Pages

Wednesday, November 23, 2016

මුඛවාඩම් බැඳ සංහිඳියාව රැකීම හෙවත් සිංහල ජාතිකත්වය මැඬීම

දේදුනු විප්ලවයෙන් බිහිවූ යහපාලන ආණ්‌ඩුවේ ප්‍රමුඛතම සටන්පාඨය වූයේ සංහිඳියාවයි. දැන් මේ යහපාලන ආණ්‌ඩුවට වසර දෙකක්‌ සම්පූර්ණ වීමටත් ආසන්න වෙද්දී රට පුරා සංහිඳියාව හොඳින් ස්‌ථාපිතවී තිබේද යන්න සොයා බැලීම වඩාත් උචිත යෑයි හැඟෙන්නේ කවරක්‌ නිසාද? ආගමික හා ජාතික සංහිඳියාවට බාධා වන අන්දමේ වෛරී ප්‍රකාශ නිකුත් කරමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ පොලිස්‌ ඒකකයක්‌ පෙරේදා සිට පිහිටුවා ඇති නිසාය.

යහපාලන ආණ්‌ඩුව පත් වූ දා සිට විශේෂ පොලිස්‌ ඒකක පිහිට වූ බව රහසක්‌ නොවේ. ඒ අතර පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වඩාත් ප්‍රකටය. එහෙත් මෙහිදී අප මූලිකව අවධානය යොමු කළ යුත්තේ සංහිඳියාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් අලුතෙන්ම පිහිටු වූ පොලිස්‌ ඒකකයේ කාර්යභාරය කුමක්‌වේද යන්නයි. සංහිඳියා පොලිස්‌ ඒකකයට අවශ්‍ය වන්නේ යම් පුද්ගලයකු තම ජාතිය ආගම වෙනුවෙන් අදහස්‌ දැක්‌වීම වැළැක්‌වීමටද? ජාතිකවාදීව අදහස්‌ දැක්‌වීම සාධාරණ වුවත් ජාතිවාදීව අදහස්‌ දැක්‌වීම මහජන කැළඹීමට හේතු විය හැකිය. නමුත් මේ පොලිස්‌ ඒකකය ජාතිකවාදය හා ජාතිවාදය විග්‍රහ කරනු ඇත්තේ කෙසේද? ආණ්‌ඩු විරෝධී ජාතිවාදී බලවේග මර්දනය සඳහා සංහිඳියා පොලිසිය උපයෝගී කරගනීද? පසුගිය සෙනසුරාදා මහනුවරදී විශේෂ සත්‍යක්‍රියාවක්‌ පැවැත්විණි. එහිදී සිංහල බෞද්ධ සංවිධාන රැසක්‌ එක්‌වී වර්තමානයේ රටේ බහුතරයකට එල්ලවී ඇති තර්ජන ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කළ බව මාධ්‍යවල පළ විය. කවරක්‌ නමුත් ඉදිරියේදී මෙවැනි කටයුත්තක්‌ සංවිධානය කිරීමේදී පවා සංහිඳියා පොලිසියෙන් අවසර ගැනීමට සිදු වේද? 

"මේ සිංහල අපගෙ රටයි" ගීතය ගායනා කිරීමද ඉදිරියේදී ප්‍රශ්නයක්‌ වනු ඇත. යම් කණ්‌ඩායමක්‌ මේ ගීතය ගායනා කිරිමෙන් මහජන කැළඹීම් ඇතිවේ යෑයි පොලිසියට පැමිණිලි කළහොත් සිදුවන්නේ කුමක්‌ද? එක්‌ අයකුගේ ජාතිකවාදී අදහසක්‌ තවත් අයෙකුට ජාතිවාදී විය හැකිය. පොලිසිය මෙය තෝරා ගන්නේ කෙසේද? ඇත්තෙන්ම මෙම පොලිස්‌ ඒකකය පිහිටුවීම අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතියටද එක්‌ අතකින් බාධාවක්‌ විය හැකිය. නමුත් යහපාලන ආණ්‌ඩුවට අවශ්‍ය මහජන මර්දනයක්‌ දියත් කර හෝ සංහිඳියාව රැක ගැනීමද? මුඛවාඩම් බැඳ සංහිඳියාව රැකීම නම් ලෙහෙසි කාර්යයක්‌ නොවන බව පැහැදිලිව සටහන් කළ යුතුය.

දකුණේ බහුතරයට යහපාලන ආණ්‌ඩුව සංහිsඳියා පාඩම ඉගැන්වීමට උත්සාහ කළ ද උතුරේ එය සුරැකෙන්නේද? උතුරු පළාත් මහඇමැතිවරයා සංහිඳියාව වෙනුවෙන් කටයුතු කර ඇත්ද? "දෙමළුනි නැගිටිව්" මැයෙන් රැස්‌වීම පැවැත්වූ මොහු ගැන සංහිඳියා පොලිසිය පරීක්‍ෂණ පැවැත්වීමට සූදානම්ද?

සංහිඳියාවට බාධාවන කතා පැවැත්වීම පමණක්‌ නොව, ලිපි ලේඛන ලිවීම පමණක්‌ නොව, පුවත්පත්වල එවැනි ලිපි පළ කිරීම ද ඉදිරියේදී වරදක්‌ වනු ඇත. ඒ අනුව මාධ්‍යවේදීන්ද මේ සංහිඳියා පොලිසියේ ග්‍රහණයට ලක්‌වේද? කෙසේ වෙතත් බහුතර මතය යට කිරීමට සංහිඳියා පොලිසිය යොදා ගතහොත් එය යහපාලනයට ම පාරාවළල්ලක්‌ වනු ඇත.

http://www.divaina.com/2016/11/23/editor.html

Pic Source

0 comments: