Pages

Sunday, November 13, 2016

ඉල් පොහොයේ වැදගත් කම

ප්‍රථම ධර්ම දූත මෙහෙවර

අඤ්ඤා කොණ්‌ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ඇතුළු පස්‌වග ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු ප්‍රථම ධර්මදූත සැට නම ධර්ම ප්‍රචාරයේ යෙදෙන ලද්දේ මෙවන් දිනකය. "චරථ භික්‌ඛවේ චාරිකං..." යනාදී උපදේශයෙන් බුදුරජාණන් වහන්සේ මඟ කියාදෙමින් බුද්ධ ශාසනය ඇරඹුණේ අද වැනි දිනකය. 

ජටිල දමනය 

උරුවෙල් දනව්වේ නේරංජනා නදිය අසබඩ ආරාම තුනක විසූ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන ජටිල සොහොයුරන් ඇතුළු දහසක්‌ අනුගාමිකයන්ට බුදුදහමේ සත්‍යය වටහා දීමෙන් අනතුරුව බුදුදහම වැළඳගෙන සසුන්ගත වූයේ ද ඉල් පෝ දිනකදී ය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියලු දෙනා රහත් වූහ.

මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම 

මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ සැවැත්නුවරට නුදුරු සංකස්‌ස නුවර මහාසාල කුලයක සිරිවඩ්ඩන නම් වූ මහ සිටුවරයාගේ පුත්ව ඉපිද සිටියහ. බුදුන් වහන්සේගේ දේවාරෝහණ පූජාව සම්බන්ධයෙන් සැරියුත් මහ රහතන්වහන්සේ සමඟ පැවැති ප්‍රශ්න විසඳුම් සාකච්ඡාවට සවන් දුන් මෛත්‍රී බෝසතුන් දහසක්‌ පමණ වූ තම පරිවාර සමඟ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ආර්ය මෛත්‍රී නමින් පැවිදි විය.

ඉන්පසු එළඹි වස්‌ කාලයක තම දායකයන් විසින් පූජා කළ උසස්‌ තත්ත්වයෙන් යුත් වස්‌ත්‍ර යුගලක්‌ ලද බෝධිසත්ව තෙරුන්වහන්සේ ඉන් එක්‌ සිවුරක්‌ බුදුන්වහන්සේ වැඩ සිටින ගඳකිළියෙහි වියනක්‌ කොට පූජාකළ අතර, අනිත් සිවුර තීරු වශයෙන් ඉරා මහ වියන් වටකොට එයද බුදුරජාණන් වන්සේට පූජා කළ සේක. මෙම පූජාවෙන් අනතුරුව මහා සංඝයා වහන්සේ මැද සිට බුදුරජාණන්වහන්සේ මහ තෙරුන් අමතා ස්‌ථවිරයෙනි, නුඹ මේ මහා භද්‍රකල්පයෙහි මෛත්‍රී නමින් සම්භවයක්‌ ලැබ සම්බුද්ධ වන්නෙහි. යෑයි විවරණ දී වදාළ සේක.

අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම 

අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ අන්තිම වරට බුදුරජාණන් වහන්සේ දැක ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම දැන් ජරාජීර්ණ වෙමි. මෙයින් සත් දිනක්‌ ගිය තැන මම මේ ශරීරයේ බහන්නෙමි'යි පවසා වැඩම කොට සත්වැනි දිනයේදී නාලක ගමේ තමන් උපන් ගෙදරදී ඉල් පුර පසළොස්‌වක පොහෝදා පිරිවන් පෑහ.

ථූපාරාමයෙහි නිධන් කිරීම සඳහා ධාතු වැඩමවීම 

සිරිලක බුද්ධ ශාසනය පිහිටුවීමෙන් පසුව ගොඩනංවන ලද මුල්ම සෑය වූ ථූපාරාමයෙහි නිධන් කිරීම පිණිස සුමන සාමණේරයන් වහන්සේ දඹදිවට වැඩම කොට බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව සමඟ ධර්මාශෝක නිරිඳුන් පරිත්‍යාග කරන ලද පාත්‍රයක්‌ පමණ වූ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රථමවරට ලංකාවට වැඩම කරවන ලද්දේ ඉල් පුර පසළොස්‌වක පොහෝදාය.

කඨින චීවරය පූජා කළ හැකි අවසන් දිනය

http://www.divaina.com/2016/11/13/feature21.html

0 comments: