Pages

Thursday, March 16, 2017

ජනපති හා අගමැතිගේ සීතල යුද්ධයේ ප්‍රතිඵලය රණවිරුවන් දඩයමට ලක්‌වීමයි! - ගම්මන්පිල

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පවතින සීතල යුද්ධයේ ප්‍රතිඵලයක්‌ ලෙස රණවිරුවන් දඩයමට ලක්‌වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය. ගම්මන්පිල මහතා එම අදහස්‌ ප්‍රකාශ කර සිටියේ ඊයේ (13 දා) ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී පැවැති මාසික හමුවේදීය. එහිදී වැඩි දුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

කැලයේ ආධිපත්‍ය පතා අලි දෙන්නෙක්‌ විලක්‌ මැද පොර බැදුවාලු. අලින්ගේ තඩි කකුලවලට පෑගි විලේ සිටි ගෙම්බො මැරෙන්න ගත්තාලු. එතකොට එක ගෙම්බෙක්‌ කිව්වාලු "අලි ගැටෙනවා - අපි මැරෙනවා" කියලා. අද රටේ වෙන්නෙත් ඒකයි. ජනපති සහ අගමැති අතර කවුද ලොක්‌කා කියා තීරණය කරන්න සීතල යුද්ධයක්‌ පවතින බව කවුරුත් දන්නා රහසක්‌. ඒ අලි පොරයට පෑගිලා මැරෙන්නේ රණවිරුවන්. අද ත්‍රිවිධ හමුදාව තිබෙන්නේ ජනපති යටතේ. පොලීසිය තිබෙන්නේ අගමැති යටතේ. ජනපති රිදවන්න විහිළුවක්‌ කරන්න ඕනෑ වුණාම ජනපති රණවිරුවන් රකින බව කියන විට අගමැතිගේ පොලිසිය ඔවුන් පදනම් විරහිතව අත්අඩංගුවට ගන්නවා.

ජනාධිපතිතුමා මාර්තු 03 දා උදෑසන උතුරේ හමුදා කඳවුරක දී කිව්වා රණවිරුවන් අත්අඩංගුවට ගන්න මම ඉඩ තියන්නේ නෑ කියලා. එතුමා කොළඹට එන්නත් කළින් නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියෙකු වන කොමාන්ඩර් ආර්.පී.එස්‌. රණසිංහ සහ උදය කුමාර යන දෙදෙනා අත්අඩංගුවට ගන්නවා. මේ අයට තිබෙන චෝදනාව තමයි කප්පම් ලබා ගැනීම සඳහා දෙමළ පුද්ගලයින් පැහැර ගෙන ගොස්‌ අතුරුදහන් කිරීම. මේ අය එවැනි දෙයක්‌ කලා නම් අත්අඩංගුවට ගැනීමේ කිසිම වරදක්‌ නෑ. නමුත් කිසිම පුද්ගලයෙකු මේ අය පැහැර ගත් බවට පැමිණිලි කරලා නෑ. ඇත්තටම කප්පම් ගත් බවට චෝදනා ලබා නාවික හමුදාවෙන් ඉවත් කළ නිලධාරීන් දැන් සාක්‌ෂිකරුවන් කර ගෙන යුද බිමේ දස්‌කම් පෙන් වූ බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගන්නවා. යුද ජයග්‍රහණයේ දී බුද්ධි අංශ සිදු කළ සුවිශේෂී කාර්යභාරයට අද බෙදුම්වාදීන් තමන් පත් කළ ආණ්‌ඩුව හරහා පළි ගන්නවා. ඒ වගේම තමන්ට පැහැර ගැනීම් කරන්න උපදෙස්‌ ලැබුණේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් කරන්නාගොඩ සහ හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගෙන් බවට සාක්‌ෂි දුන්නොත් පිටරට ආරක්‌ෂිතව යවන බවට පොලීසිය මේ අයට ප්‍රකාශ කරනවාලු.

එක්‌නැලිගොඩ නඩුවේ දී වගේම චෝදනා ගොනු කරලා තිබෙන්නේ මිනී මැරීමේ චෝදනාව යටතේ. අපි උගත් නීතිය අනුව නම් මිනී මැරීමේ චෝදනාව ගොනු කරන්න නම් එක්‌කෝ මිනියක්‌ හමු වී තිබිය යුතුයි. නැතිනම් මිනී මැරුම ඇසින් දුටු සාක්‌ෂිකරුවෙකු සිටිය යුතුයි. මේ දෙකම නැතුව මිනී මැරීමේ චෝදනා ගොනු කිරීමේ දුෂ්ට අරමුණ කුමක්‌ද? මේ චෝදනාව ගොනු කළාම ඇප ලබා දෙන්න බෑ. දිගු කාලයක්‌ අත්අඩංගුවේ ඉන්න විට හිතේ හයිය දිය වෙනවා. ලියලා දෙන ඕනෑම දෙයකට අත්සන් කරලා ඇප ලබා ගන්න හිතෙනවා. එක්‌නැලිගොඩ අතුරුදහන් වීම පිළිබඳ අත්අඩංගුවට ගත් සාජන්ට්‌ මේජර්වරයෙකු එහෙම බොරු සාක්‌ෂියකට අත්සන් කරලා ඇප ලබා ගත්තා.

කවුද මේ කොමාන්ඩර් රණසිංහ? 2001 මැයි 23 කන්තලේ ගංතලාව බෝම්බයකට හසු වුණු නාවික හමුදා කණ්‌ඩායමේ 18 න් 17 ක්‌ම මැරුණා. රණසිංහත් මැරුණා කියලා හිතුවේ. නමුත් දැන් ඔහු 60% ක්‌ ආබාධිතයි. කනක්‌ ඇහෙන්නේ නෑ. ඇසක්‌ පේන්නේ නෑ. වරින් වර කලාන්ත වෙනවා. නමුත් ඔහු ආබාධිත වුණත් රට වෙනුවෙන් සිය යුතුකම් ඉටු කිරීම අත්හැරියේ නෑ. ඊට පසු 51 වතාවක්‌ මරා ගෙන මැරෙන ඇඳුම් කට්‌ටල සහ බෝම්බ සොයා ගෙන තිබෙනවා. නාවික හමුදා ඉතිහාසයේ ක්‌ෂේත්‍රයේ දැක්‌ වූ දක්‌ෂතාවයට උසස්‌වීම් ලැබිලා තිබෙන්නේ නවදෙනකුට පමණයි. ඔහු එයින් කෙනෙක්‌. මේ ආණ්‌ඩුව විසින් නිදහස්‌ කළ අය අතරේ ත්‍රිකුණාමලයේ සිට කොළඹට බෝම්බ ලොරියක්‌ පදවා ගෙන පැමිණි කොටි ත්‍රස්‌තයා ඉන්නවා. ඔහුව අත්අඩංගුවට ගත්තේ කොමාන්ඩර් රණසිංහ. අපූරු දේශප්‍රේමයක්‌. කොටියා එළියට. ඌව ඇල්ලූ රණවිරුවා ඇතුළට.

මේ සතියේ තවත් නාවික හමුදා නිලධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා බවට රහස්‌ පොලීසියෙන්ම අපට තොරතුරු ලැබෙනවා. ඒ ලුතිනන් කොමාන්ඩර් ප්‍රසාද් හෙට්‌ටිආරච්චි සහ කේ. ජී. එන්. ජී. වික්‍රමසූරිය යන අයයි. මේ වගේම රහස්‌ පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව සැබෑ අපරාධකරුවන් සාක්‌ෂිකරුවන් බවට පත් කරලා රවිරා- ඝාතනයටත් ප්‍රසාද්ව අත්අඩංගුවට ගත්තා. මේ වගේම කරන්නාගොඩ සහ ගෝඨාභයගේ උපදෙස්‌ මත ඝාතනය සිදු කළ බව කියන මෙන් බල කළා. ඒක නොකළ නිසා වසරකට අධික කාලයක්‌ අත්අඩංගුවේ ඉඳලා අවසානයේ දී අධිකරණය විසින් නිදොස්‌ කොට නිදහස්‌ කළා. 

රණවිරුවන්ට මේ අපරාධය කරන්න එපා කියලා අපි ආණ්‌ඩුවට කියනවා. ජනාධිපතිතුමා මේ ලැ-ජා සහගත සිදුවීම පත්තරයෙන් වත් දැන ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.

කරු ජයසූරිය මැතිතුමාට මේ රටේ විශාල ගෞරවයක්‌ තියෙනවා. මමත් දිර්ඝ කාලයක්‌ එතුමාට ගෞරව කරපු ආදරය කරපු චරිතයක්‌ කියලා එතුමා පෞද්ගලිකවම දන්නවා. එතුමා ව්‍යාපාරික ක්‌ෂේත්‍රයේ, තනාපති ක්‌ෂේත්‍රයේ, නගරාධිපති කෙනෙක්‌ විදිහට, පළාත් සභාවේ විපක්‌ෂ නායකයෙක්‌ විදිහට, ආණ්‌ඩුවේ ඇමැති කෙනෙක්‌ විදිහට, ගෞරවනීය චරිතයක්‌ වුණා. නමුත් කතානායක වුණාට පස්‌සේ එතුමාගේ ගෞරවය කෙලෙසෙන්න පටන් ගත්තා. කරු ජයසුරිය මැතිතුමා ඇත්තටම කරු ජයසුරිය මැතිතුමාට ආදරෙයි නම් එතුමා කළ යුත්තේ ආත්ම ගෞරවය රැක ගන්න එතුමා කළ යුත්තේ කථානායක ධුරයෙන් ඉවත් වීමයි. ඔබතුමා කථානායක පුටුවේ රැඳෙන්න රැඳෙන්න ඔබතුමාට තිබුණු දැවැන්ත ප්‍රතිරූපය වේගයෙන් පිරිහෙමින් පවතිනවා. ඔබතුමා ඉදිරියේ ඔළුව නවන බොහෝ දෙනෙක්‌ ඔබතුමා නැති තැන අසභ්‍ය වචන වලින් බැණ වදිනවා. ඒක ඇහෙද්දී අපිට ගොඩක්‌ වේදනයි. මොකද අපි ඔබතුමාට ගොඩක්‌ ආදරය කලා, ගෞරව කළා. ඔබතුමා ඔය තනතුරේ අගමැතිතුමාගේ සුවච කීකරු කතානායක විදිහට හැසිරෙනවා නම් ඔබතුමා තනතුරේ ඉන්න ඉන්න ගෞරවය පිරිහෙනවා කියන එක එතුමාට ආදරයෙන් සිහිපත් කරන්න කැමතියි. 

මෙම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමයේ ජාතික සංවිධායක මධුමාධව අරවින්ද මහතා සහ එම පක්‌ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් සුගීෂ්වර බණ්‌ඩාර මහතාද එක්‌විය.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය
http://www.divaina.com/2017/03/15/news29.html

Pic Source

0 comments: