන් ඒ සඳහා තෝරාගෙන තිබුණේ වැඩි වයස්‌ පුද්ගලයෙක්‌. එහෙත් තමා කිසිදාක නුදුටු වැඩි වයස්‌ පුද්ගලයකු හා විවාහ වීම ඇය එකහෙළා ප්‍රතික්‍ෂේප කර සිටියා.

අවසානයේ ඇය නිදහස පතා දෙවතාවක්‌ම නිවසින් පැන ගියා. එහෙත් දෛවයෙන් ඇයට ගැලවීමක්‌ ලැබුණේ නැහැ. ආපසු හිටපු නිවසටම ඇයට එන්නට සිදුවුණා. අවසානයේ ඇය තීරණයක්‌ ගත්තා. එය ඉතා අවාසනාවන්ත තීරණයක්‌. ඇය වැසිකිළියට යොදන විෂ ද්‍රවණයක්‌ පානය කළා.

එහෙත් ඇය එයින් මිය ගියේ නැහැ. රෝහල් ගත කරනු ලැබූ ෂෆීලියාට මාස හතරක්‌ එහි ගත කිරීමට සිදු වුණා. ජීවිතය බේරුණත් ඇගේ උගුරට තදබල ලෙස හානි වී තිබුණා. රෝහලේ ඉතා පැරණි ප්‍රතිකාර ක්‍රම ඇගේ සිරුර විනාශකර තිබුණා.

විනිසුරු යළිත් විත්තිකරුවන් අමතා කතා කළා.

ඔබ ඔබේ දුවට පාසලේ දැරියන් සමග පවා ඇසුරු කිරීමට ඉඩ දුන්නේ නැහැ. ඇය කැමැති ඇඳුමක්‌ ඇඳීමට හා මිතුරන් ඇසුරු කිරීමට ඇති අයිතියට බාධා කළා.

ඔබ ඔබේ රටේ සංස්‌කෘතික ආකල්ප ඔබේ දුවට බලෙන් කාවැද්දීම සඳහා ඇයට හිංසා පීඩා කිරීමත් සමග මෙම අවුල උග්‍ර වුණා. ෂෆීලියා ඔබේ රටේ පිළිවෙත් නොතකා හැරීම නිසා අන් අය ඉදිරියේ ඔබට ඇති වූ ලැඡ්ජාව අවමානය ඔබගේ ලෙයින් උපන් තමාගේ ආදරණීය දුවට වඩා ඔබට ලොකු වුණා.

එමෙන්ම ඔබ එක්‌ දුවක මරා දැමීමෙන් ඔබගේ දරුවන්ගේ අනාගතය මුළුමනින්ම විනාශ කළා' යෑයි පැවසූ විනිසුරුගේ සංවේදී ප්‍රකාශ මුළු උසාවියම අසා සිටියේ කම්පාවෙන් යුතුවයි.

මෙම මිනීමැරුම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ ඔවුන්ගේ අනික්‌ දුවක වූ අලේෂා (23) පැමිණිල්ලේ සාක්‍ෂිකාරියක වී දුන් සාක්‍ෂිය මුළු නඩුව කෙරෙහි ප්‍රබල ලෙස බලපෑවා.

අම්මා එවේලේ ඇයට පහර දෙමින් සිටියා. දැන්වත් මෙය ඉවරයක්‌ කරන්නැයි' ඈ කීවා. ඊට පසු තාත්තා ප්ලාස්‌ටික්‌ බෑගයක්‌ අක්‌කාගේ මුහුණට දමා ඇගේ හුස්‌ම නවතින තුරු සිරකරගෙන සිටියා.

ඉන්පසු ඇගේ සිරුර ලොකු බෑගයක දමා මෝටර් රිය වෙත ඔසවාගෙන ගියා. එය දුටු මගේ මල්ලී ජානුඩ් කීවේ එය එයාට සිදුවිය යුතු දෙයක්‌ කියායි. ඇලේaෂා කඳුළු පිරි දෙනෙතින් යුතුව වෙව්ලන හඬින් උසාවිය ඉදිරියේ කියා සිටියා.

උසාවිය ඉහළට ගත් හුස්‌ම පහළට හෙළා ගත නොහැකිව භ්‍රාන්ත වී බලා සිටියා. වින්දිතයා වී ඇත්තේ ආදරණීය වැඩිමල් දුව, අපරාධකරු ඇය මොලොවට ජාතක කළ ඇගේ පියායි. අහෝ දෙවියනි· ඔබ කොහේදැයි ඔවුන් සිතින් අසන්නට ඇති.

2004 වසරේ පෙබරවාරියේ දී ෂෆීලියාගේ මළ සිරුර මපඉරස්‌ පාළු ගංඉවුරක තිබියදී සොයා ගනු ලැබුවා.

පර්ෂනා විසින් ෂෆීලියාගේ ජංගම දුරකථනයේ සිම් කඩ්පත මාරු කර ඇති බවත් සොයා ගනු ලැබුවා. එමෙන්ම ඇගේ දුරකථන සංවාදයට රහසේa සවන් දුන් පොලිසිය තමන්ට විරුද්ධව ඇති චෝදනාවන්ගෙන් ගැලවීමටත්, මාධ්‍ය තමන්ට වාසි සහගත ලෙස හසුරුවා ගත හැකි අයුරුත් පවසන ලෙස ඇය කිසිවකුගෙන් ඉල්ලා සිටින අයුරු සොයා ගෙන තිබුණා.

විනිසුරුවරයා තීන්දුව දෙන්නට සූදානම් බව පෙනුණා. මුළු උසාවියම සිටියේ ගල් ගැහිලා වගේ හැම මුහුණකම පෙන්නුම් කළේ බිය.

තමාගේ ලෙයින් උපන් දියණිය සාපරාධී ලෙස ඝාතනය කිරීමේ වරද සඳහා ඇගේ පියා වන ඉෆ්ටිකාර්ට හා ඇගේ මව වූ ෆර්ෂානාටත් වසර 25 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වුණා.

තමන්ට නිදහසේ ජීවත්වීමේ අයිතියක්‌ සඳහා සටන් කළ අහිsංසක දැරියක ඇයගේ හුස්‌ම සිර කොට දිවි තොර කළේ තම අම්මා හා තාත්තාම වීම මොන තරම් පාපයක්‌ද? නව ආකල්ප තාක්‍ෂණය රජ කරන නව ලෝකයක මෙවැනි දේ සිදු කරන මනුෂ්‍ය කොටස්‌ සිටිය හැකිද?

ඒ ආසන්න කාලයේ ඇය දිවිගෙවූයේ මොන තරම් කනස්‌සල්ලෙන් දැයි කීමට ඕනෑ නැත. එතරම් වියවුලක්‌ සිත යට සඟවාගෙන අනිකුත් සහෝදරියන් හා සතුටින් සිටින බවක්‌ ඇඟවීමට ඇය කළ රඟපෑම දුක්‌බරය.

ලීලානන්ද වික්‍රමසිංහ

http://www.divaina.com/2012/08/19/feature09.html

0 comments: