Pages

Sunday, November 8, 2015

'තරබාරු' පිරිස තුන්ගුණයකින් වැඩිවෙලා! වගකීම් විරහිත ආහාර ප්‍රචාරණ ගැන දන්වන්න!

අධික සීනි, පිටි, මේදය සහ ලුණු සහිත ආහාර පරිභෝජනය කිරීම ඉහළ යැම හේතුවෙන් පසුගිය දශක දෙක තුළදී මෙරට ජනතාව අතර සිටින තරබාරු ගනයට අයත් පිරිස තුන්ගුණයකින් ඉහළ ගොස්‌ ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

මෑතකාලීනව සිදුකරන ලද සමීක්‍ෂණවලට අනුව නාගරික ප්‍රදේශවල ජීවත්වන ළමුන්ගෙන් සියයට 15 ක්‌ අධි බර හා තරබාරු බවෙන් පෙළෙන බවත් ග්‍රාමීය ජනතාවගෙන් සියයට 25 ක්‌ අධි බර තත්ත්වයෙහි පසුවන බව අනාවරණය වී ඇතැයි වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

ශ්‍රී ලාංකීය ජනතාව අතර මෙසේ අධිබර හා තරබාරු බව ව්‍යාප්ත වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඇතැම් පුද්ගලික ආහාර සම්බන්ධ ආයතන මගින් සිය ආහාර නිෂ්පාදනයන් සම්බන්ධ ප්‍රචාරණ කටයුතු වගකීමකින් තොරව සිදුකිරීම බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

පෝෂණය පිළිබඳ වැරැදි පණිවිඩ පිසූ මස්‌, සොසේජස්‌ හා පැණි බීම ඇතුළු නොයෙකුත් කෙටි ආහාර වර්ග සම්බන්ධව ආහාර නිෂ්පාදන සමාගම් විසින් ප්‍රචාරණය කරනු ලබන බවත් මෙහි අවසන් ප්‍රතිඵලය වනුයේ මෙරට ජනතාව විශේෂයෙන් කුඩා ළමුන් අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල්, දියවැඩියාව, හෘද රෝග, පිළිකා ඇතුළු බෝ නොවන රෝගවලටත් තරබාරු හා අධිබර තත්ත්වයටත් පත්වීම බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.

වගකීම් රහිතව ප්‍රචාරණය කරනු ලබන ආහාර නිෂ්පාදන දැන්වීම් සම්බන්ධව අධ්‍යක්‍ෂ, ආහාර පාලන අංශය, ආහාර ලේබල්ගත කිරීම හා ප්‍රචාරණය පිළිබඳ කමිටුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, 464, ටී. බී. ජයා මාවත, කොළඹ 10 යන ලිපිනයට දන්වන ලෙස මහජනතාවගෙන් එම විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීම් කර සිටිති.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2015/11/08/news05.html

Pic Source

භික්‍ෂූන්වහන්සේගේ ඥාතීත්වය හඳුනාගන්න... මහරහතුන් වැඩි මග ඔස්‌සේ ...

මේ දවස්‌වල භික්‍ෂුව පිණ්‌ඩපාතයේ වඩින ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්‌කරණය කරනවා. මාර්ගය දිගටම ගල් කැබලි සහ ලී කුඩු අතුරලා. භික්‍ෂුව මාර්ගය දිගේ පිණ්‌ඩපාතයේ වඩින විට භික්‍ෂුව පසුකරගෙන බස්‌ රථයක්‌ වේගයෙන් ගමන් කළා. බස්‌ රථයේ වේගයට මුළු මාර්ගයම ගල් කුඩු දුහුවිල්ලෙන් වැසීගියා. භික්‍ෂුවට සිදුවුණා විනාඩියක්‌ පමණ එකතැන නැවතී දෑස්‌පියාගෙන සිටින්න. එම බස්‌රථයේ රියදුරු මහතා තුළ අශ්‍රද්ධාවට අදාළව සකස්‌වුණ එක සිතුවිල්ලක්‌ දුරුකිරීමට එම රියදුරු මහතා අදක්‍ෂවීම නිසා මොනතරම් කුසලයක්‌ අහිමිකර ගත්තාද? එම රියදුරු මහත්මයාට පුළුවන් වුණා නම් පිණ්‌ඩපාතයේ වඩින භික්‍ෂුව මහාසංඝරත්නය හැටියට දැකලා මම බස්‌ රථය වේගයෙන් ගමන් කළොත් ස්‌වාමීන් වහන්සේට දුහුවිල්ලෙන් පීඩාවක්‌ වෙනවා කියලා හිතල රථයේ වේගය අඩු කර ධාවනය කරන්න. ඒ සකස්‌කරගත් ශ්‍රද්ධාවට අදාළ එක සිතුවිල්ලෙන් ඔහු ආර්යය අෂ්ඨාංගික මාර්ගයේ ජීවත් වුණා වෙනවා.

රියෑදුරු මහත්මයා ස්‌වාමීන්වහන්සේව සංඝයා හැටියට දකින මොහොතේම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, සම්මාදිට්‌ඨිය පෝෂණය වෙනවා. ස්‌වාමීන් වහන්සේට ගල් කුඩු දුහුවිල්ලෙන් පීඩාවක්‌මයි කියල සිතනවිටම හිංසාවෙන් බැහැරවෙච්ච සිත තුළ සම්මා සංකප්පයන් වැඩෙනවා. මෙහෙම සිතන්න දක්‍ෂ පිංවතා තුළ මේ මොහොතේම ශිල්පද ආරක්‍ෂාවෙනවා. කුසල් සිත් තව තව ශක්‌තිමත් කරගැනීම නිසා සම්මා වායාමෝ ධර්මයන් වැඩෙනවා. මේ සියල්ල සකස්‌වීමෙන් සම්මා සතිය ක්‍රියාත්මක වෙනවා. එම රියදුරු මහතා රාජකාරි සිදුකරගන්නා මොහොතේදී සකස්‌කරගන්නා එක අර්ථවත් සිතුවිල්ලක්‌ තුළින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයම ශක්‌තිමත් කර ගැනීමට හැකියාව තිබියදී අශ්‍රද්ධාවට අදාළව සකස්‌වුණ එක අකුසල් සිතක්‌ දුරුකිරීමට අදක්‍ෂ වූ නිසාම නැති ආස්‍රවයන් ඇති කරගන්නවා. ඇති ආස්‍රවයන් වර්ධනය කරගන්නවා. පිංවත් ඔබත් එදිනෙදා රාජකාරී ජීවිතයේදී අනූනට පීඩාව උදෙසා අනුන්ගේ අයහපත, අකමැත්ත උදෙසා සකස්‌වෙන අකුසල් සිත් දුරුකිරීමට පුරුදුවෙන්න. එවිට නැති ආස්‍රවයන් ඇතිවෙන්නේ නැහැ. ඇති ආස්‍රවයන් හීනවී යනවා.

ඔබ තුළ ඇති වන ළාමක කාම විතර්ක, ව්‍යපාද විතර්ක, හිංසා විතර්ක දුරුකරන්න ඒ විතර්කයන් දුක පිණිසමයි වෙන්නේ. සමාධියෙන් එකඟ කර ගත් සිතින් මෙය දුකයෑයි දකින්න. මෙය දුකට හේතුව යෑයි දකින්න. මෙය දුකේ නිරෝධය යෑයි දකින්න. දුක නිරෝධය කිරීමේ මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන සිතුවිලිවලින් ජීවිතය පෝෂණය කොටගන්න. එවිට ඔබ රාජකාරි වෙලාවෙන් ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළා වෙනවා.

ගිහි සමාජය තුළ පිංවතුන්ලාට යුතුකම් කියලා කොටසක්‌ තිබෙනවා. පිංවත් ඔබ කෙනෙකුට උපකාරයක්‌ කළොත් උපකාරය ලබාගන්නා තැනත්තාට උපකාරයක්‌ අවශ්‍ය වේලාවක" පෙරළා උපකාරයක්‌ කරන්න ඕනේ. ඔබේ මඟුල් ගෙදරට, මළගෙදරට ඥාතියෙක්‌, හිතවතෙක්‌ සහභාගිවුවහොත් ඔබ පෙරළා ඔහුගේ මඟුල් ගෙදරට, මළගෙදරට සහභාගීවෙන්න ඕනේ. හිතවතෙක්‌ ඔබට ආහාර වේලක්‌ දුන්නොත් ඔබත් ඔහුට පෙරළා ආහාර වේලක්‌ දෙන්න ඕනේ. නමුත් පැවිදි සමාජයත් සමග ගිහි පිංවතුන්ලා කටයුතුකරනවිට ඉහත පෙරළා ප්‍රතිඋපකාර කිරීමේ තත්ත්වය වෙනස්‌වෙනවා. ගිහි පිංවතුන්ලා ස්‌වාමීන් වහන්සේ නමකට පිණ්‌ඩපාතයක්‌ පුජාකළත්, දානේ වේලක්‌ පුජාකළත්, ප්‍රවාහන පහසුකමක්‌ සලකා දුන්නොත් වෙනත් සිව්පසයෙන් ඇපඋපස්‌ථානයක්‌ සිදුකළොත් එය සිදුකළ මොහොතේම ස්‌වාමීන් වහන්සේලා අදාල පිංවතාට පිං අනුමෝදන් කරනවා. ගිහි පිංවතාට සිදුකළ පිංකමට පිං අනුමෝදන් කළාට පස්‌සේ ස්‌වාමීන් වහන්සේට බැඳීමක්‌ නැහැ. උන්වහන්සේ නිදහස්‌. 

ස්‌වාමීන්වහන්සේ පෙරළා අදාළ ගිහි පිංවතාට උපකාර කළ යුතුයි කියලා කාරණයක්‌ පැවිදි සමාජයට අදාළ නැහැ. එම නිසා ස්‌වාමීන් වහන්සේලාට ඔබ යම් පූජාවක්‌ කළොත්, උන්වහන්සේලා ඔබලාට පින් අනුමෝදන් කරනවා. එම පින අනුමෝදන් වී, එම පිනෙන් සෑහීමට පත්වී අතපිසදා ගැනීමට පිංවතුන්ලා දක්‍ෂ විය යුතුයි. එසේ නොවී, අපි ස්‌වාමීන්වහන්සේට සිව්පසයෙන් උපකාරයක්‌ කළා, ස්‌වාමීන්වහන්සේ අපට පෙරළා ප්‍රති උපකාර කළ යුතුයි කියලා යම් පින්වතෙක්‌ බලාපොරොත්තු වෙනවා නම්, ඔබ රැස්‌කරගත් පිනේ ශක්‌තිය අකුසල් මූලයන් නිසා ඔබ අවම කරගන්නවා. එම නිසා එවැනි සිතුවිලි දුරු කරන්න දක්‍ෂ වෙන්න. එසේ නොවුණහොත් ඔබ තුළ නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. ඇති ආශ්‍රවයන් වැඩෙනවා.

ඒ වගේමයි, ගිහි සමාජයේදී පින්වතුන්ලා තම තමන් අතර හිතවත්කම්, යාළුමිත්‍ර සම්බන්ධතාවයන් ඇතිකොට ගන්නවා. එය ගිහි සමාජයට අත්‍යවශ්‍ය කාරණයක්‌. නමුත් පැවිදි පක්‍ෂයට ගිහි පිංවතුන්ලා සමඟ හිතවත්කම්, යාළු මිත්‍රකම් පවත්වන්න, සම්බන්ධතා ඇතිකරගන්න බැහැ. භික්‍ෂූන් වහන්සේලාගේ ඥාතීන් වෙන්නේ බුදුරජාණන් වහන්සේත්, මහා සංඝරත්නයත් පමණයි. ඒ ඥාතීත්වයත් ස්‌වාමීන්වහන්සේලා පරිහරණය කළ යුත්තේ අනිත්‍යයි කියන දැක්‌ම තුළ සිටිමින්. බුදුරජාණන් වහන්සේ වරක්‌ සුද්දෝධන පියරජතුමා ඉදිරියේ සිංහනාදයක්‌ කරනවා 'මහරජ, ඔබගේ වංශය ශාඛ්‍ය වංශයයි. මාගේ වංශය බුද්ධවංශයයි' කියලා. බක්‌කුල මහ රහතන් වහන්සේ අවුරුදු 160ක්‌ ආයුෂ වළඳලා, පිරිනිවන් පාන්නට පෙර දිනයේ සිංහනාදයක්‌ කරනවා 'අසූ වසරක්‌ වන මගේ පැවිදි ජීවිතයේදී කවදාවත් මම ආරාධනා දානයක්‌ භාරගෙන නැහැ. කවදාවත් මම නිවසක්‌ ඇතුළට වැඩම කරලා දානයක්‌ පිළිඅරගෙන වළඳලා නැහැ' කියලා. මේ උත්තරීතර පරපුර තමයි, සංඝයාගේ පරපුර, ඥාතීත්වය කියන්නේ. පින්වත් ගිහිපින්වතුන්ලා මහා සංඝරත්නය සමඟ කටයුතු කිරීමේදී මේ උතුම් ඥාතීත්වයේ රුවගුණ හොඳින් හඳුනාගෙනයි කටයුතු කළ යුත්තේ. එසේ නොවුණහොත්, නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. ඇති ආශ්‍රවයන් වර්ධනය වෙනවා. ගිහි පිංවතුන්ලා සංඝරතන්නය උපයෝගී කරගත යුත්තේ, උතුම් සංඝරත්නය වශයෙන් දැකලා, සිව්පසයෙන් ඇප උපස්‌ථාන ධර්මයන් සිදුකරගෙන කුසල් දහම් රැස්‌කරගැනීම සඳහා පමණක්‌මයි. 

භික්‍ෂුව මේ මොහොතේ වැඩ සිටින කුටිය පිහිටි ගමේ, සියලුම පින්වතුන්ලා අදදවසේ භික්‍ෂුවගේ දායක පින්වතුන්ලා. හෙට භික්‍ෂුව මේ කුටිය අතහැරලා වෙනත් කුටියකට වැඩියහොත්, එම ගමේ පින්වතුන්ලා භික්‍ෂුවගේ දායක කැපකරු පින් වතුන් වෙනවා. ස්‌වාමීන්වහන්සේලා ගමකින් තවත් ගමකට වැඩිය යුත්තේ සම්බන්ධතාවලින් දෑත් පිසදාගෙනයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. එම නිසා ගිහි පින්වතුන්ලා ස්‌වාමීන්වහන්සේලා සමග යාළුමිත්‍රකම් ඇතිකරගන්න උත්සහගන්න එපා. එවැනි සිතුවිලි දුරුකරන්න. එවැනි කාරණාවන්ට ස්‌වාමීන්වහන්සේලාගෙන් අවස්‌ථාවක්‌ නොලැබෙන විට ගැටෙන සිත් ඇතිවී පින්වත් ඔබතුළ නැති ආශ්‍රවයන් ඇතිවෙන්න පුළුවන්. ඇති ආශ්‍රවයන් වර්ධනය වෙන්නත් පුළුවන්. ගිහි පින්වතුන්ලාගේ යාළු මිත්‍රකම් නිසා, ස්‌වාමීන්වහන්සේලා තුළ ද නැති ආශ්‍රවයන් ඇතිවී, ඇති ආශ්‍රවයන් වර්ධනයවී පිරිහීමට පත්වෙන්න පුළුවන්. මේවා ගිහිපින්වතුන්ලා අනවබෝධය නිසාම, ඇතිකොටගන්නා බලවත් ආශ්‍රවයන් වෙනවා.

(සබ්භාසව සූත්‍රය -9) - ඉදිරිපත් කිරීම ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/11/08/feature05.html

අපේ අධ්‍යාපනයේ මහා ඛේදවාචකය ලෝකයේ වයස්‌ගතම ළමයි ඉන්නේ ශ්‍රී ලංකාවේ

අපේ රටේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳවත් දරුවන්ගේ අනාගතය පිළිබඳවත් අන් කවරදාටත් වඩා කතාබහට ලක්‌වන යුගයකි මේ.

අපේ රටට නව අධ්‍යාපන ක්‍රමයක්‌ කඩිනමින් අවශ්‍ය වී ඇති බැවින් ඊට අදාළ ප්‍රතිසංස්‌කරණ වහා සිදුකිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අදාළ බලධාරීන්ට උපදෙස්‌ දී තිබේ.

නවීන ලෝකය සමඟ ඉදිරියට ගමන් කිරීමට නම් අපේ රටේ විද්‍යා අධ්‍යාපනයට ප්‍රමුඛස්‌ථානයක්‌ ලබා දිය යුතු බව මේ පිළිබඳව අප කළ විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර පවසයි. වර්තමාන ලෝකයේ වයස්‌ගතම ළමයා ශ්‍රී ලංකාවේ සිටීමට මෙරට අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයන් වගකිවයුතු බව පවසන මහාචාර්ය හිරාන් අමරසේකර මෙරට විද්‍යාඥයන්, පර්යේෂකයන්, නව නිර්මාණ බිහිකරන්නන් දුර්මුඛ කෙරෙන දේශපාලන හා සමාජ වටපිටාවක්‌ මැද අධ්‍යාපනය බිඳ වැටීම නොවැළැක්‌විය හැකි බව ද පවසයි. 

මහාචාර්ය හිරාන් අමරසේකර වන හා පාරිසරික විද්‍යා ක්‍ෂේත්‍රයේ ප්‍රකට විද්‍යාඥයෙකි, පර්යේෂකයෙකි. අන්තර්ජාතික ජීව විද්‍යා ඔල්ම්පියාඩ් තරගාවලියේ ශ්‍රී ලංකාවේ ජාතික සංවිධායකවරයා ද ඔහුය.

අපේ රටේ සිසු පරපුරේ අනාගතය පිළිබඳ අද දැඩි කතාබහක්‌ ඇතිවී තිබෙනවා. අපේ රටේ ළමයා විවිධ අතවරයන්ට ලක්‌වෙමින් අවිනිශ්චිත අනාගතයක්‌ කරා පියමනින්නෙකු හැටියටයි බොහෝ දෙනා දකින්නෙ?

අද ළමයින්ගේ ලෝකය අපේ ළමා ලෝකයට වඩා මුළුමනින්ම වෙනස්‌. නවීන තාක්‌ෂණය නිසා ඒ වෙනසත් ශීඝ්‍රයෙන් වෙනස්‌වෙන එකක්‌. අද ඔවුන්ට නිර්මාණය වෙලා තියෙන්නෙ ආත්මාර්ථකාමී ලෝකයක්‌. ඉස්‌සර ළමයෙකුට විශ්වවිද්‍යාලෙට යන්න බැරිවුණහම තාත්තයි ළමයට බණින්නෙ. අද විශ්වවිද්‍යාලෙට යන්න බැරිවුණ ළමයා ඒ වරද දෙමව්පියන් වෙත පවරල පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යන්න නැත්නම් රට යන්න මුදල් ඉල්ලල කරදර කරනව.

උසස්‌ පෙළ පමණක්‌ නෙමෙයි උපාධියත් අද සාමාන්‍ය දෙයක්‌ බවට පත්වෙලා. අද අධ්‍යාපනය වෙළෙඳාමක්‌ බවට පත්වෙලා. අවිආයුධවලට පස්‌සෙ ලෝකයේ විශාලම වෙළෙඳාම අධ්‍යාපනය. ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල් වැඩිම ආදායමක්‌ උපයන්නෙ අධ්‍යාපනයෙන්. අපේ රටෙත් අද උසස්‌ පෙළ හා ඉන් පසු අධ්‍යාපනය අද විශාල ආදායම් මාර්ගයක්‌. මේ ස්‌වභාවය හරිහැටි අවබෝධ කර ගත නොහැකි ළමයින් විශාල පිරිසක්‌ අද අතරමං වී ඉන්නවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්‌සෙත් මොනවද කරන්නෙ කියන එක පිළිබඳවත් අද පැහැදිලි වැඩපිළිවෙළක්‌ නෑ.

අපේ රටේ අධ්‍යාපනයේ නව ප්‍රතිසංස්‌කරණ වහා සිදුකළ යුතු යෑයි පසුගියදා අග්‍රාමාත්‍යතුමාත් ප්‍රකාශ කළා. නවීන ලෝකයත් සමග ඉදිරියට යාහැකි අධ්‍යාපන ක්‍රමයක්‌ අපට ඇතිකරගන්න බැරිවුණේ ඇයි?

අපේ රට අධ්‍යාපනය රජයේ මුදල් වියදම් කරන රටක්‌. අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ පිළිබඳව රජය පමණක්‌ නෙමෙයි මුළු රටම උනන්දුයි. 1950-60 දශකවල අපේ රටේ අධ්‍යාපනය අනෙක්‌ සියලු දේට වඩා ඉහළ මට්‌ටමකට තිබුණා. නමුත් ඊට පසු කාලයේ අධ්‍යාපනයේ සිදුකළ යම් යම් ප්‍රතිසංස්‌කරණ තුළින් අධ්‍යාපනයට හිමිව තිබූ ඒ තැන නැතිවුණා. 

මේ බිඳවැටීම කොතරම් ප්‍රබල විදිහට අද වනවිට බලපා තිබෙනවාද කිවහොත් රටවල් විශාල ගණනක්‌ සහභාගි වන අන්තර්ජාතික වශයෙන් පිළිගැනෙන ප්‍රධානතම තරගාවලියක්‌ වන ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගිවන සියගණනක්‌ ශිෂ්‍යශිෂ්‍යාවන් අතරින් වයස්‌ගතම ළමයින් ඉන්නෙ අපේ රටේ. පසුගිය වසරේ ජීවවිද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට රටවල් 61 කින් ශිෂ්‍යශිෂ්‍යාවන් 450 ක්‌ සහභාගි වුණා. ඒ සියලු දෙනාම විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවලට සම්බන්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවො. ඒ සියලුම ළමයින් අතරින් වැඩිම වයසගත ළමයින් හිටියෙ ලංකාවෙ. අනෙක්‌ හැම රටකම ළමයි අවුරුදු 15 -18 අතර වයස්‌ කාණ්‌ඩවල. නමුත් අපේ ළමයි අවුරුදු 20-21 අතරෙයි ඉන්නෙ. නමුත් මේ හැම රටකම පාසල්වලට ළමයි ඇතුළත් වෙන වයස එක සමානයි. බොහෝ විට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින වයසත් එක සමානයි. නමුත් උසස්‌ පෙළ සමත් වී විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන විට බොහෝවිට වසරක්‌ හමාරක්‌ අපේ ළමයින්ට නිකරුණේ කල්ගත කරන්න වෙලා තියෙනව. නමුත් අපේ රටේම අන්තර්ජාතික පාසල්වල ළමයින් අවුරුදු 17-18 දී විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුල්වෙනව. නිදහස්‌ අධ්‍යාපනය තිබෙන රටක මෙවැන්නක්‌ සිදුවීම ජාතික ඛේදවාචකයක්‌. විශ්වවිද්‍යාලවල ඉතාමත් හොඳ පාඨමාලාවලට තේරුණු ළමයින් නිකරුණේ වයසට යැම රටට විශාල පාඩුවක්‌. අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් විසඳිය යුතුව තිබූ වයස්‌ගතවීමේ ශිෂ්‍ය ජනගහනය අඩුකරගැනීමේ ප්‍රශ්නය අද රටට විශාල අර්බුදයක්‌ නිර්මාණය කර තිබෙනවා.

අධ්‍යාපනය සඳහා ප්‍රතිපාදන වැඩිකළ යුතු බවට පසුගිය රජය සමයේ සිටම විශාල ඉල්ලීමක්‌ තිබෙනවා. අපේ රටේ අධ්‍යාපනයේ වර්තමාන පසුබෑමට හේතුව ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීමද?

ජාතික ආදායමෙන් ලංකාවේ අධ්‍යාපනයට වැයකරන මුදල මදි. දැන් මේ වැයකරන මුදලත් කොහාටද වැයකරන්නෙ? සියලුම පාඨමාලා තීරණය කරන්නෙ රජය. මුදල් දීමම නෙමෙයි, ඒ මුදල් පලදායී ලෙස වැය කිරීමයි වැදගත්. විද්‍යා අධ්‍යාපනය අද අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක්‌ වෙලා. ඒ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ පර්යේෂණ හා නව උත්පාදන සඳහා හිටපු රජයත් මේ රජයත් මහබැංකුවත් ප්‍රතිපත්ති සම්පාදකයොත් මුදල් වියදම් කිරීමට දක්‌වන අලසකම නිසයි. අපේ රටේ නිෂ්පාදනවලට පිටරටවල් වැඩි කැමැත්තක්‌ නෑ. නමුත් පිටරට නිෂ්පාදනවලට අපේ රටේ අය හරි කැමතියි. අපි අපනයන කරන්නෙ තේ, රබර්, පොල් වැනි වෙළෙඳ භාණ්‌ඩ. අපි පිටරටින් ගෙන්වන්නෙ කාර්, අයි පෝන්ස්‌ වැනි වටිනාම දේවල්. අපි අයි පෝන් හදන්නෙ නෑ. අයි පෝන්, කාර් ගන්න අපි පොල් විකුණනව. එක කාරෙකක්‌ ගන්න කොච්චර පොල් විකුණන්න ඕනද? 

රජයත් විශ්වවිද්‍යාල ළමයින්ට රැකියා දෙනව කියල දෙන්නෙ සංවර්ධන සහකාර තනතුරු. මේ රටේ සංවර්ධනයට ඔවුන් දායක කරල තියෙනවද? නව නිපැයුම්වලට පර්යේෂණවලට රජය වියදම් කරනවද? 

පසුගිය දිනවල සේයා දැරියගේ ඝාතකයො හොයාගන්න ඩීඑන්ඒ පරීක්‌ෂණ ප්‍රතිඵල නැතිව පොලිසිය පත්වූ තත්ත්වය. ඊට කලින් රතුපස්‌වල ජලය පිළිබඳ මතු වූ ප්‍රශ්නය. ඊළඟට රජරට වකුගඩු ප්‍රශ්නය. රජරට වකුගඩු රෝගයට සමහරු දෙන විසඳුම්වල විද්‍යාත්මක පදනමක්‌ නෑ. මෙවැනි ප්‍රශ්න රාශියක්‌ විසඳන්නට විද්‍යාඥයින්ට අවස්‌ථාව ලැබිල තියෙනවද? 


අපේ රටේ ප්‍රධාන අපනයන බෝගය තේ. තේ පිළිබඳ පර්යේෂණ කරන ලෝකයේ විශ්වවිද්‍යාල 20 අතරෙ අපේ රටේ විශ්වවිද්‍යාලයක්‌ නෑ. සුද්දො මේ රටින් යනකොට ඔවුන් පිහිටවපු තේ පර්යේෂණාගාර තිබුණ. පොල් පර්යේෂණාගාර තිබුණ. අපේ රටේ දැව පර්යේෂණාගාරයක්‌ පිහිටුවන්න සුද්දට අමතක වුණා. ඒ නිසා එහෙම එකක්‌ තවමත් අපේ රටේ නෑ. මා සිදුකළ දැව පිළිබඳ පර්යේෂණවලදී තහවුරු වූ එක්‌ දෙයක්‌ නම් රජය විසින් සමහර රසායන ද්‍රව්‍ය කිසිදු ඇහිල්ලක්‌ බැලිල්ලක්‌ නැතිව එකවරටම තහනම් කරනවා. රජය ඇතැම් තීරණ ගන්නෙ විද්‍යාඥයින්ගේ අදහස්‌වලට ඇහුම්කන් දෙන්නෙ නැතිව. විද්‍යාවේදී කරුණු රඳා පවතින්නෙ පුද්ගලයින් මත නෙමෙයි, පර්යේෂණ මතයි. එසේම විද්‍යාව හා තාක්‌ෂණය සම්බන්ධයෙන් රජය දක්‌වන අඩු සැලකිල්ල අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ අද විශාල අර්බුදයක්‌ නිර්මාණය කර තිබෙනවා. 

ලෝකයේ බොහෝ රටවල් දැනුම මත තම ආර්ථිකය ගොඩනගද්දී අපේ රට ඔවුන්ගේ විශාල ණයකරුවන් බවට පත්වීමට අධ්‍යාපනයේ මේ පරිහානිය ප්‍රධාන හේතුවක්‌?

එය තමයි මා දකින විශාල ඛේදවාචකය. ලෝකය අද ගමන් කරන්නෙ දැනුම මත පදනම් වූ ආර්ථිකයක. අතීතයේ මෙන් යකඩ තලන ආර්ථිකයක්‌ නෙමෙයි. අද අපේ රටටත් ඕන යකඩ තලන මිනිස්‌සු නෙමෙයි. දැනුමෙන් සන්නද්ධ පිරිසක්‌.

මේ සියවස ලෝකය හඳුන්වන්නෙ ජීවවිද්‍යා සියවස විදිහටයි. එයට හේතුව ජෛව තාක්‌ෂණය මත පදනම් වී ලෝකයේ බොහෝ දේ පාලනය කරන තත්ත්වයක්‌ දැන් නිර්මාණය වෙමින් පැවතීමයි. ලෝකය තුළ ජෛව තාක්‌ෂණයේ පළමු රැල්ල නැගෙද්දී ඊට මුහුණ දෙන්න අපේ රටට බැරිවුණා. නැනෝ තාක්‌ෂණය විදිහට ආව එහි දෙවැනි රැල්ලට මුහුණ දෙන්න පසුගිය රජය නැනෝ තාක්‌ෂණික ආයතනයක්‌ පිහිටුවල යම් යම් ක්‍රියාමාර්ග අරගත්ත. නමුත් ජෛව තාක්‌ෂණයට මුහුණ දෙන්න අපට තවම නිසි වැඩපිළිවෙළක්‌ නෑ. සේයා දැරියගේ ඩීඑන්ඒ පරීක්‌ෂණය පවා කළේ පුද්ගලික ආයතනයක. එය කළ හැකි රජයේ ආයතන තියෙනවා. මම හිතන්නෙ රජයවත් ඒක දන්නෙ නෑ. පුද්ගලයින් හඳුනාගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්‌ෂණ මුලින්ම ආරම්භ කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ. නමුත් අද ඒවා අඩාල වෙලා.

ජාන තාක්‌ෂණයේ විවිධ පැති ගණනාවක්‌ තිබෙනවා. ජාන වෙනස්‌ කර ජීවීන් නිර්මාණය, ආහාර ද්‍රව්‍ය නිර්මාණය වැනි බොහෝ පැති මෙහි තිබෙනවා. නමුත් විදේශ ආධාර මුදල් නැතිව ලංකාවේ විශ්වවිද්‍යාලවල මෙවැනි පරීක්‌ෂණ කරන්න බෑ. විශ්වවිද්‍යාලවලින් බිහිවෙන දක්‌ෂ පර්යේෂකයො අපේ රට ඇතුළෙ මෙවැනි පරීක්‌ෂණවලට සම්බන්ධ කරගන්න බැහැ. එකක්‌ මුදල් නෑ. අනෙක මේ පිළිබඳ තිබෙන රජයේ ක්‍රමවේදය පර්යේෂකයන් මන්දොත්සාහී කරන එකක්‌. ඇතැම් අවස්‌ථාවල තම වැටුපවත් තරුණ පර්යේෂකයකුට නොලැබෙන රටක විද්‍යාත්මක පර්යේෂණ දියුණුවේ යෑයි හිතන්න බෑ. කෘෂිකර්මය පිsළිබඳ පර්යේෂණ කළ ඇතැම් විශ්වවිද්‍යාල කළමනාකරණ පාඨමාලා වැඩි සැලකිල්ලක්‌ දැක්‌වීම වැනි හේතු නිසාත් අද විශ්වවිද්‍යාල තුළ විද්‍යාත්මක පර්යේෂණ සිදුවීම අඩාල වී තිබෙනවා.

අද අපේ රටේ විද්‍යා ක්‌ෂේත්‍රයට රැකියා නෑ. විශ්වවිද්‍යාලවලට එල්ල වෙන චෝදනාවක්‌නේ රටට ගැලපෙන පාඨමාලා ඉදිරිපත් කරන්නෙ නෑ කියල. නමුත් අද රටේ තියෙන්නෙ බඩු ගෙනත් විකුණන ආර්ථිකයක්‌. ඒකට විද්‍යාඥයො ඕන නෑ. ඒකට ඕන සේල්ස්‌ රෙප්ලා. ඒ හින්ද අද විද්‍යා ගණිත විෂයයන් හදාරපු ශිෂ්‍යයොත් සිමා වැනි කළමනාකරණ පාඨමාලා හදාරනව. සිමා කියන්නෙ පිටරට කළමනාකරණ පාඨමාලාවක්‌. ලංකාවේ ඕනතරම් කළමනාකරණ පාඨමාලා තියෙද්දි සිමා කරපු අය තමයි මේවට ගන්නෙ. අද ලෝකයේ සිමා පාඨමාලාවට වැඩියෙන්ම සම්බන්ධ ශිෂ්‍යයන් ඉන්න රට ලංකාව. විද්‍යාව තාක්‌ෂණය පැත්තකට දාල අද ශිෂ්‍යයො සුදුසුකම් සොයා යන පිරිසක්‌ බවට පත්වෙලා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර 
සාකච්ඡා කළේ පාලිත සේනානායක, ඡායාරෑපය - ගාමිණී මුණසිංහ
http://www.divaina.com/2015/11/08/feature04.html

සෝමා එදිරිසිංහ නම් වූ ඇය...

ඇබ්බැහිය සද්භාවයක්‌ ලෙස යෙදෙන්නේ දුර්ලභවයි. කෙනෙක්‌ සුරාවට ඇබ්බැහි වෙති. අයෙක්‌ දුරාචාරයට ඇබ්බැහි වෙති. සමහරෙක්‌ මිථ්‍යාචාරයේ ඇබ්බැහිව දිවි ගෙවති. ඒ ඇබ්බැහි පිටුදැකිය යුතු අසද්භාවයන් ලෙස ආගම දහමේ උගන්වයි.

සෝමා එදිරිසිංහ මැතිනියටද ඇබ්බැහියක්‌ තිබුණි. එහෙත් එය සද්භාවිතාවේ ඇබ්බැහියකි. ඇය පිනට ඇබ්බැහි වී සිටියාය. බොහෝ දෙනා පින් පවත්වන්නේ පුද්ගල අභිමතාර්ථ සඳහායි. එක්‌කෝ දිව්‍ය ලෝකයේ යාමටය. නැත්නම් භවාන්තර පව් ගෙවා දැමීමටය. සමහරෙක්‌ තත්ත්ව සංකේතයක්‌ ලෙසද, මෝස්‌තරයක්‌ ලෙසද, ව්‍යාපාරික ෙච්තනාවෙන් හා ලාභාපේක්‌ෂාවෙන් ද පින්කමෙහි යෙදී දිවි ගෙවති.

එහෙයින් ඔවුහු පිනට යොමුවන්නේ ජීවිතයේ සන්ධ්‍යා කාලය එළඹෙත්මයි. ඔවුන්ට පින් පොත ඕනෑ වන්නේ ගිලන්ව ඔත්කලටය. වර්ණ දශකයේ, බල දශකයේ සුබාස්‌වාදයේ අනඟ කෙළි නිමවා තබා ගිලන් වූ වෘද්ධ අවධියේ ඔවුහු පින් පොත දිග හැර ගනිති.

එහෙත් සෝමා එදිරිසිංහ මාතාව පිනට යොමුවන්නේ ඇගේ සුන්දර ළමා කාලයේ සිටමයි. ඇය පින මෝස්‌තරයක්‌ ලෙස නොගත්තාය. ඇය පින ජීවන චර්යාවක්‌ කොට ගත්තේ නොකර සිට බැරිකමේ ජීවන ඇබ්බැහියක්‌ ලෙසිනි. එහෙයින් ඇය පිටාර යන "පන් උල්පතක්‌" යෑයි වරෙක මම ඇගේ මූණට කීවෙමි. ඇය ඒ අන්වර්ථ හැඳින්වීමට ප්‍රිය වූවාය. ඇගේ සිවිල් නාමයට ඉදිරියෙන් ගෞරව නාම බොහොමයක්‌ තිබුණාය. දේශ ශක්‌ති, දේශමානය, ආචාර්ය සෝමා එදිරිසිංහ යෑයි ඇය හඳුන්වනවාට වඩා "පින් උල්පතේ සෝමා අම්මා"යෑයි ඇයව හඳුන්වනවාට ඇය වඩාත් තුටු වූවාය.

ඇයට පින්පෙත්වල නොයෙදී ජීවත්විය නොහැකිව තිබුණාය. එහෙයින් ඇය පිං ව්‍යාපෘති තනා සෙස්‌සන්ව ද ඊට සහභාගි කරවා ගැනීමේ ඇබ්බැහියක තත්පරව සිටියාය. ඉන් ආනිසංස ලැබුවෝ බොහෝ වෙති. සෝමා එදිරිසිංහ සන්ධ්‍යා වයසේදී පින් ඇරඹූ වෘද්ධ මානසික උපාසිකාවක නොවූවාය. එතුමිය නායකත්වය දෙන සමූහ පින් ව්‍යාපෘතිය ආරම්භවන්නේ ඇගේ ජීවිතයේ ස්‌වර්ණමය යුගය එළඹෙත්මයි. එවක ව්‍යාපාරික ලෝකයේ බැබළෙන නමක්‌ දිනා සිටි ඊ. ඒ. පී. එදිරිසිංහ තරුණ මහතා හා විවාහ වී වසරක්‌ ගෙවී යත්ම 1961 දී අනුරාධපුරය දෙගොඩතලා මහා ගංවතුරක්‌ ඇතිවිය. ස්‌වාමියා සම්බන්ධව සිටි චිත්‍රපට ලෝකයේ දිදුලන තාරකාවන්වූ ක්‌ලැරිස්‌ද සිල්වා, විජිත මල්ලිකා සහ ඇන්. ඇම්. පෙරේරා බඳු ජනකාන්තයන් පිරිවරාගෙන ඇය එදා මහ පාරට බැස්‌සේ කැට සල්ලි එකතු කර ආපදාවට ලක්‌වූ සරණාගතයන්ට සුව පහසුව සැලැස්‌වීමටයි. ඉන් ප්‍රාණය ලද ඇය අද දක්‌වාම ක්‍රමිකව වර්ධනය වූ 'ජන සරණ සහ පුනර්ජීව' බඳු අසරණ සරණ පුණ්‍ය ව්‍යාපෘති රැසකට නායකත්වය දී ලක්‍ෂ සංඛ්‍යාත ජනප්‍රජාවකට සත්කාර සලස්‌වා ඇත.

සංහිඳ වැඩිහිටි නිවාසය ඇය ඇගේ නිවසට වඩා ප්‍රිය කළ නිස්‌කාන්සුවකි. 'මහලු මඩම්' යෑයි අපකීර්තියට හා නින්දාවට පාත්‍රව තිබූ වෘද්ධායතන සංකල්පයට සෝමා එදිරිසිංහ මැතිනිය නව හැඩයක්‌ සහ න්‍යායක්‌ ගෙන ආවාය. ඇයටද ඒ නිවස්‌නේ සුළඟ ඖෂධයක්‌ වී තිබුණි. කවදා හෝ තමා පිළිබඳ මතකාගාරය ඉදිකළ යුත්තේ සංහිඳ නිවාසයේ යෑයි ඇය අප සමඟ පවසා සිටියාය. ඇයට මේ වන විට ලැබී තිබූ ජාතික හා ජාත්‍යන්තර සම්මාන පළිහ සියල්ල රැස්‌කර තබන කෞතුකාගාරය කෝට්‌ටේ සංහිඳ නිවාස පියසෙහි ඉදිකරන්න යෑයි ඇය ඉල්ලා සිsටියාය.

මම ස්‌වර්ණවාහිනී නාලිකාවේ නිර්මාණ අධ්‍යක්‍ෂ ධුරය හොබවමින් සහශ්‍රකයේ සිට වසර දහයක්‌ කල් සේවය කෙරුවෙමි. ඒ වනාහී පුද්ගලික නාලිකා ආරම්භ වී ලංකාවේ ජාතික මනස පුද්ගලීකරණය කරන්නට න්‍යාය විරෝධී ක්‍රියාවලියක්‌ ආරම්භ කළ කාලයයි. පුද්ගලික නාලිකාවන්ට කොන්දේසි විරහිතවම ජාතික වායුගෝලය මුදාහැර තිබුණි. 'සහශ්‍රකය ආවෝය, 'විශ්ව ගම්මානය පෑදුනෝය' ය, 'දැන් කොල්ලන්නේ සෙල්ලම් කාලය' යි කියා පුද්ගලික හා රාජ්‍ය නාලිකා වකුටු වූ ඇමරිකානු සිවිල් සිතිවිල්ලකින් 'මාධ්‍ය සදාචාරය' අතට ගත්තා පමණි.

ගරු සෝමා එදිරිසිංහගේ පැසුණු ජාතික මනසින් යුතු සභාපතිත්වය හමුවේ යෑංකි ඇමරිකානුවාදයට ස්‌වර්ණවාහිනී ගේට්‌ටුව ඇරුණේ නැත. මා විසින් ඉදිරිපත් කෙරුණු 'මහා සිංහලේ වංස කතාව' 'හපන් පැදුර', 'යෙහෙළි', 'ගඟ දිගේ', 'සලං හන්තේ', වැනි යෝජනා එදා වෙළෙඳපොළ බලවේග සමඟ පොරබදිද්දී මට හව්හරණ වුණේ ගරු සෝමා එදිරිසිංහ මැතිනියගේ සිවිල් ජන මනසේ පරිපාලන ව්‍යqහයයි.

වර්තමාන සිංහල සිනමා කර්මාන්තය වනාහී එහි අභාග්‍ය සම්පන්නම කාලය ගෙවා දමමින් සිටී. මේ කර්මාන්තයේ ඇද වැටීමට බලපෑ දීර්ඝ කාලීSන අවගුණ රැසක්‌ අතර ඇති ප්‍රධාන දුබලතාවක්‌ නම් චිත්‍රපට නිෂ්පාදකයාගේ ක්‍ෂයවී යැම යෑයි මම විශ්වාස කරමි. ගරු සෝමා එදිරිසිංහ මැතිනියගේ අභාවය වනාහී වර්තමාන සිංහල සිනමා කර්මාන්තයේ සිටි පතාක නිෂ්පාදකයාගේ ඇදවැටීමේ දුක්‌ඛදායී සංකේතය යෑයි මට හැඟී යැම අරුමයක්‌ නොවේ.

තම ස්‌වාමියා ආරම්භ කරන චිත්‍රපට නිෂ්පාදනය ක්‍රියාදාමය ගරු සෝමා එදිරිසිංහ මැතිනිය සියතට ගන්නේ 1995 වසරේ එච්.ඩී. ප්‍රේමරත්න අධ්‍යක්‍ෂණය කරන 'සෙයිලම' නම් සම්භාවනීය චිත්‍රපට නිෂ්පාදනය කරමින්ය. ඊ. ඒ. පී. චිත්‍රපට නිෂ්පාදන 27 න් 18 ක්‌ම එතැන් සිට ඇරඹෙන ඇගේ නිෂ්පාදන කාර්යයට ඇතුළත් වී ඇත. ඇය අභාවප්‍රාප්ත වන්නට මාසයකට දෙකකට පෙර අගනුවර සුලෙයිමාන් ටෙරසයේ පිහිටි ඇගේ නිවසේදී තවත් චිත්‍රපට නිෂ්පාදනයක්‌ සඳහා එතුමිය මූලික සාකච්ඡාවක්‌ පැවැත්වූ බව කිසිදු මාධ්‍යයක වාර්තා වූයේ නැත. එහෙත් ඇය ජයන්ත චන්ද්‍රසිරි නම් කෘතහස්‌ත සිනමා අධ්‍යක්‍ෂවරයා කැඳවා මූලික සාකච්ඡාවක්‌ පවත්වා තිබුණි.

සෝමා එදිරිසිංහ නම් චිත්‍රපට නිෂ්පාදිකාවගේ චිත්‍රපට තෝරා ගැනීමට තේමාවක්‌ තිබුණි. මා මේ තේමාව හඳුනාගන්නේ ජනප්‍රිය සිනමාව ගුණාත්මක කිරීමේ ව්‍යාපෘතිය හෙවත් සුභාවිත සිනමාව කියායි. ගුණාත්මක සිනමාව ජනප්‍රිය නොවිය යුතුයි. ජනප්‍රිය සිනමාව ගුණාත්මක නොවිය යුතු යෑයි මිථ්‍යාචාරයක්‌ අපේ විමසුමෙහි තැවරී තිබුණි. ඒ අනුව වාණිජ මාවත හා සම්භාව්‍ය මාවත කියා පැහැදිලි මාවත් දෙකකට සිනමාව බෙදා ඉරි අඳින්නට තරම් අපේ සිනමා විමසුම බොළඳ වී තිබුණි.

එහෙයින් එච්.ඩී. ප්‍රේමරත්න බඳු සුභාවිත සිනමාකරුවන්ට මේ මාවත් දෙකෙහිම නොරඳවා 'මැද මාවත' කියා මායාවක රඳවන්නට අපේ සිනමා විමසුම් කරුවෝ උපක්‍රමශීලී වූහ.

සෝමා එදිරිසිංහගේ සිනමා තේමාව වැටී තිබුණේ මේ මැද මාවතේ සිනමාකරුවා සමඟයි. එච්. ඩී. ප්‍රේමරත්නයෝ සෙයිලම, විසිදැල හා කිණිහිරියා මල් යන සිනමා ත්‍රිත්වයම නිෂ්පාදනය කළේ සෝමා එදිරිසිංහගේ නිෂ්පාදන තෝරාගැනීම යටතේය. එපමණක්‌ නොව වසන්ත ඔබේසේකර, උදයකාන්ත වර්ණසූරිය සහ ප්‍රසන්න විතානගේ ඇගේ නිෂ්පාදන ආරාධනා ලද ඊළඟ පරපුරේ සුභාවික සිනමාකරුවෝය. මට සිදුවීමක්‌ මතක්‌ වෙයි. මට සෝමා එදිරිසිංහ මැතිනියගෙන් කැඳවීමක්‌ තිබිණි. මම වහා ඇය හමුවුණෙමි. ඇය මට චිත්‍රපටයක්‌ සඳහා ආරාධනාවක්‌ කළාය. සුභාවික සිනමාව විශ්වාස කරන මම වහා ඒ ආරාධනාවට අවධානය යොමු කළෙමි.

"මම ඔයාට දෙනවා තේමාවක්‌. එහෙම වැඩ කරන්න කැමැතිද?" මම උනන්දුවෙන් අසා සිටියෙමි.

'අපි චිත්‍රපටයක්‌ හදමු අනගාරික ධර්මපාලතුමා ගැන. මම එතුමන්ගෙ ජීවිත කතාවට කැමැතියි.'

මම පස්‌වනක්‌ ප්‍රීතියෙන් පිනා යැම පසකට තබා ඇය පිළිබඳ ගෞරවනීය විශ්මයක්‌ ඇතිකර ගත්තෙමි.

'මම ඔබතුමීට ගෞරව කරන්නෙ ඒ නිසානෙ. බලන්න ඔබතුමීගෙ කල්පනා මොනතරම් සමාජශීලීද? මොන තරම් කාලීනද?"

'එහෙනම් පටන් ගනිමු. පිටපත ලියන්න කොයි තරම් කාලයක්‌ ඕනිද?"

"පුළුවන්තරම් ඉක්‌මන් කරන්න බලන්නම්. කොහොමත් මාස පහ හයක්‌ යයි." ඇය එකඟතාවකට පත්වූවාය. එතැන් සිට අනගාරික ධර්මපාලතුමා පිළිබඳ මා තුළ තිබූ සමාජ විද්‍යාත්මක හැදෑරීම් පිළිබඳ මම ඇය සමඟ කතා කෙරුවෙමි. අප වෙන් වෙන්නට මත්තෙන් එතුමිය මට තවත් යෝජනාවක්‌ කළාය.

"අපි දෙන්නා මේ චිත්‍රපටය හදනවා කියලා මම පත්තරේට කියන්නද? නැතිනම් ඊට කලින් කවුරු හරි පටන් ගනීවි." මම කිසිත් නොකියා ඇයව දෙස බලා සිටියෙමි. පෙරහරට කලින් අඬබෙරකරුවා යෑවිය යුතු බව සැබෑය. එහෙත් තවම පෙරහැර සූදානම්වීත් නැත. මේ ආගමානුකූල දේශපාලන සිද්ධිදාමය ආකර්ෂණීය තිර පිටපතක්‌ බවට පත්වෙනතුරු අඬබෙරකරුවා පමා කළ යුතු යෑයි මගේ සිත හටගත් සිතුවිල්ල ඇයට තේරුම් ගියාය.

"හරි හරි ඔයා වැඩේ පටන් ගන්නකෝ" කියා ඇය මට සමුදුන්නාය. මම වහ වහා කටයුත්තේ නියෑළුණෙමි. අනගාරික ධර්මපාල ජීවන වෘත්තය කිහිපාකාරයකින්ම යළි කියවා, ගුණදාස අමරසේකරයන්ගෙන් ඇරඹුණු ධර්මපාල සමාජ විචාරයද යළි අවුස්‌සා මාසයකට අඩු කාලයකින් ඇයට කතාකොට මා පිටපත ලිවීමට සූදානම් යෑයි දැනුම් දුන්නෙමි.

එහෙත් ඊළඟ මාසයේ පළමුවැනි සරසවිය පුවත්පතේ ප්‍රවෘත්තියක්‌ පළවී තිබුණි. වෙනත් නිෂ්පාදකයෙක්‌ සහ වෙනත් අධ්‍යක්‍ෂවරයෙක්‌ අනගාරික ධර්මපාල පිළිබඳ චිත්‍රපටයකට අතගසා ඇති බවය.

මට සෝමා එදිරිසිංහ මැතිනියගේ අන්තිම ඉල්ලීම සිහියට ආවේය. ඇය මේ සිනමාවේ කොයිතරම් ප්‍රායෝගිකදැයි මට ඒ වෙලාවේ සිතුණි. පෙරහර සූදානම් වෙන්නට පෙරම අඬබෙරකරුවා යෑවිය යුතු යුගයක අප ජීවත්වෙන බව එතුමිය එදා මට කියා දුන්නාය.

http://www.divaina.com/2015/11/08/feature27.html

Tuesday, November 3, 2015

මාර්ටින් වික්‍රමසිංහ, පරණවිතාන, අබ්දුල් ගයුම් ඉගෙනගත් බොනවිස්‌ටාව වැහෙන්න ළඟයි

* පාසල ආරම්භකොට ඇත්තේ අපේ රටට නිදහස ලැබීමටත් පෙරයි 
* පාසලේ එක්‌ ගොඩනැගිල්ලක්‌ මත්කුඩු ලෝලින්ගේ රජදහනක්‌ 
* ආදි සිසුන් පාසල රැක ගැනිමේ විශේෂ සාකච්ඡාවක්‌

''බොනවිස්‌ටාව රූමස්‌සල කඳු පාමුල පිහිටි පාසලකි. පාසල ඇරුණු පසු සතියකට දෙතුන් වරක්‌ මම තවත් දරුවන් දෙදෙනෙකුත් සමග හිඹොටු කැඩීමට රූමස්‌සල කැළයට වැදුණෙමි. වනයෙහි අඳුර වේ. තුඹස්‌, පෙර නුදුටු විරූ මහා රුක්‌ ආදිය රූමස්‌සල පිළිබඳ මගේ ගුඪ හැඟීම් තියුණු කළේය. ඒ බැද්දෙහි සිංහයන් වෙසෙති යි අනියත හැඟීමක්‌ මා තුළ විය. රූමස්‌සලට ඇතුල් වී බැද්දෙහි ඇවිදීම විකුම්කමක්‌ ය යන හැ`ගීම ද මා තුළ උපන්නේය.''

හෙළයේ මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශුරීන් අකුරු කිරීමට ගියේ රූමස්‌සල කන්ද පාමුල පිහිටි බොනවිස්‌ටා මහා විද්‍යාලයටයි. එදා හේ පාසල් වියේදී තම ළමා කාලය ගත කළ අයුරු 'උපන්දා සිට බාලවිය' නම් කෘතියේ හරි අපූරුවට විස්‌තරකොට ඇත්තේ මේ අයුරින්ය. මාර්ටින් වික්‍රමසිංහයන් ගැමි පරිසරයට දැඩිව ඇළුම් කළේය. බොනවිස්‌ටාවේ ඉගෙනුම ලබන කාලයේ ගැමි පරිසරය ගැන උපන්දා සිට බාලවිය කෘතියේ මේ අයුරින්ද සදහන්ව තිබුණි.

''බොනවිස්‌ටාවේ උගන්නා කාලයේ මා ජීවත්වූයේ ගාල්ලෙහි වුවද ගැමි පරිසරයෙහි බැඳී සිටි මගේ සිත කය දෙක අලුත් පරිසරයකට යොමු කිරීම අමාරු කාරියක්‌ විය. තරුණ විය තෙක්‌ම මා හොඳම උගැන්ම ලැබුවේ ගැමි පරිසරයෙනි. තිස්‌තුන් හැවිරිදි වියේදී පමණ විවාහ ජීවිතයට ඇතුළු වී දරුවන් දෙතුන් දෙනෙකු ලබන තෙක්‌ ගැමි පරිසරයට උපන් ඇල්ම මගේ සිතින් බැහැර නොවීය.''

-මා අහංගම සිංහල පාසලට ආවේ ගාල්ලේ බොනවිස්‌ටා පාසලෙහි තුන් අවුරුද්දක්‌ පමණ උගැන්මෙන් පසුවය. ගාල්ලේ දී මම ඉංග්‍රීසිය පමණක්‌ නොව, ඉංග්‍රීසිකාරයින් ගේ සිතුම් පැතුම් දැනුම් පිළිබඳ උගැන්මක්‌ ලැබීමි. නොමනා යෑයි තර්කානුකූලව බැහැර කළ හැකි කිසිවක්‌ මා ලැබූ ඒ උගැන්මෙහි නොවීය. එහෙත් ඒ උගැන්ම මා උපන් ගමෙහි පරිසරය හා මගේ ජීවිතයද සමග තුලනය කොට සලකන කල දැන් නම් මා තුළ හට ගන්නේ කෝපයෙකි. කලකිරීමකි.'' 

මාර්ටින් වික්‍රමසිංහයන් ඇතුළු උගතුන් විද්වතුන් රැසක්‌ අකුරු කළ බොනවිස්‌ටා පාසලට වර්තමානයේ උදා වී ඇති ඛේදජනක තත්වයකි. වික්‍රමසිංහයන් විසින් රචිත උපන් දා සිට කෘතියේ බොනවිස්‌ටාව ගැන සඳහන් තොරතුරු මේ අයුරින් උපුටා දක්‌වමින් මෙකි ලිපියට ප්‍රවේශයක්‌ ලබා ගත්තේ මෙකී පාසලේ ඇති වැදගත්කම ගැන ස`දහන් කිරීමටය.

එක්‌ පසකින් දක්‌නට ඇත්තේ ගාලු වරායයි. ඈත සිතිජය තෙක්‌ විසිරී පැතිරී ඇති කරදිය කඳ සුන්දර දසුනකි. රූමස්‌සල කඳු ගැටය නිල්වන් අහස්‌තලය යට පිහිටි රුක්‌ ගොමුවක්‌ වැනිය. අදටත් සුන්දරත්වය වියෑකී නැති රූමස්‌සල කඳු ගැටයේ පිහිටි බොනවිස්‌ටා මහා විද්‍යාලයට ඇත්තේ දිගු ඉතිහාසයකි. වික්‍රමසිංහයන් පමණක්‌ නොව, මහාචාර්ය සෙනරත් පරණවිතාන, අග්‍රාණ්‌ඩුකාර සර් ඔලිවර් ගුණතිලක, බෞද්ධ පුනරුදයට හා ජාතික නිදහස්‌ සටනට පණපෙවූ දොස්‌තර ඩබ්ලිව්. ආතර් ද සිල්වා, මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්, සර්වෝදයේ නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න, කලාශුරි එඩ්වින් ආරියදාස, සාහිත්‍යධර අනපිය කුඩාතිහි, හිටපු මහජන බැංකු සභාපති ජී. අමරසිංහ, අමාත්‍යංශ ලේකම්වරයකු වු අශෝක ජයසේකර යන මහත්වරු ඇතුළු විද්වතුන් රැසක්‌ මෙම විදුහල් මාතාව විසින් ජාතියට දායාද කොට ඇත්තීය.

ඒ කොයිහැටි වුවද උගතුන් බුද්ධිමතුන් වියතුන් රැසක්‌ ජාතියට දායාද කළ බොනවිස්‌ටා මහා විද්‍යාලය වැසී යැමේ අවදානමකට ලක්‌ව ඇත්තේය. මෙකී පාසලේ වර්තමාන තත්ත්වය ඉතා ඛේදජනකය. පාසල ආරම්භකොට ඇත්තේ අපේ රටට නිදහස ලැබීමටත් වසර සියයකට පමණ ඉහතදීය. ඒ 1848 වසරේදීය. අදවනවිට පාසලේ වයස අවුරුදු 167 කි. ඉංග්‍රීසින් විසින් මෙරට පාලනය කළ මුල් අවධියේ දී ඇන්ග්ලිකානු ලංකා සභාව විසින් ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම ස`දහා මෙරට ඉංග්‍රීසි පාසල් ආරම්භ කරනු ලැබීය. එම පාසල් අතුරින් දකුණු පළාතේ ගාල්ල නගරය ආසන්නයේ ආරම්භ කළ මුල්ම පාසල වන්නේ බොනවිස්‌ටා පාසලයි. මාක්‌ස්‌ පියතුමා විසින් මෙම පාසල ආරම්භ කරනු ලැබිය. එදා මෙම පාසලට නම්පට බැ`දී තිබුණේ බොනවිස්‌ටා පිරිමි ඉංග්‍රීසි පාඨශාලාව යන නාමයෙනි.

බොනවිස්‌ටා නම ලද හැටි

බොනවිස්‌ටා යන නාමය පටබැඳී ඇති ආකාරය පිළිබඳවද විවිධ මත පවතී. මෙකී පාසලට අමතරව රූමස්‌සල කඳු ගැටයේ වැඩිහිටි නිවාසයක්‌ද වේ. එය හඳුන්වන්නේද බොනවිස්‌ටා වැඩිහිටි නිවාසය යනුවෙනි. රූමස්‌සල උතුර බස්‌නාහිර කොටසටද බොනවිස්‌ටා යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. 

ඊ.වී.ජී විලියම් සිල්වා විසින් රචිත ගාලු ඉතිහාසය නැමති ග්‍රන්ථයේ මේ පිළිබඳ සඳහන්වන්නේ 1796 න් පසු මෙම නම තබන ලද්දේ විලියම් කාර්මයිකල් ගිබ්සන් බවය. රූමස්‌සලට නිතර දඩයමේ ගිය ගිබ්සන් විසින් මෙහි සාදන ලද කුඩා ගෙය පසුව විශාල මන්දිරයක්‌ විය. ඔහුගේ මරණයෙන් පසුව ලංකා කාලතුවක්‌කු හමුදාවේ කර්නල් වොට්‌සන් විසින් මෙම නිවාසය ගිබ්සන් නෝනාගෙන් බද්දට ගනු ලැබීය. හේ කැප්ටන් වොට්‌සන් නමින්ද ප්‍රකටව සිටියේය. ගිබ්සන් මහතාගේ බිරිඳ වූ මාගර්ට්‌ පසුව මෙම මන්දිරය හා එහි පිහිටි භුමිය පවුම් 415 කට විකුණනු ලැබීය. ඉන්පසු මෙය මුයාර්ට්‌ දේවගැති තැනගේ නිවහන විය. ගිබ්සන් නෝනා මේ අසල තමාට අයිති තවත් භූමියක පුණ්‍ය පාඨශාලාවක්‌ පිහිටවනු ලැබීය.

කෙසේවුවද නගරයට ගොස්‌ විශාල වියදමක්‌ දරා අකුරු කිරීමට නොහැකි සාමාන්‍ය පොදු ජනතාවගේ දූ දරුවන්ට මෙම පාසලින් අත්වූ සේවය අති විශාලය. වැඩිකලක්‌ යන්නට මත්තෙන් බොනවිස්‌ටාව විනය පාලනය හා ඉගැන්විම අතින් දකුණු පළාත තුළ රැව් පිලිරැව් දෙන්නට විය. පාසලේ මුල්ම විදුහල්පතිවරයා වන්නේ ඇලෙක්‌සැන්ඩර් ඒකනායකයන්ය. ඇලෙක්‌සැන්ඩර් ජයසේකර, ජී.අමරසිංහ, විද්‍යාසාගර, ඩී. සිරිමාන්න, එන්. ඩී. අබේනායක, ජී.එච්.එෆ්. වැලිකල, එම්. ඩබ්ලිව්. විරසිංහ, සී. මානවඩු යන විදුහල්පතිවරුන්ද මෙහි සිහිපත් කළ යුතුය. 1876 දි බොනවිස්‌ටාව උසස්‌ පාසලක්‌ පිළිගනු ලැබිය. 1935 සිට 1942 දක්‌වා කාලය මෙම පාසල සැම අතින්ම දියුණුවට පත්වූ යුගය වශයෙන් සඳහන් කළ හැකිය.

එම කාලයේ කනිෂ්ඨ පංති දක්‌වා පංති පැවැත්වුණි. මෙම කාලයේ දී කැරම්, ටේබල් ටෙනිස්‌, පාපන්දු, වොලිබෝල්, බොක්‌සිං හා මලල ක්‍රීඩා ඉතා සාර්ථක ලෙස පැවැත්විණි. දෙවන ලෝක යුධ සමයේ මෙම පාසල වෙනත් ස්‌ථානයකට ගෙනයැමට සිදුවීම පාසලේ ඉදිරිගමනට බලවත් බාධාවක්‌ විය. නමුත් ඒ සියලු අභියෝග ජයගනිමින් එවකට පාසල පාලනය කළ විදුහල්පතිවරුන් මෙම පාසල දියුණු කිරීමට දැඩි කැපවිමක්‌ කරනු ලැබීය. 1950 වර්ෂයේ දී ජ්‍යෙෂ්ඨ පංති අරඹමින් මෙකී පාසල තවත් පියවරක්‌ ඉදිරියට තැබීය. බොනවිස්‌ටාව 1954 දී මිශ්‍ර පාසලක්‌ බවට පත්විය. 1962 වසරේ දී මෙකී පාසල රජයට පවරා ගැනීමත් සමග එය රජයේ පාසලක්‌ බවට පත්විය.

අද තත්ත්වය

අදවන විට බොනවිස්‌ටා පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් සංඛ්‍යාව තිස්‌තුන් දෙනෙකි. ආචාර්ය මණ්‌ඩලය අට දෙනකුගෙන් සමන්විතය. පංති පැවැත්වෙන්නේ හය වසරේ සිට දහය වසර දක්‌වාය. එහෙත් හතේ පංතියේ කිසිදු දරුවකු ඉගෙනුම නොලබයි. හය වසරේ අකුරු කරන්නේ දරුවන් හතර දෙනෙකි. එම දරුවන්ද පාසලට ඇතුළත් කරගැනීම සඳහා වත්මන් විදුහල්පතිතුමා හා ආචාර්ය මණ්‌ඩලය දැඩි කැපවීමක්‌ කරනු ලැබීය.

පාසලේ එක්‌ ගොඩනැගිල්ලක්‌ සම්පූර්ණයෙන්ම ගරා වැටි ඇත්තේය. අද එය මත්කුඩු ලෝලින්ගේ රජදහනක්‌ බවට පත්ව තිබේ. තවද මෙහි සමාජ විරෝධි ක්‍රියාවන් සිදුවන බවටද පැවසේ. පාසලේ ඇති ගොඩනැගිලි පද්ධතිය වසර ගණනාවකින් අලුත්වැඩියා කොට නැත. පාසල තුළ වායුසමීකරණය කරනු ලැබු කාමරයක පරිගණක ඒකකයක්‌ ඇත. එහෙත් එහි පරිගණක නැත. එහි ඇත්තේ පරිගණක කොටස්‌ කිහිපයක්‌ පමණ. මේ තොරතුරු තාක්‌ෂණය ගැන මහා ඉහළින් කථා කරන යුගයකි. නමුත් මෙකී පාසලේ දරු දැරියන්ට පරිගණකයක්‌ පාවිච්චි කිරීමට වාසනාව අහිමිවී ගොසිනි.

පාසලට මුරකරුවෙක්‌ මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයක්‌ පත්කිරීමට පවා අධ්‍යාපන අමාත්‍යංශය මගින් කටයුතු නොකිරීම කනගාටුවට කරුණකි. අද එම කටයුතු පවා කිරීමට සිදුවී ඇත්තේ විදුහල්පතිතුමා හා ආචාර්ය මණ්‌ඩලයටය. පාසලේ සංගීත භාණ්‌ඩ ඇතුළු උපකරණ කිහිපයක්‌ ඇතත් එම උපකරණද අබලන් තත්ත්වයට පත්ව තිබේ. සෞන්දර්ය ගුරුවරයෙක්‌ද නොමැත. පාසලේ වත්මන් විදුහල්පති වසන්ත කහදගමගේ පාසල වසා නොදමා රැක ගැනීම සඳහා දැඩි අරගලයක නිරතව සිටින්නේය. ඔහුගේ මගපෙන්වීම මත -බොනවිස්‌ටා සුරැකීමේ එකමුතුව අපි නමින් සංවිධානයක්‌ බිහිකරගෙන ඇත්තේය. පාසලේ ළමුන් තිස්‌තුන් දෙනෙක්‌ සිටියද මෙවර ඉතා සාර්ථක ක්‍රිඩා උත්සවයක්‌ පැවැත්වීමට කටයුතු කරනු ලැබිය. නොව පාසල පවත්වාගෙන යාම සඳහා කෙතරම් අභියෝග තිබුණද මෙවර අ.පො.ස සා පෙළ ප්‍රතිඵලය සියයට තිස්‌තුනකි.

පාසලේ ආදි සිසුන් පසුගිය දා පාසලට රැස්‌ වී පාසල රැක ගැනිම සඳහා විශේෂ සාකච්ඡාවක්‌ද පවත්වනු ලැබීය. තිලකානන්ද රණවිර ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු උප සභාපතිවරයාය. හේ අප සමග කතා කළේ මේ අයුරිනි.

මේ පාසල ජාතියට උගතුන් විද්වතුන් රැසක්‌ දායාද කළ පාසලක්‌. 53 වසරේ තමයි මා මේ පාසලට ඇතුළත් වුණේ. ඒ කාලයේ මට හොඳට මතකයි. පාසල අසල පිංතාලියක්‌ තිබුණා. ඒ කාලයේ බොනවිස්‌ටා කනිෂ්ට විද්‍යාලයේ පහේ පංතියට විතරයි පංති තිබුණේ.

ඒ කාලයේ බර්ගර් ළමුන්ද මෙම පාසලේ ඉගෙනුම ලැබුවා. මගේ මතකයේ හැටියට බර්ගර් ළමුන් තිහක්‌ විතර හිටියා. සර් ඔලිවර් ගුණතිලක මහත්තයා අකුරු කළෙත් මේ පාසලේ. එතුමාගේ ඥාතීන් අදටත් රූමස්‌සල ඉන්නවා. පාසලේ භෞතික සම්පත් හා මානව සම්පත්වල ඌනතාවයක්‌ තියෙනවා. පාසලට වර්තමානයේ උදා වී ඇත්තේ ඛේදනීය තත්ත්වයක්‌. පාසල වැසීයැමේ අවදානමක්‌ තියෙනවා. අද බොනවිස්‌ටාව හුදකලා පාසලක්‌ බවට පත්කොට තියෙනවා. හයේ පංතියට ළමුන් ඇතුළත් කරන්නේ නැහැ.''

ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂක කේ. ඒ. සුසිල් ප්‍රේමනාත් මෙම පාසල ගැන පවසන්නේ මෙවන් කතාවකි.

-පාසල වසා දමන්න කිසිදු තීන්දුවක්‌ ගෙන නැහැ. රූමස්‌සල ප්‍රදේශයේ දෙමව්පියන් මෙම පාසලට ළමන් යොමුකරනවානම් කිසිදු ගැටලුවක්‌ නැහැ. නමුත් මෙම පාසලට ළමන් කාන්දුවීමේ අඩුවක්‌ තියෙනවා. නමුත් උණවටුන හා රූමස්‌සල ළමුන් මෙම පාසලට යොමු කරන්නේ නැහැ. ඒ නිසා පාසලට දරුවන් යොමුකිරීමේ වැඩ පිළිවෙළක්‌ සකස්‌ කළයුතු වෙනවා. පසුගිය දිනක කොට්‌ඨාස අධ්‍යාපන අධ්‍යක්‌ෂකවරිය හා විදුහල්පතිතුමා කැඳවලා මේ ගැන සාකච්ඡා කළා. මෙම පාසල රැක ගැනීම සඳහා දක්‌ෂ නිර්මාණශීලි විදුහල්පතිවරයෙක්‌ අපි පත්කොට එවා තියෙනවා. ගුරුවරුන්ගේ හා භෞතික සම්පත්වල අඩුවක්‌ නැහැ. මෙහි ගොඩනැගිලි අලුත්වැඩියා කරලා පුස්‌තකාල පිළිබඳ සංරක්‌ෂණ මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවන ලෙස යෝජනාවක්‌ද ඉදිරිපත් වී තියෙනවා. පාසලට දරුවන් ඇතුළත් කරගැනීමේ වැඩ පිළිවෙළක්‌ යෙදිය යුතු වෙනවා. එය දෙමව්පියන්ගේද වගකීමක්‌. ඒ සඳහා අපේ සහයෝගය ලබාදෙනවා. කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂකවරයා පැවසීය.

ගාල්ල- ලලිත් චාමින්ද
http://www.divaina.com/2015/11/01/feature03.html

යුද අපරාධ කළේ කවුද?

2009 වසර වන විට ශ්‍රී ලංකා රජය, දෙමළ විමුක්‌ති කොටි සංවිධානය සමඟ එළැඹී තිබුණු අභ්‍යන්තර සන්නද්ධ ගැටුමට අවුරුදු 30 ක්‌ සැපිරිණි. ශ්‍රී ලංකාවේ උතුර හා නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා ම්ලේච්ඡ බෙදුම්වාදී අරගලයක්‌ කොටි සංවිධානය විසින් දියත් කර තිබුණි.

සාමය උදාකර ගැනීම සඳහා අනේකවාරයක්‌ අසාර්ථක ලෙස උත්සාහ ගැනීමෙන් පසුව මේ සටන හමුදාවේ මෙන්ම සිවිල් වැසියන් ද දසදහස්‌ ගණනක ජීවිත මත නිමාව දැකීය. සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීම අරබයා යුද මුක්‌ත කලාප රජය නිර්මාණය කිරීමට කටයුතු කළේය. ඉන් පළමුවැන්න පිහිටු වූයේ 2009 ජනවාරි මාසයේය. මෙවැනි යුද මුක්‌ත කලාපයකට යුද හමුදාව වෙඩි ප්‍රහාර එල්ල නොකරන බව අවබෝධ කරගත් එල්.ටී.ටී.ඊ. ය තම සේනාංක හා යුද උපකරණ සිවිල් වැසියන් අතරට ගෙනෙනු ලැබීය. මේ වූ කලී එල්.ටී.ටී.ඊ. ය සිදුකළ යුද අපරාධයකි. සටනේ අවසාන අදියරේ එල්.ටී.ටී.ඊය නිත්‍ය පරාජය අභිමුඛව සිටි අවස්‌ථාවේ සිවිල් වැසියන් මනුෂ්‍ය පලිහක්‌ ලෙස යොදාගෙන යුද මුක්‌ත කලාපයේ සිට ශ්‍රී ලංකා හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත් අතර එසේ කරනු ලැබුවේ යුද හමුදාව ලවා සිවිල් වැසියන් දෙසට ප්‍රතිප්‍රහාර එල්ල කර සිවිල් වැසියන් යුද හමුදාව විසින් මරා දමන බවට චෝදනා කිරීමට මග පාදා ගැනීම පිණිසය. එපමණක්‌ නොව එල්. ටී.ටී.ඊ. ය තම වැසියන්ට එරෙහිව ද ප්‍රහාර එල්ල කළ බවට සාක්‍ෂි මූලාශ්‍ර ගණනාවක්‌ තුළින් ලැබී තිබේ. තම පරාජය හමුවේ ජාත්‍යන්තර මැදිහත් වීමකට ඉඩ සලසනු පිණිස මාධ්‍ය චණ්‌ඩ මාරුතයක්‌ නිර්මාණය කිරීම මෙවැනි සටනක උපයෝගී කරගන්නා ප්‍රකට සැලසුමකි.

එල්.ටී.ටී.ඊ. ය බලෙන් රඳවාගෙන සිටි සිවිල් පුරවැසියන් නිදහස්‌ කර ගැනීමේ පරම වගකීම ශ්‍රී ලංකා ජනරජය සතුය. නීති විරෝධී ලෙස රඳවාගෙන සිටි එකී පුරවැසියන් නිදහස්‌ වීමට උත්සාහ දැරූ අවස්‌ථාවන්වලදී ඔවුනට වෙඩි තබනු ලැබිණි. ඒ අනුව එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීම සඳහා ඔවුන්ගේ ග්‍රහණයේ සිටි සිවිල් පුරවැසියන් බේරා ගැනීම සඳහා දියත් කළ ක්‍රියාවලියේදී සිවිල් වැසියන් 8000 ක්‌ සිට 40,000 ක්‌ අතර ප්‍රමාණයක්‌ අනතුරට ලක්‌විය. මෙම සංඛ්‍යාවල නිවැරැදිතාවය කවරක්‌ වුවත් එල්.ටී.ටී.ඊ. ය විසින් තම ග්‍රහණයට නතු කරගත් සිවිල් පුරවැසියන් විශාල ප්‍රමාණයක්‌ නිදහස්‌ කරගෙන ඇත. මේ වූ කලී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එල්.ටී.ටී.ඊ. ය පරාජය කොට ලබාගත් මානුෂික විජයග්‍රහණයකි. එමගින් එල්.ටී.ටී.ඊ. ය එක පවුලකින් එක ළමයකු තම සේනාංකවලට බඳවා ගැනීමේ සුපුරුදු ක්‍රියාදාමය නිමා විය. යුද්ධයේ ප්‍රගමනයත් සමග එල්.ටී.ටී.ඊ.යේ මේ බඳවා ගැනීමේ ක්‍රියාදාමය තවත් උත්සන්න කළ අතර එය ම්ලේච්ඡ ලෙස ක්‍රියාවට නංවනු ලැබිණි. එහි ප්‍රතිඵලය වූයේ එක පවුලකින් ළමයින් ගණනාවක්‌ ස්‌වකීය සේනාංකයට බඳවා ගැනීමය. මීට අවුරුදු 14 ක්‌ තරම් ලාබාල ගැහැනු හා පිරිමි දරුවන් ඇතුළත් විය.

එල්.ටී.ටී.ඊ. ය පරාජය කිරීමත් සමඟ ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව සිවිල් වැසියන් ඉලක්‌ක කරමින් නීති විරෝධී සමාන්තර හානි සිදුකළ බවට අනේක විධ චෝදනා එල්ල කිරීම ආරම්භ විය.

දෙවැනි ලෝක සංග්‍රාමය අවසානයේ පාවිච්චි කරනු ලැබූ පරමාණු බෝම්බ නිසා සිදුවූ හානිය පිළිගත හැකි සමාන්තර හානියක නිර්නායකයක්‌ ලෙස යොදා ගැනීම සුදුසු නොවේ. මක්‌ නිසාද යත් දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව මේ පිළිබඳ අදාළ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය වෙනස්‌ වී තිබීමයි. දෙවැනි ලෝක යුද්ධ සමයේ වූ පිළිගැනීම වූයේ නීත්‍යනුකූල යුදමය ඉලක්‌කයක්‌ සඳහා පහරදුන් අවස්‌ථාවක විශාල ලෙස සිවිල් පුරවැසියන්ගේ ඝාතන සිදුවූවත් එය නීත්‍යනුකූල බවයි. මෙම පුළුල් මතය දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව තියුණු ලෙස වෙනස්‌ විය. ඒ අනුව වර්තමානයේ ජාත්‍යන්තර ප්‍රජාව, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය තවදුරටත් පුළුල් කර සන්නද්ධ අරගලයකදී සිදුකළ හැකි සිවිල් පුරවැසියන්ගේ ඝාතනයන් පිළිබඳව සීමා ඉහළ දමා ඇත.

වර්තමානයේ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය අනුව සන්නද්ධ අරගලයකදී සිදුවිය හැකි සිවිල් වැසියන්ගේ ඝාතන ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ කරුණු 03 ක්‌ පදනම් කරගෙනය. එනම්,

01. වෙන්කොට හඳුනා ගැනීම (Distinguish)
02. යුදමය අවශ්‍යතාවයන් (Military necessity)
03. සමානුපාතික භාවය (Proportionality)

යුද්ධයේ අවසාන භාගයේදී සිදුවූ සිවිල් වැසියන්ගේ ඝාතනවල නීත්‍යනුකූලභාවය විමසීමේදී ඉඩදෙනු ලබන සමාන්තර හානිය කොපමණද යන්න තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනය වීමක්‌ ලෙස සැලකෙනුයේ සිවිල් වැසියන් ඉලක්‌ක කර ඕනෑකමින් ප්‍රහාර එල්ල කර ඇත්නම් පමණි. (මෙය වෙන් කර හඳුනා ගැනීමේ මූලධර්මය කඩ කිරීමකි) එසේම යුදමය ඉලක්‌කයකට ප්‍රහාරයක්‌ එල්ල කිරීමේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා සිවිල් වැසියන්ගේ ඝාතනයක්‌ සිදුවිය හැකි බව දනිමින්ම ප්‍රහාර එල්ල කරනු ලැබුවහොත් එය ද ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනය කිරීමක්‌ වනු ඇත. (මේ සමානුපාතික පිළිබඳ මූලධර්මය උල්ලංඝනය වීමකි)

එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් පත් කළ විශේෂඥ කණ්‌ඩායමේ වාර්තාවට අනුව යුද්ධයේ අවසාන භාගයේදී තුන්ලක්‍ෂ තිස්‌දහසක්‌ පමණ සිවිල් වැසියන් සිරවී සිටි අතර ඔවුන් මිනිස්‌ පළිහක්‌ ලෙස එල්.ටී.ටී.ඊ. ය හා ඉදිරියට එන ශ්‍රී ලංකා හමුදාව අතර රඳවාගෙන සිටින ලදී. 2009 පෙබරවාරි මස සිට එල්.ටී.ටී.ඊ. ය යුද කලාපයෙන් මිදීමට උත්සාහ කරන සිවිල් පුරවැසියන් අමු අමුවේ මරා දමනු ලැබිණි. යුද කලාපයෙන් පිටතදී ඔවුන් අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමයි. අප්‍රේල් 03 වැනි සිකුරාදා එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් සිවිල් වැසියන්ට යුද කලාපයෙන් පිටතට ඒමට ඉඩදෙන ලෙස එල්.ටී.ටී.ඊ.යෙන් ඉල්ලා සිටින ලදී. ඔහු කියා සිටියේ කුඩා ප්‍රදේශයක්‌ තුළ දැඩි ජීවිත හානියකට ලක්‌වීමේ අවදානම් ඇතිව බලෙන් සිවිල් වැසියන් රඳවාගෙන සිටීම ඔහුගේ කම්පාවට හේතු වී තිබෙන බවය. එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා තවදුරටත් කියා සිටියේ මෙසේ සිවිල් වැසියන් විශේෂයෙන්ම දරුවන් බඳවා ගැනීමෙන් හා නිදහසේ ගමන් කිරීමට ඇති අයිතිය එල්.ටී.ටී.ඊ.යේ දැඩි සීමාවන්ට නතු කරගැනීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක්‌ බවයි. මේ අනුව රජයේ පරම වගකීම වූයේ බලෙන් අල්ලා ගෙන සිටි මේ වැසියන් මුදා ගැනීමය. ඒ සඳහා සමානුපාතික නීති මූලධර්මයන්ට යටත්ව අවශ්‍ය බලය අවශ්‍ය පමණින් යොදා සතුරා පරාජය කිරීම සිදුකළ හැකිය. ඒ අනුව දෙලක්‍ෂ අනූ හය දහසක්‌ ජනතාව මුදා ගනු ලැබිණි. මාගේ අදහසට අනුව මෙය යුදමය හා මානුෂික අවශ්‍යතාවක්‌ වේ. සටනකදී සිදුවන ඝාතනය බලාපොරොත්තු වන යුදමය ක්‍රියාවලියක්‌ සමානුපාතික නම් එය නීත්‍යනුකූල වේ.

රජය සිවිල් වැසියන්ගේ මරණ ප්‍රමාණය අවම තත්ත්වයකින් පවත්වා ගනිමින් අවශ්‍යතාව වෙන්කොට හඳුනා ගැනීම හා සමානුපාතික භාවයේ මූලධර්ම අනුගමනය කරමින් යුද්ධය නොපමාව අවසන් කිරීමට අවශ්‍ය බව මා තරයේ විශ්වාස කරමි. හැකි සෑම සිවිල් පුරවැසියකු බේරාගැනීම එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පලා යැම වැළැක්‌වීමත් අත්‍යවශ්‍ය වේ. මක්‌නිසාද යත් එසේ ඔවුන් පලා ගියහොත් ඔවුන්ට ලෝකයේ වෙනත් තැනක එකතු වී ශ්‍රී ලංකාවේ ජනතාවට එරෙහිව ත්‍රස්‌තවාදී කටයුතුවල නිරත වීමට අවස්‌ථාව සැලසෙන නිසාය. පිටත සිට රජයකට එරෙහිව ත්‍රස්‌තවාදී ක්‍රියාවල නිරතවීමේ සංකල්පයට 2001 දී නිව්යෝර්ක්‌ නගරයේ ද්විත්ව කුලුනු මත අල්කයිඩා සංවිධානය එල්ල කළ පහරදීම හා ඉන්දියාවේදී රජිව් ගාන්ධි මහතාගේ ඝාතනය කිරීම කදිම නිදසුනක්‌ වේ. මෙම යුද්ධයේදී සිදුවූ ජීවිත හා දේපළ හානිය පිළිබඳ කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතු වන්නේ එය හුදෙක්‌ සමාන්තර හානියක්‌ බවයි. මේ අනුව මගේ නිගමනය වන්නේ යුද අපරාධ සිදුකළ බවට රජයට චෝදනා නැගීම සිදුකළ නොහැක්‌කක්‌ බවයි.

මේ පිළිබඳ හේතු සාධක මගේ තීරණයේ 9 හා 10 වගන්තිවල වැඩිදුරටත් දක්‌වා ඇත. මෙයින් මා අදහස්‌ කරන්නේ තනි පුද්ගලයකු අතරින් යුද අපරාධ සිදුවිය නොහැකි බව නොවේ. නමුත් ඉදිරිපත් වී ඇති සාක්‍ෂිවලට අනුව සිදුවී ඇති සමාන්තර හානි මඟින් යුද අපරාධ සිදුකිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියක්‌ නොතිබුණ බවය. වෙනත් වචනවලින් කිවහොත් රාජ්‍ය අනුග්‍රහයෙන් යුද අපරාධ සිදුකළ බවට කිසිදු සාක්‍ෂියක්‌ නැත. 
   
රාජ නීතිඥ ශ්‍රීමත් ඩෙස්‌මන්ඩ් ලෝරන්ස්‌ ද සිල්වා
http://www.divaina.com/2015/11/01/feature11.html

මැරෙන දවස දැන සිටි ඉන්දිරා ගාන්ධි

ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධි යනු නිදහස්‌ ඉන්දියාවේ සිව්වැනි අගමැතිනියයි. ඇය එරට පළමු කාන්තා අගමැතිනිය වූ අතර භාරත දේශය පුරා වසර 15 ක්‌ පාලනය කළ තැනැත්තිය ද වූවාය. ගාන්ධි අගමැතිනිය ගැන අපට හදිසියේ සටහනක්‌ තබන්නට සිදු වූයේ මන්ද? ඇගේ ඝාතනය සිදුවී වසර 31 ක්‌ සපිරුණේ ඊයේ දිනයේ නිසා නොව ප්‍රමුඛ පෙළේ කොංග්‍රස්‌ නායකයකු වන එම්. එල්. ෆොටේඩාර් සිය පැරණි නායිකාව ගැන හෙළිකරන විශේෂ තොරතුරක්‌ නිසාය.

මීට වසර 31 කට පෙර එනම් 1984 ඔක්‌තෝබර් 31 වැනිදා පෙ. ව. 9.20 ට ඉන්දිරා ගාන්ධි ඝාතනයට ලක්‌වූයේ ඇගේ ශරීරාරක්‌ෂකයින් දෙදෙනකු වූ ෂට්‌වාන්ට්‌ සින් හා බීන්ට්‌ සින්ගේ වෙඩි ප්‍රහාරයන්ට ලක්‌වීමෙන් පසුවය. නවදිල්ලියේ සෆ්ඩාර්ජුන් මාවතේ පිහිටි අංක එක දරන නිවසේ සිට යාබද අක්‌බාර් පටුමගේ අංක එක දරන අගමැති කාර්යාලය වෙත ඉන්දිරා ගාන්ධි පාගමනින් ගමන් කරමින් සිටියදීය.

ඒ අතරතුර පිහිටි දොරටුවක ආරක්‍ෂාව භාරව සිටි මේ සික්‌ ජාතික පොලිස්‌ නිලධාරීන් දෙදෙනා සිය ඉලක්‌කය සපුරා ගත්හ. උප පොලිස්‌ පරීක්‍ෂක බීන්ට්‌ සින් ගාන්ධි අගමැතිනිය ප්‍රියකළ ආරක්‍ෂකයකු වූ අතර මොහුගේ සේවා කාලය වසර දහයක්‌ විය. බීන්ට්‌ සින්ගේ වෙඩි ප්‍රහාර ඉන්දිරාගේ බඩ ප්‍රදේශයට වැදී ඇය ඇදවැටුණු අතර එයින් පසු ෂට්‌වාන් සින් බිම වැතිර සිටි අගමැතිනියට නොනවත්වා වෙඩි තැබුවේය. විනාඩි කිහිපයක්‌ තුළ මේ ස්‌ථානයට පැමිණි ඉන්දු ටිබෙට්‌ දේශසීමා ආරක්‍ෂක සෙබළුන් දෙදෙනෙක්‌ බීන්ට්‌ සින්ට වෙඩි තබා ඝාතනය කළ අතර ෂට්‌වාන් අත්අඩංගුවට ගැනිණි. අගමැතිනිය ඝාතනය කළ වරදට ෂට්‌වාන් එල්ලා මරා දැමුවේ 1989 දීය. අම්රිත්සාර්හි ශුද්ධ වූ රන්දෙවොල සික්‌ අන්තවාදීන් විනාශ කර දැමීම සඳහා ඉන්දිරා අගමැතිනියගේ අණ පරිදි සිදු කළ බ්ලූ ස්‌ටාර් මෙහෙයුම ඇගේ  ඝාතනයට මූලික වූ ප්‍රධානතම කරුණ විය. ජුනි මාසයේ සිදු කළ බ්ලුස්‌ටාර් මෙහෙයුමෙන් පසු අගමැතිනියගේ ආරක්‍ෂාවට සිටි සික්‌ පොලිස්‌ භටයන් ඉවත් කළ යුතු බවට බුද්ධි අංශවලින් දැනුම් දී තිබුණ ද එය ක්‍රියාත්මක වූයේ නැත. අගමැතිනියට වෙඩි තැබීමෙන් පසු සීක්‌ උප පොලිස්‌ පරීක්‍ෂකවරයා "මම කරන්න ඕන දෙය ඉටු කළා" යනුවෙන් කෑගසා ඇත. ගාන්ධි මහත්මියගේ ශරීරය වෙඩි උණ්‌ඩ තිහකින් පසාරු වී තිබූ අතර ඇය මරණයට පත්වූයේ සවස 2.20 ටය. ඉන්දිරා අගමැතිනිය සික්‌වරුන්ට එරෙහිව කළ මෙහෙයුම නිසා මරණයට පත්වූ අතර ඇගේ වැඩිමහල් පුතු එනම් රජිව් ගාන්ධි කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ උතුර නැගෙනහිර පළාත්වල සිදු කළ මෙහෙයුම් නිසා 1991 දී තමිල්නාඩුවේදී ඝාතනය විය. ඉන්දිරා ඝාතනයෙන් පසු ඉන්දියාව පුරා සික්‌වරු දෙදහසක්‌ ඝාතනය කෙරිණි.

නේරු දියණියගේ අවාසනාවන්ත ඉරණම ගැන යළි සිහිපත් කරන්නට සිදු වූයේ මේ කතාවට ප්‍රවිෂ්ඨයක්‌ ලබාගැනීම සඳහාය. එසේනම් කොන්ග්‍රස්‌ නායක එම්. එල්. ෆොටේඩාර් සිය  හිටපු අගමැතිනිය පිළිබඳ හෙළි කළ විශේෂ කරුණ කුමක්‌ද? ඉන්දිරා ගාන්ධි සිය මරණය ගැන කලින්ම දැනගෙන සිටි බවයි. කෙනෙකුට තම මරණය පිළිබඳ ඉවක්‌ දැනෙන්නට පිළිවන. එසේ නම් ඉන්දිරාට ද ඒ අවබෝධය තිබුණාද? ඉන්දියා පුවත් සේවයත් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්‌වෙමින් ෆොටේඩාර් මෙසේ සඳහන් කර තිබිණි. ගාන්ධි මහත්මිය නිතර කාශ්මීරයට පැමිණෙනවා. එසේ ආවම ඇය කාශ්මීරයේ ශාරිකා දේවි දෙවොල වන්දනා කිරීමට යනවා. ඇගේ අවසන් චාරිකාවේදීත් ශාරිකා දේවි දෙවොලට ගියා. එදා ශාරිකා දේවි දෙවොල වන්දනා කරලා එනවිට ඉන්දිරා අගමැතිනියගේ මුහුණේ තිබුණේ ඉතා කණස්‌සලු ස්‌වභාවයකි. ඒකට හේතුව වුණේ පූජා වට්‌ටියේ තිබූ කැවිල්ලක්‌ එහි හින්දු පූජකයා විසින් අගමැතිනියට දෙන්න යනකොට ඒක බිම වැටුණා. ඒක තමයි කණස්‌සල්ලට හේතුව. එයින්ම ගාන්ධි මැතිනියට අවබෝධ වුණා, තමන්ගේ ජීවිත කාලය ඉක්‌මනින්ම අවසන් වන බව" යෑයි කොංග්‍රස්‌ නායකයා හෙළිකර තිබිණි.

ඇත්තෙන්ම ගාන්ධි මහත්මියට ජ්‍යොතීර්වේදීන් අනතුරු අඟවා තිබුණේ ඇයට ඉතාම නරක කාලයක්‌ උදාවී තිබෙන බවයි. "ගාන්ධි මහත්මියට ජ්‍යොතිර්වේදීන් කියලා තිබුණේ නොවැම්බර් 19 වැනිදා පසුකරන්න පුළුවන් වුණොත් ඇයට තව අවුරුදු දහයක්‌ අගමැතිවෙලා ඉන්න පුළුවන් කියලා" යෑයි ෆොටේඩාර් කියයි. එහෙත් නේරු දියණියගේ ජීවන ගමන ඔක්‌තෝබර් 31 වැනිදායින් අවසන් විය. ශාරිකා දේවි දේවොලේදීම ගාන්ධි මහත්මිය තම ඉරණම ගැන අවබෝධයක්‌ ලැබුවාද? ඇගේ මුහුණේ බලවත් කණස්‌සලු ස්‌වභාවයම ඉදිරි ඛේදවාචකය සටහන් කිරීමක්‌ විය.

ඉන්දියාවේ යකඩ ගැහැනිය ලෙස විරුදාවලිය ලබා සිටි ගාන්ධි මහත්මිය මියයන විට 66 වැනි වියේ පසු වූවාය. විවාහයෙන් වසර 18 කට පසු ඇගේ සැමියා වූ ෆෙරෝස්‌ ගාන්ධි මරණයට පත්වූ අතර බාල පුතණු සන්ඡේ ගාන්ධි වයස අවුරුදු 33 දී ගුවන් අනතුරකින් මරණයට පත් වීය. 1975 - 80 කාලයේ ඉන්දීය දේශපාලනයේ ඉතාම බලවත් චරිතය වූයේ සන්ඡේ ගාන්ධිය. ඔහුගේ මරණයද ඉන්දිරා අගමැතිනියට බලවත් ශෝකය දනවන්නක්‌ විය. සිය පුතුගේ මරණයෙන් පසු ඇයටද ජීවත්වීමට ලැබුණේ වසර හතරක කාලයක්‌ පමණි. කාශ්මීරයේ ශාරිකා දේවි දේවාලයේදී ඉන්දිරා මහත්මියටත් ජීවිතයේ අනියත බව ගැන ඉවක්‌ දැනෙන්නට ඇත. කිසිවකුට මරණය පරාජය කළ නොහැක. එය සනාතන දහමකි.

චතුර පමුණුව
http://www.divaina.com/2015/11/01/feature04.html

සිහළ ජාතියේ ආනන්දය! - 'සරසවි සඳරැසින්' හෙළි කළ සිංහල ජනතාවගේ බූදලයට අවුරුදු 129යි

කොළඹ ආනන්ද විද්‍යාලය නොවැම්බර් මස 01 වන දිනට සිය 129 උපන්දිනය සමරයි. සරසවි සඳරැස නම් පුවත්පතෙහි පළ කළ පරිදි "සිංහල ජනයාගේ බූදලය" යෑයි සැලකෙන ආනන්දය ගෙවී ගිය වසර 128 ක කාල පරාසය තුළ ප්‍රෙෘඪ වූත්, කීර්තිමත් වූත් අතීතයකට උරුමකම් කියන්නට සමත් ව ඇත.

යටත්විජිත යුගයක ජාතික අවශ්‍යතා මත ඇරඹි මෙම උත්තුංග විද්‍යස්‌ථානය රට දැය සමය වෙනුවෙන් ඉටු කරන හා ඉටු කළ මෙහෙය අපමණය.

බෝධිසත්ව ගුණෝපේත හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ, වාදිභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි බෞද්ධ යතිවරයන් වහන්සේලාගේ මගපෙන්වීමත්, කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා ආදී විදේශීය ජන නායකයන් හා අනගාරික ධර්මපාලතුමා ආදී වූ දේශීය ජන නායකයන්ගේ අප්‍රතිහත ධෛර්ය, කැපවීම, අධිෂ්ඨානය නිසාවෙන්ම මෙම සුවිශේෂී වූ විද්‍යස්‌ථානය ආරම්භ කරන ලදී.

කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා විසින් සිදු කරගෙන යනු ලබන ජාතික වැඩපිළිවෙළට සහයෝගයක්‌ ලබාදීමට සී. ඩබ්. ලෙඩ්බීටර් මහතා ද 1885 වර්ෂයේදී දිවයිනට සම්ප්‍රාප්ත විය.

බෞද්ධ සංවිධානයක අනාගත ශක්‌තිය රඳා පවතින්නේ බෞද්ධ අධ්‍යාපනය මත බව වටහාගත් ඕල්කට්‌තුමාත් ලෙඩ්බිටර්තුමාත් බෞද්ධ පාඨශාලාවක්‌ ආරම්භ කිරීමේ කර්තව්‍යයට මුල පිරූහ. ඊට හික්‌කඩුවේ නායක හිමිපාණන් වහන්සේගෙන් හා මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමිගෙන් නොමද සහයෝගය හා අවවාද අනුශාසනා මග පෙන්වීම ලැබිණි.

1886 ඔක්‌. 23 වන දින විද්‍යෝදය පරිවේණාධිපති හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මහා රැලියේදී ගන්නා ලද තීරණයකට අනුව පිටකොටුවේ මැලිබන් වීදියේ අංක 61 දරන ස්‌ථානයෙහි "බෞද්ධ ඉංගී්‍රසි පාඨශාලාව" නමින් නොවැම්බර් මස 01 වන දින ආනන්ද පාසල ආරම්භ කර ඇත.

සිසුන් 37 දෙනකුගෙන් ඇරඹි මෙම පාඨශාලාවෙහි පළමුවැනි විදුහල්පතිවරයා වන්නේ, සමථ භාවනාව මගින් සිත දියුණු කර ගෙන සිටි ඉංගී්‍රසි ජාතික සී. ඩබ්. ලෙඩ්බිටර්තුමාය.

මෙතුමා ඕල්කට්‌තුමා විසින් ආරම්භ කළ පරම විඥනාර්ථ බෞද්ධ සමාගමෙහි උප සභාපතිවරයා ද විය.

ලෙඩ්බීටර් මහතාගෙන් පසුව වර්ෂ 1890 දී ඒ. ඊ. බුල්ජන්ස්‌ මහතා විද්‍යාලයාධිපතිත්වයට පත් විය. 

සිසුන් ප්‍රමාණය වැඩිවෙත්ම ඉඩකඩ සීමා වීම හේතුවෙන් 1895 අගෝස්‌තු මස 17 වැනිදා මුදලිඳු රාජපක්‍ෂ නම් දානපතිතුමන් විසින් පරිත්‍යාග කරන ලද මරදානේ පිහිටි "පරණවාඩිය" නම් ස්‌ථානයෙහි ආනන්ද විදුහල නමින් ආනන්දය ආරම්භ කරන ලදී.

ආදි කර්තෘ දිනය සමරන මෙම පින්බර මොහොතෙහි මුදළිඳු ටියුඩර් රාජපක්‍ෂ මැතිතුමාද කෘතවේදීව සිහිපත් කළ යුතුය. මරදානේ පරණවාඩිය නම් වූ මේ භූමි භාගය එවකට සීතාවක රාජසිංහ ඇතුළු රණශූරයන් වාඩිලාගත් රණ භූමියකි.

එලෙස රණ භූමියක්‌ වූ පරණවාඩිය වර්තමාන ලංකාවාසී බෞද්ධ ජනතාවගේ ක්‍ෂේම භූමියකි. ජාතියේ අනාගතය පිළිබඳ භාරදූර කර්තව්‍යයක යෙදෙන්නවුන්ගේ කේන්ද්‍රස්‌ථානය වී අවසානය. එදා මෙදාතුර තම යුතුකම් වගකීම් ඉටු කිරීමට දේශීය හා විදේශීය ජන නායකයන්ගේ අත්‍යත්තම වූ උදාර පරිත්‍යාගශීලී ක්‍රියාවෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ආනන්දය ශ්‍රී ලංකා ධරණි තලයෙහි සියලු ගෞරව අබිමන් ලබමින් විරාජමාන වේ.

ශ්වේත වර්ණ බුද්ධ මන්දිරයෙහි වැඩ වසන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අපරිමිත මෙත් සිසිලෙන් සැනහි සැනහී උපශාන්ත පරිසරයක්‌ තුළ ගුරු සිසු සැම ස්‌වකීය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ නිමග්න වෙති.

සී. ඩබ්. ලෙඩ්බීටර්තුමාගේ සිට ඒ. ඊ. බුල්ජන්ස්‌, අයිරිස්‌ ජාතික එම්. යූ. මුවර්. ප්‍රිට්‌ස්‌කුන්ස්‌ ආදී වූ විදේශීය විද්‍යාලයාධිපතිවරුන්ගේ අසහාය වූ කැප කිරීම් මත දිනෙන් දිනම ජනී ජනයාගේ චිත්ත ප්‍රසාදයට ලක්‌ වෙමින් ආනන්දය ආ දිගු ගමන අද වන් දිනක කෘතවේදීව පුණ්‍යානුමෝදනාවෙන් යුක්‌තව සිහිපත් කරමි.

වර්ෂ 1898 දී ඩී. බී. ජයතිලක මහතා විදුහල්පති වශයෙන් සම්ප්‍රාප්ත වීම සුවිශේෂී අවස්‌ථාවක්‌ ලෙස සනිටුහන් කරනුයේ කෘතවේදීවය.

නව ගොඩනැගිලි ඉදිවෙමින් ක්‍රමවත් පරිපාලන ව්‍යුහයන් ඇති කරමින් විෂයමාලා සංශෝධනය කරවමින් ආනන්ද පුතුනට වැඩදායි පරිසරයක්‌ ඇති කරවමින් සුවිශේෂී වෙනසක්‌ සිදු කළ වකවානුවක්‌ ලෙස ප්‍රිට්‌ස්‌කූන්ස්‌ විදුහල්පති කාලය ඉතිහාසය ට එක්‌වේ.

ආනන්ද ඉතිහාසයෙහි ස්‌වර්ණමය යුගයක ආරම්භය 1918 ජනවාරි මස පළමුවැනිදා සිදු විය. ඒ අන් කිසිවක්‌ නිසා නොව දීප්තිමත් අධ්‍යාපන විශාරදයෙක්‌ වන පී. ද. එස්‌. කුලරත්න මහතා විදුහල්පතිවරයකු වශයෙන් වැඩ කටයුතු ආරම්භ කිරීමය.

"ඉංගී්‍රසි භාෂාව පිළිබඳ පරිචයක්‌ භික්‍ෂූන් තුළ ඇති කළ යුතුය" යන මතයක සිටිමින් ආරම්භ කළ ඉංගී්‍රසි භාෂා පන්තියට මහත් ගෞරවයට පත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි, පොල්වත්තේ බුද්ධදත්ත වැනි භික්‍ෂූන් වහන්සේලා ශිෂ්‍ය අවධියේදී මෙම ආනන්දය තුළින් ඉංගී්‍රසි භාෂාව ප්‍රගුණ කරගෙන ඇත. උන්වහන්සේලාගේ සේවය ආනන්දයට ලැබී ඇත. ආනන්ද සිසුන් ආගමික වත් පිළිවෙත්වලට හුරු පුරුදු කරවීමත්, පාලි, සංස්‌කෘත භාෂා ඥනය ලබා දෙමින් කටයුතු කරවීම මෙම යුගයෙන් සිදුවූ කර්තව්‍යයකි.

ජී. පී. මලලසේකර විදුහල්පති සමයෙහි නාලන්ද විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය වැනි විද්‍යාලයන් ඇති කරවීමට පුරෝගාමීව කටයුතු කරලීම ආනන්දය ගත් ජාතික වගකීමක්‌ ලෙස සිහිපත් කරමි.

විද්‍යාලයක අභිවෘද්ධිය පතා විශිෂ්ට සේවාවක්‌ සිදු වූ කාල පරිච්ඡේදයක්‌ ලෙස එල්. එම්. මෙත්තානන්ද විදුහල්පතිතුමාගේ කාලය සඳහන් කළ හැකිය. මෙලෙසින් ඒ. බී. පෙරේරා, එස්‌. ඒ. විජයතිලක, එම්. ඩබ්. කරුණානන්ද, ඊ. ඒ. පේරුසිංහ යන විදුහල්පතිතුමන්ලාගේ පරිපාලන යුගයන් හිදී ද අති විශිෂ්ට සේවාවන් සිදුවු කාල පරිච්ඡේදයක්‌ ලෙස පින් දෙමින් මෙවන් මොහොතකදී සිහිපත් කරනු කැමැත්තෙමි.

වර්ෂ 1969 මැයි මස 04 දිනයෙන් ඇරඹෙන ජී. ඩබ්. රාජපක්‍ෂ මහතාගේ යුගය විදුහල්පති රාජපක්‍ෂ යුගය ලෙස සැලකිය හැකිය. මෙම අවධියෙහිදී අ.පො.ස. (සා.පෙළ), අ.පො.ස. (උසස්‌ පෙළ) විභාගවලින් දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථාන ලබා ගනිමින් ජයග්‍රහණ රාශියක්‌ම ලබාගනිමින් ආනන්දය අති විශිෂ්ට ස්‌ථානයක වැජඹීම අමතක නොකළ හැකි අවස්‌ථාවකි.

ජී. ඩබ්. රාජපක්‍ෂ මහතාගෙන් පසුව එස්‌. කේ. නෙත්තානන්ද, කර්නල් එස්‌. කුඩලිගම ආදි විදුහල්පතිවරු මෙම විද්‍යාස්‌ථානය දිනෙන් දින සංවර්ධනය කරවීය.

ගුණරත්න දමුණුපොල, බී. ඒ. අබේරත්න, එල්. එම්. ඩී. ධර්මසේන ආදී විදුහල්පතිතුමන්ලාගේ සමයන්හි ද ආනන්දයෙහි ආනන්දනීය කාල පරිච්ඡේදයන් බව සඳහන් කළ යුතුය.

ආනන්දයෙහි ආරම්භක විදුහල්පති වූ සී. ඩබ්. ලෙඩ්බීටර්තුමාගේ පටන් අද දිනයෙහි ආනන්දය හොබවන කිත්සිරි ලියනගමගේ විදුහල්පතිතුමා දක්‌වා වූ විදුහල්පති නාමාවලියෙහි සියලුම විදුහල්පතිවරුන්ද, සියලු නියෝජ්‍ය විදුහල්පතිවරුන් ද, ගුරු භවතුන් ද ආනන්දයෙහි පරමාර්ථ මුදුන්පත් කර ගැනීමට මහත් වෙහෙසක්‌, වෑයමක්‌ ගෙන ක්‍රියා කරයි.

හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි ආදිකර්තෘන් වහන්සේලාගේ සිට වැඩසිටි හා වර්තමානයෙහි වැඩ වසන සියලුම ධර්මාචාර්යවරයන් වහන්සේලා ස්‌ව වගකීම් තේරුම් ගෙන යුගයෙන් සිදු කළ හා සිදු කරන මෙහෙවර සුවිශාල වේ. 

සියවසකට වඩා වැඩි දීර්ඝ ඉතිහාසයක්‌ ඇති ආදි ශිෂ්‍ය සංගමය ද ආදී ආනන්දීය බෞද්ධ සංගමය ප්‍රධානව විවිධ සමිති සමාගම් වසර 129 කට එළැඹී සිටින ආනන්දයෙහි අනන්‍යතාවය රැක ගැනීමටත් අපේක්‍ෂිත හර පද්ධතීන් කෙරෙහි ආනන්දීයන් යොමු කරලීමටත් ක්‍රියා කරමින් සිටිති. 

ආනන්දය යනු තවත් එක්‌ විද්‍යාලයක්‌ම නොවේ. එය සුවිශේෂී වූ සම්ප්‍රදායන්ට ගරු කරමින් රටට අවශ්‍ය ජාතික නායකත්වය සඳහා විශිෂ්ට නායකයන් තනන බෞද්ධ අධ්‍යාපනයෙහි කේන්ද්‍රස්‌ථානයයි.

ශ්‍රේෂ්ඨ ගිහි පැවිදි ආදි කර්තෘවරුනි, ඔබේ විශිෂ්ට සේවාවත්, ගුණ මහිමයත්, මහත් වූ ගෞරවයෙන් යුක්‌තව සිහිපත් කරන්නෙමු. ඒ සඳහා නොවැම්බර් මස 01 වැනිදා මහ පිරිත් දේශනාවක්‌, නොවැම්බර් මස 02 දා මහ සංඝගත දක්‍ෂිණාවක්‌ සිදු කිරීම ආදී ආගමික වත් පිළිවෙත් රාශියක්‌ පැවැත්වීමට නියමිතය.

ආදි කර්තෘවරුනි, ඔබ සැමට මෙපින් බලයෙන් 'උතුම් වූ නිවන් සුව සාක්‍ෂාත් වේවා' යි බැති සිතින් ප්‍රාර්ථනා කරමු.

ධර්මාචාර්ය ශාස්‌ත්‍රපති පූජ්‍ය රම්මල ධම්මරක්‌ත හිමි - ආනන්ද විද්‍යාලය
http://www.divaina.com/2015/11/01/feature21.html

දිනකට අවම වශයෙන් අකුසල සිත් පහක්‌ දුරු කරන්න පුරුදු වෙන්න... මහරහතුන් වැඩි මග ඔස්‌සේ ...

මීළඟට සබ්බාවස්‍රව සූත්‍රයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුරු කිරීමෙන් ප්‍රහානය කළයුතු ආස්‍රවයන් ගැන. මොනවද පිංවත් ඔබ දුරු කළයුත්තේ. නිරතුරුවම ඔබ තුළ සකස්‌වෙන කාම විතර්කයන්, කාමයේ ආදීනවයන් දැකල දුරුකරන්න ඕන. ලෝභ, ද්වේශ, මෝහ අකුසල මූලයන්ට අදාළ විතර්කයන් ඒවායේ ආදීනවයන් දැකලා දුරුකරනවා.

භික්‍ෂුව මුණගැසුණු මහත්මයෙක්‌ ප්‍රකාශ කළේ සත්ත්වයින්ගේ ඕපපාතික උපතක්‌ නැහැයි කියලා. භික්‍ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කළේ 'මහත්තයෝ, ඔය මතය දුරු කරන්න'ය කියලා. මොකද මෙවැනි මිථ්‍යාදෘෂ්ටික අදහස්‌ නිසා නැති ආස්‍රවයන් වැඩෙනවා. එක ලෝභ සිතක්‌ එක ද්වේශ සිතක්‌ දුරුකිරීමට ඔබ අදක්‍ෂ වුවහොත් සතර අපායට වැටෙන බලවත් ආස්‍රවයන් ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්. ශිල්පදයක්‌ බිඳින්න කියල සිත කිව්වොත් එම සිත දුරුකරන්න. නරක මිතුරෙක්‌ හමුවන්න, වැරදි ගමනක්‌ යන්න සිත කිව්වොත් එම සිත දුරුකරන්න. කුසලයට අකැමැති සිතක්‌ සකස්‌වුවහොත් එම සිත දුරු කරන්න. 

හෙට දවසේ හිමිදිරියේ සිට ඔබ සිහියෙන් යුතුව දවස පුරාවට ඇතිවන අකුසල් සිත් දුරු කරනවාය කියල සිතුවොත් එය ක්‍රියාත්මක කළොත්, ඔබ නැති ආස්‍රවයන් මතුකර ගන්නේ නැහැ. අවම වශයෙන් දිනකට ඔබ තුළ සකස්‌වෙන අකුසල් සිත් පහක්‌ දුරුකරන්න පුරුදුවෙන්න. ක්‍රමානුකූලව එය වැඩිකර ගැනීමට උත්සාහ ගන්න. ඔබ පරිහරණය කරන සෙලියුලර් දුරකථනය, කොණ්‌ඩ මෝස්‌තරය, ඔබ අඳින ඇඳුම් විලාසිතාව, ඔබේ ඉරියව් පැවැත්ම නිසා ඔබ තුළ ආස්‍රවයන් සකස්‌වෙන බව ඔබට දැනුනොත් ආස්‍රවයන් වැඩෙන එම ධර්මතාවන් දුරුකරන්න දක්‍ෂ වෙන්න.

නවීන තාක්‍ෂණික ලෝකය සබ්බාවස්‍රව සූත්‍රයේ අර්ථයන්ට බලවත් අභියෝගයන් එල්ලකර තිබෙනවා. එම අභියෝගයේ තරමටම මනුෂ්‍යයාගේ පංචඋපාදානස්‌කන්ධය නොසන්සුන්භාවයට පත්කිරීමට අදාළව ආස්‍රවයන් වර්ධනය කරගන්නවා. පිංවත් ඔබ පිංකමක්‌ සිදු කරන විට, සද්ධර්මය ශ්‍රවණය කරන විට අශ්‍රද්ධාවට අදාළ සිතුවිලි දුරුකරගෙන ඕනේ එම කාර්යයන් සිදු කරන්න. අනාගාමී ඵලයට පත් උග්ග ගෘහපතිතුමා සතු ආශ්චර්යමත් කාරණාවන්ගෙන් එකක්‌ තමයි, එතුමා සද්ධර්මය ශ්‍රවණය කරන්නේ එම ධර්මයේ අඩුපාඩු වැරදි සෙවීමට නොවේ. ඒවා සොයල විවේචන කිරීමට නොවේ. උතුම් සද්ධර්මයේ අර්ථයක්‌ම ජීවිතයට එකතුකරගන්නවා කියන බලාපොරොත්තුවෙන්මයි. එය උග්ග ගෘහපතිවරයා සතු ආශ්චර්යමත් ගුණයක්‌. එම නිසා පිංවත් ඔබත් ධර්මයට අදාළ කාරණාවලදී අශ්‍රද්ධාවට අදාළ සිතුවිලි දුරු කරන්න පුරුදු වෙන්න. එසේ නොවුණොත් ධර්මයට අගෞරව කිරීම හේතුවෙන් බලවත් ආස්‍රවයන් අපි ඇතිකර ගන්නවා. පන්සලකට යන්න, ආරණ්‍යයකට යන්න, බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය දකින්නට යන්න මන්දෝත්සාහී වෙන සිත දුරු කරන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සියක්‌ දහසක්‌ ඇතුන්ද, සියක්‌ දහසක්‌ අජානීය අශ්වයන්ද, සියක්‌ දහසක්‌ රනින් සරසන ලද කන්‍යාවෝද ලබන්න ඔබ යන ගමනක්‌ වේද, තෙරුවන් දකින්න යන්නාහුගේ එක පියවරක්‌ ඊට වඩා දසදහස්‌ වාරයක්‌ වටිනවාය කියල. 

පිංවත් ඔබ දන් පැන් පූජා කරන අවස්‌ථාවල ලෝභ සිත් දුරු කරන්න දක්‍ෂ වෙන්න. මසුරුකම් ඇති, දන්දෙන අයට අගුණ කියන, යම් මසුරු මිනිසෙක්‌ මෙලොව ඇතිද ඔහු ප්‍රේත ලෝකයටද නිරයටද තිරිසන් ලෝකයටද වැටෙනවා. මිනිසත් බවක්‌ ලැබුවොත් ආහාර, වස්‌ත්‍ර, යානවාහන, කාමසම්පත් හීන, ඒවා දුකසේ ලබන දිළිඳු කුලයක ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සැවැත්නුවර සිටුතුමා මහා ධනස්‌කන්ධයකට හිමිකම් කිව්වත් බතකුයි හොද්දකුයි පමණයි, ආහාරයට ගත්තේ දිරාගිය ඇඳුමක්‌ පරිහරණය කළේ. සිටුතුමා මොනතරම් ධනයක්‌ තිබිලත් එම ධනය පරිහරණය කිරීමට සිත නොදීමේ හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

අතීතයේ සිටුවරයෙක්‌ ලෙස ඉපදුණු වෙලාවේ තගරසි කියන පසේබුදුරජාණන් වහන්සේ නිවසට පිණ්‌ඩපාතයට වැඩිය වෙලාවේ සිටුතුමා සේවකයින්ට දන් දෙන්න කියල ඉවතට ගියා. දානේ දීමෙන් පසුව එම සිටුතුමා සිතනවා දානයට දුන්න ආහාර ටික, සේවයකුට දුන්නානම් වැඩිපුර වැඩක්‌ කරගන්න තිබුණා නේද කියල. පසේ බුදුරජාණන් වහන්සේට දන්දෙන්න කියල සේවකයින්ට කියපු නිසා එම පිනෙන් පස්‌වරක්‌ සිටුතනතුරු ලැබුණා. නමුත් දන්දීමෙන් අනතුරුව එම ආහාර සේවකයෙකුට දුන්නානම් හොඳයි නේද කියල සිතුන නිසා ඇඳුම් ආහාර රථවාහන පරිහරණය කරන්න පින නැතුව ගියා. සිටු තනතුර ලැබුණත් සැප විඳින්න සිත දුන්නේ නැහැ. පිංවත් ඔබත් මසුරු සිත් දුරු කරමින් දන් පැන් දෙන්න. එසේ නොවුණොත් නැති ආස්‍රවයන් ඇතිවෙනවා. ඇති ආස්‍රවයන් වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආහාර දෙන්නා බලය දෙන්නේ වේ, වස්‌ත්‍ර දෙන්නා වර්ණය දෙන්නේ වේ, රථ වාහන දෙන්නා සැපදෙන්නේ වේ, පහන් දෙන්නා ඇස්‌ දෙන්නේ වේ, යමෙක්‌ ආවාස දෙයිද හේ සියල්ල දෙන්නේ වෙයි. යමෙක්‌ ධර්මානුශාසනා කෙරේද හේ අමෘතය දෙන්නේ වෙයි කියලා. යමෙක්‌ මසුරු සිත දුරු කිරීමට අදක්‍ෂනම් මේ සියල්ලම ඔහුට අහිමිවී යනවා. නුවණ නැත්තාවූ යම් කෙනෙක්‌ ආර්ය චර්යාවන් දුරුකරමින් හැසිරෙත්ද ආර්ය ධර්මයන් දුරුකරමින් හැසිරෙයිද ඔහු දරුණු වූ රෞරව නිරයට පැමිණ බොහෝ කලක්‌ දුක්‌ අනුභව කරයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබ නිරතුරුවම බුදුරජාණන් වහන්සේ කෙරෙහිවූ විශ්වාසය ඔබ ළඟට ගන්න. එවිට මිථ්‍යදෘෂ්ටිය ඔබෙන් දුරු වෙනවා. ශීලය, කුසලය කෙරෙහිවූ විශ්වාසය ඔබ තුළට ගන්න, එවිට අකුසලය, දුශ්ශීලභාවය ඔබෙන් දුරු වෙනවා. 

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/11/01/feature05.html