Pages

Tuesday, November 17, 2015

යහපාලන භූමිකාවට පසුවදනක්‌

රටේ බොහෝ ගම් ආර්ථික වශයෙන් ප්‍රපාතයට පත්වී ඇත. මාර්ග පද්ධතිය, කාණු පද්ධතිය ඉතාම අබලන් තත්ත්වයට පත්වී ඇත. කාණු හා මාර්ග සමගාමීවීම හේතුකොටගෙන කාණුවෙන් ගලා බැසිය යුතු ජලය ගලායන්නේ මාර්ගයෙනි. මේ හේතුකොටගෙන මාර්ගවල ගමන් කිරීමට අපහසු තත්ත්වයක්‌ ඇතිවී ඇත.

පළාත් පාලන හා ප්‍රාදේශීය මට්‌ටමින් ගම්වලට දෘෂ්ඨිය යොමු විය යුතුය. ගම් අද ආර්ථික හා පාරිසරික වශයෙන් අවරට ගොස්‌ ඇත්තේ ප්‍රාදේශීය මට්‌ටමෙන් නියෝජිතයෙක්‌ නොමැතිකමයි.

යහපාලනය කෙරෙහි සමාජ විඥනය විහිද ඇති සමයක මාස හැටේ හෙවත් වසර පහේ ආර්ථිකාභිවෘද්ධියට මං පෑදෙන්නේ කෙසේද යන්න රටට ආදරය කරන, අවංක ලෙස කටයුතු කරන අයගේ අභිප්‍රාය විය යුතුය.

වංචා දූෂණවලින් තොර ජනතා අපේක්‍ෂා ඉටුකරන තලයකට ප්‍රවේශවීම යහපාලනයේ අභිප්‍රායයි. ආර්ථික ක්‍ෂේත්‍රය උත්තලයකට පත්වන්නේ ඒ ඒ තැන්වලට සුදුස්‌සන් පත්කිරීම මතය. විෂය ක්‍ෂේත්‍ර ගැන මනා පරිචයක්‌, ප්‍රාගුන්‍යක්‌ ඇති ඇය පත්කිරීමට යහපාලනය වගබලාගත යුතුය. විශේෂයෙන් උගතුන්ගෙන්, වියතුන්ගෙන් උපරිම ඵල නෙළාගත යුතුය.

කෙටිකාලීන හා දිගුකාලීන වශයෙන් ආර්ථික සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක විය යුතුය. නගර සංවර්ධනය කරන ගමන් ගමද සංවර්ධනය කළ යුතුය. මෙතෙක්‌ සිදුවූයේ ගම අමතක කොට නගරයට පමණක්‌ දෘෂ්ඨිය යොමුවීමය. නගරය හා ගම සංවර්ධනයේදී සමාන්තර විය යුතුය.

රටේ බොහෝ ගම් ආර්ථික වශයෙන් ප්‍රපාතයට පත්වී ඇත. මාර්ග පද්ධතිය, කාණු පද්ධතිය ඉතාම අබලන් තත්ත්වයට පත්වී ඇත. කාණු හා මාර්ග සමගාමීවීම හේතුකොටගෙන කාණුවෙන් ගලා බැසිය යුතු ජලය ගලායන්නේ මාර්ගයෙනි. මේ හේතුකොටගෙන මාර්ගවල ගමන් කිරීමට අපහසු තත්ත්වයක්‌ ඇතිවී ඇත.

පළාත් පාලන හා ප්‍රාදේශීය මට්‌ටමින් ගම්වලට දෘෂ්ඨිය යොමු විය යුතුය. ගම් අද ආර්ථික හා පාරිසරික වශයෙන් අවරට ගොස්‌ ඇත්තේ ප්‍රාදේශීය මට්‌ටමෙන් නියෝජිතයෙක්‌ නොමැතිකමයි.

කොට්‌ඨාස මට්‌ටමෙන් එක්‌ කොට්‌ඨාසයකට නියෝජිතයෙක්‌ සිටියේය. එහෙත් කොට්‌ඨාස ක්‍රමය ඉවත්වීම හේතුකොටගෙන කොට්‌ඨාසයට ස්‌ථිර වශයෙන් නියෝජිතයෙක්‌ නැත.

ස්‌ථිර වශයෙන් කොට්‌ඨාසයට නියෝජිතයෙක්‌ පත්වීම මත ඔහුට එම කොට්‌ඨාසය කෙරෙහි දැඩි අවධානයක්‌ යොමුවී ඒ දෙස නිතර ඔහුගේ දෘෂ්ඨිය යොමුවී ගමේ සියලුම ඌනතා සපුරාලීමට හැකියාව ශක්‌තිය ඇත. ඒ අඩුපාඩු ගැන ගම්වාසීන්ට සෘජුවම බල කළ හැකිය. එහෙත් අද්‍යතන අවධියේ එබඳු තත්ත්වයක්‌ නොමැත. කොට්‌ඨාසයට වගකිව යුතුය. ගම් ප්‍රදේශ පරිහානියට පත්වීමට හේතුවී ඇත්තේ ද වගකිව යුතු නියෝජිතයෙක්‌ නැතිකමය.

ආර්ථික ක්‍ෂේත්‍රයේ නව සැලසුම් ගැන අගමැති පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කළේය. ආර්ථික රටාව නව මඟකට යොමුකිරීම අරභයා නව ක්‍රමවේද උපයෝගි කොටගෙන නව මඟක්‌ යන්නට අරඇඳීම යහපාලනයේ අරමුණයි.

අවශ්‍ය දේවලට පමණක්‌ ප්‍රාග්ධනය යොමුකරන්නට නව ක්‍රමවේද සැකසිය යුතුය. මේ ආර්ථික ක්‍ෂේත්‍රයේ මෙතෙක්‌ සිදුවූයේ අවශ්‍ය දේට වඩා අනවශ්‍ය දෙයට ප්‍රමුඛතාව දීමය. මේ තත්ත්වය මත රටේ ප්‍රාග්ධනය අයාලේ ගියේය. ආර්ථික නව සැලසුම් යටතේ ප්‍රමුඛතාව දිය යුත්තේ අවශ්‍ය දේට පමණි.

මහා ධනස්‌කන්ධයක්‌ වැයකොට ඒ ප්‍රයත්නයෙන් ප්‍රතිලාභ නැත්නම් එම ධනය වැය කිරීමෙන් ඵලක්‌ නොමැත. 2014 නව අයවැය යෝජනා යටතේ පෙර නොවූ විරූ ආර්ථික ක්‍ෂේත්‍රයේ ප්‍රාතිහාර්යක්‌ ඇති කළ යුතුය.

එම අයවැය න්‍යායක්‌ වශයෙන් නොව ප්‍රායෝගික වශයෙන් උත්තලයකට පත්විය යුතුය. ආර්ථික අභිවෘද්ධියේ කඩඉමකට දැන් අපි ප්‍රවේශ වී සිටිමු.

ආර්ථික ප්‍රවාහය නව හැඩතල මත ඔපවත් විය යුතුය. යායුතු නිම්නයාර්ථ භූමිකාව සම්බන්ධයෙන් පාලක පක්‍ෂයට යථාවබෝධ ඥනයක්‌ තිබිය යුතුය. පටු පරමාර්ථ දෘෂ්ඨිය බැහැරකොට පුළුල් වූ පරමාර්ථ දෘෂ්ඨියකට යොමුවීමටයි කාලය උදාවී ඇත්තේ.

නව ආණ්‌ඩුවේ නව අයවැය ලේඛනය පෙරට වඩා ප්‍රයාර්ථ තලයකට පත්කිරීමට පාලක පක්‍ෂය වගබලා ගත යුතුය. එය මතුපිටින් වර්ණවත් වී ඇතුළතින් කළු පැල්ලම්වලින් තොරවිය යුතුය. අයවැයෙන් නිර්මිත බොහෝ දේ ඒ ආකාරයෙන්ම සිදු නොවීය. වදන්වලට පමණක්‌ සීමාවීම පමණි මෙතෙක්‌ සිදුවූයේ. මේ කෙරෙහි ද යහපාලනය වැඩි සැලකිල්ලක්‌ දැක්‌විය යුතුය.

ජනතා පීඩනය අවම කරන්නට ද පාලක පක්‍ෂය වගබලා ගත යුතුය. පීඩනය පරිපීඩනයක්‌ බවට පත් නොවිය යුතුය. ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින ජන කොටස්‌ කෙරෙහි වැඩි අවධානයක්‌ යොමුකළ යුතුය.

