Pages

Wednesday, March 29, 2017

දුටුගැමුණු රජුට නැඟණියක්‌ - වසර දෙදහසක්‌ පැරණි පාත්‍ර කැබැල්ලකින් හෙළිවේ

මාතර තාරකා කොටුවේ ප්‍රදර්ශනයට තබා ඇති වසර දෙදහසක්‌ පමණ පැරණි මැටි පාත්‍රයක මතුපිට ලියූ අභිලේඛනයකින් කාවන්තිස්‌ස මහ රජුගේ දියණියක මෙන්ම දුටුගැමුණු මහ රජුගේ නැඟණියක පිළිබඳ ඉතාම දුර්ලභ තොරතුරක්‌ හෙළි වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩවිතාන මහතා මේ පිළිබඳව කළ පර්යේෂණවලින් මෙම දුර්ලභ සාක්‌ෂිය අනාවරණය කරගෙන ඇත. තිස්‌සමහාරාම කාවා කැණීම් ව්‍යාපෘතිය පසුගිය කාලයේ දී තිස්‌සමහාරාමයේ සර්වෝදය වත්ත ප්‍රදේශයේ කළ කැණීම්වලින් හමුවී ඇති මෙම මැටි පාත්‍ර කැබැල්ල මාතර තාරකා කොටුව කොෘතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

මාතර තාරකා කොටුව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති මෙම මැටි පාත්‍රයේ සඳහන් විස්‌තරවලට අනුව එහි 'අයතිශහCධිත' ලෙස සඳහන් පාඨයෙහි 'අයතිශ' යනු කාවන්තිස්‌ස මහ රජු බව ඉතිහාසඥයෝ හා පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති. 'Cධි ත' යනු දුව යන්නට යෙදෙන පදයයි. අවාසනාවට මෙම අභිලේඛන කොටසේ කාවන්තිස්‌ස මහ රජුගේ දුවගේ නම සඳහන් කොටස කැඩී ගොස්‌ ඇති නිසා ඇයගේ නම හෙළිකර ගැනීමට නොහැකි වී ඇත. විහාර මහා දේවියට දූවරුන් සිටියේ නම් මහාවංසකරු එය මහත් අභිරුචියෙන් වර්ණනා කරනු නිසැකය. කාවන්තිස්‌ස මහ රජුට විහාර මහ දේවිය නම් වූ අග බිසවට අමතරව තවත් බිසෝවරුන් සිටි බව වංස කථාවෙන් තහවුරු වන නිසා මෙහි සඳහන් දියණිය කාවන්තිස්‌ස රජු අන්‍ය බිසවකගෙන් ලත් දුවණියක ලෙස පිළිගත හැකිය.

අම්පාර - සුසන්ත අමර බන්දු
http://www.divaina.com/2017/03/29/news28.html