Pages

Saturday, March 25, 2017

පාලකයන් බලා සිටින්නේ ස්ත්‍රී දූෂණයක් සිදු වනතුරුද? බිග් මැච් නමින් අසූචි නෑ මහානාම මදාවියෝ!

"රන් මහ සටන" ලෙස විරුදාවලිය ලත් කොළඹ ඩී. එස්‌. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට්‌ තරගය (බිග් මැච්) පසුගිය විසිහතර සහ විසිපස්‌ වැනිදා (24 - 25) පැවැත්විණි. එයට සමගාමීව මහානාම විදුහලේ සිසුන් සහ ආදි සිසුන් පා ගමනක්‌ සංවිධානය කර තිබුණි. ඒ සඳහා ඩී. එස්‌. සේනානායක විදුහලේ සහ තවත් පිරිමි පාසල් කිහිපයක සිසුන්ගේ සහයෝගයද ලැබුණහ.

සංවිධානය කරගත් පරිදි පසුගිය විසිඑක්‌ වැනිදා (21 දා) පා ගමනට සහභාගි වීම සඳහා මහානාම විදුහලේ සහ වෙනත් පිරිමි පාසල් කිහිපයක සිසුහු සහ ආදි සිසුහු විශාල පිරිසක්‌ එක්‌ රොක්‌වී සිටියහ. ඒ අතර විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය පවා භාවිතා කළ අයද සිටියහ. 

උදෑසන නමයට පමණ පා ගමන ආරම්භ විය. එය තුළ අලංකාරව සැරසූ රථවාහන, වාදක කණ්‌ඩායම්, විවිධ ඇඳුම්වලින් සැරසුණ පාසල් සිසුන්, පාසල් කොඩි ආදී නොයෙක්‌ දෑ දක්‌නට ලැබුණි. පාසල් සිසුහු සහ ආදි සිසුහු පන්සීයකට අධික සංඛ්‍යාවක්‌ එයට සහභාගි වූහ.

ගීත ගයමින්, තාලයට නටමින්, විවිධ සටන් පාඨ ආදිය කියමින් එම පිරිස පා ගමනේ නිරත වූහ. වේලාව පෙරවරු එකොළහ පසුවී තිබුණි. ඒ වන විට පා ගමනේ නිරත වූවෝ බොරැල්ල කිංසි පාරේ පිහිටි යශෝධරා බාලිකා විදුහලට නුදුරින් ගමන් කළහ. 

දශකයකට ආසන්න කාලයක "බිග් මැච්" සමයේ දී කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසල්වල සමහර සිසුන්ට කාන්තා පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළු වීමේ රෝගයක්‌ වැළඳේ. මෑතකාලීනව එය තව තවත් උග්‍රවී ඇති බවක්‌ පෙනෙන්නට තිබේ.

යශෝධරා බාලිකා විදුහල ආසන්නයේ දී කොළඹ මහානාමයේ සමහර සිසුන්ටද ක්‍ෂණිකව එම රෝගය වැළඳුණි. වහාම ඔවුහු එම බාලිකා විදුහලට බලහත්කාරයෙන් ඇතුළුවීමට තීරණය කළහ. මත්ද්‍රව්‍යවලින් මත්වී සිටි සමහර සිසුහු එයට තව තවත් උල්පන්දම් දුන්හ. 

පළමුව මහානාමයේ පා ගමනට සහභාගි වූ සිසුහු පිරිසක්‌ එම බාලිකා විදුහල වටා ගමන් කරමින් සම්පූර්ණ පාසලම වීඩියෝ කළහ. තවත් සමහරු විදුහලේ ආරක්‍ෂිත බැම්මෙන් එබී පාසල ඇතුළත විපරම් කළහ. තවත් පිරිසක්‌ පැවසුවේ විවේක කාලය ලබාදී නොතිබුණත් සමහර ශිෂ්‍යාවෝ පාසල් භූමියේ රැඳී සිටින බවයි. 

තවත් විපරම් කරන්නට දෙයක්‌ නොමැති බවත්, වහාම බාලිකා පාසලට ඇතුළුවිය යුතු බවත් මහානාමයේ පා ගමනට සහභාගි වූ සිසුහු තීරණය කළහ. මත්පැන් පවා පානය කරමින් සිටි සමහරු ගාල කඩාගත් හරක්‌ රැළක්‌ සේ ආරක්‌ෂිත බැම්මෙන් බාලිකා පාසල තුළට පැන ගත්හ. 

එක්‌වරම අනපේක්‍ෂිත ලෙස පාට ඇඳුමින් සැරසී පාසල තුළට ඇතුළු වූ සිසුන් දැකීමෙන් එම විදුහලේ ශිෂ්‍යාවෝ මෙන්ම ගුරුවරුද භීතියට පත්වූහ. මහානාමයේ එම සිසුහු විවිධ වචන පවසමින් යශෝධරා බාලිකාව තුළ ගාල කඩාගත් හරක්‌ රැළක්‌ සේ දුව පැන්නාහ. එයින් බියට පත්වූ සමහර ශිෂ්‍යාවෝ පංති කාමර තුළ සැඟවී සිටියේ කුමකින් කුමක්‌ සිදුවේ දැයි නොදන්නා නිසාය. 

යශෝධරා බාලිකාවේ ගුරුවරු වහාම මෙම ක්‍රියාව පාලනය කිරීමට උත්සාහ කළහ. එහෙත් එම හරක්‌ රැළ එක්‌වරම පාලනය කරගැනීමට ඔවුනට නොහැකි වූහ. ඒ අතරතුර ඔවුහු එම විදුහලේ ගුරුවරුන්ට සහ ආරක්‌ෂක අංශයේ නිලධාරීන්ටද පහර දුන්හ. අවසානයේ මහත් පරිශ්‍රමයක්‌ දරා එම කකුල් දෙකේ හරක්‌ රැළ විදුහල් භූමියෙන් පන්නා දැමීමට ඔවුහු සමත් වූහ.

බලහත්කාරයෙන් පාසල් භූමියට ඇතුළු වූ මහනාමයේ සිසුන් දෙදෙනකු අල්ලා ගැනීමටද ගුරුවරු සහ එම පිරිස සමත් වූහ. එක්‌ සිසුවෙකු අල්ලාගෙන තිබුණේ යශෝධරා බාලිකාවට පැමිණෙන සිසුවියකගේ පියෙකු විසිනි. එම සිසුවා අල්ලාගත් අවස්‌ථාවේ ඔහු එම පුද්ගලයාගේ අත සපා කා තුවාල සිදුකර තිබුණි. එම සිසුවාගේ යහළුවෝ පුටුවලින් පවා පහර දුන්නේ තම යහළුවා බේරා ගැනීම සඳහාය. එහෙත් ඔහු එම පාසල් සිසුවා නිදහස්‌ නොකළේය. අවසානයේ එම සිසුවා විදුහල්පතිතුමියගේ කාර්යාලයේ රඳවා ගත්තේය. 

එළිමහනේ රඳවා සිටි සිසුවා කෙරෙන් දිස්‌වූයේ මැරයකුගේ පෙනුමකි. රස්‌තියාදු කාරයකු මෙන් කොණ්‌ඩය කපා තිබූ ඔහුගේ කරේ සහ අතේ යකඩ මාල පවා දමා තිබුණි. 

බාලිකා විදුහලෙන් එළියට පන්නා දැමූ කකුල් දෙකේ හරක්‌ රැළ එම විදුහල ඉදිරිපිට රැඳී සිටිමින් යළි කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්හ. රඳවාගෙන සිටින තම පාසල් සිසුන් දෙදෙනා නිදහස්‌ කරන ලෙසත්, එසේ නොකළහොත් යළි පාසලට ඇතුළුවන බව පවසමින් කෑගැසූහ. එහෙත් යශෝධරා විදුහලේ ගුරුවරු පාසලේ ප්‍රධාන දොරටුව වසා දමා එම සිසුන් දෙදෙනා තවදුරටත් රඳවාගෙන සිටියහ. 

ගතවූයේ නිමේෂයකි. එළියේ සිටි හරක්‌ රැළ යළි කුලප්පු වූහ. ගල් මුල්වලින් බාලිකා විදුහලට ප්‍රහාර එල්ල කළේය. විදුහල ඉදිරිපිට ආරක්‌ෂිත කුටියේ වීදුරු පවා කුඩු කරමින් පාසලට ඇතුළු වීමට උත්සාහ කළහ. ප්‍රධාන දොරටුවට ගසමින් එය කඩා දැමීමටද සැරසුණහ. එන්න එන්නම තත්ත්වය දරුණු විය.

බාලිකා පාසල තුළ පොලිස්‌ නිලධාරියකුද රැඳී සිටියේය. ඔහු ප්‍රධාන දොරටුව අසළට ගොස්‌ සිසුන්ට සන්සුන්ව හැසිරෙන්න යෑයි නියෝග කළේය. එහෙත් කකුල් දෙකේ හරක්‌ රැළ එම නියෝගය තඹ සතේකටවත් මායිම් නොකළ අතර දිගින් දිගටම ගල්මුල් ප්‍රහාර එල්ල කළහ.

අවසානයේ එම පොලිස්‌ නිලධාරියා ප්‍රධාන දොරටුව සම්පූර්ණයෙන්ම විවෘත කළේය. එය අවස්‌ථාවක්‌ කරගත් කකුල් දෙකේ හරක්‌ රැළ යළිත් පොලු මුගුරු පවා රැගෙන බලහත්කාරයෙන් බාලිකා විදුහලට ඇතුළු වූහ.

පළමුව එම කකුල් දෙකේ හරක්‌ රැළ රඳවාගෙන සිටි තම රැහේ එකාව නිදහස්‌ කර ගත්තේ ගුරුවරු කිහිප දෙනකුට ප්‍රහාර එල්ල කරමිනි. එක්‌ ගුරුවරයකුට බිම පෙරළාගෙන පහරදීමට තරම් ඔවුහු අමානුෂික වූහ. ඒ සමඟම තවත් පිරිසක්‌ පාසල් ගොඩනැඟිලිවලට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් අලාභ හානි සිදුකර පළාගියේය. 

රඳවාගත් අනික්‌ සිසුවා කුරුඳුවත්ත පොලිසියට ඉදිරිපත් කළ අතර ඔහු මහානාම විදුහලේ උසස්‌ පෙළ පන්තියක අධ්‍යාපනය හදාරන අයකු බව අනාවරණය විය. යශෝධරා විදුහලට අයුතු ලෙස ඇතුළුවීම, ආරක්‌ෂක අංශයේ මුර කුටියට අලාභහානි සිදු කිරීම, ගුරුවරු දෙදෙනකුට සහ කාර්යාල සහායකයකුට පහරදීමේ චෝදනා යටතේ එම සිසුවාව අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී මහෙස්‌ත්‍රාත්වරයා මෙම මස තිස්‌වැනි දින දක්‌වා ඔහු පරිවාස කාර්යාලයක රඳවා තබන ලෙස නියෝග කළේය. 

යශෝධරා බාලිකා විදුහලට පැන ගුරුවරුන්ට පවා පහරදී යකා නැටූ එම කකුල්දෙකේ හරක්‌ රැළ එතැනින් නොනැවතී යළි කොළඹ මියුසියස්‌ බාලිකා විදුහලටද බලහත්කාරයෙන් ඇතුළු වූහ.

මෙම සිද්ධීන් දෙක වාර්තා වීමත් සමඟ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බාලිකා විදුහල්වලට පොලිස්‌ ආරක්‌ෂාව ලබාදී තිබුණි. 

මෑත කාලීනව සිට පාසල් ක්‍රිකට්‌ සමය තුළ මෙවැනි සිද්ධීන් අනන්තවත් වාර්තා වේ. එම නිසා ශිෂ්ට සම්පන්න සමාජයක්‌ විසින් පිළිනොගන්නා මෙවැනි ක්‍රියා (විශේෂයෙන්ම පාසල් සිසුන් අතින්) යළි සිදු නොවන ආකාරයේ විධිමත් වැඩ පිළිවෙළක්‌ වගකිව යුතු නිලධාරීහු විසින් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොවුණහොත් මෙවැනි පාසල් සිසුහු සමාජගත වන්නේ අනෙක්‌ මිනිසුන්ට කරදරයක්‌ වන අයුරින්ය.

ගයාන් සමරසිංහ
http://www.divaina.com/2017/03/26/feature35.html

0 comments: