Pages

Sunday, August 2, 2015

ෆෙඩරල් හෙවත් ඊළාම් මළකඩ

දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් යළිත් මාතෘභූමිය බෙදී වෙන් වී යැමේ අනතුරක්‌ හා ජාතික ආරක්‍ෂාවට බරපතල තර්ජනයක්‌ නිර්මාණය වීමේ අවදානමක්‌ තිබෙන බවට මහජන එක්‌සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා කළ අවධාරණය රටේම ප්‍රබල අවධානයට යොමු විය යුතු ය. "දී කිරට බළල් සාක්‌කියක්‌" මෙන් මුස්‌ලිම් කොංග්‍රසය ද එයට සහාය පළ කර තිබෙන බවද ගුණවර්ධන මහතා කියා සිටියි. 

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය මේ රටේ ව්‍යවස්‌ථාවෙන්ද තහවුරු කර තිබෙන නීතිමය හා විධිමය සම්මතයකි. දෙමළ සන්ධානය මෙන්ම මුස්‌ලිම් කොංග්‍රසය ද එය ඉඳුරා දනී. එහෙත් දෙමළ සන්ධානය තුළ මෙන්ම ඊට පරිබාහිරව ද එය නො පිළිගන්නා වූද වෙනම රාජ්‍යයක්‌ සඳහා උතුර නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු යෑයි කියන්නා වූද අය සිටිති.

ඊළාම්වාදයේ බටහිර නියෝජිතයන්ට මෙන්ම දෙමළ, ඩයස්‌පෝරාවේ ම තවත් පිරිසකට ද උතුරේ වෙනම රාජ්‍යයක්‌ වුවමනා විය හැකි ය. එහෙත් මේ රටේ කිසි දිනක ඊළමක්‌ ලබා ගත නොහැකි බව දෙමළ ජාතිවාදීහු ද දනිති.

දෙමළ ඊළාම්වාදයේ හිස බඳු ප්‍රභාකරන් වනසා මේ රට නිදහස්‌ කර ගැනීමට දිවි දුන් සියලු රණවිරුවන්ට ඒ කුරිරු ත්‍රස්‌තවාදයේ ගොදුරු බවට පත්ව ජීවිත අහිමි වූ සිංහල, දෙමළ, මුස්‌ලිම් යනාදී සියලු ලාංකික ජන කොටස්‌වලට ද අපට කළ හැකි දුෂ්ට හා ද්‍රෝහී අපරාධය වන්නේද මේ රට බෙදා දීම බව අපි තිරසරව කියමු.

දෙමළ ඊළාම්වාදීන් වෙනුවෙන් පෙනීසිටින ව්‍යාජ මානව හිතවාදීන්ගේ වෙස්‌ මුහුණු ප්‍රජාතන්ත්‍රවාදය යට අදත් ඊළම්වාදී විෂබීජ ද වර්ගවාදී ගිනි පුපුරුද තිබෙන බව අපි දනිමු. එහෙත් මේ රට යළි එතැනට ඇද දැමීම වැළැක්‌වීම සඳහා සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලු නායකයෝම එක්‌ව එකට පෙළගැසී සිටිය යුතු වෙති. ෆෙඩරල් යනු ජනවර්ග රාශියක්‌, සංස්‌කෘතික විවිධත්වයක්‌ සහිත තවත් නොයෙක්‌ ප්‍රභේද නිසා පොදු එකඟතාවක්‌ මත ඇති කරගන්නා සම්මුතියක්‌ බවට සැකයක්‌ නැත. එහෙත් මෙරටේ ෆෙඩරල් වාදය දෙමළ ජාතිවාදයේ පළමු පියවර ලෙස එළියට එන විසක්‌ බව ඉතිහාසය විසින් ම තහවුරු කරනු ලැබ ඇත. ෆෙඩරල් පක්‍ෂයේ චෙල්වනායගම් විසින් වපුරන ලද මේ බිජුවට උතුරේ දෙමළ ජන හදවත් තුළ රෝපණය කරන ලද්දේත් දෙමළ නායකයන් විසින්ම ය. එයට එරෙහිව සිටි බුද්ධිමත් දෙමළ දේශපාලනය නිහඬ කර ඊළාම්වාදයේ ෆැසිස්‌ට්‌වාදී නායකයා උතුරේ නැඟී සිටි බව ද අපි දනිමු.

ප්‍රභාකරන්ගේ ඊළාම් සිතියම ඊළාම් සිහින රාජ්‍යය තවමත් ඇතැම් දෙමළ නායකයන්ගේ සිත්වල මැකී නැත. ඔවුන්ට වුවමනා බලය භුක්‌ති විඳීමට මේ ෆෙඩරල් මන්තරය මතුරන්නේ ද ඒ නිසාය. මේ වනවිට දෙමළ ද රාජ්‍ය භාෂාවකි. දෙමළ සන්ධානයට අයත් උතුරේ පළාත් සභාවක්‌ ද තිබේ. එහි නායක විග්නේශ්වරන්ට ඒ පළාත් සභාව ප්‍රමාණවත් නො වන බව ඔහුගේ හැසිරීම්වලින් ද පෙනේ. ඔහුගේ අභිප්‍රාය උතුරත් නැගෙනහිරත් යා කර ගෙන වෙනම ස්‌වයංපාලනයකට යැම බව පෙනේ. 

දකුණේ සිංහල නායකයන්ට හේත්තු වී ඒ දුෂ්ට දෙමළ ජාතිවාදී වුවමනාව සපුරා ගැනීමට දෙමළ සන්ධානය කල්පනා කරන්නේ නම් එය බරපතල වරදකි. ඒ ඓතිහාසික වරද යළිත් කිරීම සඳහා ෆෙඩරල් යෝජනාව ඉදිරිපත් කර තිබේද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රට ඒකීය රටක්‌ බව පිළිගන්නා අතරම කිසිදිනක රට කැඩීමට හා රට බෙදීමට ඉඩ නො දෙන බව ද සපථ කර සිටියි. එජාපයට මෙන්ම ජවිපෙ ට ද වුවමනා ඒකීය රටකි. ඒ ඒකීය රට තුළ දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කර දීම ය.

"අනාගතයට සහතිකයක්‌" නමින් ජනගත කර තිබෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රතිපත්ති අතර මේ රටේ භෞමික අඛණ්‌ඩතාව සහ ඒකීයත්වය දිවිහිමියෙන් රකින බව ද දක්‌වා තිබේ. එක්‌සත් ජාතික පෙරමුණේ පංචවිධ ක්‍රියාවලිය තුළ ද ඒකීය රාජ්‍යයක්‌ යටතේ සියලු දෙනාගේ සම්මුතියෙන් සිදු කළ හැකි උපරිම ආකාරයෙන් බලය බෙදීමකට පියවර ගන්නා බව අවධාරණය කරයි. ජවිපෙ "හෘදය සාක්‍ෂියේ සම්මුතිය" තුළ ද දැක්‌වෙන්නේ රටේ ස්‌වෛරීභාවය, භෞමික අඛණ්‌ඩතාව හා අභිමානය සුරැකෙන රටේ සියලුම පුරවැසියන්ගේ නිදහස, ආරක්‍ෂාව සහතික කෙරෙන රාජ්‍ය පාලනයකි.

මේ අනුව රට කැඩීමට, බෙදීමට දඟලන කාට වුවද පසුබැසීමට සිදු වනු ඇත. ඊළාම්වාදයේ මළකඩ කෑ හිස්‌ම හිස්‌ දෙමළ ජාතිවාදී හිස්‌ ගෙඩිවලට යළි ෆෙඩරල් පෙන්නා ඊළමට යැමට ඉඩක්‌ නැති බව නිසැක ය. හොර කොටි ගිවිසුම් ගසා බලයට එන්නට දඟලන දේශපාලන තක්‌කඩියන්ට ද අද ඉඩක්‌ නැත.

උතුරේ ජනතාවට ෆෙඩරල් ඇම ගිල්ලවා යළි බලය ඩැහැ ගැනීම දෙමළ සන්ධානයේ අරමුණදැයි අපි නො දනිමු. මොනවා වුවත් එබඳු ඉඟියක්‌ හෝ දීම වංචනික, දුෂ්ට දේශපාලන අපරාධයකි. බුද්ධිමත් දෙමළ නායකයන්ගේ වගකීම දෙමළ ජනතා ප්‍රශ්න විසඳීම සඳහා සම්මුතියකට එළැඹීමත්, සිංහල, දෙමළ, මුස්‌ලිම් ජාතික සමගියක්‌ ගොඩනැඟීමත් බව අපි අවධාරණය කරමු. ෆෙඩරල් නංගි පෙන්වා ඊළාම් අක්‌කා දීමට සිතන අය තවමත් ජීවත් වන්නේ ප්‍රභාකරන්ගේ ඊළාම් නරකාදියේ බව ද අපි පෙන්වා දෙන්නෙමු.

http://www.divaina.com/2015/08/02/editorial.html

Pic Source

0 comments: