Pages

Saturday, March 25, 2017

කාන්තාවක්‌ තේම්ස්‌ ගඟට වට්‌ටා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිහියකින් බය කළ ISIS ත්‍රස්තයා කලීඩ් මසූඩ්

ලන්ඩනයට පසුගියදා එල්ලවූ ත්‍රස්‌තවාදී ප්‍රහාරයත් සමඟ ලොව යළිත් වතාවක්‌ ත්‍රස්‌තවාදයේ බිහිසුණු බව ගැන කතා කරන්නට පටන් ගෙන තිබේ.

කලීඩ් මසූඩ් නමැති පනස්‌ දෙහැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයකු විසින් එල්ල කළ මේ ප්‍රහාරයේ වගකීම භාරගන්නා බව අයි එස්‌ සංවිධානය හෙවත් ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌ත සංවිධානය සිය පුවත් ආයතනය හරහා නිවේදනය කර තිබේ. ඉස්‌ලාම් රාජ්‍යයේ සෙබළකු විසින් එම ප්‍රහාරය එල්ල කරන ලදැයි එම සංවිධානය පවසා තිබේ.

පසුගිය මාර්තු 22 වැනිදා ලන්ඩනයේ වෙස්‌ට්‌මිනිස්‌ටර් පාලම මතදී කලීඩ් මසූඩ් පදිකයන් අනතුරට ලක්‌කරමින් මෝටර් රියක්‌ පදවාගෙන ගියේය. මෙහිදී කීපදෙනකු අනතුරට පත්වූ අතර කාන්තාවක්‌ තේම්ස්‌ ගඟට ඇද වැටුණි. කලීඩ් මසූඩ් වහනය දිගටම පදවාගෙන ගිය අතර එය පාර්ලිමේන්තුවේ වැටේ ගැටුණු පසුව ඔහු පාර්ලිමේන්තු භුමිය තුළට දිවගියේ පිහියක්‌ සහිතවය.

එහිදී පාමර් නම් වූ පොලිස්‌ නිලධාරියා ඔහු වලක්‌වන්නට උත්සහ ගත් අතර එම පොලිස්‌ නිලධාරියාට පිහි පහර එල්ල කළ මසූඩ් පොලිස්‌ වෙඩි පහරින් මිය ගියේය. පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස්‌ නිලධාරියා වෙත දුවගිය විදේශ අමාත්‍යාංශ නියෝජ්‍ය ඇමැති ටොබායස්‌ එල්වුඩ්, තුවාල ලත් පොලිස්‌ නිලධාරියාගේ මුවට මුව තබා කෘත්‍රීම ශ්වසනය දීමට උත්සාහ දැරීය. නියෝජ්‍ය ඇමැතිවරයාගේ එම උත්සාහය බොහෝ කතා බහට ලක්‌විය. 

එම ත්‍රස්‌ත ප්‍රහාරයේදී, ප්‍රහාරකයා යෑයි සැළෙකන පුද්ගලයා ඇතුළුව පස්‌දෙනෙක්‌ මිය ගියහ. කීත් පාමර් නමැති පොලිස්‌ නිලධාරියාද, ලන්ඩනයේ පාසලක සේවය කළ අයේශා ෙµ්‍රඩ් හා ඇමරිකානු සංචාරකයකු වූ කර්ට්‌ කොච්රාන් මෙම ප්‍රහාරයේදී මිය ගියහ. හැත්තෑපස්‌ හැවිරිදි පුද්ගලයකු මේ ප්‍රහාරයෙන් තුවාල ලබා පසුව මිය ගියේය.

තුවාල ලැබූ පිරිස හතළිහක්‌ පමණ වේ. බ්‍රිතාන්‍ය ජාතිකයන් 12 දෙනකුද, ප්‍රංශ දරුවන් දෙදෙනෙක්‌, රුමේනියානු ජාතිකයන් දෙදෙනෙක්‌, දකුණු කොරියානු ජාතිකයන් සිව් දෙනෙක්‌, ජර්මානු ජාතිකයෙක්‌, අයිරීෂ් ජාතිකයෙක්‌, චීන ජාතිකයෙක්‌, ඉතාලි ජාතිකයෙක්‌, ඇමෙරිකානු ජාතිකයෙක්‌ හා ග්‍රීක්‌ ජාතිකයන් දෙදෙනෙක්‌ ද ඒ අතර වෙති. ඒ අතරින් හත්දෙනකුගේ තත්ත්වය බරපතළ බව පැවසේ.

ප්‍රහාරකයා ඒද්‍රියන් එල්ම්ස්‌ නමින් කෙන්ට්‌ ප්‍රදේශයේ උපත ලැබුවෙකි. වසර කිහිපයකට පෙර ප්‍රචණ්‌ඩ අන්තගාමී බව සම්බන්ධයෙන් ඔහු විමර්ශනයකට ලක්‌ව සිටිය ද මෑතකාලීන ඔත්තු ක්‍රියාකාරිත්වය තුළට ඇතුළත් නොවූවෙකි. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා බ්‍රිතාන්‍යයේ උපත ලද අයකු වන අතර පොලිසිය සහ ඔත්තු සේවා දැන සිටි අයකු බව අගමැතිනි තෙරේසා මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ පැවසුවාය.

කාලිඩ් මසූඩ් විවිධ නම් වලින් පෙනී සිටිමින් එංගලන්තයේ ක්‍රව්ලි, වෙස්‌ට්‌ සසෙක්‌ස්‌ ,රේ, ඊස්‌ට්‌ බෝරන්, ඊස්‌ට්‌ සසෙක්‌ස්‌ ලුර්ටන් හා ඊස්‌ට්‌ ලන්ඩන් යන ප්‍රදේශවල වරින් වර වාසය කර තිබේ. දැනට දින කීපයකට පෙර නෝර්ත් බර්මින්හැම් හි පිහිටි වාහන කුලියට දෙන ස්‌ථානයකට ගිය ඔහු තමන් ගුරුවරයකු බව පවසමින් හුන්ඩායි වර්ගයේ වාහනයක්‌ කුලියට ගෙන තිබේ. කෙසේ වෙතත් පැය කීපයකට පසුව එම වාහනය තමන්ට අනවශ්‍ය බව පවසා තිබේ. ඉන් පසුව ඔහුට කුමක්‌ සිදුවූයේ දැයි තවමත් පැහැදිලි නැත. 22 වැනිදා වෙස්‌ට්‌මිනිස්‌ටර් පාලම අසලදී ඔහු තම වාහනය පදිකයන් වෙත පදවාගෙන යන කාලය තෙක්‌ ඔහු කුමක්‌ කළේ දැයි දැනට පරීක්‌ෂණ පැවැත්වේ.

ඔහු වයස අවුරුදු 19 දී එනම් 1983 දී අපරාධ චෝදනා ලබා තිබේ. 2003 දී පිහියක්‌ සමග ඔහු හසුවී ඇතත් මේ වන තෙක්‌ ඔහුට ත්‍රස්‌තවාදී චෝදනා එල්ලවී තිබී නැත.

කීත් පාමර් නමැති පොලිස්‌ නිලධාරියා මිය ගියේ මේ ප්‍රහාරකයා නවතාලන්නට ගත් උත්සහයේදීය. ඔහු ප්‍රභූ ආරක්‌ෂාව හා පාර්ලිමේන්තු ආරක්‌ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ වසර පහළොවක අත්දැකීම් ඇති දක්‌ෂ පොලිස්‌ නිලධාරියෙකි. කීත් පාමර් වෙත ප්‍රණාමය පිදූ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පැවසුවේ "ඔහු සෑම අතින්ම වීරයෙක්‌, ඔහු ගත් පියවර කිසිදා අමතකව යන්නේ නැහැ." යනුවෙනි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසලදී එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් අනතුරුව කරන ලද වැටලීම්වලදී පුද්ගලයන් අටදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙයින් තිදෙනකු කාන්තාවන් වන අතර පස්‌දෙනකු පිරිමින්ය. මොවුන් ලන්ඩනයේදී හා බර්මින්හැම් හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ජනිත සෙනෙවිරත්න
http://www.divaina.com/2017/03/26/forign.html

සබැඳි ලිපි -
[
මුස්‌ලිම් ජාතික ත්‍රස්‌තයෙකු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට එල්ල කළ ප්‍රහාරයෙන් 4ක්‌ මියයති, 40කට බරපතළයි!
]

0 comments: