
මීට වසර 31 කට පෙර එනම් 1984 ඔක්‌තෝබර් 31 වැනිදා පෙ. ව. 9.20 ට ඉන්දිරා ගාන්ධි ඝාතනයට ලක්‌වූයේ ඇගේ ශරීරාරක්‌ෂකයින් දෙදෙනකු වූ ෂට්‌වාන්ට් සින් හා බීන්ට් සින්ගේ වෙඩි ප්‍රහාරයන්ට ලක්‌වීමෙන් පසුවය. නවදිල්ලියේ සෆ්ඩාර්ජුන් මාවතේ පිහිටි අංක එක දරන නිවසේ සිට යාබද අක්‌බාර් පටුමගේ අංක එක දරන අගමැති කාර්යාලය වෙත ඉන්දිරා ගාන්ධි පාගමනින් ගමන් කරමින් සිටියදීය.

නේරු දියණියගේ අවාසනාවන්ත ඉරණම ගැන යළි සිහිපත් කරන්නට සිදු වූයේ මේ කතාවට ප්‍රවිෂ්ඨයක් ලබාගැනීම සඳහාය. එසේනම් කොන්ග්‍රස් නායක එම්. එල්. ෆොටේඩාර් සිය හිටපු අගමැතිනිය පිළිබඳ හෙළි කළ විශේෂ කරුණ කුමක්‌ද? ඉන්දිරා ගාන්ධි සිය මරණය ගැන කලින්ම දැනගෙන සිටි බවයි. කෙනෙකුට තම මරණය පිළිබඳ ඉවක් දැනෙන්නට පිළිවන. එසේ නම් ඉන්දිරාට ද ඒ අවබෝධය තිබුණාද? ඉන්දියා පුවත් සේවයත් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්‌වෙමින් ෆොටේඩාර් මෙසේ සඳහන් කර තිබිණි. ගාන්ධි මහත්මිය නිතර කාශ්මීරයට පැමිණෙනවා. එසේ ආවම ඇය කාශ්මීරයේ ශාරිකා දේවි දෙවොල වන්දනා කිරීමට යනවා. ඇගේ අවසන් චාරිකාවේදීත් ශාරිකා දේවි දෙවොලට ගියා. එදා ශාරිකා දේවි දෙවොල වන්දනා කරලා එනවිට ඉන්දිරා අගමැතිනියගේ මුහුණේ තිබුණේ ඉතා කණස්‌සලු ස්‌වභාවයකි. ඒකට හේතුව වුණේ පූජා වට්‌ටියේ තිබූ කැවිල්ලක් එහි හින්දු පූජකයා විසින් අගමැතිනියට දෙන්න යනකොට ඒක බිම වැටුණා. ඒක තමයි කණස්‌සල්ලට හේතුව. එයින්ම ගාන්ධි මැතිනියට අවබෝධ වුණා, තමන්ගේ ජීවිත කාලය ඉක්‌මනින්ම අවසන් වන බව" යෑයි කොංග්‍රස් නායකයා හෙළිකර තිබිණි.
ඇත්තෙන්ම ගාන්ධි මහත්මියට ජ්‍යොතීර්වේදීන් අනතුරු අඟවා තිබුණේ ඇයට ඉතාම නරක කාලයක් උදාවී තිබෙන බවයි. "ගාන්ධි මහත්මියට ජ්‍යොතිර්වේදීන් කියලා තිබුණේ නොවැම්බර් 19 වැනිදා පසුකරන්න පුළුවන් වුණොත් ඇයට තව අවුරුදු දහයක් අගමැතිවෙලා ඉන්න පුළුවන් කියලා" යෑයි ෆොටේඩාර් කියයි. එහෙත් නේරු දියණියගේ ජීවන ගමන ඔක්‌තෝබර් 31 වැනිදායින් අවසන් විය. ශාරිකා දේවි දේවොලේදීම ගාන්ධි මහත්මිය තම ඉරණම ගැන අවබෝධයක් ලැබුවාද? ඇගේ මුහුණේ බලවත් කණස්‌සලු ස්‌වභාවයම ඉදිරි ඛේදවාචකය සටහන් කිරීමක් විය.
ඉන්දියාවේ යකඩ ගැහැනිය ලෙස විරුදාවලිය ලබා සිටි ගාන්ධි මහත්මිය මියයන විට 66 වැනි වියේ පසු වූවාය. විවාහයෙන් වසර 18 කට පසු ඇගේ සැමියා වූ ෆෙරෝස් ගාන්ධි මරණයට පත්වූ අතර බාල පුතණු සන්ඡේ ගාන්ධි වයස අවුරුදු 33 දී ගුවන් අනතුරකින් මරණයට පත් වීය. 1975 - 80 කාලයේ ඉන්දීය දේශපාලනයේ ඉතාම බලවත් චරිතය වූයේ සන්ඡේ ගාන්ධිය. ඔහුගේ මරණයද ඉන්දිරා අගමැතිනියට බලවත් ශෝකය දනවන්නක් විය. සිය පුතුගේ මරණයෙන් පසු ඇයටද ජීවත්වීමට ලැබුණේ වසර හතරක කාලයක් පමණි. කාශ්මීරයේ ශාරිකා දේවි දේවාලයේදී ඉන්දිරා මහත්මියටත් ජීවිතයේ අනියත බව ගැන ඉවක් දැනෙන්නට ඇත. කිසිවකුට මරණය පරාජය කළ නොහැක. එය සනාතන දහමකි.
චතුර පමුණුව
http://www.divaina.com/2015/11/01/feature04.html
0 comments:
Post a Comment