රාජ්‍ය සේවකයන් විශ්‍රාම යැමෙන් අනතුරුව 'විශ්‍රාම වැටුපක්‌' හිමිවෙයි. එහෙත් පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම යැමෙන් පසු ඒ අයට විශ්‍රාම වැටුපක්‌ නැත. මෙය ඉතාම බරපතළ සමාජ ප්‍රශ්නයකි. 

HNDA සිසුන්ගේ දුක්‌ගැනවිලි, අයිතිය පතා පාලකයන් හමුවන්නට ගිය අවස්‌ථාවේදී පොලිසිය ඒ අයට පහරදීමේ ම්ලේච්ඡ ක්‍රියාව ගැන රටේ හැමදෙනාගේ අප්‍රසාදය පළ වී ඇත.

මේ පහරදීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව විනය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක්‌ පත්කිරීමට අගමැති පියවර ගැනීම යහපත් තීරණයකි. පොලිස්‌ ඇඳුමෙන් පිම්බී ගිය ඇතැම් නිලධාරීන් හේතුකොටගෙන එම ක්‍ෂේත්‍රය කෙරෙහි කලකිරීමක්‌ ඇතිවෙයි.

සරසවි සිසුන් හා සිසුවියන් යනු මේ රටේ නව නිර්මාණ ඔස්‌සේ ආර්ථිකය වඩාත් උත්තලයකට ගෙන යන පිරිසකි. නව නිර්මාණශීලී කුසලතාවන්ගෙන් පිරිපුන් සරසවි සිසු සිසුවියන්ට අමානුෂික අයුරින් පහරදීම මත පොලිසියේ විඥනය රැඳී ඇත්තේ කොතැනද යන්න අපට අවබෝධ කොට ගත හැකිය.

මෙබඳු අමානුෂික පහරදීම් මත්තට සිදුනොවන්නට යහපාලනය වගබලා ගත යුතුය. රට අවුල් කිරීම නොව නිරවුල් අතට යොමුකිරීම රාජකාරි අංශවල මුඛ්‍ය පරමාර්ථය විය යුතුය.

බලය නොලැබී ගිය විට බලය අහිමි වූ අයගේ අදහස වී ඇත්තේ අනවශ්‍ය කරුණු පදනම් කරගෙන රට ව්‍යාකූල කරන්නටය. මේ ව්‍යාකූලභාව මත සිදුවන්නේ රට තවදුරටත් අවරට යැමකි. 

යහපාලන සමාජ රටාවේදී පිල් බෙදී රට ආපස්‌සට හැරවීම යෝග්‍ය කරුණක්‌ නොවේ. රටට ආදරයක්‌ ඇති රටේ දරුවන් කෙරෙහි, මතු පරපුර ගැන මානව භක්‌තියෙන් යුතුව නෙත් හෙළිය යුතුය. අනවශ්‍ය ප්‍රශ්න කරට ගැනීම පිටුදැකිය යුතුය. සමාජාභිවෘද්ධියේ කේන්ද්‍රීය තැන්න වන්නේ රටේ පාර්ලිමේන්තුවයි. මේ පාර්ලිමේන්තුවේ සදාචාරය, ගරුත්වය රැකෙන අයුරින් කටයුතු කිරීමට මහජන නියෝජිතයන් වගබලා ගත යුතුය.

රට ආර්ථික වශයෙන් ඉහළ තලයකට යැමට හැමගේ දායකත්වය හිමිවිය යුතු අදියරකට දැන් පැමිණ ඇත. ආර්ථික වශයෙන් වර්ධනීය තලයකට පත්වීමෙන් කාටත් සතුටට, ආඩම්බරයට පත්විය හැකිය. මේ යථාර්ථය ද අප තේරුම් ගත යුතුය.

විෂයානුබද්ධ භූමිකාවකට රට ප්‍රවේශ වී ඇති මොහොතක පාලක පක්‍ෂයේ විඥනය විවිධ පැතිකඩාශ්‍රිතව විහිදවා ජනතාවගේ අභිවෘද්ධිය අරඹයා එම විඥනය ක්‍රියාත්මක කිරීමට වගබලා ගත යුතුය. වගකීම හා යුතුකම වන්නේත් එයයි.

ආචාර්ය  ආර්. ඇල්. අබේවික්‍රම
http://www.divaina.com/2015/11/17/feature01.html

0 comments: