Pages

Thursday, March 23, 2017

මහානාමයෙකු වීම ආඩම්බරයක්! - 'මහානාම' මදාවියන්ගේ 'මැච්' සොමිය

ඕමල්පේ සෝභිත හිමියෝ මීට මාසයකට පමණ ඉහතදී 'බිග් මැච්' පැවැත්වීමේ අවදානමක්‌ ගැන ප්‍රකාශ කළහ. උන්වහන්සේ ඒ බව සඳහන් කළේ ඒ දිනවල කොළඹ ප්‍රධාන පාසල් දෙකක්‌ අතර ඇතිවූ ගැටුමකින් පසුවය. ඇත්තෙන්ම ඒ ගැටුම සරල ආකාරයෙන් නිර්වචනය කරන්නට බැරි තරමේ 'මැර' පන්නයේ ගැටුමකි. පොලු මුගුරු රැගෙන පාරේ යනෙන වාහනවලට ද අලාභහානි කරමින් හැසිරෙන කණ්‌ඩායමක්‌ හෝ දෙකක්‌ හැඳින්විය හැකි හොඳම වචනය පාතාල සාමාජිකයන් යන්න පමණකි. මේ හැසිරීම් 'කොලු වයසට කරන දඟකාරකම්' නොවේ. මේ හැසිරීම් 'තරුණ විසේ' නොවේ. කොටින්ම කීවොත් මේවා වයසේ වැරැද්ද නොවේ. පාසලේ කීර්තිනාමයට හොඳ නැති නිසා වැඩේ යටගසන්නට බොහෝ දෙනෙක්‌ වෑයම් කළ අතර දැන් ඒ ගැන ඇහෙන්නේ නැත. එහෙත් ඒ තත්ත්වය වඩාත් නරක බව තේරුම් ගත් නිසාම ඕමල්පේ සෝභිත හිsමියෝ පෙර කී අදහස්‌ පළ කළහ. පෙරේදා (21 දා) වන විට එය යථාර්ථයක්‌ බවට පත්ව තිබිණි. ඒ කොළඹ තවත් ප්‍රධාන පෙළේ පිරිමි පාසලක අමනයන් පිරිසක්‌ බාලිකා පාසලකට පැන යකා නැටූ සිද්ධියක්‌ හේතුවෙනි. මේ මෝඩ ආතල් ගැනීමට හේතුව වී තිබුණේ 'බිග්මැච්' සොමිය ය. වාර්තා වන පරිදි මේ සොමිය උපරිමයෙන් ගනු පිණිස 50 ක පමණ ශිෂ්‍ය මදාවියන් පිරිසක්‌ බාලිකා පාසලට පැන තිබුණේ මත්පැන් ද පානය කිරීමෙන් අනතුරුවය. බාලිකා පාසලේ මුරකරුට ද, ගුරුවරුන් දෙදෙනකුට ද පහර දී විද්‍යාලයේ දේපළවලට ද හානි සිදුකර ඇති නිසා මේ අයට මදාවියන් යෑයි කීම සියයට සියයක්‌ම සාධාරණය. මේ වනවිට බිග්මැච් සංස්‌කෘතිය (සොමිය) අමුතු ක්‍රමයට අලුත් තාලයට කරන බව ද පෙනෙන්නට තිබේ. ඊයේ පෙරේදා දියෙන්, ගොඩින්, අහසින් බිග්මැච් සොමිය ගත් උදවිය ගැන ද වාර්තා විය. මේවා කොහොම කළත් අපට කමක්‌ නැත. එහෙත් මේ කිසිවක්‌ ම නැති අවම වශයෙන් පාසලේ ඩෙස්‌, බංකු, පුටු, පයලන්නට පාවහන් නැති දරුවෝ මේ රටේ අසීරුවෙන් අකුරු කරන බව කවුරු කවුරුත් සිහි තබා ගත යුතුය.

මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අපට පෙනෙන නියත සත්‍යය නම් මේ සියලු අමන වැඩ සිදුවන්නේ ජනප්‍රිය යෑයි කියන පාසල්වල බවය. නගරයේ ජනප්‍රිය යෑයි සම්මත පාසල්වලින් වැඩි අධ්‍යාපනයක්‌ වැඩි පහසුකම් ලැබේ යෑයි සිතා එම පාසල්වලට දරුවන් ඇතුළත් කරන අයට අපට කියන්නට තිබෙන්නේ බොහෝ නරක දේවල් එම දරුවන්ට ලැබීමේ ඉඩකඩ ඉතා වැඩි බවය.

පාසල් අතර ක්‍රිකට්‌ තරග අද හඳුන්වන්නේ බිග්මැච් සංස්‌කෘතිය ලෙසය. ප්‍රශ්නය වන්නේ මේ මහා තරග සඳහා පෙළගැහෙන විදුහල්වල බොහෝ කොල්ලන් හැසිරෙන්නේ ශිෂ්ටාචාරයේ නොදියුණුම මිනිස්‌ කොට්‌ඨාසයක්‌ ලෙසය. එය 'සංස්‌කෘතික' යෑයි කියන්නේ කොහොමද යන්න කවරෙකු හෝ අපට පැහැදිලි කළ යුතුය. නැතිනම් නුදුරේදීම බිග්මැච් යනු ටී පනස්‌හය අතින් ගත් පාරේ යන එන කෙල්ලන් පැහැර ගන්නා අමනයන් විසින් මෙහෙයවනු ලබන සංස්‌කෘතියක්‌ වීමෙහි ඉඩකඩ ඇති බව පමණක්‌ අපි සිහිපත් කරමු.

Pic Source

0 comments: